Pages

Monday 19 September 2011

පොත් ප්‍රදර්ශනේ විත්ති


සාක්කුව හිස්ව ඇත. දවසම ඇවිදීම නිසා කකුල් කෙඩෙත්තුවද සෑදී ඇත. නමුත් සිත තෘප්තිමත්ය. අළුතින්ම මිළදී ගත් පොත් ගොඩකින් මේසයද පිරී ගොස් ඇත.



කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ කියන්නෙ මටනං අවුරුද්දෙ වැදගත් අවස්ථා වලින් එකක්.

සතියෙ වැඩට නොයන එකම දවස වෙච්ච ඉරිදා මං ටිකක් වැඩියෙන් නිදා ගන්න දවස. ඒත් ඉතින් කොළඔ පොත් ප්‍රදර්ශනේට යන්න යොදාගෙන තිබ්බ නිසා ඊයෙ එහෙම නිදාගන්න උනේ නෑ. හිමිදිරි පාන්දර අටට විතර නැගිටලා ලක ලෑස්ති වෙලා ඉස්සරවෙලාම ගියේ කැකුළු බත් කඩේට. එතනිං උදේට කාල, බස් දෙකක ඇවිල්ල BMICH එක ලඟින් බැහැ ගත්ත.

රුපියල් දහයක් දීල ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් ගත්තයි කියමුකො. මෙන්න එතකොට තව පොඩි ටෝකන් එකකුත් දෙනව. අහල බැලින්නං, මේ ටෝකන් එක දීල නොමිලේ ඇපල් බීම එකක රහ බලන්න පුළුවන් කියපි. දන්නවනෙ ඉතිං හො සී ලාංකිකයෙකුට නොමිලේ මොනා හරි දෙනව කිව්වොත් වෙන දේ. මමත් ඉතිං ආපු කාරණාව පැත්තකින් තියල නිකං දෙනව කිව්වොත් වහ කුප්පියක් හරි කටේ හලාගන්න බලාගෙන පොරකන තවත් සී ලාංකිකයො සෙට් එකකට එකතු උනා.

අපරාදෙ කියන්න බෑ, විනාඩි හතලිස් පහක් විතර පොරකාල පොරකාල බීම බෝතලයක් ගත්ත. ඒක බීල පොරකාපු එකේ මහන්සියත් නිවාගෙන, සිතියමක් කාරිය ඉල්ලගෙන පොත් හොයන වැඩේට බැස්ස.

“A” හෝල් එකෙන්ම සෙවිල්ල පටන් ගත්ත. කොහොමත් අකාරාදිය පිළිවෙලට ගියාම ලේසියි. මුකුත් මිස් වෙන්නෙ නෑ. “A” හෝල් එක අස්සෙම හතර පාරක් විතර රවුමට රවුමට ඇවිද්දා. හිතට අල්ලන එක පොතක් නෑ. ස්ටෙනි මේයර් ගෙ “Twilight” කතා මාලාවයි, J. R. R. ටොල්කින් ගෙ “Lord of the Rings” කතා මාලාවයි නං තිබ්බ. ඒත් ඉතිං ඉංග්‍රීසි පොත් ගන්නව කියන්නෙ වෙන පොත් ගන්නවා බොරු.

කොහොමින් කොහොමින් හරි “B” හෝල් එක පැත්තට ආව. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය පැත්තෙ සූ ගාල සෙන. එතනට යන ආසාව අත්හැරල ටිකක් සෙන අඩු පැත්තකට ගියා. මේ පාර මට හොයාගන්න ඕනෙ වෙච්ච පොත් කීපයක් තිබ්බ නිසා ඒ නම් ටික කොළ කෑල්ලක ලියාගෙන තමයි ගියෙ. නැත්තං අච්චර පොත් කන්දරාවක් දැක්කම අනිවා ඕනි මොන පොතද කියල අමතක වෙනව. ඉතිං ඉස්සර වෙලාම ලිස්ට් එකේ පොත් හෙව්වා. විදර්ශනා ප්‍රකාශන එකේ තිබිල හොයපු එක පොතක් හම්බ උනා. පාවුලෝ කොයියෝ ගෙ “The Alchemist” පොතේ සිංහල පරිවර්තනය (සන්තියාගෝ නම් සැරිසරන්නා). තව ටිකක් ඒ පැත්තෙම ඇවිදලා චිංගීස් ආයිත්මාතොව් ගෙ ධීවර ගීතය පොතයි, මාරියෝ වර්ගාස් ලෝසා ගේ නිර්නාමික ඝාතකයා පොතයි ගත්තා.

