Pages

Thursday, 13 September 2012

පරිවර්තන පොත්




පොත් පත් කියවීම කෑම බීම ගැනීම වගේම ජීවිතයේ අංගයක් කරගත්තු කෙනෙක් “පොත පත කියන්නෙ මනසට ආහාර” කියන කියමන පිළිගන්නව.  කෑම බීම වලට අපි එක් එක්කෙනාගේ තියෙන රුචිකත්වය වෙනස් වෙනව වගේම පොත් පත් වලට තියෙන රුචිකත්වයත් එක් කෙනෙක්ගෙන් තව කෙනෙකුට වෙනස්. මගේ මානසික ආහාර වේල ගැන කතා කරොත් ඒකෙ ලොකු කොටසකට අයිතිවාසිකම් කියන්නෙ පරිවර්තන කෘති.

පොත් පත් ගැන වැඩි වැඩියෙන් කතාවෙන මේ කාලෙ පරිවර්තන පොත් ගැන මට තියෙන්නෙ කොයි විදිහෙ ආකල්පයක්ද කියල ලියන්න හිතුන...

පරිවර්තන පොත් තෝර ගන්නකොට මං නං ඉස්සරවෙලාම බලන්නෙ ඒක ‘සංක්ෂිප්ත’ (සාරාංශ ගත කරපු) පරිවර්තනයක්ද ‘අසංක්ෂිප්ත’ පරිවර්තනයක්ද කියලයි. මොකද මම සංක්ෂිප්ත පරිවර්තන වලට පුද්ගලිකව අකමැති නිසා. මට හිතෙන විදිහටනං සංක්ෂිප්ත පරිවර්තනයකින් වෙන්නෙ මුල් කෘතියෙ තියෙන වටිනාකම නැති වෙලා යන එක විතරයි. මුල් කෘතිය රසවිඳීමේ හැකියාව මොට කරන්න සංක්ෂිප්ත පරිවර්තනේකට පුළුවන්.

පොතක් පරිවර්තනය කරනව කියන්නෙ භාරදූර කාර්යයක්. ඒක එක භාෂාවක වචන තවත් භාෂාවකට හරවන ‘වචන හරඹයක්’ විතරක්ම නෙවෙයි. එතනදි භාෂා අතර තියෙන පරතරයට අමතරව සංස්කෘතීන් අතර තියෙන පරතරයත් පියවන්න පරිවර්තකයෙකුට සිද්ධ වෙනව. පරිවර්තනය කරන හැම කෘතියක්ම පරිවර්තකයෙකුට අභියෝගයක් වෙන්නෙ මේ නිසයි.

කොහොම උනත් කෘතියක් පරිවර්තනය වෙනකොට මුල් කෘතියේ ගුණාත්මක භාවයට සුළුවෙන් හරි හානි වෙන එක වලක්වන්න බැරි දෙයක්. ඒ හානිය අවම වෙන තරමට තමයි පරිවර්තනයක සාර්ථක භාවය වැඩි. පරිවර්තනය සාර්ථක නම් මුල් කෘතියෙන් ඇති කරන හැඟීම පරිවර්තන කෘතියෙනුත් ඇතිවෙන්න ඕනි. ‍

මාටින් කේඩින්ගෙ Ghosts of the Air කෘතියෙ සිංහල පරිවර්තනයෙ (‘අහස් භූතයෝ’) පෙරවදනෙ රදිකා ගුණරත්න මෙහෙම සටහනක් කරල තියෙනව.

“පරිවර්තනයකදී හුදෙක් කතාව පමණක් කීම පරිවර්තනයක් නොවන බව මාගේ හැඟීමයි. අප මුල් කෘතිය ලියූ ලේඛකයාගේ ලේඛන රටාවේ ශෛලියේ නිලය අල්ලා ගත යුතුය. මුල් බසේ ආකෘතියට, ගලා යෑමට හා ශෛලියට බොහෝ දුරටවත් සමාන භාෂා රටාවක් සොයා ගැනීමට තරම් අපේ මව්බස පොහොසත් එකකි.”

