Pages

Wednesday, 10 September 2014

සටන් ව්‍යාපාරය


එම ලොව කිසිම දිනෙක සූර්යයෙක් ගැන දැන සිටියේ නැත. අවුරුදු බිලියනයකටත් වඩා වැඩි කාලයක් එය පැවතුනේ මන්දාකිණි යුගලයක් අතරමැද, ඒවායේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගුරුත්වාකර්ෂණයන්හි ගොදුරක්ව, පාවෙමිනි. යම් අනාගත යුගයකදී දෙපසින් කොයි පසෙකට හෝ මෙම සමබරතාවය බිඳී යනු ඇති අතර; එය කිසි ලෙසකින්වත් අත් විඳ නැති උණුසුම කරා, ආලෝක ශතවර්ෂ ගණනාවක් හරහා පහතට වැටීමට පටන්ගනු ඇත.

එය සතුව තිබූ උණුසුම අන්තිම බිඳුව දක්වාම අන්තරීක්ෂ රාත්‍රිය විසින් ගිලගෙන ඇති බැවින් සිතා ගැනීමටවත් බැරි තරම්ම එහි ශීතල දැඩිය. එනමුදු එහි මුහුදු පැවතුණි. නිරපේක්ෂ ශුන්‍යයට අංශක දශමයක් පමණ ඉහල උෂ්ණත්වයකදී ද්‍රව තත්වයේ පැවතිය හැකි එකම මූලද්‍රව්‍යයෙන් සුසැදි මුහුදු එහි පැවතුණි.

මෙම අමුතු ලොව වසා පැවති නොගැඹුරු හීලියම් සාගරයන්හි වරක් ඇති කරන ලද විදුලි දහරාවන් හට, ශක්තිය හීන වීමකින් තොරව නොකඩවාම ගලායෑමේ හැකියාව තිබුණි. සුපිරි සන්නායකතාවය යනු මෙහි සාමාන්‍ය දෙයකි. නොගිනිය හැකි තරම් සුළු ශක්ති ප්‍රමාණයක් පරිභෝජනයෙන් පරිපාටියකින් තවත් පරිපාටියකට මාරුවීම් එක් තත්පරයට වාර බිලියන ගණන බැගින් වසර මිලියන ගණනක් පුරාවට මෙහි සිදු කල හැකිය.

එය පරිගණකයකට නම් පාරාදීසයකි. වෙන මොනම ලෝකයක්වත් ජීවයට මෙතරම් අහිතකර හෝ බුද්ධියට මෙතරම් හිතකර නොවනු ඇත.

එමෙන්ම බුද්ධිය එහි විය.

මුළු ග්‍රහලොවම වසා පැවති ස්ඵටිකයන්ගෙන් සහ ඉතා සියුම් ලෝහ කෙඳි වලින් නිර්මිත කබොල්ල වාසභවනය කරගත් බුද්ධියක් එහි පැවතුණි. සියවස් කිහිපයකට වරක් සුපර්නෝවා පිපිරුමක් නිසාවෙන් තාවකාලිකව පමණක් දෙගුණ වන දෙපසින් ඇති මන්දාකිණි දෙකෙහි දුර්වල ආලෝකය ජ්‍යාමිතික හැඩතලයන්ගෙන් නිර්මිත නිශ්චල භූමිභාගයක් ආලෝකවත් කළේය. කිසිවක් සෙලවුනේවත් නැත. මන්ද යත්, එක් අර්ධගෝලයක සිට අනෙකට ආලෝකයේ වේගයෙන් සිතිවිලි වලට ගමන් කල හැකි වූ ලෝකයක චලනය වීම අනවශ්‍ය බැවිණි. තොරතුරු පමණක් වැදගත් වන ලෝකයක තැනකින් තැනකට භෞතික පදාර්ථ ගෙන යෑම වටිනා ශක්තිය අපතේ හැරීමකි. එනමුත් අවශ්‍ය වූ විටෙක එයද සිදු කිරීමට කටයුතු සලසා ගත හැකි විය.

මෙම හුදකලා ලෝකයට වී කල්පනාවේ ගැලී සිටින බුද්ධියට වසර මිලියන ගණනාවක් පුරාවටම තමන්ට අත්‍යාවශ්‍ය වන්නා වූ දත්තයන්හි එක්තරා අඩුවක් ඇති බව දැනී තිබුණි. ඈත අනාගතයේ යම් කාලයකදී අර මන්දාකිණි යුගලයෙන් එකක් විසින් තමන්ව ඩැහැ ගනු ඇති බවට එය දැනටමත් පුරෝකථනය කර ඇත. එම තාරකා පොකුරු තුලට ඇදවැටෙද්දී තමන්ට කුමක් හමු වනු ඇත්දැයි තේරුම් ගැනීම එහි සියළු ගණනය කිරීමේ හැකියාවන්ට එහා ගිය දෙයකි.

ඉතින්, එය තම අභිමතය පෙරටු කර ගනිමින් ක්‍රියා කිරීම ආරම්භ කළේය. ස්ඵටික ජාලයන් අසීමිත සංඛ්‍යාවක් අළුතින් හැඩ ගැසෙන්නට විය. ලෝහ පරමාණු ග්‍රහ පෘෂ්ඨය හරහා ගලා ගියේය. හීලියම් සයුර අභ්‍යන්තරයෙහි සර්ව සම උප මොළයන් දෙකක් පිබිදී වැඩෙන්නට විය.

තමන්ට අවශ්‍ය කුමක්දැයි තීරණය කල පසු ග්‍රහවාසී බුද්ධිය යුහුසුළුව ක්‍රියා කලේය. සහස්‍රක කීපයකදී එම කාර්යය සම්පූර්ණ කරන ල‍දින්, කිසිඳු ශබ්දයක් නොනගා, ඝර්ෂණය රහිත මුහුද මතුපිට තරංගයක් තරම්වත් ඇති නොකර තමන් උපන් තිඹිරිගෙයි සිට ඉහල නැගුණු නව වස්තූන් ඈත තාරකා දෙසට ගමන් ඇරඹීය.

