Pages

Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts

Saturday, 16 August 2014

ටොයිලට් එකක් තියෙන තැනක් කියාපියෝ


ඔන්න එකෝමත් එක රාජ සබාවකදි රජ්ජුරුවො තමංගෙ ඇමති මණ්ඩලෙන් මෙන්න මෙහෙම ප්‍රශ්ණයක් ඇහුවලු.

“ඇමති වරුනි... මනුස්සයෙකුට දැනෙන සුවදායකම හැඟීම මොකක් ද?

ඉතින් ඇමතිලත් ඔය ප්‍රශ්ණෙට දහ අතේ කල්පනා කරල එක එක විදිහෙ බරපතල උත්තර දෙන අතරෙ ඇමති මණ්ඩලේ හිටපු එක කට හැකර ඇමතියෙක් රජ්ජුරුවන්ට මෙහෙම කිව්වලු...

“දේවයන් වහන්ස, මනුස්සයෙකුට දැනෙන සුවදායකම හැඟීමක් තමයි හොටම වැසිකිලි බරක් හැදිල තියෙන වෙලාවක වැසිකිලි යන්න ලැබීම.

ඇමතියගෙ කතාව අහපු රජ්ජුරුවන්ට අම්බානකට තද උනාලු. ඇයි ඉතිං තමං බරසාර උත්තරයක් බලාපොරොත්තුවෙන් අහපු ප්‍රශ්ණෙට මෙහෙම කටකැඩිච්ච උත්තරයක් හම්බඋනාම තරහ යන්නෙ නැත්තෙ මොන රජ්ජුරුවන්ටද? අනිත් අතට හොඳට දැනුං තේරුං තිබිච්ච ඇමතිල හිටිය ඒ වගේ කාලෙක?

“ඈ බොල බලුගැත්තරයො! තෝ මාව විහිළුවකට ගත්තද...? රාජපුරුෂයිනි, මේකව කුදලගෙන ගිහිං දඟගෙට දමාපියව්...”

රජ්ජුරුවො තමන්ට පැනපු මල් පොකුරම අතේ තියාගෙන දැන් කෑගහනවලු.

එන පොට හොඳනැති විත්තිය තේරිච්ච ඇමතිය රජ්ජුරුවන්ට මෙහෙම කිව්වලු...

“අනේ ගැත්තාට අනුකම්පා කරන සේක්වා දේවයන් වහන්ස. අහිතකින් කිව්වා නෙවෙයි. මං කියපු කතාවෙ ඇත්ත නැත්ත ඔප්පු කරල පෙන්නන්නං රජතුමනි... මට දවස් කීපයක් කල් දෙන්න...”

“හොඳයි... උඹට මං දවස් හතක් කල් දෙනව. හැබැයි ඒ කාලෙ ඇතුලත උඹ කිව්වෙ ඇත්තක් කියල ඔප්පු කරගන්න බැරි උනොත් මම උඹගෙ හිස ගසා දමනව...”

“හොඳමයි දේවයන් වහන්ස...” කියල කියපු ඇමතිය ඊට පස්සෙ දවස් ටිකේම රජ වාසල ඇතුලෙම කැරකි කැරකි හිටියලු. ඔහොම ඉඳලා... ඉඳලා... රජ්ජුරුවන්ට හොඳටම ‘බොගෑන් චාජර්ස්’ වෙච්ච වෙලාවක් බලල මේ ඇමතිය රජ්ජුරුවො විතරක් පාවිච්චි කරන රාජකීය වැසිකිලියට ගිහිං ඇතුලෙන් දොර අගුල් දා ගත්තලු. දැන් රජ්ජුරුවො එළියෙලු. ඇමතිය ඇතුලෙලු.

