Pages

Tuesday 25 September 2012

පොත් චාරිකාවේ පලදාව


මං පොත් ප්‍රදර්ශණේ බලන්න යන්න සූදානං වෙලා හිටියෙ ඉරිද. එදා ටිකක් දවල් වෙලා යන්න හිතාගෙන හිටියත් සෙනසුරාද හවස යාළු මිත්තරයෙක් කතා කරල...

“ඒ මචං! හෙනට සෙනගනෙ... හෙටත් අම්බානකට සෙනග ඉඳියි...” කියල කිව්ව නිසා මං ගමං සැලැස්ම ටිකක් විතර වෙනස් කරල ඉරිද උදේම ගියා.

උදේ නවය වෙන කොටම ඇතුලට ගිය නිසා එකොළහ දොලහ වෙද්දි වැඩි තදබදයකට අහු නොවී පොත් ටිකකුත් අරගෙන එන්න පුළුවං උනා.

මෙන්න මේපාර පොත් ප්‍රදර්ශණෙන් මං ගත්ත පොත්...

කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවො ලියපු විස්තරාර්ථ ධම්මපදය පොතේ අළුතින්ම ආපු කොටස් දෙක ගත්තා.
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 12 (අත්ත වර්ගය)

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 13 (ලෝක වර්ගය)



අජාන් බ්‍රහ්මවංසො හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා සිංහලයට පරිවර්තනය කරල තියෙන “සිනාසෙන සුදු හාමුදුරුවෝ” පොත් පෙලේ පළවෙනි කාණ්ඩෙ රහ වැටිල හිටිය නිසා අහුවෙච්ච ඉතිරි කාණ්ඩ හතරම ගත්තා.
කරදරකාරයින් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේද? 
ඇයි මටම මෙහෙම වෙන්නෙ? 
මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි? 
මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද?





ගන්නවමයි කියල හිතාගෙන ගිය ගාමිණී මහත්තයගෙ මේ පොත ගත්ත.
යාල නැගෙනහිර අහිමි වනමං


ඒ කිට්ටුවෙන්ම තිබ්බ මේ පොතත් ගත්ත.
වනදිවි සැරිසර



ඇයි පරිවර්තන පොත්? ඒවත් ගත්තනෙ...

ගං දියේ විරුවෝ (ඇලන් බෙයිලි)


තරු මගට පිවිසුනෙමි (යූරි ගගාරින්)
මේ යූරි ගගාරින්ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය.


මහ ගන වන මැද මිනිසෙක් (ඇල්බට් ෂ්වයිට්සර්)


සතුරු කඳවුරු මැදින් (එරික් විලියම්ස්)


සොෆීගේ ලෝකය (යූස්ටයින් ගෝඩන්)



තව අළුත් විද්‍යා ප්‍රබන්ධ පොත් දෙකකුත් හම්බඋනා.

ලෝක විනාශය (The Hammer of God පොතේ පරිවර්තනය) (ආතර් සී. ක්ලාක්)‍


රික්ටර් 10 (ආතර් සී. ක්ලාක් සහ මයික් මැක්වේ)




_____
පොත් වල පින්තූර ටිකනං ගත්තෙ මං. අනිත් පින්තූරය
http://www.event.lk/images/event/home/main/1346912223Colombo%20International%20Book%20fair.jpg

Thursday 13 September 2012

පරිවර්තන පොත්




පොත් පත් කියවීම කෑම බීම ගැනීම වගේම ජීවිතයේ අංගයක් කරගත්තු කෙනෙක් “පොත පත කියන්නෙ මනසට ආහාර” කියන කියමන පිළිගන්නව.  කෑම බීම වලට අපි එක් එක්කෙනාගේ තියෙන රුචිකත්වය වෙනස් වෙනව වගේම පොත් පත් වලට තියෙන රුචිකත්වයත් එක් කෙනෙක්ගෙන් තව කෙනෙකුට වෙනස්. මගේ මානසික ආහාර වේල ගැන කතා කරොත් ඒකෙ ලොකු කොටසකට අයිතිවාසිකම් කියන්නෙ පරිවර්තන කෘති.

