Pages

Sunday 15 December 2013

දෙවියන්ගේ ආහාරය



සභාපති තුමනි, මුලින්ම ඔබට අනතුරු ඇඟවීමක් කරන්න මට සිද්ධ වෙනව.  මං මේ ඉදිරිපත් කරන්න යන කාරණා වලින් වැඩි කොටසක් බොහොමත්ම පිළිකුල් සහගත වේවි. කලාතුරකින් පමණක් ප්‍රසිද්ධියේ කතාබහට ලක්වෙන; කොන්ග්‍රස් කමිටුවක් ඉදිරියේ නම් කොහෙත්ම කතාබහට ලක් නොවෙන; මිනිස් ස්වභාවයේ සමහර ගති ලක්ෂණ සමග මම කියන්න යන කාරණා කෙලින්ම සම්බන්ධයි. නමුත් ඒවාට මුහුණ දෙන්න අපට සිදුවන බව කණගාටුවෙන් උනත් මම කියන්න ඕනි. කුහකකම කියන කඩතුරාව ඉරා ඉවත දැමිය යුතු අවස්තාවන් අප වෙත පැනනගිනව. මේ එවැනි අවස්තාවන්ගෙන් එකක්.

මහත්වරුනි, ඔබ සහ මම පැවතගෙන එන්නෙ මාංශ භක්ෂකයන්ගේ පරම්පරාවකින්. ඔබලාගේ මුහුණුවල ස්වභාවය අනුව ඔබලාගෙන් වැඩි දෙනා ඒ වචනයේ තේරුම නොදන්නා බව මට තේරුම් ගන්න පුළුවනි. ඒක පුදුමයට කාරණයක් නෙවෙයි. මොකද කියනවනම් ඒ වචනය අයිති වෙන්නෙ දැනට වසර දෙදාහකෙට පෙර අභාවයට ගිය භාෂාවකට නිසා. එක්කෝ මේ විදිහට වටින්-ගොඩින් කතාව නොකියා මම කෙලින්ම කාරණාවට බැස්සනම් වඩා හොඳයි. ඒ සඳහා ශිෂ්ඨ සමාජයේ කොතැනකදිවත් භාවිතා නොවන වචන යොදා ගන්න සිද්ධ වීම පිළිබඳවත්, එසේ කිරීමෙන් කාට හෝ හිත් අමනාපයක් ඇති උනෝතින් ඒ පිළිබඳවත් කල්තියාම මම සමාව ඉල්ලා සිටිනව...

දැනට සියවස් කීපයකට පෙර බොහෝමයක් මිනිසුන්ගේ ප්‍රියතම ආහාරය උනේ මස්. වෙනත් විදිහකින් කියනවනම් වරක් ජීවත්ව සිටි සතුන්ගේ මාංශය. මම ඔබලාට ඔක්කාරය හදවන්න හදනව නෙවෙයි. මං මේ කරන්නෙ තොරතුරු බොහොම සරළව ඉදිරිපත් කිරීමක් පමණයි. ඔබලාට ඕනෑම ඉතිහාස ග්‍රන්ථයකින් ඒ ගැන හොයා බලන්න......

ඔව්, ඇත්ත වශයෙන්ම සභාපතිතුමනි... සෙනෙට් සභික අර්වින් යථා තත්වයට පත්වන තුරු ඉන්න මම සූදානම්. මේ ක්ෂේත්‍රයට ආධුනික අය මෙවැනි ප්‍රකාශ වලට ප්‍රතික්‍රියා දක්වන්නෙ කොහොමද කියන එක ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විදිහට සමහර විට අපිට අමතක වෙනව. ඒ වගේම, මීට වඩා නරක දේවල් තවත් ඉදිරියේදි අහන්න සිදුවෙන බවට කමිටුවේ අනිත් සාමාජිකයන්ට මේ වෙලාවෙ මම අනතුරු අඟවන්න ඕනි. ඔය මහත්වරුන්ගෙන් කවුරු හරි මේ වගේ දේවල් යන්තමින් වත් අප්‍රිය කරනවනම් සෙනෙට් සභික තුමා කලා වගේ දැන්මම මෙතනින් පිට වීම වඩා හොඳ බව මම යෝජනා කරනව.

හොඳයි, මම යලිත් මාතෘකාවට ආවොත්...

මෑතක් වෙන තුරු හැම ආහාරයක්ම අයිති උනේ කාණ්ඩ දෙකකට. ඒවාගෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළේ පැළෑටි වලින්. ධාන්‍ය, පළතුරු, ප්ලවාංග, ඇල්ගී සහ වෙනත් ශාඛ වර්ග වලින්. අපේ මුතුන්මිත්තන්ගෙන් බොහෝ දෙනෙක් නොදියුණු, ඒ වගේම බොහොම වෙහෙසකර ක්‍රම යොදාගෙන ගොඩබිමෙන් සහ මුහුදින් ආහාර සපයගත්ත ගොවීන්ය කියන කාරණාව අද දවසේ අපිට තේරුම් ගන්න අමාරුයි. නමුත් යථාර්තය ඒකයි.

නැවතත් මම මුලින්ම සඳහන් කරපු අප්‍රිය සහගත කාරණාව දෙසට හැරුණොත්... දෙවෙනි ආහාර වර්ගය උනේ මස්. මස් ලබාගන්න යොදා ගත්තෙ සාපේක්ෂව බලද්දි සත්ව වර්ග කිහිපයක් පමණයි. එයින් සමහර වර්ග ගැන ඔබලා බොහෝවිට දන්නව ඇති. ගවයන්, ඌරන්, බැටළුවන්, තල්මසුන්...

මේ කාරණාව අවධාරණය කිරීම ගැන මට සමාවෙන්න. නමුත් මේ ගැන තියෙන තොරතුරු අවිවාදිතයි. බොහෝ දෙනෙක් වෙන මොනම ආහාරයකටත් වඩා කැමති උනේ මස් ආහාරයට ගන්න. ඒ උනත් එවැනි ආහාර රසවිඳින්න පුළුවන්කම තිබුනෙ පොහොසත්ම අයට පමණයි. මනුෂ්‍ය වර්ගයාගෙන් වැඩි කොටසකට මස් කියව්වෙ සියයට අනූවකටත් වඩා එළවළු වලින් සමන්විත වුනු ආහාර වේලකට කලාතුරකින් එකතුවුනු දුර්ලභ රස මසවුලක්.

