Pages

Showing posts with label කන්තෝරුවෙන්. Show all posts
Showing posts with label කන්තෝරුවෙන්. Show all posts

Sunday, 8 January 2012

කන්තෝරු කවි




තිස්සෙම යකඩ ගොඩකට වී තැම්බෙන           වා
දෙපා ගෙවෙන තුරු වැඩටම ඇවිදින               වා
කැන්ටිමේ කෑම දැකලා බඩ දන                      වා
තැනකට එන්න මම රස්සාවට යන                  වා

ඕ. ටී. එක අරං බෝඩිමට ගෙ                           වා
පඩියෙන් බාගයක් කෑමට වෙන් කර                වා
ඉතිරි ටිකෙන් අනෙකුත් වියදම් පිය                  වා
මාසේ අන්තිමට මට මොකවත් නැතු               වා

ලාබෙට ලැබෙන සීසන් එක තියන් අ               තේ
බස් එකෙ,කෝච්චියෙ තෙරපී වැඩට එ             තේ
රතු ඉර වදින්නට පෙර පැමිණීමෙ පො              තේ
බස් නැවතුමේ සිට අපි මැරතන් දුව                   තේ

මානෙන් ඉන්න ලොක්කන්ගේ රැවුං බැනු         ං
සොක්කෝ ඉඳන් කරනා පොඩි පොඩි විගඩ     ං
වැඩ බැරි දාසලාගේ වැදි බණ අහමි                   
ගෙවිලා යනව කන්තෝරුවෙ දවස හෙමි           ං

වැඩ්ඩෝ කෙරුවාව ගැන පංපෝරි කෙ             ලී
වැඩක් කරන්නට යනවිට කෙනේහි                  ලී
කබ්බන්ගේ ටොයියන්ගේ කඹ ඇදි                   ලී
බලා හිඳිනවා අපි බැඳගෙන ඇඟි                        ලී

එක කට්ටියක් නැහෙනා මුළු දවස පු                 රා
පත්තර කියවනව පිරිසක් අසුන් අ                     රා
තව ටික දෙනෙක් හට හිතුනම බොන්න සු        රා
පනිනව කන්තෝරුවෙන් සිකුරිටිට හො           රා

කාලය කමින් රත් කරමින් නොඉඳ පු                ටු
ලිපි ගොණු එක්ක හොඳ හැටි වෙනවා ඔට්        ටු
ලොක්කෝ බනිනකොට අප කරනට මට්         ටු
අහගෙන ඉන්නවා කෑව වගෙ පිට්                      ටු

වැඩ ඇති වෙලාවටනං නෑ අනම් මන                ම්
කන්තෝරුවෙ කරන්නට වැඩ ඕන තර            ම්
හවස් අතේ විවේකයක් ලැබුනම න                  ම්
අපි ගහනවා කොම්පියුටර් එකෙන් ගේ             ම්

හිත හොඳ අහිංසක යහපත් මිනිසුන්                 ද
කෙලෙහි ගුණ නොදත් නරි වන් කපටින්         ද
නයින් කටුස්සන් ආඳන් ඇඹලුන්                    
හරියට සිටී කන්තෝරුවෙ සෙනග මැ             ද

විවිදාකාරයේ මිනිසුන් සමග හි                        ඳ
ජීවත් වෙන අයුරු ඉගෙනුම අවැසි ස               ඳ
මොනවද කියා දැන ගන්නට නරක හො          ඳ
තෝතැන්නකි සාර, කන්තෝරුව නිබ            ඳ


_____
පින්තූරය
http://www.glasbergen.com/wp-content/gallery/computer-cartoons/bizcom81.gif

Sunday, 11 December 2011

මාළුවා මට්ටු කිරීම




“කල්ප, ඊයෙ හවස ආපු ‘ඔෆිස් ටේබල් වගයක් පහල බාල ගිහිං. මෙන්න ෆයිල් එක. සිකුරිටි එකෙන් ඒ ටික අරගෙන ගබඩාවට දාල දාන්න පුළුවන්ද?

එහෙම කියල විජේසිංහ මහත්තය උදේම මට වැඩක් පැවරුව.

“උදව්වට ආරච්චිවයි, සිරීවයි එක්ක යන්න...

“හරි මහත්තයෝ...” කියල කාර්ය සහයක ඩබලත් එක්කරගෙන මමත් වැඩේට පිටත් උනා.

ලිපි ලේඛන වැඩ වලට මහ වෙලාවක් ගියේ නෑ. පරීක්ෂා කිරීම් කීපයකිනුයි, අත්සන් කීපයකිනුයි ඒ වැඩටික ඉවරයි. ඊලඟ රාජකාරිය තමයි මේස ටික ගබඩාවට ගිහින් දාන එක. ගබඩාව තියෙන්නෙ පළවෙනි තට්ටුවේ. එතනට මොනා හරි ගෙනියන්න තියෙන්නෙ ක්‍රම දෙකයි. එකක් පඩිපෙළ දිගේ ගෙනියන එක. අනික ලිෆ්ට් එකේ උඩට අරන් යන එක. මේස හයක් ගැන කතා කරද්දිනං එකම විකල්පය තමයි ලිෆ්ට් එක.

