Pages

Sunday 18 December 2011

සා/පෙ ලියපු හැටි



දෙසැම්බර් කියන්නෙ එකොළහ වසර ළමයි සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙන මාසෙනෙ. මම සා/පෙ ට මුහුණ දුන්නු දෙසැම්බර් මාසෙ ගෙවිල දැනට අවුරුදු දහයක්. ජීවිතේ දෙවෙනියට හම්බවෙන ලොකු විභාග කඩඉම. මගේ සූදානම උපරිමේට තිබ්බ. ඉස්කෝලෙ සර්ල, මිස්ල අපි වෙනුවෙන් පුදුමාකාර මහන්සියක් දැරුව. හවස් වරුවේ, සති අන්තයේ වගේම නිවාඩු කාල වලත් මදි නොකියන්න අමතර පන්ති තිබ්බා. සල්ලි වලට නෙවෙයි. සිලබස් කවර් කරල අපිව විභාගෙට ලෑස්ති කරන්න. එහෙම ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න ලැබිච්ච එකත් වාසනාවක්. ඒ නිසා ටියුෂන් පන්ති යන්න වැඩි අවශ්‍යතාවයක් තිබුනෙ නෑ. මමනං ටියුෂන් ගියේ ගණිතයට විතරයි.

ඔහොම මහන්සි වෙච්චි අවුරුද්ද ගෙවීගෙන ගිහින් සිලබස් කවර් කරල, හැඳුනුම්පත් හදල, මතක් කරන්න බැරි තරං වාර ගානක් පෙරහුරු පරීක්ෂණ කරල අන්තිමේදි ඇඩ්මිෂනුත් ඇවිල්ල මම එහෙමපිටින්ම විභාග මානසිකත්වයෙන් ඉන්නකොට තමයි මෙන්න මේ කියන්න යන වැඩේ උනේ.

මට මතක විදියට ඒ වෙනකොට විභාගෙ පටන් ගන්න තිබ්බෙ සතියක් විතර. මුලින්ම හැදුනෙ හෙම්බිරිස්සාවක්. ඒක පේයාව, පස්පංගුව බිව්වට අඩුඋනේ නැහැ. ඊට පස්සෙ හෙම්බිරිස්සාව එක්ක උණත් හැදුන. තව බලාගෙන ඉන්න හො නැති නිසා ලම තිබ්බ ඩිස්පැන්සරියට ගිහින් බොහෙත් අරං ආව. ඒත් ඒ බේත් වලින් කිසි ගුණයක් නෑ. යන්තං උණ බහිනව ආයෙ පස්සෙ වැඩි වෙනව. කොහොම හරි විභාගෙ පටන් ගන්න ඉස්සෙල්ල දවසෙ රෑත් මට හොඳටම උණ. අම්මගෙයි අප්පච්චිගෙයි හිත්වලටත් හරිනෑ. “දැන් මොනාද කරන්නෙ” කියල බැරිම තැන අප්පච්චි කිව්ව...

“ලොක්ක, එහෙනං අපි විභාගෙ ලියන එක ලබන අවුරුද්දට කල් දාමු...” කියල.

ඒ වෙලාවෙ ඇතිවෙච්චි හැඟීම විස්තර කරන්නනං අදටත් මං ලඟ වචන නෑ. අවුරුද්දක් තිස්සෙ මෙච්චර මහන්සි වෙලා වැඩ කරල මේ කොහෙවත් යන උණකුයි හෙම්බිරිස්සාවකුයි නිසා ඒ මහන්සිය වතුරෙ යන්න අරින්න පුළුවන්ද? මට දැන් ඇ‍ෙඬන්න ඔන්න මෙන්න. මං කිව්ව...

“බෑ!... බෑ!!... බෑ!!!... මට විභාගෙ ලියන්න යන්නම ඕනි” කියල.

විභාග ශාලාවෙ වාඩිවෙලා ලියන්න පුළුවන්නං විභාගෙ යන්තං හරි ගොඩදාගන්න පුළුවං කියන විශ්වාසෙ මට තිබ්බ. ප්‍රශ්ණෙ උනේ මෙහෙම ලෙඩ වෙලා ඉන්නැද්දි එකදිගට පැය තුන හතරක් වාඩිවෙලා ඉන්න පුළුවන් වෙයිද කියන එකයි.

පස්සෙ දවසෙ, ඒ කියන්නෙ මට විභාගෙ ලියන්න තිබ්බ පළවෙනි දවසෙ තිබ්බෙ ‘ඉංග්‍රීසි සාහිත්‍යය’ පේපර් එක. ඒ මං කරපු අතිරේක විෂය.

මොන විභාගෙ ලියන්නත් ඉස්සෙල්ල ලෙඩේට බේත් අරං ඉන්න එපැයි. ඉතිං එදා උදේම අප්පච්චි ටවුමෙ දොස්තර කෙනෙත් ගාවට මාවත් එක්කරගෙන ගියා.

දොස්තර මහත්තයට ලෙඩේ විස්තරෙයි මම මේපාර විභාගෙ ලියන විස්තරෙයි ඔක්කොම කිව්ව. ඒ ඔක්කොම අහගෙන ඉඳල රෝග පරීක්ෂාවත් කරල දොස්තර කිව්වෙ නැතැයි මට හැදිල තියෙන්නෙ වෛරස් උණක් කියල.

“කොහොමද ඩොක්ට... මෙයාට විභාගෙ ලියන්න පුළුවන් වෙයි නේද?” අප්පච්චි ඇහැව්ව.

“කලින් බෙහෙත් බීපු නිසා ලෙඩේ බාගෙට නැවතිලා වගේ තියෙන්නෙ.

දැං ඔයාට විභාගෙ ලියන්නම ඕනි නේද?” දොස්තර මගෙං ඇහැව්ව.

දොස්තරත් පිස්සු කතා කරනව, මං මේ විභාගෙ ලියන්ඩ බැරි වෙයි කියල බයේ ඉන්න වෙලාවෙ. මමත් ඔළුව වනල “ඔව්” කිව්ව.

“හරි. මං ඔයාට බේත් ටිකක් දෙන්නං. විභාගෙ ලියන්ඩ අමාරු වෙන හින්ද ගොඩක් සැර බෙහෙත් දෙන්නෙ නෑ. ඕක ඇරිල යන්නනං ටික දවසක් යයි.

බ්ලඩ් එකකුත් චෙක් කරගන්න... හොඳට විභාගෙ ලියන්න... ගුඩ් ලක්!” දොස්තර මහත්තය මූණෙ හිනාවකුත් එක්ක කිව්ව.

අපි බෙහෙතුත් අරගෙන ටවුමට ඇවිල්ල, කඩේකින් උදේට කාල, මගේ බෙහෙත්වල උදේ වඩියත් බීල ඉස්කෝලෙට ගියා. එදා අප්පච්චි ගෙදර ගියේ ඉස්කෝලෙ ගේට්ටුව ගාවටම මාව ඇරලවල.

මං ගිහින් විභාග ශාලාවෙ වාඩි උනා. පුදුමෙකට වගේ විභාගෙ ලියන්න බැරි වෙයි කියල ඇති වෙච්චි බය නිසා මට විභාගෙ ගැන තිබ්බ බය එහෙමපිටින්ම වගේ නැතිවෙලා ගිහින්. හිතේ අවුල් ගතියක් නෑ. මම ලිව්වා... ලිව්වා... ලිව්වා... පැය තුනක්ම ලිව්වා. එදාට තිබ්බෙ එච්චරයි. හැබැයි ආයෙ ගෙදර යනකොට මට එකසිය ගානට උණ.

ඊලඟ දවස් ටිකෙත් එහෙමයි. හවසට ගෙදර යද්දි උණ. ගිහිං වොෂක් දාල කනව. කනව කිව්වට කොහොම කන්නද. කට තිත්තම තිත්තයි. අම්ම හදල දුන්නු ලුණු කැ‍ෙඳ් බලෙන් තමයි ඔළුව උස්සගෙන හිටියෙ. පස්සෙ බෙහෙත් බීල නිදා ගන්නව. උදේට උණ බැහැල. ලක ලෑස්ති වෙලා විභාගෙට යනව. හවසට ආයෙ උණ.

ඔහොම දවසි තුනක් විතර ගියාම තමයි ලෙඩේ හොඳ වේගෙන එනව කියල ඇඟට දැනෙන්න ගත්තෙ. විභාගෙට ලිව්වෙ මොනාද කියලනං දැං මතක නෑ. ඒත් එක දෙයක්නං මතකයි. වෙලාව මදි වෙච්චි නිසා ගණං පේපර් එකේ අන්තිම ගාන හැදුව නිකං ආවේස වෙලා වගේ.