මේ කාරණාව දිහා සන්සුන්ව සහ අපක්ෂපාතීව බැළුවොතින් - සෙනෙට් සභික අර්වින් ඊට සුදුසු තත්වයක දැන් ඉන්නව ඇතියි කියල මම විශ්වාස කරනව - මස් දුර්ලභ සහ මිළ අධික වීම ඇත්තෙන්ම සිදුවිය යුතුව තිබුණු දෙයක් බව අපිට පේනව. මොකද කියනවනම් මස් නිෂ්පාදනය කියන්නෙ බොහොම අකාර්යක්ෂම ක්‍රියාවලියක් නිසා. මස් කිලෝවක් නිපදවා ගන්න අදාල සතාට අඩුම තරමෙන් ශාක ආහාර කිලෝ දහයක්වත් ආහාරයට ලබා දෙන්න සිද්ධ උනා. මේ බෙහෝවිට මිනිස්සුන්ට කෙලින්ම ආහාරයට ගැනීමට පුළුවන්කම තිබුණු ආහාර. රසඥානය ගැන සැලකීම පැත්තකින් තිබ්බ උනත් මෙවැනි ක්‍රියාවලියක් දිගින් දිගටම පවත්වාගෙන යෑම විසිවෙනි සියවසේ සිදුවුණු ජනගහනය වැඩිවීමත් සමග කොහෙත්ම කල නොහැකි දෙයක් උනා. මස් ආහාරයට ගන්න හැම පුද්ගලයෙක්ම තවත් දහ දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් නිරාහාරව තියන්න හේතුවක් වෙනවයි කියල දෝෂදර්ශණයට ලක් උනා.

කොහොම නමුත්, අපි හැමෝගෙම වාසනාවට වගේ ජීවරසායනඥයො මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයා ගත්තා. ඔබ හැමදෙනාම දන්නා පරිදි ඒ විසඳුම ආවෙ අභ්‍යවකාශ පර්යේක්ෂණයන්ගෙ නොයෙක් අතුරුඵල වලින් එකක් විදිහට.

ශාක ආහාර වේවා, සත්ත්ව ආහාර වේවා, මේ හැම ආහාරයක්ම හැදිල තියෙන්නෙ පොදු මූලද්‍රව්‍ය කිහිපයකින්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සුළු වශයෙන් ගෙන්දගම් සහ පොස්ෆරස් වලින්. මිනිසා මෙතෙක් ආහාරයට අරන් තියෙන වගේම කවදා නමුත් ආහාරයට ගන්නා හැම ආහාර වර්ගයක්ම සකස් වෙන්නෙ මේ මූලද්‍රව්‍ය දුසිම් බාගය සහ තවත් මූලද්‍රව්‍ය කීපයක් එකිනෙකට වෙනස් ආකාර අපරිමිත ගණනකින් සංයෝජනය වීමෙන්.

චන්ද්‍රයා සහ අනෙකුත් ග්‍රහලෝක ජනාවාස කරීමේදී ප්‍රශ්ණ රැසකට මුහුණදීපු විසි එක් වෙනි සියවසේ ජීවරසායනඥයො ජලයේ, වාතයේ සහ පාෂාණ වල අඩංගු මූලික අමුද්‍රව්‍ය පාවිච්චි කරල කැමති ඕනෑම ආහාරයක් සංස්ලේෂණය කරන ආකාරය හොයා ගත්ත. විද්‍යා ඉතිහාසයේ අපි ලබපු විශාලතම සහ සමහර විට ඉතා වැදගත්ම ජයග්‍රහණය තමයි ඒක. නමුත් ඒ ගැන අපි ඕනෑවට වඩා ආඩම්බර විය යුතු නැහැ. මොකද කියනවනම් ශාක රාජධානිය ඒ අතින් ඉන්නෙ අපට වඩා අවුරුදු බිලියනයක්වත් ඉදිරියෙන් නිසා.

හිතාගතහැකි ඕනෑම ආහාරයක් සංස්ලේෂණය කරන්න රසායනඥයන්ට ඒ හරහා පුළුවන් උනා. ඊට සරිලන ආහාරයක් ස්වභාවිකව තිබුණා හෝ නොතිබුණා කියල වෙනසක් තිබ්බෙ නැහැ. මේ ක්‍රියාවලියෙදි අත්වැරදීම් පමණක් නෙවෙයි මහා ව්‍යසනයන් පවා සිදුවුනායි කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ? කර්මාන්ත ආදිපත්‍යයන් ඇතිවෙලා නැතිවෙලා ගියා. කෘෂිකර්මාන්තයෙන් සහ සත්ත්ව පාලනයෙන් අද භාවිතාවන මහාපරිමාණ ස්වයංක්‍රීය පිරිසැකසුම් යන්ත්‍ර සහ බහුවර්තක වෙත කෙරුණු පරිවර්තනය බොහෝවිට වේදනාකාරී උනා. නමුත් එය සිදුකල යුතුව තිබුණා. අපිට ඒ ගැන දැන් සතුටු වෙන්න පුළුවන්. අපි හාමත් වීමේ උවදුර සදහටම නැතිකර දමල තියෙනව වගේම වෙන මොනම කාලයකවත් නොතිබ්බ තරමේ ආහාර විවිධත්වයකින් සමෘද්ධිමත්ව සිටිනව.

සදාචාරාත්මකව අපි ලබාගෙන තියෙන දියුණුවත් ඒ වගේමයි. අපි තවදුරටත් පණ තියෙන සතුන්ව මරණයට කැප කරන්නේ නැහැ. මස් මඩුව, සත්ත්ව ඝාතකාගාරය වැනි පිළිකුල දනවන ආයතන පොළොව මතින් තුරන් වෙලා ගිහින් තියෙනව. රළු සහ සාහසික අය උනා උනත්, අපේ මුතුන්මිත්තො මේ තරම් අශිෂ්ඨ දෙයක් සිද්ධවෙන්න ඉඩ දීල ඇස් කන් පියාගෙන හිටියයි කියන කාරණාව අපිට විශ්වාස කරන්නත් බැරි තරම්.