ඔන්න ඔය ලිෆ්ට් එක මං හිතන විදියට එක්දාස් නමසිය බර ගණන් වල නෙමෙයි ඊටත් ඉස්සෙල්ල ඔතන හයි කරපු එකක්. අර දැල් දොරවල් තියෙන, උඩ පහළ යද්දි එළිය පේන විදියෙ එකක්. මේ ජාතියෙ ලිෆ්ට් දැන් තියෙන අළුත් ඒව වගේ තනියෙන් ක්‍රියා කරවන්න පුළුවන් ස්වයංක්‍රීය ඒව නෙවෙයි. මේකට වෙනම ලිෆ්ට් ඔපරේටර් කෙනෙක් ඕනි. ඉතින් එදා ලිෆ්ට් ඔපරේටර් වැඩේ බාරවෙලා තිබ්බෙ අපේ කන්තෝරුවෙ ‘මාළුවට’.

මනුස්සයගෙ ඇත්ත නම මම දන්නෙ නැහැ. කන්තෝරුවෙ හැමෝම වගෙ මනුස්සයට කියන්නෙ ‘මාළුව’ කියල. මාළුව ගැන කරන්න පුළුවන් හොඳම පැහැදිලි කිරීම අනෙත් අයට කරන උදව්වක් විදියට මාළුවගෙම ලොකර් එකේ පිටපැත්තෙ වෙන කවුදෝ හුණු කෑල්ලකින් ලියල ගිහින් තියෙනව.

“මාළුව හොරා!”

හතරැස් මූණකුයි, බුරුසු උඩු රැවුලකුයි, ලා දුඹුරු පාට කෛරාටික ඇස් දෙකකුයි තියෙන මාළුව කන්තෝරුවෙ ඉන්න ජල්තර් කාරයො අතරත් හොඳම වර්ගෙ ජල්තර් කාරයෙක්. මනුස්සයගෙ රෙකෝඩ් එකේ ඔය පොඩි පොඩි හොරකං ඇරුණම බේගල් ඇදබාල මඟුල් ජෝඩු කරල දෙපාර්ශවේම සල්ලි වලට විදීම වගේ සීරියස් කේසුත් තියෙනව. ඉතින් මාළුව ගැන දන්න හැමෝම පොරව ආශ්‍රය කරන්නෙ පරිස්සමට වගේම අතේ දුරින්.

“මොනාද මහත්තයෝ කරන්ඩ තියෙන්නෙ?”

ඇ‍ෙඟ් මුළු බරම දාල ලිෆ්ට් එකේ දොර අයිනටම තල්ලු කරන ගමං මාළුවා ඇහැව්ව.

“මේ මේස ටික උඩ තට්ටුවට දා ගන්න ඕනි.”

“හැබැයි මහත්තයෝ ගෙනියන්ඩ වෙන්නෙ එක මේසෙ ගානෙ තමයි.”

“හරි... කමන්නෑ...”

දැං ඉතිං ආරච්චියි, සිරියි මේස එක එක පටවගෙන ගිහිං උඩ තට්ටුවෙන් බාල එනව. එතකං මං පහල තට්ටුවට වෙලා ඉතිරි මේස ටික මුර කරනව. මේ විදියට කිසි අවුලක් නැතුව ලිෆ්ට් එක තුන් පාරක් උඩ පහල ගියා. හතරවෙනි මේසෙ උඩ තට්ටුවෙන් බාල පහලට ආපු වෙලාවෙ තමයි මාළුව වැඩේ පත්තු කරේ.

“මහත්තයො... දැං තේ බොන වෙලාවනෙ. මං ගිහිං තේකක් බීල එන්නං.”

“හරි ඉතිං... මේ මේස දෙකත් උඩට දාල යං. ඕන්නං තව විනාඩි පහක් යයි.”

බුලත් කාල කහට ගැහිච්ච දත් ඇන්ද පේන්ඩ කින්ඩි හිනාවක් දාල හෙමීට ලිෆ්ට් එකේ දොර වහපු මාළුව ඉබ්බ තද කරන ගමන් මෙහෙම කියපි.

“එහෙම බෑනෙ මහත්තයෝ... තේ වෙලාවෙ මාත් තේ බොන්ඩ එපැයි. ඔන්න මහත්තය මට රුපියල් සීයක් විතර දෙනවනං මං ඉඳල අනෙක් මේස දෙකත් උඩට දාල දීලම යන්නං.”