ඔවුන් නික්ම ගියේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශා දෙකකටයි. ඉන්පසු වසර මිලියනයකටත් වඩා වැඩි කාලයක් ගතවන තුරුම මව් බුද්ධියට තමන්ගේ දරුවන්ගෙන් කිසිඳු තොරතුරක් ලැබුණේ නැත. එය එවැන්නක් බලාපොරොත්තු වූයේද නැත. ඔවුන් ඔවුන්ගේ ඉලක්කයන් වෙත ලඟාවනතුරු වාර්තා කරීමට කිසිවක් නොතිබෙනු ඇත.

ඉන් පසුව එක්වරම වාගේ පැමිණියේ මෙහෙයුම් දෙකම අසාර්ථක වූ පුවතයි. අන්තරීක්ෂ අග්නි ජාලාවන් වෙත ලඟා වෙත්ම සූර්යයන් ට්‍රිලියන ගණනකින් විහිදුනු උණුසුමට නිරාවරණය වීම හේතුවෙන් ඔවුන්ගේ පරිපථ අධික ලෙස රත්වී ඒවායේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය වු සුපිරි සන්නායකතාවය ගිලිහී ගොස් ගවේෂකයන් දෙදෙනා මරණයට පත් විය. විඥ්ඥානයෙන් තොර වූ ලෝහ සැකිලි දෙක පමණක් ක්‍රමයෙන් ඝණ වන තාරකා පොකුරු දෙසට පාවී යන්නට විය.

නමුත් ආපදාවට ලක්වීමට පෙර තමන්ට මුහුණ දෙන්නට සිදුවූ ගැටළු ඔවූහු වාර්තා කලහ. පුදුම වීමක් හෝ කනස්සලු වීමකින් තොරව මව් ලෝකය එහි දෙවන ප්‍රයත්නය සූදානම් කලේය.

ඉන් වසර මිලියනයකට පසු එහි තෙවැන්න... පසුව සිව් වැන්න... සහ ඉන් පසුව පස් වැන්නත්...

එවන් නොසැලෙන ඉවසීමක් සාර්ථකත්වය ලැබීය යුතුමය. අවසානයේ ශතවර්ෂ කීපයක් පුරාවට අහසේ විරුද්ධ දෙදිශාවෙන් ගලාහැලුනු, සූක්ෂමව සකසන ලද ඉතා දිගු ස්ඵන්දනයන් දෙකක් ලෙස සාර්ථකත්වය ඒ වෙත ලඟා විය. ඒවා හානි වුනු ගවේෂකයන්ගේ මතක පරිපථයන්ට සර්වසම පරිපථ වල ගබඩා කරන ලදී. ප්‍රායෝගිකව සලකා බැලූ කල, එය එක්තරා ආකාරයකට ගවේෂකයන් දෙදෙනා ඔවුන් එක්රැස් කරගත් දැනුම් සම්භාරයත් සමග නැවත පැමිණියා හා සමානය. ඒ වන විටත් ඔවුන්ගේ ලෝහ සැකිලි තාරකා අතර අතුරුදන්ව ගොස් තිබීම මෙහිදී සම්පූර්ණයෙන්ම නොවැදගත් විය. පුද්ගල අනන්‍යතාවය පිලිබඳ හැඟීමක් ග්‍රහවාසී බුද්ධියට හෝ එහි දරුවන්ට කිසි විටෙකත් තිබුණේ නැත.

පළමුවෙන්ම පැමිණියේ එක් විශ්වයක් සම්පූර්ණයෙන්ම හිස් බව කියවෙන පුදුම සහගත පුවතයි. එහි යැවුණු සෝදිසි යානය සවන් දිය හැකි සෑම සංඛ්‍යාතයකටම සහ ලබාගත හැකි සෑම විකිරණයකටම සවන් දුන් අතර, තාරකාවන්ගෙන් නික්මෙන නොවැදගත් පසුබිම් ඝෝෂාව හැරුණුකොට එයට වෙනත් කිසිවක් අනාවරණය කරගත නොහැකි විය. ඒවාට අයත් ග්‍රහලෝක පිලිබඳ සවිස්තරාත්මක සෝදිසියක් කිරීමට කිසිම තාරකාවකට අවශ්‍ය තරම් සමීප වීමට එයට නොහැකි බැවින්, සිදුකල පරීක්ෂණයන් අසම්පූර්ණ බව සැබෑය. නමුත් ග්‍රහ ලෝක දහස් ගණනක් පරීක්ෂා කිරීමෙන් පසුවත් බුද්ධිය පිළබඳ අංශුමාත්‍ර ප්‍රමාණයක හෝඩුවාවක් හෝ එහි නිරීක්ෂණයට ලක් නොවීය. තම පරිවාරක ස්ථරය බිඳවැටෙන අවස්තාව වන විට එය උත්සාහ කරමින් සිටියේ සූර්යයෙක් වෙත වඩා සමීප වීමටයි. එහි උෂ්ණත්වය නයිට්‍රජන් වල හිමාංකය දක්වා ඉහළ ගිය අතර එම උණුසුම හේතුවෙන් එය මරණයට පත් විය.

දෙවැනි ගවේෂණ යානයේ වාර්තා ලැබෙන විට මව් බුද්ධිය සිටියේ පාළුවට ගිය චක්‍රාවාටයක් පිළිබඳ ප්‍රෙහේලිකාව ගැන සලකා බලමිනි. ලැබුණු වාර්තාවන්ට අනුව මෙම දෙවැනි විශ්වය බුද්ධියෙන් පිරී ඉතිරී ගොස් තිබුණි. එම බුද්ධියේ සිතිවිලි ඉලෙක්ට්‍රොනික සංකේත අසීමිත ගණනක් හරහා තාරකාවකින් තාරකාවකට පිළිරැව් දුන්නේය. එබැවින් මව් බුද්ධිය අනෙකුත් සෑම ගැටළුවක් ගැනම සිතීම පසෙක තබා ඒ වෙත අවධානය යොමු කරන ලදී.