කොහොමින් කොහොමින් හරි මම විභාගෙ විෂයන් ඔක්කොම ටික ලියා ගත්ත. ඊට මාස ගානකට පස්සෙ ප්‍රතිඵල ලේඛණය බැලුවම මට තේරුණා මගේ මහන්සිය අපතෙ ගිහිං නැති බව. ඉංග්‍රීසි සාහිත්‍යයට තිබ්බෙ “S” එකක්. චිත්‍ර වලට තිබ්බ “B” එකක්. අනිත් ඔක්කොම ඉතිං “A” තමයි.

_____
පින්තූරය
http://www.englishexercises.org/makeagame/my_documents/my_pictures/2010/mar/7AD_Hurdles_-_Cartoon_1.jpg

Sunday 11 December 2011

මාළුවා මට්ටු කිරීම




“කල්ප, ඊයෙ හවස ආපු ‘ඔෆිස් ටේබල් වගයක් පහල බාල ගිහිං. මෙන්න ෆයිල් එක. සිකුරිටි එකෙන් ඒ ටික අරගෙන ගබඩාවට දාල දාන්න පුළුවන්ද?

එහෙම කියල විජේසිංහ මහත්තය උදේම මට වැඩක් පැවරුව.

“උදව්වට ආරච්චිවයි, සිරීවයි එක්ක යන්න...

“හරි මහත්තයෝ...” කියල කාර්ය සහයක ඩබලත් එක්කරගෙන මමත් වැඩේට පිටත් උනා.

ලිපි ලේඛන වැඩ වලට මහ වෙලාවක් ගියේ නෑ. පරීක්ෂා කිරීම් කීපයකිනුයි, අත්සන් කීපයකිනුයි ඒ වැඩටික ඉවරයි. ඊලඟ රාජකාරිය තමයි මේස ටික ගබඩාවට ගිහින් දාන එක. ගබඩාව තියෙන්නෙ පළවෙනි තට්ටුවේ. එතනට මොනා හරි ගෙනියන්න තියෙන්නෙ ක්‍රම දෙකයි. එකක් පඩිපෙළ දිගේ ගෙනියන එක. අනික ලිෆ්ට් එකේ උඩට අරන් යන එක. මේස හයක් ගැන කතා කරද්දිනං එකම විකල්පය තමයි ලිෆ්ට් එක.

ඔන්න ඔය ලිෆ්ට් එක මං හිතන විදියට එක්දාස් නමසිය බර ගණන් වල නෙමෙයි ඊටත් ඉස්සෙල්ල ඔතන හයි කරපු එකක්. අර දැල් දොරවල් තියෙන, උඩ පහළ යද්දි එළිය පේන විදියෙ එකක්. මේ ජාතියෙ ලිෆ්ට් දැන් තියෙන අළුත් ඒව වගේ තනියෙන් ක්‍රියා කරවන්න පුළුවන් ස්වයංක්‍රීය ඒව නෙවෙයි. මේකට වෙනම ලිෆ්ට් ඔපරේටර් කෙනෙක් ඕනි. ඉතින් එදා ලිෆ්ට් ඔපරේටර් වැඩේ බාරවෙලා තිබ්බෙ අපේ කන්තෝරුවෙ ‘මාළුවට’.

මනුස්සයගෙ ඇත්ත නම මම දන්නෙ නැහැ. කන්තෝරුවෙ හැමෝම වගෙ මනුස්සයට කියන්නෙ ‘මාළුව’ කියල. මාළුව ගැන කරන්න පුළුවන් හොඳම පැහැදිලි කිරීම අනෙත් අයට කරන උදව්වක් විදියට මාළුවගෙම ලොකර් එකේ පිටපැත්තෙ වෙන කවුදෝ හුණු කෑල්ලකින් ලියල ගිහින් තියෙනව.

“මාළුව හොරා!”

හතරැස් මූණකුයි, බුරුසු උඩු රැවුලකුයි, ලා දුඹුරු පාට කෛරාටික ඇස් දෙකකුයි තියෙන මාළුව කන්තෝරුවෙ ඉන්න ජල්තර් කාරයො අතරත් හොඳම වර්ගෙ ජල්තර් කාරයෙක්. මනුස්සයගෙ රෙකෝඩ් එකේ ඔය පොඩි පොඩි හොරකං ඇරුණම බේගල් ඇදබාල මඟුල් ජෝඩු කරල දෙපාර්ශවේම සල්ලි වලට විදීම වගේ සීරියස් කේසුත් තියෙනව. ඉතින් මාළුව ගැන දන්න හැමෝම පොරව ආශ්‍රය කරන්නෙ පරිස්සමට වගේම අතේ දුරින්.

“මොනාද මහත්තයෝ කරන්ඩ තියෙන්නෙ?”

ඇ‍ෙඟ් මුළු බරම දාල ලිෆ්ට් එකේ දොර අයිනටම තල්ලු කරන ගමං මාළුවා ඇහැව්ව.

“මේ මේස ටික උඩ තට්ටුවට දා ගන්න ඕනි.”

“හැබැයි මහත්තයෝ ගෙනියන්ඩ වෙන්නෙ එක මේසෙ ගානෙ තමයි.”

“හරි... කමන්නෑ...”

දැං ඉතිං ආරච්චියි, සිරියි මේස එක එක පටවගෙන ගිහිං උඩ තට්ටුවෙන් බාල එනව. එතකං මං පහල තට්ටුවට වෙලා ඉතිරි මේස ටික මුර කරනව. මේ විදියට කිසි අවුලක් නැතුව ලිෆ්ට් එක තුන් පාරක් උඩ පහල ගියා. හතරවෙනි මේසෙ උඩ තට්ටුවෙන් බාල පහලට ආපු වෙලාවෙ තමයි මාළුව වැඩේ පත්තු කරේ.

“මහත්තයො... දැං තේ බොන වෙලාවනෙ. මං ගිහිං තේකක් බීල එන්නං.”

“හරි ඉතිං... මේ මේස දෙකත් උඩට දාල යං. ඕන්නං තව විනාඩි පහක් යයි.”

බුලත් කාල කහට ගැහිච්ච දත් ඇන්ද පේන්ඩ කින්ඩි හිනාවක් දාල හෙමීට ලිෆ්ට් එකේ දොර වහපු මාළුව ඉබ්බ තද කරන ගමන් මෙහෙම කියපි.

“එහෙම බෑනෙ මහත්තයෝ... තේ වෙලාවෙ මාත් තේ බොන්ඩ එපැයි. ඔන්න මහත්තය මට රුපියල් සීයක් විතර දෙනවනං මං ඉඳල අනෙක් මේස දෙකත් උඩට දාල දීලම යන්නං.”

මාළුව වටෙං ගොඩිං ආවෙ ඕන්න ඔතෙන්ට. මිනිහ දැනං හිටිය ආයෙ කීයට හරි මිනිහම ඇවිත් මේස දෙක උඩට දාල දෙනකං මට මෙතනටම වෙලා ඉන්න වෙන විත්තිය.

“එහෙනං එහෙමයි... නේ?” කියල මං මටම කියා ගත්ත. රුපියල් සීයක් දීල මං මෙතන වැඳ වැටෙයි කියල හිතෙනවනං මනුස්සයට වැරදිල. ඇයි යකෝ! මුං මෙතන වැඩ කරන අපෙනුත් ගාන කඩා ගන්නවනං පිටිං වැඩක් කරගන්න එන අයට මොනා නොකරයිද?

“නෑ... නෑ... ගිහිං තේකක් බීල එන්ඩ... අපි ඉන්නං...” හිතේ ඇතිවෙච්චි තරහත් එක්කම මං කියල දැම්ම.

මාළුවත් නිකං අමුතු බැල්මක් දාල කැන්ටිම දිහාවට යන්න ගියා.

“ඕකා තව පැයකටවත් එන්නෙ නෑ... ඕං බලන්ඩ බොරුනං...” මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය ආරච්චි කිව්ව.

“බලමුකො...”

දැං ඉතිං වෙන කරන්ඩ දෙයක් නැති නිසා අපිත් බලං ඉන්නව.

විනාඩි දහයක් ගියා...

මාළුව නෑ... තවම තේ බොනව ඇති.

විනාඩි විස්සක් ගියා...

ම්හු... තවම නෑ... දැං බුලත් විටකුත් කාල එන්ඩ වෙලාව.

