කඳු
මුහුණතින් කොටසක් සම්පූර්ණයෙන්ම
වසා පැතිර ඇති ෆයිනස් ගස් යාය
නිල් අහස පසුබිම් කොටගත්
දැවැන්ත හරිත වර්ණ ප්‍රාකාරයක්
ලෙස පාසැල් භූමියේ එක් පසෙකින්
නැගී සිටී. මද
සුළෙඟ් නැළැවෙන එම
සජීවී ප්‍රාකාරයට මායිම්ව
හෙල්මළු ආකාරයේ පිහිටීමක
ගොඩනංවා ඇති ගුරු පැහැය මිශ්‍ර
කහ පැහැති දිගැටි පාසැල්
ගොඩනැගිලි තුනකි.
පාසලට
පිවිසීම සඳහා වූ කඳු මුදුන
කරා දිවෙන තාර නොදැමූ පිවිසුම්
මගත් ඒ මාර්ගය පසෙක වූ යකඩ මාර
සහ සපු ගස් ගොන්නත් තැනිත්
තැන ඇති සුදු පැහැති වටකුරු
කඳන් සහිත ට’පන්ටයින් ගස්
කිහිපයකිනුත් සරුවට වැඩුණු
මානං පඳුරු රාශියකිනුත් කඳු
මුහුණතේ අනෙක්පස සමන්විතය.
රන්වන්
හිරු එළියෙන් දෝවනය වන පාසල්
ගොඩනැගිලි ත්‍රිත්වයත් ඊට
යාබදව සුදු බොරළු ඇතිරූ කවාකාර
මිදුලක් මැද වැඩ සිටින කුඩා
බුදු මැදුරත් පාසලේ සුන්දරත්වය
වැඩිදියුණු කළේය.
බුදු
මැදුර ඉදිරිපසින් හැරී ඉහලින්ම
පිහිටි පාසැල් ගොඩනැගිල්ලේ
විදුහල්පති කාර්යාලයය අසලින්
අවසන් වන පිවිසුම් මාර්ගය
දිගේ අනෙක් පසට විත් බුදු
මැදුර ලඟින් වමට හැරුණු විට
පාසලේ ක්‍රීඩා පිටිය හමුවේ.
බිම
පුරා කැටිති වශයෙන් වැඩුණු
තණකොළින් ගැවසී ගත් ක්‍රීඩා
පිටිය එහා කෙළවර කුඩා කඳුගැටයකි.
පිට්ටනියේ
මෙහා කෙලවරේ සිට බැලූ විට එම
කුඩා කඳුගැටය දිස්වන්නේ මුණින්
අතට නැවූ විශාල අඩිය පැතලි
දීසියක් ලෙසයි. ඒ
දක්වා යෑම් ඊම් නිසා පිට්ටනිය
මැදින් සෑදී ඇති අඩි පාර කොළ,
තද
දම් සහ දුඹුරු මිශ්‍ර පැහැ
ගත් තණකොළ පොළොව මත අව්වට
පිළිස්සුනු රතට හුරු තැඹිලි
පැහැයකින් දිස්වේ.
එදින
උදෑසන ගුරුවරියන් දෙදෙනෙකුත්
පෙරටු කොට ගෙන පාසැල් ගොඩනැගිල්ලෙන්
පිටතට පැමිණි දෙකේ පන්තියේ
ළමුන් ගොඩේ මමද වීමි.
අපි
පෙළ ගැසී චාන්දනී ටීචරුත්,
නිර්මලා
ටීචරුත් සමග පිට්ටනිය දෙසට
ගමන් කළෙමු. පේළියේ
මට ඉදිරි පසින් මගේ හොඳම මිතුරා
වූ අකලංක ගමන් ගත් අතර මට
පසුපසින් ආවේ මගේ අනෙක් හොඳම
මිතුරා වූ වරුණයි.
පිට්ටනිය
මැදින් වූ අඩිපාර දිගේ අපි
ගමන් කළෙමු. පිට්ටනිය
කෙළවර වූ කුඩා කඳුගැටයට අපි
නැගගන්නා විට පාසලේ පසුබිම්
සංගීතය බඳු වූ සිහින් ගුමු
ගුමුව ෆයිනස් ගස් අතරින් හමන
සුළෙඟ් ගුප්ත හෝ හඬ විසින්
ගිලගනු ලැබ තිබිණි.
පෙරදා
රැයේ වැටුණු පිණි බිංදු තණකොළ
මතත්, අතරින්
පතර වැඩුණු තුත්තිරි ගස් වලත්
රැඳී උදෑසන හිරු එළියේ දියමන්ති
කැට මෙන් දිළිසුණි.
අවට
වාතය නැවුම්ය, සිසිල්ය.