පොත් පත් ගැන වැඩි වැඩියෙන් කතාවෙන මේ කාලෙ පරිවර්තන පොත් ගැන මට තියෙන්නෙ කොයි විදිහෙ ආකල්පයක්ද කියල ලියන්න හිතුන...

පරිවර්තන පොත් තෝර ගන්නකොට මං නං ඉස්සරවෙලාම බලන්නෙ ඒක ‘සංක්ෂිප්ත’ (සාරාංශ ගත කරපු) පරිවර්තනයක්ද ‘අසංක්ෂිප්ත’ පරිවර්තනයක්ද කියලයි. මොකද මම සංක්ෂිප්ත පරිවර්තන වලට පුද්ගලිකව අකමැති නිසා. මට හිතෙන විදිහටනං සංක්ෂිප්ත පරිවර්තනයකින් වෙන්නෙ මුල් කෘතියෙ තියෙන වටිනාකම නැති වෙලා යන එක විතරයි. මුල් කෘතිය රසවිඳීමේ හැකියාව මොට කරන්න සංක්ෂිප්ත පරිවර්තනේකට පුළුවන්.

පොතක් පරිවර්තනය කරනව කියන්නෙ භාරදූර කාර්යයක්. ඒක එක භාෂාවක වචන තවත් භාෂාවකට හරවන ‘වචන හරඹයක්’ විතරක්ම නෙවෙයි. එතනදි භාෂා අතර තියෙන පරතරයට අමතරව සංස්කෘතීන් අතර තියෙන පරතරයත් පියවන්න පරිවර්තකයෙකුට සිද්ධ වෙනව. පරිවර්තනය කරන හැම කෘතියක්ම පරිවර්තකයෙකුට අභියෝගයක් වෙන්නෙ මේ නිසයි.

කොහොම උනත් කෘතියක් පරිවර්තනය වෙනකොට මුල් කෘතියේ ගුණාත්මක භාවයට සුළුවෙන් හරි හානි වෙන එක වලක්වන්න බැරි දෙයක්. ඒ හානිය අවම වෙන තරමට තමයි පරිවර්තනයක සාර්ථක භාවය වැඩි. පරිවර්තනය සාර්ථක නම් මුල් කෘතියෙන් ඇති කරන හැඟීම පරිවර්තන කෘතියෙනුත් ඇතිවෙන්න ඕනි. ‍

මාටින් කේඩින්ගෙ Ghosts of the Air කෘතියෙ සිංහල පරිවර්තනයෙ (‘අහස් භූතයෝ’) පෙරවදනෙ රදිකා ගුණරත්න මෙහෙම සටහනක් කරල තියෙනව.

“පරිවර්තනයකදී හුදෙක් කතාව පමණක් කීම පරිවර්තනයක් නොවන බව මාගේ හැඟීමයි. අප මුල් කෘතිය ලියූ ලේඛකයාගේ ලේඛන රටාවේ ශෛලියේ නිලය අල්ලා ගත යුතුය. මුල් බසේ ආකෘතියට, ගලා යෑමට හා ශෛලියට බොහෝ දුරටවත් සමාන භාෂා රටාවක් සොයා ගැනීමට තරම් අපේ මව්බස පොහොසත් එකකි.”

සමහර වෙලාවට එක භාෂාවක තියෙන යෙදුම් වෙනත් භාෂාවකට කොහොමවත් ගේන්න බැහැ. එක භාෂාවකදි වචනෙකින් දෙකකින් ප්‍රකාශ කරන්න පුළුවන් සංකල්පයක් වෙනත් භාෂාවකින් තේරුම් කරන්න බැරි තරම් සංකීර්ණ වෙන්න පුළුවන්. පරිවර්තන කාර්යයයේදී පරිවර්තකයාගේ හැකියාවන් උරගා බලන්නෙ කතාවක තියෙන මෙන්න මේ වගේ තැන්. පරිවර්තන කාර්යයට අතගහන පුද්ගලය මේ වගේ තැන් නිර්මාණශීලී විදිහට ‘ගොඩදාගන්න’ දන්නෙ නැතිනම් කතාවේ ගලායෑමට සහ කතා සාරයට හානි වීම වලක්වන්න බැහැ.