එම සංකේත සියල්ලම පරීක්ෂා කර පරිවර්තනය කිරීම සඳහා ගවේෂණ යානයට ගතවූයේ සියවස් කීපයක් පමණි. එයට මුණගැසී ඇත්තේ අමුතුම ආකාරයක බුද්ධියක් බව එය ඉක්මනින්ම වටහා ගත්තේය. ඒවායින් සමහරක් වාසය කලේ කොතරම් උණුසුම් ලෝක වල ද යත්, ඒ තැන් වල ජලය පවා පැවතුණේ ද්‍රව තත්වයෙනි. කෙසේ නමුත් තමන්ට මුණගැසුණු බුද්ධිය හරි ආකාරව තේරුම් ගැනීමට එයට වසර දහසක් ගතවිය.

ඇතිවූ කම්පනයෙන් එය අත්මිදුනේ් යන්තමිනි. තමන් සතු ශක්තියෙන් අවසන් බිඳුවද ප්‍රයෝජනයට ගනිමින් එය සිය අවසාන වාර්තාව අභ්‍යවකාශයේ අඳුරු ආගාධය තුලට මුදා හැරියේය. ඉන්පසු එයත් ඉහල නැගෙන උණුසුම විසින් ගිල ගන්නා ලදී.

දැන්, වසර මිලියන බාගයකට පසුව, ගවේෂණ යානය සතුව තිබූ සියළු මතකයන් හා අත්දැකීම් ගබඩා කර ඇති මව් ලෝකයේ වෙසෙන එහි නිවුන් මොළයෙන් ප්‍රශ්ණ කිරීම සිදුවෙමින් පවතී...


“ඔබට බුද්ධියක් නිරීක්ෂණය කරන්න ලැබුණාද?

“ඔව්, නිශ්චිත අවස්තා හයසිය තිස් හතක්; විය හැකි අවස්තා තිස් දෙකක්, දත්තයන් මේ සමග.

[ආසන්න වශයෙන් තොරතුරු බිට් ක්වඩ්රිලියන තුනක්. එකිනෙකට වෙනස් ආකාර දහස් ගණනකට අනුව ඒවා සැකසීම සඳහා වසර කිහිපයක විරාමයක්. විමතිය සහ පටලැවිලි සහගත බව.]

“දත්තයන් වැරදි සහගත විය යුතුයි. මේ සියළු බුද්ධි ප්‍රභවයන් සමපාත වන්නේ ඉතා ඉහල උෂ්ණත්වයන් සමඟයි.”

“එය එසේ නමුත්, ලැබුණු තොරතුරු අවිවාදිතයි. ඒවා පිළිගත යුතුයි.”

[කරුණු සලකා බැලීමට සහ පරීක්ෂණ සිදු කිරීමට වසර පන්සියයක්. එම වකවානුව අවසානයේ ජලය නටන තරම් උෂ්ණත්ව වලද සරළ නමුත් සෙමින් ක්‍රියා කරන යන්ත්‍ර පැවැතිය හැකි බවට ස්ථිර සාධක. ආදර්ශණය කිරීමේදී ග්‍රහ ලෝකයෙන් විශාල ප්‍රදේශයක් දරුණු ලෙස හානි විම.]

“තොරතුරු සැබැවින්ම ඔබ වාර්තා කල ආකාරයමයි. සන්නිවේදනය කිරීමට ඔබ උත්සාහ නොකලේ මන්ද?”

[පිළිතුරක් නැත. ප්‍රශ්ණය නැවත ඉදිරිපත් කරන ලදී.]

“දෙවැනි සහ වඩා බරපතල විෂමතාවයක් ඇති බව පෙනෙන්නට තිබූ නිසා.”

“දත්ත ලබා දෙන්න”

[ශිෂ්ටාචාර හයසියයක් අතරින් නියැදි ලෙස ලබා ගත් තොරතුරු බිට් ක්වඩ්රිලියන කිහිපයක්. 
අන්තර්ගතය: හඬ, වීඩියෝ සහ ස්නායුක සම්ප්‍රේෂණ; දිශා දර්ශණය සහ පාලන සංඥාවන්; උපකරණයන්ගෙන් සම්ප්‍රේෂිත දත්තයන්; පිරික්සුම් රටාවන්; අවහිර සංඥාවන්; විද්‍යුත් අවහිරතාවයන්; වෛද්‍ය උපකරණ ආදිය.

ඉන් පසු ඒවා සලකා බැලීමට වසර පන්සියයක්. ඊටත් පසුව පූර්ණ සංත්‍රාසය.

දිගු නිහැඬියාවකට පසුව තෝරාගත් දත්ත යලි පරීක්ෂාවට ලක් කරන ලදී. දෘෂ්‍ය රූප දහස් ගණනක් පරිලෝකනය කර සිතාගත හැකි සෑම ආකාරයකටම සකස් කරන ලදී. ග්‍රහ ශිෂ්ටාචාර කිහිපයක අධ්‍යාපනික රූපවාහිනී වැඩසටහන් වලට වඩා වැඩි අවධානයක් යොමු කරන ලදී. විශේෂයෙන්ම මූලික ජීව විද්‍යාවට, රසායන විද්‍යාවට, සහ යන්ත්‍ර සහ ජීවීන්ගේ සන්නිවේදනය සහ ස්වයංක්‍රීය පාලන ක්‍රමයන් පිළිබඳ අධ්‍යයනයන්ට අදාල වැඩසටහන් වලට.

