Pages

Saturday 20 October 2012

බොරුවෙන් ගෙවන හිස් ජීවිත




ඔය ඉලෙක්ට්‍රොනික් බඩු තියෙනව නේද? ඒවට මහ නරක පුරුද්දක් තියෙනව. වගකීම් කාලෙ ඉවරවෙනකං පොළොවෙ ගැහුවත් ඔරොත්තු දෙන සයිස් එකෙන් තිබිල වගකීම් කාලෙ ඉවර වෙලා මාසෙ, දෙක යද්දි ලෙඩ දෙන්න ගන්නව. අවුරුද්දක වගකීම් කාලෙ ඉවරකරපු මගේ ලැප්ටොප් එකටත් ඒ ටිකම උනා. යසට වැඩ කර කර තිබ්බ ඒක එක හිමිදිරි පාන්දරක ඔන් කරගන්න බැරුව ගියා. හිස් තිරේක පේළි දෙකකට ලියවිච්ච ‘එරර් මැසේජ්’ එකක් විතරක් පෙන්නල ලැපා නිස්සද්ද උනා...

මට කම්පියුටර් ගැන තියෙන සාමාන්‍ය දැනීමෙන් ඩස්ක්ටොප් එකක් ඔය වගේ තත්වෙකින් ගොඩදාගන්න එක එච්චර අමාරු නෑ. වැඩිම උනොත් ෆෝමැට් පාරක් දුන්න... අළුතෙන් ඕ. එස්. එක (මෙහෙයුම් පද්ධතිය) දැම්ම... වැඩේ ගොඩ! ඒත් ලැප්ටොප් එක්ක තත්වෙ වෙනස්. ඒකත් එක්ක එන ‘රිකවරි පාටිෂන්’ එක නිසා ගොඩ දා ගැනීමේ මෙහෙයුම ටිකක් විතර සංකීර්ණ වෙනව.

ඇරත් මට වැඩිය වැදගත් උනේ ලැප්ටොප් හාඩ් ඩ්‍රයිව් එකේ තිබ්බ ලට්ට ලොට්ට කන්දරාව. ෆිල්ම්... සින්දු... ෆොටෝ... කෝස් මැටීරියල්... උපාධි නිබන්ධනේ... ප්‍රොජෙක්ට්... බාගෙට ලියපු බ්ලොග් පෝස්ට්! මේ වගේ එකී, මෙකී, නොකී දේවල් ගොඩක් ඒකෙ තිබ්බ. ඒ නිසා මකබාස් වැඩ කරන්න යන්නෙ නැතුව ‘වෘත්තීමය’ උදව්වක් ගන්න මං තීරණේ කරා. වැඩි හොඳට!

ඉතිං ආතුර වෙච්ච ලැපාවත් කරපින්නගෙන මං ගියා මං පාවිච්චි කරන වර්ගයේ ලැප්ටොප් වලට අලෙවියෙන් පස්සෙ සේවා සපයන ටිකක් විතර ප්‍රසිද්ධ ආයතනයකට. ආයතනයේ පිළිගැනීමේ කවුන්ටරේ ලඟින්ම ඒගොල්ලො සපයන එක එක සේවාවන් වල ගුණාත්මක භාවය අගය කරල ලැබිච්ච සම්මාන එහෙම ප්‍රදර්ශණේ කරල තියෙනව දැක්කම ඔය එහෙ මෙහෙ අටවල තියෙන ‘පෙට්ටි කඩ’ වගේ රෙපෙයාර් ෂොප් වලින් එකකට නොගිහිං මෙතෙන්ටම ආපු එක ගැන මට අවංකවම සතුටු හිතුන.

 “මේ මැෂින් එක ඔන් වෙන්නෙ නෑ... ඩිස්ක් එරර් එකක් එනව...”

මං මගේ ප්‍රශ්ණෙ විස්තර කරා.

“සර්... මේකෙ වොරන්ටි පීරියඩ් එකනං දැං ඉවර වෙලා තියෙන්නෙ...”