මාක් ට්වේන්ගෙ “The Adventures of Tom Sawyer” කෘතියෙ සිංහල පරිවර්තනය මං දැකපු හොඳම පරිවර්තන වලින් එකක්. ඒ පරිවර්තනයේ සමහර තැන් වලදි මුල් පොතේ ඉංග්‍රීසි වචන ඒ විදිහටම පාවිච්චි කරල තියෙනව. එහෙම කිරීම නිසා ඒ තැන් වලට සිංහල වචන පාවිච්චි කරාට වඩා හොඳට කතා සාරය රැකිල තියෙනව.

හොඳ පරිවර්තකයෙක් අනිවාර්යයෙන්ම හොඳ පොත් රසිකයෙක් වෙන්න ඕනි. තමන් පරිවර්තනේ කරන්න යන කතාව හදවතින්ම රසවිඳපු නැති කෙනෙක්ට ඒ කෘතියට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. ඒ වගේමයි පරිවර්තන කාර්යය පටන්ගන්න ඉස්සෙල්ල පොතේ එන නම් ගම් මුල් භාෂාවෙදි උච්ඡාරණය වෙන්නෙ කොහොමද කියන එක ගැන හොයල බලල තියෙන්න ඕනි. චරිත ගොඩනගල තියෙන සමාජ සහ සංස්කෘතික වටාපිටාව ගැන අවබෝධයක් තියෙන්න ඕනි. ඇත්තටම කිව්වොත් පොතක් පරිවර්තනය කරන කෙනෙක් ඒ දේ කල යුතුමයි. මොකද කියනවනං පොත කියවන කෙනා පරිවර්තකය මුල් කෘතියට සාධාරණයක් කලා කියන විශ්වාසයෙන් පොත කියවන්න ගන්න නිසා. ඒ වගේම පොත මිළදී ගන්න සැලකිය යුතු තරමේ මුදලක් වැය කරන නිසා. ඉතින් පරිවර්තකයෙක්ට තමන්ගෙ කාර්යය වගකීමෙන් කරන්න බැරි නං නිකං ඉන්න ඕනි.

‘හැරී පොටර්’ කතා මාලාව මගේ ප්‍රියතම කතා වලින් එකක්. පිස්සුවෙන් වගේ කියෝපු පොත් ටිකක්. වාසනාවකට වගේ ඒ පොත්වල සිංහල පරිවර්තනය කියවන්න කලින් මම කියෙව්වෙ ඉංග්‍රීසියෙන් ලියවිච්ච මුල් කෘති ටික. අර මං ‘වාසනාවකට වගේ’ කියන කෑල්ල කිව්වෙ ඇයි දන්නවද? හැරී පොටර් කතා මාලාවෙ මුල්ම පොත වෙච්ච “Harry Potter and the Philosopher’s Stone” පොතේ සිංහල පරිවර්තනය මට එහෙම්පිටින්ම බලාපොරොත්තු කඩවීමක් වෙච්ච නිසා.

මුල්ම බලාපොරොත්තු කඩවීම තමයි පොතේ නම. “හැරී පොටර් සහ මායා ගල”. නිකංම නිකං ඩික්ෂනරි පරිවර්තනයක්. ඇත්තටම මම බලාපොරොත්තු උනේ “හැරී පොටර් සහ දාර්ශණිකයන්ගේ පාෂාණය” හරි “හැරී පොටර් සහ පාරස මාණික්‍යය” වගේ ටිකක් ගතියක් තියෙන නමක් සිංහල පරිවර්තනේ තියෙයි කියල...

කොහොම උනත් පිටතින් පේන හැටියට පොතක ගුණ අගුණ කියන්න බැරි නිසා පොත තැනින් තැන පෙරළල බැලුව.

මුල් කෘතිය කියවල තියෙනවනං ඒකෙ පරිවර්තනේ හොඳද නරකද කියන්න සාර්ථක ක්‍රමයක් තියෙනව. ඒකට මුල් පොතේ තිබ්බ හිතට දැනිච්ච තැන් කීපයක් පරිවර්තන කෘතියෙන් හොයාගෙන කියවල බලන්න ඕනි.