පැය බාගයක් ගියා...

මේකා... තාම නෑ! දැන්නං මට ඌරු ජුවල්.

ඒ අතරෙ ආරච්චියි, සිරීයිත් කංකෙඳිරි ගානව “රස්තියාදුව” කියල. මොකද කරන්නෙ කියල මං කල්පනා කරනව. කරන්ඩ මුකුත් එකපාරටම මීටරේට වැටෙන්නෙත් නෑ. අන්තිමට ආරච්චිටයි, සිරීටයි “පොඩ්ඩක් ඔහොමම ඉන්ඩ... මං විනාඩියෙං එන්නං...” කියපු මම විජේසිංහ මහත්තයව හොයාගෙන එන්න පිටත් උනා.

මට වැඩි දුරක් යන්න ඕනෙ උනේ නෑ. පඩිපේළිය මැදදි විජේසිංහ මහත්තයව මුණගැහුන. විජේසිංහ මහත්තයත් මං මොකක්ද කරගෙන තියෙන්නෙ බලන්ඩ පහලට එන ගමං. මෙච්චර වෙලා යද්දි විජේසිංහ මහත්තයට හිතෙන්ඩ ඇති මං වැඩේ අල කරගෙනවත්ද කියල.

“මොකද කල්ප උනේ?”

මං ඉතිං විස්තරේ එහෙමපිටින්ම කියල දැම්ම.

“හාඃ යංකො...” කියපු විජේසිංහ මහත්තය මාවත් එක්කගෙනම ගියා ‘එච්. ඕ.’ ව හම්බ වෙන්න. ‘එච්. ඕ.’ එහෙමත් නැත්තං ‘ප්‍රධාන ඕවසියර්’ තමයි මාළුව වගේ කන්තෝරුවෙ සුළු සේවකයන්ගෙ වැඩ ගැන වගකීම දරන්නෙ. ඒ නිසා කන්තෝරුවෙ සුළු සේවකයො කාට නැතත් එච්. ඕ. ට බයයි. ඇයි එච්. ඕ. ට කේස් එකක් දැම්මොත් ආයෙ ඕ. ටී. (අතිකාල දීමනා) අරගෙන හමාරනෙ.

“රත්නායක, මේ වැඩේ මෙහෙම කරන්න බෑනෙ. අතන මේස ටික උඩට ගේන වැඩේ බාගෙට දාල ලිෆ්ට් එකේ වැඩකරන මනුස්සය තේ බොන්ඩ ගිහිං... දැං බලන්ඩ වෙලාව කීයද කියල? අපි මෙහෙ රස්තියාදු වෙනව. ඒ මදිවට වැඩේට මේ මහත්තයගෙං සල්ලිත් ඉල්ලල.” විජේසිංහ මහත්තය මාව පෙන්නන ගමං එච්. ඕ. ට කියද්දි මං කරේ ඔළුව වනල ඒක අනුමත කරපු එකයි. කියන්න ඕනි වෙච්චි අනිත් හැමදේම විජේසිංහ මහත්තය කියපු ටිකේ තිබ්බ.

“මහත්තයල යංකො ලිෆ්ට් එක ගාවට” එච්. ඕ. ත් මූණට බැරෑරුම් පෙනුමක් අරගෙන කිව්ව.

විනාඩි පහකට විතර පස්සෙ මෙන්න මාළුව එනව, එච්. ඕ. පිටිපස්සෙං, නිකං හොර පූස වගේ. විජේසිංහ මහත්තයත් එතන ඉන්නව දැක්කමනං මාළුවට හිතෙන්න ඇති වැඩේ ‘දෙල්’ තමයි කියල. මොකද අපි වගේ නවකයින්ට දාන සෙල්ලං විජේසිංහ මහත්තයල වගේ කන්තෝරු රස්සාවෙන් පදං වෙච්චි අයට දැම්මොත් ඉතිං ඉවරයි තමයි. කොහොම උනත් විජේසිංහ මහත්තයට ඒ වෙලාවෙ වැඩේ දුරදිග ගෙනියන්න අදහසක් තිබ්බෙ නෑ.

“... ඉස්සෙල්ල රාජකාරිය කරල ඉන්නව. විනාඩි දහයක් එහා මෙහා උනා කියල කැන්ටිමේ තේ නැති වෙන්නෙ නෑනෙ...”

එච්. ඕ. ගෙ දෝස් මුරේ (බයානක ඕ. ටී. නවත්තන කතාවකුත් එක්ක) අහගන්න ගමන්ම මාළුව ඉතිරි මේස දෙකත් උඩ තට්ටුවට ගෙනත් දැම්ම.

පස්සෙ හෙමීට මාළුව මගෙං අහනව...

“මං මහත්තයගෙං රුපියල් සීයක් ඉල්ලුවෙ විහිළුවටනෙ. ඇයි ඉතිං ඒක එච්. ඕ. ට කිව්වෙ?”

“ආඃ තමුසෙ මුකුත් නොදන්න තොත්ත බබා...” කියල කියන්න හිතුනත් අන්තිම මොහොතෙදි මම ඒ අදහස වෙනස් කරල,

“කලිං කියන්න එපැයි... කවුද දන්නෙ විහිළුවක් කියල... මං හිතුව ඇත්තටම කිව්වෙ කියල...” කිව්ව.

මාළුවට වගේම මටත් ඔය මුකුත් නොතේරෙන බබා පාට් එක රඟපාන්න බැරි කමක් නෑනෙ.

_____
පින්තූර
http://images.clipartof.com/small/437796-Black-And-White-Outline-Design-Of-A-Tempted-Fish-Staring-At-A-Hook Poster-Art-Print.jpg

Saturday 3 December 2011

චිත්‍රය



මොනාද මේ ඇඳල තියෙන්නෙ?”

වර්ණපාල සර්ගේ ස්වරය එතරම්ම හොඳ නැත. මා විසින් අවසන් වරට අඳින ලද චිත්‍රය ඔහු අත වූ අතර ගුරුතුමාට තරහ යන්නට තරම් චිත්‍රයේ වූ අඩුපාඩුව කුමක්දැයි සොයාගන්නට මම මගේ මතකය හාරා අවුස්සමින් සිටියෙමි.

ආඃ ළමයො! මොකක්ද මේ.

එවර මුළු පන්තියටම ඇසෙන ලෙස ඔහු ගර්ජනා කරන්නට විය.

ච... චන්ද්‍රිකාවක්

මොකක්!

චන්ද්‍රිකාවක්... සර්...

ගුරුතුමාගේ බැල්ම චිත්‍ර පොතත් මගේ මුහුණත් අතර කිහිප වරක් හුවමාරු විය. ඒ අතරවාරයේ උපැස් යුවලට ඉහලින් ටිකින් ටික එකිනෙකට ලං වන ඔහුගේ ඇහි බැම සඟල ලඟ එන කුණාටුවක පෙරනිමිති පල කළේය.

නොබෝ වේලාවකින් තොහ්!හඬින් චිත්‍ර පොත මගේ මේසය මත පතිත විය. බැණුම් වරුසාව ඇදහැලීමට පෙර බිම බලා ගත් මම පිටට හෝ ඔළුවට හෙනයක් පාත් නොවේවායි උදක්ම ප්‍රාර්ථනා කළෙමි.

චිත්‍රයක් අඳින්න දුන්නහම වැදගත් දෙයක් අඳිනව... නිකං පිස්සු විකාර කරන්නෙ නැතුව... අනින්න හිතෙනව ඔළුව හිල් වෙන්න ටොක්කක්...

මම මොහොතකට ඇකිලී ගියෙමි.

“ ...එනව මෙතන චන්ද්‍රිකා අඳින්නයි මුමුණමින් වර්ණපාල සර් ඉවත යනු තවමත් බිම බලාගෙන සිටීම නිසා සීමාවූ දර්ශණ පථයේ කෙළවරකින් මම දුටුවෙමි.

හිස එසවීමට තරම් ධෛර්යයක් ගොණුකර ගැනීමට තවමත් මම අපොහොසත්ය. කැමති මාතෘකාවක් යටතේ චිත්‍රයක් ඇඳීමේ වරදට පන්තිය ඉදිරිපිට - කොල්ලන් සහ කෙල්ලන් පනස් හතක් ඉදිරිපිට - මා හාස්‍යයට ලක්වී ඇත. සිදුවූ ලැජ්ජාව බෙල්ලේ එල්ලූ යකඩ බරුවක් මෙන් දැනේ. නමුත් වර්ණපාල සර්ට ඩෝං යන්නටතරම් මං කල වැරැද්ද කුමක්ද?

