Pages

Thursday 22 March 2012

ෆෝන් එකෙන් ගන්න මෙව්ව එක



අපි ඉස්කෝලෙ යන කාලෙ  මොබයිල් ෆෝන් එකක් තියා ගෙදරට ලෑන්ඩ් ලයින් එකක් හරි තිබ්බෙ එහෙමත් කෙනෙක්ගෙ ගෙදරක. ඉතින් එහෙම තිබ්බ එවුන්ගෙන් සමහරක් කරන එක ඔලමොට්ටල වැඩක් තමයි රෑ දෙගොඩහරි ජාමෙ වෙන කාට හරි කතා කරල ඒ මනුස්සයව ඔරොප්පු කරන එක.
  
අපේ පන්තියෙ එකෙක් දවසක් මහ රෑ දොලහට විතර ඌට හිතිච්ච නොම්බරේකට කෝල් එකක් ගත්තලු. ෆෝන් එක රිං වෙලා... රිං වෙලා... අන්තිමට විනාඩි දහයකට විතර පස්සෙ එහා පැත්තෙන් කවුදෝ අංකල් කෙනෙක් ආන්සර් කරාම මූ කිව්වලු

“මොනාද ඕයි මේ මහ රෑ ඇහැරගෙන කරන්නෙ... ගිහිං නිදා ගන්නවකො...” කියල.

ඒ අංකල් “උ-ඹෙ-...” කියල පටන් ගනිද්දිම අපේ පොර ෆෝන් එක කට් කරල.

ඊලඟ දවසෙ වැඩිපුර ලුණු ඇඹුලුත් එක්ක ඌ තමන් කරපු වීරක්‍රියාව වර්ණනා කරද්දි  අපිත් කට බලියගෙන අහං හිටිය. අපිට ඉතින් මැජික් වගේ. මේකා කරල තියෙන්නෙ එසේ මෙසේ වැඩක්යැ.
පස්සෙන් පහු කාලෙක තමන්ටම කියල ෆෝන් කට්ටක් ගත්තම තමයි ඔය වගේ ගෝත කෝල් එන එකේ ර‍ෙඟ් හරියටම තේරුම් ගියේ.

සාමාන්‍යයෙන් මේවගේ කෝල් නිසා ඇවිලෙන්නෙ ගියොත් පාඩු වෙන්නෙ අපිටමයි. ඒක නිසා මම නං මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ නැති නොම්බරේකිං මිස් - කෝල් තිබ්බට අනිත් පැත්තට කතා කරල...

“කව්ද මේ කතා කරන්නෙ... මොකක්ද උවමනාව...” කියල අහන්න යන්නෙ නෑ.

දිගින් දිගට කෝල් කරල ෆෝන් එක ඉස්සුව ගමන්ම කට් කරන කෝල් වලට කරන්නෙ ෆෝන් එක රිං වෙන්න පටන් ගන්න කොටම ආන්සර් කරල සද්ද නැතුව අහං ඉන්න එක. බිල යන්නෙ කෝල් කරන එකාගෙනෙ. මයෙ මොකෝ.

ඔය විදිහ ගොඩක් වෙලාවට සාර්තකයි. ඒත් එහෙම නොවෙන, තියෙන පොඩි ඉවසීමත් නැත්තටම නැති වෙන අවස්තාවලුත් එනව. 

මම සාමාන්‍යෙයන් රෑට නිදාගන්න කලින් ෆෝන් එක ඕෆ් කරල දානව. ඒ ඔන් කරපු ෆෝන් එක කොට්ටෙ යට තියාගෙන නිදාගන්න කැමති නැති නිසා. 

එක දවසක් රෑ යක්කු ගස් යන වෙලාවෙ ෆෝන් එක වදින්න ගත්තම තමයි මට මතක් උනේ

“අඩේ! අද ෆෝන් එක ඕෆ් කරන්න අමතක උනානෙ...” කියල.

නිදිමරගාතෙම ෆෝන් එක රිං වෙන සද්දෙ අහං ඉද්දි තමයි තේරුං ගියේ...

“යකඩො! ඒක කෑ ගහන්නෙ සාලෙ මේසයක් උඩ ඉඳල...”

“දැං ඉතිං නැගිටපංකො...“

“නෑ! එක්කො ඕන්නෑ... ඔහෙ වැදිල නවතින්නැතැයි...“ 

“මොන බූරුවද අප්පා මේ වෙලාවට කෝල් කරන්නෙ...”

නින්දයි නොනින්දයි අතරෙ මාරු වෙවී ෆෝන් එක වැදිල ඉවර වෙනකං බලාගෙන හිටිය. හිටියා... හිටියා... හිටියා... ඒත් මේ කෙහෙල්මල ඉවරයක් වෙන පාටක් නං නෑ.

“මොකක් හරි හදිස්සියකටද දන්නෑ...”

යාන්තමට වගේ ඇ‍ෙඳන් නැගිටගන්න පුළුවන් විදිහට නිදිමත ඇරුණෙ ඒ හිතිවිල්ලත් එක්ක. කළුවරේම බිත්තිය අතපත ගාල ලයිට් එකත් දාගත්තයි කියමුකො. ඇස් දෙක ඇතුලෙ බල්බ් පත්තු කරා වගේ. මෙලෝ දෙයක් පේන්නෑ. එළිය විතරයි. ඒ අස්සෙ අර ඉටිගෙඩිය යමරෙට රිං වෙනව... 