දෙවෙනි බලාපොරොත්තු කඩවීම උනේ අන්න එහෙම කරාම. පළවෙනි පරිච්ඡේදෙ මාතෘකාව යොදල තිබ්බෙ “පිරිමි ළමයා” කියල. හයියෝ! ඕක ඉංග්‍රීසි පොතේ තිබ්බෙ “The Boy Who Lived” කියල. නිකං ආසාවට “දිවි ගලවාගත් දරුවා” කියලවත් පරිවර්තනේ කරන්න තිබ්බනෙ...

ඒ මදිවට “Hermione” පරිවර්තනේ කරල තිබ්බෙ “හර්මියෝන්” කියල. හරි විදිහට ඕක පරිවර්තනේ වෙන්න ඕනි “හර්මයිනී” කියල.

කොහොම උනත් මුල් කෘතිය කියවල නැත්නං හරි එහෙම නැත්නං පරිවර්තකයො කීප දෙනෙක් විසින් කරපු එකම පොතේ පරිවර්තන කීපයක් කියවල නැත්නං හරි පරිවර්තනය සාර්ථකද නැද්ද කියල එකපාරටම කියන්න අමාරුයි. ඒ වෙලාවට පොත් කියවන අපේ පිහිටට එන්නෙ කාලයක් තිස්සෙ පරිවර්තන පොත් කියවලම ලැබිච්ච පලපුරුද්ද තමයි.

මේ තියෙන්නෙ මට හොඳ පරිවර්තන විදිහට දැනිච්ච පොත් කීපයක්...

  • Anne of Green Gables (Lucy Maud Montgomery) - අරඹෙ ගෙදර ඈන් (ප්‍රේමසිරි මාහිංගොඩ)
  • The Adventures of Tom Sawyer (Mark Twain) - ටොම් සෝයර් (චන්ද්‍ර අනගිරත්න)
  • 2001, 2010, 2061, 3001 (Arthur C. Clarke) - (එස්. එම්. බන්දුසීල)
  • අඳ වාදකයා (වී. කරලෙන්කෝ) - (දැදිගම වී. රුද්‍රිගු)
  • අරණකට පෙම් බැඳ (විභූතිභූෂණ බන්ධෝපාද්‍යාය) - (චින්තා ලක්ෂ්මි සිංහආරච්චි)
  • Totto-Chan: The Little Girl at the Window (ටෙට්සුකෝ කුරෝයනගී) - හරි පුදුම ඉස්කෝලෙ (ලීලානන්ද ගමාච්චි)
  • The Hound of the Baskervilles (Sir Arthur Conan Doyle) - බැස්කර්විල් දඩ බල්ලා (කේ. ජී. කරුණාතිලක)
***
මෙන්න තවත් පොත් ටිකක්...

  • I Can Jump Puddles (Alan Marshall) - ඔව් මට පුළුවන්
  • The Wave (Morton Rhue) - රැල්ල
  • To Sir, with Love (E. R. Braithwaite) - ආදරණීය ගුරුතුමනි
  • The Alchemist (Paulo Coelho) - සන්තියාගෝ නම් සැරිසරන්නා
  • A Connecticut Yankee in King Arthur's Court (Mark Twain) - ඈත අතීතයට ගිය ඇමරිකානුවා 1, 2

මේව විද්‍යා ප්‍රබන්ධ...

  • The Songs of Distant Earth (Arthur C. Clarke) - මිහිකතේ ගීතය
  • Rendezvous with Rama (Arthur C. Clarke) - රාමා හමුව
  • The Mind Parasites (Colin Wilson) - චිත්ත පරපෝෂිතයෝ

තව හොඳ පරිවර්තන පොත් ගැන හෝඩුවාවල් තියෙනවනං කමෙන්ට් එකක් විදිහට දාල යන්න... :)

***
ස්තූතිය:
henryblogwalker the Dude ගෙ “දැන් ලඟද තාත්තෙ?” ලිපියට
ජීවිතේ මල් ගෙ “මගේ හිත් ගත් පොතක් 6 - තුන් තකතීරුකං කරපු කෙනෙක් මං” ලිපියට සහ
සුදීක ගෙ “සාහිත්‍ය මාසයේ - කියවන්නට (හිතන්නට) යමක්” ලිපියට

