Pages

Sunday, 2 December 2012

තෙවන ඛේදවාචකය



1994 ජූලි විසිහත්වෙනිද හවස තිස් තුන් හැවිරිදි කෙවින් කාටර් තමන්ගෙ රතු නිසාන් පිකප් රථය ජොහැන්නස්බර්හි බ්‍රෑම්ෆොන්ටීන්ස්පෘෘට් නදිය අසල ‘ක්ෂේත්‍ර සහ අධ්‍යයන කේන්ද්‍රය’ (Field and Study Center) ලඟ තිබිච්ච ඉයුකැලිප්ටස් (blue gum) ගහ යට නවත්තදි කවුරුවත් ඒ ගැන වැඩිය සැක කරන්න යන්න නැතුව ඇති. ක්ෂේත්‍ර සහ අධ්‍යයන කේන්ද්‍රය කෙවින්ට ආගන්තුක තැනක් නෙවෙයි. එයා පුංචි කාලෙ නිතරම සෙල්ලම් කරන්න ආවෙ එතනට.

සමහරවිට කෙවින් ඒ වෙලාවෙ එන්ජිම නිවල දාල ඩ්‍රයිවින් සීට් එකට හේත්තු වෙලා සුක්කානමට ඇඟිලි තුඩු වලින් තට්ටු කර කර තමන්ගෙ කුඩා කාලෙ මතක එකින් එක ආවර්ජනය කරන්න ඇති...

කුඩා කාලෙට පස්සෙ ගෙවිච්ච හැල හැප්පිලි සහිත ජීවිතේ... හමුදා සේවයට බැ‍‍‍‍‍ෙඳන්න සිද්ධ වීම... එතනදි කළු ජාතිකයෙක් වෙනුවෙන් පෙනී හිටපු නිසා ‘තමංගෙම අයගෙන්’ අඩංතේට්ටං විඳින්න සිද්ධ වීම... හමුදා සේවෙට පස්සෙ කරගහපු ඡායාරූප වාර්තාකරණය (Photojournalism)... වාර්තාකාරයෙක් විදිහට තමන් අහපු දැකපු දේවල්... තමන්ගෙ කැමරා කාචයට හසුකරගත්තු දේවල්... පුලිට්සර් සම්මානයක් එක්ක තමන්ව ලෝක ප්‍රසිද්ධ කරපු ඡායාරූපය... අන්තිමේදි තමන්ගෙ අතිජාත මිත්‍රය, කෙන් ගෙ හදිසි මරණය...

ඒ අන්තිම සිතිවිල්ල මෙච්චර වෙලා කෙවින් ගිලිල හිටිය සිතිවිලි දාමෙ බිඳල දාන්න ඇති...

කෙවින් තමන්ගෙ පිකප් රථයෙන් බැහැල ඒකෙ පිටිපස්සෙන් වතුර දාන්න ගන්න හෝස් බටයකුයි ටේප් රෝලකුයි අරගෙන වාහනේ දුම්බටය ගාව ඇණතියා ගත්ත. හෝස් බටයෙ එක කෙලවරක් දුම් බටේට ඔබපු ඔහු ඒක ගැලවිලා නොවැටෙන්න එතන ටේප් කරා. හෝස් බටේ අනිත් කෙලවර ගෙනල්ල මගී අසුන ගාව ජනේලෙන් ඇතුලට දාල වීදුරුව ඉස්සුව. මේ හැමදේම ලෑස්ති කරල ආයෙත් වාහනේට නැගගෙන එන්ජිම පණ ගන්වපු කෙවින් තමන්ගෙ වෝක්මන් එක ක්‍රියාත්මක කරල ඔළුවට කොට්ටයක් විදිහට තමන්ගෙ ඔලොගුව තියාගෙන සීට් එකේ ඇලඋනා.

හෝස් බටේ දිගේ ඇවිල්ල වාහනය ඇතුලෙ පිරෙන්න ගත්ත කාබන් මොනොක්සයිඩ් වායුව තමන්ව මරණය දිහාවට අරගෙන යනකම්ම කෙවින් ඒ විදිහට ඇල වෙලා හිටිය.

මේ කෙවින්ගෙ අන්තිම ලිපියෙන් කොටසක්...

"I'm really, really sorry. The pain of life overrides the joy to the point that joy does not exist...depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money! ... I am haunted by the vivid memories of killings & corpses & anger & pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners... I have gone to join Ken if I am that lucky."

