Pages

Saturday, 28 April 2012

ධනාත්මක සහ !ධනාත්මක




සිනා මැකිලා ගොසින් ඇත දෙනෙත් බොවෙලා
නෙක පාට පිරුණු ලොව කළු සුදට පෙරලිලා
ජීවිතේ මහ බරකි... නැත සැපක් ගෑවිලා
හිත මත්තෙ තිබු සතුට කොහේදෝ සැවිලා

...

නෙත් අගින් ගලා ගිය කඳුළු වැල් වියළිලා
කළු සුදින් තිබුණු ලොව නෙක වර්ණ ගැන්විලා
සුන්දරයි ජීවිතේ... නැත දුකක් ගෑවිලා
අරුමයකි මුළු සිතම සතුටකින් නැහැවිලා


ප. ලි.
මෘදුකාංග ක්‍රමලේඛණ ශිල්පයේදී නම් !true = false වේ.

ප. ප. ලි.
මේක හෙන පිස්සු අදහසක්ද මංදා. ඒත් ඔන්න ඔහෙ ලියල දැම්ම.

_____
පින්තූරය

Tuesday, 24 April 2012

වෙඩින් කේක්




සාමාන්‍යයෙන් මගුල් ගෙදරකට වෙඩින් කේක් හදෝ ගන්නෙ ඒ ගැන පලපුරුද්දක් තියෙන තැනකට ඕඩරයක් දීලනෙ. ඒ උනත් කුකරි ක්ලාස් බර ගානකට සහභාගී වෙලා ඔය බහුබූත කෑම වර්ග ගොඩාක් ජාති හදන්න ඉගෙනගෙන තිබ්බ අපේ ලොකු මාමගෙ දූ , සචින්තා අක්ක තී‍රණේ කරා එයාගෙ වෙඩින් එකට වෙඩින් කේක් හැදිල්ල එයාම කරන්න ඕනි කියල.

“මගුල් ගෙදරට කරන්න මෙච්චර වැඩ කන්දරාවක් තියෙන එකේ ඔය වැඩේ ඕඩරයක් දීල කරෝගමු.”

කියල නෑදෑයො, යාළුවො කවුරු කිව්වත්  සචින්තා අක්ක නෙමෙයි ඒවගෙං සැළුණෙ. එයාට වෙඩින් කේක් හදන්නම ඕනි උනා. ගොඩක් වෙලාවට සචින්තා අක්ක එහෙම කරන්න ඇත්තෙ වෙඩින් එකට යන වියදම ඩිංගක් හරි ඒ විදිහට අඩු කරගන්න පුළුවං වෙයි කියල හිතල වෙන්න ඇති. තමන්ගෙ මගුල් සාරිය මහල හැඩ දාල හදාගත්තෙත් එයාම නිසා ඒ තීරණේ ගැන එච්චරටම පුදුම වෙන්න දෙයක් තිබ්බෙත් නෑ.

පණ්ඩිතිච්චි වගේ පටං ගත්තට මොකද සීයකට හමාරකට වෙඩින් කේක් හැදිල්ල ලේසි පාසු කර්තව්‍යක් නෙමෙයි කියල මුලදිම සචින්තා අක්කට තේරිලයි තිබ්බෙ. ඉතිං උදව්වටයි, දැනමුතුකං ගන්නයි එයා අපේ ලොකු අම්මලාගෙ දුව, අනෝජ අක්කවත් ඔය වැඩේට එකතු කර ගත්ත. ඒ දවස් වල අපේ නෑදෑ ගෙවල් වලින් ටවුමට කිට්ටුවෙන්ම තිබ්බෙ ලොකු අම්මලාගෙ ගෙදර නිසා කේක් මෙහෙයුමේ මෙහෙයුම් මැදිරිය පිහිටෝ ගත්තෙත් එහෙ. මාවයි, මල්ලිවයි, අපේ මාමලගෙ පුතාවයි ඒගොල්ලන්ගෙ වෙඩින් කේක් මෙහෙයුමට අහු උනෙත් ඒ හින්දමයි.

ඔය අපිට ඉස්කෝලෙ නිවාඩු කාලෙ. ලොකු අම්මලාගෙ ගෙදර යන්න නිවාඩු කාලෙ එනකං අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ. එහෙම ගිහිං සතියක් විතර ඉඳල තමයි එන්නෙ. අම්මයි අප්පච්චියි පොඩි කාලෙ මාවයි මල්ලිවයි තනියෙන් කොහේ හරි යැව්වනං ඒ ලොකු අම්මලාගෙ ගෙදර විතරයි. ඒ වගේ හිතේ හැටියට සෙල්ලං කරන්න පුළුවං තැනක් තවත් නෑ. කන්ද පහල ඔයට ගිහිං වරුවක් විතර නාන එක, ඒ නාල යකෙක් කන සයිස් එකට බඩගිනි වෙලා ඇවිල්ල ඉස්මුරුත්තාව හැදෙනකං කාල හවසට එක්කො ක්‍රිකට් ගහන්න යන එක, එහෙමත් නැත්තං සොහොන් කන්දෙ ඇවිදින්න යන එක එහෙ ගියාම අපි අනිවාර්යයෙන්ම කරන දේවල්.

