Pages

Tuesday 1 January 2013

ජීවත් වෙනව කියන්නෙත් කේක් හදනව වගේ වැඩක්



මේ ගෙන්දගං පොළොවෙ හැප්පි හැප්පි ජීවිතේ වටිනාකම ඒකෙන් උපය ගන්න උත්සාහ කරද්දි හිතේ නිදහස කියන එක හොයා ගන්නෙ කොහොමද? එකක් පස්සෙ එකක් මූණ දෙන විභාග, සම්මුඛ පරීක්ෂණ, උසස් වීම්... මේව ඇත්තටම නිදහස දිහාවට යන පාරෙ තියෙන දේවල්ද? ඒක එහෙමනං සාර්ථකත්වය දිහාවට පඩියෙන් පඩිය ඉහල නගින කොට, දරන්න වෙන තනතුරේ විභවය ටිකින් ටික වැඩි වෙනකොට අපිට අත්විඳින්න ලැබෙන මානසික නිදහසේ වපසරිය කුඩා වෙන්නෙ මොන අරුමයකටද?

ගිය අවුරුද්ද කෙලවර වෙද්දි හිතේ තිබ්බෙ ඔය වගේ දේවල් ටිකක් තමයි. කාර්ය බහුල අවුරුද්දකට පස්සෙ දෙසැම්බර් මාසෙ වෙද්දි මම හොඳටම හෙම්බත් වෙලයි හිටියෙ. කොච්චර මහන්සි වෙලා වැඩ කරා උනත් වෙලාවකට අන්තිම ප්‍රතිඵලේ දැක්කම හිතෙනව ජීවිතෙන් මං බලාපොරොත්තු උනේ මේකද කියල. හරියට වතුර ගන්න බලාගෙන කළය මුනින් නැව්වම ඒකෙ වතුර වෙනුවට වැලි තිබ්බ වගේ.

මෙහෙම හැමදේම අවුල් ජාලාවක් වගේ පේන්න ගත්තම හිතේ නිදහස කියන එකේ අවශ්‍යතාවය තදින්ම දැනෙනව. ඉතින් මං කරේ රස්සාවෙ වැඩ, ඉගෙනීම් කටයුතු, සයිබර් අවකාශය කියන හැම දේම පොඩ්ඩක් පැත්තකට කරල සතියක්ම නිවාඩු අරගෙන ගෙදර ගිය එක. ඔය දේවල් වලින් පොඩ්ඩක් ඈත් උනාම; හිතේ හැටියට නිදාගන්න ලැබුණම; තුන් වේලම කටට රහට බඩ පිරෙන්න කන්න ලැබුණම හිත නිදහස් කරගෙන කල්පනා කරන්න ලේසියි. හිතේ නිදහස හොයා ගන්න ලේසියි.

මං කඳුකරේ ඉපදිච්ච කෙනෙක්. ඒ නිසා මගේ ආධ්‍යාත්මයෙන් වැඩි කොටසක් කඳුකරේට අයිති දේවල් එක්ක බැඳිල තියෙනව. මගේ හිතේ නිදහස ගොඩක් වෙලාවට නිර්වචනය කරගන්න පුළුවන් වෙන්නෙ ඒවගෙන්. ඉර එළියෙ දිලිසෙන කදු මුදුන්... සීතල මද සුළඟ... තරු පිරිච්ච අමාවක රෑ අහස... ගස් වැල්... කුඩා දොළ පාරවල්... හිතේ ඇතිකරන නිදහස් සාමකාමී හැඟීම වෙන දේවල් වලින් මං අත්විඳල නැහැ.

කඳු මූණතක වැවිච්ච් තණකොළ පලසක දිගෑදිල නිල් අහස් පසුබිමේ වළාකුළු කැරළි පාවෙන හැටි බලාගෙන ඉඳිද්දි; එහෙමත් නැත්නං සීතල උදේක අරුණාලෝකෙට යටින් කඳු බෑවුම් දෙකක් හාවෙන දඟර ගැහිච්ච රේඛාව දිගේ ගලාගෙන යන ඔයකට උඩින් සුදු උඩු වියනක් හදාගෙන ගලා බහින මීදුම් ගංගාව දැක්කම හිතේ ඇතිවෙන උද්දාමය සුවිශේෂීයි.

