Pages

Sunday 27 May 2012

පිල්ම් බලන කොණ්ඩ කැවුම



අපි දැං හරි හරියට අපේ වැඩ වලට පරිගණක පාවිච්චි කරාට දැනට අවුරුදු දහයකට පහළොවකට කලින් ඒව එක්තරා විදිහක සුඛෝපභෝගී භාණ්ඩ. කොම්පියුටර තිබ්බෙ අතලොස්සක් දෙනා අත. ඒවගෙං හරියට වැඩක් ගන්න දැනගෙන හිටියෙ ඊටත් වඩා අඩු පිරිසක්.

වැඩේ මේකයි... ඒ කාලෙ පරිගණක තාක්ෂණේ කියන්නෙ අපිට සම්පූර්ණයෙන්ම අළුත් දෙයක්.

මට මුලින්ම කොම්පියුටර් ගැන දැනගන්න හම්බ උනේ මං අට වසරෙ ඉන්න කාලෙ විතර. ඒ දවස් වල ඉස්ඉස්සෙල්ලම කොම්පියුටර් ක්ලාස් ගිය යාළුවො ඩොස් (DOS) ගැන කතා කරන කොට කට ඇරගෙන අහං හිටිය හැටි තවම මතකයි. ඔය කාලෙ ඉස්කෝලෙ කොම්පියුටර් ලැබ් එකේ තිබ්බ කොම්පියුටර් වලට වැඩි දෙනෙක්ට අතක් තියන්න ඉඩක් ලැබුනෙ නෑ. ඒව වෙන්වෙලා තිබ්බෙ ඒවත් එක්ක වැඩ කරල පුරුද්ද තිබ්බ ‘සුවිශේෂී’ අතලොස්සකට විතරයි.

මට කොම්පියුටර් ලැබ් එකේ කොම්පියුටර් එක්ක වැඩ කරන්න අවස්තාවක් හම්බ උනේ ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ. එකත් තව එක්කෙනෙක්ට ටයිප් කරන්න නම් ලැයිස්තු කියවන්න. එතකොට ටයිපිං කරන හැටි ගැන මෙලෝ දෙයක් මං දන්නෙ නෑ. කොම්පියුටරේ පිටට පේන්න තියෙන කෑලි බෑලි ටික ගැනවත් හරියට දැනුමක් නෑ. කොටින්ම කිව්වොත් ඔය මම කොම්පියුටර් මවුස් එකට “මවුසර්... මවුසර්...” කිය කිය හිටපු කාලෙ. ඉතිං ඒ වෙද්දි මගේ ‘පරිගණක සාක්ෂරතාවය’ කොච්චරද කියල හිතාගත්තැහැකිනෙ?

සාමාන්‍ය පෙළ විභාගෙ ලියල ගෙදර ඉන්න කාලෙ තමයි කොම්පියුටර් ක්ලාස් එකකට ගිහිං ඔය යන්තර ගැන හරියට ඉගෙනගන්න පටන් ගත්තෙ. පරිගණක විද්‍යාව පරතෙරට හදාරන්න ඕනි කියල ගැම්මක් හිතට ආවෙත් එක දවසක්වත් මගඅරින්නෙ නැතුව සහභාගී වෙච්ච ඒ ක්ලාස් එක නිසා.

ගෙදරට කංකඳිරි ගාල ඉස් ඉස්සෙල්ලම ගත්ත කොම්පියුටරේට මුල් කාලෙ මල් තියල නොවැඳපු ටික විතරයි.  කොහොම උනත් ඒක ලෙඩ දෙද්දි කෑල්ලෙන් කෑල්ල ගලවල බලල හදාගන්න පුරුදු උනාට පස්සෙ පරිගණකයක් කියන්නෙත් තවත් එක යන්තරයක් විතරයි කියල තේරුං ගත්ත. ඒක තියෙන්නෙ වන්දනාමාන කරන්න නෙ‍වෙයි, තමන්ගෙ වැඩ කරගන්න යොදා ගන්න.

පස්සෙ කාලෙක ක්‍රමලේඛණය (Programming) ඉගෙන ගත්තට පස්සෙ තමයි කෙනෙක්ගෙ ජීවිතේට පරිගණකය ගැලපෙන්නෙ කොතනටද කියල හොයාගෙන ඒක එතනින් තියාගන්න පුළුවං උනේ.

