Pages

Thursday, 6 September 2012

ජනකතා සහ ජනකතාවක්




අපේ ජනකතා සාහිත්‍යය කියන්නෙ පරම්පරාවකින් පරම්පරාවකට දැනුම සහ ආකල්ප සම්ප්‍රේෂණය වෙච්ච ප්‍රභල මාධ්‍යයක්. ඒ තුල අන්තර්ගත වෙලා තියෙන්නෙ විවිදාකාරයේ සිරිත්-විරිත්, විශ්වාස, ඇදහිලි වගේ දේවල් එක්ක මිනිස්සු ජීවත් වෙච්ච හැටි ගැන කියවෙන කතා. කොටින්ම කිව්වොත් ජනකතා කියන්නෙ අපේ ගැමි සමාජයේ සාරය.

ඒත් ජනකතා හරහා අපි දකින්නෙ එදා තිබ්බ ගැමි සමාජය මිසක් අද තියෙන ගැමි සමාජය නෙවෙයි. අද ගමත් නගරය තරම්ම සංකීර්ණයි. මොකද ගමේ මිනිස්සුන්ගෙයි නගරෙ මිනිස්සුන්ගෙයි සිතුම් පැතුම් වල ලොකු වෙනසක් නැති නිසා; ඒ අය කට බලියගෙන බලන්නෙ එකම රූපවාහිනී නාලිකා ටික නිසා සහ නගරෙ ඉන්නෙත් (අර ඒරොප්පෙන් ඇවිත් ගොඩබැස්ස වගේ පෙන්නන්න හදන අයත් ඇතුළුව) ගමෙන් නගරෙට සංක්‍රමණය වෙච්ච අය නිසා.

ඉතින් විසි එක්වෙනි සියවසේ ජීවත් වෙන ‘පොෂ්’ පොරවල් වෙච්ච අපිට ‘ගොඩේ’ ජනකතාවකින් ගන්න පුළුවන් මොනවද?

අපේ ජනකතා සරළයි. ඒත් ඒව නිකංම රසවින්දනයට විතරක් සීමා වෙච්ච කතා නෙවෙයි. ජනකතා ඉතිහාසය, සංස්කෘතිය වගේ මාතෘකා ගැන කතා වෙනව. ව්‍යංගාර්ථය සියුම් විදිහට පාවිච්චි කරල විවේචනය කලයුතු තැන් එක්තරා ආකාරයක උපහාස රසයකින් යුතුව විවේචනය කරනව.

‘මිනිස්සු’ කියන විෂය ඉගෙන ගන්නවනං ජන කතා කියන්නෙ සාරවත් මූලාශ්‍රයක්. සමාජයේ ඉන්න විවිදාකාරයේ චරිත හඳුන්වල දීල ඒ චරිත විවිධ දෘෂ්ඨි කෝණ වලින්  විග්‍රහ කරල පෙන්නන්න ජනකතා කාරයට තියෙන්නෙ පුදුම හිතෙන තරමේ දක්ෂතාවයක්. සමහර විට ඒ ජන කතා කාරය කියන්නෙ පුද්ගලයන් ගොඩක එකතුවක් නිසා වෙන්න ඇති.‍

අපේ ජනකතා ගැන මගේ ආකල්පය ඔය විදිහයි. මම අහපු, කියවපු ජන කතා අතරින් මම කැමතිම ජනකතාවකුත් මෙතනට එකතු කරන්නම්. මේ කතාව හරහා දෙන පණිවිඩේ තේරෙනවද බලන්ඩකො...

උපුටා ගත්තෙ ‘සිව්දෙස’ සඟරාවෙ 2001 ජනවාරි කලාපයෙන්.

***

එක ගමක දාඩිය මහන්සියෙන් ජීවත් වෙච්ච ගමරාළ කෙනෙක් හිටිය. කොච්චර මහන්සියෙන් ගොවිතැන් බත් කලාද කිව්වොත් ගමරාළට අයිති වෙලා තිබුණ එක කුඹුරක්වත් කාටවත් වැඩ කරන්න දුන්නෙ නැහැ. කුඹුරු විතරක් නෙවෙයි හේන්, වතුපිටිවත් කාටවත් වැඩ කරන්න දුන්නෙ නැහැ. ඒ ලෝබ කම හින්ද නෙවෙයි, ඒ තරම් මහන්සියෙන් එයාටම මේ ඔක්කොගෙම වැඩ කරන්න පුළුවන්කම තිබුන හින්ද.

එක කන්නෙක මේ ගමරාළ එයාගෙ හේනක් කොටන්න ගියා. ඒ හේන කොටන්න යනකොට දිග කැත්තකුත් අරගෙන තමයි මේ ගමරා‍‍‍ළ ගියේ. හේන මැද්දෙ මහ විසාල කහට ගහක් තිබුණ. අර දිග කැත්තෙන් ගමරාළ කහට ගහේ අතු පාහින්න පටන් ගත්ත. ඔන්න කහට ගහේ අතු පාහිනකොට මේ ගහේ හිටපු යකා ගමරාළත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

“උඹ මම ඉන්න ගහේ අතු පාහින්නෙ අහවල් දේකටද?” කියල යකා ගමරාළගෙන් ඇහුව.