මාලිගාවෙ වෙන වැසිකිලි තිබ්බ උනත් රජ්ජුරුවන්ට එයින් එකකට යන්නත් බැරිලු. ඇයි ඉතිං රජ්ජුරුවන්ගෙ තත්වෙට හොඳ නෑනෙ. ඉතින් රජ්ජුරුවො රාජකීය වැසිකිලිය ඇතුලෙ ඉන්න ඇමතියට මෙහෙම කියනවලු.

“ඇමතියෝ... ඉක්මනට එළියට වරෙං...”

“අවසරයි රජතුමනි. අද ඔබ වහන්සෙ මට දීපු දවස් හතෙන් අන්තිම දවස. මං මේ මරණ බයටයි මේක අස්සෙ හැංගිලා ඉන්නෙ... ඔබ වහන්සෙ මට අනුකම්පා කරල අභය දානය දෙනවනං මං එළියට එන්නං...”

“හරි... හරි... මං බොට අභය දානය දෙන්නං. දැං ඉතිං ඉක්මනට එළියට වරෙං යකෝ!” කියල බැරිම තැන රජතුමා කිව්වලු.

ඔන්න ඒපාර ඇමතිය වැසිකිලියෙන් එළියට ආවලු.

කොහොමිං කොහොමිං හරි රජ්ජුරුවො රාජකීය වැසිකිලියට ගිහිං තමංගෙ බර හෑල්ලු කරගෙන එළියට ආවට පස්සෙ ඇමතිය රජ්ජුරුවන්ට කිට්ටු කරල මෙහෙම කියනවලු.

“කොහොමද සජතුමනි දැනෙන සනීපෙ... මං කිව්වෙ බොරු නෙවෙයි නේද?”

ආයෙ ඉතිං රජ්ජුරුවො වෙන මොකවත් කියන්න ගියේ නෑලු.

___


ඔය ඇවිල්ල මං කාලෙකට කලිං සඟරාවක තිබිල කියවපු කතාවක්. මට මතක තියෙන ටිකට තව ටිකක් අතිනුත් දාල තමයි ලිව්වෙනං ඉතිං. සියයට සීයක්ම නොවුනත් ඇමතිය රජ්ජුරුවන්ට කියපු කතාවෙ ඇත්තක් නැතුවා නෙවෙයි කියල මට ටක්කෙටම තේරුංගියේ මෙන්න මෙදාට පස්සෙ...


***


ඒ මං කොළඹ බෝඩිං ජීවිතේ පටං ගත්ත අළුතම වගේ. රස්සාවයි ඉගෙන ගන්න වැඩයි කලවමේ කරන්න වෙලා තිබ්බ නිසා එතකොට නිවාඩුවක් කියල එකක් නොතිබ්බ තරං. ඉතිං ගෙදර යන්න වෙන්නෙ මාසෙකට සැරයයි. එහෙමත් නැත්නං මාස දෙකකට සැරයයි. අනිත් අතට අපේ ගම තියෙන්නෙ කොළඹ ඉඳං හැම සති අන්තෙකම යන්න පුළුවං තරමට ලේසි පාසු දුරකිනුත් නෙවයි. පැය පහක්, පහමාරක් බස් එකේම යන්න ඕනි.

මට මතක විදිහට ඒ සති අන්තයත් එක්ක තව නිවාඩු දවස් දෙකක් විතර එකතු වෙලා ලැබිච්ච දවස් හතරක විතර දිග නිවාඩුවක පළවෙනි දවස. වෙනදට උදේ හයට ඇහැරෙන්නත් ෆෝන් එකේ රිකරන්ට් එලාම් තියන්න ඕනි උනාට ඔය වගේ දවසට උදේ තුනට තියන එලාම් එක එක පාරක් වදිද්දිම ඇහැරෙනව.

බෝඩිං ජීවිතේ නිසා මං පුරුදු වෙච්ච එක පුරුද්දක් තමයි උදේ පාන්දරට වතුර කල්දේරමක් විතර බොන එක. පාන්දර තේකක් කියල එකක් බොන්ඩ වෙන්නෙත් නැති නිසා වැඩට ගිහිං උදේට කනකං බඩ පණුවො ටික ‘උද්ගෝසනේ’ කරන එක නවත්තගන්න එහෙම වතුර බොන එක හරි ප්‍රයෝජනයි.