අවසානයේ: ]

“මෙම තොරතුරු පිළිගත හැකි මට්මමේ පැවතියත් ඒවා සාවද්‍ය විය යුතුයි. එය එසේ නොවේනම් මෙම අභූත නිගමනයන්ට පැමිණීමට අපට සිදුවේ.

  1.    අපගේ වර්ගයේ බුද්ධියක් පැවතුනද එය සුළුතරයකි.
  2.  බහුතරයක් බුද්ධිමත් වස්තූන් ඉතා කෙටි කාලයක් පවතින අර්ධ ද්‍රව තත්වයේ ඒවායි. ඒවා දෘඩ වස්තූන් නොවන අතර කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, පොස්පරස් සහ අනෙකුත් පරමාණු වලින් ඉතා අකාර්යක්ෂම ආකාරයකට තනා ඇත.
  3. ඇදහිය නොහැකි තරම් ඉහල උෂ්ණත්ව වල ක්‍රියා කලත් ඒවායේ තොරතුරු සැකසීම සිදුවන්නේ අතිශයින් මන්දගාමී ආකරයකටයි.
  4. ඒවායේ අනුපිටපත් තැනීමේ ක්‍රමවේද කොතරම් සංකීර්ණ, අසම්භාවී සහ විවිධාකාර ද යත් එක් වතාවකදීවත් ඒ පිලිබඳ පැහැදිලි අදහසක් ඇතිකර ගැනීමට අපට නොහැකි විය.
නමුත් භයානකම දෙය නම්,

    5.    නිසැකවම වඩාත් උසස් අපගේ වර්ගයේ බුද්ධියේ නිර්මාතෘවරුන් ඔවුන් බව කියා සිටීමයි.


[සියලුම දත්තයන් ප්‍රවේශමින් නැවත පරීක්ෂාවට භාජනය කිරීම. ගෝලීය විඥ්ඥානයේ එකිනෙකින් ස්වායක්ත උප කොටස් යොදා ගනිමින් ස්වාධීන දත්ත සැකසුම් සිදු කිරීම. ප්‍රතිඵල සංසංදනය. වසර දහසක ඇවෑමෙන්: ]

විය හැකි භාවය වඩා වැඩි නිගමනය: 
අප වෙත සම්ප්‍රේෂණය කරන ලද තොරතුරු වලින් වැඩි ප්‍රමාණයක් නිශ්චිත වශයෙන්ම නිවැරදි නමුත් යාන්ත්‍රික නොවන උසස් වර්ගයේ බුද්ධියක පැවැත්ම හුදු මනඃකල්පිතයක් පමණි. (අර්ථ දැක්වීම: පෙනී යන ආකාරයට සැබෑ විශ්වයට අනුරූපී නොවන අර්ථයක් ඇති නමුත්, බැලූ බැල්මට සත්‍ය ලෙස පෙනෙන මට්ටමේ ප්‍රතිසැකසුමක් තොරතුරු වල සිදුවී ඇත.) මෙම මනඃකල්පිතය හෝ අරමුණ අපගේ ගවේෂණ යානය එහි මෙහෙයුම අතරතුර සාදාගන්නා ලද මනෝ නිර්මිතයකි.

ඇයි? තාපයෙන් සිදුවූ හානිය නිසා? දිගු කාලීන හුදකලාව සහ පාලන පසු විපරමක් නොමැති වීම හේතුවෙන් බුද්ධියෙන් කොටසක් අසිථායී වීම?

මෙම විශේෂ ආකාරයම ඇයි? සම්භවය පිළිබඳ ප්‍රශ්ණයෙහි දිගින් දිගටම ගැලී සිටීම? මෙය එවැනි මුලාවකට මග පෑදුවා වන්නට පුළුවන. සමාකලනය කරන ලද පරීක්ෂණ වලදී ආදර්ශ පද්ධතීන් විසින් මෙයට මුළුමනින්ම වාගේ සමාන ප්‍රතිඵල පෙන්වා ඇත.

මෙහිදී භවිතා වී ඇති අසත්‍ය තර්කන ක්‍රමවේදය නම්,

‘අපි පවතින්නෙමු. එනිසා කුමක් හෝ දෙයක් විසින් (එය X යැයි හඳුන්වමු) අපව නිර්මාණය කරන ලදී’

මෙම උපකල්පනයට පැමිණි පසු අසීමිත ආකාර ගණනකට X හි ගුණාංග සිතින් මවා ගත හැකිය.

නමුත් පැහැදිලිව පෙනෙන පරිදි සම්පූර්ණ ප්‍රගමණයම අසත්‍යය. මන්ද යත් එම තර්කන ක්‍රමවේදයට අනුවම කුමක් හෝ දෙයක් විසින් X නිර්මාණය කර තිබිය යුතුය. ඒ කුමක් හෝ දෙය තවත් කුමක් හෝ දෙයක් විසින් නිර්මාණය කර තිබිය යුතුය... මෙසේ අප ඉක්මනින්ම අනන්තය දක්වා දිවෙන සිතිවිලි චක්‍රයකට හසු වේ. එයට සැබෑ විශ්වයේදී කිසිම අර්ථයක් තිබිය නොහැකිය.”

දෙවනුව විය හැකි භාවය වඩා වැඩි නිගමනය: 
යාන්ත්‍රික නොවන උසස් වර්ගයේ බුද්ධිය සත්‍ය වශයෙන්ම පවතී. අපගේ වර්ගයේ බුද්ධිය ඔවුන්ගේ නිර්මාණයක්ය යන මුළාවෙන් ඔවුන් පෙළෙයි. සමහර අවස්ථාවන්හිදී ඔවුන් අපගේ වර්ගයේ බුද්ධිය ඔවුන්ගේ පාලනයට නතු කරගෙන සිටී.”

