ළමා කාලෙ ඉඳල තරුණ වයසට පියමං කරල ඉන්න අපි දැන් ටිකින් ටික මහළු වයස දිහාවට ඇදෙනව. අද ඊයෙක දෙයක් වගේ දැනුන උනත් ඉස්කෝලෙන් පිටවෙලා දැන් අවුරුදු ගානක් වෙනව. ඉස්කෝලෙ කාලෙ ගෙවිල ගියාට වැඩිය ඉක්මනින් ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ආපු කාලෙ ගෙවිල යනව...
ගෙවිච්ච කාලෙදි අපි මුහුකුරා වැඩිල (අඩුම තරමෙ අපි එහෙමයි කියල හිතාගෙන ඉන්නව). ලෝකෙ ගැන එදා තිබ්බට වැඩිය දැනුම් තේරුම් ඇතිවෙලා. ඒත් අපේ සමහර මෝඩකං තවමත් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනව.
මේ ගෙවිච්ච අවුරුදු අට, දහය ඇතුලත අපි කොච්චරනං වෙනස් වෙලාද? ඒ කාලෙ අපි පාසැල් ශිෂ්‍යයො. බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන ඊට නොදෙවනි බරක් පොත් බෑග් විදිහට කරගහගෙන ඉස්කෝලෙ ගිය පොඩි කොල්ලො. අද අපි වගකිවයුතු රස්සා කරන වැඩිහිටියො (ඒ ගැනනං කවර කතාද...?). ඒත් අපේ බලාපොරොත්තු ගොඩ ඒ දවස්වල දැනිච්ච විදිහටම බරට දැනෙනව. ඒවගෙ හැඩෙයි පාටයි වෙනස් වෙලා විතරයි.
බරක් පතලක් නැතුව ලෝකෙ දිහා බලපු කාලෙ ගෙවිල ගිහිං. ඒ දවස්වල නොදැක්ක සමාජයේ අඳුරු අහුමුළු දැන් අපි වැඩි වැඩියෙන් දකිනව. ඒ නිසාම මොනා හරි කරද්දි, කියද්දි ඒ දේවල් වලින් ලැබෙන්න පුළුවං ප්‍රතිඵල ගැන වෙනදට වඩා වැඩියෙන් හිතල බලල වැඩ කරන්න අපි පුරුදු වෙලා.
ඒ අතරෙ අපේ යාළු මිත්‍රකං එහෙමත් එදා තිබ්බට වැඩිය වෙනස් වෙලා. සමහර පරණ යාළුවොංව අපි අමතක කරල දාල. සමහර යාළුවො ඈතට යන්න ගිහිං. තවත් සමහරක් හිටියට වැඩිය ගොඩක් වෙනස් වෙලා.
වෙනස් වෙලා...!
ඇත්තටම එහෙම නොවුනනං තමයි පුදුමෙ. හැමදේම වෙනස්වෙන ලෝකෙක යාළුකම කියන බැඳීම විතරක් වෙනස් නොවී තියේවිද? අපි දැන් වෙන වෙන පාරවල්වල යන මිනිස්සු. අපි ගමන් ගන්න පාර අපිව වෙනස් කරනව... අපිට ලැබෙන අත්දැකීම් අපිව වෙනස් කරනව... ඉතින් අත්‍යාවශ්‍යයෙන්ම අපේ යාළු මිත්‍රකං එහෙමත් ඒ එක්කම වෙනස් වෙනව. ඒ නිසා කල් ගතවෙද්දි තමන්ගෙ යාළුවන්ව ටිකක් ඈතට තල්ලු කරල දාන එක, තමන්ගෙ යාළුවන්ගෙන් ටිකක් ඈත් වෙන එක සම්පූර්ණයෙන්ම ස්වාභාවිකයි නේද? මොකද එහෙම පාදගන්න ඉඩකඩ තමන්ගෙ ජීවිතේ ඇතිවෙන වඩා වැදගත් බැඳීම් වලට අවශ්‍ය වෙන නිසා.
ඒක තමයි ලෝක සොබාවය...