ලංකාවෙ පරිගණක සාක්ෂරතාව දැන් සාමාන්‍යයෙන් 30% ක් විතර. එහෙම පරිගණක දැනුම තියෙන අයගෙනුත් වැඩි හරියක් දෙනා තරුණ පරම්පරාවෙ කට්ටිය. දැන් පරම්පරාවට කලින් පරම්පරාවෙ වැඩි දෙනා අදටත් තොරතුරු තාක්ෂණය ගැන ඉන්නෙ අඳුරෙ.  ඒ නිසාමද කොහෙද තොරතුරු තාක්ෂණයට අදාල මාතෘකා ඇදෙන වෙලාවලට ඒ අයගෙන් නියම කතා කියවෙනව.

අපේ කන්තෝරුවෙ මහත්තයෙක් අළුතින් ගෙදර පාවිච්චියට කොම්පියුටරයක් අරගෙන. ඉතින් ඕකෙ වැඩ කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න කියල වදේ බැරි නිසා දවසක් අපි දෙතුන්දෙනෙක් එකතුවෙලා ඔය අරව මේව පොඩ්ඩක් කියල දෙන්න ලෑස්ති උනා. කොහොම හරි අන්තිමට බලාගෙන ගියාම උන්නැහේට ඕනි වෙලා තිබ්බෙ කොම්පියුටරෙන් ෆිල්ම් බලන්නෙ කොහොමද කියල අහ ගන්න.

ඉතින් සී. ඩී. වල ඩී. වී. ඩී. වල තියෙන ෆිල්ම් බලන්නෙ කොහොමද කියල ඉස්සෙල්ලම කියල දුන්න. ඊට පස්සෙ හාඩ් ඩ්‍රයිව් එකේ තියෙන වීඩියෝ ෆයිල්ස් ඩබල් ක්ලික් කරල ඕපන් කරන්නෙ කොහොමද කියල කියල දුන්න. ඊටත් පස්සෙ මීඩියා ප්ලේයරේ මූලික වැඩ කිඩ ටිකත් කියල දුන්නයි කියමුකො. දැං ප්‍රශ්ණෝත්තර වාරෙ...

“එතකොට අර කොණ්ඩ කැවුමෙං චිත්‍රපටි බලන්නෙත් ඔය විදිහටද?”

“මොකෙං...?”

“අර කොණ්ඩ කැවුමෙං... මගේ කොම්පියුටරේ තියෙන්නෙ ඒකනෙ... කොම්පියුටරේ ගත්ත තැන මනුස්සය කිව්වෙ ඒක තියෙන්නෙ පිල්ම් බලන්න කියල... මට පිල්ම් එකක් දාලත් පෙන්නුව...”

“මොන කොණ්ඩ කැවුමක්ද?”

“අයියෝ! අර තැඹිලි පාට කොණ්ඩ කැවුම...”

ඔන්න එතකොට තමයි කතාව තේරුණේ. මේ තමයි ඒ මහත්තය කියන කොණ්ඩ කැවුම.




තවත් දවසක් අපේ අංශයට කිට්ටුව පාත අංශයක වැඩ කරපු රත්නෙ අයිය ආව උදව්වක ඉල්ල ගන්න.

“මල්ලි වැඩක්ද?”

“නෑ... ලොකු වැඩක් නෑ අයියා... කියන්ඩ...”

“පොඩි උදව්වක් ඕනි මල්ලි... මං අලුතෙං ඩොංගලයක් ගත්ත... ඊ මේල් එකක් හදාගන්න හැටි පොඩ්ඩක් කියල දෙන්න පුළුවංද?”

මෙහෙම වැ ඩ කරන විදිහ කිය කිය ඉන්නවට වැඩිය කරන්න තියෙන හොඳම දේ වැඩේ කරල දෙන එකයි කියල මං අත්දැකීමෙන්ම දන්නව. නැත්තං වෙන්නෙ අර කාටද සුදු පාට මොන වගේද කියල තේරුං කරන්න ගියා වගේ වැඩක්.

“ඉතිං දැං  ඊ මේල් එකක් හදල දාමු...” මං කිව්ව.