ඒ උනත් අතීතයත් සමඟ තියෙන සම්බන්ධය අපිට සහමුලින්ම නැති කරන්න බැහැ. මම මේ වෙත්දිත් කියල තියෙන විදිහට අපි මාංශ භක්ෂකයො. අවුරුදු මිලියන ගණනක් තිස්සේ ඇතිකර ගත්ත රුචිකත්වයන් අපිට උරුම වෙලා තියෙනව. අපි කැමති උනත් නැතත් අවුරුදු ගණනාවකට කලින් අපේ මීමුත්තන් ඒ අයට ලබා ගන්න පුළුවන් උන වෙලාවල් වලදි ගවයන්ගේ, බැටළුවන්ගේ සහ ඌරන්ගේ මස් රසවිඳල තියෙනව. ඒ වගේම අපි අදටත් ඒ දේවල් රසවිඳිනව...

අපොයි, අපොයි... එක්කෝ දැන් ඉඳල සෙනෙට් සභික අර්වින් එළියෙන් හිටියනම් වඩා හොඳයි. මට මේ කාරණාව එකපාරම නොකිය ඉන්නයි තිබුණෙ. ඒත් ඇත්ත වශයෙන්ම මම අදහස් කලේ අපි දැන් ආහාරයට ගන්නා සංස්ලේෂණය කරන ලද ආහාර වලින් වැඩි හරියකට තියෙන්නෙත් පැරණි ස්වභාවික ආහාරවල තිබ්බ සංයෝගයන්ම බව කියන්නයි. ඒවගෙන් සමහරක් ස්වභාවික ආහාරවල කොතරම් නිවැරදි පිටපත්ද කියනවනම් මොනම ආකාරයක රසායනික හෝ වෙනත් ආකාරයක පරීක්ෂණයකින් වෙන් කරල හඳුනාගන්න බැහැ. මේක න්‍යායාත්මකයි වගේම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. නිෂ්පාදකයො වශයෙන් අපි කළේ ගොඩක්ම ජනප්‍රිය ස්වභාවික ආහාර වර්ග අපේ ආදර්ශ විදිහට අරගෙන ඒවායේ රසයන් සහ ස්වභාවයන් ප්‍රතිනිෂ්පාදනය කරන එකයි.

ඒ වගේම කාට කාටත් ඇත්තම කාරණා මතක් නොකරන්න සහ ආහාරවල ව්‍යවච්ඡේද විද්‍යාත්මක හෝ සත්ත්ව විද්‍යාත්මක ප්‍රභවය ඇඟවෙන එක වලක්වන්න අපි ඒවට අළුත් නම් ලබා දුන්න. ඔබ අවන්හලකට ගියාම මෙනු පතේ ඔබට වැඩි‍යෙන්ම දකින්න ලැබෙන්නෙ විසි එක්වෙනි සියවසේ මුල් කාලයෙන් පස්සෙ හදාගත්ත වචන. එහෙමත් නැත්නම් මුල් ප්‍රංශ නම් උපයෝගී කරගෙන හදාගත්ත වචන. අද කාලෙ ඒව ඇත්තටම මොනවද කියල අඳුරගන්න පුළුවන් ටික දෙනෙකුට විතරයි.

ඔබලාට ඔබලාගේ දරාගැනීමේ සීමාව කොච්චරද කියල බලාගන්න ඕනි නම් කරල බලන්න පුළුවන් සිත්ගන්නාසුළු වගේම බොහොම ජුගුප්සාජනක පරීක්ෂණයක් තියෙනව. ජනප්‍රිය අවන්හල්වල වගේම ධවල මන්දිර භෝජන සංග්‍රහ වල අවුරුදු පන්සියයක් තරම් පැරණි මෙනු පත් බොහෝ ප්‍රමාණයක් සම්මන්ත්‍රණ සභා පුස්තකාලයේ වර්ගීකෘත කොටසේ තියෙනව. ඒවගෙ සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නෙ ඒව කියවන්න අපහසු කරන තරමේ අශිෂ්ට, අප්‍රසන්න ස්වභාවයක්. හරියට කාය විච්ඡේදන කාමරයක් ගැන කතා කරනව වගේ. අපි සහ දැනට පරම්පරා කීපයකට පෙර සිටි අපේ මුතුන්මිත්තො අතර තියෙන වෙනස මේ තරම් පැහැදිලිව අනාවරණය කරන වෙන මොනම දෙයක් ගැනවත් මට නම් හිතාගන්න බැහැ...

ඔව් සභාපති තුමනි. මම කාරණාවට එනව. කොපමණ අප්‍රසන්න උනත් මේ හැම දේකම මං කියන්න යන කාරණාවට ලොකු සම්බන්ධයක් තියෙනව. මම මගේ තරඟකරු වන ට්‍රයිප්ලැනටරි ෆූඩ් කෝපරේෂන් ආයතනයට විරුද්ධව ගෙනෙන්න බලාපොරොත්තු වන චෝදනාව ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරනව පමණයි. එහෙම නැතිව ඔබලාගේ ආහාර රුචිය නැති කරන්න හදනව එහෙම නෙවෙයි. මේ පසුබිම ගැන අවබෝධයක් නොතිබුණොත් ඇම්බ්‍රෝසියා ප්ලස් වෙළඳපොලට පැමිණීමත් සමග මගේ සමාගමට විඳින්න සිද්දඋන පාඩුව නිසා මම අභූත චෝදනා එල්ල කරනව කියල ඔබලාට හිතෙන්න පුළුවනි.

මහත්වරුනි, හැම සතියක් ගානෙම අළුත් ආහාර වර්ග කලඑළි බහිනව. ඒව හැම එකක් ගැනම මතක තියාගන්න අමාරුයි. කාන්තාවන්ගෙ විලාසිතා වගේ ඒවත් යනව එනව. අපි නිතර පරිභෝජනය කරන ආහාර ගොඩට එකතු වෙන්නෙ එයින් දාහෙන් එකක් විතරයි. ඒ වගේම යම්කිසි ආහාර වර්ගයක් එක රැයින් මහජනයා අතර ජනප්‍රිය වෙන්නෙ බොහොමත්ම කලාතුරකින්. එහෙම බැලුවම ඇම්බ්‍රෝසියා ප්ලස් ආහාර පෙල කියන්නෙ ආහාර නිෂ්පාදන ඉතිහාසයේ ලබපු විශාලම ජයග්‍රහණය බව මං අවංකවම පිළිගන්නව. ඇතිවෙලා තියෙන තත්වය ගැන ඔබලා හැම දෙනාම දන්නවනෙ. අනෙත් හැම දේම වෙළඳපොලින් අතුගෑවිලා ගිය ගානයි.