තවත් චිත්‍ර කිහිපයක ගුණ දොස් විවරණය කල වර්ණපාල සර් අද දිනට නියමිත මාතෘකාව (වැවක දිය නාන ළඳුන් පිරිසක්’) කළු ලෑල්ල මත තඩි පොල් ගෙඩි අකුරෙන් ලියා නැවතත් පන්තිය වටා සක්මන් කරන්නට විය. ඒ අප චිත්‍ර අඳින ආකාරය නිරීක්ෂණය සඳහායි. කාලඡේදයේ ඉතිරි හරිය නිහඬව චිත්‍ර පොතේ කුරුටු ගාමින් ගතකලත් මගේ සිත තවමත් නොසන්සුන්ව ගුරුතුමාට එරෙහිව කැරළි ගසයි.

කැමති මාතෘකාවකට චිත්‍රයක් ඇඳන් එන්න කියල කිව්වෙත් සර්මයි... මම චිත්‍රෙ බාගෙට ඇඳන් ආවෙත් නෑ... එහෙනං මොන එහෙකටද දැන් මට බැන්නෙ?”

ගිය සතියේ කැමති මාතෘකාවක් යටතේ චිත්‍රයක් ඇඳන් එන්න යැයි ගුරුතුමා කී විට ඒ පිළිබඳව මම සංතෝෂ වීමි. මට මං කැමතිම දෙයක් චිත්‍රයට නැගිය හැක. ඒ අන් කිසිවක් නොව තාරකා විද්‍යාව සම්බන්ධ යමකි.

තාරකා විද්‍යාව පිළිබඳ එක්තරා ආකාරයක පිස්සුවකට සමාන උනන්දුවක් මට ඇත. මෙය මගේ යහළුවන් අතර කෙතරම් ජනප්‍රියද යත් වෙසක් කාලයට හුවමාරු වන වෙසක් පත් වල මගේ නමට අමතරව විද්‍යාඥයාලෙස ලියා එවීමට එයින් සමහරක් දෙනා පුරුදු වී සිටියහ. මා ලියන රචනා වලට, සාහිත්‍ය සමිතියේ පවත්වන කතා වලට තාරකා විද්‍යාවට අයත් කරුණු කාරණා කාන්දුවීම නිතැතින්ම සිදුවූ දෙයකි. එම පිස්සුවම මගේ අධ්‍යාපන කටයුතු වලටද රුකුලක් බව මම විශ්වාස කළෙමි. උදාහරණයක් ලෙස, පාසැල් පුස්තකාලයේ වූ තාරකා විද්‍යා විෂය සම්බන්ධ ඉංග්‍රීසි පොත් බැරි බැරි ගාතේ කියවීම මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනයට බලපෑ ප්‍රධාන සාධකයකි.

නමුත් දැන් සිදුව ඇත්තේ අනෙකකි...

විෂයක් ලෙස චිත්‍ර තෝරා ගැනීම ගැන මේ මොහොතේ දහස්වන වරටත් මම කලකිරී සිටියෙමි. මට තිබුණේ නැටුම් තෝරා ගන්නටයි. එසේ නොකිරීම අන්තිම මෝඩ කමකි. අඩුම වශයෙන් මේ වසරේදී පටන් ගත් ඉංග්‍රීසි සාහිත්‍යය විෂයවත් තෝරගත්තානම්... දැන් එයටද ප්‍රමාද වැඩිය.

පැන්සල අනවශ්‍ය තරම් බර කොට චිත්‍ර පොත මත කුරුටු ගාන්නට වූ මම හිතේ කැකෑරෙමින් පැවති ආවේගය සුදු පැහැති බී 4කඩදාසිය මත තිරස්, සිරස්, ඇල සහ වක්‍ර ඉරි ලෙස පිටකර හරින්නට වීමි. හිතේ ආවේගය ටිකින් ටික බැහැර වන්නට වූ විට කාරණයද ටිකින් ටික පැහැදිලි වන්නට විය.

වර්ණපාල සර් මෙසේ මට කෑ ගැසීම අසාධාරණය. නමුත් තර්කය විය යුත්තේ එය නොවේ. මා තෝරාගත් මාතෘකාව සාධාරණීකරනය කරන්නට යෑමෙන් මෙතැනදී පලක් නැත. වැදගත් එකම දෙය නම් ගුරුවරයා සෑහීමට පත්වන ආකාරයේ චිත්‍රයක් ඇඳ පෙන්වීම පමණකි. පන්ති කාමරයේදී මෙන්ම විභාගයේදීද එය එසේමය. ළකුණු ලැබෙන්නේ එවිටය.

අනෙත් අතට වර්ණපාල සර් දන්නා තාරකා විද්‍යාවක්ද නැත.


_____
පින්තූරය
http://www.clipartguide.com/_named_clipart_images/0511-0905-2605-2038_Teacher_Yelling_at_a_Student_clipart_image.jpg

Tuesday 22 November 2011

ටේප් ඩිස්පෙන්සරේ කතාව



මේ මොකක්ද කියල දන්නවනෙ? මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ “Tape Dispenser” කියල. සිංහලෙන් කියන්නෙ මොකක්ද කියලනං දන්නෙ නෑ. පිංතූරෙ තියෙන ටේප් ඩිස්පෙන්සරේ නිකං පෞරාණිකයි වගේ පේනව නේද? ඒ ඉතිං ඕක එච්චරටම පරණ හින්ද. ඒ වගේම මොකක් හරි වෙනසකුත් මේකෙ පේන්නෙ නැද්ද? එහෙම පේන්නෙ නැත්නං මේ පහල තියෙන පිංතූරෙ පොඩ්ඩක් බලන්න.




දැන් පේනව නේද මේ ටේප් ඩිස්පෙන්සරේ සුළු අලුත්වැඩියාවක් කරල නැවත සේවයට එකතු කර ගත්තු එකක් කියල. ඔය ගැන පොඩි කතාවක් තියෙනවා.

ඒ අපි කන්තෝරුවෙ පත්වීම ලබල ආපු අළුත. අපේ ලිපිගොණු වල වැඩ කටයුතු කරල අපිව අදාල අංශ වලට යොමු කරනකං දවස් දෙක තුනක් කල් මරමින් (හරියටම කියනවනං නිදි කිරමින්) ඉන්න උනා. ඔහොම ඉලා... ඉලා... අන්තිමේදි අපේ බැජ් එකේ මායි අකිලයි වැටුනෙ එකම අංශයක රාජකාරියට. ඒ වෙනකොට අපිට මාස හයකට ඉස්සෙල්ල ආපු බැජ් එකේ හිටපු ඉන්දික අයියත් හිටියෙ එතන. ඊට අමතරව තව හතර දෙනෙක් එතනම රාජකාරි කලා. ඔය කියපු හතර දෙනාගෙන් දෙන්නෙක් අපි තුන්දෙනත් එක්ක හොයි. ඒ උනාට ඉතිරි දෙන්න, අංශෙ ලොක්ක සහ ඩිපියුටි-ලොක්ක අපිත් එක්ක නිතරම මොකක්දෝ තරහකින් හිටියෙ. ඒකට හේතුව මට තවමත් හරියට හිතා ගන්න බැහැ. ඒත් උපාධියක් තියෙනව හරි, උපාධියක් කරමින් ඉන්නව හරි කිව්වොත් පන්න පන්නා පළි ගන්න ආකාරයේ වැඩ කරන “පරණ කට්ටිය ගොඩක් අපේ කන්තෝරුවේ හිටිය. දැනටත් ඉන්නවා.

අපේ උසස් අධාපන සුදුසුකම් ඒ වගේ අයට නොකිය ඉන්න පහු කාලෙක අපි පුරුදු උනත් කන්තෝරුවට ගිය අළුත ඒ වගේ ආරක්ෂක පියවරවල් අනුගමනය කරන්න අපි දැනගෙන හිටියෙ නැහැ. ඉතිං ඕකෙන් මේකෙන් උනේ අපි තුන්දෙනා සහ ලොක්කො දෙන්න අතර නිතර දෙවේලෙ වලි ඇතිවීම. කොටින්ම කිව්වොත් ඒ කාලෙ අපි රාජකාරි කරපු අංශයේ වාතාවරණය “වලියට බරයි.