“නෑ නෑ මල්ලි මං අද ඩොංගලේ ගෙනාවෙ නෑ. ඔයා මට ඊ මේල් එකක් හදන විදහ කියල දෙන්නකො... මං ගෙදර ගිහිං එකක් හදා ගන්නං...”

මේ වගේ වෙලාවට වාද කරල වැඩක් නෑ. (ඒකත් ටික කාලෙකට කලිං ඉගෙනගත්ත පාඩමක්.) ඉතිං රත්නෙ අයියට තේරුං ගන්න පුළුවං වෙයි කියල මට හිතිච්ච විදිහට ඊ මේල් එකවුන්ට් එකක් හදා ගන්නෙ කොහොමද කියල පියවරෙන් පියවර කියල දුන්න.

“හරි මල්ලි...” ඔක්කොම සාවදානව අහං ඉඳල අන්තිමේදි රත්නෙ අයිය කිව්ව.

“එතකොට දැං මං ඩොංගලේ ගහල ඉන්ටනෙට් යනව... ඊට පස්සෙ අර ‘ලේන බෝලෙ වටේ දුවන එක’ ආවට පස්සෙ තමයි ජී මේල් වලට යන්න ඕනි නේ?”

“මො... මොන ලේනද? ඔයා දැං මං කියල දීපු විදිහට කරන්ඩකො... ඉස්සෙල්ලම මේක දෙපාරක් ක්ලික් කරල ඊට පස්සෙ මෙතන මේක ටයිප් කරල ගිහිං මං කියල දීපු විදිහට ඊ මේල් එක හදා ගන්ඩ... හරි ලේසියි.”

“ඒ උනාට මල්ලි ගෙදර කොම්පියුටරේ ඉස්සෙල්ලම එන්නෙ ලේන බෝලෙ වටේ දුවන එකනෙ... එතකොට මොකද කරන්නෙ?”

මෙච්චර හොඳට කියල දුන්නට පස්සෙත් මෙයා මේ අල්ලගෙන දඟලන ලේන මොකාද? සමහර විට ‘ස්ටාට් අප්’ එකට දාපු මොකක් හරි ‘ඇප්’ එකක් වෙන්න ඇති. ලේනෙක් ‘අයිකන්’ එක විදිහට පාවිච්චි වෙන ‘ඇප්ලිකේෂන්’ එක මොකක්ද කියල මතක් කරාට එකපාරටම ඒ වගේ එකක් ගැන මතකෙට එන්නෙත් නෑ. කොහොම හරි ස්ටාටරේ ගැහි ගැහි තිබිල ටියුබ් ලයිට් එක යාන්තමට පත්තු වෙන්න ටික වෙලාවක් ගියා.

මේ යෝදය කියල තියෙන්නෙ මේ ‘බෝලෙ වටේ දුවන ලේන’ ගැනනෙ.





_____
පින්තූර
http://cloud9media.files.wordpress.com/2010/01/kids-literacy.jpg
http://images1.videolan.org/images/largeVLC.png
http://i.zdnet.com/blogs/firefox_.jpg

Saturday 19 May 2012

වෙන බස් එකක යමු



ජීවිතේ මුල්ම කාලෙ ගැන හොඳ මතකයක් කාටවත් තියෙන්න පුළුවන්ද? මං ගැන කල්පනා කරල බලනකොට මටනං මගේ ජීවිතේ මුල්ම අවුරුදු දෙක තුන ගැන තියෙන්නෙ හිස් ඉඩක විසිරිච්ච මතක කීපයක් විතරයි. ඒ අතරෙ මට කාලෙත් එක්ක ගලප ගන්න පුළුවන් මුල්ම මතකෙ තියෙන්නෙ මට අවුරුදු හතරෙ කාලෙ.

මොකක්දෝ පොතක “මට අවුරුදු 4 යි” කියල වෙව්ලන පොල්ගෙඩි අකුරෙන් ලියල අම්මටයි අප්පච්චිටයි වීරය වගේ පෙන්නනව මතකයි‍.

මතක දිගේ එතනින් ආපස්සට යද්දි මට මතක් කර ගන්ඩ පුළුවං මතකයන් තියෙන්නෙ ටිකයි. මේ දේ උනේ මීට කලින්, මේ දේ උනේ මීට පස්සෙ කියල තේරුං බේරුං කරගන්න බැරි විදිහේ එක ගොඩක තමයි ඒවත් තියෙන්නෙ. ඒ මතක වලිනුත් වැඩි හරිය වේදනාවයි බයයි මුල් කරගත්ත ඒව. එහෙම වෙන්නෙ සංතෝෂයට වඩා වේදනාවට අපි වැඩිය සංවේදී නිසාද?