විය යුතු ලෙසම මේ අභියෝගය භාරගන්න අපිට සිද්ධඋනා. සූර්යග්‍රහ මණ්ඩලයේ ඉන්න අනෙත් ජීවරසායනඥයො තරම්ම දක්ෂ ජීවරසායනඥයො පිරිසක් මගේ සමාගමේත් ඉන්නව. ඒ අය ඉක්මනින්ම ඇම්බ්‍රෝසියා ප්ලස් පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගත්ත.

මිනිස් වර්ගයා මෙතෙක් ආහාරයට ගන්නා ලද ස්වභාවික වගේම කෘත්‍රිම හැම ආහාරයක් පිළිබඳවම දත්ත අඩංගුඋන ටේප් පටි අපි සතුව තියෙනවයි කියල කීමෙන් මම ව්‍යාපාරික රහස් කිසිවක් පිටතට ලබා දුන්න වෙන්නෙ නැහැ. බදින ලද දැල්ලන්, මී පැණියේ දමාපු පතංගයන්, මොණර දිව, වෙනූසියානු බහුපාදිකයන් වගේ ඔබලා කිසිම දිනෙක අහලවත් නැති අසාමාන්‍ය ආහාර වර්ගයන් දක්වා දිවෙන ආහාරයන්ගේ රසයන් සහ ස්වභාවයන් පිළිබඳ විස්තර අඩංගු අති විශාල පුස්තකාලයක් අප සතුව තියෙනව. මේ ව්‍යාපාරයේ ඉන්න හැම සමාගමකටම වගේ අපේ සමාගමටත් තියෙන මූලිකම වත්කම තමයි මේ පුස්තකාලය. එයින් අයිතමයන් තෝරාගෙන සිතාගත හැකි ඕනෑම ආකාරයකට කළවම් කරන්න අපිට පුළුවන්. ඒ වගේම අපේ තරඟකරුවන් වෙළඳපොලට නිකුත් කරන නිෂ්පාදන වැඩි කරදරයක් නැතිව පිටපත් කරන්නත් සාමාන්‍යෙයන් අපට පුළුවන්.

නමුත් ටික කාලයන් යනකම්ම ඇම්බ්‍රෝසියා ප්ලස් කියන්නෙ මොකක්ද කියල හරියටම තේරුම් ගන්න අපිට බැරි උනා. එහි ප්‍රෝටීන් සහ මේද අනුඛණ්ඩනයට අනුව වැඩි පටලැවිල්ලකින් තොරව එය කෙලින්ම මස් වර්ගයක් ලෙස වර්ගීකරණය කරන්න පුළුවන් උනත් හරියටම ඒ කොයි මස් වර්ගයද කියල නිර්ණය කරගන්න අපට බැරි උනා. මේ මගේ රසායනඥයො අසමත්උන පළවෙනි වතාව. ඇම්බ්‍රෝසියා ප්ලස් වලට තියෙන සුවිශේෂී ආකර්ෂණයට හේතුවෙන්නෙ එහි තියෙන මොන සංඝටකයද කියල පහදන්න එයින් එක්කෙනෙකුටවත් බැරි උනා. අපි හැමෝම දන්නා පරිදි ඒක අනෙක් හැම ආහාරයක්ම සංසන්දනාත්මකව නීරස කරල දාල. ඇත්තම කියනවනම් ඒක එහෙම වෙන්න ඕනි... මම එහෙම කියන්න හේතුව තව ටිකකින් ඔබලාට පැහැදිලි වේවි.

සභාපති තුමනි, කෙටියෙන්ම කියනවානම්, තරමක් අකමැත්තකින් උනත් ට්‍රයි ප්ලැනටරි ෆූඩ්ස් ආයතනයේ සභාපතිතුමා ඔබ ඉදිරියේ පෙනී සිටීවි. මට ඒ බව විශ්වාසයි. ඇම්බ්‍රෝසියා ප්ලස් සංස්ලේෂණය කරල තියෙන්නෙ වාතය, ජලය, හුණුගල්, ගෙන්දගම්, පොස්ෆරස් සහ අනෙකුත් දේවල් වලින් කියල ඔහු ඔබට කියාවි. ඒ හැමදේම සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒත් මේ කතාවෙ තියෙන අඩුවෙන්ම වැදගත් කොටස තමයි ඒ. මොකද කියනවනම් අපි ඔහුගේ රහස සොයාගෙන තියෙන නිසා. රහසිගත අනෙකුත් දේවලින් වැඩි හරියක් වගේම ඒකත් දැනගත්තට පස්සෙ බොහොම සරළ කාරණාවක්.

මම මගේ තරඟකරුට ඇත්ත වශයෙන්ම සුභ පතන්න ඕනි. දැන් පෙනෙන විදිහට මනුෂ්‍ය වර්ගයාට ගැලපෙනම ආහාර වර්ගය සීමා රහිත ප්‍රමාණයන්ගෙන් ලබාදෙන්න අවසානයේ ඔහු සමත් වෙලා තියෙනව. මේ වෙනතෙක් එයින් ලබාගන්න පුළුවන් උනේ බොහොම ටිකයි. ඒ නිසාම එය රස බලපු අතලොස්සක් දෙනා එහි රසය ගැන බොහොම ඉහලින් වර්ණනා කරල තිබ්බ. එයට සමාන කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් නැති බව ඒ අය දිව්රල කියා හිටිය.

ඔව්, ට්‍රයිප්ලැනටරි හි රසායනඥයො අති විශිෂ්ඨ තාක්ෂණික කර්තව්‍යයක් සිද්ධ කරල තියෙනව. සදාචාරාත්මක සහ දාර්ශණික ගැටළුව විසඳීම දැන් ඔබලාට බාරයි. මම මගේ කතාව පටන් ගනිද්දි ‘මාංශ භක්ෂක‘ කියල පුරාතන වචනයක් පාවිච්චි කළා. දැන් මම ඒ වගේම තවත් වචනයක් ඔබලාට හඳුන්වා දෙන්නම්. පළවෙනි පාර මම ඒක හෙමින් උච්චාරණය කරන්නම්.