ඔහොම ඉන්නකොට තමයි එක දවසක් අපිට මේසයක් උඩ ඔහේ දාල තිබ්බ ඔන්න ඔය ටේප් ඩිස්පෙන්සරේ ඇහැගැහුනෙ. ඒ වෙනකොට ඒකෙ තිබ්බ සෙලෝටේප් රෝල රඳවන මැද රවුම බාගෙට කැඩිල. දන්නවනෙ ඉතින් රස්සාව හම්බවෙලා කන්තෝරුවට ගිය අළුත කට්ටියගෙ හැටි. නිකං ඉන්නෙ “රට හදන්නං” කියන මානසිකත්වයෙන්නෙ. ඉතින් අපි කලේ අපේ නඩත්තු අංශයේ කෙනෙක්ට කියල ඔය තියෙන විදියට මැදට ලී වලින් කෑල්ලක් හයි කරල ටේප් ඩිස්පෙන්සරේ අළුත්වැඩියා කරගෙන ආපු එකයි.

ඕක දැකල අපේ ලොක්කො දෙන්න හොඳටම හිනා උනා. වෙන කාටවත් නෙමෙයි. අපිට! කිසිම වැඩකට නැති දේකට මහන්සි වෙලා කියල. ඔයිට වැඩිය හොඳයි අළුත් එකක් ගත්තනං කියල.

දැන් ඔය සිද්ධිය වෙලා අවුරුදු තුනක් වෙනව. ලොක්කො දෙන්නම මාරුවීම් ලැබිල ගිහින්. අංශයට අළුත් අය ඇවිල්ල. ඒත් අංශයේ තියෙන එකම සහ තවමත් හොඳින් වැඩ කරන ටේප් ඩිස්පෙන්සරේ තමයි ඔය.

Thursday 17 November 2011

වෙස් මාරුව




ජීවිතයේ එක් එක් අවස්ථා වලදී වැදගත් සන්ධිස්ථාන පසු කරීමට අපට සිදු වේ. පාසැල් ජීවිතයේ නිල් කොට කලිසමින් සුදු දිග කලිසමට මාරුවී දෙවෙනි අවුරුද්ද වෙද්දි මුහුණ දිය යුතු එවන් අවස්ථාවකට මුහුණ දෙන්නට පෙර ගෙවී යන සූදානම් වීමේ කාලය ඇරඹී ඇත. හරියටම කිවහොත් ඉදිරියෙන් ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයයි. “සා/පෙ වෙනුවෙන් කල යුතු වූ ලොකු වැඩ කොටසක් හිස මත පැටවී ඇත. මේ අවුරුද්දේ ඉදිරියට එන දවසක් දවසක් ගානේ ඒ වැඩ කන්දරාවේ පීඩනය ටිකින් ටික වැඩි වේවි. කෙසේ වෙතත් ඉදිරි ගමනට උපරිම ජවය යෙදවීමට මම තීරණය කර සිටියෙමි. ඒ සාමාන්‍ය ජයග්‍රහණයකට වඩා වැඩි යමක් මට අවශ්‍ය වූ බැවිණි.

නමුත් ඒ සහා සම්පූර්ණ කල යුතු අවශ්‍යතා ඇත. එයින් එකක් නම් ‘B’ සාමාර්ථයේ පුර පක්ෂය සහ ‘A’ සාමාර්ථයේ අව පක්ෂය අතර දෝලනය වන මගේ ගණිත විෂයේ ලකුණු මට්ටම ‘A’ සාමාර්ථයෙන් පහලට නොවැටෙන තැනකට ගැනීමයි. මෙතෙක් නිවාඩු පාඩුවේ ගතකල විවේකී සෙනසුරාදා දවසේ උදේ වරුව ඉදිරි වසර පුරාවටම කැපකිරීමට සිදු වන්නේ ඒ සහායි. ඔව්! අද පටන්... විභාගය තෙක්...

“හරි! පනිමු...

ඒ හඬින් මම කල්පනා ලෝකයෙන් සැබෑ ලෝකයටත්, ඉන් කහ ඉර අසල පදික වේදිකාව මත සිටගෙන සිටි මගේ රූප කාය වෙතටත් පැමිණියෙමි. රූප කාය තුල මනෝ කාය හරි-බරි ගැසීමට ගතකල තත්පර බාගය තුල කහ ඉර මතින් පියවර කීපයක් ගොස් සිටි මගේ මිතුරා, සතිර පසුපස මමද පියවර එසවීමි. කහ ඉරෙන් එගොඩ වී පාරේ අනෙක්පස පදික වේදිකාවට නැගගත් අප දෙදෙනා ටියුෂන් පන්ති පැවැත්වෙන ගොඩනැගිල්ල දෙසට ඇවිද යන්නට වීමු.

සතිර මට වඩා අඩියකින්වත් උසින් වැඩිය. එබැවින් සම වයස් කාණ්ඩයේ “කොට මොඩල්” එකක් වූ මට ඔහුගේ දිගු පියවර ඇති ගමන් විලාශය හා පෑහීමට කඩිමුඩියේ ගමන් කිරීමට සිදුවිය. වාසනාවකට මෙන් පදික වේදිකාව තවමත් කලබලකාරී නැත. වේලාව උදෑසන හතයි තිහ පසුවූවා පමණි. පදික වේදිකාවට මුහුණලා ඇති කඩවල් එකින් එක ඇරෙන්නේ දැනුයි. බාගෙට උඩට එසවූ “රෝල් දොරවල්” පාමුල දැල්වෙන ගිණි කබල් වලින් පොල් කටු බි‍‍‍‍‍‍‍‍‍ෙඳන සිහින් “ටිස්, ටිස්” හඬත් සමග නගින ගින්නත්, පදික වේදිකා ගැටිය සහ තවත් ගල්ගෙඩි දෙකක් මත තබන ලද මිදුණු පොල් තෙල් බැරල වලට යටින් තැඹිලි, කොළ සහ නිල් පැහැය මිශ්‍රිතව ඇවිලෙන කඩදාසි ගින්නත් සීතල පදික වේදිකාව උණුසුම් කළේය. තවමත් විවෘත කර නැති කඩවල් වල සිමෙන්ති පිළේ දිගටි, අපිරිසිදු රෙදි කඩමාළු ගොඩවල් ලෙස දිස්වන්නේ නින්දේ පසුවන යාචකයන් කීපදෙනෙකි. ජීවිතේ...!

“කල්ප, ඉක්මනට යමු. පරක්කු වෙනව.” සතිර අඩිය ඉක්මන් කරන ගමන්ම පැවසීය.

“තාම හතහමාරයි. ක්ලාස් අටටනෙ පටන් ගන්නෙ.” මම යාන්තමට විරුද්ධත්වය කැටිවූ ස්වරයකින් පැවසීමි.

“අද පළවෙනි දවස නිසා දැන් ඉඳන්ම සෙනඟ ඇති. පරක්කු උනොත් පස්සෙ බංකුවක්වත් අල්ල ගන්න බැරි වෙනව. ඔක්කොම කාඩ් ටික දීල ඉවර කරල තිබ්බොත් හැරිල එන්න තමයි වෙන්නෙ.”

ටියුෂන් පන්ති පිළිබඳ සතිරට මට වඩා අත්දැකීම් ඇත. මෙතෙක් වූ පාසැල් කාලය තුල යටත් පිරිසෙයින් ඔහු ටියුෂන් පන්ති හතරකට හෝ පහකට ගොස් ඇත. ඒ අතින් බලන විට මම තවම සහභාගී වී තිබුණේ ටියුෂන් පන්ති එකකට පමණි. ඒත් මීට අවුරුදු තුනකට පමණ පෙර ගමේ කුඩාවට පවත්වන්නට යෙදුනු ඉංග්‍රීසි පන්තියකටයි. එබැවින් මම සතිරගේ උපදෙස පිළිගෙන ගමන ඉක්මන් කළෙමි.

විනාඩි පහක ඉක්මන් ගමනකින් පසු ගමනාන්තයට පැමිණීමට අප දෙදෙනා සමත් විය. තෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි පහලම මාලය සිල්ලර බඩු කඩයකි. “තක්ෂිලා” ලෙස කියවුණු විශාල නාම පුවරුවක් උඩ තට්ටුවේ ගරාදි වැටේ ගැටගසා තිබුණි. කඩයේ වම් පස බිත්තියත් යාබද වෙළඳසැලේ දකුණු පස බිත්තියත් අතරින් ඉහලට ඇදුණු දෙදෙනෙකුට යාන්තමට මාරුවීමට තරම් ඉඩකඩ තිබූ පටු පඩිපෙළ නැගගෙන ගොස් මමත් සතිරත් තක්ෂිලාවට ගොඩ වැදුනෙමු.