...

ඉස්පිරිතාලෙදි කවුදෝ ගෑණු කෙනෙක් මේස හැන්දකින් එකක් පුරෝල දියකරපු කහපාට බේතක් කට මිරිකල පොවනව...

...

රොටී කෑල්ලකුත් අතේ තියං මම ආච්චිලාගෙ ගෙදර තරප්පුව මුදුනෙ ඉඳං “ආච්චීඊඊඊ.... රොටියෙ තිබිල පොල් කෙන්දක් ගිලුණාආආආ... බඩ පලන්ඩ වෙයිදෝඕඕඕ...” කිය කිය අඬනව...

...

ජනේලෙ කම්බි කූරු දෙකක් අතරෙ ඔළුව හිරකරගෙ ඉන්නව...


වැඩි හරියක් ඔය වගේ මතක තමයි...

තල් සූකිරි කකා සීයගෙ ඔඩොක්කුවට වෙලා කතන්දර අහනව වගේ එහෙම නොවෙන මතකත් නැතුවම නෙමෙයි. හැබැයි ඒ වෙලාවල්වල සීය කියල දුන්නු කතා එකක්වත් දැං මතක නෑ. ඊට වැඩිය හොඳට මට මතක තියෙන්නෙ සීය බුලත් කෙල ගහන පඩික්කම වටේ කැරකි කැරකි ඉන්න රතු පාට කෝඳුරුවොංව.

සීනි බෝතලේ හොරා කාපු එක එහෙමනං මතකම නෑ. අපේ මාම, මම හොර පූස වගේ සීනි බෝතලේට වග කියනව පොටෝ එකකුත් අරං තියෙනව. (ඒ පොටෝ එක පෙන්නල දැනටත් අපේ කට්ටිය මට විහිළු කරනව.) ඒත් සීනි බෝතලේ හොරෙං කෑව හැටි මට මතකම නෑ.

මේකත් කොයි කාලෙ උනාද කියල කියන්න තේරුමක් නැති හිතෙන් මැකිල නොගිය මතකයක්. ඒ වෙද්දි මම ගොඩක්ම පොඩියි කියල විතරක්නං කියතහැකි. වැඩිම උනොත් අවුරුදු හතරක්... මරණ බය කියන්නෙ මොකක්ද කියල දැනිච්ච පළවෙනි දවස තමයි ඒක. එහෙම දවසක් අමතක වෙන්නෙ කාටද?

මමයි, මල්ලියි අපේ පුංචිත් එක්ක පොඩි ආච්චිලගෙ ගෙදර ගිහිං එන ගමං... මම බස් සීට් එකේ ජනේලෙ පැත්තෙ... පුංචි, මල්ලිවත් තියාගෙන මගේ වම් පැත්තෙන්... බස් එක තවම ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙලා නෑ... ඩ්‍රයිවර් මාමයි කොන්දොස්තර මාමයි තවම බස් එකට නැගල නෑ...

මට හොඳටම කම්මැලි හිතිලයි හිටියෙ. ඉතිං වටේ පිටේ ඉන්න මිනිස්සු දිහා බල බල එහාටයි මෙහාටයි කැරකි කැරකි ඉන්නකොට තමයි මං ඒ මහ බයානක දර්ශණේ දැක්කෙ.

තඩිම තඩි කළු පාට ඇඳුම් බෑග් එකක් අරගත්ත මනුස්සයෙක් බස් එකට නැගල ඒ බෑග් එක සීට් එකක් උඩ තියල හිමීට බැහැල ගියා. ඒ ඇඳුම් බෑක්කෙ දැක්ක ගමං මට එකපාරටම මතක් උනේ ඒ දවස් ටිකේම ටීවි එකේ ගිය දැන්වීමක්.