මි - නී - ක - න් - නා ...




_______

ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත "The Food of the Gods" කෙටිකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

_______


ප. ලි.

ඇම්බ්‍රෝසියා (Ambrosia)
ග්‍රීක දේව කතා වලට අනුව ඇම්බ්‍රෝසියා කියන්නෙ ග්‍රීක දෙවිවරුන්ගේ ආහාරය. ඒකෙන් අමරණීයත්වය සහ සදාකාලික තාරුණ්‍යය ඇති කරනව කියල කියවෙනව. වෙනත් විදිහට කියනවනම් ඇම්බ්‍රෝසියා කියන්නෙ අමෘතයට.

වෙනූසියානු (Venusian)
“අඟහරු ලොවෙන් පැමිණි“ කියල කියන්න Martian කියල වචනයක් පාවිච්චි කරනව ඔයගොල්ලො අහල ඇති. ඒ වගේ “සිකුරු ලොවෙන් පැමිණි“ කියල කියන්න පාවිච්චි කරන වචනෙ තමයි Venusian.



_____
පින්තූරය

Tuesday 30 April 2013

යුගයෙන් යුගය




ළමා කාලෙ ඉඳල තරුණ වයසට පියමං කරල ඉන්න අපි දැන් ටිකින් ටික මහළු වයස දිහාවට ඇදෙනව. අද ඊයෙක දෙයක් වගේ දැනුන උනත් ඉස්කෝලෙන් පිටවෙලා දැන් අවුරුදු ගානක් වෙනව. ඉස්කෝලෙ කාලෙ ගෙවිල ගියාට වැඩිය ඉක්මනින් ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ආපු කාලෙ ගෙවිල යනව...

ගෙවිච්ච කාලෙදි අපි මුහුකුරා වැඩිල (අඩුම තරමෙ අපි එහෙමයි කියල හිතාගෙන ඉන්නව). ලෝකෙ ගැන එදා තිබ්බට වැඩිය දැනුම් තේරුම් ඇතිවෙලා. ඒත් අපේ සමහර මෝඩකං තවමත් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනව.

මේ ගෙවිච්ච අවුරුදු අට, දහය ඇතුලත අපි කොච්චරනං වෙනස් වෙලාද? ඒ කාලෙ අපි පාසැල් ශිෂ්‍යයො. බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන ඊට නොදෙවනි බරක් පොත් බෑග් විදිහට කරගහගෙන ඉස්කෝලෙ ගිය පොඩි කොල්ලො. අද අපි වගකිවයුතු රස්සා කරන වැඩිහිටියො (ඒ ගැනනං කවර කතාද...?). ඒත් අපේ බලාපොරොත්තු ගොඩ ඒ දවස්වල දැනිච්ච විදිහටම බරට දැනෙනව. ඒවගෙ හැඩෙයි පාටයි වෙනස් වෙලා විතරයි.

බරක් පතලක් නැතුව ලෝකෙ දිහා බලපු කාලෙ ගෙවිල ගිහිං. ඒ දවස්වල නොදැක්ක සමාජයේ අඳුරු අහුමුළු දැන් අපි වැඩි වැඩියෙන් දකිනව. ඒ නිසාම මොනා හරි කරද්දි, කියද්දි ඒ දේවල් වලින් ලැබෙන්න පුළුවං ප්‍රතිඵල ගැන වෙනදට වඩා වැඩියෙන් හිතල බලල වැඩ කරන්න අපි පුරුදු වෙලා.

ඒ අතරෙ අපේ යාළු මිත්‍රකං එහෙමත් එදා තිබ්බට වැඩිය වෙනස් වෙලා. සමහර පරණ යාළුවොංව අපි අමතක කරල දාල. සමහර යාළුවො ඈතට යන්න ගිහිං. තවත් සමහරක් හිටියට වැඩිය ගොඩක් වෙනස් වෙලා.

වෙනස් වෙලා...!

ඇත්තටම එහෙම නොවුනනං තමයි පුදුමෙ. හැමදේම වෙනස්වෙන ලෝකෙක යාළුකම කියන බැඳීම විතරක් වෙනස් නොවී තියේවිද? අපි දැන් වෙන වෙන පාරවල්වල යන මිනිස්සු. අපි ගමන් ගන්න පාර අපිව වෙනස් කරනව... අපිට ලැබෙන අත්දැකීම් අපිව වෙනස් කරනව... ඉතින් අත්‍යාවශ්‍යයෙන්ම අපේ යාළු මිත්‍රකං එහෙමත් ඒ එක්කම වෙනස් වෙනව. ඒ නිසා කල් ගතවෙද්දි තමන්ගෙ යාළුවන්ව ටිකක් ඈතට තල්ලු කරල දාන එක, තමන්ගෙ යාළුවන්ගෙන් ටිකක් ඈත් වෙන එක සම්පූර්ණයෙන්ම ස්වාභාවිකයි නේද? මොකද එහෙම පාදගන්න ඉඩකඩ තමන්ගෙ ජීවිතේ ඇතිවෙන වඩා වැදගත් බැඳීම් වලට අවශ්‍ය වෙන නිසා.

ඒක තමයි ලෝක සොබාවය...

ජීවිතේ කියන්නෙ කෙනෙක් තනියම කල්පනා කරල, තනියම තීරණ අරගෙන ඒ තීරණ වල ප්‍රතිඵල විඳගන්න ගමන් තනියම යන ගමනක් කියල කිව්වොත් ඔයගොල්ලො ඒ කතාව සම්පූර්ණයෙන්ම පිළි නොගන්න පුළුවං. ඒත් අපි වටේ ඉන්න හැමෝම අපිට තීරණ ගන්න හේතු සපයන එක්තරා ආකාරයක ප්‍රේක්ෂකයො පිරිසක් විතරයි කියල හිතෙන්නෙ නැද්ද? වෙලාවකට ඒ අය අපේ හොඳ කියනව... තවත් වෙලාවකට ඒ අය අපිව පාච්චල් කරනව... වෙලාවකට වෙට්ටු දාල හොම්බ බිම ඇනෙන්න සලස්සනව. වාසනාවකට වගේ වැටිච්ච වෙලාවට ආයෙ නැගිටගන්න අතදෙන කට්ටියකුත් ඉන්නව.