නව ළමයින් ලියාපදිංචි වන තැන වැඩි සෙනගක් නැත. ඉන් එහා ඇති පන්ති කාමරයේ දැනටමත් කිහිප දෙනෙක් අසුන්ගෙන ඇති බව එයින් එන කසු කුසුව අනුව සිතාගත හැක.

“අපි මේ පියතිලක සර්ගෙ ගණං ක්ලාස් එකට බැ‍ෙඳන්න කියල.”

සතිර මේසය පසුපස සිටි උස, හීන්දෑරි පුද්ගලයාට අපගේ අවශ්‍යතාවය පැහැදිලි කළේය.

“ආඃ! පොඩ්ඩක් ඉන්න” කියූ ඔහු හිස් අයදුම්පත්‍ර දෙකක් අප දෙදෙනා ඉදිරියේ මේසය මත තැබුවේය.

“දැන් ඔය පුතාල දන්නවද මේක පුරවන්න?” ඔහු කාරුණික ස්වරයෙන් ඇසීය.

අප දෙදෙනා හිස වනා “පුළුවනි” ලෙස සන් කළෙමු.

“ඔය දෙන්නා කරන්න යන්නෙ ගණං විතරද? ඇයි සමාජ අධ්‍යයනය කරන්න එහෙම අදහසක් නැද්ද?” නැවතත් අර මිත්‍රශීලී ස්වරයෙන්ම ඔහු ඇසීය.

“නෑ. ගණං විතරයි.”

“හොඳයි, හොඳයි සමාජ අධ්‍යයනයටත් උදව් ඕනිනම් මගේ පන්තියටත් එන්නකො.”

“පොඩ්ඩක් ඉන්න!” මම මටම කියා ගතිමි. මම මේ මුහුණ දන්නවා නොවේද? ඔව්! මට වරදින්නට විධියක් නැත. මේ පොකුටු කොණ්ඩය... මේ හීනි උඩු රැවුල... මේ අපේ ගමේ පාසැලේ සමාජ අධ්‍යයනය ගුරුවරයායි. මම ගියේ ගමේ පාසලට නොවුනත් එයින් සංවිධානය කරන ලද අධ්‍යාපන චාරිකාවකට සහභාගී වීමට අවස්ථාවක් ලැබීම නිසා මෙම ගුරුතුමා ගැන මම දැන සිටියෙමි.

ඔහු පාසලේදී පුදුමාකාර ලෙස කිපෙන ගුරුවරයෙකි. ළමයින්ට අයිසෙ, තමුසෙ ආකාරයේ බස් වහරකින් අමතන ඔහු එහිදී දැන් පෙන්වන තරම් ආචාරශීලීවත් කරුණාවන්තවත් නැත. ගුරුතුමා පාසලේදීත් මෙහිදීත් උගන්වන්නේ එකම විෂයක් බැවින් මෙයට එහි සම්බන්ධයක් තිබීමටද නොහැකිය. ඔහු පාසලට යද්දී තමන්ගේ ආචාරශීලී බව වෙන කොහේ හෝ තබා යනවාද? නැතිනම් ඔහු ඉන් පිට වන්නේ තමන්ගේ සැර පරුෂ බව එහි තබාද? පාසලේදීට වඩා වෙනස් ස්වරූපයකින් මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතනයේදී මෙම ගුරුතුමා හැසිරීමට හේතු විය හැක්කේ කුමක්ද?

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් දෙකත් සමඟ අදාල මුදල් දී අපි අපගේ පන්ති කාඩ්පත් ලබා ගන්නා විටත් මම කල්පනා කරමින් සිටියේ ඒ ගැනයි. එම සීයේ නෝට්ටු දෙක ගුරුතුමා මේස ලාච්චුවට දමන අවස්ථාවේදී එකම එක් අදහසක් මසිතෙහි ඇඳී මැකී ගියේය.

“සල්ලි!”

ගුරුතුමාගේ සිනහවට - එය ව්‍යාජද අව්‍යාජද කීම අපහසුය - පෙරළා සිනහවකින් සංග්‍රහ කල අප දෙදෙනා පන්තිය වෙත පියමැන්නෙමු.

“වෙන්න පුළුවන්ද?” මම මගෙන්ම ප්‍රශ්ණ කර ගතිමි.

_____
පින්තූරය
http://attractioninstitute.org/personal-diary/wp-content/uploads/2011/07/masks.jpg


Friday 11 November 2011

ඕක දාගෙනද ආවෙ?




කන්තෝරු යනව කියන්නෙත් ලේසි පාසු වැඩක් නෙවෙයි. බස් වල, කෝච්චි වල හිරවෙලා ට්‍රැපික් එකේ පැය ගණන් තැපල හො පණ යනව. ඒ වගේම කන්තෝරුවෙ වෙලාවට ඉන්නත් ඕනි. ඉස්සර නම් ඕක එච්චර දෙයක් නෙමෙයි කියල තමයි කන්තෝරුවෙ පරණ කට්ටිය කියන්නෙ. තමන් කන්තෝරුවට එන්න කලින් තමන්ගෙ අත්සන එවන්න ක්‍රම තිබිල තියෙනව. ඒත් අර අළුතෙන් ගෙනල්ල හයි කරපු “ඇඟිලි තියන“ මැසිම නිසා ඒ ක්‍රම ඔක්කොම දැන් අභාවයට ගිහින්. වැඩට ආව කියල සටහන් වෙන්නනම් අර මැසිමෙ ඇඟිල්ල තියන්නම ඕනි. ඒකට ඉතින් වෙලාවට වැඩට එන්න සිද්ධ වෙනව. ඔය නිසා ටිකක් විතර පරක්කු උන දවසට උදේ පාන්දරම මැරතන් එකක් එහෙමත් දුවන්න වෙනව.

මේ මොන සෙල්ලම දාලවත් වෙලාවට වැඩට යන්න බැරිවෙන දවස් තියෙනවා. වැස්ස දවස්, කෝච්චි පරක්කු වෙන දවස්, ප්‍රයිවෙට් බස් අයියලට ඩීසල් ගහන්න සල්ලි මදිවෙන දවස් වලට එහෙම කන්තෝරුවෙ ගොඩ දෙනෙකුට වෙලාවට වැඩට එන්න බැරුව යනව. (ඔයිට අමතරව යුද්දෙ තිබ්බ කාලෙදි පාරවල් ඇරිල්ලයි වැහිල්ලයි නිසාත් ගොඩක් වෙලාවට කන්තෝරු යන්න පරක්කු උනා.)

කොහොමින් කොහොමින් හරි තමන්ගෙ නොවන අතපසුවීම් නිසා ගොඩ දෙනෙකුට වැඩට එන්න පරක්කු වෙන දවසට කන්තෝරුවෙන් පොඩි සහනයක් ලැබෙනව. ඒ තමයි බස් ලේට් සහ කෝච්චි ලේට්.

මේ වැඩේ සිද්ද උනෙත් ඔය බසුයි කෝච්චියි ඔක්කොම පරක්කු උන දවසක. එදාට ඉතින් කන්තෝරුවෙන් තුන්කාලක් විතර වේලා සටහන් අංශය ල පෝළිං ගැහිල ඉන්නව ලේට් එක අත්සන් කරන්න. ඒ කියන්නෙ පරක්කු වෙලා ආව අයගෙ ලැයිස්තුවට තමන්ගෙ නමත් දා ගන්න.

ඉතින් ඔන්න ඔහොම කට්ටිය ඉන්නැද්දි වේලා සටහන් අංශෙ ලොක්ක, අපේ ගුණසිංහ මහත්තයට පේනවලු කෝච්චි ලේට් එක අස්සන් කරන්න ඉන්න පෝළිමේ මොකක්දෝ නොගැලපිල්ලක්. හරියට නිකං සුද්දො කන්දරාවක් මැද්දෙ එක කාපිරියෙක් ඉන්නකොට වගේ. ටික වෙලාවක් යනකං ගුණසිංහ මහත්තයටත් තේරුණේ නෑලු මොකක්ද මේ වෙනස කියල. පස්සෙලු වැඩේ තේරුණේ. එතකොටනං ගුණසිංහ මහත්තයගෙ ඉවසීමෙ මීටරේ රතු කට්ට පැන්නලු. කර කර හිටපු වැඩෙත් පැත්තකට දාල ගුණසිංහ මහත්තයත් ගියාලු අර කෝච්චි ලේට් අස්සන් කරන පෝළිම ල. මෙන්න ඉන්නවලු මනුස්සයෙක් බයිසිකල් ජැකට් එක නවල අත උඩ දාගෙන, ඒ අතින්ම හෙල්මට් එකත් අරගෙන වගේ වගක් නැතුව.

