Pages

Sunday 15 December 2013

දෙවියන්ගේ ආහාරය



සභාපති තුමනි, මුලින්ම ඔබට අනතුරු ඇඟවීමක් කරන්න මට සිද්ධ වෙනව.  මං මේ ඉදිරිපත් කරන්න යන කාරණා වලින් වැඩි කොටසක් බොහොමත්ම පිළිකුල් සහගත වේවි. කලාතුරකින් පමණක් ප්‍රසිද්ධියේ කතාබහට ලක්වෙන; කොන්ග්‍රස් කමිටුවක් ඉදිරියේ නම් කොහෙත්ම කතාබහට ලක් නොවෙන; මිනිස් ස්වභාවයේ සමහර ගති ලක්ෂණ සමග මම කියන්න යන කාරණා කෙලින්ම සම්බන්ධයි. නමුත් ඒවාට මුහුණ දෙන්න අපට සිදුවන බව කණගාටුවෙන් උනත් මම කියන්න ඕනි. කුහකකම කියන කඩතුරාව ඉරා ඉවත දැමිය යුතු අවස්තාවන් අප වෙත පැනනගිනව. මේ එවැනි අවස්තාවන්ගෙන් එකක්.

මහත්වරුනි, ඔබ සහ මම පැවතගෙන එන්නෙ මාංශ භක්ෂකයන්ගේ පරම්පරාවකින්. ඔබලාගේ මුහුණුවල ස්වභාවය අනුව ඔබලාගෙන් වැඩි දෙනා ඒ වචනයේ තේරුම නොදන්නා බව මට තේරුම් ගන්න පුළුවනි. ඒක පුදුමයට කාරණයක් නෙවෙයි. මොකද කියනවනම් ඒ වචනය අයිති වෙන්නෙ දැනට වසර දෙදාහකෙට පෙර අභාවයට ගිය භාෂාවකට නිසා. එක්කෝ මේ විදිහට වටින්-ගොඩින් කතාව නොකියා මම කෙලින්ම කාරණාවට බැස්සනම් වඩා හොඳයි. ඒ සඳහා ශිෂ්ඨ සමාජයේ කොතැනකදිවත් භාවිතා නොවන වචන යොදා ගන්න සිද්ධ වීම පිළිබඳවත්, එසේ කිරීමෙන් කාට හෝ හිත් අමනාපයක් ඇති උනෝතින් ඒ පිළිබඳවත් කල්තියාම මම සමාව ඉල්ලා සිටිනව...

දැනට සියවස් කීපයකට පෙර බොහෝමයක් මිනිසුන්ගේ ප්‍රියතම ආහාරය උනේ මස්. වෙනත් විදිහකින් කියනවනම් වරක් ජීවත්ව සිටි සතුන්ගේ මාංශය. මම ඔබලාට ඔක්කාරය හදවන්න හදනව නෙවෙයි. මං මේ කරන්නෙ තොරතුරු බොහොම සරළව ඉදිරිපත් කිරීමක් පමණයි. ඔබලාට ඕනෑම ඉතිහාස ග්‍රන්ථයකින් ඒ ගැන හොයා බලන්න......

ඔව්, ඇත්ත වශයෙන්ම සභාපතිතුමනි... සෙනෙට් සභික අර්වින් යථා තත්වයට පත්වන තුරු ඉන්න මම සූදානම්. මේ ක්ෂේත්‍රයට ආධුනික අය මෙවැනි ප්‍රකාශ වලට ප්‍රතික්‍රියා දක්වන්නෙ කොහොමද කියන එක ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විදිහට සමහර විට අපිට අමතක වෙනව. ඒ වගේම, මීට වඩා නරක දේවල් තවත් ඉදිරියේදි අහන්න සිදුවෙන බවට කමිටුවේ අනිත් සාමාජිකයන්ට මේ වෙලාවෙ මම අනතුරු අඟවන්න ඕනි. ඔය මහත්වරුන්ගෙන් කවුරු හරි මේ වගේ දේවල් යන්තමින් වත් අප්‍රිය කරනවනම් සෙනෙට් සභික තුමා කලා වගේ දැන්මම මෙතනින් පිට වීම වඩා හොඳ බව මම යෝජනා කරනව.

හොඳයි, මම යලිත් මාතෘකාවට ආවොත්...