මාළුව වටෙං ගොඩිං ආවෙ ඕන්න ඔතෙන්ට. මිනිහ දැනං හිටිය ආයෙ කීයට හරි මිනිහම ඇවිත් මේස දෙක උඩට දාල දෙනකං මට මෙතනටම වෙලා ඉන්න වෙන විත්තිය.

“එහෙනං එහෙමයි... නේ?” කියල මං මටම කියා ගත්ත. රුපියල් සීයක් දීල මං මෙතන වැඳ වැටෙයි කියල හිතෙනවනං මනුස්සයට වැරදිල. ඇයි යකෝ! මුං මෙතන වැඩ කරන අපෙනුත් ගාන කඩා ගන්නවනං පිටිං වැඩක් කරගන්න එන අයට මොනා නොකරයිද?

“නෑ... නෑ... ගිහිං තේකක් බීල එන්ඩ... අපි ඉන්නං...” හිතේ ඇතිවෙච්චි තරහත් එක්කම මං කියල දැම්ම.

මාළුවත් නිකං අමුතු බැල්මක් දාල කැන්ටිම දිහාවට යන්න ගියා.

“ඕකා තව පැයකටවත් එන්නෙ නෑ... ඕං බලන්ඩ බොරුනං...” මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය ආරච්චි කිව්ව.

“බලමුකො...”

දැං ඉතිං වෙන කරන්ඩ දෙයක් නැති නිසා අපිත් බලං ඉන්නව.

විනාඩි දහයක් ගියා...

මාළුව නෑ... තවම තේ බොනව ඇති.

විනාඩි විස්සක් ගියා...

ම්හු... තවම නෑ... දැං බුලත් විටකුත් කාල එන්ඩ වෙලාව.

පැය බාගයක් ගියා...

මේකා... තාම නෑ! දැන්නං මට ඌරු ජුවල්.

ඒ අතරෙ ආරච්චියි, සිරීයිත් කංකෙඳිරි ගානව “රස්තියාදුව” කියල. මොකද කරන්නෙ කියල මං කල්පනා කරනව. කරන්ඩ මුකුත් එකපාරටම මීටරේට වැටෙන්නෙත් නෑ. අන්තිමට ආරච්චිටයි, සිරීටයි “පොඩ්ඩක් ඔහොමම ඉන්ඩ... මං විනාඩියෙං එන්නං...” කියපු මම විජේසිංහ මහත්තයව හොයාගෙන එන්න පිටත් උනා.

මට වැඩි දුරක් යන්න ඕනෙ උනේ නෑ. පඩිපේළිය මැදදි විජේසිංහ මහත්තයව මුණගැහුන. විජේසිංහ මහත්තයත් මං මොකක්ද කරගෙන තියෙන්නෙ බලන්ඩ පහලට එන ගමං. මෙච්චර වෙලා යද්දි විජේසිංහ මහත්තයට හිතෙන්ඩ ඇති මං වැඩේ අල කරගෙනවත්ද කියල.

“මොකද කල්ප උනේ?”

මං ඉතිං විස්තරේ එහෙමපිටින්ම කියල දැම්ම.

“හාඃ යංකො...” කියපු විජේසිංහ මහත්තය මාවත් එක්කගෙනම ගියා ‘එච්. ඕ.’ ව හම්බ වෙන්න. ‘එච්. ඕ.’ එහෙමත් නැත්තං ‘ප්‍රධාන ඕවසියර්’ තමයි මාළුව වගේ කන්තෝරුවෙ සුළු සේවකයන්ගෙ වැඩ ගැන වගකීම දරන්නෙ. ඒ නිසා කන්තෝරුවෙ සුළු සේවකයො කාට නැතත් එච්. ඕ. ට බයයි. ඇයි එච්. ඕ. ට කේස් එකක් දැම්මොත් ආයෙ ඕ. ටී. (අතිකාල දීමනා) අරගෙන හමාරනෙ.

“රත්නායක, මේ වැඩේ මෙහෙම කරන්න බෑනෙ. අතන මේස ටික උඩට ගේන වැඩේ බාගෙට දාල ලිෆ්ට් එකේ වැඩකරන මනුස්සය තේ බොන්ඩ ගිහිං... දැං බලන්ඩ වෙලාව කීයද කියල? අපි මෙහෙ රස්තියාදු වෙනව. ඒ මදිවට වැඩේට මේ මහත්තයගෙං සල්ලිත් ඉල්ලල.” විජේසිංහ මහත්තය මාව පෙන්නන ගමං එච්. ඕ. ට කියද්දි මං කරේ ඔළුව වනල ඒක අනුමත කරපු එකයි. කියන්න ඕනි වෙච්චි අනිත් හැමදේම විජේසිංහ මහත්තය කියපු ටිකේ තිබ්බ.