ෆයිනස්
ලාටු වල සුගන්ධය තැවරී ඇති
එම සිසිල් වාතයෙන් පෙනහළු
පුරවා ගැනීමට මම ගැඹුරින්
හුස්ම ගතිමි. හුස්මක්
හුස්මක් ගානේ දැනෙන ඇතුලාන්තය
සිසිල් වී යන්නාක් බඳු හැඟීමට
මම ආශා කළෙමි.
පිට්ටනියේ
මෙම කෙළවරට පැමිණීම මගින්
අදහස් කරනුයේ දිවා ආහාර වේලාව
වන තෙක් එළිමහනේ සිටීමට හැකි වන බවයි. ගුරුවරියන්
දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ
වුවද යකා
නැටීමට
ලැබෙන අවස්ථාව මඟහරින්නේ
කවුද?
“ඇවිද්දට
කමක් නෑ ගොඩක් එහෙ මෙහෙ යන්නෙ
එහෙම නෑ. පේන
දුරින් ඉන්න.” ඒ
අවවාදය නිර්මලා ටීචගෙනි.
“ඒ
ගමන් ඔයගොල්ලො දෙතුන් දෙනා
කණ්ඩායම් හැදිල ඇවිල්ල ඉගෙනගත්ත
සින්දුවක් කියන්න ඕනි.
හොඳම
සින්දුව කියන කණ්ඩායමේ අයට
සිකුරාද සමිතියෙ සින්දුවක්
කියන්න දෙනව.” වටාපිටාව
හොඳින් පෙනෙන සෙවණ ඇති තැනක
චාන්දනී ටීචර් සමඟ වාඩිවන
ගමන් ඇය තවදුරටත් කියා සිටියාය.
“මොකක්ද
අපි කියන සින්දුව?”
තණකොළ
බිම මත වාඩිවන ගමන් මම අනෙක්
දෙදෙනාගෙන් ඇසීමි.
“අපි
රෝස
මලේ නටුවෙ කටූ
කියමු” වරුණ යෝජනා කළේය.
“බෑ...
බෑ...
ඔක්කොම
කියන්නෙ ඒක” අකලංක විරුද්ධ
විය.
“එහෙනං
මොකක්ද?” වරුණ
කියන්නට සින්දුවක් තේරීම
අකලංකටම බාර කළේය.
“අපි
කියමු... මේ...
මේ...
අපි
කියමු...” අකලංක
තමන්ගේ මතකය හාරා අවුස්සමින්
ගීතයක් මතකයට නගා ගැනීමට වෑයම්
කළේය. අවසානයේ
“අපි කියමු අර... අර... ආ යූ ස්ලීපිං සින්දුව”
යි ඔහු යෝජනා කළේය.
“බැහැ!
අපි
වෙන මොකක් හරි කියමු” එවර
විරුද්ධත්වය මගේය.
හැමෝම
රැස්වීමකදී කියාගන්න කිසිවක්
නැතිවන හදිසි අවස්ථාවන්
පැනනැගුණු විට පාවිච්චියට
ගන්නා එම ගීතය මෙසේ විය.
“ආ
යූ ස්ලීපිං... ආ
යූ ස්ලීපිං...
බ්‍රදර්
ජොන්... බ්‍රදර්
ජොන්...
මුනිඹෙසරීගිං...
මුනිඹෙසරීගිං...
ඩිංඩොං
බෙල්... ඩිංඩොං
බෙල්...”
එහි
අගක් මුලක් වටහා ගැනීමට මට
නොහැකිය. එබැවින්
එම සින්දුව කීමට මම අකමැති
වීමි. මෙසේ
ටික වේලාවක් අපි කිව යුතු
සින්දුව පිළිබඳ වාද විවාද
පැවැත්වීමු. ඒ
අතර ළමුන් දෙතුන් දෙනා කණ්ඩායම්
වශයෙන් ගොස් නිර්මලා ගුරුතුමියත්,
චාන්දනී
ගුරුතුමියත් ඉදිරියේ සින්දු
කියන අයුරු බලා සිටියෙමු.
ගැහැණු
ළමුන්ගෙන් වැඩි හරියක් ගීතයක්
ගායනා කොට නිදහස්ව
සිටි අතර පිරිමි ළමුන්ගෙන්
වැඩි හරියක් ගීතයක් ගායනා
නොකිරීම නිසා සිර
අඩස්සියේ
පසුවූහ. මේ
සින්දුවක් නිසා හිතේ හැටියට
ගෙවා දැමීමට තිබූ උදේ වරුව
කාබාසිනියා වීමට දීම අපරාධයකි.
අවසානයේ
එක් සින්දුවක් මත එකඟතාවයකට
පැමිණීමට අපට හැකි විය.
අපි
තිදෙන ලහි ලහියේ ගොස් ගුරුවරියන්
දෙදෙනා ඉදිරිපසින සිටගත්තෙමු.
“දැන්
ඔය තුන්දෙනා කියන්න යන්නෙ
මොකක්ද?” චාන්දනී
ටීචර් උද්යෝගීමත් හඬකින්
ඇසුවාය.