සමහර වෙලාවට එක භාෂාවක තියෙන යෙදුම් වෙනත් භාෂාවකට කොහොමවත් ගේන්න බැහැ. එක භාෂාවකදි වචනෙකින් දෙකකින් ප්‍රකාශ කරන්න පුළුවන් සංකල්පයක් වෙනත් භාෂාවකින් තේරුම් කරන්න බැරි තරම් සංකීර්ණ වෙන්න පුළුවන්. පරිවර්තන කාර්යයයේදී පරිවර්තකයාගේ හැකියාවන් උරගා බලන්නෙ කතාවක තියෙන මෙන්න මේ වගේ තැන්. පරිවර්තන කාර්යයට අතගහන පුද්ගලය මේ වගේ තැන් නිර්මාණශීලී විදිහට ‘ගොඩදාගන්න’ දන්නෙ නැතිනම් කතාවේ ගලායෑමට සහ කතා සාරයට හානි වීම වලක්වන්න බැහැ.

මාක් ට්වේන්ගෙ “The Adventures of Tom Sawyer” කෘතියෙ සිංහල පරිවර්තනය මං දැකපු හොඳම පරිවර්තන වලින් එකක්. ඒ පරිවර්තනයේ සමහර තැන් වලදි මුල් පොතේ ඉංග්‍රීසි වචන ඒ විදිහටම පාවිච්චි කරල තියෙනව. එහෙම කිරීම නිසා ඒ තැන් වලට සිංහල වචන පාවිච්චි කරාට වඩා හොඳට කතා සාරය රැකිල තියෙනව.

හොඳ පරිවර්තකයෙක් අනිවාර්යයෙන්ම හොඳ පොත් රසිකයෙක් වෙන්න ඕනි. තමන් පරිවර්තනේ කරන්න යන කතාව හදවතින්ම රසවිඳපු නැති කෙනෙක්ට ඒ කෘතියට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. ඒ වගේමයි පරිවර්තන කාර්යය පටන්ගන්න ඉස්සෙල්ල පොතේ එන නම් ගම් මුල් භාෂාවෙදි උච්ඡාරණය වෙන්නෙ කොහොමද කියන එක ගැන හොයල බලල තියෙන්න ඕනි. චරිත ගොඩනගල තියෙන සමාජ සහ සංස්කෘතික වටාපිටාව ගැන අවබෝධයක් තියෙන්න ඕනි. ඇත්තටම කිව්වොත් පොතක් පරිවර්තනය කරන කෙනෙක් ඒ දේ කල යුතුමයි. මොකද කියනවනං පොත කියවන කෙනා පරිවර්තකය මුල් කෘතියට සාධාරණයක් කලා කියන විශ්වාසයෙන් පොත කියවන්න ගන්න නිසා. ඒ වගේම පොත මිළදී ගන්න සැලකිය යුතු තරමේ මුදලක් වැය කරන නිසා. ඉතින් පරිවර්තකයෙක්ට තමන්ගෙ කාර්යය වගකීමෙන් කරන්න බැරි නං නිකං ඉන්න ඕනි.

‘හැරී පොටර්’ කතා මාලාව මගේ ප්‍රියතම කතා වලින් එකක්. පිස්සුවෙන් වගේ කියෝපු පොත් ටිකක්. වාසනාවකට වගේ ඒ පොත්වල සිංහල පරිවර්තනය කියවන්න කලින් මම කියෙව්වෙ ඉංග්‍රීසියෙන් ලියවිච්ච මුල් කෘති ටික. අර මං ‘වාසනාවකට වගේ’ කියන කෑල්ල කිව්වෙ ඇයි දන්නවද? හැරී පොටර් කතා මාලාවෙ මුල්ම පොත වෙච්ච “Harry Potter and the Philosopher’s Stone” පොතේ සිංහල පරිවර්තනය මට එහෙම්පිටින්ම බලාපොරොත්තු කඩවීමක් වෙච්ච නිසා.

මුල්ම බලාපොරොත්තු කඩවීම තමයි පොතේ නම. “හැරී පොටර් සහ මායා ගල”. නිකංම නිකං ඩික්ෂනරි පරිවර්තනයක්. ඇත්තටම මම බලාපොරොත්තු උනේ “හැරී පොටර් සහ දාර්ශණිකයන්ගේ පාෂාණය” හරි “හැරී පොටර් සහ පාරස මාණික්‍යය” වගේ ටිකක් ගතියක් තියෙන නමක් සිංහල පරිවර්තනේ තියෙයි කියල...