Thursday 6 September 2012

ජනකතා සහ ජනකතාවක්




අපේ ජනකතා සාහිත්‍යය කියන්නෙ පරම්පරාවකින් පරම්පරාවකට දැනුම සහ ආකල්ප සම්ප්‍රේෂණය වෙච්ච ප්‍රභල මාධ්‍යයක්. ඒ තුල අන්තර්ගත වෙලා තියෙන්නෙ විවිදාකාරයේ සිරිත්-විරිත්, විශ්වාස, ඇදහිලි වගේ දේවල් එක්ක මිනිස්සු ජීවත් වෙච්ච හැටි ගැන කියවෙන කතා. කොටින්ම කිව්වොත් ජනකතා කියන්නෙ අපේ ගැමි සමාජයේ සාරය.

ඒත් ජනකතා හරහා අපි දකින්නෙ එදා තිබ්බ ගැමි සමාජය මිසක් අද තියෙන ගැමි සමාජය නෙවෙයි. අද ගමත් නගරය තරම්ම සංකීර්ණයි. මොකද ගමේ මිනිස්සුන්ගෙයි නගරෙ මිනිස්සුන්ගෙයි සිතුම් පැතුම් වල ලොකු වෙනසක් නැති නිසා; ඒ අය කට බලියගෙන බලන්නෙ එකම රූපවාහිනී නාලිකා ටික නිසා සහ නගරෙ ඉන්නෙත් (අර ඒරොප්පෙන් ඇවිත් ගොඩබැස්ස වගේ පෙන්නන්න හදන අයත් ඇතුළුව) ගමෙන් නගරෙට සංක්‍රමණය වෙච්ච අය නිසා.

ඉතින් විසි එක්වෙනි සියවසේ ජීවත් වෙන ‘පොෂ්’ පොරවල් වෙච්ච අපිට ‘ගොඩේ’ ජනකතාවකින් ගන්න පුළුවන් මොනවද?

අපේ ජනකතා සරළයි. ඒත් ඒව නිකංම රසවින්දනයට විතරක් සීමා වෙච්ච කතා නෙවෙයි. ජනකතා ඉතිහාසය, සංස්කෘතිය වගේ මාතෘකා ගැන කතා වෙනව. ව්‍යංගාර්ථය සියුම් විදිහට පාවිච්චි කරල විවේචනය කලයුතු තැන් එක්තරා ආකාරයක උපහාස රසයකින් යුතුව විවේචනය කරනව.

‘මිනිස්සු’ කියන විෂය ඉගෙන ගන්නවනං ජන කතා කියන්නෙ සාරවත් මූලාශ්‍රයක්. සමාජයේ ඉන්න විවිදාකාරයේ චරිත හඳුන්වල දීල ඒ චරිත විවිධ දෘෂ්ඨි කෝණ වලින්  විග්‍රහ කරල පෙන්නන්න ජනකතා කාරයට තියෙන්නෙ පුදුම හිතෙන තරමේ දක්ෂතාවයක්. සමහර විට ඒ ජන කතා කාරය කියන්නෙ පුද්ගලයන් ගොඩක එකතුවක් නිසා වෙන්න ඇති.‍

අපේ ජනකතා ගැන මගේ ආකල්පය ඔය විදිහයි. මම අහපු, කියවපු ජන කතා අතරින් මම කැමතිම ජනකතාවකුත් මෙතනට එකතු කරන්නම්. මේ කතාව හරහා දෙන පණිවිඩේ තේරෙනවද බලන්ඩකො...

උපුටා ගත්තෙ ‘සිව්දෙස’ සඟරාවෙ 2001 ජනවාරි කලාපයෙන්.