“මහත්තයල යංකො ලිෆ්ට් එක ගාවට” එච්. ඕ. ත් මූණට බැරෑරුම් පෙනුමක් අරගෙන කිව්ව.

විනාඩි පහකට විතර පස්සෙ මෙන්න මාළුව එනව, එච්. ඕ. පිටිපස්සෙං, නිකං හොර පූස වගේ. විජේසිංහ මහත්තයත් එතන ඉන්නව දැක්කමනං මාළුවට හිතෙන්න ඇති වැඩේ ‘දෙල්’ තමයි කියල. මොකද අපි වගේ නවකයින්ට දාන සෙල්ලං විජේසිංහ මහත්තයල වගේ කන්තෝරු රස්සාවෙන් පදං වෙච්චි අයට දැම්මොත් ඉතිං ඉවරයි තමයි. කොහොම උනත් විජේසිංහ මහත්තයට ඒ වෙලාවෙ වැඩේ දුරදිග ගෙනියන්න අදහසක් තිබ්බෙ නෑ.

“... ඉස්සෙල්ල රාජකාරිය කරල ඉන්නව. විනාඩි දහයක් එහා මෙහා උනා කියල කැන්ටිමේ තේ නැති වෙන්නෙ නෑනෙ...”

එච්. ඕ. ගෙ දෝස් මුරේ (බයානක ඕ. ටී. නවත්තන කතාවකුත් එක්ක) අහගන්න ගමන්ම මාළුව ඉතිරි මේස දෙකත් උඩ තට්ටුවට ගෙනත් දැම්ම.

පස්සෙ හෙමීට මාළුව මගෙං අහනව...

“මං මහත්තයගෙං රුපියල් සීයක් ඉල්ලුවෙ විහිළුවටනෙ. ඇයි ඉතිං ඒක එච්. ඕ. ට කිව්වෙ?”

“ආඃ තමුසෙ මුකුත් නොදන්න තොත්ත බබා...” කියල කියන්න හිතුනත් අන්තිම මොහොතෙදි මම ඒ අදහස වෙනස් කරල,

“කලිං කියන්න එපැයි... කවුද දන්නෙ විහිළුවක් කියල... මං හිතුව ඇත්තටම කිව්වෙ කියල...” කිව්ව.

මාළුවට වගේම මටත් ඔය මුකුත් නොතේරෙන බබා පාට් එක රඟපාන්න බැරි කමක් නෑනෙ.

_____
පින්තූර
http://images.clipartof.com/small/437796-Black-And-White-Outline-Design-Of-A-Tempted-Fish-Staring-At-A-Hook Poster-Art-Print.jpg

Tuesday, 22 November 2011

ටේප් ඩිස්පෙන්සරේ කතාව



මේ මොකක්ද කියල දන්නවනෙ? මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ “Tape Dispenser” කියල. සිංහලෙන් කියන්නෙ මොකක්ද කියලනං දන්නෙ නෑ. පිංතූරෙ තියෙන ටේප් ඩිස්පෙන්සරේ නිකං පෞරාණිකයි වගේ පේනව නේද? ඒ ඉතිං ඕක එච්චරටම පරණ හින්ද. ඒ වගේම මොකක් හරි වෙනසකුත් මේකෙ පේන්නෙ නැද්ද? එහෙම පේන්නෙ නැත්නං මේ පහල තියෙන පිංතූරෙ පොඩ්ඩක් බලන්න.




දැන් පේනව නේද මේ ටේප් ඩිස්පෙන්සරේ සුළු අලුත්වැඩියාවක් කරල නැවත සේවයට එකතු කර ගත්තු එකක් කියල. ඔය ගැන පොඩි කතාවක් තියෙනවා.

ඒ අපි කන්තෝරුවෙ පත්වීම ලබල ආපු අළුත. අපේ ලිපිගොණු වල වැඩ කටයුතු කරල අපිව අදාල අංශ වලට යොමු කරනකං දවස් දෙක තුනක් කල් මරමින් (හරියටම කියනවනං නිදි කිරමින්) ඉන්න උනා. ඔහොම ඉලා... ඉලා... අන්තිමේදි අපේ බැජ් එකේ මායි අකිලයි වැටුනෙ එකම අංශයක රාජකාරියට. ඒ වෙනකොට අපිට මාස හයකට ඉස්සෙල්ල ආපු බැජ් එකේ හිටපු ඉන්දික අයියත් හිටියෙ එතන. ඊට අමතරව තව හතර දෙනෙක් එතනම රාජකාරි කලා. ඔය කියපු හතර දෙනාගෙන් දෙන්නෙක් අපි තුන්දෙනත් එක්ක හොයි. ඒ උනාට ඉතිරි දෙන්න, අංශෙ ලොක්ක සහ ඩිපියුටි-ලොක්ක අපිත් එක්ක නිතරම මොකක්දෝ තරහකින් හිටියෙ. ඒකට හේතුව මට තවමත් හරියට හිතා ගන්න බැහැ. ඒත් උපාධියක් තියෙනව හරි, උපාධියක් කරමින් ඉන්නව හරි කිව්වොත් පන්න පන්නා පළි ගන්න ආකාරයේ වැඩ කරන “පරණ කට්ටිය ගොඩක් අපේ කන්තෝරුවේ හිටිය. දැනටත් ඉන්නවා.