මේ මහත්තය ලේට් එක අස්සන් කරන්ඩද? ගුණසිංහ මහත්තය අර මනුස්සයගෙන් ඇහුවලු.

අනේ ඔව් මහත්තයො. බලන්ඩකො අදත් කෝච්චිය පරක්කුයිනෙ. කියල අර මනුස්සය කියනවලු.

ඉතින් ඒ කතාව අහල ගුණසිංහ මහත්තයාග ඉවසීමෙ මීටරේ කටුව තව චුට්ටක් ඉස්සරහට කැරකුනලු. බොහොම අමාරුවෙන් තරහ පාලනේ කරගෙන ගුණසිංහ මහත්තය ඇහුවලු,

දැං මහත්තය බයිසිකලේ ගෙදර දාල හෙල්මට් දාගෙනද කෝච්චියෙ එන්නෙ? කියල.

එතකොටලු අර මනුස්සයට මතක් වෙලා තියෙන්නෙ කෝච්චි ලේට් අස්සන් කරන සිහියෙන් දුවගෙන ආව මිසක් ජැකට් එකයි, හෙල්මට් එකයි බයිසිකලේ උඩ තියල එන්න අමතක උනානෙ කියල.

ඊට පස්සෙ උනේ මොකක්ද දන්නවද?

අර මනුස්සය ගුණසිංහ මහත්තයගෙන් හොට ලුණු ඇඹුල් ඇතුව අහගන්න ඇති නේද? ඔව්, ඒකත් උනා තමයි. ඒ උනාට නරකම වැඩේ උනේ බස් වල කෝච්චි වල යන අහිංසක අපිට. බස් සහ කෝච්චි ලේට් දීම ඊට පස්සෙ නැත්තටම නැති වෙන තරමට කන්තෝරුවෙන් අඩු කරානෙ. දැං ඒ දෙන ලේට් එක දෙන්නෙත් නීති හැටහුටාමාරක් දාල.

ඕන්න ඕකට තමයි කියන්නෙ අනුන්ගෙ පානින් එළිය බලන්න ගිහිං උන් ටිකත් අමාරුවෙ දාල එනව කියල.

_____
පින්තූරය
http://users.encs.concordia.ca/~ecsga/cartoon_line_big.jpg


Thursday 3 November 2011

හැරමිටිය





හැරමිටට වාරුඋන
වෙව්ලන සරීරකූඩුවට
ඔය අමන හිනාවම
මමත් පෑවා...

ඒ කාලෙ ගෙවී ගොස්
යස රූපෙ මැකී ගොස්
හැරමිටිය ලබන්නට
මටත් වූවා...

තේරුණේ නැති උනත්
බොට තවම මයෙ පුතේ
මේ වගේ දවසකුත්
පසුව ඒවි...

ඒ දිනේ ආ දාට
ගනින් මේ හැරමිටිය
මට එයින් පොරෝජන
නොමැති වේවි...

_____
පින්තූරය
http://news.bbcimg.co.uk/media/images/48109000/jpg/_48109093_walkingstick_bbc_282.jpg

Sunday 30 October 2011

නොනිමි...




අඩි හයක් පොළොව යට
මිහිදන්කර නවාතැන
අයිතිකරුවාව සිටි කෙනා
පිටත් වී ගොසින්
ගමන නිම වන තුරා
නැවතුමක් නැති නිසාම

_____
පින්තූරය
http://farm4.static.flickr.com/3503/3298640250_f72164674c.jpg

Thursday 20 October 2011

බයිසිකලේ... කලේ... කලේ...




කඳු මුහුණතින් කොටසක් සම්පූර්ණයෙන්ම වසා පැතිර ඇති ෆයිනස් ගස් යාය නිල් අහස පසුබිම් කොටගත් දැවැන්ත හරිත වර්ණ ප්‍රාකාරයක් ලෙස පාසැල් භූමියේ එක් පසෙකින් නැගී සිටී. මද සුළ‍‍‍‍‍‍‍‍ෙඟ් නැළැවෙන එම සජීවී ප්‍රාකාරයට මායිම්ව හෙල්මළු ආකාරයේ පිහිටීමක ගොඩනංවා ඇති ගුරු පැහැය මිශ්‍ර කහ පැහැති දිගැටි පාසැල් ගොඩනැගිලි තුනකි. පාසලට පිවිසීම සඳහා වූ කඳු මුදුන කරා දිවෙන තාර නොදැමූ පිවිසුම් මගත් ඒ මාර්ගය පසෙක වූ යකඩ මාර සහ සපු ගස් ගොන්නත් තැනිත් තැන ඇති සුදු පැහැති වටකුරු කඳන් සහිත ට’පන්ටයින් ගස් කිහිපයකිනුත් සරුවට වැඩුණු මානං පඳුරු රාශියකිනුත් කඳු මුහුණතේ අනෙක්පස සමන්විතය. රන්වන් හිරු එළියෙන් දෝවනය වන පාසල් ගොඩනැගිලි ත්‍රිත්වයත් ඊට යාබදව සුදු බොරළු ඇතිරූ කවාකාර මිදුලක් මැද වැඩ සිටින කුඩා බුදු මැදුරත් පාසලේ සුන්දරත්වය වැඩිදියුණු කළේය.

බුදු මැදුර ඉදිරිපසින් හැරී ඉහලින්ම පිහිටි පාසැල් ගොඩනැගිල්ලේ විදුහල්පති කාර්යාලයය අසලින් අවසන් වන පිවිසුම් මාර්ගය දිගේ අනෙක් පසට විත් බුදු මැදුර ලඟින් වමට හැරුණු විට පාසලේ ක්‍රීඩා පිටිය හමුවේ. බිම පුරා කැටිති වශයෙන් වැඩුණු තණකොළින් ගැවසී ගත් ක්‍රීඩා පිටිය එහා කෙළවර කුඩා කඳුගැටයකි. පිට්ටනියේ මෙහා කෙලවරේ සිට බැලූ විට එම කුඩා කඳුගැටය දිස්වන්නේ මුණින් අතට නැවූ විශාල අඩිය පැතලි දීසියක් ලෙසයි. ඒ දක්වා යෑම් ඊම් නිසා පිට්ටනිය මැදින් සෑදී ඇති අඩි පාර කොළ, තද දම් සහ දුඹුරු මිශ්‍ර පැහැ ගත් තණකොළ පොළොව මත අව්වට පිළිස්සුනු රතට හුරු තැඹිලි පැහැයකින් දිස්වේ.

එදින උදෑසන ගුරුවරියන් දෙදෙනෙකුත් පෙරටු කොට ගෙන පාසැල් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි දෙකේ පන්තියේ ළමුන් ගොඩේ මමද වීමි. අපි පෙළ ගැසී චාන්දනී ටීචරුත්, නිර්මලා ටීචරුත් සමග පිට්ටනිය දෙසට ගමන් කළෙමු. පේළියේ මට ඉදිරි පසින් මගේ හොඳම මිතුරා වූ අකලංක ගමන් ගත් අතර මට පසුපසින් ආවේ මගේ අනෙක් හොඳම මිතුරා වූ වරුණයි. පිට්ටනිය මැදින් වූ අඩිපාර දිගේ අපි ගමන් කළෙමු. පිට්ටනිය කෙළවර වූ කුඩා කඳුගැටයට අපි නැගගන්නා විට පාසලේ පසුබිම් සංගීතය බඳු වූ සිහින් ගුමු ගුමුව ෆයිනස් ගස් අතරින් හමන සුළ‍ෙඟ් ගුප්ත හෝ හඬ විසින් ගිලගනු ලැබ තිබිණි. පෙරදා රැයේ වැටුණු පිණි බිංදු තණකොළ මතත්, අතරින් පතර වැඩුණු තුත්තිරි ගස් වලත් රැඳී උදෑසන හිරු එළියේ දියමන්ති කැට මෙන් දිළිසුණි. අවට වාතය නැවුම්ය, සිසිල්ය. ෆයිනස් ලාටු වල සුගන්ධය තැවරී ඇති එම සිසිල් වාතයෙන් පෙනහළු පුරවා ගැනීමට මම ගැඹුරින් හුස්ම ගතිමි. හුස්මක් හුස්මක් ගානේ දැනෙන ඇතුලාන්තය සිසිල් වී යන්නාක් බඳු හැඟීමට මම ආශා කළෙමි.