“අපි
පුංචි
බලු රාළේ
කියන්න යන්නෙ ටීචර්” මම කීවෙම්.
නිර්මලා
ටීචර්ගෙන්ද අවසරය ලැබුණු
බැවින්
“පුංචි
බලු රාළේ - මා
ගෙදර නැති වේලේ
කවුද
මගෙ බෝලේ - පෙරළ
පෙරළා සිටියෙ මිදුලේ”
අපි
එක හුස්මට කියා අවසන් කළමු.
ටික
වේලාවකට පසු අප තිදෙන යලිත්
තණකොළ පොළොවේ වාඩිවී සිටියෙමු.
වරුණ
තුත්තිරි ගස් වලින් ඔරලෝසු
සාදන ආකාරය අපට පෙන්වමින්
සිටියේය. තුත්තිරි
ඔරලෝසු සෑදීම ඉගෙනීමට අකලංකත්
මමත් උදේ වරුවේ ඉතිරි කාලය
යෙදවූවෙමු.
උදෑසන
දහවලට හැරෙමින් පැවතුනි.
පොළොවේ
වැටුණු සෙවණැලි ටිකින් ටික
කෙටි වන්නට වූ අතර හිරු රැස්
පීඩාකාරී වන්නට පටන්ගෙන
තිබුණි. දිවා
ආහාර වේල කිට්ටු වී ඇති බවට
ආමාශය සංඥා කිරීමට විය.
මේ
වන විට පිරිමි ළමයින් තිදෙනෙකු
හැරුණුකොට අන් සියල්ලෝම ගීත
ගායනා ක්‍රියාකාරකම අවසන්
කර තිබුණි. ඉතිරිව
සිටියේ තේමියත්,
කැළුමුත්,
එරංගත්
පමණි. මෙතෙක්
වේලා ගුරුවරියන් දෙදෙනාව
මඟහරිමින් සිටියද අවසන් මොහොතේ
ඔවුන් තිදෙනාව බෙල්ලෙන්ම
අල්ලා දීමට නිර්මලා ටීචර් අත
තිබූ නම් ලැයිස්තුව සමත් විය.
“බෙල්
එක ගහන්න ඉස්සෙල්ල ඔය තුන්දෙනා
කවියක් හරි සින්දුවක් හරි
කිව්වෙ නැත්නං ගුටියක් දෙනව
මං. මෙච්චර
වෙලා ඉඳලත් සින්දුවක් මතක්
කර ගන්න බැරිඋනා කියනව එහෙම
නෙමෙයි.” නිර්මලා
ටීචර් තමන් අත වූ හීන්දෑරි
පේර කෝටුව ලෙළවමින් ඔවුන්
තිදෙනාට සැර විය.
දහවල්
විවේක කාලය දන්වන බරැති පිත්තල
සීනුවේ හඬ නොබෝ වේලාවකින්
ඇසෙන්නට විය. චාන්දනී
ටීචර් ළමයින්ව පන්තියට ගෙනයෑම
සඳහා පේළි ගැස්සවීමට යුහුසුළු
වූවාය. පන්තිය
බලා පිටත් වෙන්නට මොහොතක්
තියා නිර්මලා ටීචර් තේමිය,
කැළුම්
සහ එරංග ඇමතුවාය.
“දැන්
ඔයගොල්ලො තුන්දෙනා මතක් කරගත්ත
සින්දුව කියන්න.”
තරමක්
අවිශ්වාස ගතියකින් පසුවූ
තේමිය, කැළුම්
සහ එරංග එක්වරම සින්දුව කීමට
පටන් ගත්හ.
“හායි
හූයි බබි ආච්චිගෙ බයිසිකලේ...
කලේ...
කලේ...”
නිර්මලා
ටීචත් චාන්දනී ටීචත් එකිනෙකාගේ
මුහුණ බලා ගත්හ. අපි
සැවොම මීයට පිම්බාක් වැනි
නිහඬතාවයක ගිලී ගුරුවරියන්
දෙදෙනා හා ළමුන් තිදෙනා දෙස
බලා සිටියෙමු. කවුරුත්
කිසිවක් කීමට පෙර ඔවුන් තිදෙනා
සින්දුවේ ඉතිරි පදයද ගායනා
කර නිම කළහ.
“කෙල්ලො කොල්ලො වටකරගෙන ගැහුව බෙලේ... බෙලේ... බෙලේ...”
_____
පින්තූරය
http://topdesign72.com/wp-content/uploads/2011/08/best-collections-of-stunning-bicycle-pictures.jpg
හෙහ් හෙ නියම කතාව .මරු ........:D
ReplyDelete@The Lion
ReplyDeleteතැන්කිවු...! තැන්කිවු...!!
හිනා කාල පන යනව :)
ReplyDelete