“උඹ මේ ගහේ ඉන්නව කියල මම මේ හේන ගොවිතැන් නොකර ඉන්නද?” කියල ගමරාළ ඇහුව.

මෙහෙම දිගින් දිගටම කතාව ගිය හින්ද යකාට හොඳටම තරහ ගියා. ඊට පස්සෙ යකා මෙන්න මෙහෙම කියන්න පටන් ගත්ත.

“වැඩිදුර කතා ඕනෙ නෑ. මේ හේනට මම පදිංචි වෙන්න ඇවිල්ල දැන් පරම්පරා ගාණක් වෙනව. ඒ පරම්පරා ගාණටම මම උඹෙන් මොකවත් පංගුවක් ඉල්ලුවෙ නෑ. ඒත් මේ කන්නෙ ඉඳන් උඹ හිටවන දේවල් වලින් හරියටම පංගුවක් මට ඕනෙ. මේ සැරේ මුල මට. උ‍ඩ උඹ‍ට”.

ගමරාළ මේ කතාව බොහෝම හොඳට අහගත්ත.

“හාඃ හොඳයිකො...” කියල ඒ කන්නෙ ගමරාළ කුරහන් ඉස්සා.

යකාට මේ ගමරාළ කරන වැඩේ ගැන වැඩි තේරුමක් උනේ නැහැ. ඔන්න දැන් පළවෙනි කන්නෙ අස්වැන්න කැපුවයි කියමුකො. යකා කිව්ව විදිහට මුල් ටික යකාට ඉතුරු කරල කුරහන් කරල් ටික ගමරාළ කපා ගත්තා. ඉතින් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ. ඒත් යකාට කිසි වැඩක් උනෙත් නෑ.

දෙවෙනි කන්නෙදි යකා මෙහෙම කිව්ව.

“මේ කන්නෙදි යට උඹට, උඩ මට.”

ඒ කන්නෙදි මුළු හේන පුරාම ගමරාළ බතල හිටෙව්ව. අස්වැන්න නෙලා ගන්නකොට ගමරාළ යකා කියපු විදිහට බතල ටික අරගෙන බතල වැල්ටික ඉතුරු කරා.

කන්න දෙකේම පැරදිච්ච යකා ඊලඟ කන්නෙදි මෙහෙම කිව්ව.

“මේ කන්නෙදි මුලත් මට අගත් මට මැද හරිය උඹට.”

ගමරාළ “හාඃ හොඳයි...” කියල ඒ පාර පැණි කොමඩු හිටෙව්ව. පැණි කොමඩු වල ගෙඩි හැදෙන්නෙ වැලේ මැද හරියෙ නිසා ඒ කන්නෙදිත් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ.

තුන්වෙනි පාරටත් පැරදිච්ච යකා පරාජය බාර අරගෙන හේනෙන් යන්නම ගියා.


_____
පින්තූරය

11 comments:

  1. මීට වඩා ටිකක් වෙනස් කථාවක් අහලා තියෙනවා. මේක වෙන්න ඕන හරිම කථාව

    ReplyDelete
    Replies
    1. මාත් මේ කතාවෙ ප්‍රබේධ දෙක තුනක් අහල තියෙනව. මේකෙ තමයි අග මුල හරියටම ගලපල තිබ්බෙ. :)

      Delete
  2. ඔන්න ඔය ලොජික් එක තමයි අද හුඟදෙනෙකුට නැත්තෙ, පරිකල්පන.

    ඔය වගෙ පොඩී ජනකතා පොත් සෙට් එකක් ඉස්සට අපි ගත්තා. ඒකෙන් මමත් අහලා නැති ජනකතාත් ඉගෙනගත්තා. කවරේතිබ්බෙ කෝපි කඩයක්. පොත් හත අටක් වගේම ඉංග්‍රීසි පරිවර්තනත් තිබ්බා ඒකෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අර කතාවක් තියෙනවනෙ "එන එන විදිහට ගහ උළුවස්සා" කියල...

      ජනකතා පොත් සෙට් එකක් මං ගාවත් තිබ්බ. ඒවනං හම්බඋනේ කිරිපිටි පැකට් වල තිබිල. මට මතක විදිහට ඒවගෙ චිත්‍ර ඇඳල තිබ්බෙ සිබිල් වෙත්තසිංහ නැන්ද.

      Delete
  3. ගමරාල දස්සයා....
    ස්තූතියි මේ වගේ කතා දානවට!!!!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්! :)

      ගමරාළ මොලේ ඇති ගොයියෙක්නෙ...

      Delete
  4. ඌ නම් හරියන යකෙක් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. අන්තිමට යකාටත් හිතෙන්න ඇත්තෙ එහෙමයි... :)

      Delete
  5. අපූරු කතාව :)

    ReplyDelete
  6. සුපිරි කතාව

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...