ජීවිතේ කියන්නෙ කෙනෙක් තනියම කල්පනා කරල, තනියම තීරණ අරගෙන ඒ තීරණ වල ප්‍රතිඵල විඳගන්න ගමන් තනියම යන ගමනක් කියල කිව්වොත් ඔයගොල්ලො ඒ කතාව සම්පූර්ණයෙන්ම පිළි නොගන්න පුළුවං. ඒත් අපි වටේ ඉන්න හැමෝම අපිට තීරණ ගන්න හේතු සපයන එක්තරා ආකාරයක ප්‍රේක්ෂකයො පිරිසක් විතරයි කියල හිතෙන්නෙ නැද්ද? වෙලාවකට ඒ අය අපේ හොඳ කියනව... තවත් වෙලාවකට ඒ අය අපිව පාච්චල් කරනව... වෙලාවකට වෙට්ටු දාල හොම්බ බිම ඇනෙන්න සලස්සනව. වාසනාවකට වගේ වැටිච්ච වෙලාවට ආයෙ නැගිටගන්න අතදෙන කට්ටියකුත් ඉන්නව.
ඉතිං ඔය දේවල් විඳගෙන තමන් යන පාරෙ දිගටම යනවද? එහෙමත් නැත්නම් අපි අපේ ගමන යද්දි මග ඉඳන් බුරාගෙන පනින බල්ලන්ට ගල් ගහන්න කියල හිතාගෙන උංව එළවං යන්න අපි එතෙක් යමිං හිටපු පාරෙන් හැරිල උං යන පාරෙ යනවද කියල තීරණය කරන්න ඕනිත් අපිමයි නේද? මොකද අන්තිමේදි අපිට ලඟා වෙන්න පුළුවං අපි තෝරගත්ත පාර කෙළවර වෙන තැනට විතරයි. කෙනෙක් යන්න පාරක් තෝරගත්තම එයා ගමනාන්තෙත් තෝරගත්ත වෙන්නෙ ඒ නිසයි...
ප. ලි.
මේ අගක් මුලක් නැති පෝස්ට් එක කියවද්දි මේක ලියන එකාට පිස්සු හැදීගෙන එනවාවත්දෝ කියල හිතුනනං එහෙම, පෝය පහුවෙලා එච්චර දවසක් ගිහිං නැති බව කරුණාවෙන් සලකන්න.
_____
පින්තූරය
මේ දවස්වල මගේ හිතෙත් තියෙන්නෙ මේ වගේ අදහස් ටිකක්ම තමයි.එක පාරටම වයසට ගිහින් වගේ හැඟීමක් හිතට දැනෙනව. ගෙවුනු අවුරුදු කීපය ඇහිපිය ගහන වේගයෙන් ගෙවිල ගිහින්. බොහොම සැහැල්ලුවෙන් ඉස්කෝලෙ ගිය කෙනයි, ජීවිතය දිහා ඊට වඩා වගකීමෙන් බලන්න ඕන කියල හිතන කෙනයි දෙන්නම එක සැරේ මතුවෙන්න උත්සහ කරද්දි ඇත්තටම මම දැන් අයිති කොයි කාණ්ඩෙටද කියල තාමත් මම තෝරාගන්න මහන්සි වෙනව.
ReplyDeleteඒවගේම යාලුවෝ ගැන ඔයා කියල තියෙන කතාවටත් සීයට දෙසීයක්ම එකඟයි.
එක යුගයක ඉඳල තවත් යුගයකට යන්න ලෑස්තිවෙන ගොඩක් අයට මං හිතන්නෙ පෝය පහුවෙලා දවස් කීයක් ගියත් මේ හැඟීම නම් මේ විදිහටම දැනෙනව ඇති :)
ජීවිතේ දිහා වගකීමෙන් බලන්න ඕනි කෙනා තමයි අපි මූණදෙන වර්තමානය. ඒත් ඒ වගකීම් වලින් හෙම්බත් වෙච්ච වෙලාවට වගකීම් අඩුවෙනුයි රැකවරණය වැඩියෙනුයි තිබ්බ අපේ පොඩි කාලෙට ආයෙත් යන්න තියෙනවනං කියල හිතෙනව. ඒත් ඒක මිරිඟුවක් විතරයි...