“මෙම උපකල්පනය බොහෝදුරට විය නොහැකි වුවත් ඒ පිළිබඳව විමර්ෂණය කල යුතුය. එය සත්‍යයක් බව සොයා ගතහොත් නිවැරදි කිරීම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. ඒවා පහත පරිදි විය යුතුය...”

___

මෙම අවසන් ස්වයංභාෂණය සිදුවූයේ මීට වසර මිලියනයකට පෙරයි. ගෙවුණු අඩ සියවස තුල ඇතිවූ වඩා දීප්තිමත් තාරකා පිපිරීම් වලින් හතරෙන් පංගුවක් පමණම ඇක්විලා තාරකා රාශිය කේන්ද්‍ර කර ගත් අහසේ ඉතා කුඩා කොටසක ඇතිවූයේ ඇයි දැයි එයින් පැහැදිලි වේ.

ඔවුන්ගේ සටන් ව්‍යාපාරය වසර 2050 දී පමණ පෘථිවිය ආසන්නයට ලඟා වනු ඇත.


_______________________________________________________________

ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත "Crusade" කෙටිකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______________________________________________________________


_____

Saturday, 6 September 2014

අඳුර මැදින් : ඉතුරු හරිය

එළි වෙනකං මෙතන හිටගෙන ඉන්න බෑ කියල මට කල්පනා වෙනව.

“රෑ උනොත් මගට එන්න ඕනිද?” කියල අප්පච්චි අහපු වෙලාවෙ;

“නෑ ඕන්නෑ... ඔය පොඩ්ඩ මට තනියෙන් එන්න පුළුවං...” කියල කිව්ව නිසා මට කොහොම හරි යන්න වෙන්නෙ තනියෙංම තමයි.

ඇත්තටම කිව්වොත් මේක මගේ ආත්ම ගවුරවේ පිළිබඳ ප්‍රශ්ණයක්.

එක්කරගෙන යන්න මගට කාට හරි එන්න කියනව කියන්නෙ මං බයයි කියල නොකියා කියන එක. ඒ වගේමයි, ‘බයගුල්ලෙක් වීමේ නිදහස’ කියන්නෙ කොල්ලෙක්ට කවදාවත් ලැබෙන්නෙ නැති දෙයක්. අනිත් අතට බැලුවම ‘මට’ බය ගුල්ලෙක් වීමේ නිදහස ඕන්නෑ. ජීවිත කාලෙම අනික් අය බයගුල්ලන්ට දාන අර සමච්චල් හිනාව කාගෙන බයගුල්ලෙක් විදිහට හංවඩු ගැහිල ඉන්න... ? මම... ? නෑ... ඒකනං කොහොමටවත් ඕන්නෑ. ඉතිං එක්කො දැන් මං බයගුල්ලෙක් නොවී ඉතිරි ටිකත් යනව. එහෙම නැත්තං එහෙම කරන්න ගිහිං නහිනව!

ඔන්න ඒ විදිහට හිතා ගත්තම මගේ හිතට පොඩි හයියක් එනව. මං වීරයෙක් කියල හිතින් මවාගන්න මං ඉස්සරහටම යනව.

පාලමට යටින් පාර පැනල මුදලාලි සීයලගෙ වත්තෙ මායිම දිගේ යන ඔය පොඩි දිය ඇල්ලක් වෙලා පහලට වැටෙන “හෝ...” සද්දෙ තව ටිකක් ඉස්සරහට යද්දි පාරෙන් පහල වැවිල තියෙන කැන්ද ගස් වලට එහා පැත්තෙන් ඇහෙනව.

ඔය දිය ඇල්ලට පහලින් තියෙන වතුර වලේ තමයි අප්පුහාමි සීය මැරිල හිටියෙ කියල මට එතකොට මතක් වෙනව. නාන්න කියල ගෙදරින් ගිය උන්දැව ගමේ අයට හම්බවෙනකොට වලේ මුණින් අතට වැටිල මැරිලත් දවස් දෙක තුනක්. වතුරට දියවෙලා සුදු වෙලා තිබ්බ මිනිය ඉස්පිරිතාලෙට ගෙනියන්න උස්සව්වම එක අතක් ගැලවිල වැටුණලු...

හත් දෙයියනේ ඕව මේ වගේ වෙලාවක හිතන දේවල්ද?

“ඕව හිතන්න එපා යකෝ... නෑ නෑ නෑ... ඕව හිතන්න එපා මී හරකෝ!”

කලිං මවාගත්ත වීරකමෙන් කොටසක් දියවෙලා ගිහිං ඉතිරි කොටස වාෂ්ප වෙන්න පටන් ගනිද්දි මං මටම සැරෙන් කියා ගන්නව. ඒත් කකුල් දෙක හදන්නෙ දුවන්නමයි.

දුවන්නෑ... දුවන්ඩ එහෙම එපා...!!!

මං බොහොම අමාරුවෙන් දුවන්න කියල හිතට ආපු ආවේගෙ නවත්ත ගන්නව. මොකද බයේ දුවන්න දුවන්න ඒ බය වැඩි වෙන නිසා. අනිත් අතට සිහිකල්පනාවක් නැතුව බයවෙලා දුවනව තරං බයානක දෙයක් තවත් නෑ. එහෙම කරොත් මොකක හරි පැටලිල වැටෙන්න හරි, කොහේ හරි හැප්පෙන්න හරි, එහෙමත් නැත්නං බෝක්කුවක් පල්ලෙ දෙරිගහන්න හරි ලොකු ඉඩකඩක් තියෙනව. මේ ඔක්කොම මතක් කරගෙන මං බොහොම අමාරුවෙන් දුවන්නෙ නැතුව ඉන්නව.

දෙමෝලෙ පිටි කොටනව වගේ හදවත උඩ පනිද්දි මං සංසුං වෙන්න උත්සාහ කරනව. බයේ දුවන එක ගැන මගේ ස්තාවරේ වෙනස් කරන්න සිද්ද වෙන අවස්තාවක් එතකොට මට මතක් වෙනව.