මෑතක් වෙන තුරු හැම ආහාරයක්ම අයිති උනේ කාණ්ඩ දෙකකට. ඒවාගෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළේ පැළෑටි වලින්. ධාන්‍ය, පළතුරු, ප්ලවාංග, ඇල්ගී සහ වෙනත් ශාඛ වර්ග වලින්. අපේ මුතුන්මිත්තන්ගෙන් බොහෝ දෙනෙක් නොදියුණු, ඒ වගේම බොහොම වෙහෙසකර ක්‍රම යොදාගෙන ගොඩබිමෙන් සහ මුහුදින් ආහාර සපයගත්ත ගොවීන්ය කියන කාරණාව අද දවසේ අපිට තේරුම් ගන්න අමාරුයි. නමුත් යථාර්තය ඒකයි.

නැවතත් මම මුලින්ම සඳහන් කරපු අප්‍රිය සහගත කාරණාව දෙසට හැරුණොත්... දෙවෙනි ආහාර වර්ගය උනේ මස්. මස් ලබාගන්න යොදා ගත්තෙ සාපේක්ෂව බලද්දි සත්ව වර්ග කිහිපයක් පමණයි. එයින් සමහර වර්ග ගැන ඔබලා බොහෝවිට දන්නව ඇති. ගවයන්, ඌරන්, බැටළුවන්, තල්මසුන්...

මේ කාරණාව අවධාරණය කිරීම ගැන මට සමාවෙන්න. නමුත් මේ ගැන තියෙන තොරතුරු අවිවාදිතයි. බොහෝ දෙනෙක් වෙන මොනම ආහාරයකටත් වඩා කැමති උනේ මස් ආහාරයට ගන්න. ඒ උනත් එවැනි ආහාර රසවිඳින්න පුළුවන්කම තිබුනෙ පොහොසත්ම අයට පමණයි. මනුෂ්‍ය වර්ගයාගෙන් වැඩි කොටසකට මස් කියව්වෙ සියයට අනූවකටත් වඩා එළවළු වලින් සමන්විත වුනු ආහාර වේලකට කලාතුරකින් එකතුවුනු දුර්ලභ රස මසවුලක්.

මේ කාරණාව දිහා සන්සුන්ව සහ අපක්ෂපාතීව බැළුවොතින් - සෙනෙට් සභික අර්වින් ඊට සුදුසු තත්වයක දැන් ඉන්නව ඇතියි කියල මම විශ්වාස කරනව - මස් දුර්ලභ සහ මිළ අධික වීම ඇත්තෙන්ම සිදුවිය යුතුව තිබුණු දෙයක් බව අපිට පේනව. මොකද කියනවනම් මස් නිෂ්පාදනය කියන්නෙ බොහොම අකාර්යක්ෂම ක්‍රියාවලියක් නිසා. මස් කිලෝවක් නිපදවා ගන්න අදාල සතාට අඩුම තරමෙන් ශාක ආහාර කිලෝ දහයක්වත් ආහාරයට ලබා දෙන්න සිද්ධ උනා. මේ බෙහෝවිට මිනිස්සුන්ට කෙලින්ම ආහාරයට ගැනීමට පුළුවන්කම තිබුණු ආහාර. රසඥානය ගැන සැලකීම පැත්තකින් තිබ්බ උනත් මෙවැනි ක්‍රියාවලියක් දිගින් දිගටම පවත්වාගෙන යෑම විසිවෙනි සියවසේ සිදුවුණු ජනගහනය වැඩිවීමත් සමග කොහෙත්ම කල නොහැකි දෙයක් උනා. මස් ආහාරයට ගන්න හැම පුද්ගලයෙක්ම තවත් දහ දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් නිරාහාරව තියන්න හේතුවක් වෙනවයි කියල දෝෂදර්ශණයට ලක් උනා.

කොහොම නමුත්, අපි හැමෝගෙම වාසනාවට වගේ ජීවරසායනඥයො මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයා ගත්තා. ඔබ හැමදෙනාම දන්නා පරිදි ඒ විසඳුම ආවෙ අභ්‍යවකාශ පර්යේක්ෂණයන්ගෙ නොයෙක් අතුරුඵල වලින් එකක් විදිහට.