කොහොම උනත් පිටතින් පේන හැටියට පොතක ගුණ අගුණ කියන්න බැරි නිසා පොත තැනින් තැන පෙරළල බැලුව.

මුල් කෘතිය කියවල තියෙනවනං ඒකෙ පරිවර්තනේ හොඳද නරකද කියන්න සාර්ථක ක්‍රමයක් තියෙනව. ඒකට මුල් පොතේ තිබ්බ හිතට දැනිච්ච තැන් කීපයක් පරිවර්තන කෘතියෙන් හොයාගෙන කියවල බලන්න ඕනි.

දෙවෙනි බලාපොරොත්තු කඩවීම උනේ අන්න එහෙම කරාම. පළවෙනි පරිච්ඡේදෙ මාතෘකාව යොදල තිබ්බෙ “පිරිමි ළමයා” කියල. හයියෝ! ඕක ඉංග්‍රීසි පොතේ තිබ්බෙ “The Boy Who Lived” කියල. නිකං ආසාවට “දිවි ගලවාගත් දරුවා” කියලවත් පරිවර්තනේ කරන්න තිබ්බනෙ...

ඒ මදිවට “Hermione” පරිවර්තනේ කරල තිබ්බෙ “හර්මියෝන්” කියල. හරි විදිහට ඕක පරිවර්තනේ වෙන්න ඕනි “හර්මයිනී” කියල.

කොහොම උනත් මුල් කෘතිය කියවල නැත්නං හරි එහෙම නැත්නං පරිවර්තකයො කීප දෙනෙක් විසින් කරපු එකම පොතේ පරිවර්තන කීපයක් කියවල නැත්නං හරි පරිවර්තනය සාර්ථකද නැද්ද කියල එකපාරටම කියන්න අමාරුයි. ඒ වෙලාවට පොත් කියවන අපේ පිහිටට එන්නෙ කාලයක් තිස්සෙ පරිවර්තන පොත් කියවලම ලැබිච්ච පලපුරුද්ද තමයි.

මේ තියෙන්නෙ මට හොඳ පරිවර්තන විදිහට දැනිච්ච පොත් කීපයක්...

  • Anne of Green Gables (Lucy Maud Montgomery) - අරඹෙ ගෙදර ඈන් (ප්‍රේමසිරි මාහිංගොඩ)
  • The Adventures of Tom Sawyer (Mark Twain) - ටොම් සෝයර් (චන්ද්‍ර අනගිරත්න)
  • 2001, 2010, 2061, 3001 (Arthur C. Clarke) - (එස්. එම්. බන්දුසීල)
  • අඳ වාදකයා (වී. කරලෙන්කෝ) - (දැදිගම වී. රුද්‍රිගු)
  • අරණකට පෙම් බැඳ (විභූතිභූෂණ බන්ධෝපාද්‍යාය) - (චින්තා ලක්ෂ්මි සිංහආරච්චි)
  • Totto-Chan: The Little Girl at the Window (ටෙට්සුකෝ කුරෝයනගී) - හරි පුදුම ඉස්කෝලෙ (ලීලානන්ද ගමාච්චි)
  • The Hound of the Baskervilles (Sir Arthur Conan Doyle) - බැස්කර්විල් දඩ බල්ලා (කේ. ජී. කරුණාතිලක)
***
මෙන්න තවත් පොත් ටිකක්...

  • I Can Jump Puddles (Alan Marshall) - ඔව් මට පුළුවන්
  • The Wave (Morton Rhue) - රැල්ල
  • To Sir, with Love (E. R. Braithwaite) - ආදරණීය ගුරුතුමනි
  • The Alchemist (Paulo Coelho) - සන්තියාගෝ නම් සැරිසරන්නා
  • A Connecticut Yankee in King Arthur's Court (Mark Twain) - ඈත අතීතයට ගිය ඇමරිකානුවා 1, 2

මේව විද්‍යා ප්‍රබන්ධ...

