Pages

Thursday, 17 November 2011

වෙස් මාරුව




ජීවිතයේ එක් එක් අවස්ථා වලදී වැදගත් සන්ධිස්ථාන පසු කරීමට අපට සිදු වේ. පාසැල් ජීවිතයේ නිල් කොට කලිසමින් සුදු දිග කලිසමට මාරුවී දෙවෙනි අවුරුද්ද වෙද්දි මුහුණ දිය යුතු එවන් අවස්ථාවකට මුහුණ දෙන්නට පෙර ගෙවී යන සූදානම් වීමේ කාලය ඇරඹී ඇත. හරියටම කිවහොත් ඉදිරියෙන් ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයයි. “සා/පෙ වෙනුවෙන් කල යුතු වූ ලොකු වැඩ කොටසක් හිස මත පැටවී ඇත. මේ අවුරුද්දේ ඉදිරියට එන දවසක් දවසක් ගානේ ඒ වැඩ කන්දරාවේ පීඩනය ටිකින් ටික වැඩි වේවි. කෙසේ වෙතත් ඉදිරි ගමනට උපරිම ජවය යෙදවීමට මම තීරණය කර සිටියෙමි. ඒ සාමාන්‍ය ජයග්‍රහණයකට වඩා වැඩි යමක් මට අවශ්‍ය වූ බැවිණි.

නමුත් ඒ සහා සම්පූර්ණ කල යුතු අවශ්‍යතා ඇත. එයින් එකක් නම් ‘B’ සාමාර්ථයේ පුර පක්ෂය සහ ‘A’ සාමාර්ථයේ අව පක්ෂය අතර දෝලනය වන මගේ ගණිත විෂයේ ලකුණු මට්ටම ‘A’ සාමාර්ථයෙන් පහලට නොවැටෙන තැනකට ගැනීමයි. මෙතෙක් නිවාඩු පාඩුවේ ගතකල විවේකී සෙනසුරාදා දවසේ උදේ වරුව ඉදිරි වසර පුරාවටම කැපකිරීමට සිදු වන්නේ ඒ සහායි. ඔව්! අද පටන්... විභාගය තෙක්...

“හරි! පනිමු...

ඒ හඬින් මම කල්පනා ලෝකයෙන් සැබෑ ලෝකයටත්, ඉන් කහ ඉර අසල පදික වේදිකාව මත සිටගෙන සිටි මගේ රූප කාය වෙතටත් පැමිණියෙමි. රූප කාය තුල මනෝ කාය හරි-බරි ගැසීමට ගතකල තත්පර බාගය තුල කහ ඉර මතින් පියවර කීපයක් ගොස් සිටි මගේ මිතුරා, සතිර පසුපස මමද පියවර එසවීමි. කහ ඉරෙන් එගොඩ වී පාරේ අනෙක්පස පදික වේදිකාවට නැගගත් අප දෙදෙනා ටියුෂන් පන්ති පැවැත්වෙන ගොඩනැගිල්ල දෙසට ඇවිද යන්නට වීමු.

සතිර මට වඩා අඩියකින්වත් උසින් වැඩිය. එබැවින් සම වයස් කාණ්ඩයේ “කොට මොඩල්” එකක් වූ මට ඔහුගේ දිගු පියවර ඇති ගමන් විලාශය හා පෑහීමට කඩිමුඩියේ ගමන් කිරීමට සිදුවිය. වාසනාවකට මෙන් පදික වේදිකාව තවමත් කලබලකාරී නැත. වේලාව උදෑසන හතයි තිහ පසුවූවා පමණි. පදික වේදිකාවට මුහුණලා ඇති කඩවල් එකින් එක ඇරෙන්නේ දැනුයි. බාගෙට උඩට එසවූ “රෝල් දොරවල්” පාමුල දැල්වෙන ගිණි කබල් වලින් පොල් කටු බි‍‍‍‍‍‍‍‍‍ෙඳන සිහින් “ටිස්, ටිස්” හඬත් සමග නගින ගින්නත්, පදික වේදිකා ගැටිය සහ තවත් ගල්ගෙඩි දෙකක් මත තබන ලද මිදුණු පොල් තෙල් බැරල වලට යටින් තැඹිලි, කොළ සහ නිල් පැහැය මිශ්‍රිතව ඇවිලෙන කඩදාසි ගින්නත් සීතල පදික වේදිකාව උණුසුම් කළේය. තවමත් විවෘත කර නැති කඩවල් වල සිමෙන්ති පිළේ දිගටි, අපිරිසිදු රෙදි කඩමාළු ගොඩවල් ලෙස දිස්වන්නේ නින්දේ පසුවන යාචකයන් කීපදෙනෙකි. ජීවිතේ...!

“කල්ප, ඉක්මනට යමු. පරක්කු වෙනව.” සතිර අඩිය ඉක්මන් කරන ගමන්ම පැවසීය.

“තාම හතහමාරයි. ක්ලාස් අටටනෙ පටන් ගන්නෙ.” මම යාන්තමට විරුද්ධත්වය කැටිවූ ස්වරයකින් පැවසීමි.

“අද පළවෙනි දවස නිසා දැන් ඉඳන්ම සෙනඟ ඇති. පරක්කු උනොත් පස්සෙ බංකුවක්වත් අල්ල ගන්න බැරි වෙනව. ඔක්කොම කාඩ් ටික දීල ඉවර කරල තිබ්බොත් හැරිල එන්න තමයි වෙන්නෙ.”