***

එක ගමක දාඩිය මහන්සියෙන් ජීවත් වෙච්ච ගමරාළ කෙනෙක් හිටිය. කොච්චර මහන්සියෙන් ගොවිතැන් බත් කලාද කිව්වොත් ගමරාළට අයිති වෙලා තිබුණ එක කුඹුරක්වත් කාටවත් වැඩ කරන්න දුන්නෙ නැහැ. කුඹුරු විතරක් නෙවෙයි හේන්, වතුපිටිවත් කාටවත් වැඩ කරන්න දුන්නෙ නැහැ. ඒ ලෝබ කම හින්ද නෙවෙයි, ඒ තරම් මහන්සියෙන් එයාටම මේ ඔක්කොගෙම වැඩ කරන්න පුළුවන්කම තිබුන හින්ද.

එක කන්නෙක මේ ගමරාළ එයාගෙ හේනක් කොටන්න ගියා. ඒ හේන කොටන්න යනකොට දිග කැත්තකුත් අරගෙන තමයි මේ ගමරා‍‍‍ළ ගියේ. හේන මැද්දෙ මහ විසාල කහට ගහක් තිබුණ. අර දිග කැත්තෙන් ගමරාළ කහට ගහේ අතු පාහින්න පටන් ගත්ත. ඔන්න කහට ගහේ අතු පාහිනකොට මේ ගහේ හිටපු යකා ගමරාළත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

“උඹ මම ඉන්න ගහේ අතු පාහින්නෙ අහවල් දේකටද?” කියල යකා ගමරාළගෙන් ඇහුව.

“උඹ මේ ගහේ ඉන්නව කියල මම මේ හේන ගොවිතැන් නොකර ඉන්නද?” කියල ගමරාළ ඇහුව.

මෙහෙම දිගින් දිගටම කතාව ගිය හින්ද යකාට හොඳටම තරහ ගියා. ඊට පස්සෙ යකා මෙන්න මෙහෙම කියන්න පටන් ගත්ත.

“වැඩිදුර කතා ඕනෙ නෑ. මේ හේනට මම පදිංචි වෙන්න ඇවිල්ල දැන් පරම්පරා ගාණක් වෙනව. ඒ පරම්පරා ගාණටම මම උඹෙන් මොකවත් පංගුවක් ඉල්ලුවෙ නෑ. ඒත් මේ කන්නෙ ඉඳන් උඹ හිටවන දේවල් වලින් හරියටම පංගුවක් මට ඕනෙ. මේ සැරේ මුල මට. උ‍ඩ උඹ‍ට”.

ගමරාළ මේ කතාව බොහෝම හොඳට අහගත්ත.

“හාඃ හොඳයිකො...” කියල ඒ කන්නෙ ගමරාළ කුරහන් ඉස්සා.

යකාට මේ ගමරාළ කරන වැඩේ ගැන වැඩි තේරුමක් උනේ නැහැ. ඔන්න දැන් පළවෙනි කන්නෙ අස්වැන්න කැපුවයි කියමුකො. යකා කිව්ව විදිහට මුල් ටික යකාට ඉතුරු කරල කුරහන් කරල් ටික ගමරාළ කපා ගත්තා. ඉතින් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ. ඒත් යකාට කිසි වැඩක් උනෙත් නෑ.

දෙවෙනි කන්නෙදි යකා මෙහෙම කිව්ව.

“මේ කන්නෙදි යට උඹට, උඩ මට.”

ඒ කන්නෙදි මුළු හේන පුරාම ගමරාළ බතල හිටෙව්ව. අස්වැන්න නෙලා ගන්නකොට ගමරාළ යකා කියපු විදිහට බතල ටික අරගෙන බතල වැල්ටික ඉතුරු කරා.

කන්න දෙකේම පැරදිච්ච යකා ඊලඟ කන්නෙදි මෙහෙම කිව්ව.

“මේ කන්නෙදි මුලත් මට අගත් මට මැද හරිය උඹට.”

ගමරාළ “හාඃ හොඳයි...” කියල ඒ පාර පැණි කොමඩු හිටෙව්ව. පැණි කොමඩු වල ගෙඩි හැදෙන්නෙ වැලේ මැද හරියෙ නිසා ඒ කන්නෙදිත් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ.

තුන්වෙනි පාරටත් පැරදිච්ච යකා පරාජය බාර අරගෙන හේනෙන් යන්නම ගියා.


_____
පින්තූරය
Related Posts Plugin for WordPress, Blogger...