“මට ඇත්තෙන්ම බොහොම කණගාටුයි. ජීවිතයේ වේදනාව සංතෝසය කියන එක ඉතිරි නොවෙන තැනටම පාගල දාල. දුරකථනයක් නැතුව... කුලී ගෙවාගන්න සල්ලි නැතුව... ළමයි වෙනුවෙන් වියදම් කරන්න සල්ලි නැතුව... ණය ගෙවා ගන්න සල්ලි නැතුව... මං මානසික අවපීඩනයට ගොදුරු වෙලා. මිනීමැරීම් සහ මළසිරුරු ගැන, වෛරය සහ වේදනාවන් ගැන... හාමත් වෙච්ච හරි තුවාල ලබපු හරි ළමයින් ගැන... තුවක්කු වල කොකා ගස්සන්න ආසාවෙන් ඉන්න උන්මත්තකයන් - ගොඩක් වෙලාවට පොලිස් කාරයො - ගැන... මිනීමරුවන්ව මරල දාන අළුගෝසුවො ගැන පැහැදිලිව තැන්පත් වෙච්ච මතකයන් මගේ හිතේ හොල්මන් කරනව. මම යන්න යනව. වාසනාව තිබ්බොත් කෙන් ව මුණගැහෙන්න.”



මේ උඩ පින්තූරෙ ඉන්නෙ ඒ විදිහට සියදිවි හානි කරගත්ත කෙවින්. ඔයගොල්ලො ගොඩක් වෙලාවට කෙවින්ව නොදන්නව වෙන්න පුළුවන් ඒත් කෙවින්ට පුලිට්සර් සම්මානෙ ලබා දීපු එයාගෙ මේ ඡායාරූපෙ එක පාරක් හරි ඔයගොල්ලො දැකල ඇති.





මුලින්ම මේ පින්තූරෙ දැක්ක දවසෙ මට ඒක ලොකු කම්පනයක් ඇකි කරා. මේ ෆොටෝ එක පික්සල් එකක් පික්සල් එකක් ගානෙම සෙලෝලොයිඩ් පටියක් මත්තෙ ගල් ගැහිච්ච ඛේදවාචකයක්. මේක දැක්ක දවසෙ ඉඳල ෆොටෝ එක ගත්ත කැමරාකාරයත් එක්ක මට තිබ්බෙ පුදුම තරහක්.

“අර කිරිසප්පයෙක් බඩගින්නෙ මැරෙන්න යද්දි, ගිජු ළිහිණියෙක් ඇවිල්ල ඒ පොඩි එකා මැරෙණකං බලා ඉද්දිත් මේ ගෝතය කිසි හිතක් පපුවක් නැතුව ඒ දිහාට කැමරාවක් මානගෙන හිටියනෙ.” කියලයි මට හිතුනෙ.

මේ ලිපියට කරුණු එකතු කරන්න පටන් ගන්නකොටත් ඒ තරහ හිතේ කොනක පැසව පැසව තිබ්බ. ඒත් කෙවින් කාටර් ගෙ ජීවිතය සහ මරණය ගැන ලියවෙච්ච මේ ලිපිය (THE LIFE AND DEATH OF KEVIN CARTER Visiting Sudan, a little-known photographer took a picture that made the world weep. What happened afterward is a tragedy of another sort.) කියෙව්වට පස්සෙ කෙවින් ගැන අනුකම්පා නොකර ඉන්න බැරි උනා. කෙවින් කාටර්ගෙ ජීවිතය වගේම මරණයත් එක්තරා විදිහක ඛේදවාචකයක්. තමන්ගෙ වෘත්තීය ජීවිතේ නිසා (ඔහු ඒක තෝරගත්තෙ ඇයි? සමහරවිට සල්ලි නිසා...?) කෙවින්ට තමන්ගෙම හෘද සාක්ෂිය හිරිවට්ටල තියාගන්න සිද්ධ උනා. තමන්ට එදිනෙදා මුනගැහෙන බයානක අමනුස්සකං දකින්න සිද්දවීමම ඔහුව නොමරා මරන්න ඇති. හිරිවට්ටපු හෘද සාක්ෂියකට උනත් දරන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනව. අන්තිමේදි දරාගන්න පුළුවන් උපරිම සීමාවෙදි ඒක බිඳිල යන්න ඇති.

කෙවින් කාටර් අර ඡායාරූපය ගත්ත දවස ගැන එක තැනක මෙහෙම විස්තර වෙනව...