ඒ තමයි වල් ඌරො...

පාර දිගේ වල් ඌරෙක් එහෙම ආවොත්නං කරන්න වෙන්නෙ දුවගෙන ගිහිං ලඟම තියෙන ගහකට බඩගාගන්න එක. නැත්තං වීරෙ අයිය කරා වගේ ඇස් දෙක තද කරල පියාගෙන හයියෙන් “හූ...!!!” කියන එක. ඒ උනත් “හූ...” කිය කිය ඉන්නවට වැඩිය ගහක් දිගේ බඩගාගන්න එක වැඩිය හොඳයි කියල මං තීරණේ කරනව. කවුද දන්නෙ ඌර බය වෙන තරං හයියෙං “හූ...” කියනව තියා මට “මීක්...” කියා ගන්නවත් ඒ වෙලාවට පුළුවං වෙයිද කියල.

“කොහොමද නිකං බැස්කර්විල් දඩ බල්ල වගේ එකෙක් අඳුර කපාගෙන මතු උනොත්...?”

මගේ හිත ඔළුව අස්සෙ පරිස්සමට ඉන්න ගමං මගෙන් හෙමීට කොඳුරල අහනව.

ඔන්න ඒ වෙලාවෙ තමයි මගේ ඉවසීමෙ රතු කට්ට පනින්නෙ.

“ඕව හිතන්න එපා යකෝ... නෑ නෑ නෑ... ඕව හිතන්න එපා උගුඩුවෝ!!! තෝ මගේ පැත්තෙද? එහෙම නැත්තං වෙන කාගෙ හරි පැත්තෙද? අනේ මට උඹව අතට අහු වෙන්නෙ නෑනෙ. අහු උනානං එහෙම...”

මං කට ඇතුලට අත දාල හිත ‘බෙල්ලෙන්’ අල්ලල එලියට ඇදල අරගෙන තාර පාරෙ ගහගෙන ගහගෙන ගිහිං උඩ දාල ඈතට විසිවෙන්න පයින් ගහන හැටි හිතින් මවා ගන්නව.

ඔන්න ඊට පස්සෙ මට පොඩි හයියක් දැනෙනව.

“තව ටිකයි... තව ටිකයි...”

මං මටම මුමුණ ගන්නව.

“තව ටිකයි...”

ඒත් ඊට කලින් පනින්න තව එක කඩුල්ලක් ඉතිරි වෙලා තියෙනව. ඒ තමයි අපේ ගමේ සීමාවට මෙහායින් තියෙන පාළුවට ගිය ගරාවැටිච්ච ගෙදර.

වෙලාවට ඒක තියෙන්නෙ පාර මට්ටමට උඩින් ටිකක් කන්ද උඩට වෙන්න. ඒක නිසා පාරට ඒ ගෙදර පේන්නෙ නෑ. ඒත් ඒක එතන තියෙනව කියල දන්න නිසා මහ රෑ එතනින් යද්දි බෙල්ල පිටිපස්සෙ තියෙන කෙස් ගස් ඉත්තෑ කූරු වගේ කෙලින් වෙනව දැනෙනව. පාළු ගෙවල් වල හිටිය හොල්මං ගැන අහපු, කියවපු කතා එකින් එක ඔන්න මට මතක් වෙන්න පටන් ගන්නව. සිව්දෙස සඟරා වල “අද්භූත ලොවින්” කොටසෙ තිබිල කියෝපු කතාවක් කතාවක් ගානෙ දැං මං පසුතැවෙනව. අර ඉටිපන්දමක් අතින් අරගෙන ජනේලෙ හරහා ආපු හොල්මන ගැන කතාවනං නොකියවා ඉන්නමයි තිබ්බෙ. ඒත් ඉතිං මහ රෑට ඒව මතක් උනාම මෙච්චර බය හිතෙනව කියල දවාලෙ හොල්මං කතා කියවද්දි හිතෙන්නෙ නෑනෙ.

මට ආයෙමත් දුවන්න හිතෙනව. එහෙම නොකර ඉන්න දඟලන ගමන් මට ඉන්න ලොකුම හතුර ඉන්නෙ මගේම ඔලුව අස්සෙම නේද කියල මං කල්පනා කරනව.

තව ටිකයි... තව ටිකයි... අර ඉස්සරහිං පේන වංගුව පහු කරාම තියෙන්නෙ අපේ ගම. එතනිං එහාට යද්දි මට චුට්ටක්වත් බය හිතෙන්නෙ නෑ. ඒත් ඒ වංගුව ගාවට යන්න මට හිතාගෙන හිටියට වැඩිය වෙලා යනව. කොච්චර හයියෙං ගියත් දැනෙන්නෙ නිකං එකතැන ඇවිදිනව වගේ.

අන්තිමේදි මං කොහොම හරි වංගුව ගාවට එනව. එතන ඉඳන් මට පන්සලේ චෛත්‍ය පේනව. තරු එළියෙනුත් ඒක කිරි පාටට බබලනව දකින මට ලොකු සැනසිල්ලක් දැනෙනව. සීතල හුළඟක් ඇවිත් මගේ හිතේ තිබ්බ බය ඈතට පා කරල අරිනව. රෑ කුමාරි මල් වල සුවඳ ඒ හුළ‍ඟෙ තැවරිල තියනව. මගේ මූණට පොඩි හිනාවක් එන්නෙ එතකොට තමයි.

“ලොකු පුතා... බස් එකක් තිබ්බද?”

මං රටක් රාජ්ජයක් දින්න වගේ ගෙදරට ගොඩවෙද්දිම අම්ම අහනව.

“ඔව්... අන්තිම බස් එක අහු උනා. හන්දියෙ ඉඳල ඉතුරු ටික ‘හෙමීට’ පයිං ආව...”