ඉතිං ඔය දේවල් විඳගෙන තමන් යන පාරෙ දිගටම යනවද? එහෙමත් නැත්නම් අපි අපේ ගමන යද්දි මග ඉඳන් බුරාගෙන පනින බල්ලන්ට ගල් ගහන්න කියල හිතාගෙන උංව එළවං යන්න අපි එතෙක් යමිං හිටපු පාරෙන් හැරිල උං යන පාරෙ යනවද කියල තීරණය කරන්න ඕනිත් අපිමයි නේද? ‍මොකද අන්තිමේදි අපිට ලඟා වෙන්න පුළුවං අපි තෝරගත්ත පාර කෙළවර වෙන තැනට විතරයි. කෙනෙක් යන්න පාරක් තෝරගත්තම එයා ගමනාන්තෙත් තෝරගත්ත වෙන්නෙ ඒ නිසයි...



ප. ලි.

මේ අගක් මුලක් නැති පෝස්ට් එක කියවද්දි මේක ලියන එකාට පිස්සු හැදීගෙන එනවාවත්දෝ කියල හිතුනනං එහෙම, පෝය පහුවෙලා එච්චර දවසක් ගිහිං නැති බව කරුණාවෙන් සලකන්න.


_____
පින්තූරය

Sunday 31 March 2013

සමබර වීම



මේ ජාතියෙ සෙල්ලම් බඩු ඔයගොල්ලො දැකල ඇතිනෙ...

ඒ දවස්වල මාව පුදුම කරවපු දේවල් වලින් එකක් තමයි ඔය. කොයි පැත්තට හැරෙව්ව උනත් මේව අන්තිමට මුල් පිහිටීමටම ඇවිල්ල හෙමීට නවතින්නෙ හරියට එක්තරා ආකාරයක මායා බලයකින් ඒ දේ සිද්ධ වෙනව වගේ.

මේ සෙල්ලම් බඩුවලට මෙහෙම සුවිශේෂී සමබරතාවයක් ඇවිල්ල තියෙන්නෙ ඒකෙ සම්පූර්ණ බරම තනි ලක්ෂ්‍යයකට එක්තැන් වෙන විදිහට හදල තියෙන නිසා. එතකොට වෙන්නෙ වස්තුව සමබරව තියන්න පුළුවන් පිහිටීම් එකක් විතරක් ඇතිවෙන එක. ඒකයි ඒක කොහොම කරත් එකම පිහිටීමකට ඇවිල්ල සමබර වෙන්නෙ.

සමබරතාවය කියන එක හැම දේටම බලපාන වැදගත් සංසිද්ධියක්. බලාගෙන ගියාම ඒක නැති තැනක් නෑ. පොඩ්ඩක් වටපිට බැලුවනං ඕනි තරං උදාහරණ හොයාගන්න තිබ්බ.

අව්ව, වැස්ස ඇතිවෙන එකේ ඉඳන් හොද්දකට හරි ගානට ලුණු දාන එක වෙනකම්ම සමබරතාවය පිළිබඳ නීතිය වැඩ කරනව.

නිකමට හිතන්න අපිට ගිණි තපින්න ඕනි උනා කියල. ගිණි තපින්න කියල ඕනිවට වඩා ගිණි ගොඩට ලං උනොත් පිච්චෙනව... ඕනිවට වැඩිය ගිණි ගොඩින් දුරස් උනොත් ගිණි තපින්න ඕනි තරං රස්නෙ ලැබෙන්නෙ නෑ...

ඔය සමබරතාවයම ටිකක් ලොකුවට ඉරයි පොළොවයි අතරෙත් තියෙනව. පොළොව දැන් තියෙනවට වඩා ඉරට ලං උනානං ජීවය ඇතිවෙන්න බැරි තරමේ උෂ්ණාධික ග්‍රහලෝකයක් වෙන්න ඉඩ තිබ්බ. හරියට සිකුරු වගේ... එහෙම නොවී දැන් තියෙනවට වඩා ඉරට දුරින් පොළොව තිබ්බනං පොළොව මතුපිට වතුර ඔක්කොම අයිස් වෙනව...

හැබැයි මොනම දෙයක්වත් එක දිගටම එකම සමබර අවස්ථාවෙනං තියෙන්නෙ නෑ. කාලෙන් කාලෙට එක සමබර අවස්ථාවක ඉඳල වෙනත් සමබර අවස්ථාවකට මාරුවෙන්න සිද්ධවෙන එක ඕනිම දේකට පොදු දෙයක්. එහෙම වෙනකොට පොඩි පොඩි හැලහැප්පීම් වලට මූණ දෙන්නත් සිද්ධ වෙනව...

අපේ ජීවිතත් ඒ වගේ නේද?

ජීවත් වෙන එක ආයාසකර දෙයක් නොවෙන්නනං ජීවිතෙත් සමබර වෙන්න ඕනි. ඒකට අළුතින් දේවල් එකතු වෙද්දි කලින් තිබ්බ සමබරතාවය පොඩ්ඩක් විතර එහා මෙහා වෙනව. එතකොට එක්කෝ ආයෙත් සමබරතාවය ඇතිවෙන විදිහට ඒ වෙනකං අපි ජීවිතේ සමබරව තියාගත්ත ලක්ෂ්‍යය පොඩ්ඩක් විතර එහා මෙහා කරන්න සිද්ධ වෙනව. එහෙමත් නැත්නං කලින් තිබ්බ ලක්ෂ්‍යය වටේට ආයෙත් ජීවිතේ සමබර වෙන විදිහට ජීවිතේට අපි එකතු කරං තියෙන දේවල් වලින් කොටසක් ඈත් කරන්නත්, තවත් කොටසක් ලංකරගන්නත් සිද්ධ වෙනව.

මමත් මේ ටිකේ ඔය විදිහෙ සමබර කිරීමේ මෙහෙයුමක් කරන ගමන්. ඉගෙන ගන්න වැඩ ටිකක් ලං කරගෙන ඉන්න නිසා ටික දවසකට බ්ලොග් කෙරුවාව ටිකක් විතර දුරස් කරන්න වෙලා...