කෝ...? දොර...?

“ඩිහ්...!”


නො-ද්දකිං... උ-ළු-ව-ස්-ස...

එක අතකිං නළලෙ උළුවස්සෙ වැදිච්ච පැත්ත අල්ලගෙන, ඇස් හීන් කරගෙන, කකුළුවෙක් යනව වගේ පැත්තෙන් පැත්තට ගිහිං යාන්තං ෆෝන් එක අතට ගත්ත. ආන්සර් කරල “හෙලෝ...” කිව්ව. ම්හු... එහා පැත්තෙන් කිසි හාවක් හූවක් නෑ.

“හෙලෝ...! හෙලෝ...!! හෙලෝ...!!!” 

ෆෝන් එක කට් උනා. බැලින්නං දන්න කියන නොම්බරේකුත් නෙවෙයි. හිතට එන කේන්තියත් එක්ක නිදිමතත් ඩිංග ඩිංග දියවෙලා යද්දිම ගත්ත අර නොම්බරේට කෝල් එකක්. 

“හෙලෝ! කව්ද මේ...?” 

ඒ පාර උත්තරයක් ආව... 

“හා... නේ... කෝමද උයාට...?”

ඔන්න ඔය ටික ඇහෙද්දි තිබ්බ තරහ එක්ලක්ෂ විසිතුන්දාහකිං විතර වැඩි උනා. මොකද කෙල්ලෙක් වගේ තො‍ෙඳාලෙට කතා කරාට ෆෝන් එකෙන් ඇහුණෙ වෙනස් කරගත්ත පිරිමි කටහඬක්.
මගේ සිංහල ශබ්දකෝෂයේ තියෙන සුද්දම සුද්ද සිංහල වචන සෙට් එක මතක් කර ගන්න මට තප්පර දෙකක් යන්න ඇති.

“අයිසෙ මේ... කෑවනං බිව්වනං දෙයියනේ කියල බුදිය ගන්නව... අහක ඉන්න අපිට පවු නොදී.... 
*** ** ** ** ** ** ******* **** ********* ***** ***  ** ***** ******** ****  **** ** ****** ****** **** ** *********** ***** *********** **** ***** **  ** ***** ******* ****** ****** **** ** *********** ***** *********** **** ****** **** ** *********** ***** *********** **** ***** ** ** ****** **** ** **   **** ****** **** ** *********** ***** ******”

හැබැයි ඔය ටික අර පොර අහං හිටියද නැත්තං කලින්ම ෆෝන් එක කට් කරාද කියන්නනං දන්නෑ. මමනං හිතේ හැටියට බැනල ෆෝන් එකත් ඕෆ් කරල තමයි එදා ආයෙ නිදාගන්න ගියේ.


_____
පින්තූරය
http://www.whatsgottago.com/wp-content/uploads/2007/12/angry_phone2.jpg

10 comments:

  1. ඔය රෝන්ග් නම්බර් වලින් නම් පුදුම වදයක් තියෙන්නෙ.

    ReplyDelete
  2. සහතික ඇත්ත..හිටපු ගමන් එහෙම ගොන්පාට් දෙන එවුන් ඉන්නවා..තරග ගත්තොත් අපිටමයි පාඩුව

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙලාවකට තරහ නොගෙන ඉන්නත් ලේසි නෑ

      Delete
  3. ඕක නම් ෆෝන් පාවිච්චි කරන ගොඩ දෙනෙකුට ඉඳ හිට හරි වෙන ප්‍රශ්නයක් .....

    ReplyDelete
    Replies
    1. ඔව්. කොහොමද ඒ වෙලාවට එන තරහ? කොටින්ම කිව්වොත් හරියට වචන ටික ගලපල පිළිවෙලට බැනගන්නවත් බෑනෙ...

      Delete
  4. ඔය කොම්පුටර් ඔස්තාර් පොරවල් අතේ තියනවා පොඩි සොෆ්ට්වෙය එකකක් එස් එල් ටී රිවස් ඩිරෙක්ටරි කියලා. එකෙන් පුළුවන් එස් එල් ටී ඕනෙම ෆෝන් එකකින් එන කෝල් එකක අපටපෙනෙන නම්බරේ ගැහුවම ඒ ෆෝන් එකේ ලිටාපදිංචි අයිතිකාරයාගේ නමයි සම්පූර්ණ ලිපිනයයි වටෙනහා. ඉතින් ඌට උගේ නමින්ම කතාකරලා අම්බානක හමන්නන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක ගැන හොයල බලන්න‍ම ඕනි. තැන්ක් යූ වේවා!
      හිටුකො... දෙඤ්ඤං දොඩං... :)

      Delete
  5. කාලයක් අපිටත් තිබුනා ඒ කරදරේ.අලුතෙන් ෆෝන් ගත්තු වුන්ව තමා ඒ වගේ ආතල් ගන්නේ.අපිත් ඉතින් එහෙම කළා.ඒ දුක වින්ද දරාගෙන හිටියේ කරන්න දෙයක් නැතිකමට.

    ReplyDelete
    Replies
    1. වඳුරට දැලිපිහිය අහුඋනා වගේ තමයි සමහර අයට ඉස්ඉස්සෙලම ටෙලිෆෝන් එකක් අහුඋනාමත්...

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...