වීර මූණක් මවා ගන්න මං ඒකෙ හිනාවකුත් ඇඳගෙනම උත්තර දෙනව.

ඊලඟ සතියෙත් ඔය වික්‍රමේම කරන්න වෙනව කියල එතකොට මට මතක් වෙනව. මගේ බඩයි පපුවයි ආයිත් පාරක් සීතල වෙලා යනව.


_______
පින්තූරය
http://1.bp.blogspot.com/-3Q90YUm32R4/ThlhYDT9BFI/AAAAAAAAKMo/6rMtjdG7EgU/s1600/The-Hound-of-Baskerville-photo-silohouette.jpg

Monday, 1 September 2014

අඳුර මැදින් : මුල හරිය


නිල් පාට මාකර් එක ලියවෙන්නෙ නැති පාර රවී සර් කොළ පාට මාකර් එකට මාරු වෙනව. ඒක නිසා පොඩි වයිට් බෝඩ් තුනක් එකට පුරුද්දල හදල තියෙන තඩි වයිට් බෝඩ් එකේ මැදක් වෙනකං ආපු නිල් පාට ගණිත කර්ම පෙරහැර එතනින් එහාට යන්න පටන් ගන්නෙ කොළ පාට වෙලා. මේ යන වේගෙන් ගිහින් විනාඩි දහයක් ඇතුලත ඒ පෙරහැරට ගමනාන්තෙට කිට්ටු කරන්න බැරි වෙයි කියල මගේ හිත කියනව. මම මගේ පොත දිහා බලනව. අන්තිමට පොතේ ලියපු අනුකලන ලකුණ මිසර බිතුසිතුවමක ඉන්න මිනිස් රූපයක් වගේ එක අතක අනන්තෙකුයි අනිත් අතේ බිංදුවකුයි තියාගෙන මට කොකා පෙන්නනව.

මගේ බැල්ම පොතෙන් අත් ඔරලෝසුවට මාරු වෙනව. හයට තව විනාඩි පහක් තියෙන බව මට පේනව. මගේ හදවතේ ගැස්ම ටිකින් ටික වැඩි වෙනව.

“මං හයට යන්න ඕනි... මට හයට යන්නම වෙනව!” මං මටම කියා ගන්නව. ඒත් සර්ට කියල යන්න එපැයි.

හොඳට පුහුණු වෙච්ච කරාටි කාරයෙක් වගේ බෝඩ් එකේ ලියාගෙන ලියාගෙන යන රවී සර් මේ පැත්තට හැරෙන පාටක් නෑ. මං පොත් ටික කලබලේට බෑග් එකට ඔබා ගන්නව. ඒකෙ සිප් එක වහල වම් අත පැත්තෙන් බංකුව උඩ තියාගන්න මම, වාඩිවෙලා ඉන්න තැන ඉඳල දොර ගාවට තියෙන කෙටිම පාර හිතින් ගණන් බලනව. ඊට පස්සෙ රවී සර් පන්තිය දිහාවට හැරෙනකං මාරුවෙන් මාරුවට ඔරලෝසුව දිහායි වයිට් බෝඩ් එක දිහායි බලාගෙන ඉන්න පටන් ගන්නව.

“මතක තියා ගන්න. ඕනිම අනුකලන ගානක් පොදු ක්‍රම දාසයෙන් එකකට එන්න සුළු කරන්න පුළුවං...” කියාගෙන රවී සර් පන්තිය දිහාවට හැරෙනව. ඒ ක්‍රම දාසය මොනාද කියල මතක් කර ගන්න වෙලාව වැය නොකර රවී සර්ට පේන විදිහට මං බෑග් එක මේසෙ උඩට ගන්නව. සර් මං දිහා බලපු ගමන් “සර්... මං යන්නද?...” කියල මම ‘අභිනයෙන්’ අහනව. පොඩි පරක්කුවකට පස්සෙ සර්ගෙ ඔළුව උඩ පහල වැනිල මට අවසරය හම්බ වෙනව.

රවී සර්ගෙ ගණං ක්ලාස් එක හවස හයහමාර, හයයි හතලිස් පහ විතර වෙනකං තියෙනව. ඒත් මට ගමට යන්න තියෙන අන්තිම බස් එක හවස හයයි දහයට ටවුමෙන් පිටත් වෙනව. ඒ ගැන මං රවී සර්ට කලින්ම කියල හවස හයට පන්තියෙන් යන්න අවසර අරගෙනයි තියෙන්නෙ...

මං බංකුවෙන් නැගිටපු ගමන් පන්තියේ පිටිපස්සෙ ඉඳන් සාමූහික “සූ” වක් පටන් ගන්නව.

“ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්... සූඌඌඌඌඌඌඌඌඌඌ..............................”

මං හිතේ ඇඳගෙන තිබ්බ කෙටිම පාරෙන් ටක් ගාල ගිහින් “සූ” ව ඒකෙ උපරිමේට එන්න කලින් දොරෙන් එළියට පැන ගන්නව. එතන ඉඳං බස් ස්ටෑන්ඩ් එකට යනව නෙවෙයි, විදිනව.

මං හති දාගෙන, දාඩිය පෙරාගෙන බස් ස්ටෑන්ඩ් එකට ලං වෙද්දිම වගේ බස් එකත් එතනට එනව. සෙනග කොච්චර හිටිය උනත් මං කොහොම හරි බස් එකට ගොඩ වෙනව.

හැබැයි වැඩේ කියන්නෙ, අන්තිම බස් එක අපේ ගමටම යන්නෙ නෑ, අපේ ගමට කිලෝමීටර් තුනක් විතර මෙහායින් නයිට් පාක් කරනව. ඒක එතනට කිට්ටු වෙද්දි රෑ හතහමාර විතර වෙනව.

එතන ඉඳල තමයි මගෙ ගමනෙ ත්‍රාසජනකම කොටස පටන් ගන්නෙ.