Immediately after their plane touched down in the village of Ayod, Carter began snapping photos of famine victims. Seeking relief from the sight of masses of people starving to death, he wandered into the open bush. He heard a soft, high-pitched whimpering and saw a tiny girl trying to make her way to the feeding center. As he crouched to photograph her, a vulture landed in view. Careful not to disturb the bird, he positioned himself for the best possible image. He would later say he waited about 20 minutes, hoping the vulture would spread its wings. It did not, and after he took his photographs, he chased the bird away and watched as the little girl resumed her struggle. Afterward he sat under a tree, lit a cigarette, talked to God and cried. "He was depressed afterward," Silva recalls. "He kept saying he wanted to hug his daughter."

අයොද් ගම්මානයේ ඔවුන්ගේ ගුවන් යානය ගොඩබස්සපු හැටියෙම වගේ කාටර් සාගතයට ගොදුරු වෙච්ච අයගෙ ඡායාරූප ගන්න පටන් ගත්ත. බඩගින්නෙ මැරෙන්න යන විශාල පිරිසකගෙ දර්ශණයෙන් ටිකක් ඈත් වෙන්න හිතපු ඔහු ලඟ තිබුන අකුලක් දිහාට ගියා. එතනදි මෘදු ඒත් උස් හඬකින් ඇහුනු අඬන සද්දයක් ගැන විපරම් කරද්දි තමයි ඔහු ආහාර ලබාදෙන තැනට යන්න උත්සාහ කරන පුංචි ගෑණු ළමයෙක්ව දැක්කෙ. ඔහු බිම වකුටු වෙලා ඒ ළමයගෙ පින්තූරයක් ගන්න හදන වෙලාවෙ ගිජු ළිහිණියෙක් ඒ කිට්ටුවෙන් වහනව. කුරුල්ලව කලබල නොකර හොඳ දර්ශණයක් ලබා ගන්න ඔහු සීරුවෙන් එහා මෙහා වෙනව. ඔහු පස්සෙ කියපු විදිහට ළිහිණියා පියාපත් විහිදයි කියන බලාපොරොත්තුවෙන් ඔහු ඒ විදිහට විනාඩි විස්සක් විතර බලාගෙන ඉඳල තියෙනව. ඒත් ඌ පියාපත් විහිදල නෑ. ඔහු ඡායාරූපය අරගෙන ඉවරවෙලා කුරුල්ලව එළවල දාල අර පුංචි ගෑණු ළමය කරන අරගලය දිහා බලාගෙන හිටියලු. පස්සෙ ඔහු ගහක් මුල වාඩිවෙලා සිගරට් එකකුත් පත්තු කරගෙන දෙවියන්ට කන්නලව් කර කර ඇඬුවලු. පසුකාලීනව ඔහු මානසික අවපීඩනයට භාජනය උනා. තමන්ගෙ දුව තුරුළු කර ගන්න ඕනි කියල ඔහු දිගින් දිගටම කියන්න ගත්ත...

ඒක තමයි කෙවින්ගෙ ඛේදවාචකය...


දැන් කියන්න යන්නෙ ඔය වගේම තුන් වෙනි ඛේදවාචකේ ගැන. අවාසනාවට ඒක දැං ලංකාවටත් බෝවේගෙන යනව. මොකක්ද දන්නවද? අනිත් මිනිස්සුන්ගෙ දුක ඡායාරූපගත කරල මාධ්‍ය වල ප්‍රචාරය කිරීම. විශේෂයෙන්ම මූණු පොතේ. වඳුරන් විසින් තාක්ෂණය භාවිතා කිරීම...

ඉස්සරනං අපේ මිනිස්සු කරේ කරදරයක් වෙච්ච කෙනෙක් දැක්කම තමං යන ගමන හරි නවත්තල ඇවිත් උදව් කරන එක. ඒ මිනිස්සුන්ට එච්චර මනුස්ස කමක් තිබ්බ. මිනිස්සුන්ගෙ දුකේදි විතරක් නෙවෙයි සතා සිව්පාවගෙ දුකේදිත් උණුවෙන හදවත් තිබ්බ. ඒත් දැං කාලෙ සමහර අය කරන්නෙ මැරෙන්න පණ අදින කෙනා දිහාට හරි කමක් නෑ කැමරා ෆෝන් මානන එක. කොහොම හදවතක් තියෙන කෙනෙකුටද එහෙම කරන්න පුළුවන්?

තුවාලෙක දුක වේදනාව දන්නෙ තුවාලෙ තියෙන කෙනා. වෙන කාටවත් ඒ දුක ඒ විදිහට දැනෙන්නෙ නෑ. එක හේතුවක් තමයි අපේ සීමාවන් විසින් ඇතිකරල තියෙන නොහැකියාව. අනෙක් දේ තමයි අනිත් මනුස්සය විඳින දුක තේරුං ගන්න අපිට උවමනාවක් නැති කම. සමානාත්මතාවය නැතිකම...