  • The Songs of Distant Earth (Arthur C. Clarke) - මිහිකතේ ගීතය
  • Rendezvous with Rama (Arthur C. Clarke) - රාමා හමුව
  • The Mind Parasites (Colin Wilson) - චිත්ත පරපෝෂිතයෝ

තව හොඳ පරිවර්තන පොත් ගැන හෝඩුවාවල් තියෙනවනං කමෙන්ට් එකක් විදිහට දාල යන්න... :)

***
ස්තූතිය:
henryblogwalker the Dude ගෙ “දැන් ලඟද තාත්තෙ?” ලිපියට
ජීවිතේ මල් ගෙ “මගේ හිත් ගත් පොතක් 6 - තුන් තකතීරුකං කරපු කෙනෙක් මං” ලිපියට සහ
සුදීක ගෙ “සාහිත්‍ය මාසයේ - කියවන්නට (හිතන්නට) යමක්” ලිපියට

18 comments:

  1. පරිකල්පනට හොඳයි කියල හිතෙන පොත් ලිස්ට් එකක් දාන්න පුළුවන් නම් ඒක උදව්වක් වෙයි...

    ReplyDelete
    Replies
    1. මම උඩ දාල තියෙන පොත් ලිස්ට් එකටම තව ටිකක් එකතු කරන්නං

      Delete
  2. මම වැඩියෙම පරිවර්තන කියවන්න කැමති නෑ. කොහොම හරි මුල් කෘතිය කියවන්න තමයි උත්සාහ කරන්නෙ. ඒත් වංග පොත් වල පරිවර්තන ගොඩක් කියවනව. ඒ අතින් චින්තා ලක්ෂ්මි අසහාය පරිවර්තිකාවක්.
    මුල් කෘතියට හානි නොකර කරල තියන හොඳ ඉංග්‍රීසි පරිවර්තන අතරින්, ඇට මැස්සා, අමුතු ඉලන්දාරියා පොත් වලට මම කැමතියි.
    කවුරු හරි කියවල තියනවද "මගේ පවුලයි අනික් සත්තුයි" පොත? ඒක my family and other animals පොතේ පරිවර්තනයක්. කියවල බලන්න. නිකම් වත් හිතෙන්නෙ නෑ පරිවර්තනයක් කියල. ඒ තරම් උපරිමයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි හොඳම වැඩේ. ඒ උනත් භාෂා ගැන දැනුම වගේම පොත් වල මිළ ගණන් නිසා පරිවර්තනය කරපු පොත් ගන්න අපිට සිද්ද වෙනව. වංග පොත් ගැන කියනවනං ඒවගෙ ඒවටම ආවේනික ලයාන්විත ශෛලියක් තියෙනව. R. K. නාරායන්ගෙ මල්ගුඩියෙ කතාත් ඒ වගේමයි.

      "මගේ පවුලයි අනික් සත්තුයි" පොත මං ගාව තියෙනව. නියමම පරිවර්තනයක්...

      Delete
  3. ස්තුතියි. බුක් ෆේයා එකෙන් ගන්න ලිස්ට් එකට තව පොත් ටිකක් එකතු කරන්න ලැබුනා.මෙතැනින් "අරණකට පෙම් බැඳ " පොත හුඟාක් ආසාවෙන් කියවාපු එකක්.

    ReplyDelete
  4. සිරාවට කිවුවත් වගේ පරිකල්පනයට හොදා කියලා හිතෙන පොත් ටිකක් නිර්දේශ කරන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ඔන්න තව පොත් ටිකක් උඩ ලිස්ට් එකටම එකතු කරා :)

      Delete
  5. ඉහත සඳහන් පොත් වලින් මම කැමතිම ඈන් පොත් පෙළට. එයිනුත් රසවත්ම පළමු පොත.
    හැරී පොටර් පරිවර්තන නම් දරුණු බලාපොරොත්තු කඩවීමක්. සමහර පොත් වල පරිවර්තන කියෙව්වම මුල් පොත කියවන එකත් එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඈන් පොත් පෙළ නං ආයි ආයිමත් කියවන්න ආස හිතෙන වර්ගයේ කතා ටිකක්. මං හිතන්නෙ ඔය පොත් ටික මං හය හත් පාරක්වත් කියවල ඇති. ඒත් ආයෙත් පාරක් කිසි කම්මැලිකමක් නැතුව කියවන්න පුළුවන්.