ඉතින් වෙනද වගේම ඉස්සරවෙලාම බඩ පිරෙන්න වතුර එකක් එහෙම බීල, මේ මහ පාන්දර නින්දට බාදා වෙච්ච රූම නින්දයි නොනින්දයි අතරෙ ඉඳගෙන “හුචුස්! හුචුස්!!” ගාද්දිම ලකලෑස්ති වෙලා බෝඩිම ඉස්සරහ පාරෙ තියෙන පහන් කණුවෙ එළියෙන් යාන්තං පාර හොයාගෙන මහ පාරට ගොඩ උනා.

බස් හෝල්ට් එකේ පැය බාගයක් විතර තැප්පට පස්සෙ ගම්පලාත දිහාට යන බස් එකක් ආවයි කියමුකො. නිවාඩු දවසක් නිසා මෙච්චර උදේ වෙලත් බස් එකේ සෙනග. දැන් ඉතිං පැය පහක් හිටගෙනම පලයංකො... කමන්නෑ ඉතිං යන්නෙ ගෙදරනෙ කියල හිත හදාගත්ත මම දැං බස් එකේ හිටගෙන එහාටයි මෙහාටයි පැද්දි පැද්දි යනව.

පැයක් ගියා, පැය දෙකක් ගියා, ඔන්න පැය දෙකහමාර කිට්ටු වෙනකොට මුත්‍රාශයෙන් මොළේට පණිවිඩයක් එනව “ෆුල් ටෑන්ක්!” කියල. අද වගේ දවසක අච්චර වතුර කන්දරාවක් බීපු එක මොන තරං ගොං කමක්ද? බොහොම අමාරුවෙන් තව තව පැය බාගයක් විතර ඉවසගෙන හිටිය. ඊට වැඩියනං ඉන්නම බැරි ගානයි. නහයෙ අග්ගිස්ස සීතල වෙලා, මූණෙ ඉඳිකටු අනින්නා වගේ දැනිල, අත්වල හිරිගඩු පිපිල, කන් දෙකට දාඩිය දාගෙන එනව.

පොතේ හැටියට දැං තේ බොන්ඩ බස් එක කොහේ හරි නවත්තන්න ඕනි. එතකං තව ටිකාක් ඉවසගෙන ඉන්න මම තීරණේ කරා. ඔය පාරෙ ඒ දවස් වල දුර ගමං බස් නවත්තන කඩ තිබ්බෙ දෙකයි නැත්තං තුනයි. ඒවගෙනුත් එක තැනක තිබ්බ ටොයිලට් එක දෙවනි වෙන්න ඕනි නරකාදියට විතරමයි කියල මට හොඳටම ෂුවර්. ඒත් මේ වෙලාවෙ හැටියට ඒක උනත් සුරපුරක් ගානටයි මට දැනිල තිබ්බෙ.

ඒත් බස් එක නවත්තන පටක් පේන්න නැහැ. බැරිම තැන ඔන්න ඔය ඕනි මංගල්ලයක් වෙච්චාවෙ කියල මං බස් එකෙං බහින්න තීරණේ කරා.

ඉස්සරහ දොර ගාවට ගිහිං “මම ඔතන ඉස්සරහිං බහිනව” කියල ඩ්‍රයිවර් මහත්තයට කිව්ව.

උන්දැ නිකං පිස්සෙක් දිහා බලන්න වගේ මං දිහා බැලුව. මොකද ඉන්ටසිටි බස් එහෙම හැමතැනම නවත්තන්නෙ නෑනෙ. ඊට පස්සෙ උන්දැ පාරදිහා බලාගෙන තව වංගුවක් කෙලිං කරා. ම්හු... නවත්තන පාටක් නෑ වගේ.

