Pages

Sunday, 1 November 2015

කොට්ටෝරුවා


ටක් ටක් ටකස් ටක ටකස්
ටක් ටකට ටක ටකස්
යතුරු පුවරුවෙ යතුරු
එකිනෙකට කොටමි මම

Ctrl, Alt ද
ස්ප්‍රින් බුරුල් Enter යතුරද
නැවත නැවතත් එබෙයි
ටක් ටකට ටක ටකස්

අකුරෙන් අකුර වචනත්
වචනෙන් වචනෙ එකටත්
ගලපලා පිළිවෙලට
ටක් ටකට ටක ටකස්

යක්කු ගස් වලට නැග
ඒවගෙන් බහිනකං
නිදි නැතුව ඇහැරගෙන
ටක් ටකට ටක ටකස්

ඩෙඩ්ලයින් ගොල්ලක
කෝඩින් වංකගිරියක
හරි පාර හොයාගෙන
ටක් ටකට ටක ටකස්

වෙඩිමට, ඉඩමකට
පුළුවන් උනොත් කාර් එකකට
තව පොඩි හීන ගොඩකට
ටක් ටකට ටක ටකස්

කොටනවා කොටනවා
ඇඟිලි ඇට ගෙවෙනකං
ඇස් කෙවෙනි රිදෙනකං
ටක් ටකට ටක ටකස්

ඔබේ දෑතින් හැදුව
රසම රස තේ එකක්
ඉස්සරහ දවසකදි
තනි රකී නේද මට?

ටක් ටක් ටකස් ටක ටකස්
ටක් ටකට ටක ටකස්

Thursday, 29 October 2015

භින්න



මිනිස්සු අතර තියන සම්බන්ධතා සංකීර්ණයි. පහසුවෙන් බි‍ඳෙන සුළුයි. ඊට හේතුව මිනිස්සු පිටින් පේනවට වඩා ඇතුලතින් සංකීර්ණ සහ සංවේදී වීම වෙන්න ඇති. ඕනිම කෙනෙක්ට - අන්තිම දුප්පතාට පවා - තමන් ගැන ආත්ම අභිමානයක් තියනව. ඒක රැක ගන්න ඕනි කළු ගලක ඔළුව ගහන්න දෙපාරක් හිතන්නෙ නැති අයත් ගොඩක් ඉන්නව.

මෙතනදි තියන ලොකුම ප්‍රශ්ණෙ තමයි අපිට අපේ කටවල් පරිස්සං කර ගන්න බැරි කම. අපි කියන දේවල් ගැන මීට වඩා වගකීමක් ගන්න පුළුවන්නම් මේ ප්‍රශ්ණ වලින් වැඩි හරියක් ඇති වෙන්න කලින්ම ඇති නොවෙන තැනට වගබලා ගන්න තිබ්බ. ඒත් අපේ මහන්තත්තෙ වැඩියි. අපි හිතාගෙන ඉන්නෙ ඉර, හඳ, තාරකා ඔක්කොම අපි වටේ කැරකෙනව කියල. අපිට ඕනි කරන දේවල් දෙන්න ලෝකෙ සැදී පැහැදී ඉන්නවයි කියල. ඒකෙන් අන්තිමට ඉතුරු වෙන්නෙ රිදිච්ච හිත්, බිඳුණු සබඳතා සහ කලකිරීම විතරයි.

අනිත් දේ තමයි අපි වෙන අය ගැන කරන තක්සේරුව. ඒක කරන්නෙ හරියට කන්න ඕනි උනාම කබරගොයි මසුත් තලගොයි මස් කරගන්නව වගේ. අපි නොකල යුතු තැනදි අපිව මැනගන්න මිම්මෙන් අනුන්ව මනින්න යනව. කල යුතු තැනදි ඒ මිම්ම ඒ විදිහට පාවිච්චි කරන එක අතෑරල දානව. ඉතින් ප්‍රශ්ණ ඇතිවෙනව මිස විසඳෙන්නෙ කොහොමද?

එක් කෙනෙක් එච්චරටම ගණන් ගන්නෙ නැති දෙයක් තව කෙනෙක් මහ ලොකුවට ගණන් ගන්නව. කෙනෙක් පුංචි ගින්දරක් අවුළුවනව වෙන්න පුළුවන්. සමහරවිට අත්වැරදීමකින්, තමනුත් නොදැනුවත්වම. ඒ ගින්දරට පිදුරු දාල අවුළුවන්න බලාගෙන ඉන්න කොටසකුත් ඉන්නව. අන්තිමේදි වෙන්නෙ පොඩි ගින්න ලැව් ගින්නක් බවට පත්වීම.