“...ඔබ ඔබේ අවට පරිසරය ගැන සුපරීක්ෂාකාරීද?...” කියල තමයි ඒක පටන් ගන්නෙ... ජැන්ඩි පහට ඇඳගත්තු, අවු කණ්ණාඩි දාපු ටිකක් අමුතු විදිහට වටපිට බලන මනුස්සයෙක් බස් හෝල්ට් එකකට වෙලා ඉන්නව... මනුස්සය ගාව තියෙනව දිලිසෙන කළුපාට ඇඳුම් බෑග් එකක්... ඔහොම ටික වෙලාවක් ඉන්න මනුස්සය බස් එකක් ආපු ගමං අර බෑග් එක හෝල්ට් එකේ තියෙන්න ඇරල හීං සීරුවෙ බස් එකට ගොඩ වෙලා යන්න යනව... වෙන කවුදෝ ඇවිල්ල අර අයිතිකාරයෙක් නැති බෑග් එක අල්ලපු ගමං...

“ඩෝං!”

දැං ටිකකට ඉස්සෙල්ල අර එහා පැත්තෙ සීට් එකේ තියල ගිහිං තියෙන්නෙත් ඒ විදිහෙම කළුපාට බෑග් එකක්. ඒක දකිද්දි මගේ ඇඟ කවදාවත් නොවිච්ච විදිහකට හිරි වැටිල, තොල කට වේලිල යනව. කොටින්ම කිව්වොත් සරුවාංගෙම බයේ ගැහෙනව. මට ඕනි බස් එකෙං බැහැල පුළුවං තරං ඈතට දුවන්න. ඒත් මාව ජනේලෙ පැත්තට දාල පුංචි ඉඳගෙන ඉන්න නිසා මට සීට් එකෙං එළියට එන්න බැහැ.

“පොඩ්ඩක් දඟ කරන්නැතුව ඉන්ඩකො පුතේ... තව ටිකකිං බස් එක යයි...” පුංචි හිතන්නෙ මං මෙතන දඟ කරනව කියල...

“අනේ පුංචී... අපි බස් එකෙං බහිමුකෝ....”

“ඇයි ඔයාට ලැට් එකට යන්නෝනෙද?”

“නෑ... නෑ... අපි බැහැල ඊලඟ බස්සෙකේ යමුකො...”

“අර මොකටද?”

“අනේ අපි බහිමුකො පුංචී...”

“පිස්සු නැතුව ඉන්ඩ ළමයො... ඊලඟ බස් එක එද්දි තව ගොඩක් පරක්කු වෙනව... ඒ පාර අඬනවත් එක්ක... මොකද මේ...?”

මං ඇඬුව...

ආයි මට ගෙදර යන්න වෙන්නෑ... අමිමවයි අප්පච්චිවයි දකින්න වෙන්නෑ... ඒ ගොල්ලන්ට මගෙං කෑල්ලක්වත් හම්බවෙන එකක්වත් නෑ... කියල හිතිච්ච නිසා පුළුවං තරං හයියෙං ඇඬුව...

ඩ්‍රයිවර් මාමයි, කොන්දොස්තර මාමයි ඇවිල්ල බස් එකට නැගල පිටත් වෙන්න ලෑස්ති වෙද්දි මගේ ඇඬිල්ල ඩබල් උනා.

“අනේ මංද... මේ එකපාරටම අඬන්න තියා ගත්ත...” පුංචි මාව නලවගන්න හදන ගමං එහා පැත්තෙ සීට් එකක ඉඳං පුදුම වෙලා වගේ මං දිහා බලාගෙන ඉන්න ඇන්ටි කෙනෙක්ට කියනව.

බස් එක ස්ටාට් කරල අද්දන්ඩ ගන්නකොටම කවුදෝ බිම ඉඳං “හෝව්! හෝව්!!” ගෑව. බිම හිටපු කාටදො බස් එකට නැගගන්න ඩ්‍රයිවර් මාම වේගෙ අඩුකරා. පුට් බෝඩ් එකේ එල්ලිල බස් එකට ගොඩවෙච්ච ‘බෝම්බ කාරය’ දාඩිය පෙරාගෙන ඇවිත් එයාගෙ බෑග් එක ඔඩොක්කුවට අරං සීට් එකේ වාඩි උනා.

මං හිටපු ගමං අඬන්න පටංගෙන එකපාරටම ඇඬිල්ල නැවැත්තුවෙ ඇයි කියල කාටවත් හිතාගන්න බැරි වෙන්න ඇති.