ඇත්තම කියන්න මං ඒ වෙලාවෙ හිටියෙත් පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ තමයි. නවත්ත ගන්න බැරි බස් එකකටයි, නවත්ත ගන්න බැරි චූ බරකටයි එකපාර මැදි උනාම මනුස්සයෙක් කොච්චරනං අසරණ වෙනවද?

“අනේ මට බහින්න ඕනි. බස් එක පොඩ්ඩක් ස්ලෝ කරන්නකෝ...” ඒ පාර මං වැන්දෙ නැති ටික විතරයි.

ඩ්‍රයිවර් ඇහෙන නෑහෙන ගානට කුණුහරුපයක් කියන ගමංම මට බිමට පැනගන්න පුළුවං වෙන තරමට බස් එක ස්ලෝ කරා. මියෙම්වා රැකෙම්වා කියල මාත් බිමට පැන්න. තව පොඩ්ඩෙං පාත් ෆයින්ඩර් යානාව අඟහරු පෘෂ්ඨයට ගොඩ බෑව වගේ වෙනව. කොහොම හරි එහෙම නොවී යන්තං පාරට ගොඩබාපු මම වට පිට බැලුව.

කාණුවක් නං තියෙනවා... ඒ උනාට මේ බස් එකක් එනකං ඉන්න කට්ටිය රොත්තක්ම පාර අයිනෙ ඉන්නවනෙ.

ඒ වෙද්දි උදේ හයට විතර ඇති. එළිය වැටීගෙන එන වෙලාව. කාණුව ප්‍රයෝජනේට ගන්න එක දෙවෙනි විකල්පෙ විදිහට තියාගෙන වෙන විකල්පයක් තියෙනවද කියල බලන්න මං තප්පර කීපයක් වැය කරා. කොහොමත් දැං හැම තප්පරේම දැනෙන්නෙ පැයක් විතර දිගට. ඔන්න මට පේනව පාරෙන් එහා පැත්තෙ පොඩි ගෙදරක්. ගෙදර ඉස්සරහ දොර ඇරල නැතත් ජනේලෙ වීදුරුවෙන් සාලෙ පත්තුවෙන ටියුබ් ලයිට් එකේ එළිය පේනව. ඒ කියන්නෙ ගෙදර කවුරු හරි ඇහැරල ඉන්න ඕනි. ඉක්මනට පාර මාරුවිච්ච මං ඒ වේගෙන්ම පාරෙ ඉඳන් මිදුලට තිබ්බ පඩි ටිකත් බැහැගෙන ගිහිං දොරට තට්ටු කරා. වෙලාවට ගෙදර බල්ලො හිටියෙ නෑ. මට කල්පයක් වගේ දැනිච්ච ටික වෙලාවකිං අංකල් කෙනෙක් දොර ඇරිය.

“අනේ අංකල්. උදේ පාන්දරම කරදර කරාට මුකුත් හිතන්න එපා. මට ඔයගොල්ලන්ගෙ ටොයිලට් එක ටිකකට පාවිච්චි කරන්න පුළුවන්ද?”

“ආඃ... ඔහොම ඔතනින් පහලට බැස්සම දකුණු පැත්තෙ...”

“හරි...”

මම අඩියට දෙකට ගිහිං නැවතුනේ ටොයිලට් එකේ.


හප්පේ... එහෙමත් ස-නී-ප-ය-ක්...



මම ඒගොල්ලන්ට නොසෑහෙන්න ස්තූති කරල, ආයෙත් පාරට ආව. බස් එකක් අල්ලගෙන ලඟම ටවුන් එකට ගිහින් එතනින් තව බස් එකක් අල්ලගෙන ගෙදර ගියා.

ඊට පස්සෙ ඉඳල තමයි මං මගේ දුර ගමන් ප්ලෑන් කරල යන්න පුරුදු උනේ. ඒකෙ අනිවාර්ය අංගයක් තමයි තව තව අවශේෂ කාරණාත් එක්ක යන පාරෙ තියෙන පොදු වැසිකිලි තියෙන්නෙ කොහෙද කියල ටිකක් හරි හොයල බලන එක.