ශාක ආහාර වේවා, සත්ත්ව ආහාර වේවා, මේ හැම ආහාරයක්ම හැදිල තියෙන්නෙ පොදු මූලද්‍රව්‍ය කිහිපයකින්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සුළු වශයෙන් ගෙන්දගම් සහ පොස්ෆරස් වලින්. මිනිසා මෙතෙක් ආහාරයට අරන් තියෙන වගේම කවදා නමුත් ආහාරයට ගන්නා හැම ආහාර වර්ගයක්ම සකස් වෙන්නෙ මේ මූලද්‍රව්‍ය දුසිම් බාගය සහ තවත් මූලද්‍රව්‍ය කීපයක් එකිනෙකට වෙනස් ආකාර අපරිමිත ගණනකින් සංයෝජනය වීමෙන්.

චන්ද්‍රයා සහ අනෙකුත් ග්‍රහලෝක ජනාවාස කරීමේදී ප්‍රශ්ණ රැසකට මුහුණදීපු විසි එක් වෙනි සියවසේ ජීවරසායනඥයො ජලයේ, වාතයේ සහ පාෂාණ වල අඩංගු මූලික අමුද්‍රව්‍ය පාවිච්චි කරල කැමති ඕනෑම ආහාරයක් සංස්ලේෂණය කරන ආකාරය හොයා ගත්ත. විද්‍යා ඉතිහාසයේ අපි ලබපු විශාලතම සහ සමහර විට ඉතා වැදගත්ම ජයග්‍රහණය තමයි ඒක. නමුත් ඒ ගැන අපි ඕනෑවට වඩා ආඩම්බර විය යුතු නැහැ. මොකද කියනවනම් ශාක රාජධානිය ඒ අතින් ඉන්නෙ අපට වඩා අවුරුදු බිලියනයක්වත් ඉදිරියෙන් නිසා.

හිතාගතහැකි ඕනෑම ආහාරයක් සංස්ලේෂණය කරන්න රසායනඥයන්ට ඒ හරහා පුළුවන් උනා. ඊට සරිලන ආහාරයක් ස්වභාවිකව තිබුණා හෝ නොතිබුණා කියල වෙනසක් තිබ්බෙ නැහැ. මේ ක්‍රියාවලියෙදි අත්වැරදීම් පමණක් නෙවෙයි මහා ව්‍යසනයන් පවා සිදුවුනායි කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ? කර්මාන්ත ආදිපත්‍යයන් ඇතිවෙලා නැතිවෙලා ගියා. කෘෂිකර්මාන්තයෙන් සහ සත්ත්ව පාලනයෙන් අද භාවිතාවන මහාපරිමාණ ස්වයංක්‍රීය පිරිසැකසුම් යන්ත්‍ර සහ බහුවර්තක වෙත කෙරුණු පරිවර්තනය බොහෝවිට වේදනාකාරී උනා. නමුත් එය සිදුකල යුතුව තිබුණා. අපිට ඒ ගැන දැන් සතුටු වෙන්න පුළුවන්. අපි හාමත් වීමේ උවදුර සදහටම නැතිකර දමල තියෙනව වගේම වෙන මොනම කාලයකවත් නොතිබ්බ තරමේ ආහාර විවිධත්වයකින් සමෘද්ධිමත්ව සිටිනව.

සදාචාරාත්මකව අපි ලබාගෙන තියෙන දියුණුවත් ඒ වගේමයි. අපි තවදුරටත් පණ තියෙන සතුන්ව මරණයට කැප කරන්නේ නැහැ. මස් මඩුව, සත්ත්ව ඝාතකාගාරය වැනි පිළිකුල දනවන ආයතන පොළොව මතින් තුරන් වෙලා ගිහින් තියෙනව. රළු සහ සාහසික අය උනා උනත්, අපේ මුතුන්මිත්තො මේ තරම් අශිෂ්ඨ දෙයක් සිද්ධවෙන්න ඉඩ දීල ඇස් කන් පියාගෙන හිටියයි කියන කාරණාව අපිට විශ්වාස කරන්නත් බැරි තරම්.

ඒ උනත් අතීතයත් සමඟ තියෙන සම්බන්ධය අපිට සහමුලින්ම නැති කරන්න බැහැ. මම මේ වෙත්දිත් කියල තියෙන විදිහට අපි මාංශ භක්ෂකයො. අවුරුදු මිලියන ගණනක් තිස්සේ ඇතිකර ගත්ත රුචිකත්වයන් අපිට උරුම වෙලා තියෙනව. අපි කැමති උනත් නැතත් අවුරුදු ගණනාවකට කලින් අපේ මීමුත්තන් ඒ අයට ලබා ගන්න පුළුවන් උන වෙලාවල් වලදි ගවයන්ගේ, බැටළුවන්ගේ සහ ඌරන්ගේ මස් රසවිඳල තියෙනව. ඒ වගේම අපි අදටත් ඒ දේවල් රසවිඳිනව...