ලියන එක කෙසේ වෙතත් කියවන එක අතාරින්නනං අදහසක් නෑ... :)


________
පින්තූරය
http://www.thescienceoutlet.com/Images/Product_Images/BalancingEagle.jpg

Sunday 24 February 2013

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

ටික දවසක ඉඳන් හොය හොය හිටිය පොත් දෙකක් ගිය සතියට ඉස්සෙල්ල සතියෙ අහම්බෙන් වගේ හම්බඋනා. ඉන්ද්‍රජිත් සුභසිංහ මහත්තය ඉරිදා දිවයින පත්තරේට ලියපු ලිපි මාලාවක් එකතු කරපු ‘මහ රහතුන් වැඩි මඟ ඔස්සේ’ පොත් පෙලේ මුල් කොටස් දෙක...

බොහොම කැමැත්තෙන් කියවපු මේ ලිපි වලට විචාර ලියන්න තරං මං මෝරල නෑ. ඉතින් පොතේ පෙරවදන සහ පසු කවරෙ තියෙන සටහන විතරක් උපුටා දක්වල නවතින්නම්...




“මේ ලිපි මාලාව ලියූ ස්වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන් වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වනගැබක අලි, කොටි, වලසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ භිය දැක මේ ආත්මයේදීම සසර දුකින් එතෙර වීම අදිටන් කර ගනිමින් සෘජුව නිවන් ම‍ෙඟ්  ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මග ඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන් වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමෙකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතුවූ සටහන් පොත් කිහිපයක සංස්කරණය නොකල සටහන් ලෙසින් මා අතට පත්කළ උන් වහන්සේ නොපෙනී ගියහ. එහෙත් එම සටහන් කොතරම් දාර්ශණිකද, ගැඹුරුද, ආශ්චර්යමත්ද. නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශවයටම මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද ඇයැදුමක්ද විය. කර්තෘ අඥාත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතු වනු නිසැකය.”
___

ගෝරතර සසරේ
තවත් එක් සන්ධියක
ඉබාගාතේ ඇවිදි
සංසාර සතුන් හට
නොඇලෙන්න කියා දුන්
නෙගැටෙන්න සිහිය දුන්
නිදුකානගේම පුත්
සඟ මැණික ඔබම විය

කරගන්න මහ කුසල්
බෙදා ලොවටම දහම
ඔබේ අවබෝධයෙන්
සැනසීය මනු කැලක්
එමතු නොව දෙවියෝද
එයින් තුටු වනු දනිමි

සාරිපුත් පරපුරේ
අපේ කාලේ උපන්
මහකසුප් මහතෙරගෙ
එමඟ යන බුදු පුතුනි
එක්කෝ මරණයය
නොමැතිනම් නිවනමය
කියා කළ සිහ නාද
තව කොහෙන් අසන්නද

ඔබේ දම් ගැලපුමට
නොතිත් පැසසුම් එතැයි
කියූ කල මා ඔබට
පුතේ මේ මගෙ නොවෙයි
බුදුරජුන් දහමමය
නිහතමානීව කිවු
ඒ වදන් රාවදෙයි

කොහේ හෝ වන පෙතක
මේ මොහොතෙ වැඩ සිටින
අපේ පිනටම උපන්
හිමියනේ ඔබෙ ගුණෙන්
දකිමු අපි බුදු රජුන්

ඒ අමා මෑණියන්
සහස් දෙකකුත් අඩක්
ගෙවී වස් ගතවෙතත්
වදයි ඔබ වැනි පුතුන්
ලෝ සතට සෙනෙහසින්



_____
පින්තූරය  

Saturday 2 February 2013

සහජීවනය...




වියැකිලා ගොස් සියළු බාදා

මුළු ලොවම තනි රටක් වූවොත්...

ඒ රටේ වැසි සියළු මිනිසුන්

එකම දහමට අයත් වූවොත්...

හමේ පාටට ගරු නම්බු දෙන

මෝඩ ක්‍රමයත් නැතිම වූවොත්...

තැනක් වේවිද ලොවම නිදහස්

අනේ...!

එදාටවත්...?



ප. ලි.

එක්කො බදාගෙන කුලල්කාගන්න වෙන මොකක්හරි කුණු ගොඩක් සමහරවිට එදාටත් මිනිස්සු හොයා ගනීවි...


_____
පින්තූරය

Tuesday 1 January 2013

ජීවත් වෙනව කියන්නෙත් කේක් හදනව වගේ වැඩක්



මේ ගෙන්දගං පොළොවෙ හැප්පි හැප්පි ජීවිතේ වටිනාකම ඒකෙන් උපය ගන්න උත්සාහ කරද්දි හිතේ නිදහස කියන එක හොයා ගන්නෙ කොහොමද? එකක් පස්සෙ එකක් මූණ දෙන විභාග, සම්මුඛ පරීක්ෂණ, උසස් වීම්... මේව ඇත්තටම නිදහස දිහාවට යන පාරෙ තියෙන දේවල්ද? ඒක එහෙමනං සාර්ථකත්වය දිහාවට පඩියෙන් පඩිය ඉහල නගින කොට, දරන්න වෙන තනතුරේ විභවය ටිකින් ටික වැඩි වෙනකොට අපිට අත්විඳින්න ලැබෙන මානසික නිදහසේ වපසරිය කුඩා වෙන්නෙ මොන අරුමයකටද?

ගිය අවුරුද්ද කෙලවර වෙද්දි හිතේ තිබ්බෙ ඔය වගේ දේවල් ටිකක් තමයි. කාර්ය බහුල අවුරුද්දකට පස්සෙ දෙසැම්බර් මාසෙ වෙද්දි මම හොඳටම හෙම්බත් වෙලයි හිටියෙ. කොච්චර මහන්සි වෙලා වැඩ කරා උනත් වෙලාවකට අන්තිම ප්‍රතිඵලේ දැක්කම හිතෙනව ජීවිතෙන් මං බලාපොරොත්තු උනේ මේකද කියල. හරියට වතුර ගන්න බලාගෙන කළය මුනින් නැව්වම ඒකෙ වතුර වෙනුවට වැලි තිබ්බ වගේ.