කොහොම උනත් ඒක අමතක නොවන අත්දැකීමක්. අදටත් ඒ අංකල්ලගෙ ගෙදර ඉස්සරහින් බස් එකේ යද්දි ඒගොල්ලො කරපු ඒ උදව්වට මම හිතින් පිං දෙනව.



_____
පින්තූරය

Tuesday, 5 August 2014

කතා ටිකක් (ඇපෙන් බේරීම සඳහා)


තේරීම් මේසය වෙත රැගෙන යමින් තිබූ ලියුම් මිටියක් සේවකයාගේ අතින් ගිලිහී සැනෙකින් පොළොව මත විසිරී ගියේය. ඒවා නැවත එකතු කර ගැනීමට තරම් කාලයක් සේවකයාට ලැබුණේ නැත, තැපැල් ස්ථානාධිපති එතැනට පැමිණියේය.

“ඇයි මේ ලියුම් බිම” ඔහු ගොරෝසු හඩින් විමසා සිටියේය.

කීමට කිසිවක් සිතාගත නොහී මදක් විපිළිසර වූ සේවකයාගේ හිතට හදිසියේම පිළිතුරක් නැංගේය.

“ගුරුත්වාකර්ෂණය නිසා, සර්”


***


“නැගිටින්න, නැගිටින්න” යි රහසින් කියමින් බිරිද රෑ මැදියමේ සැමියා අවදි කළාය.

“ඇයි මොකද?” සැමියා නිදිමත ඇස් පොඩි කරමින් විමසා සිටියේය.

“ෂ්... සද්ද කරන්න එපා, කුස්සියෙන් අඩි සද්දයක් ඇහුණා, හිමිහිට ගිහින් බලන්න”

අසල තිබූ කිතුල් පොල්ලද ගත් ඔහු යුතුකම් දත් සැමියෙකුගේ අභිමානයෙන් යුතුව කුස්සිය පරීක්ෂාවට යාමට සැරසුණි.

“අනේ එනකොට වතුර එකක් අරන් එන්න, තිබහ නිසා නින්ද යන්නෙ නෑ” බිරිද නැවතත් මුමුණා කීවාය.


***


ඉතා හොදින් වැඩුණු ජවසම්පන්න සිංහායෙකු හට වදුරෙකු මුණ ගැසිණි. වදුරා අල්ලාගත් සිංහයා “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” යි උගෙන් විමසා සිටියේය. 

“ඒ ඔබයි... සිංහ රාළහාමි” මරබියට පත් වදුරා යටහත් පහත්ව පිළිතුරු දුන්නේය. සිංහයා ඌට යන්නට හැරියේය.

දෙවනුව සිංහයාට මුණ ගැහුණේ මුව නාම්බෙකි. ඌවද බිම පෙරළාගත් සිංහයා “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” යි විමසා සිටියේය. බියෙන් සලිතව ගිය මුව නාම්බා “ඒ ඔබයි... සිංහ රාළහාමි” යි කීවේය. සිංහයා ඌටද යන්නට හැරියේය.

ඊලගට සිංහයාට මුණගැසුණේ ඇතෙකි. “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” සිංහයා ඇතාගෙන්ද ඇසුවේය. කිසිවක් නොකී ඇතා සිංහයාව හොඩින් ගෙන ඈතට විසිකර දැමීය. අඩි පණහක් පමණ ඈතින් බිම පතිත වූ සිංහයා දණි පණි ගා නැගිටගෙන ඈත සිටම කෑගැසීය.

“හරි හරි උත්තරේ දන්නෙ නෑ කිව්වනං ඉවරයිනෙ ආයිබෝං...”


