Pages

Sunday 31 March 2013

සමබර වීම



මේ ජාතියෙ සෙල්ලම් බඩු ඔයගොල්ලො දැකල ඇතිනෙ...

ඒ දවස්වල මාව පුදුම කරවපු දේවල් වලින් එකක් තමයි ඔය. කොයි පැත්තට හැරෙව්ව උනත් මේව අන්තිමට මුල් පිහිටීමටම ඇවිල්ල හෙමීට නවතින්නෙ හරියට එක්තරා ආකාරයක මායා බලයකින් ඒ දේ සිද්ධ වෙනව වගේ.

මේ සෙල්ලම් බඩුවලට මෙහෙම සුවිශේෂී සමබරතාවයක් ඇවිල්ල තියෙන්නෙ ඒකෙ සම්පූර්ණ බරම තනි ලක්ෂ්‍යයකට එක්තැන් වෙන විදිහට හදල තියෙන නිසා. එතකොට වෙන්නෙ වස්තුව සමබරව තියන්න පුළුවන් පිහිටීම් එකක් විතරක් ඇතිවෙන එක. ඒකයි ඒක කොහොම කරත් එකම පිහිටීමකට ඇවිල්ල සමබර වෙන්නෙ.

සමබරතාවය කියන එක හැම දේටම බලපාන වැදගත් සංසිද්ධියක්. බලාගෙන ගියාම ඒක නැති තැනක් නෑ. පොඩ්ඩක් වටපිට බැලුවනං ඕනි තරං උදාහරණ හොයාගන්න තිබ්බ.

අව්ව, වැස්ස ඇතිවෙන එකේ ඉඳන් හොද්දකට හරි ගානට ලුණු දාන එක වෙනකම්ම සමබරතාවය පිළිබඳ නීතිය වැඩ කරනව.

නිකමට හිතන්න අපිට ගිණි තපින්න ඕනි උනා කියල. ගිණි තපින්න කියල ඕනිවට වඩා ගිණි ගොඩට ලං උනොත් පිච්චෙනව... ඕනිවට වැඩිය ගිණි ගොඩින් දුරස් උනොත් ගිණි තපින්න ඕනි තරං රස්නෙ ලැබෙන්නෙ නෑ...

ඔය සමබරතාවයම ටිකක් ලොකුවට ඉරයි පොළොවයි අතරෙත් තියෙනව. පොළොව දැන් තියෙනවට වඩා ඉරට ලං උනානං ජීවය ඇතිවෙන්න බැරි තරමේ උෂ්ණාධික ග්‍රහලෝකයක් වෙන්න ඉඩ තිබ්බ. හරියට සිකුරු වගේ... එහෙම නොවී දැන් තියෙනවට වඩා ඉරට දුරින් පොළොව තිබ්බනං පොළොව මතුපිට වතුර ඔක්කොම අයිස් වෙනව...

හැබැයි මොනම දෙයක්වත් එක දිගටම එකම සමබර අවස්ථාවෙනං තියෙන්නෙ නෑ. කාලෙන් කාලෙට එක සමබර අවස්ථාවක ඉඳල වෙනත් සමබර අවස්ථාවකට මාරුවෙන්න සිද්ධවෙන එක ඕනිම දේකට පොදු දෙයක්. එහෙම වෙනකොට පොඩි පොඩි හැලහැප්පීම් වලට මූණ දෙන්නත් සිද්ධ වෙනව...

අපේ ජීවිතත් ඒ වගේ නේද?

ජීවත් වෙන එක ආයාසකර දෙයක් නොවෙන්නනං ජීවිතෙත් සමබර වෙන්න ඕනි. ඒකට අළුතින් දේවල් එකතු වෙද්දි කලින් තිබ්බ සමබරතාවය පොඩ්ඩක් විතර එහා මෙහා වෙනව. එතකොට එක්කෝ ආයෙත් සමබරතාවය ඇතිවෙන විදිහට ඒ වෙනකං අපි ජීවිතේ සමබරව තියාගත්ත ලක්ෂ්‍යය පොඩ්ඩක් විතර එහා මෙහා කරන්න සිද්ධ වෙනව. එහෙමත් නැත්නං කලින් තිබ්බ ලක්ෂ්‍යය වටේට ආයෙත් ජීවිතේ සමබර වෙන විදිහට ජීවිතේට අපි එකතු කරං තියෙන දේවල් වලින් කොටසක් ඈත් කරන්නත්, තවත් කොටසක් ලංකරගන්නත් සිද්ධ වෙනව.