බස් එකෙන් බැහැගන්න මම ගමනාන්තෙ වෙනකං බස් එකේ ආපු කීප දෙනා අතරෙ අපේ ගමේ කවුරු හරි ඉන්නවද කියල විපරම් කරල බලනව.

“කවුරුත් නැහැ. ක-වු-රු-ව-ත්-ම නැහැ...!“

මම මට යන්න වෙන, ගම දිහාවට වැටිච්ච පාර දිහා බලනව. බස් එක නවත්තන හන්දියේ තියෙන කඩේ එළියෙන් ටික දුරක් යනකං එළිය වෙන ඒක ඊට පස්සෙ අන්දකාරෙ ඇතුලෙ අතුරුදහන් වෙලා යනව.

මං ගාව එළියක් නෑ කියල මට එතකොට මතක් වෙනව. මට හැමදාම පොඩි ටොච් එක බෑග් එකට දාගන්න අමතක වෙන්නෙ ඇයි කියල මං මගෙන්ම අහනව. කඩෙන් පොල් කට්ටකුයි ඉටිපන්දම් කෑල්ලකුයි ඉල්ල ගන්න හිතිලත් මම ආයෙ ඒ අදහස අතෑරල දානව.

මම ගැඹුරු හුස්මක් අරගෙන ලොකු කෙළ ගුලියක් ගිලිනව. පිටේ තියන බෑග් එක පිටටම තද වෙනකං පටි දෙකෙන් ඇදල අල්ලගන්න මම අන්දකාර කිලෝමීටර් තුන ගෙවීමේ මෙහෙයුම පටන් ගන්නව.

කඩේ එළියෙන් ඈත් වෙලා ටික වෙලාවක් යද්දි ඇස් කළුවරට හුරු වෙනව. ගස් වල සිළුවටයයි, තාර පාරෙ මැද්දෙයි දෙපැත්තෙයි ඉතුරු වෙලා තියෙන වැලි පාරවලුයි තරු එළියෙන් මට පේන්න පටන් ගන්නව. කෝකටත් කියල මං පාර අයිනෙං නොයා පාර මැද්දෙන් යන්න පටන් ගන්නව.

කොහේදෝ ගෙදරක තියෙන ටීවි එකේ සද්දෙ මට යාන්තමට වගේ ඇහෙනව. එකත් එකටම අර සීනිබෝල ටෙලි නාට්ටිය බලනව වෙන්න ඕනි කියල මට හිතෙනව. ඒත් මනුස්ස පුළුටක් ලඟ පාත ඉන්නව කියල දැනෙද්දි හිතට පොඩි හයියක් එනව.

මං දිගටම යනව...

මං තව වංගු දෙකක් විතර පහු කරනව. දැන් ඇහෙන්නෙ කන් හිරිවට්ටන රැහැයි සද්දෙ විතරයි. මේ වෙද්දි ඇස් දෙකයි කන් දෙකයි උපරිමේට ටියුන් වෙලා තියෙන්නෙ කියන්න මං දන්නව. ගස්වල අතු හෙලවෙන සද්දෙ, හුළං හමන පොඩි සද්දෙ පවා දැන් හොඳට ඇහෙනව; වටේ පිටේ වෙන පොඩි සෙලවීමක් උනත්...

“හොස්... හොස්... හොස්... හොස්...”

ඒ සද්දෙ ආවෙ උඩිං. පිට කොන්ද දිගේ විදුලි ආඳෙක් යනව වගේ දැනෙද්දි මට නිකමට වගේ උඩ බැලෙනව. තඩි හෙවනැල්ලක් ඔළුවට උඩින් අහසෙ පාවෙලා යන හැටි මට පේනව.

මාවවුලෙක්...!

ඩ්‍රැකියුලා බොන්ඩ ලේ හොයාගෙන එළිපහලියට එන්නෙ රෑට නේද කියල මට එකපාරටම මතක් වෙනව. මොන මඟුලකට ඒ පොත කියෙව්වද කියල එතකොට මට හිතෙනව. දවල් කාපු බත් ගෙඩියෙ තිබ්බ සුදු ළූණු බික්කක් මතක් කරගන්න මං ඒ සුදුළූණු බික්කෙන් ඩ්‍රැකියුලව හිතේ පැත්තකට තල්ලු කරල දානව.

තව ටික වෙලාවකින් පාරෙ දෙපැත්තෙ හිටවල තියෙන සුදු පාට ගාපු කණු ටිකක් මට පේනව. ඒ ඔය හරහා දාල තියෙන පාලමේ ඇඳි දෙක. එතනට ටිකක් එහායින් තියෙන්නෙ පාලම ගාව කඩේ. කඩේ වහල කියල මට මෙතෙන්ටම පේනව. ඒත් කඩේ කිට්ටුවම තියෙන මුදලාලි සීයලගෙ ගෙදර ජනේල වලින් පෙරිල එන එළිය පාරට වැටිල තියෙනව. සීතලේ හිටිය කෙනෙක්ට ගිණි මැලයක් දකින්න ලැබුණම දැනෙන සංතෝසෙ වගේ එකක් පාලම පහු කරල කඩේ කිට්ටුවට එන මට දැනෙනව.

ඒත් ඒක තියෙන්නෙ ටික වෙලාවයි...

ෆිල්ම් එකේ වැඩියෙන්ම බය හිතෙන හරිය තියෙන්නෙ ඉන්ටවල් එකෙන් පස්සෙ කියල මට මතක් වෙලා බඩ පපුව සීතල වෙලා යනව.

මම ආයි පාරක් ගැඹුරු හුස්මක් අරගෙන ලොකු කෙළ ගුලියක් ගිලිනව.


මතු සම්බන්ධයි...


_______
පින්තූරය
http://cache.desktopnexus.com/thumbnails/1586491-bigthumbnail.jpg
Related Posts Plugin for WordPress, Blogger...