අපේ උසස් අධාපන සුදුසුකම් ඒ වගේ අයට නොකිය ඉන්න පහු කාලෙක අපි පුරුදු උනත් කන්තෝරුවට ගිය අළුත ඒ වගේ ආරක්ෂක පියවරවල් අනුගමනය කරන්න අපි දැනගෙන හිටියෙ නැහැ. ඉතිං ඕකෙන් මේකෙන් උනේ අපි තුන්දෙනා සහ ලොක්කො දෙන්න අතර නිතර දෙවේලෙ වලි ඇතිවීම. කොටින්ම කිව්වොත් ඒ කාලෙ අපි රාජකාරි කරපු අංශයේ වාතාවරණය “වලියට බරයි.

ඔහොම ඉන්නකොට තමයි එක දවසක් අපිට මේසයක් උඩ ඔහේ දාල තිබ්බ ඔන්න ඔය ටේප් ඩිස්පෙන්සරේ ඇහැගැහුනෙ. ඒ වෙනකොට ඒකෙ තිබ්බ සෙලෝටේප් රෝල රඳවන මැද රවුම බාගෙට කැඩිල. දන්නවනෙ ඉතින් රස්සාව හම්බවෙලා කන්තෝරුවට ගිය අළුත කට්ටියගෙ හැටි. නිකං ඉන්නෙ “රට හදන්නං” කියන මානසිකත්වයෙන්නෙ. ඉතින් අපි කලේ අපේ නඩත්තු අංශයේ කෙනෙක්ට කියල ඔය තියෙන විදියට මැදට ලී වලින් කෑල්ලක් හයි කරල ටේප් ඩිස්පෙන්සරේ අළුත්වැඩියා කරගෙන ආපු එකයි.

ඕක දැකල අපේ ලොක්කො දෙන්න හොඳටම හිනා උනා. වෙන කාටවත් නෙමෙයි. අපිට! කිසිම වැඩකට නැති දේකට මහන්සි වෙලා කියල. ඔයිට වැඩිය හොඳයි අළුත් එකක් ගත්තනං කියල.

දැන් ඔය සිද්ධිය වෙලා අවුරුදු තුනක් වෙනව. ලොක්කො දෙන්නම මාරුවීම් ලැබිල ගිහින්. අංශයට අළුත් අය ඇවිල්ල. ඒත් අංශයේ තියෙන එකම සහ තවමත් හොඳින් වැඩ කරන ටේප් ඩිස්පෙන්සරේ තමයි ඔය.

Friday, 11 November 2011

ඕක දාගෙනද ආවෙ?




කන්තෝරු යනව කියන්නෙත් ලේසි පාසු වැඩක් නෙවෙයි. බස් වල, කෝච්චි වල හිරවෙලා ට්‍රැපික් එකේ පැය ගණන් තැපල හො පණ යනව. ඒ වගේම කන්තෝරුවෙ වෙලාවට ඉන්නත් ඕනි. ඉස්සර නම් ඕක එච්චර දෙයක් නෙමෙයි කියල තමයි කන්තෝරුවෙ පරණ කට්ටිය කියන්නෙ. තමන් කන්තෝරුවට එන්න කලින් තමන්ගෙ අත්සන එවන්න ක්‍රම තිබිල තියෙනව. ඒත් අර අළුතෙන් ගෙනල්ල හයි කරපු “ඇඟිලි තියන“ මැසිම නිසා ඒ ක්‍රම ඔක්කොම දැන් අභාවයට ගිහින්. වැඩට ආව කියල සටහන් වෙන්නනම් අර මැසිමෙ ඇඟිල්ල තියන්නම ඕනි. ඒකට ඉතින් වෙලාවට වැඩට එන්න සිද්ධ වෙනව. ඔය නිසා ටිකක් විතර පරක්කු උන දවසට උදේ පාන්දරම මැරතන් එකක් එහෙමත් දුවන්න වෙනව.

මේ මොන සෙල්ලම දාලවත් වෙලාවට වැඩට යන්න බැරිවෙන දවස් තියෙනවා. වැස්ස දවස්, කෝච්චි පරක්කු වෙන දවස්, ප්‍රයිවෙට් බස් අයියලට ඩීසල් ගහන්න සල්ලි මදිවෙන දවස් වලට එහෙම කන්තෝරුවෙ ගොඩ දෙනෙකුට වෙලාවට වැඩට එන්න බැරුව යනව. (ඔයිට අමතරව යුද්දෙ තිබ්බ කාලෙදි පාරවල් ඇරිල්ලයි වැහිල්ලයි නිසාත් ගොඩක් වෙලාවට කන්තෝරු යන්න පරක්කු උනා.)