ඕවගෙං මං නං වැඩියෙන්ම ආස සොහොන් කන්දෙ ඇවිදින්න යන එකට. හැමතැනම හැදිල තියෙන, කාටවත් අයිති නැති සීනි පේර ගස් වල පලදාවට වග කිය කිය වටාපිටාවෙ ලස්සන බල බල සොහොන් කන්දෙ ඇවිදිද්දි දැනෙන්නෙ වචනයෙන් විස්තර කරන්න නොතේරෙන අමුතුම නිස්කලංක ගතියක්. හැබැයි ඉතින් කවමදාකවත් ලොකු අම්මවත්, ලොකු අප්පච්චිවත් ඔය ගමන තනියමනං යන්න දෙන්නෙ නෑ. සොහොන් කන්ද තනිකරම පාළු තැනක් වීම ඒකට එක හේතුවක්. අනිත් හේතුව තමයි එහෙ හැම තැනම තියෙන හුඹස්. ඉතිං ගොඩක් වෙලාවට ලොකු අප්පච්චිත් අපිත් එක්ක යන්න එනව. එන්ඩ ඕනි කියල හිතුනොත් ‘පොලා’ ත් එනව. පොලා කිව්වෙ ලොකු අම්මලාගෙ දිහා හිටපු සුදුයි අළුයි ලොම් තිබ්බ තඩි බූල් බල්ල.

ඒ පාර නිවාඩුවට ලොකු අම්මලාගෙ ගෙදර ගිය අපි තුන්දෙනාට උනේ අක්කලගෙ වෙඩින් කේක් හැදිල්ලට උදව් කරන්න. වැඩේ නරකමත් නෑ. වෙඩින් කේක් කාල තිබ්බට ඒව හදන හැටි අපි දැකල තිබ්බෙ නෑනෙ. ඉතින් අපිත් කැමැත්තෙන්ම උදව් කරා. ඒක හදපු විදිහ ගැන පිළිවෙලටනං මතක නෑ. ඒත් ඔය වේලපු පළතුරු පොඩි කෑලි වලට කපපු එක, රට ඉඳි සුද්ද කරපු එක තව එතකොට සීනි වෙනමයි කජු වෙනමයි බ්ලෙන්ඩර් කරල පෙනේරෙන් හලපු එක වගේ එහෙන් මෙහෙන් කරපු වැඩ ටිකක් මතකයි. ආඃ... තව බ්‍රැන්ඩි බෝතලයක් විතර කේක් එකට දැම්ම කියලත් මතකයි. කොහොමිං කොහොමිං හරි අන්තිමේදි හදාගත්ත කේක් මිශ්‍රණේ බබාල නාවන්න ගන්න ලොකු බේසමකින් එකක් පිරෙන්නම තිබ්බ.

ඊලඟ වැඩේ උනේ ඕක බේකරියට දීල බේක් කරගන්න එක. ඉතින් එදා දවල් වරුවෙ ත්‍රීවීල් එකක් හයර් කරගෙන අර තඩි කේක් බේසමත් පටෝගෙන සචින්තා අක්කයි, අනෝජ අක්කයි බේකරියට යන්න ලෑස්ති උනා. යන්න තිබ්බ පාරෙ තියෙන වලවල් වල තරම දන්න නිසාම කේක් බේසම ආං බාං කරගන්න තව එක්කෙනෙක් හිටියොත් හොඳයි කියල තීරණේ කරපු අක්කල “මල්ලිත් යං” කියල මාවත් ඒ ගමනට ඈඳ ගත්ත.

