Pages

Saturday 14 February 2015

සුළඟ සදිසි


අපිව වට කරගෙන හුළඟ තිබුණ උනාට. අපි ඒක හුස්ම ගත්ත උනාට හුළඟ අපි අවට තියනව කියල අපිට නොදැනෙන තරම්, අපි ගණන් නොගන්න තරම්. හුළඟ කියල එකක් තියනව ය, ඒක ගොඩක් වැදගත් ය කියල අපිට තේරෙන්නෙ හුළඟ නැති වෙලාවට. සමහර මිනිස්සුත් නිකං හුළඟ වගේ. ඒ අය ලඟපාත ඉන්නකං අපිට ඒ අයගෙ වටිනාකමක් තේරෙන්නෙ නෑ. ඒ අය මොනාවත් කරනවවත් අපිට පේන්නෙ නැහැ.

“දවස තිස්සෙ නිකං ඉන්නව ඇරෙන්න ඔයා මොනාද කරල තියෙන්නෙ?”

කියල හරි;

“ඔයා කිසිම දෙයක් නොකර නිකංමනෙ ඉන්නෙ...”

කියල හරි සමහර විට අපිම ඒගොල්ලන්ට අනන්තවත් කියල ඇති. ඒ වෙලාවට අහිංසක විදිහට හිනාවෙලා ඒගොල්ලො නිකං ඉඳියි. මොකද ඒ අය අනිත් අය වෙනුවෙන් කොච්චර බරක් කරගහන්න ලෑස්තිද, දැනටමත් කොච්චර බරක් කරගහනවද කියල කියන්න හරි පෙන්නන්න හරි කැමති නැති නිසා. ඒගොල්ලො හෙවනැලි වලට මුවා වෙලා ඉඳගෙන ආලෝකය රකින උදවිය. තමන්ව උලුප්පල දක්වන්න ඒ අය කැමති නැහැ. ඒ සමහර විට ඒ අය කුලෑටි නිසා වෙන්න ඇති. එහෙමත් නැත්නං අනිත් අයට හොඳක් වෙනවනං ඒක කරේ කවුද කියන එක වැදගත් නෑ කියල ඒගොල්ලො හිතන නිසා වෙන්න ඇති.

අනිත් අතට, මේගොල්ලො මහ ලොකු දේවල් කරන්න යන්නෙත් නැහැ. ඒගොල්ලන්ගෙ අවධානයට ගොඩක් වෙලාවට අහුවෙන්නෙ අනිත් අයට කරන්න අතපසුවෙන, පුංචි පුංචි දේවල්. හැබැයි ඒ දේවල් වලින් කරන්න පුළුවන් බලපෑම පොඩිත් නැහැ.

එක්කෝ තමං කන චොක්ලට් එකේ හරි බිස්කට් පැකට් එකේ හරි කොළේ ඒක දාන්න කුණු බාල්දියක් හම්බවෙනකං සාක්කුවෙ දාගෙන යයි.

එහෙමත් නැත්නම් ෆෝන් එකත් කණේ ගහගෙන මෙලෝ සිහියක් නැතුව පාරෙ යන කෙනෙක් ලිස්සල වැටෙන්න පුළුවං කියල හිතල පාරෙ වැටිල තියන කෙසෙල් ලෙල්ලක් හරි අඹ ලෙල්ලක් හරි අයින් කරල දායි.

සමහරවිට කිලෝවොට් එකක් දෙකක් හරි වතුර ලීටර් කීපයක් හරි නාස්ති වෙන එක වලක්ව ගන්න මොනා හරි කරයි (ඔහේ වැඩ කර කර කියන විදුලි පංකාවක් හරි විදුලි බල්බයක් හරි නිවල දාන එක, කාට හරි අමතක වෙලා ඇරල දාල ගිය වතුර කරාමයක් වහල දාන එක වගේ).

පාටියකට ගියාම තියන රස කෑම හැම එකක්ම හිත පිරෙන ගානට තමංගෙ පිඟානට ගොඩ ගහගෙන පස්සෙ කුණු බාල්දි වල බඩ පුරවන්නෙ නැතුව තමංට කන්න පුළුවන් තරමට විතරක් බෙදා ගනියි.

ඔන්න ඔහොම තමයි...

වෙලාවකට බලා ඉන්න අපිට හිතෙනව මේ වගේ පොඩි පොඩි දේවල් වලට මොකට නහිනවද කියල. ඔයා ඒ අදහස ප්‍රශ්ණයක් විදිහට එහෙම කරන කෙනෙක්ගෙන් ඇහුවොත් සමහරවිට හරි ලස්සන උත්තරයක් ඒගොල්ලො දෙයි.

“වතුර බිංදුව බිංදුව එකතු වෙලා තමයි මහා සාගරයක් හැදෙන්නෙ. ඉතින් පොඩි දේකින් හරි ලෝකෙට හොඳක් කරන්න පුළුවන් නං ඇයි අපි ඒක නොකර ඉන්නෙ. හොඳ වැඩ කරද්දි කාත් එක්කවත් තරඟෙට ඒව කරන්න ඕනි නෑනෙ.”

සමහර විට ඒගොල්ලො ඒ විදිහට හිතන්නෙ, ඒගොල්ලො වැඩිය කැමති වටපිට බල බල ජීවිතේ දිගේ ඇවිදින්න නිසා වෙන්න ඇති.