කොහොමින් කොහොමින් හරි තමන්ගෙ නොවන අතපසුවීම් නිසා ගොඩ දෙනෙකුට වැඩට එන්න පරක්කු වෙන දවසට කන්තෝරුවෙන් පොඩි සහනයක් ලැබෙනව. ඒ තමයි බස් ලේට් සහ කෝච්චි ලේට්.

මේ වැඩේ සිද්ද උනෙත් ඔය බසුයි කෝච්චියි ඔක්කොම පරක්කු උන දවසක. එදාට ඉතින් කන්තෝරුවෙන් තුන්කාලක් විතර වේලා සටහන් අංශය ල පෝළිං ගැහිල ඉන්නව ලේට් එක අත්සන් කරන්න. ඒ කියන්නෙ පරක්කු වෙලා ආව අයගෙ ලැයිස්තුවට තමන්ගෙ නමත් දා ගන්න.

ඉතින් ඔන්න ඔහොම කට්ටිය ඉන්නැද්දි වේලා සටහන් අංශෙ ලොක්ක, අපේ ගුණසිංහ මහත්තයට පේනවලු කෝච්චි ලේට් එක අස්සන් කරන්න ඉන්න පෝළිමේ මොකක්දෝ නොගැලපිල්ලක්. හරියට නිකං සුද්දො කන්දරාවක් මැද්දෙ එක කාපිරියෙක් ඉන්නකොට වගේ. ටික වෙලාවක් යනකං ගුණසිංහ මහත්තයටත් තේරුණේ නෑලු මොකක්ද මේ වෙනස කියල. පස්සෙලු වැඩේ තේරුණේ. එතකොටනං ගුණසිංහ මහත්තයගෙ ඉවසීමෙ මීටරේ රතු කට්ට පැන්නලු. කර කර හිටපු වැඩෙත් පැත්තකට දාල ගුණසිංහ මහත්තයත් ගියාලු අර කෝච්චි ලේට් අස්සන් කරන පෝළිම ල. මෙන්න ඉන්නවලු මනුස්සයෙක් බයිසිකල් ජැකට් එක නවල අත උඩ දාගෙන, ඒ අතින්ම හෙල්මට් එකත් අරගෙන වගේ වගක් නැතුව.

මේ මහත්තය ලේට් එක අස්සන් කරන්ඩද? ගුණසිංහ මහත්තය අර මනුස්සයගෙන් ඇහුවලු.

අනේ ඔව් මහත්තයො. බලන්ඩකො අදත් කෝච්චිය පරක්කුයිනෙ. කියල අර මනුස්සය කියනවලු.

ඉතින් ඒ කතාව අහල ගුණසිංහ මහත්තයාග ඉවසීමෙ මීටරේ කටුව තව චුට්ටක් ඉස්සරහට කැරකුනලු. බොහොම අමාරුවෙන් තරහ පාලනේ කරගෙන ගුණසිංහ මහත්තය ඇහුවලු,

දැං මහත්තය බයිසිකලේ ගෙදර දාල හෙල්මට් දාගෙනද කෝච්චියෙ එන්නෙ? කියල.

එතකොටලු අර මනුස්සයට මතක් වෙලා තියෙන්නෙ කෝච්චි ලේට් අස්සන් කරන සිහියෙන් දුවගෙන ආව මිසක් ජැකට් එකයි, හෙල්මට් එකයි බයිසිකලේ උඩ තියල එන්න අමතක උනානෙ කියල.

ඊට පස්සෙ උනේ මොකක්ද දන්නවද?

අර මනුස්සය ගුණසිංහ මහත්තයගෙන් හොට ලුණු ඇඹුල් ඇතුව අහගන්න ඇති නේද? ඔව්, ඒකත් උනා තමයි. ඒ උනාට නරකම වැඩේ උනේ බස් වල කෝච්චි වල යන අහිංසක අපිට. බස් සහ කෝච්චි ලේට් දීම ඊට පස්සෙ නැත්තටම නැති වෙන තරමට කන්තෝරුවෙන් අඩු කරානෙ. දැං ඒ දෙන ලේට් එක දෙන්නෙත් නීති හැටහුටාමාරක් දාල.

ඕන්න ඕකට තමයි කියන්නෙ අනුන්ගෙ පානින් එළිය බලන්න ගිහිං උන් ටිකත් අමාරුවෙ දාල එනව කියල.