මමත් මේ ටිකේ ඔය විදිහෙ සමබර කිරීමේ මෙහෙයුමක් කරන ගමන්. ඉගෙන ගන්න වැඩ ටිකක් ලං කරගෙන ඉන්න නිසා ටික දවසකට බ්ලොග් කෙරුවාව ටිකක් විතර දුරස් කරන්න වෙලා...

ලියන එක කෙසේ වෙතත් කියවන එක අතාරින්නනං අදහසක් නෑ... :)


________
පින්තූරය
http://www.thescienceoutlet.com/Images/Product_Images/BalancingEagle.jpg

13 comments:

  1. ජීවිතේ සමබරව තියාගන්න එක නම් ගොඩක් වැදගත්. මොකද සමහර වෙලාවට ඒ සමබරතාවය නැති උනාම ආයෙත් ජීවිතේ සමබර කරගන්න එක අමාරු වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනං ඇත්ත Chams. මාත් මේ දවස්වල කරන්න තියෙන වැඩ වැඩි නිසාම නිකං පිස්සු හැදිල වගේ ඉන්නෙ...

      Delete
  2. නියමයි. දිගටම ලියන්න.

    ReplyDelete
  3. ජය වේවා! ඉගෙනීමේ වැඩ නිසා බ්ලොග් ලිවිල්ලට තාවකාලිකව විරාමයක් දීපු අය තව ඉන්නවා. පරිකල්පන ආයේ ආපු ගමන් අපි එනවා පිළිගන්න. එහෙනම් ඉගෙනීමේ වැඩ සාර්ථකව කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඩූඩ්! බ්ලොග් කෙරුවාවත් නිකං අබිං කෑව වගේ තමයි. ලේසියෙන් අතාරින්න හිතෙන්නෙ නෑ...

      Delete
  4. හ්ම්.. සමබරබව.. හැම දේකදිම වැදගත් වෙන දෙයක්.

    ඉගෙන ගන්න වැඩ නම් මුල්තැන දීලා කර ගන්න ඕනේ තමයි. එහෙනම් ඒවා කරගෙන ආයේ ලියමුකො.

    ReplyDelete
    Replies
    1. ටික දවසක් ඉඳල ආයෙත් ලියන්නංකෝ... :)

      Delete
  5. හැමදේ ම සමබරව කරගෙන යන්න ඕනැ,එහෙනම් පාඩම් වැඩ ඉවර කරල ආයෙත් එන්නකෝ

    ReplyDelete
    Replies
    1. මං මාසෙට පෝස්ට් හය හතක් ලියන කෙනෙක්කං නෙවෙයි. ඒත් වෙනදට ලියන ටික ලියාගන්න වෙලාව හොයාගන්නත් මේ ටිකේ ටිකක් අමාරුයි. ඉතින් මේ වැඩ ටික එකලාසයක් කරගෙනම ආයෙත් ලියන්න ගන්නම්... :)

      Delete
  6. සමබරව තියාගන්න තිබුනානම් ගොඩාක් හොඳයි.එත් බ්ලොග් කියවුල්ලයි ලිවිල්ලයි සමබර කරගන්න ටිකක් ආමාරුයි වැඩත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව්... වැඩ අඩු කාලෙට බ්ලොග් ලිවිල්ල වැඩියෙන් කරල වැඩ වැඩි කාලෙට බ්ලොග් කියවන එක විතරක් කරන්න තමයි වෙන්නෙ.

      Delete
  7. සමබර කිරීම හොඳ වැඩක්. ඕනම දෙයක් මධ්‍යම ප්‍රතිපදාවෙන් බලන්න පුරුදු වෙන්න ඕන.
    ඉස්කෝලෙ යන කාලෙ මම හැදුව බෝනික්කෙක්, ප්‍රදර්ශයයකට. ඒකත් මොන විදියට තිව්වත් පෙරලෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කරන්න පුළුවන් හොඳම වැඩෙත් ඒක තමයි රාජ්...

      ඔය කියන්නෙ අර දෙපැත්තෙන් බර එල්ලපු දිග රිටක් අතින් අරං ඉන්නව වගේ හදන බෝනික්කො නේද?

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...