බේකරියට යද්දි හවස දෙකට විතර ඇති. පෝරණුවෙ තියෙන පාං ටික බානකං ටික වෙලාවක් ඉන්න කියල බේකරියෙ කට්ටිය කියපු නිසා අපි මිදුලෙ හෙවණ තිබ්බ තැනක් බලල කේක් බේසමත් තියාගෙන කල් මරන්න උනා. අක්කල දෙන්න බර කතාවක. මටත් එක තැනකට වෙලා ඉන්න කම්මැලියි වගේ දැනිච්ච නිසා පොඩ්ඩක් වටපිටාවෙ ඇවිද්ද. එහා පැත්තෙ තිබ්බ ගොයං කපපු කුඹුරෙ ළමයි කට්ටියක් සරුංගල් අරිනව. බක්කරේ කෙනෙක් කේක් බේසම අරං යන්න එනකං සරුංගල් උඩු හුළ‍‍‍ෙඟ එහාට මෙහාට පැද්දෙන දිහා බලාගෙන ඉන්න තීරණේ කරපු මම පැත්තක තිබ්බ දර කොටයක් උඩ වාඩි උනා.

කල්පනා ලෝකෙ අතරමං වෙලා හිටපු මං උඩ ගිහිං බිම වැටුණෙ සචින්තා අක්ක “අයියෝ! කියල කෑගහපු කෑගැහිල්ලට. දනි පනි ගාල එතෙන්ට යද්දි දැකපු දර්ශණෙන් මගේ ඇඟනං හිරිවැටුනෙ නෑ. ඒත් ඒක දැකල අනිවාර්යයෙන්ම අක්කල දෙන්නගෙ ඇඟවල්නං හිරිවැටෙන්න ඇති. කුට්ට හැදිල හම රැලි ගැහිච්ච, ඇ‍‍ෙඟ් ලොම් ගස් දුසිමකට දෙකකට වැඩිය ඉතිරි වෙලා නැති කණාටු බල්ලෙක් කේක් බේසමට හොම්බ ඔබාගෙන ලවක් දෙවක් නැතුව කේක් බැටර් එක කාගෙන කාගෙන යනව.

බල්ලව එලෝල උගෙං කේක් එක බේර ගන්න තවත් තප්පර තුන හතරක් යන්න ඇති. ඒ වෙද්දි සචින්තා අක්ක අඬන්න ඔන්න මෙන්න හිටපු අවස්තාව පහු කරල “අනේ දැං මොනාද කරන්නෙ...” කිය කිය අඬනව. සතියක හමාරක මහන්සිය සල්ලි වලින් ඉලක්කං පහක ගානකුත් එක්ක වතුරෙ යන්නයි යන්නෙ. අනෝජ අක්ක කේක් බේසමයි බල්ලයි දිහා මාරුවෙං මාරුවට බල බල දත්මිටි කනව. ඒ අතරෙ බල්ල අතට අහු නොවෙන තරං දුරින් මුකුත් නොකරපු ගානට අහිංසක බඩගිනි මූණකුත් මවාගෙන බලං ඉන්නව.

“පොඩ්ඩක් අඬන්නැතුව ඉන්නව සචී... දැං ඉතිං වෙන කරන්ඩ දෙයක් නෑ. අපි බල්ල කාපු හරියෙ ටික අයිං කරල ඉතරි ටික බේක් කර ගමු.” අන්තිමේදි අනෝජ අක්ක කිව්ව.

“ඒ උනාට එහෙම කමන්නැද්ද?” සචින්තා අක්ක දෙගිඩියාවෙන් වගේ ඇහුව. මොකද වෙඩින් කේක් කන උදවිය හැමෝම නෑයො, වෙන්න නෑයො එහෙමත් නැත්තං යාළුවො නිසා.

“එහෙම නොකර වෙන මොන කෙහෙල්මලක් කරන්නද?” කියන්නා වගේ බැල්මක් අනෝජ අක්කගෙ මූණෙ ඇඳිල මැකිල ගියා.

මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය මම පණ්ඩිත වාක්‍යක් දැම්මෙ ඒ වෙලාවෙ තමයි.

“බයවෙන්ඩ දෙයක් නෑ අක්කෙ... පෝරණුවට දැම්මම කොහොමත් රස්නෙට විසබීජ නැති වෙනවනෙ... අවුලක් වෙන එකක් නෑ...”

ඉතිං කේක් බැටර් එකේ බල්ල කට ගහපු හරියෙං ලොකු පදාසයක් අයිං කරල, ඒ ටික “තෝම කාපිය...” කියල බල්ලටම දාල, ඉතිරි හරිය පෝරණුවට දාන්න දීල අපි එන්න පිටත් උනා.

“මල්ලී... කේක් එක බල්ලො කෑව කියල කාටවත් කියන්නෙපා. හොඳද?”

ආපහු එන අතරමගදි සචින්තා අක්ක කිව්ව.

මමත් ඔළුව වනල “හාඃ...” කිව්ව.


ප. ලි.