      Delete
  6. අපේ පරිවර්තකයෝ ගොඩක් අය වරද්දා ගන්නේ යම් රටක සංස්කෘතිය අඳුනා ගන්නේ නැතිව පරිවර්තනය කරනකොට. පරිවර්තනයකදී මුල් කෘතියට යම් අසාධාරණයක් වෙනවා. එක වලක්වන්න බෑ. නමුත් මේ වරද නිසා මුල් කෘතියට වෙන අසාධාරණය තවත් වැඩි වෙනවා. මෙය ප්‍රබන්ධ වගේම අනික් කෘති ගැනත් ඇත්ත.
    වචනෙන් වචනේ පරිවර්තනය කරන අයත් ඒ වගේ අය...
    සමහරු අපේ රටේ වැඩි දෙනෙක් අහලවත් නැති රටවල පොත් පරිවර්තනය කරනවා. ඇහුවොත් ඒ රට ගැන ටිකක් කියන්න කියලා, ඒ ලේඛකයෝ කී දෙනෙක්ට එක කරන්න හැකි වෙයිද???
    පොත් කීපයක්ම පරිවර්තනය කල එක්තරා පරිවර්තකයෙක්ගේ ඒ වගේ අන්තිම අසාර්ථක ප්‍රයත්නයක් ගැන මම ලියන්න ඉන්නේ...තවම වෙලාව ලැබුනේ නෑ. ඒ පොත මම කලකට කලින් කියවපු එකක්. ප්‍රබන්ධ කතාවක් නම් නෙවෙයි. මම එක ලියුවම කියන්නම්කෝ.... :-)

    තව එකක්... අද කාලේ පත්තරවලට ලියන සමහර අයට වැඩිය හොඳට අන්තර්ජාලයේ බ්ලොග් ලියන සමහර අය ලියනවා. එතන තියෙන්නෙත් පත්තරවල ඉන්න සමහරුන්ට ඒ විෂය ගැන දැනුමක් නැති කම. සමහර ලිපි තනිකරම විකිපීඩියා එකේ (ඇතැම් විට අසාර්ථක) පරිවර්තන. ඒවායේ කිසි නව්‍ය බවක් නෑ.

    ලස්සන ලිපියක්.. එල කිරි :-)

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි. සමහර අය පොත් පරිවර්තනය කරනව කියන එක කරන්නෙ නිකංම සල්ලි හම්බ කරන්න. මතකද අර කාලෙකට ඉස්සරවෙලා ආපු රු:40 කතා පොත්? කණගාටුව ට කාරණාව තමයි එහෙම පොත් වල උක්ත ආඛ්‍යාත පද සම්බන්ධයවත් හරියට ගලපගන්න පරිවර්තනේ කරපු කෙනාට බැරි වෙලා තිබ්බ එක. ඉතින් මුල් පොතට සාධාරණය ඉෂ්ට කරනව කියන එක හීනයක්.

      Delete
  7. හරි පුදුම ඉස්කෝලේ විතරයි මම මෙතනින් කියවල තියෙන්නේ..
    හොඳ ලිපියක්!
    ස්තුතියි ඔබට!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්!
      අනිත් පොත් එක දෙකකුත් කියවල බලන්න...