“මට ඕකෙ තියෙන ඩේට ටික ගොඩක් වැදගත්... ඒ ටික රිකවර් කරගන්න පුළුවන් වෙයි නේද...?”

“ඒකනං බලන්න වෙන්නෙ මැෂින් එක චෙක් කරාට පස්සෙ... ඒකට සතියක් විතර යයි... ඩයග්නෝස් රිපෝට් එක අපි සර්ට මේල් කරන්නං... කෝකටත් සර් ලබන අඟහරුවාදට විතර අපිට කෝල් එකක් දීල බලන්න...”

“මේ... මට කියන්න පුළුවන්ද වැඩේට කොච්චර විතර වියදං වෙයිද කියල...”

“අපි ඩයග්නෝස් වලට ෆයිව් හන්ඩ්රඩ් රුපීස් චාජ් කරනව... විතවුට් වැට්... අනික් වියදං ගැනනං මැෂින් එක චෙක් කරල ඉවර වෙනකං කියන්න විදිහක් නෑ...”

“හරි... මං අඟහරුවාද පහුවෙලා කතා කරන්නං...”

කෙනක් අද කාලෙ පරිගණකයකටත් ඒ හරහා අන්තර්ජාලයටත් කොච්චර දුරට බැඳිල (ඇබ්බැහි වෙලා :P) ඉන්නවද කියල තේරුං ගන්නනං ඒ දේවල් නැතුව තනියෙන් සති අන්තයක් ගත කරන්න ඕනි. ඒ වගේ කම්මැලිම කම්මැලිකමේ ගෙවිච්ච ඉරිදාවකට පස්සෙ පටන් ගත්ත ඊලඟ සතියෙ අඟහරුවාද මං මගේ ලැප්ටොප් එකේ තත්වෙ දැනගන්න කෝල් එකක් දුන්න.

“හෙලෝ... මේ... මං මගේ ලැප්ටොප් එක හදන්න ඔයගොල්ලන්ට බාර දුන්නා, ගියසතියේ... ඒක කොහොමද කියල මට දැනගන්න පුළුවන්ද...?”

“ජොබ් නම්බරේ කියන්න සර්...”

“ආඃ... ඔව්... 0... 5... 3... 2... 9...”

“විනාඩියක් ඉන්න සර්.......................................................... හෙලෝ... සර්... ඔයාගෙ ලැප්ටොප් එකේ හාඩ් ඩ්‍රයිව් එකයි හීට් සින්ක් එකයි දෙකම රිප්ලේස් කරන්න ඕනි... අපි කොටේෂන් එකක් සර්ට මේල් කරල ඇති...”

ඉතින් ඩේට රිකවර් කෙරිල්ල ගැන අහල වැඩක් නෑනෙ. අයියෝ අපරාදෙ! මං ඒව කොහාටවත් බැකප් කරල තිබ්බෙවත් නෑ. ලැපේ එච්චර ලොකු ලෙඩක් ඇති කියලවත් මට හිතිල තිබ්බෙ නෑ.

“මං අද උදේ මේල් චෙක් කරද්දිනං එහෙම එකක් ඇවිල්ල තිබ්බෙ නෑ... හරි.... කමන්නෑ මං අද හවසට ඇවිල්ල බලන්නං...” කියල මං ෆෝන් එක තිබ්බ.

අස්සය මැරිච්ච කව්බෝයි වගේ එදා දවසෙ මුල හරිය ගෙවාදාපු මං හවස තිබ්බ අනිත් වැඩ ටික පැත්තකට කරල කෙලින්ම ගියේ ඩේටා කෙසේ වෙතත් ලැපාව ආයෙ වැඩ කරන තැනට ගොඩ ගන්න මොනාද කරන්න ඕනි කියල බලා ගන්න.

මේ පාර කෙලින්ම ටෙක්නීෂියන්ව හම්බවෙන්න මට පුළුවන් උනා.