***


තැපැල් කන්තෝරුවේ අවුරුදු තිහක් සේවය කල සිරිපාල විශ්‍රාම ගන්නා දිනය උදා විය. මේසා දීර්ඝ කාලයක් සේවය කල මේ සේවකයාගේ සමුගැනීම උදෙසා උත්සවයක් පැවති අතර එහිදී ප්‍රධනියා ඔහුගෙන් මෙසේ විමසීය

“හොදයි සිරිපාල, ඉතින් අපෙන් මොනා හරි විශේෂයක් කෙරෙන්න තියෙනවද? කියන්න... කියන්න...”

“අනේ සර් මගේ චෙක් එක මං ඇවිල්ල ගන්නම්. තැපෑලට නම් දාන්න එපා”


***


අධි තාත්විකවාදී චිත්‍ර ශිල්පියෙක් හා සූපශාස්ත්‍රවේදිනියක් අතිනත ගත්හ. ඒ මංගල්‍යෙයන් නොබෝ කලකට පසු සූපශාස්ත්‍රවේදිනිය හමු වූ මිතුරියක් විවාහ ජීවිතය ගැන විමසා සිටියාය.

“කොහොමද අනේ අළුත් ජීවිතේ. කොහොමද දැන් කලදවස ගෙවෙන්නෙ?”

“වරදක් නෑ අනේ අපි හොදින් ඉන්නවා. එයා චිත්‍ර අදිනව. මං උයනව පිහනව.”

“එච්චරද අනේ... චිත්‍ර නොඅදින උයන්නේ පිහන්නේ නැති වෙලාවට මොකද කරන්නේ මෙයා”

“ආ... ඒ වෙලාවටද? ඒ වෙලාවට අපි එයා ඇදල තියෙන්නෙ මොනවද, මං උයල තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න සාකච්ඡා කරනව.”


***


ධාවන පථය ඔස්සේ ගුවන්ගතවීම පිණිස ධාවනය වූ මගී ගුවන් යානය අතරමගදී නවතා නැවත ආරම්භක ස්ථානයට ගෙන එනු ලැබිණි. එය ගුවන්ගත කරනු ලැබූයේ පැයක් පමණ එසේ පමා වීමෙන් පසුවය.

විමසිලිමත් මගියෙකු එසේ පමා වූයේ කුමක් නිසාදැයි ගුවන් සේවිකාවකගෙන් විමසා සිටියේය.

“ගුවන් නියමුවාට එන්ජිමේ අමුතු ශබ්දයක් ඇහිල තියෙනවා...” ගුවන් සේවිකාව කියා සිටියාය. 

“වෙන ගුවන් නියමුවෙක් හොයාගන්න වුණු නිසයි මෙච්චර පමා වුණේ.”


***


මිතුරන් තිදෙනෙක් විනෝදයට මාළු බාමින් සිටියහ. හදිසියේම එකෙකු හට හසු වූයේ දිය කිදුරියකි. තමාව නිදහස් කර හරින්නේනම් තිදෙනාටම එක් වරය බැගින් දෙන්නම් යැයි කිදුරිය කියා සිටියාය.

“හොදයි! එක් මිතුරෙක් කීය. එහෙනම් මගේ බුද්ධිය දෙගුණ කරන්න.”

“ලැබේවා” යි කිදුරිය කී පමණින් අති ගැඹුරු දාර්ශණික මතවාද පවා පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ඔහුට ලැබිණි.

මිතුරාගේ පරිවර්තනයෙන් විශ්මයට පත් දෙවැන්නා “මගේ බුද්ධිය තෙගුණ කරන්න” යි ඉල්ලා සිටියේය.

“ලැබේවා” කිදුරිය කීය. ඔහුට අයින්ස්ටයින් ආදී මහා ගණිතඥයින් ඉදිරිපත්කල සංකීර්ණ ගණිත ගැටළු විසදීම කජු කන්නා සේ පහසු විය.

