කන්තෝරු
යනව කියන්නෙත් ලේසි පාසු වැඩක්
නෙවෙයි. බස් වල,
කෝච්චි වල හිරවෙලා
ට්‍රැපික් එකේ පැය ගණන් තැපල
හොඳ පණ යනව.
ඒ වගේම කන්තෝරුවෙ
වෙලාවට ඉන්නත් ඕනි. ඉස්සර
නම් ඕක එච්චර දෙයක් නෙමෙයි
කියල තමයි කන්තෝරුවෙ පරණ
කට්ටිය කියන්නෙ. තමන්
කන්තෝරුවට එන්න කලින් තමන්ගෙ
අත්සන එවන්න ක්‍රම තිබිල
තියෙනව. ඒත් අර
අළුතෙන් ගෙනල්ල හයි කරපු
“ඇඟිලි තියන“ මැසිම නිසා ඒ ක්‍රම ඔක්කොම
දැන් අභාවයට ගිහින්. වැඩට
ආව කියල සටහන් වෙන්නනම් අර
මැසිමෙ ඇඟිල්ල
තියන්නම ඕනි. ඒකට
ඉතින් වෙලාවට වැඩට එන්න සිද්ධ
වෙනව. ඔය නිසා ටිකක්
විතර පරක්කු උන දවසට උදේ පාන්දරම
මැරතන් එකක් එහෙමත් දුවන්න
වෙනව.
මේ මොන
සෙල්ලම දාලවත් වෙලාවට වැඩට
යන්න බැරිවෙන දවස් තියෙනවා.
වැස්ස දවස්, කෝච්චි
පරක්කු වෙන දවස්, ප්‍රයිවෙට්
බස් අයියලට ඩීසල් ගහන්න සල්ලි
මදිවෙන දවස් වලට එහෙම කන්තෝරුවෙ
ගොඩ දෙනෙකුට වෙලාවට වැඩට එන්න
බැරුව යනව. (ඔයිට
අමතරව යුද්දෙ තිබ්බ කාලෙදි
පාරවල් ඇරිල්ලයි වැහිල්ලයි
නිසාත් ගොඩක් වෙලාවට කන්තෝරු
යන්න පරක්කු උනා.)
කොහොමින්
කොහොමින් හරි තමන්ගෙ නොවන
අතපසුවීම් නිසා ගොඩ දෙනෙකුට
වැඩට එන්න පරක්කු වෙන දවසට
කන්තෝරුවෙන් පොඩි සහනයක්
ලැබෙනව. ඒ තමයි බස්
ලේට් සහ කෝච්චි ලේට්.
මේ වැඩේ
සිද්ද උනෙත් ඔය බසුයි කෝච්චියි
ඔක්කොම පරක්කු උන දවසක.
එදාට ඉතින් කන්තෝරුවෙන්
තුන්කාලක් විතර වේලා සටහන්
අංශය ලඟ
පෝළිං ගැහිල ඉන්නව ලේට් එක
අත්සන් කරන්න. ඒ
කියන්නෙ පරක්කු වෙලා ආව අයගෙ
ලැයිස්තුවට තමන්ගෙ නමත් දා
ගන්න.
ඉතින්
ඔන්න ඔහොම කට්ටිය ඉන්නැද්දි
වේලා සටහන් අංශෙ ලොක්ක, අපේ
ගුණසිංහ මහත්තයට පේනවලු කෝච්චි
ලේට් එක අස්සන් කරන්න ඉන්න
පෝළිමේ මොකක්දෝ නොගැලපිල්ලක්.
හරියට නිකං සුද්දො
කන්දරාවක් මැද්දෙ එක කාපිරියෙක්
ඉන්නකොට වගේ. ටික
වෙලාවක් යනකං ගුණසිංහ මහත්තයටත්
තේරුණේ නෑලු මොකක්ද මේ වෙනස
කියල. පස්සෙලු වැඩේ
තේරුණේ. එතකොටනං
ගුණසිංහ මහත්තයගෙ ඉවසීමෙ
මීටරේ රතු කට්ට පැන්නලු.
කර කර හිටපු වැඩෙත්
පැත්තකට දාල ගුණසිංහ මහත්තයත්
ගියාලු අර කෝච්චි ලේට් අස්සන්
කරන පෝළිම ලඟට.
මෙන්න ඉන්නවලු මනුස්සයෙක්
බයිසිකල් ජැකට් එක නවල අත උඩ
දාගෙන, ඒ අතින්ම
හෙල්මට් එකත් අරගෙන වගේ වගක්
නැතුව.
“මේ මහත්තය
ලේට් එක අස්සන් කරන්ඩද?” ගුණසිංහ මහත්තය අර
මනුස්සයගෙන් ඇහුවලු.
“අනේ ඔව්
මහත්තයො. බලන්ඩකො
අදත් කෝච්චිය පරක්කුයිනෙ.” කියල අර මනුස්සය
කියනවලු.
ඉතින් ඒ
කතාව අහල ගුණසිංහ මහත්තයාග
ඉවසීමෙ මීටරේ කටුව තව චුට්ටක්
ඉස්සරහට කැරකුනලු. බොහොම
අමාරුවෙන් තරහ පාලනේ කරගෙන
ගුණසිංහ මහත්තය ඇහුවලු,
“දැං මහත්තය
බයිසිකලේ ගෙදර දාල හෙල්මට්
දාගෙනද කෝච්චියෙ එන්නෙ?” කියල.
එතකොටලු
අර මනුස්සයට මතක් වෙලා තියෙන්නෙ
කෝච්චි ලේට් අස්සන් කරන සිහියෙන්
දුවගෙන ආව මිසක් ජැකට් එකයි,
හෙල්මට් එකයි බයිසිකලේ
උඩ තියල එන්න අමතක උනානෙ කියල.
ඊට පස්සෙ
උනේ මොකක්ද දන්නවද?
අර මනුස්සය
ගුණසිංහ මහත්තයගෙන් හොඳට
ලුණු ඇඹුල් ඇතුව අහගන්න ඇති
නේද? ඔව්, ඒකත්
උනා තමයි. ඒ උනාට
නරකම වැඩේ උනේ බස් වල කෝච්චි
වල යන අහිංසක අපිට. බස්
සහ කෝච්චි ලේට් දීම ඊට පස්සෙ
නැත්තටම නැති වෙන තරමට කන්තෝරුවෙන්
අඩු කරානෙ. දැං ඒ
දෙන ලේට් එක දෙන්නෙත් නීති
හැටහුටාමාරක් දාල.
ඕන්න ඕකට
තමයි කියන්නෙ “අනුන්ගෙ පානින්
එළිය බලන්න ගිහිං උන් ටිකත්
අමාරුවෙ දාල එනව” කියල.
_____
පින්තූරය
http://users.encs.concordia.ca/~ecsga/cartoon_line_big.jpg
අපොයි! පව් අනිත් මිනිස්සු ටික......
ReplyDelete@විසිතුරු | visituru
ReplyDeleteතමන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්න තැන් වල මෙහෙම දේවල් අනන්තවත් වෙනව. මේ එක අවස්ථාවක් විතරයි.