“ආඃ... ඔව්... ඔයාගෙ මැෂින් එකේ හාඩ් ඩ්‍රයිව් එකයි හීට් සින්ක් එකයි ආයෙ දාන්න වෙනව තමයි...” ජොබ් කාඩ් එක බලල මනුස්සය කිව්ව.

“මේ... ඒකට කීයක් විතර යයිද...?”

“ඇයි අපි කොටේෂන් එකක් එවල නැද්ද...?”

“නෑ... එවල තිබ්බෙ නෑ... ඒකයි මං මේ අද ආවෙ... මට මේ වැඩේ ටිකක් හදිස්සියි... බැරිද නිකං රෆ් එස්ටිමේට් එකක් දෙන්න...”

“ම්ම්ම්... හාඩ් ඩ්‍රයිව් එකට දා හතක් විතර යයි... එතකොට හීට් සින්ක් එක නවයක් විතර වෙයි... කොහොමත් ඔක්කොම එකතුවෙලා එද්දි විසි අටක් විතර යයි... හාෆ් පේමන්ට් එකක් දැන් කරව්වොත් දවස් දෙකකින් විතර වැඩේ කරල දෙන්න පුළුවං...”

වි- වි- විසි අට දාහක්...? මට එහෙම්පිටින්ම ලැප්ටොප් එක ගන්න වියදං උනෙත් ඒ වගේ දෙගුණෙකට ටිකක් වැඩියෙන්!

ඒ වෙලාවෙ ඔළුව අස්සෙ පෙරලි කරන දාහෙ කොළ විසි අටක හිතිවිල්ල අස්සෙන්ම හිතේ කොණක පොඩි අනතුරු ඇඟවීමේ සංඥාවක් පත්තු වෙලා නිවිල ගියා. උඩ ගිහිං තිබ්බ ඇහිබැම පහතට දා ගන්නයි ඇරිල තිබ්බ කට වහගන්නයි මට තවත් තත්පර කීපයක් මිඩංගු කරන්න උනා.

“එතකොට මට පරණ හාඩ් ඩ්‍රයිව් එක ගන්න පුළුවන් නේද...?” ඉවෙන් වගේ ඔළුවට ආපු පළවෙනිම ප්‍රශ්ණෙ මං ඇහැව්ව.

සමහර විට මට එහෙම පේන්න ඇත්තෙ අර උඩින් කියපු විසිඅටදාහෙ හිතිවිල්ල තවම ඔළුව අස්සෙ කැරකැවි-කැවි තිබ්බ නිසා වෙන්න ඇති. ටෙක්නීෂියන් බුවාගෙ මූණ ඒ ප්‍රශ්ණෙ නිසා එක දශමයක් විතර ඇද උනා. දෙවෙනි අනතුරු ඇඟවීමෙ සංඥාවත් ඔළුව අස්සෙ පත්තු වෙලා නිවිල ගියේ ඒ වෙලාවෙ.

මෙතන මොකක් හරි අවුලක් තියෙනව!

“ඔව්... ප්‍රෂ්ණයක් නෑ... පරණ හාඩ් ඩ්‍රයිව් එක දෙන්න පුළුවං... එහෙම නැත්නං ඩයග්නෝස් ෆී එක ගෙවල ඔයාට ලැප්ටොප් එක අරං යන්නත් පුළුවං...” පොර කිව්ව.

“හරි... අපි මෙහෙම කරමු... ඔයගොල්ලො මට කොටේෂන් එක මේල් කරන්න... මං එතකොට ඒක බලල මොනාද කරන්නෙ කියල කියන්නං...”

කොටේෂන් එකක් තියා ඒකක වල්ගයක්වත් ඉන් බොක්ස් එකට ආපු නැති දවස් දෙක තුනක්ම ගෙවිල ගියා. ඒ දවස් ටික මං ගෙව්වෙ දැන් මොකක්ද කරන්නෙ කියන දෙගිඩියාවෙන්.