වෙන අයගෙ දුක දිහා එක්තරා විදිහක ‘විශ්ම සාධකයක්’ (wow factor) එකක් එක්ක බලන්න ගොඩක් අය පුරුදු වෙලා. ඒගොල්ලො අනිත් අයගෙ දුක විග්‍රහ කරන්නෙ මෙන්න මෙහෙම...

“බලන්ඩ එපැයි මචං.... ‘මේඒඒඒන්න’ තුවාලෙ... ආයෙ කියල වැඩක් නෑ... පික්සු හැදෙනව...”

ලෝකෙ හොඳ තැනක් කරන්නනං ලෝකෙට ඕනි හොඳ මිනිස්සු මිසක් අපි ‘අහවල්ලු’ කියාගෙන රෙදි කරේ තියාගෙන පාරක් පාරක් ගානෙයි මූණූ පොතේ වෝල් එක පුරාමයි විගඩං නටන උංදල නෙවෙයි.

ඒක නිසා ඉස්සරවෙලා තමුන්ගෙ මනුස්සකම හොයා ගන්න කියල පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි... ලෝකෙ ඉන්න හොඳ හදවත් තියෙන මිනිස්සුත් එක්කෙනා දෙන්න අකාලෙ මැරිල යන්න පටන්ගෙන තියෙන කාලෙක අපි අපේ මනුස්සකං ටික රැකගත්තෙ නැත්නං අපිට අන්තිමේදි ඉතුරු වෙන්නෙ අපායක් වගේ ලෝකයක්...

මේ ටිකත් ලියල තියලම ලිපිය අවසන් කරන්නම්...

ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ...
ලදදේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ...
පොළොවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සූ...
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ...!

පොළොවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ...
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ...
ඉඳහිට හෝ සපැමින සිත් සතන් සැනැස්සූ...
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ...!

ඉතිරීගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ...
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ...
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ...
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ...!


පිදුම:
මං දැන අඳුනාගෙන සිටි මිනිසුන් අතර මනුස්සකමින් සපිරි මනුෂ්‍ය රත්නයක් වූ බූඩි අයියාට...


මූලාශ්‍ර:

Wikipedia

THE LIFE AND DEATH OF KEVIN CARTER Visiting Sudan, a little-known photographer took a picture that made the world weep. What happened afterward is a tragedy of another sort.

Kevin Carter: The Consequences of Photojournalism

_____
පින්තූර


16 comments:

  1. මේකේ ‌ෆොටෝ එක දැක්ක ගමන් මගේ මතකෙට ආවේ මෙන්න මේ කතාව..

    Nick Ut

    මේකේ කතාව අවුරුද 10දි විතර මුතුහර සඟරාවක කියෙව්වා උනාට අද වගේ ඒ කතාව හිතේ රුඳිලා තියෙනවා.... මේ තියෙන විස්තරේට වඩා ගොඩක් මම පස්සේ කාලෙක දැන ගත්තා.. ඒ කතාවත් මේ වගේම තමයි...

    මං දැක්කා මේ කැමරා කිරිල්ල ගැන කීප දෙනෙක්ම ලියලා තියෙනවත්... මේක ඇත්තටම ළඟදි පටං ගත්ත දෙයක් නෙවෙයි මට හිතෙන හැටියට... යුද්ධෙ තිබ්බ කාලේ ප්‍රවෘත්ති බැලුවම මේ වගේ කතා කීපයක් ඇහෙනවා.. ඉතිං දැං ඇත්තටම මරණයත් විකුණන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා කියලා මට හිතෙන්නේ.. මේකත් ඒකෙම අප්ග්‍රේඩ් එකක් වගේ... මනුස්සකම කියන එකට තියෙන්නේ බො‌ෙහාම සුළු වටිනාකමක්...

    ReplyDelete
    Replies
    1. Nick Ut ගත්ත ඔය ෆොටෝ එක ගැන හොඳ බ්ලොග් පෝස්ට් එකක් මං ටික කාලෙකට කලින් කියෙව්වා... හැබැයි කොයි බ්ලොග් එකේද කියන්න හරියටම නිච්චියක් නෑ...

      පහුගිය අවුරුදු තිහට මිනිස්සුංගෙ මනුස්සකං පුදුමාකාර විදිහට හෝදා පාළු වෙලා. එක හේතුවක් තමයි යුද්ධය. අනිත් එක තමයි යුද්දෙත් එක්කම උස් මහත් විච්ච අපේ ජනමාධ්‍ය සංස්කෘතිය. විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය.

