Pages

Wednesday 25 July 2012

මෙහෙමත් වෙනව...



සීත කාමරෙ
සැපැති පුටුවක
කැරකි කැරකී
බලයි පත්තර

පුවත් ගොණුකොට
'ඇනලයිස්' කොට
රට හදන හැටි
කියයි අනුනට

රාජකාරිය
නොසැලකූ කල
ෆයිල් කන්දත්
වැඩෙයි ඉහලට

දික් ගැසී ගිය
පෝළිමක සිට
හූල්ලා යයි
පඩි ගෙවන දන


වැදගත්:
මේ කියන්නේ හැමෝ ගැනම නෙවෙයි. කිරි බාල්දියට වැටුන ගොම වගේ කට්ටිය වගේම කළු ගල් ගොඩවල් අස්සෙ හැංගිච්ච මැණික් වගේ කට්ටියත් ඉන්නව.
_______
පින්තූරය

Thursday 12 July 2012

අපිට ඕනි දේ




වෙලාවකට අපිට ඕනි මොනාද එපා මොනාද කියන්න අපිටවත් හරිහමන් අදහසක් නෑ. අපි විසින් උපයගෙන, ඉල්ලගෙන එහෙමත් නැත්නම් අත්පත්කරගෙන තියෙන ගොඩක් දේවල් දිහා ටිකක් විවෘත මානසිකත්වයකින් බැලුවම හිතට එන ප්‍රශ්ණයක් තමයි අපි ලබාගෙන තියෙන්නෙයි අපි ලබාගන්න මහන්සි අරගෙන තියෙන්නෙයි ඇත්තටම  අපිට ඕනි දේවල්මද කියන එක.

ගොඩක් දේවල් අපිට ඕනි වෙන්නෙ ඒ දේවල් ඇත්තටම වැදගත් නිසාවට වඩා ඒ දේවල් අනිත් අය ගාව තියෙනව දකින නිසා. කොටින්ම කිව්වොත් ‘අනිත් අය වගේ වෙන්න’ පොඩි උවමනාවක් අපි හැමෝගෙම හිත් ඇතුලෙ තියෙන නිසා. ‘අනිත් අයට වඩා උඩින් ඉන්න’ ඕනිකමක් අපේ හිත් ඇතුලෙ නලියන නිසා.

ඕනි දේවල් ගැන කතා කරද්දි මතක් වෙච්ච පොඩි කතාවක් ලියල තියන්න හිතුණා...

ඔන්න එකෝමත් එක රටක හිටියලු යාළුවො දෙන්නෙක්. එක්කෙනෙක්ට අපි ‘කමල්’ කියමුකො. අනිත් එක්කෙනා ‘නිමල්’.

කමල් සල්ලි බාගෙ තියෙන ටිකක් සරුසාරෙට ජීවත් වෙච්චි මනුස්සයෙක්. එයා වැඩකට අතගැහැව්වොත් ඒ වැඩේ සාර්ථක වෙන ගතියක් තිබ්බ. අනිත් පැත්තෙන් බැලුවම නිමල් එදා වේල හම්බ කරගෙන - එයාම කියන විදිහට - දුකසේ ජීවත් වෙච්ච කෙනෙක්. කොහොම උනත් කවද හරි දවසක ‘කමල් වගේ වෙන්න’ නිමල්ගෙ හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තිබ්බ.

ඔහොම ඉන්න අතරෙ දවසක් නිමල්ට වයසක සාත්තර කාරයෙක්ගෙන් වරයක් හම්බ උනාලු.

වරයක් හම්බවෙනව කිව්වම ඉතිං අතාරින්නත් බෑනෙ. නිමල් කල්පනා කරල, කල්පනා කරල අන්තිමේදි මෙහෙම කිව්වලු.

“එහෙනං කමල්ට හම්බවෙන හැමදේම මටත් ලැබෙන වරයක් දෙන්න...”

මේ වරය ලැබිල සතියකට විතර පස්සෙ කමල්ට ලොතරැයියක් ඇදුනලු. ඊට පස්සෙ දවසෙම නිමල්ටත් ලොතරැයියක් ඇදුනලු.

ඊට මාසෙකට දෙකකට විතර පස්සෙ කමල්ට පාරෙ වැටිල තිබිල මැණිකක් හම්බඋනාලු. ඒ හම්බවෙලා ටික දවසක් යද්දි නිමල්ටත් ඒ විදිහටම මැණිකක් හම්බඋනාලු.

“මේකනේ ජීවිතේ...” කියල හිතාගෙන නිමල් කාලයක් බොහොම සැපට ජීවත් උනාලු. හැබැයි ඊට පස්සෙ උනේ නිමල් හීනෙකින්වත් නොහිතපු දෙයක්.

එක දවසක් කමල් ලොකු හොරකමකට වැරදිකාරයෙක් වෙලා හිරේ වැටුනලු. ඊට ටික දවසකට පස්සෙ නිමලුත් තමන් කරව්වෙවත් නැති හොරකමකට වැරදිකාරයෙක් උනාලු.