ආයෙත් ඇවිදිනවා. ඔරීස් පෙලේවායි ගෙ සැබෑ මිනිසෙකුගේ කතාවක් පොත හම්බඋනා. ඒකත් ගත්තා.

ලියාගෙන ගිය ලැයිස්තුවේ පොත් වලින් වැඩි හරියක් හොයාගෙන ඉවර වෙද්දි අම්බානකට බඩගිනියි. මේ වගේ දවසට මං කරන දේ තමයි මදි නොකියන්න වියදං කරල පොත් ගන්නව වගේම මදි නොකියන්න වියදම් කරල කන එක. කවර කතාද කියල හොට බඩ පිරෙන්න කෑව.

හරි! දැං ආයෙත් පොත් හොයන්න ගමනේ යා.

දිවා ආහාරයෙන් පස්සෙ අහුවෙච්ච පළවෙනි පොත දුම්බර ජනකතා. මං ගාව මග දිගට ජන කතා පොත් දෙකම තියෙනවා. ආස හිතෙන පොත් දෙකක්. මේකත් ඒ වගේ වේවි කියල හිතිච්ච නිසා ගත්තා.

ආයෙත් ඉතිං ඉබාගාතෙ යනව වගේ ඇවිදිනව. මට හොම පොත් අහුවෙන්නෙ මෙහෙම ඉබාගාතෙ වගේ යන වෙලාවට තමයි. ඔන්න තියෙනව පොත් රාක්කෙක උඩම තට්ටුවෙ දිලිහි දිලිහී ලස්සන වසිලීස්සා. හොයා ගන්නංම කියල හිතාගෙන හිතපු පොතක්. ඒ පොත ගැන ආසාවක් ඇති කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නෙ බ්ලොග් අවකාශයේ කට්ටියට.

ඊට පස්සෙ ගොඩවැදුනෙ ගුණසේන පොත් මැදුරට. හප්පේ! හැරෙන්න බෑ, සෙන. බොහොම අමාරුවෙන් කට්ටිය අතරින් රිංගගෙන ගිහිං පොතක් තෝර ගත්ත. ඇලන් මාෂල් ගෙ “I Can Jump Puddles” පොතේ සිංහල පරිවර්තනය (මට පුළුවන්). පොතේ පෙරවදන හිතට ඇල්ලුවා. කොහොමද කියල කියවලම බලන්න ඕනි.

ඊට පස්සෙ ඉතින් පොත් ගත්ත ඇති කියල හිතුන නිසා එන්ඩයි ලෑස්ති උනේ. ඒත් ඔය පොඩි පොඩි පොත් කඩවල් ටිකටත් ගොඩවෙලාම ආවොත් හොයි කියල හිතිල ඒ පැත්තටත් ගියා. එයින් එක තැනක තිබිල ලූසි මෝඩ් මොන්ට්ගොමරි ගෙ “Emily Climbs” කතාවෙ පරිවර්තනය හම්බඋනා. ලූසි මෝඩ් මොන්ට්ගොමරි මං කැමතිම ලේඛිකාවක්. ඇය ලියපු "ඈන්" කතා මාලාව මං ආසාවෙන් කියවපු පොත් ටිකක්.

අන්තිමට මං පොත් ලෝඩ් එකකුත් කරපින්නගෙන හවස් වෙද්දි බෝඩිමට සැපත් උනා. පොකට් එක බිංදුවටම හිඳිලා. ඒත් පෙරලි පෙරලි කියවන්න පොත් තියෙනව.