දැං ඔයගොල්ලො හිතන්න එපා නෑදෑයො කට්ටිය ඒ කේක් කනව බලාගෙන මං නිකං හිටියයි කියල. මං කියන දෙයක් කණකට ගන්න සූදානං හැම කෙනෙක්ටම “කේක් කන්න එපා” කියල මං කිව්ව. හැබැයි කේක් එක බල්ලො කාපු බවක් කිව්වෙ නෑ. කොහොම උනත් මං මට හම්බවෙච්ච කේක් කෑල්ලනං කෑව.


_______
පින්තූරය

Monday, 16 April 2012

තාත්තාව මවපු හැටි


මුලින්ම...

හැමෝටම මේ ලැබුවා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභම සුභ වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
___

මේ පාර ගෙදර ගිය වෙලාවෙ ‘ගී මියැසියක්’ රසවිඳින්න අවස්තාව ලැබුණ. එතෙනදි අහපු මං ආස කරන සින්දුවක් වෙච්ච ටී. එම්. ජයරත්න මහත්තය ගායනය කරන “අම්මා සඳකි...” ගීතය මාව මතක මංපෙත දිගේ අතීත මතකයකට අරගෙන ගියා.

පහුවදාම ගෙදර තිබ්බ සඟරා ගොඩ අවුස්සන්න ගත්තෙ මම හොයන්න හිතාගත්ත දේ හම්බවෙයි කියල වැඩි විශ්වාසයක් ඇතුව නෙවෙයි. ඒත් ඒක කොහේ හරි මුල්ලකට වෙලා තියෙන්නම ඕනි කියල හිත කිව්ව. මට බාදාවකට තිබ්බෙ එකක් පස්සෙ එකක් එන කිබුහුම් පෝලිම තමයි. කොච්චර පොත් පත් කියවන්න ආස උනත් පරණ වෙච්ච පොත් වල තියෙන ‘පොත් දූවිල්ල’ මට ඇලජික්. මුකවාඩම් බැඳගෙන තමයි පරණ පොත් පත් අවුස්සන්න වෙන්නෙ. මම හෙව්වෙ සඟරාවක පළවෙලා තිබ්බ ලිපියක්. හොයලා... හොයලා... අන්තිමට ඒක හොයා ගන්න පුළුවන් උනා. මේ තියෙන්නෙ ඒ ලිපිය.

පියවරුන්ගේ සෙනෙහස මව්වරුන්ගේ සෙනෙහසට නොදෙවනි උනත් මව්වරුන් ගැන ලියවෙන තරම්ම පියවරු ගැන ලියවෙන්නෙනම් නැහැ. මේ මට ඇහැ ගැහුණ නිතරම නොකියවෙන ඒ පිය සෙනෙහස ගැන කියවිච්ච හරිම අපූරු නිර්මාණයක්.

***

උපුටා ගැනීම “සෝදිසි” සඟරාව 2001 අප්‍රේල් මංගල කලාපයෙන්.




දෙවියන් වහන්සේ තාත්තාව නිර්මාණය කිරීම ආරම්භ කළේ උස් වූ සැකිල්ලකිනි.

අසල සි‍ටි දේව දූතියක් දෙවියන් වහන්සේගෙන් මෙසේ විමසුවාය.

“මේ මොන වගේ තාත්තා කෙනෙක්ද? ඔබ වහන්සේ දරුවන්ව හුඟාක් පුංචියට නිර්මාණය කරලා තාත්තව මේ තරම් උස තැනැත්තෙක් කරන්නේ ඇයි? පියාට දණ නොගහ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න බැරි වේවි. නොනැමී දරුවන්ව වඩා ගන්න බැරි වේවි. තමන්ගේ දරුවන්ට හාද්දක් දෙන්න උනත් තාත්තාට කොච්චර අමාරු වේවිද?”

සිනාසුණු දෙවියන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

“ඔව් ඔය කියන සේරම ඇත්ත. ඒත් මම තාත්තාව කොටට නිර්මාණය කළොත් දරුවො අමාරුවෙන් ඔළුව ඉහලට ඔසවලා බලන්නෙ කා දිහාවද?”

දෙවියන් වහන්සේ තාත්තාගේ දෑත් විශාලව සහ හැඩි දැඩිව නිර්මාණය කලහ.

දේව දූතිය ඒවා ගැන සෑහීමකට පත් නොවූ සේය. ඇය මෙසේ විමසුවාය.

“ඔය විශාල අත් වලින් දරුවෙකුගේ ඇඳුමකට කටුවක් ගහන්නෙ කොහොමද? අඩුම තරමේ පෝනි ටේල් එකකට රබර් පටියක් දාන්නෙ කොහොමද?”

සිනාසුණු දෙවියන් වහන්සේ මෙසේ පැවසූහ.