අපොයි, අපොයි... එක්කෝ දැන් ඉඳල සෙනෙට් සභික අර්වින් එළියෙන් හිටියනම් වඩා හොඳයි. මට මේ කාරණාව එකපාරම නොකිය ඉන්නයි තිබුණෙ. ඒත් ඇත්ත වශයෙන්ම මම අදහස් කලේ අපි දැන් ආහාරයට ගන්නා සංස්ලේෂණය කරන ලද ආහාර වලින් වැඩි හරියකට තියෙන්නෙත් පැරණි ස්වභාවික ආහාරවල තිබ්බ සංයෝගයන්ම බව කියන්නයි. ඒවගෙන් සමහරක් ස්වභාවික ආහාරවල කොතරම් නිවැරදි පිටපත්ද කියනවනම් මොනම ආකාරයක රසායනික හෝ වෙනත් ආකාරයක පරීක්ෂණයකින් වෙන් කරල හඳුනාගන්න බැහැ. මේක න්‍යායාත්මකයි වගේම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. නිෂ්පාදකයො වශයෙන් අපි කළේ ගොඩක්ම ජනප්‍රිය ස්වභාවික ආහාර වර්ග අපේ ආදර්ශ විදිහට අරගෙන ඒවායේ රසයන් සහ ස්වභාවයන් ප්‍රතිනිෂ්පාදනය කරන එකයි.

ඒ වගේම කාට කාටත් ඇත්තම කාරණා මතක් නොකරන්න සහ ආහාරවල ව්‍යවච්ඡේද විද්‍යාත්මක හෝ සත්ත්ව විද්‍යාත්මක ප්‍රභවය ඇඟවෙන එක වලක්වන්න අපි ඒවට අළුත් නම් ලබා දුන්න. ඔබ අවන්හලකට ගියාම මෙනු පතේ ඔබට වැඩි‍යෙන්ම දකින්න ලැබෙන්නෙ විසි එක්වෙනි සියවසේ මුල් කාලයෙන් පස්සෙ හදාගත්ත වචන. එහෙමත් නැත්නම් මුල් ප්‍රංශ නම් උපයෝගී කරගෙන හදාගත්ත වචන. අද කාලෙ ඒව ඇත්තටම මොනවද කියල අඳුරගන්න පුළුවන් ටික දෙනෙකුට විතරයි.

ඔබලාට ඔබලාගේ දරාගැනීමේ සීමාව කොච්චරද කියල බලාගන්න ඕනි නම් කරල බලන්න පුළුවන් සිත්ගන්නාසුළු වගේම බොහොම ජුගුප්සාජනක පරීක්ෂණයක් තියෙනව. ජනප්‍රිය අවන්හල්වල වගේම ධවල මන්දිර භෝජන සංග්‍රහ වල අවුරුදු පන්සියයක් තරම් පැරණි මෙනු පත් බොහෝ ප්‍රමාණයක් සම්මන්ත්‍රණ සභා පුස්තකාලයේ වර්ගීකෘත කොටසේ තියෙනව. ඒවගෙ සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නෙ ඒව කියවන්න අපහසු කරන තරමේ අශිෂ්ට, අප්‍රසන්න ස්වභාවයක්. හරියට කාය විච්ඡේදන කාමරයක් ගැන කතා කරනව වගේ. අපි සහ දැනට පරම්පරා කීපයකට පෙර සිටි අපේ මුතුන්මිත්තො අතර තියෙන වෙනස මේ තරම් පැහැදිලිව අනාවරණය කරන වෙන මොනම දෙයක් ගැනවත් මට නම් හිතාගන්න බැහැ...

ඔව් සභාපති තුමනි. මම කාරණාවට එනව. කොපමණ අප්‍රසන්න උනත් මේ හැම දේකම මං කියන්න යන කාරණාවට ලොකු සම්බන්ධයක් තියෙනව. මම මගේ තරඟකරු වන ට්‍රයිප්ලැනටරි ෆූඩ් කෝපරේෂන් ආයතනයට විරුද්ධව ගෙනෙන්න බලාපොරොත්තු වන චෝදනාව ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරනව පමණයි. එහෙම නැතිව ඔබලාගේ ආහාර රුචිය නැති කරන්න හදනව එහෙම නෙවෙයි. මේ පසුබිම ගැන අවබෝධයක් නොතිබුණොත් ඇම්බ්‍රෝසියා ප්ලස් වෙළඳපොලට පැමිණීමත් සමග මගේ සමාගමට විඳින්න සිද්දඋන පාඩුව නිසා මම අභූත චෝදනා එල්ල කරනව කියල ඔබලාට හිතෙන්න පුළුවනි.