ටියුෂන් පන්ති පිළිබඳ සතිරට මට වඩා අත්දැකීම් ඇත. මෙතෙක් වූ පාසැල් කාලය තුල යටත් පිරිසෙයින් ඔහු ටියුෂන් පන්ති හතරකට හෝ පහකට ගොස් ඇත. ඒ අතින් බලන විට මම තවම සහභාගී වී තිබුණේ ටියුෂන් පන්ති එකකට පමණි. ඒත් මීට අවුරුදු තුනකට පමණ පෙර ගමේ කුඩාවට පවත්වන්නට යෙදුනු ඉංග්‍රීසි පන්තියකටයි. එබැවින් මම සතිරගේ උපදෙස පිළිගෙන ගමන ඉක්මන් කළෙමි.

විනාඩි පහක ඉක්මන් ගමනකින් පසු ගමනාන්තයට පැමිණීමට අප දෙදෙනා සමත් විය. තෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි පහලම මාලය සිල්ලර බඩු කඩයකි. “තක්ෂිලා” ලෙස කියවුණු විශාල නාම පුවරුවක් උඩ තට්ටුවේ ගරාදි වැටේ ගැටගසා තිබුණි. කඩයේ වම් පස බිත්තියත් යාබද වෙළඳසැලේ දකුණු පස බිත්තියත් අතරින් ඉහලට ඇදුණු දෙදෙනෙකුට යාන්තමට මාරුවීමට තරම් ඉඩකඩ තිබූ පටු පඩිපෙළ නැගගෙන ගොස් මමත් සතිරත් තක්ෂිලාවට ගොඩ වැදුනෙමු.

නව ළමයින් ලියාපදිංචි වන තැන වැඩි සෙනගක් නැත. ඉන් එහා ඇති පන්ති කාමරයේ දැනටමත් කිහිප දෙනෙක් අසුන්ගෙන ඇති බව එයින් එන කසු කුසුව අනුව සිතාගත හැක.

“අපි මේ පියතිලක සර්ගෙ ගණං ක්ලාස් එකට බැ‍ෙඳන්න කියල.”

සතිර මේසය පසුපස සිටි උස, හීන්දෑරි පුද්ගලයාට අපගේ අවශ්‍යතාවය පැහැදිලි කළේය.

“ආඃ! පොඩ්ඩක් ඉන්න” කියූ ඔහු හිස් අයදුම්පත්‍ර දෙකක් අප දෙදෙනා ඉදිරියේ මේසය මත තැබුවේය.

“දැන් ඔය පුතාල දන්නවද මේක පුරවන්න?” ඔහු කාරුණික ස්වරයෙන් ඇසීය.

අප දෙදෙනා හිස වනා “පුළුවනි” ලෙස සන් කළෙමු.

“ඔය දෙන්නා කරන්න යන්නෙ ගණං විතරද? ඇයි සමාජ අධ්‍යයනය කරන්න එහෙම අදහසක් නැද්ද?” නැවතත් අර මිත්‍රශීලී ස්වරයෙන්ම ඔහු ඇසීය.

“නෑ. ගණං විතරයි.”

“හොඳයි, හොඳයි සමාජ අධ්‍යයනයටත් උදව් ඕනිනම් මගේ පන්තියටත් එන්නකො.”

“පොඩ්ඩක් ඉන්න!” මම මටම කියා ගතිමි. මම මේ මුහුණ දන්නවා නොවේද? ඔව්! මට වරදින්නට විධියක් නැත. මේ පොකුටු කොණ්ඩය... මේ හීනි උඩු රැවුල... මේ අපේ ගමේ පාසැලේ සමාජ අධ්‍යයනය ගුරුවරයායි. මම ගියේ ගමේ පාසලට නොවුනත් එයින් සංවිධානය කරන ලද අධ්‍යාපන චාරිකාවකට සහභාගී වීමට අවස්ථාවක් ලැබීම නිසා මෙම ගුරුතුමා ගැන මම දැන සිටියෙමි.

ඔහු පාසලේදී පුදුමාකාර ලෙස කිපෙන ගුරුවරයෙකි. ළමයින්ට අයිසෙ, තමුසෙ ආකාරයේ බස් වහරකින් අමතන ඔහු එහිදී දැන් පෙන්වන තරම් ආචාරශීලීවත් කරුණාවන්තවත් නැත. ගුරුතුමා පාසලේදීත් මෙහිදීත් උගන්වන්නේ එකම විෂයක් බැවින් මෙයට එහි සම්බන්ධයක් තිබීමටද නොහැකිය. ඔහු පාසලට යද්දී තමන්ගේ ආචාරශීලී බව වෙන කොහේ හෝ තබා යනවාද? නැතිනම් ඔහු ඉන් පිට වන්නේ තමන්ගේ සැර පරුෂ බව එහි තබාද? පාසලේදීට වඩා වෙනස් ස්වරූපයකින් මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතනයේදී මෙම ගුරුතුමා හැසිරීමට හේතු විය හැක්කේ කුමක්ද?

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් දෙකත් සමඟ අදාල මුදල් දී අපි අපගේ පන්ති කාඩ්පත් ලබා ගන්නා විටත් මම කල්පනා කරමින් සිටියේ ඒ ගැනයි. එම සීයේ නෝට්ටු දෙක ගුරුතුමා මේස ලාච්චුවට දමන අවස්ථාවේදී එකම එක් අදහසක් මසිතෙහි ඇඳී මැකී ගියේය.

“සල්ලි!”

ගුරුතුමාගේ සිනහවට - එය ව්‍යාජද අව්‍යාජද කීම අපහසුය - පෙරළා සිනහවකින් සංග්‍රහ කල අප දෙදෙනා පන්තිය වෙත පියමැන්නෙමු.

“වෙන්න පුළුවන්ද?” මම මගෙන්ම ප්‍රශ්ණ කර ගතිමි.

_____
පින්තූරය
http://attractioninstitute.org/personal-diary/wp-content/uploads/2011/07/masks.jpg


No comments:

Post a Comment

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...