_____
පින්තූරය
http://users.encs.concordia.ca/~ecsga/cartoon_line_big.jpg


Sunday, 2 October 2011

කැන්ටින් ලොතරැයි




අපේ කන්තෝරුව ලොකු සේවක ගහනයක් ඉන්න තැනක්. ඒ නිසා විය යුතු විධියටම කන්තෝරුවේ කැන්ටිමත් සැලකිය යුතු තරම් විශාලයි. බොහොම කැපවීමෙන් වැඩ කරන ආපන ශාලා සේවක මණ්ඩලයකගෙ කාර්යක්ෂම සේවය නිසා කන්තෝරුවේ සේවකයො වෙච්චි අපිට දවසේ තුන් වේලටම කැන්ටිමේ ප්‍රණීත භෝජනයන්ගෙන් සංග්‍රහ ලැබෙනව.

කැන්ටින් ගැන කතා කරන්න ගියාම ගොඩක් අය කියන්නෙ “ඒ ගැනනං කියල වැඩක් නෑ” කියල. ඒ උනාට අපේ කැන්ටිමෙන් කෑවමනං කියන්න ගොඩක් ජාති මතක් වෙනවා.

රස ගුණ කෙසේ වෙතත් කඩ කෑම වල වියදම සැරයිනෙ. ඒ අතින් බලද්දි පිට කඩවල් වලින් කෑම කද්දි යන වියදමින් බාගෙකට කැන්ටිමෙන් වේලක් කන්න පුළුවන් වීම පොකට් එකට ලොකු හයියක්.

කන්තෝරුවේ කැන්ටිමේ කෑම වල පිරිසිදුකම සහ ගුණාත්මක භාවය ගැන කැන්ටින් පරිපාලනය හොඳ අවධානයකින් තමයි ඉන්නෙ. පිරිසිදුකමේ හොඳම අංගයක් තමයිනෙ ආහාර ද්‍රව්‍ය උයන්න කලින් හොඳට සේදීම. ඒ උනාට වැඩිපුර හේදුවොත් ගුණාත්මක භාවය අඩු වෙනව. ඉතින් ඕක හරි ප්‍රශ්ණයක්. ඔය ප්‍රශ්ණෙට අපේ කැන්ටිමේ අය හොඳ විසඳුමක් හොයාගෙන තියෙනවා.

හෝදද්දි ගුණාත්මක භාවය තියා ගන්න ඕනි හාල්, පරිප්පු වගේ දේවල් අවශ්‍ය ප්‍රමාණයට වඩා එක ඩිංගක් වැඩිය හෝදන්නෙ නෑ. එහෙම උයන බතෙන් හපුටු ගඳක් ආවත්, පරිප්පුවෙන් මඩ රහක් ආවත් කෑම වල ගුණාත්මක භාවය රැකිලනෙ තියෙන්නෙ කියල හිතල කන අයට හිත හදා ගන්න පුළුවන්.

ඒ වගේම අමුවෙන් සම්බෝල හදල කෑමට ගන්න “පොල්” වගේ දෙවල් එකපාරක් නෙමෙයි දෙපාරක්ම හොඳට හෝදනව. මං හිතන්නෙ මම කාල තියෙන පිරිසිදුම පොල් සම්බෝල කාල තියෙන්නෙ අපේ කන්තෝරුවේ කැන්ටිමෙන්.

වැඩ කරන අයගෙ සෞඛ්‍ය තත්වය ගැනත් අපේ කැන්ටිම හරියට කරදර වෙනව. ලුණු, පොල්කිරි, තෙල් වගේම මිරිස් වැඩිපුර ආහාරයට ගැනීම ශරීරයට හිතකර නැහැ කියනවනෙ. ඉතින් කැන්ටිමේ කෑම එක ලුණු, මිරිස් සහ තෙල් අඩු කරල දිය කිරෙන් උයල තමයි දෙන්නෙ. දෙල් කාලෙට දෙල්, ඇඹරැල්ල කාලෙට ඇඹරැල්ල, අඹ කාලෙට අඹ අමතක නොකර කොහෙන් හරි ගෙනල්ල දෙන්න පුදුමාකාර කැපවීමක් තමයි මේ අය කරන්නෙ.



කන්තෝරුවේ කැන්ටිමේ මං කැමතිම අංගය මේ මොකවත් නෙමෙයි. ඒ තමයි “කැන්ටින් ලොතරැයි”. ඔය ලොකු ලොකු කොම්පැනි තමන්ගෙ නිෂ්පාදන වලට හොඳ ප්‍රචාරයක් ලබා දෙන්න එක එක විධියෙ ලොතරැයි සහ තෑගි තරඟ පවත්වනවනෙ. ඒ වගේ දෙයක් අපේ කැන්ටිමෙනුත් කරනව. මේ වැඩේ කොච්චර හොඳට ඕගනයිස් කරල තියෙනවද කියනවනං කැන්ටින් ලොතරැයියක් ඇදෙනකං ඒ වගේ ලොතරැයියක් තියෙනව කියලවත් කවුරුත් දන්නෙ නෑ.