මහත්වරුනි, හැම සතියක් ගානෙම අළුත් ආහාර වර්ග කලඑළි බහිනව. ඒව හැම එකක් ගැනම මතක තියාගන්න අමාරුයි. කාන්තාවන්ගෙ විලාසිතා වගේ ඒවත් යනව එනව. අපි නිතර පරිභෝජනය කරන ආහාර ගොඩට එකතු වෙන්නෙ එයින් දාහෙන් එකක් විතරයි. ඒ වගේම යම්කිසි ආහාර වර්ගයක් එක රැයින් මහජනයා අතර ජනප්‍රිය වෙන්නෙ බොහොමත්ම කලාතුරකින්. එහෙම බැලුවම ඇම්බ්‍රෝසියා ප්ලස් ආහාර පෙල කියන්නෙ ආහාර නිෂ්පාදන ඉතිහාසයේ ලබපු විශාලම ජයග්‍රහණය බව මං අවංකවම පිළිගන්නව. ඇතිවෙලා තියෙන තත්වය ගැන ඔබලා හැම දෙනාම දන්නවනෙ. අනෙත් හැම දේම වෙළඳපොලින් අතුගෑවිලා ගිය ගානයි.

විය යුතු ලෙසම මේ අභියෝගය භාරගන්න අපිට සිද්ධඋනා. සූර්යග්‍රහ මණ්ඩලයේ ඉන්න අනෙත් ජීවරසායනඥයො තරම්ම දක්ෂ ජීවරසායනඥයො පිරිසක් මගේ සමාගමේත් ඉන්නව. ඒ අය ඉක්මනින්ම ඇම්බ්‍රෝසියා ප්ලස් පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගත්ත.

මිනිස් වර්ගයා මෙතෙක් ආහාරයට ගන්නා ලද ස්වභාවික වගේම කෘත්‍රිම හැම ආහාරයක් පිළිබඳවම දත්ත අඩංගුඋන ටේප් පටි අපි සතුව තියෙනවයි කියල කීමෙන් මම ව්‍යාපාරික රහස් කිසිවක් පිටතට ලබා දුන්න වෙන්නෙ නැහැ. බදින ලද දැල්ලන්, මී පැණියේ දමාපු පතංගයන්, මොණර දිව, වෙනූසියානු බහුපාදිකයන් වගේ ඔබලා කිසිම දිනෙක අහලවත් නැති අසාමාන්‍ය ආහාර වර්ගයන් දක්වා දිවෙන ආහාරයන්ගේ රසයන් සහ ස්වභාවයන් පිළිබඳ විස්තර අඩංගු අති විශාල පුස්තකාලයක් අප සතුව තියෙනව. මේ ව්‍යාපාරයේ ඉන්න හැම සමාගමකටම වගේ අපේ සමාගමටත් තියෙන මූලිකම වත්කම තමයි මේ පුස්තකාලය. එයින් අයිතමයන් තෝරාගෙන සිතාගත හැකි ඕනෑම ආකාරයකට කළවම් කරන්න අපිට පුළුවන්. ඒ වගේම අපේ තරඟකරුවන් වෙළඳපොලට නිකුත් කරන නිෂ්පාදන වැඩි කරදරයක් නැතිව පිටපත් කරන්නත් සාමාන්‍යෙයන් අපට පුළුවන්.

නමුත් ටික කාලයන් යනකම්ම ඇම්බ්‍රෝසියා ප්ලස් කියන්නෙ මොකක්ද කියල හරියටම තේරුම් ගන්න අපිට බැරි උනා. එහි ප්‍රෝටීන් සහ මේද අනුඛණ්ඩනයට අනුව වැඩි පටලැවිල්ලකින් තොරව එය කෙලින්ම මස් වර්ගයක් ලෙස වර්ගීකරණය කරන්න පුළුවන් උනත් හරියටම ඒ කොයි මස් වර්ගයද කියල නිර්ණය කරගන්න අපට බැරි උනා. මේ මගේ රසායනඥයො අසමත්උන පළවෙනි වතාව. ඇම්බ්‍රෝසියා ප්ලස් වලට තියෙන සුවිශේෂී ආකර්ෂණයට හේතුවෙන්නෙ එහි තියෙන මොන සංඝටකයද කියල පහදන්න එයින් එක්කෙනෙකුටවත් බැරි උනා. අපි හැමෝම දන්නා පරිදි ඒක අනෙක් හැම ආහාරයක්ම සංසන්දනාත්මකව නීරස කරල දාල. ඇත්තම කියනවනම් ඒක එහෙම වෙන්න ඕනි... මම එහෙම කියන්න හේතුව තව ටිකකින් ඔබලාට පැහැදිලි වේවි.