      2004 සුනාමිය ආපු වෙලාවෙ අපේ මිනිස්සු ඒකෙ වීඩියෝ දර්ශණ සීඩී වලට කොපිකරල විකුණුව. යුද්ධ කාලෙ දර්ශණත් ඒ වගේම මහා පරිමාණෙන් විකුනං කෑව. බොරු කියන්න ඕනි නෑනෙ, අනිත් හැමෝම වගේ මමත් ඒව බලල තියෙනව. ඒත් ඒකත් එක්තරා විදිහක අමනුස්සකමක් නේද කියල හිතුනෙ පස්සෙ කාලෙක.

      මිනිස්සුන්ට මේවගේ නිතර නිතර ඇහැ ගැටෙන්නෙ අමනුස්සකං නං මිනිස්සු එන්න එන්නම පිරිහෙන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් ඉතිරි වෙන්නෙ නැහැ...

      Delete
  2. කෙවින් කාටර් ගැන කලින් මම අහලා තිබුනේ නෑ...ස්තුතියි ඔහු ගැන තැබූ මේ සටහනට..

    පහුගිය දවස්වල ඇතු උන සමහර සිදුවීම් වලදී මිනිහෙක්ගෙ ජීවිතය බේරා ගන්නවට වඩා ඒ අවස්ථාව ඡායාරූපගත කරන්න වෙහෙසුන අපේ මිනිස්සු ගැනත් අපි දැක්කා.. එක සිදුවීමකට පන දෙන්න ඡායාරූපයකට පුළුවන් වගේම....මිනිසුන්ගේ ජීවිතේ වටිනාකම ගැනත් මොහොතක් හිතන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ජායාරූපයකින් වචන දාහක් කතා කරනව කියන එකේ විවාදයක් නැහැ. ඒ උනාට අපිට පේන්නෙ නැති අනිත් ඇත්ත තමයි ජායාරූපයකින් ජායාරූප ශිල්පියා ගැනත් එච්චරටම දේවල් කියවෙනව කියන එක...

      Delete
  3. ස්තූතියි මිත්‍රයා.වටින තොරතුරු ටිකක්.මමත් මේ ඡායාරූපයේ නිධාන කතාව නොදැන සිටියෙක්. වත්මන් සමාජ ධාරාවට එම ඡායාරූපය හා නිධාන කතාවෙන් දෙන අතුල් පහර තේරුම් ගන්නේ කීයෙන් කී දෙනෙක් පමණද

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම මිනිස්සුන්ගෙ මොළේ පෑදෙන්නයි කියල ප්‍රාරිථනා කරමු...

      Delete
  4. ඔහුට මිය යන්නට උනේ ඔහුගේ තියුණු හෘදසාක්ෂිය නිසාම තමා.. ඇත්තටම හොද කැපවීමෙකින් තමා සේවය ඉටු කල කෙනෙක්. නමුත් පසු කාලිනව ඔහු තමා කල දේවල් ගැන දොස්තයෙව්ස්කි වගේම කලකිරිමට පත් උනා..

    ReplyDelete
    Replies
    1. මමත් මුලදි හිතුවෙ කෙවින් කාටර් කියන්නෙ හිතක් පපුවක් නැති ‘මාධ්‍ය කාක්කෙක්‘ කියල. ඒත් විස්තර හොයාගෙන යද්දි ඒ අදහස වෙන්ස් කරගන්න සිද්ධ උනා. ඒත් මට තවමත් හිතාගන්න බැරි ඔහු ඒ වෘත්තියම තෝර ගත්තෙ ඇයි කියල.

      Delete
  5. බොහොම හොඳ පොස්ටුවක්. හිතන්න දෙයක් ලියල තියෙනවා. මටත් කියනන් තියෙන්නේ වඳුරන්ට දැලි පිහි ගැලපෙන්නේ නැහැ කියන එක. ඔය ජංගම දුරකථන කැමරා තාක්ෂනය නිසා හරිම අක්රදර තමයි වෙලා තියෙන්නේ කොහේ හරි ඉන්න ගොරකයෙක් තමන් කෙල්ලත් එක්ක ඉන්න එකත් ඕකෙන් රෙකෝඩ් කරනවා. දැනීමක් නැති කමද අවලම් කමද කියල හිතාගන්න බැහැ

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ උපන්ගෙයි මෝඩකම කියල...

      Delete
  6. මම හිතන්නෙ ඔය depresson එකම තමයි ඕකට හේතුව. ඒක occupational hazard කියලත් කියන්න පුලුවන්

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. Occupational Hazard කියන එකෙත් බයානකම එක...

      Delete
  7. බොහොම හොඳ ලිපියක්.

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...