කොහොම හරි ඔය අල්ල පනල්ලෙ තමයි වෙන වැඩක් කරගන්න හදිස්සියෙන්ම යුනිටියට යන්න උනේ. එතන ලැප්ටොප් ෂොප් එකකින් මං ලැප්ටොප් හාඩ් ඩ්‍රයිව් එකක ගාන නිකමට වගේ අහල බැලුව.

“ලැප්ටොප් හාඩ් ඩ්‍රයිව් එකක් දෙන්නං හත්දාස් පන්සීයකට...”

“අරුං තව පොඩ්ඩෙන් මාව කනව!” මම එහෙම කිව්ව නෙවෙයි මට එහෙම කියඋනා.

“මේ... මේ... ඔයගොල්ලො ලැප්ටොප් රෙපෙයාර් කරනවද...?” දත්මිටි කන ගමන්ම මං ඇහැව්ව.

“ඔව්...”

“මගේ වැඩ කරන්නෙ නැති ලැප්ටොප් එකක් තියෙනව... ඒක පොඩ්ඩක් චෙක් කරල අවුල මොකක්ද කියල බලාගන්න පුළුවං වෙයිද...?”

“පුළුවං... අරං එන්න...”

මං පහුවදාම ගිහිං අර උන්දලගෙ ඩයග්නෝස් ෆී එක ගෙවල ලැප්ටොප් එකත් අරගෙන යුනිටි ගියා.

යුනිටියෙ මං ගිය ලැප්ටොප් ෂොප් එකේ මනුස්සය විනාඩි කීපයක් ඇතුලත මගේ ලැප්ටොප් එක ‘සේෆ් මෝඩ්’ එකෙන් පණගන්වල ගත්ත. මැරුණයි කිව්ව හාඩ් ඩ්‍රයිව් එක ඒ විදිහට මළවුන්ගෙන් නැගිටිනව මං බලාගෙන හිටිය. ඒ වෙලාවෙ මගේ හිතේ ඇතිඋනේ තරහකටත් වඩා ලොකු කළකිරීමක්. හොඳ සේවයක් හම්බවෙයි කියන විශ්වාසයෙන් මං මුලින්ම ගිය තැන අය මාව එහෙමපිටින්ම රවට්ටල...

“මැෂින් එකේ වෙන ලොකු ලෙඩක් නෑ... රිකවරි පාටිෂන් එක ක්‍රෑෂ් වෙලා විතරයි... හෙට හවස එන්න... මං හදල තියන්නං...”

“එතකොට මගේ ඩේටා ටික බේර ගන්න පුළුවන්ද...?”

“කරල දෙන්නං... ඕ. එස්. එක අළුතින් දාන්නයි ඩේට ටික රිකවර් කරන්නයි දෙකටම දෙදාස් පන්සීයක් දෙන්නකො...”


___

අපි කවුරුවත් ලෝකෙ ජීවත් වෙන්න ඕනිකරන හැමදේම දන්නෙ නෑ. ඒක නිසා එදිනෙදා ජීවිතේදි අනිත් අයගෙ උදව් වගේම උපදෙසුත් අපිට අනිවාර්යයෙන්ම ඕනි වෙනව.

ලෙඩක් දුකක් උනාම අපි දොස්තර කෙනෙක් ගාවට යන්නෙ; ඉගෙන ගන්න ඉස්කෝලෙකට හරි වෙනත් අධ්‍යාපන ආයතනයකට යන්නෙ; එහෙමත් නැත්නං ණයක් ගන්න ඕනි උනාම බැංකුවකට යන්නෙ ඒ තැන් වල ඉන්න අය අපිට උදව් වෙයි කියන විශ්වාසයෙන්. ඒ ගොල්ලො වෘත්තීය ආචාරධර්ම වල හැටියට අපිට සාධාරණ සේවාවක් ලබා දේවි කියල අපි බලාපොරොත්තු වෙනව. ඒත් ඒ හැමදේටම පයිං ගහල ඒ අය තමන් ගාවට එන සේවාලාභීන්ව රවට්ටනවනං එතකොට අපි මොකද කරන්නෙ...?


_____
පින්තූරය

Related Posts Plugin for WordPress, Blogger...