_____
පින්තූර

Tuesday 8 May 2012

වෙසක් කාලෙට පස්සෙ...




මේ මං ටික කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු දෙයක්. වෙසක් කාලෙට මේක ලිව්වොත් වැඩිය හොඳයි කියල හිතිච්ච නිසා ටිකක් කල් දදා හිටියෙ. ඇත්තටම මහ ලොකු දෙයක් ගැනත් නෙමෙයි.

මම මෙහෙම ප්‍රශ්ණෙකින් පටන් ගන්නං...

ගෙදරින් බැඳගෙන යන හරි, කඩෙන් සල්ලි දීල ගන්න හරි බත් මුල දිගඅරිද්දි ඒක ඔතල තියෙන පත්තර කොලේ බුද්ධ රූපයක් තිබ්බොත් ඔයගොල්ලො මොනාද කරන්නෙ?

ඉස්සරම මං නං කරේ මුකුත් නොදැක්ක වගේ පත්තර කෑල්ල ගුලි කරල වීසි කරන එක. ඒත් ඒ විදිහ හිතට ලොකු බරක්. මොකද මගේ හිත දන්නව ඒක වැරදියි කියල. පස්සෙ මම වෙන ක්‍රමයක් පුරුදු උනා. ඒ තමයි පත්තර කෑල්ලෙ බුද්ධ රූපය තියෙන කොටස වෙන් කරල අරන් තියෙන එක. ඒ විදිහට එකතු වෙච්චි එක පත්තර කෑලි ගොඩක් ඔපීසියෙ මේස ලාච්චුවක තියෙනව. තවත් පත්තර කෑලි ගොඩක් ෂොපින් බෑග් එකකට දාල බෝඩිං කාමරේ බිත්තියක එල්ලල තියෙනව. ඒත් ඒවට එතනිං එහාට මොනා කරන්නද කියලනං අදහසක් නෑ.

වෙසක් සහ පොසොන් කාල වලට පත්තර වල බුද්ධ රූප වැඩියෙන් තියෙන එක සාමාන්‍යයෙන් අපි දකින දෙයක්. ඒත් මෙතනදි පත්තර පළකරන අය අමතක කරන එක දෙයක් තියෙනව. මොන පත්තරෙත් පරණ උනාම මූණ දෙන්නෙ එකම විදිහෙ ඉරණමකට කියන එක. මිටි බැඳිල එක්කො කොහේ හරි මුල්ලකට වැටෙනව. එහෙමත් නැත්නං කිලෝ ගනං වලට විකිණෙනව. ඉතින් මේ කිලෝ ගානට විකිණෙන පත්තර ගැනෙන්නෙ එක එක දේවල් ඔතන්න. ගොඩක් වෙලාවට කෑම කඩ වලට. එහෙමත් නැත්නං ගෙවල් වල රස්සා වලට යන අයගෙ බත් මුල් ඔතන්න.

ඒ නිසා මේ කාලෙ පහු උනාට පස්සෙ කෑම පාර්සල් එතෙන පත්තර වලින් ගොඩක බුද්ධ රූප තියෙනව. ඒත් වැඩි දෙනෙක් ඒ ගැන තැකීමක් කරන්නෙම නැති ගානයි. වෙන රටවල් වල සමහර අය බුදු හාමුදුරුවන්ට අගෟරව වෙන විදිහට බුද්ධ රූප එක එක තැන් වල ප්‍රදර්ශණය කරනව කියල ඇහුවම කම්පා වෙන අපිට අපේම නොසැලකිල්ල නිසා බුද්ධ රූප වල ඉඳුල් පිහදැවෙන එක පේන්නෙ නැත්තෙ ඇයි කියන එක මටනං ප්‍රශ්ණයක්.


ප. ලි.

දැන් ටික කාලෙක ඉඳල විකුණන්න තියෙන බත් පාර්සල් පත්තර කොල වල ඔතන එක නීතියෙන් තහනං. ඒ ගැන මං සතුටු වෙන එක කාරණාවක් තමයි මේක. මොකද අපි නොදැන හරි, නොදැක්ක වගේ හරි කරන වැරැද්දක් ඒ විදිහට හරි ටිකක් අඩු වෙන නිසා.

_____
පින්තූරය
Related Posts Plugin for WordPress, Blogger...