පාරෙදි බැන ගන්න මිනිස්සු දෙන්නෙක් වටේ ‘ප්‍රේක්ෂකයො’ වටඋනොත් ඒ බැන ගැනිල්ල ගුටි ඇන ගැනිල්ලක් දක්වා දුර දිග යෑමේ සම්භාවිතාවය වැඩියි. ප්‍රේක්ෂකයන්ගෙ අතපෙවීම පොඩි දේත් ඔඩු දුවවන්න හේතු වෙනව.

හොඳ පැතිරෙනවට වඩා වේගෙන් සමාජෙ නරක පැතිරෙනව. එහෙම නරක පැතිරෙද්දි ඒ නරක ගුණනය වෙන ගතියක් තියනව. කපුටු පිහාටුව කපුටො හතක් වෙනව; පොඩි හිම කැටේ හිමගිරි නිපාතයක් වෙනව. පංගු කාරයො හැමෝම අඩු වැඩි වශයෙන් විඳවනව.

බිඳවැටිච්ච සබඳතාවයක් දෙපැත්තෙ ඉන්න දෙන්න එකිනෙකා ගැන දරන ආකල්පය සමාජෙට සන්නිවේදනය කරන්නෙ එක්තරා විකෘතියකුත් එක්කයි. ඒකෙන් අනිත් අයගෙ හිත් වල මැවෙන පුද්ගල ප්‍රතිරූපෙ ගැන චිත්‍රයත් විකෘති උන එකක්. ඒ චිත්‍රය පාදක කරගෙන ගන්න තීරණත් විපරීතයි කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. කොහොම උනත් පුද්ගලිකව මං දරන ආකල්පය නම් යක්කු කියන තරං කළු නෑ කියන එක හා සුර දූතයො කියන තරං සුදු නෑ කියන එකයි.


ප. ලි.
හරිනෙ... අද මට පෙත්ත බොන්න අමතක වෙලා...

Thursday, 1 October 2015

එක් සමයක


මෙතෙක් රැකවරණ ලද
බොහෝ දුර ඇති නිවස
හැරපියා පැමිණියෙමි
“ජීවිතේ ජයගන්න”

දරාගෙන කුසගින්න
විඳ නොයෙක් අවමාන
නිහඬවම පසුවීමි
ඉවසුමේ ගුණේ දැන

එහෙ මෙහේ යනෙන විට
ගේට්ටුව එපිට සිට
නිතර ඔච්චම් කරයි
අහිමි වූ සරසවිය

කාස්ටක වියළි කෙත
පීදිලා සරු වෙන්න
වහින පාටක් ම නැත
සිහිල් සොඳ පොද වැස්ස

...

අත්දැකුම් ගුරුන් කොට
ජීවිතේ සිප්හලින්
පන්නරය ලබන්නෙමි
නසන්නට රුපුන් තෙද

ගෙන්දගං පොළොව මත
වැරෙන් සටනේ යෙදෙමි
බියේ පැන යන්න නොව
අභීතව මියැදෙන්න!


(අවුරුදු ගානකට) පස්සෙන් පහු ලියමි

මං හිටියෙ තරහින්. ඇඟේ ලේ රත් වෙලා බුබුළු දාන තරං තරහින්. හැමදේම පත අට එකට හින්දෝල ඔළුව උඩ කඩා පාත් විච්ච වෙලාවට එක්කො අඬන්න පුළුවං, එහෙමත් නැත්තං තරහින් පුපුරන්න පුළුවන්. දුකයි තරහයි කියන්නෙ එකම ආවේගෙ මුහුණුවර දෙකක් විතරයි. කඳුළු වලින් හරි දාඩියෙන් හරි ඒ ආවේගෙ පිට කරල දාන්න ඕනි. ඉතින් නිසඳැසක් වගේ එකක් විදිහට ඒ ආවේගෙ පිට දැම්මම මටම ටිකක් පුදුම හිතුන. හදවතින්ම ලිව්ව, අග්ගිසි රළු, ඔප නොදාපු ගෘහ භාණ්ඩයක් වගේ නිසඳැසක්...

Related Posts Plugin for WordPress, Blogger...