“මම දන්නවා නමුත් මේ අත් දරුවට ආරක්ෂාව දෙන්න තරම් ශක්තිමත්. දරුවගෙ පිඟාන ආහාර වලින් පුරවන්න තරම් සවිමත්.”

ඊලඟට දෙවියන් වහන්සේ දිගු සිහින් දෙපා සහ පුළුල් උරහිස් නිර්මාණය කළහ.

“කෝ එතකොට තාත්තාට දරුවො නළවන්න උකුළක්?”

දේව දූතිය විමසුවාය.

“අම්මට පුළුල් උකුළක් තියනවා හැබැයි පුළුල් උරහිසක් නැහැ. තාත්තට පුළුල් උකුළක් නැතත් පුළුල් සවිමත් උරහිසක් තියනවා. පුංචි පුතාට බයිසිකල් පදින්න පුරුදු කරවන්න තාත්තට මේ උරහිස් ප්‍රයෝජනවත් වේවි. දරුවාව උරහිස් උඩ වාඩි කරවගෙන යන්න වගේම චිත්‍රපටියක් බලල ආපසු එද්දි දරුවාව නිදි කරවගෙන එන්නත් ඒ උරහිස් ප්‍රයෝජනවත් වේවි.”

දෙවියන් වහන්සේ තාත්තාගේ විශාල දෙපතුල් නිර්මාණය කරමින් සිටියහ. දේව දූතියට මෙය ඉවසිය හැක්කක් නොවීය.

“ඒක හරි නැහැ. ඔච්චර විශාල පතුල් වලින් ඇවිදින කොට අඩි සද්දෙන් උදේ පාන්දර දරුවෝ අවදි වෙලා අඬන එකක් නෑ කියලා හිතනවද? පුංචි දරුවෙකුගෙ උපන්දින උත්සවයකදි දරුවන්ගෙ කකුල් නොපාග එහෙ මෙහෙ ඇවිදින්න තාත්තට පුළුවන් වේවි කියල හිතනවද?.”

“අසුබවාදීව හිතන්න එපා. දරුවෙක් අසනීප උනාම ඉක්මනට එයාව දොස්තර කෙනෙක් ලඟට ගෙනියන්න, දරුවට ඇවිදින්න දුවන්න පුරුදු කරවන්න තාත්තට මේ විශාල දෙපතුල් හුඟක් ප්‍රයෝජනවත් වේවි.”

දෙවියන් වහන්සේ මුළු රාත්‍රිය පුරාම සිය නිර්මාණය කරගෙන ගියහ. එතුමා තාත්තාගේ මුවට ගැඹුරු හඬකුත් සීමිත වචන කිහිපයකුත් එක් කළහ. නිහඬ බව මෙන්ම සියල්ල විනිවිද දකිනා දෑසකුත් තාත්තාට ලබා දුන්හ. දෙවියන් වහන්සේ ඉතාමත්ම කලාතුරකින් වැටෙනා කඳුලක් තාත්තාගේ දෑසට එක් කළහ. ඉන්පසු එතුමා දේවදූතිය දෙස හැරුණාහ.

“අම්මට වගේම තාත්තටත් තමන්ගෙ දරුවන්ට හුඟාක් ආදරේ කරන්න බැරි වේවි කියල දැන් ඔබ හිතනවද‍?”

දේව දූතිය කිසිත් නොකියා නිහඬවම උන්නාය.

_____
පින්තූරය

Tuesday, 27 March 2012

සහතිකේකින් දැනුම මනින්න පුළුවන්ද?


මේ මං අහපු කතාවක්...


ඔන්න එක දවසක් ඉංජිනේරු ශිෂ්‍යයො කට්ටියක්ව එක මහාචාර්යවරයෙක් ‘ක්ෂේත්‍ර චාරිකාවක්’ එක්කරගෙන ගියාලුගිහිං තියෙන්නෙ ගමකටගමේ ටිකක් ඇවිදල කරල මහන්සිය පොඩ්ඩක් නිවා ගන්නයිමූණ කට ටිකක් හෝද ගන්නයි කියල කට්ටියම ගියාලු ගමේ තිබ්බ පීල්ලක් ලඟට.

ඒ පීල්ල හදල තිබ්බෙ අඩි දහයක් විතර දිග උණ බටේකිංසාමාන්‍යන් උණ බට වලින් පීල්ලක් හදනවනං කරන්නෙ ඒ උණ බටේ දෙකට පලල ඇතුලෙ පුරුක් ටික අයින් කරල පාවිච්චියට ගන්න එකනෙඒත් මෙතෙන්දි කරල තිබ්බෙ වෙනම වැඩක්මොකක් හරි ක්‍රමේකට උණ බටේ පලන්නෙ නැතුව ඇතුලෙ පුරුක් ටික අයින් කරල තමයි උණ බටේ මේ වැඩේට අරං තිබ්බෙ.