මෙහෙම හැමදේම අවුල් ජාලාවක් වගේ පේන්න ගත්තම හිතේ නිදහස කියන එකේ අවශ්‍යතාවය තදින්ම දැනෙනව. ඉතින් මං කරේ රස්සාවෙ වැඩ, ඉගෙනීම් කටයුතු, සයිබර් අවකාශය කියන හැම දේම පොඩ්ඩක් පැත්තකට කරල සතියක්ම නිවාඩු අරගෙන ගෙදර ගිය එක. ඔය දේවල් වලින් පොඩ්ඩක් ඈත් උනාම; හිතේ හැටියට නිදාගන්න ලැබුණම; තුන් වේලම කටට රහට බඩ පිරෙන්න කන්න ලැබුණම හිත නිදහස් කරගෙන කල්පනා කරන්න ලේසියි. හිතේ නිදහස හොයා ගන්න ලේසියි.

මං කඳුකරේ ඉපදිච්ච කෙනෙක්. ඒ නිසා මගේ ආධ්‍යාත්මයෙන් වැඩි කොටසක් කඳුකරේට අයිති දේවල් එක්ක බැඳිල තියෙනව. මගේ හිතේ නිදහස ගොඩක් වෙලාවට නිර්වචනය කරගන්න පුළුවන් වෙන්නෙ ඒවගෙන්. ඉර එළියෙ දිලිසෙන කදු මුදුන්... සීතල මද සුළඟ... තරු පිරිච්ච අමාවක රෑ අහස... ගස් වැල්... කුඩා දොළ පාරවල්... හිතේ ඇතිකරන නිදහස් සාමකාමී හැඟීම වෙන දේවල් වලින් මං අත්විඳල නැහැ.

කඳු මූණතක වැවිච්ච් තණකොළ පලසක දිගෑදිල නිල් අහස් පසුබිමේ වළාකුළු කැරළි පාවෙන හැටි බලාගෙන ඉඳිද්දි; එහෙමත් නැත්නං සීතල උදේක අරුණාලෝකෙට යටින් කඳු බෑවුම් දෙකක් හාවෙන දඟර ගැහිච්ච රේඛාව දිගේ ගලාගෙන යන ඔයකට උඩින් සුදු උඩු වියනක් හදාගෙන ගලා බහින මීදුම් ගංගාව දැක්කම හිතේ ඇතිවෙන උද්දාමය සුවිශේෂීයි.

ඒ වගේමයි ෆයිනස් යායවල් හරහා හමාගෙන යන හුළඟ ඇතිකරන හෝ හ‍ෙඬ් ගුප්ත බවත්...

ඔය දේවල් පුදුමාකාර විදිහට හිත සංහිඳියාවකට පත් කරනව. සමහරවිට ඒ එතන තමන් සතු කරගන්න කිසිම දෙයක් නැති නිසා වෙන්න ඇති. මට හිතෙන විදිහටනං සොබාදහම අත්විඳින්න ඕනිත් ඒ විදිහටයි. තමන්ගෙ කර ගැනීමේ ආසාවකින් තොරව... එතකොට තමයි සොබාදහම හිතේ තුවාල සුවපත් කරන බෙහෙතක් වෙන්නෙ.

සොබා සිරිය විඳගෙන මගේ පොත් එකතුවේ ප්‍රියතම පොත් ටිකත් වට කරගෙන නිවීහැනහිල්ලෙ ඉන්නකොට ජීවිතේ ගැන තීරණ ගන්න, අනාගතේට ඕනි සැලසුම් හදන්න, ඔළුවෙන් අනවශ්‍ය බර අයින් කරගන්න ලේසියි. තමන් විසින්ම ජීවිතේ ඕන නැති විදිහට කොච්චරනං සංකීර්ණ කරගෙනද කියල පේන්න ගන්නෙත් එහෙම වෙලාවටම තමයි. ගෙවිච්ච අවුරුද්ද ගැන ආවර්ජනයක් කරන්නත් එන අවුරුද්දට සැලසුම් කීපයක් ඇඳගන්නත් ඒ වෙලාව මසුරං වටිනව.

මේ අවුරුද්දට මහා ලොකුවට නැතත් කරන්න ඕනි කියල හිතාගෙන ඉන්න වැඩ දෙක තුනක් තියෙනව. මම ඒවට මහන්සි වෙන තරමට ප්‍රතිඵලත් තියේවි කියන විශ්වාසයෙන් වැඩ කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නෙ. මොනා කරත් අන්තිමේදි ඉතුරුවෙන වැදගත්ම දේ තමයි තමන්ට තමන්ගෙ හිතේ නිදහස කරන දේ හරහා හොයා ගන්න පුළුවන් වෙනවද නැද්ද කියන එක. හිතේ නිදහසක් නැත්නං වෙන මොනා තිබ්බත් වැඩක් නැහැ.

හිතේ නිදහස හොයාගෙන ජීවත් වෙන එක ගැන කතා කරද්දි මං මේ මෑතකදි කියවපු පොතක තිබ්බ ලස්සන කතාවක් මතක් උනා.

“ජීවත් වෙනව කියන්නෙත් හරියට කේක් එකක් හදනව වගේ වැඩක්. සමහරුන්ට කේක් එකක් හදන්න ඕනි වෙන හැමදේම ලැබෙනව. තවත් සමහරෙක්ට ඕනි කරන හැම දේම ලැබෙන්නෙ නෑ. සමහර වෙලාවට ඒ අයට ලැබෙන්නෙ ගුල්ලො ගහපු පිටි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පරණ වෙච්ච බටර් වෙන්න පුළුවන්. ඒත් වැදගත්ම දේ තමයි තමන්ට තියෙන අඩුම කුඩුම ටික එකතු කරගෙන හදන්න පුළුවන් හොඳම කේක් ගෙඩිය හදා ගන්න එක. මොකද සමහර වෙලාවට හැම දේම තිබිලත් කේක් එක හරියට හදා ගන්න බැරි කට්ටිය ඉන්නව.”

තමන් තමන්ගෙ වගේම අනිත් අයගෙ යහපතටත් කරන්න පුළුවන් උපරිමේ කරනව කියල දැනගෙන ජිවත් වෙන්න කෙනෙක්ට පුළුවන්නං එතන පොඩි හිතේ නිදහසක් තියෙනව නේද?

එහෙනං ලැබුවා වූ නව වසර හැමෝටම තම තමන්ගෙ හිතේ නිදහස හොයා ගන්න පුළුවන් වෙන සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. :D


_____
පින්තූරය
Related Posts Plugin for WordPress, Blogger...