ප. ලි.

අජාන් බ්‍රහ්මවංසො හාමුදුරුවන්ගෙ ධර්ම දේශණාවකදි මෙහෙම දෙයක් කියවුණා මතකයි.

“What you have won’t make you rich, what you want will make you poor.”

“තමන්ට ඇති දේ තමන්ව පොහොසතෙක් නොකරනවා වන්නට පුළුවන. නමුත් තමන්ට අවැසි දේ තමන්ව දුප්පතෙක් කරනු ඇත.”

_____
පින්තූරය

Tuesday 3 July 2012

බැංකුව සහ හොරු

හරිනං මේක ලියන්න තිබ්බෙ සතියකට විතර උඩදි. ඒත් ගිය මාසෙම වැඩ කන්දරාවකට යට වෙලා හිටිය නිසා පෝස්ට් එකක් දාන්න තරං විවේකයක් හොයා ගන්න බැරි උනා.

මේක මට කියවන්න හම්බඋනේ ආතර් සී. ක්ලාක් මහත්තයගෙ ‘අනාගත අශ්චර්යයන්’ කියන පොතේ තිබිල.

කොහොම උනත් කතාව මේකයි.

අපි ලෝකෙ දකින්නෙ ‘දිග’, ‘පළල’, ‘උස’ කියන ත්‍රිමාණ රාමුවෙ ඉඳල. වෙනත් විදිහකින් කිව්වොත් අපිට ගෝචර ලෝකෙ ත්‍රිමාණයි. දැන් හිතල බලන්න ද්විමාන ලෝකයක් ගැන. ඒ කියන්නෙ ‘දිග’, ‘පළල’ කියන මාන දෙක විතරක් තියෙන සම්පූර්ණයෙන්ම පැතලි ලෝකයක්. ඒ ලෝකෙ තියෙන හැම දේම බිත්තියකට වැටිච්ච හෙවනැල්ලක් වගේ පැතලියි. ත්‍රිමාණෙ ඉන්න ජීවියෙක්ට සිව්වන මානෙ කියන්නෙ මොකක්ද කියල අදහසක් නෑ වගේ මේ ‘පැතලි’ ලෝකෙ ඉන්න ජීවයෙක්ටත් ‘ගැඹුර’ කියන සංකල්පෙ එහෙමත් නැත්නම් තුන්වෙනි මානෙ ගැන අදහසක් නෑ.

ඉතින් මේ පැතලි ලෝකෙ ‘පැතලි’ ගෘහ නිර්මාණ ශිල්පියො ටිකක් එකතු වෙලා ලොකු ව්‍යාපෘතියක් පටන් ගන්නව. ඒ තමයි තමන්ගෙ සල්ලි අරක්ෂා කරල තියාගන්න බැංකුවක් හදන එක. මේ අය තමන්ට තියෙන තාක්ෂණේ උපරිමේට පාවිච්චි කරල කාටවත් කඩාගෙන ඇතුල්වෙන්න බැරි විදිහට බැංකුව හදල සල්ලි තැම්පත් කරනව.

එහෙම බැංකුවක් දිහා ත්‍රිමාණය ගෝචර අපි වගේ කෙනෙක් බැළුවොත් කොහොම පෙනේවි කියල හිතන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට ඒක මේ වගේ පෙනේවි.



දැං අපි හිතමුකො අපි කවුරුහරි ඔය මැද තියෙන සල්ලි ටික ගත්තයි කියල... එතකොට මොකද වෙන්නෙ?

පළවෙනි දේ තමයි ඒ අහිංසකයො ටික දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි ඒ අයට නැති වෙනඑක...

ඊලඟට වෙන දේ තමයි සල්ලි නැතිවෙච්ච විදිහ ගැන හොයන්න ගියාම ඒ කට්ටිය දිරෝගන්න බැරි ප්‍රශ්ණෙකට මැදිවෙන එක.

බැංකුවෙ දොරවල් කඩල නෑ. බිත්ති කඩලත් නෑ. ඒ උනාට සල්ලි අතුරුදහන් වෙලා. පොලිසියනං අනිවාර්යයෙන් අඥ්ඥකොරොස් වෙනවමයි.

බැරිම තැන විද්‍යාඥයෙක්ට ප්‍රශ්නෙ බාරදුන්නයි කියමු. එයා තර්කයක් ගොඩනගල අන්තිමේදි කිව්වොත් තුන්වෙනි මානය හරහා කෙනෙක් ඇවිල්ල හොරකම කරා කියල ද්විමාන වැසියො කීයෙන් කී දෙනෙක් ඒක විශ්වාස කරයිද?

කවුරු විශ්වාස කරත් නොකරත් අන්තිමේදි වෙලා තියෙන්නෙත් ඒ දේම නේද?
Related Posts Plugin for WordPress, Blogger...