මහාචාර්ය වරය තමන්ගෙ ශිෂ්‍යයන්ගෙන් ඇහුවලු...

ඔය ළමයින්ගෙන් කාටද කියන්න පුළුවං මේ උණ බටේ පලන්නෙ නැතුව පුරුක් ටික අයින් කරන්නෙ කොහාමද කියල?”

ඒක එච්චර අමාරු නෑ සර්... කරන්න තියෙන්නෙ හයිය කම්බි කූරක් උණ බටේ එක පැත්තකින් දාල උණන පුරුක් ටික සුද්ද කරන එකනෙ...”

එක ශිෂ්‍යයෙක් උත්තර දුන්නලු.

එතකොට කොච්චර විතර දිග කම්බි කූරක් ඕකට පාවිච්චි කරන්න වෙනවද?”

උණ බටේ අඩි දහයක් විතර දිග නිසා... මං හිතන්නෙ සර් අඩි පහකට වැඩිය පොඩ්ඩක් දිගින් වැඩි කම්බි කූරක් පාවච්චි කරාම ඇති වෙයි...”

දැං එතකොට මට ඕනි උනා කියමු අඩි තිහක් දිග උණ බටයක් මේ විදිහටම හදාගන්න... එතකොට මට සිද්ද වෙනව අඩි පහළොවක් විතර දිග කම්බියක් පාවිච්චි කරන්න... එහෙම නේද?”

ඔව්...”

හොඳයි... අපි මේක හදපු කෙනෙක්ගෙන්ම අහල බලමුකො...”

එහෙම කියපු මහාචාර්යවරය ළමයි ටික ගමේ ගොවි මහත්තයෙක්ව මුණගැහෙන්න එක්කරගෙන ගියාලු.

මහාචාර්යවරය ගොවි මහත්තයට කාරණාව කියල උණ බටයක් දෙකට පලන්නෙ නැතුව ඒකෙ ඇතුලෙ තියෙන පුරුක් ටික අයින් කරන විදිහ පැහැදිලි කරල දෙන්න කියල කිව්වලු.

මෙහෙමයි මහත්තයෝ... ඔය වැඩේට ඕනි වෙනව ටිකක් විතර බර තියෙන උණ බටේ අස්සට රිංගවන්න පුළුවං තරමේ අඩියක හමාරක විතර යකඩ කෑල්ලක්... යකඩ කෑල්ල උණ බටේ එක පැත්තකිං දාලඒ පැත්ත උඩට එන විදිහට උණ බටේ කෙලිං හිටෝලඅර යකඩ කෑල්ල උණ පුරුක් ටික කඩාගෙන බටේ අනික් පැත්තෙන් මතුවෙනකං බිම අනින්නයි තියෙන්නෙ...”

***

මේ මං අහපු තවත් කතාවක්...


උඩරට දුම්රිය මාර්ගෙ හදන කාලෙ මාර්ගෙ සම්පූර්ණ කරගන්න එක ගැන ගැටළුවකට මුහුණපාන්න සිද්ද උනාලුඑක තැනකින් එහාට කෝච්චි පාර එලාගෙන යන්න බැරි තරම්ම බෑවුම ගොඩක් වැඩියිලුඉතින් මොකද කරන්නෙ කියල බ්‍රිතාන්‍ය ඉංජිනේරුවො කට්ටිය අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කර කර ඉන්නකොට එතන පොඩි ෆෝමන් තනතුරක් දරපු අපේ මනුස්සයෙක්...

සර්මේන්න මේ විදිහට අපි කෝච්චි පාර එලමු...”

කියල තමන් ඔළුවෙ ගැටගහගෙන හිටපු සුම්බරේ පෙන්නල කිව්වලු.

උඩරට දුම්රිය මාර්ගෙ දෙමෝදර ස්ටේෂම ගාව තියෙන දෙමෝදර පුඩුව (Demodara Loop) හැදුනෙ ඒ විදිහටලු.

***



මේ අපේ කන්තෝරුවෙ ලොක්කෙක් කියනව ඇහිච්ච කතාවක්...


තමුසෙල දන්න කෙහෙල්මලක් නෑ... දැනගන්නව... මම ‘ඉ - o - ජි නේ රු වෙ ක්’... ”

***



මේ මම හිතාගෙන ඉන්න විදිහ...