      Delete
  8. ඇත්තෙන්ම මම පරිවර්තන වැඩියෙම කියවලා නෑ. ඒකට හේතුව මම ඉංග්‍රීසි පොතක් ඉංග්‍රීසියෙන්ම කියවන්න වඩා ආසා කිරීමයි. මම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන පොත්වල පරිවර්තන නම් කියවන්නෙම නැති තරම්. වෙනස් භාෂාවකින්නම් , ඔව් සමහර විට...
    අර චන්ද්‍රා අන්ගිරත්නෙගෙ දඟකාරයා පොත නම් මම කියවලා තියෙන හොඳම පරිවර්තන පොතක්. ඒත් දැන් ඒ පොත තියෙනවද ගන්න?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. නොතේරෙන වචන හොය හොය කියවන එක හොඳ පුරුද්දක් උනත්, ඉංග්‍රීසි පොත් කියවන්න ගත්තම සමහර වචන අල්ල ගන්න සැරින් සැරේ ඩික්ෂනරිය පෙරලන්න කම්මැලිකම මං පරිවර්තන කියවන එක හේතුවක්. අනික් හේතුව තමයි එක ඉංග්‍රීසි පොතක් ගන්න ගානෙන් පරිවර්තන පොත් දෙක තුනක් ගන්න පුළුවන්කම. කොහොම උනත් සමහර පරිවර්තන කියෙව්වම ඒකෙ ඉංග්‍රීසි පොත කියෙව්වනං හොඳයි කියල නොහිතෙනවත් නෙවෙයි... :)

      චන්ද්‍රා අනගිරත්නගෙ ඔය පොත මට අහුවෙලා තියෙනවද කියලනං මට එච්චරටම නිච්චියක් නෑ . කොහොම උනත් පොත හොයාගන්නනං බැරිවෙන එකක් නෑ.

      Delete
  9. මම හිතන්නේ මගේ හිතට වැදුන මුල්ම පරිවර්තන තමයි "හඬනු මැන නිදහස" සුනිල් මාධව ප්‍රේමතිලක පරිවර්තනය කල Cry Freedom කියන පොත. මම වැඩියෙන්ම කියවන්නේ පරිවර්තන, මොකද ඒවගේ ඉගෙන ගන්න යමක් තියෙනවා. හැබැයි පරිවර්තනය කරන අයට අතින් එක් කරන්න්නත් කොටස් තියෙනවා. උදාහරණයකට රුසියාවේ සෘණ උෂ්ණත්වයක් තියෙන තැනක ඉඳන් වුනත් රුසියන් පොත් කතු වරයා ලියද්දී හීතල ගැන සාමාන්‍ය සටහනක් පමණයි ලියන්නේ. ඒත් කියවන ඝර්ම කලාපීය කෙනෙකුට රෙද්දක් පොරව ගන්න හිතෙන විදියට අතින් දාල හරි හීතල විස්තර කලොත් තමයි සාර්ථක. ඒකට අර උඩ කමෙන්ට් වල තියෙනවා වගේ භූගෝලීය දැනුම්, එම බාශාවෙන් අඩුම වශයෙන් තවත් පොත් 15ක් වත් කියවා තිබීම අවශ්‍යයි. අනෙක් දෙය තමයි වෙනත් අය කල පරිවර්තන කියවීම.

    චින්තා ලක්ෂ්මි මහත්මියගේ පරිවර්තන හැකියාව ඉතා විශිෂ්ඨයි. මා එම පොත් වලින් කියව නැත්තේ අවාසනාවකට අරණකට පෙම් බැඳ විතරයි.

    පුලුවන්නම් හොයාගෙන කියවන්න "අර්ජුන්" පොත පරිවර්තකයා මතක නැති වුනත් හොඳ පොතක්.

    ReplyDelete
    Replies
    1. පරිවර්තන පොත් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියන කතාව මාත් පිළිගන්නවා. මට හිතෙන විදිහටනම් හේතුව මේකයි. පරිවර්තනයක් තුලින් අපි දකින්නෙ අපිට හුරු පුරුදු පරිසරයට වඩා වෙනස් පරිසරයක්. එතන ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනව.

      අනිත් අතට බැලුවම අපේ පොත් වලින් අපි දකින්නෙ අපිට එදිනෙදා හුරුපුරුදු දේවල්මයි. ඊටත් පස්සෙ සිංහල නවකතා, කෙටිකතා විවිධත්වයෙන් අඩුවීම තියෙනව. වැඩි හරියක තියෙන්නෙ ආදරය, විරහව වගේ පොදු මාතෘකා. උදාහරණයක් විදිහට ගත්තොත් සිංහලෙන් ලියවිච්ච විද්‍යා ප්‍රබන්ධ තියෙන්නෙ අතලොස්සයි.

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...