අපි ගොඩක් දෙනෙක් කරන්නෙ ජීවිතේ දිගේ දුවන එක. මොකද කියනවනං, ජීවිතේ රේස් එකක් කියල අපි හිතාගෙන ඉන්න නිසා. ඒ උනාට ජීවිතේ දකින්නනං කෙනෙක් ජීවිතේ දිගේ ඇවිදගෙන යන්න ඕනි නේද? ඉඳල හිටල සමහර තැන් වලදි දුවන්න වෙනව තමයි. ඒත් වටපිටේ සිරි නරඹන ගමන් ගොඩක් ඇවිදින්න පුළුවන්නං ටිකක් දිව්වම මොකද. හැබැයි වටපිට බලන්න ඕනි කියල ජීවිතේ දිගේ බඩගාන එකනං මෝඩ වැඩක්. මොකද කෙනෙක් ජීවිතේ ගෙවන විදිහ ගැන ලෝක ස්වභාවයට වගේ වගක් නැති නිසා. ඉර පායනව වගේම ඉර බහිනව. ඉර බහිද්දි අපි ඉන්න ඕනි කොතනද සහ ඉන්නෙ කොතනද කියන එක අපේ මිස වෙන කාගෙවත් ප්‍රශ්ණයක් නෙවෙයි.

ඉතින්, ජීවිතේ දිගේ ටිකක් හරි ඇවිදින්න පුරුදු උනොත් සමහර විට හුළඟ වගේ අයව දකින්න අපිටත් බැරි වෙන එකක් නැහැ.

හැබැයි මට තියන ප්‍රශ්ණෙ තමයි, කවුරුහරි හුළඟ වගේ වෙන්න හිතන්නෙ ඇයි කියල. වැඩි දෙනෙක් ඒකෙ අනෙත් පැත්ත. ඒගොල්ලලො හදන්නෙ මොනා හරි පොඩි දෙයක් කරල හරි, මුකුත්ම නොකර හරි කමක්නෑ තමංගෙ නම මහ ලොකුවට කියෝ ගන්න.

ඒක එක්කො ජාන වලටම කාවැදිච්ච ගතියක් වෙන්න ඇති. ඒ වගේ ගති අපි හැමෝ ලඟම තියනව. හොස්ස ලඟින් මැස්ස යන්න බැරි කම, පුහු මාන්නෙන් ඔළුව ඉදිමිච්ච ගතිය, කිසිම පිළිවෙළක් නැති කම වගේම, අරපරිස්සමින් වැඩ කරන ගතිය, අනිත් අයට ඇහුම්කන් දෙන්න තියන හැකියාව, රහසක් රහසක් විදිහට තියා ගන්න පුළුවන්කම සහ වගකීම් දරන්න බය නැති ගතිය වගේ ඒව අඩු වැඩි විදිහට අපි කවුරු කවුරුත් උපතින්ම අරගෙන එනව.

හැබැයි කෙනෙක්ගෙ තියෙන ‘හුළඟ වගේ ගතිය’ මුලින්ම අනිත් අයට පේන්න පටන් ගන්නව ඇත්තෙ උපන්ගෙයි මෝඩකම විදිහට වෙන්න ඕනි. මොකද, වතුරෙ ගිලෙන කූඹියෙක් බේරන්න දෙපාරක් හිතන්නෙ නැතිව කක්කුස්සි වළකට අත දාන්න පුළුවන් කම හුදී ජනයා දකින්නෙ අන්තිම මෝඩ කමක් විදිහට නිසා. අනිත් අතට එහෙම හැකියාවක් තියන කෙනෙක්ව සමාජය ලේසියෙන් අතාරින්නෙත් නැහැ. එහෙම කෙනෙක් හැමෝටම විනෝදය සපයන විකටයෙක් කර ගන්න සමාජය හරිම දක්ෂයි. “මෙන්න නිවටයෙක්” කියල හිතාගෙන එළුවොත් රැවුල් දික් කරගෙන එන්න පටන් ගන්නව. ‘හුළඟ වගේ අය’ හෙවනැලි වලට මුවා වෙලා ඉන්නයි, සභාවෙ පිටිපස්සෙ පුටු වල වාඩිවෙන්නයි පස්සෙ කාලෙකදි පුරුදු වෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති.

ඉතින්, හුළඟ වගේ මිනිස්සු ඉන්නව. හුළඟ අතට අහුවෙන්නෙ නෑ වගේම ඒ අයව අපේ අවධානයට අහු වෙන්නෙත් නැති තරම්. ඒත් චිත්‍රපටියක පසුබිම් සංගීතෙ චිත්‍රපටිය ලස්සන කරනව වගේ ඒගොල්ලො කරන දේවල් අපි ජීවත් වෙන ලෝකෙ ලස්සන කරනව.

වොක්ස්වැගන් බීට්ල් එකක ඉස්සරහ බොනට් එක ඇරල ඒකෙ එන්ජිම තියෙනවද කියල බැලුවොත් ඔයා කියයි “බොලේ! මේකෙ එන්ජිමක් නෑනෙ...” කියල. ඒත් කාර් එක දුවනව. එහෙනං කාර් එකේ එන්ජිම තියෙන්න ඕනි පිටිපස්සෙ කියල අනුමාන කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනි.

_____
පින්තූරය
Related Posts Plugin for WordPress, Blogger...