දැනුම කියන්නෙ පොත් පත් වල විතරක් තියෙන දෙයක් නෙවෙයිහරි විදිහට දැනුම උකහාගන්න දන්න කෙනාට පොත්පත් සහ විභාග කියන්නෙ ඒකට තියෙන එක මාධ්‍යයක් විතරයි.

සහතිකයක් කියන්නෙ උඩඟු වෙන්න තරං දේකුත් නෙවෙයි.

තවත් කෙනෙකුගෙ බුද්ධියෙ පරිණත බවට ගරු කරන්න දන්නෙ නැති කෙනා හරියට ඉගෙන ගත්තු කෙනෙකුත් නෙමෙයිනිකංම නිකං ගඩොල් බාග සයිස් පොත් කටපාඩම් කරල ඒ කටපාඩං කරපු දේ ප්‍රශ්ණ පත්‍රයකට වමාරපු කෙනෙක් විතරයි.


_____
පින්තූරය
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2b/BambooKyoto.jpg/220px-BambooKyoto.jpg

Thursday, 22 March 2012

ෆෝන් එකෙන් ගන්න මෙව්ව එක



අපි ඉස්කෝලෙ යන කාලෙ  මොබයිල් ෆෝන් එකක් තියා ගෙදරට ලෑන්ඩ් ලයින් එකක් හරි තිබ්බෙ එහෙමත් කෙනෙක්ගෙ ගෙදරක. ඉතින් එහෙම තිබ්බ එවුන්ගෙන් සමහරක් කරන එක ඔලමොට්ටල වැඩක් තමයි රෑ දෙගොඩහරි ජාමෙ වෙන කාට හරි කතා කරල ඒ මනුස්සයව ඔරොප්පු කරන එක.
  
අපේ පන්තියෙ එකෙක් දවසක් මහ රෑ දොලහට විතර ඌට හිතිච්ච නොම්බරේකට කෝල් එකක් ගත්තලු. ෆෝන් එක රිං වෙලා... රිං වෙලා... අන්තිමට විනාඩි දහයකට විතර පස්සෙ එහා පැත්තෙන් කවුදෝ අංකල් කෙනෙක් ආන්සර් කරාම මූ කිව්වලු

“මොනාද ඕයි මේ මහ රෑ ඇහැරගෙන කරන්නෙ... ගිහිං නිදා ගන්නවකො...” කියල.

ඒ අංකල් “උ-ඹෙ-...” කියල පටන් ගනිද්දිම අපේ පොර ෆෝන් එක කට් කරල.

ඊලඟ දවසෙ වැඩිපුර ලුණු ඇඹුලුත් එක්ක ඌ තමන් කරපු වීරක්‍රියාව වර්ණනා කරද්දි  අපිත් කට බලියගෙන අහං හිටිය. අපිට ඉතින් මැජික් වගේ. මේකා කරල තියෙන්නෙ එසේ මෙසේ වැඩක්යැ.
පස්සෙන් පහු කාලෙක තමන්ටම කියල ෆෝන් කට්ටක් ගත්තම තමයි ඔය වගේ ගෝත කෝල් එන එකේ ර‍ෙඟ් හරියටම තේරුම් ගියේ.

සාමාන්‍යයෙන් මේවගේ කෝල් නිසා ඇවිලෙන්නෙ ගියොත් පාඩු වෙන්නෙ අපිටමයි. ඒක නිසා මම නං මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ නැති නොම්බරේකිං මිස් - කෝල් තිබ්බට අනිත් පැත්තට කතා කරල...

“කව්ද මේ කතා කරන්නෙ... මොකක්ද උවමනාව...” කියල අහන්න යන්නෙ නෑ.

දිගින් දිගට කෝල් කරල ෆෝන් එක ඉස්සුව ගමන්ම කට් කරන කෝල් වලට කරන්නෙ ෆෝන් එක රිං වෙන්න පටන් ගන්න කොටම ආන්සර් කරල සද්ද නැතුව අහං ඉන්න එක. බිල යන්නෙ කෝල් කරන එකාගෙනෙ. මයෙ මොකෝ.

ඔය විදිහ ගොඩක් වෙලාවට සාර්තකයි. ඒත් එහෙම නොවෙන, තියෙන පොඩි ඉවසීමත් නැත්තටම නැති වෙන අවස්තාවලුත් එනව. 

මම සාමාන්‍යෙයන් රෑට නිදාගන්න කලින් ෆෝන් එක ඕෆ් කරල දානව. ඒ ඔන් කරපු ෆෝන් එක කොට්ටෙ යට තියාගෙන නිදාගන්න කැමති නැති නිසා. 