පිට්ටනියේ මෙම කෙළවරට පැමිණීම මගින් අදහස් කරනුයේ දිවා ආහාර වේලාව වන තෙක් එළිමහනේ සිටීමට හැකි වන බවයි. ගුරුවරියන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ වුවද යකා නැටීමට ලැබෙන අවස්ථාව මඟහරින්නේ කවුද?

ඇවිද්දට කමක් නෑ ගොඩක් එහෙ මෙහෙ යන්නෙ එහෙම නෑ. පේන දුරින් ඉන්න.” ඒ අවවාදය නිර්මලා ටීචගෙනි. “ඒ ගමන් ඔයගොල්ලො දෙතුන් දෙනා කණ්ඩායම් හැදිල ඇවිල්ල ඉගෙනගත්ත සින්දුවක් කියන්න ඕනි. හොඳම සින්දුව කියන කණ්ඩායමේ අයට සිකුරාද සමිතියෙ සින්දුවක් කියන්න දෙනව.” වටාපිටාව හොඳින් පෙනෙන සෙවණ ඇති තැනක චාන්දනී ටීචර් සමඟ වාඩිවන ගමන් ඇය තවදුරටත් කියා සිටියාය.

මොකක්ද අපි කියන සින්දුව?” තණකොළ බිම මත වාඩිවන ගමන් මම අනෙක් දෙදෙනාගෙන් ඇසීමි.

අපි රෝස මලේ නටුවෙ කටූ කියමු” වරුණ යෝජනා කළේය.

බෑ... බෑ... ඔක්කොම කියන්නෙ ඒක” අකලංක විරුද්ධ විය.

එහෙනං මොකක්ද?” වරුණ කියන්නට සින්දුවක් තේරීම අකලංකටම බාර කළේය.

අපි කියමු... මේ... මේ... අපි කියමු...” අකලංක තමන්ගේ මතකය හාරා අවුස්සමින් ගීතයක් මතකයට නගා ගැනීමට වෑයම් කළේය. අවසානයේ “අපි කියමු අර... අර... ආ යූ ස්ලීපිං සින්දුව” යි ඔහු යෝජනා කළේය.

බැහැ! අපි වෙන මොකක් හරි කියමු” එවර විරුද්ධත්වය මගේය. හැමෝම රැස්වීමකදී කියාගන්න කිසිවක් නැතිවන හදිසි අවස්ථාවන් පැනනැගුණු විට පාවිච්චියට ගන්නා එම ගීතය මෙසේ විය.

ආ යූ ස්ලීපිං... ආ යූ ස්ලීපිං...
බ්‍රදර් ජොන්... බ්‍රදර් ජොන්...
මුනිඹෙසරීගිං... මුනිඹෙසරීගිං...
ඩිං‍ඩොං බෙල්... ඩිං‍ඩොං බෙල්...”

එහි අගක් මුලක් වටහා ගැනීමට මට නොහැකිය. එබැවින් එම සින්දුව කීමට මම අකමැති වීමි. මෙසේ ටික වේලාවක් අපි කිව යුතු සින්දුව පිළිබඳ වාද විවාද පැවැත්වීමු. ඒ අතර ළමුන් දෙතුන් දෙනා කණ්ඩායම් වශයෙන් ගොස් නිර්මලා ගුරුතුමියත්, චාන්දනී ගුරුතුමියත් ඉදිරියේ සින්දු කියන අයුරු බලා සිටියෙමු. ගැහැණු ළමුන්ගෙන් වැඩි හරියක් ගීතයක් ගායනා කොට නිදහස්ව සිටි අතර පිරිමි ළමුන්ගෙන් වැඩි හරියක් ගීතයක් ගායනා නොකිරීම නිසා සිර අඩස්සියේ පසුවූහ. මේ සින්දුවක් නිසා හිතේ හැටියට ගෙවා දැමීමට තිබූ උදේ වරුව කාබාසිනියා වීමට දීම අපරාධයකි. අවසානයේ එක් සින්දුවක් මත එකඟතාවයකට පැමිණීමට අපට හැකි විය. අපි තිදෙන ලහි ලහියේ ගොස් ගුරුවරියන් දෙදෙනා ඉදිරිපසින සිටගත්තෙමු.

දැන් ඔය තුන්දෙනා කියන්න යන්නෙ මොකක්ද?” චාන්දනී ටීචර් උද්යෝගීමත් හඬකින් ඇසුවාය.

අපි පුංචි බලු රාළේ කියන්න යන්නෙ ටීචර්” මම කීවෙම්. නිර්මලා ටීචර්ගෙන්ද අවසරය ලැබුණු බැවින්

පුංචි බලු රාළේ - මා ගෙදර නැති වේලේ
කවුද මගෙ බෝලේ - පෙරළ පෙරළා සිටියෙ මිදුලේ”

අපි එක හුස්මට කියා අවසන් කළමු.

ටික වේලාවකට පසු අප තිදෙන යලිත් තණකොළ පොළොවේ වාඩිවී සිටියෙමු. වරුණ තුත්තිරි ගස් වලින් ඔරලෝසු සාදන ආකාරය අපට පෙන්වමින් සිටියේය. තුත්තිරි ඔරලෝසු සෑදීම ඉගෙනීමට අකලංකත් මමත් උදේ වරුවේ ඉතිරි කාලය යෙදවූවෙමු.

උදෑසන දහවලට හැරෙමින් පැවතුනි. පො‍ළොවේ වැටුණු සෙවණැලි ටිකින් ටික කෙටි වන්නට වූ අතර හිරු රැස් පීඩාකාරී වන්නට පටන්ගෙන තිබුණි. දිවා ආහාර වේල කිට්ටු වී ඇති බවට ආමාශය සංඥා කිරීමට විය.

මේ වන විට පිරිමි ළමයින් තිදෙනෙකු හැරුණුකොට අන් සියල්ලෝම ගීත ගායනා ක්‍රියාකාරකම අවසන් කර තිබුණි. ඉතිරිව සිටියේ තේමියත්, කැළුමුත්, එරංගත් පමණි. මෙතෙක් වේලා ගුරුවරියන් දෙදෙනාව මඟහරිමින් සිටියද අවසන් මොහොතේ ඔවුන් තිදෙනාව බෙල්ලෙන්ම අල්ලා දීමට නිර්මලා ටීචර් අත තිබූ නම් ලැයිස්තුව සමත් විය.

බෙල් එක ගහන්න ඉස්සෙල්ල ඔය තුන්දෙනා කවියක් හරි සින්දුවක් හරි කිව්වෙ නැත්නං ගුටියක් දෙනව මං. මෙච්චර වෙලා ඉඳලත් සින්දුවක් මතක් කර ගන්න බැරිඋනා කියනව එහෙම නෙමෙයි.” නිර්මලා ටීචර් තමන් අත වූ හීන්දෑරි පේර කෝටුව ලෙළවමින් ඔවුන් තිදෙනාට සැර විය.

දහවල් විවේක කාලය දන්වන බරැති පිත්තල සීනුවේ හඬ නොබෝ වේලාවකින් ඇසෙන්නට විය. චාන්දනී ටීචර් ළමයින්ව පන්තියට ගෙනයෑම සඳහා පේළි ගැස්සවීමට යුහුසුළු වූවාය. පන්තිය බලා පිටත් වෙන්නට මොහොතක් තියා නිර්මලා ටීචර් තේමිය, කැළුම් සහ එරංග ඇමතුවාය.

දැන් ඔයගොල්ලො තුන්දෙනා මතක් කරගත්ත සින්දුව කියන්න.”

තරමක් අවිශ්වාස ගතියකින් පසුවූ තේමිය, කැළුම් සහ එරංග එක්වරම සින්දුව කීමට පටන් ගත්හ.

හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ... කලේ... කලේ...”

නිර්මලා ටීචත් චාන්දනී ටීචත් එකිනෙකාගේ මුහුණ බලා ගත්හ. අපි සැවොම මීයට පිම්බාක් වැනි නිහඬතාවයක ගිලී ගුරුවරියන් දෙදෙනා හා ළමුන් තිදෙනා දෙස බලා සි‍ටියෙමු. කවුරුත් කිසිවක් කීමට පෙර ඔවුන් තිදෙනා සින්දුවේ ඉතිරි පදයද ගායනා කර නිම කළහ.

කෙල්ලො කොල්ලො වටකරගෙන ගැහුව බෙලේ... බෙලේ... බෙලේ...”

_____
පින්තූරය
http://topdesign72.com/wp-content/uploads/2011/08/best-collections-of-stunning-bicycle-pictures.jpg

Related Posts Plugin for WordPress, Blogger...