Tuesday 13 September 2011

ගංගාව



ගලාන යයි
නිසංසලේ
ගිරි දුර්ග පසුකල බවට
වගක් වත් නැතිව...
දැන් ලයි,
මහා සාගරයට



______
පින්තූරය
http://gallery.photoreview.com.au

Tuesday 6 September 2011

සරුවපිත්තල



තනතුරු - නම්බු නාම
සහතික - සුදුසුකම්
වටකොටැති මායාව
සි බලන්, මනාකොට

කාලයක් පුරාවට
ගොඩගැසී ගගසන
තට්ටු ගණනක් මාන්නය
කැණ බලන්, ගැඹුරටම

හමුවේවි ජීවිතය,
ඉපදෙන - වයස්ගතවන
ලෙඩවෙන - මියෑදෙන
ජීවිතය!

Sunday 4 September 2011

ඊයේට වඩා ලඟයි අද


මේක මං ඔය එක එක මනස්ගාත කල්පනා කර කර ඉන්න වෙලාවක හිතිච්ච දෙයක්.

මනුස්සයෙක් අවුරුදු සීයක් ජීවත් උනොත්හරියටම දවස් වලින් කීයක් ජීවත්උනා වෙනවද?”

ඕක මහ සද්දන්ත ගානක්යැ? ඇස් දෙක වහගෙන උත්තරේ කියන්නපුළුවංනෙ.

365 x 100 = 36500

දැං ඉතිං අධික අවුරුදු ගැන එහෙම හිතන්න ඕනි නෑ. ඒ ටිකත් එකතු කරොත් උත්තරේ තව පොඩ්ඩක් විතර වැඩි වෙයි.

අවංකවම කියනවනං මම මීට වැඩිය ටිකක් ලොකු උත්තරයක් බලාපොරොත්තු උනා. ජීවිත කාලෙ දිගයි කියල හිතාගෙන හිටපු මට දැනටමත් මං මේ ගොඩෙන් දවස් 9500 කට කිට්ටු වෙන්න ගෙවල දාල ඉවරයි නේද කියලත් කල්පනා උනා. මතකතියා ගන්න දවස් 36500 ම ලැබෙන්නෙ අවුරුදු 100 ක් ජීවත් වෙන කෙ‍නෙක්ට.

අපි දාන සෙල්ලං ඔක්කොම දාන්නෙ කොච්චර පොඩි කාලෙකටදඒඋනාට අපි එකපාරක් නැවතිල මේගැන හිතල බලල තියෙනවදඑක එක විකාර වැඩ වලටඑහෙමත් නැත්නං කම්මැලිකම නිසා අපි කීයක් නං දවස් නාස්ති කරල තියෙනවද? අපි වෙලාව විධියට නාස්ති කරලතියෙන්නෙ අපේම ජීවිතේඅපි ජීවත් වෙන්නෙත් වතුර හැලියට දාල ලිපේ තිබ්බ කකුළුවො ටිකක් වගේම තමයි. හැලිය අස්සෙ උං ටික අඟර-දඟරදදා ඉද්දි උන්ටත් නොදැනීම වතුර ටික රත් වෙනවා.

දවසක් කියන්නෙ “36500” න් “1” ක් විධියට හිතල බලන්නජීවිතේ සංකීර්ණ බව ටිකක් හරි අඩුවෙයි.

Saturday 3 September 2011

ඇරඹුම

මගේ බ්ලොග් පිටුවට හැමෝවම සාදරයෙන් පිළිගන්නවා!

සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න කාලෙක ඉඳන් පොඩි ආසාවක් තිබුණා උනත් ඒ ආසාව පණගහල ආවෙ අහම්බෙන් වගේ සිංහල බ්ලොග් අවකාශයට කඩාපාත් උනාට පස්සෙ කිව්වොත් හරි.

ඉතිං මමත් ඔය හිතේ තියෙන මොනා හරි ටිකක් ලියන්න කියලයි කල්පනාවහැබැයිදැන්මම කියල තියන්නං, මේකත් මගේ අනික් ගොඩක් වැඩ වගේ “සෝඩ-බෝතල්”  වැඩක්ම වෙන්නත් ඉඩතියෙනවා.

ලියලම බලමුකො ඉතින්.
Related Posts Plugin for WordPress, Blogger...