ඒ වගේමයි ෆයිනස් යායවල් හරහා හමාගෙන යන හුළඟ ඇතිකරන හෝ හ‍ෙඬ් ගුප්ත බවත්...

ඔය දේවල් පුදුමාකාර විදිහට හිත සංහිඳියාවකට පත් කරනව. සමහරවිට ඒ එතන තමන් සතු කරගන්න කිසිම දෙයක් නැති නිසා වෙන්න ඇති. මට හිතෙන විදිහටනං සොබාදහම අත්විඳින්න ඕනිත් ඒ විදිහටයි. තමන්ගෙ කර ගැනීමේ ආසාවකින් තොරව... එතකොට තමයි සොබාදහම හිතේ තුවාල සුවපත් කරන බෙහෙතක් වෙන්නෙ.

සොබා සිරිය විඳගෙන මගේ පොත් එකතුවේ ප්‍රියතම පොත් ටිකත් වට කරගෙන නිවීහැනහිල්ලෙ ඉන්නකොට ජීවිතේ ගැන තීරණ ගන්න, අනාගතේට ඕනි සැලසුම් හදන්න, ඔළුවෙන් අනවශ්‍ය බර අයින් කරගන්න ලේසියි. තමන් විසින්ම ජීවිතේ ඕන නැති විදිහට කොච්චරනං සංකීර්ණ කරගෙනද කියල පේන්න ගන්නෙත් එහෙම වෙලාවටම තමයි. ගෙවිච්ච අවුරුද්ද ගැන ආවර්ජනයක් කරන්නත් එන අවුරුද්දට සැලසුම් කීපයක් ඇඳගන්නත් ඒ වෙලාව මසුරං වටිනව.

මේ අවුරුද්දට මහා ලොකුවට නැතත් කරන්න ඕනි කියල හිතාගෙන ඉන්න වැඩ දෙක තුනක් තියෙනව. මම ඒවට මහන්සි වෙන තරමට ප්‍රතිඵලත් තියේවි කියන විශ්වාසයෙන් වැඩ කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නෙ. මොනා කරත් අන්තිමේදි ඉතුරුවෙන වැදගත්ම දේ තමයි තමන්ට තමන්ගෙ හිතේ නිදහස කරන දේ හරහා හොයා ගන්න පුළුවන් වෙනවද නැද්ද කියන එක. හිතේ නිදහසක් නැත්නං වෙන මොනා තිබ්බත් වැඩක් නැහැ.

හිතේ නිදහස හොයාගෙන ජීවත් වෙන එක ගැන කතා කරද්දි මං මේ මෑතකදි කියවපු පොතක තිබ්බ ලස්සන කතාවක් මතක් උනා.

“ජීවත් වෙනව කියන්නෙත් හරියට කේක් එකක් හදනව වගේ වැඩක්. සමහරුන්ට කේක් එකක් හදන්න ඕනි වෙන හැමදේම ලැබෙනව. තවත් සමහරෙක්ට ඕනි කරන හැම දේම ලැබෙන්නෙ නෑ. සමහර වෙලාවට ඒ අයට ලැබෙන්නෙ ගුල්ලො ගහපු පිටි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පරණ වෙච්ච බටර් වෙන්න පුළුවන්. ඒත් වැදගත්ම දේ තමයි තමන්ට තියෙන අඩුම කුඩුම ටික එකතු කරගෙන හදන්න පුළුවන් හොඳම කේක් ගෙඩිය හදා ගන්න එක. මොකද සමහර වෙලාවට හැම දේම තිබිලත් කේක් එක හරියට හදා ගන්න බැරි කට්ටිය ඉන්නව.”

තමන් තමන්ගෙ වගේම අනිත් අයගෙ යහපතටත් කරන්න පුළුවන් උපරිමේ කරනව කියල දැනගෙන ජිවත් වෙන්න කෙනෙක්ට පුළුවන්නං එතන පොඩි හිතේ නිදහසක් තියෙනව නේද?

එහෙනං ලැබුවා වූ නව වසර හැමෝටම තම තමන්ගෙ හිතේ නිදහස හොයා ගන්න පුළුවන් වෙන සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. :D


_____
පින්තූරය
Related Posts Plugin for WordPress, Blogger...