සභාපති තුමනි, කෙටියෙන්ම කියනවානම්, තරමක් අකමැත්තකින් උනත් ට්‍රයි ප්ලැනටරි ෆූඩ්ස් ආයතනයේ සභාපතිතුමා ඔබ ඉදිරියේ පෙනී සිටීවි. මට ඒ බව විශ්වාසයි. ඇම්බ්‍රෝසියා ප්ලස් සංස්ලේෂණය කරල තියෙන්නෙ වාතය, ජලය, හුණුගල්, ගෙන්දගම්, පොස්ෆරස් සහ අනෙකුත් දේවල් වලින් කියල ඔහු ඔබට කියාවි. ඒ හැමදේම සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒත් මේ කතාවෙ තියෙන අඩුවෙන්ම වැදගත් කොටස තමයි ඒ. මොකද කියනවනම් අපි ඔහුගේ රහස සොයාගෙන තියෙන නිසා. රහසිගත අනෙකුත් දේවලින් වැඩි හරියක් වගේම ඒකත් දැනගත්තට පස්සෙ බොහොම සරළ කාරණාවක්.

මම මගේ තරඟකරුට ඇත්ත වශයෙන්ම සුභ පතන්න ඕනි. දැන් පෙනෙන විදිහට මනුෂ්‍ය වර්ගයාට ගැලපෙනම ආහාර වර්ගය සීමා රහිත ප්‍රමාණයන්ගෙන් ලබාදෙන්න අවසානයේ ඔහු සමත් වෙලා තියෙනව. මේ වෙනතෙක් එයින් ලබාගන්න පුළුවන් උනේ බොහොම ටිකයි. ඒ නිසාම එය රස බලපු අතලොස්සක් දෙනා එහි රසය ගැන බොහොම ඉහලින් වර්ණනා කරල තිබ්බ. එයට සමාන කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් නැති බව ඒ අය දිව්රල කියා හිටිය.

ඔව්, ට්‍රයිප්ලැනටරි හි රසායනඥයො අති විශිෂ්ඨ තාක්ෂණික කර්තව්‍යයක් සිද්ධ කරල තියෙනව. සදාචාරාත්මක සහ දාර්ශණික ගැටළුව විසඳීම දැන් ඔබලාට බාරයි. මම මගේ කතාව පටන් ගනිද්දි ‘මාංශ භක්ෂක‘ කියල පුරාතන වචනයක් පාවිච්චි කළා. දැන් මම ඒ වගේම තවත් වචනයක් ඔබලාට හඳුන්වා දෙන්නම්. පළවෙනි පාර මම ඒක හෙමින් උච්චාරණය කරන්නම්.


මි - නී - ක - න් - නා ...




_______

ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත "The Food of the Gods" කෙටිකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

_______


ප. ලි.

ඇම්බ්‍රෝසියා (Ambrosia)
ග්‍රීක දේව කතා වලට අනුව ඇම්බ්‍රෝසියා කියන්නෙ ග්‍රීක දෙවිවරුන්ගේ ආහාරය. ඒකෙන් අමරණීයත්වය සහ සදාකාලික තාරුණ්‍යය ඇති කරනව කියල කියවෙනව. වෙනත් විදිහට කියනවනම් ඇම්බ්‍රෝසියා කියන්නෙ අමෘතයට.

වෙනූසියානු (Venusian)
“අඟහරු ලොවෙන් පැමිණි“ කියල කියන්න Martian කියල වචනයක් පාවිච්චි කරනව ඔයගොල්ලො අහල ඇති. ඒ වගේ “සිකුරු ලොවෙන් පැමිණි“ කියල කියන්න පාවිච්චි කරන වචනෙ තමයි Venusian.



_____
පින්තූරය
Related Posts Plugin for WordPress, Blogger...