ඉස්සෙල්ලම තියෙනව “කඩල ලොතරැයිය”. මේකෙදි කරන්න ඕනි තමන් සල්ලි දීල ගන්න තම්බපු කඩල පිඟානෙ හංගල තියෙන හොඳට තම්බපු කැරපොතු බිත්තරයක් හොයා ගන්න එක. මේ ලොතරැයිය දිනන එක එච්චර ලේසි නෑ. මොකද නොදැනුවත්වම ඔය කැරපොතු බිත්තරේ කැවෙන්න ඉඩ තියෙන නිසා. ඒක නිසා කඩල පිඟාන අරගෙන කඩල ඇට හොඳට ඒ මේ අත පෙරළල බලන්න ඕනි. වාසනාවට එහෙම කැරපොතු බිත්තරයක් හම්බඋනා කියමු. දැන් ඊලඟ පියවර තමයි තමන්ට හම්බඋනේ කැරපොතු බිත්තරයක්මයි කියල කැන්ටින් පරිපාලනේ කෙනෙකුට ඒත්තු ගන්වන එක. ඒකට ටිකක් විතර තරහ ගියා වගේ රඟපාන්න ඕනි. අර මනුස්සයගෙ අහිංසක මූණ බලාගෙන එහෙම කරන්න අමාරු උනත් ලොතරැයිය දිනා ගන්න එක ගැන හිතල හරි එහෙම කරන්න වෙනව. මෙහෙම කරල ලොතරැයිය දිනා ගන්න වාසනාවන්තයට කැන්ටිමෙන් නොමිලේ ලබා දෙන ආහාර වේලක් රස විඳීමේ දුර්ලභ භාග්‍ය උදා වෙනව.

තව තියෙනව “තිත්ත බතල තරඟය”. මේකෙදි කරන්න තියෙන්නෙ විකුණන්න තියෙන බතල පිඟන් අතරින් තිත්ත රස තියෙන බතල පිඟාන හොයා ගන්න එක. ඉස්සෙල්ලම හොඳට කල්පනා කරල බලල බතල පිඟානක් සල්ලි දීල ගන්න ඕනි. ඊලඟට කරන්න තියෙන්නෙ නිවී හැනහිල්ලෙ වාඩිවෙලා බතල කෑල්ලෙන් කෑල්ල කන එකයි. එක පාරටම කට කාරගෙන යන තිත්ත රසක් දැනිච්ච ගමන් (ඒ කියන්නෙ ලොතරැයිය ඇදුන තමයි කියල) කටේ තියෙන බතල කෑල්ල ගිලින්නෙ නැතිව ඉක්මනට පිඟානට දාල ඒක පරිස්සමට පොඩි කරල බලන්න ඕනි. එතකොට බතල තිත්ත රස කරන්න යොදාගත්ත සුදු පාට වෙන්න තැම්බිච්ච පණුවො දැක ගන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නෙ ඒක කැන්ටිම බාරව වැඩ කරන කාට හරි පෙන්නලා තමන්ට ලැබෙන තෑගි ලබා ගන්න එකයි.

මීට අමතරව “මේ වල් ගහ අඳුනනවද?”, අමුතු සුදු ළූණු” වගේ තව ලොතරැයි වර්ග බොහෝමයක් තියෙනවා. අපරාදෙ කියන්න බෑ. අපේම වාසනාව!

මේ ලඟකදි කැන්ටිමේ ලොතරැයි වැඩපිළිවෙල ගැන දැනගත්ත පි. එච්. අයි. මහත්තුරු කට්ටියක් ඇවිල්ල මේ දේවල් නරඹල කැන්ටිමට බොහොම ප්‍රශංසා කරල ගිහින් තිබ්බලු. මේ වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න කියලත්, තව දුරටත් කරන සහ‍යෝගයක් විධියට තෑගි-බෝග එහෙමත් අරගෙන තව ටික දවසකින් ආයෙත් ඇවිල්ල යන්නං කියලත් කන්තෝරුවේ ලොකු මහත්තයටම පී. එච්. අයි. මහත්තුරු කියලලු ගියෙ. ලොකු මහත්තයට ඇති වෙච්ච සංතෝසෙට කියා ගන්න වචනත් නැතුව ගිහින්. ඉහේ මලක් පිපුණ වගේලු. ඒ පාර කැන්ටිමේ පාලක සබාව කාරිය රැස් කරල ලොකු මහත්තය විසින් වෙනමම ඉතාමත්ම කන්කළු, මනබන්ධනීය ස්තූති කතාවක් කලා කියල තමයි ආරන්චිය.

_____
පින්තූර
http://www.cemkolaghat.org/userfile/Canteen.jpg
http://www.signsuperstore.com.au/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/4/6/4667-canteen.jpg
Related Posts Plugin for WordPress, Blogger...