එක දවසක් රෑ යක්කු ගස් යන වෙලාවෙ ෆෝන් එක වදින්න ගත්තම තමයි මට මතක් උනේ

“අඩේ! අද ෆෝන් එක ඕෆ් කරන්න අමතක උනානෙ...” කියල.

නිදිමරගාතෙම ෆෝන් එක රිං වෙන සද්දෙ අහං ඉද්දි තමයි තේරුං ගියේ...

“යකඩො! ඒක කෑ ගහන්නෙ සාලෙ මේසයක් උඩ ඉඳල...”

“දැං ඉතිං නැගිටපංකො...“

“නෑ! එක්කො ඕන්නෑ... ඔහෙ වැදිල නවතින්නැතැයි...“ 

“මොන බූරුවද අප්පා මේ වෙලාවට කෝල් කරන්නෙ...”

නින්දයි නොනින්දයි අතරෙ මාරු වෙවී ෆෝන් එක වැදිල ඉවර වෙනකං බලාගෙන හිටිය. හිටියා... හිටියා... හිටියා... ඒත් මේ කෙහෙල්මල ඉවරයක් වෙන පාටක් නං නෑ.

“මොකක් හරි හදිස්සියකටද දන්නෑ...”

යාන්තමට වගේ ඇ‍ෙඳන් නැගිටගන්න පුළුවන් විදිහට නිදිමත ඇරුණෙ ඒ හිතිවිල්ලත් එක්ක. කළුවරේම බිත්තිය අතපත ගාල ලයිට් එකත් දාගත්තයි කියමුකො. ඇස් දෙක ඇතුලෙ බල්බ් පත්තු කරා වගේ. මෙලෝ දෙයක් පේන්නෑ. එළිය විතරයි. ඒ අස්සෙ අර ඉටිගෙඩිය යමරෙට රිං වෙනව... 

කෝ...? දොර...?

“ඩිහ්...!”


නො-ද්දකිං... උ-ළු-ව-ස්-ස...

එක අතකිං නළලෙ උළුවස්සෙ වැදිච්ච පැත්ත අල්ලගෙන, ඇස් හීන් කරගෙන, කකුළුවෙක් යනව වගේ පැත්තෙන් පැත්තට ගිහිං යාන්තං ෆෝන් එක අතට ගත්ත. ආන්සර් කරල “හෙලෝ...” කිව්ව. ම්හු... එහා පැත්තෙන් කිසි හාවක් හූවක් නෑ.

“හෙලෝ...! හෙලෝ...!! හෙලෝ...!!!” 

ෆෝන් එක කට් උනා. බැලින්නං දන්න කියන නොම්බරේකුත් නෙවෙයි. හිතට එන කේන්තියත් එක්ක නිදිමතත් ඩිංග ඩිංග දියවෙලා යද්දිම ගත්ත අර නොම්බරේට කෝල් එකක්. 

“හෙලෝ! කව්ද මේ...?” 

ඒ පාර උත්තරයක් ආව... 

“හා... නේ... කෝමද උයාට...?”

ඔන්න ඔය ටික ඇහෙද්දි තිබ්බ තරහ එක්ලක්ෂ විසිතුන්දාහකිං විතර වැඩි උනා. මොකද කෙල්ලෙක් වගේ තො‍ෙඳාලෙට කතා කරාට ෆෝන් එකෙන් ඇහුණෙ වෙනස් කරගත්ත පිරිමි කටහඬක්.
මගේ සිංහල ශබ්දකෝෂයේ තියෙන සුද්දම සුද්ද සිංහල වචන සෙට් එක මතක් කර ගන්න මට තප්පර දෙකක් යන්න ඇති.

“අයිසෙ මේ... කෑවනං බිව්වනං දෙයියනේ කියල බුදිය ගන්නව... අහක ඉන්න අපිට පවු නොදී.... 
*** ** ** ** ** ** ******* **** ********* ***** ***  ** ***** ******** ****  **** ** ****** ****** **** ** *********** ***** *********** **** ***** **  ** ***** ******* ****** ****** **** ** *********** ***** *********** **** ****** **** ** *********** ***** *********** **** ***** ** ** ****** **** ** **   **** ****** **** ** *********** ***** ******”

හැබැයි ඔය ටික අර පොර අහං හිටියද නැත්තං කලින්ම ෆෝන් එක කට් කරාද කියන්නනං දන්නෑ. මමනං හිතේ හැටියට බැනල ෆෝන් එකත් ඕෆ් කරල තමයි එදා ආයෙ නිදාගන්න ගියේ.


_____
පින්තූරය
http://www.whatsgottago.com/wp-content/uploads/2007/12/angry_phone2.jpg
Related Posts Plugin for WordPress, Blogger...