Deleteකවරෙකු හෝ කැමති උනත් නැතත් වයසට යාම වලක්වන්න බැහැ.එසේම ගතවූ කාලය තුල ලැබුණු අත්දැකීම් මෙන්ම හමුවූ පුද්ගල සම්බන්දතා නිසා ජිවිතයට එකතුවූ වටිනාකම් (හොඳ,නරක,උපේක්ෂා) මගින් තමන්ට (තම ආත්මයට) ඇතිවූ බලපෑමෙන් ඉවත් වන්නට කාටවත් පුළුවන් කමක් නැහැ.මේවාගෙන් මිදෙන්න සමහ ර අය බෝතලය තෝරා ගන්නවා. සමහරු ආපහු උත්තර දෙන්න බැරි අය තෝරා ගෙන දොස් කියන්න පටන් ගන්නවා.මොලේ තියෙන කිහිප දෙනෙක් විතරක් ඉහතකී බලපෑම් තමාගේ (ආත්මයේ) සංවර්ධනය උදෙසා යොදා ගෙන අන් අයටත් මග පෙන්වන්නන් ලෙස කටයුතු කරනවා.
ReplyDeleteහොඳට මුවාත තියපු ආවුදේකට කම්මලේ කිණිහිරයි මිටියයි එක්ක ආරවුලක් ඇතිකරගන්න හේතුවක් නැහැ තමයි. ඒත් වයසත් එක්ක එකතු වෙන වගකීම් මාව ටිකක් විතර බයකරනව. :)
Deleteමටත් මේ වගේ දෙයක් මේ ළඟකදී දැනුනා. ඒ නිසා මේ සටහන ගොඩක් සමීපයි. පහුගිය අවුරුදු 2ක වගේ කාලයේදි මම් සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙලා කියලයි මට හිතෙන්නේ. ඊට කලින් ගත කරපු ජීවිතය සම්පූර්ණයෙන්ම මඟ හැරිලා. ඒ දේට මම කැමති නැහැ. ජීවිතයේ ප්‍රමුඛතා එහෙමත් වෙනස් වෙලා. පරණ පුරුදු ජීවිතේට යන්න මේ දවස් වල උත්සහ කරනවා.
ReplyDeleteයාළු මිත්‍රකම් ගැන කියපු කතාවටත් එකඟයි. සමහර වෙලාවට අපි නොදැනුවත්වම අපි ගොඩක් සමීපව හිටපු අයගෙන් ගොඩක් ඈත්වෙලා.
ජීවිතේ ප්‍රමුඛතා හරි ඉක්මනට වෙනස් වෙනව තමයි. අද බොහොම විශ්වාසයෙන් ගත්ත තීරණයක් ගැන හෙට කල්පනා කරද්දි හිතෙන්නෙ එහෙම තීරණයක් ගත්තෙ මොන මෝඩකමටකද කියල...
Deleteදැනටමත් දන්න කරුණු, පරිකල්පන දීපු සැකිල්ලට දාලා බැලුවා. කතාව ඇත්ත තමයි.
ReplyDelete:D
Deleteප. ලි.
මං ඩූඩ්ගෙ කමෙන්ට් එක ගොඩගත්තෙ ස්පෑම් ගොඩේ තිබිල. ඩූඩ් පාවිච්චි කරන්නෙ Public Internet Connection එකක්ද? සමහරවිට කමෙන්ට් ස්පෑම් වෙන්නෙ IP Address එක Blacklist වෙලා හින්ද වෙන්න ඇති.
සමනල රෑනක් සේ ඉගිලී
ReplyDeleteඅකුරට ගිය පාසල් කාලේ
ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ
කියලා ගීතය ටික කාලෙකට කලින් අහන්න ලැබුණා. එතකොට පාසල් කාලේ මතකය අවධි වුණා. ඔයා කියනවා වගේ අවුරුද්දෙන් අවුරුද්ද ගත්තත් අපි හිතන විදිය වෙනස්.
පාසැල් කාලෙ මතක ඇත්තටම සුන්දරයි. මං ගැන කියනවනං විශේෂයෙන්ම මං ප්‍රාථමික අධ්‍යාපනය ලබපු කාලෙ. කොච්චර වයසට ගියා උනත් ඒ මතක මතක් කිරීම සතුටක්.
Deleteඇත්ත මටත් මේ වගේ දේවල් හිතෙනවා තනියෙන් ඉද්දි.
ReplyDeleteඅනිවාර්යයෙන්ම ඔහොම දේවල් කල්පනා වෙන්නෙ ඒ වගේ වෙලාවල්වලට තමයි :)
Deleteවෙනස් වීම විය යුතුමයි.... නැත්නම් ලෝකෙට පැවැත්මක් නෑ
ReplyDeleteඇත්ත...
Deleteලෝකෙ වෙනස් නොවෙන දේකට කියල තියෙන්නෙ වෙනස්වීමමයි කියල කියනවනෙ.