මිතුරන් ලත් හැකියාවන්ගෙන් උද්යෝගීමත් වූ තෙවැන්නා “මගේ බුද්ධිය හතර ගුණයකින් වැඩි කරන්න” යි ඉල්ලා සිටියේය.

“ඒක භයානකයි” කිදුරිය කීවාය. “ඒක අති විශාල වැඩි වීමක්. එයින් මේ ලෝක ධාතුව පිළිබඳව ඔබේ අවබෝධය, දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවනි.”

“ඒ ගැන වද වෙන්න එපා. මගේ බුද්ධිය හතර ගුණයක් කරන්න.” තෙවැන්නා නැවත ඉල්ලා සිටියේය.

“ලැබේවා” යි කිදුරිය කීවාය.

එසැනින් ඔහු ගැහැණියක් බවට පත් විය.


___

උපුටා ගැනීම සිව්දෙස සඟරා වලිනි


_____
පින්තූරය

Tuesday, 27 March 2012

සහතිකේකින් දැනුම මනින්න පුළුවන්ද?


මේ මං අහපු කතාවක්...


ඔන්න එක දවසක් ඉංජිනේරු ශිෂ්‍යයො කට්ටියක්ව එක මහාචාර්යවරයෙක් ‘ක්ෂේත්‍ර චාරිකාවක්’ එක්කරගෙන ගියාලුගිහිං තියෙන්නෙ ගමකටගමේ ටිකක් ඇවිදල කරල මහන්සිය පොඩ්ඩක් නිවා ගන්නයිමූණ කට ටිකක් හෝද ගන්නයි කියල කට්ටියම ගියාලු ගමේ තිබ්බ පීල්ලක් ලඟට.

ඒ පීල්ල හදල තිබ්බෙ අඩි දහයක් විතර දිග උණ බටේකිංසාමාන්‍යන් උණ බට වලින් පීල්ලක් හදනවනං කරන්නෙ ඒ උණ බටේ දෙකට පලල ඇතුලෙ පුරුක් ටික අයින් කරල පාවිච්චියට ගන්න එකනෙඒත් මෙතෙන්දි කරල තිබ්බෙ වෙනම වැඩක්මොකක් හරි ක්‍රමේකට උණ බටේ පලන්නෙ නැතුව ඇතුලෙ පුරුක් ටික අයින් කරල තමයි උණ බටේ මේ වැඩේට අරං තිබ්බෙ.

මහාචාර්ය වරය තමන්ගෙ ශිෂ්‍යයන්ගෙන් ඇහුවලු...

ඔය ළමයින්ගෙන් කාටද කියන්න පුළුවං මේ උණ බටේ පලන්නෙ නැතුව පුරුක් ටික අයින් කරන්නෙ කොහාමද කියල?”

ඒක එච්චර අමාරු නෑ සර්... කරන්න තියෙන්නෙ හයිය කම්බි කූරක් උණ බටේ එක පැත්තකින් දාල උණන පුරුක් ටික සුද්ද කරන එකනෙ...”

එක ශිෂ්‍යයෙක් උත්තර දුන්නලු.

එතකොට කොච්චර විතර දිග කම්බි කූරක් ඕකට පාවිච්චි කරන්න වෙනවද?”

උණ බටේ අඩි දහයක් විතර දිග නිසා... මං හිතන්නෙ සර් අඩි පහකට වැඩිය පොඩ්ඩක් දිගින් වැඩි කම්බි කූරක් පාවච්චි කරාම ඇති වෙයි...”

දැං එතකොට මට ඕනි උනා කියමු අඩි තිහක් දිග උණ බටයක් මේ විදිහටම හදාගන්න... එතකොට මට සිද්ද වෙනව අඩි පහළොවක් විතර දිග කම්බියක් පාවිච්චි කරන්න... එහෙම නේද?”

ඔව්...”

හොඳයි... අපි මේක හදපු කෙනෙක්ගෙන්ම අහල බලමුකො...”

එහෙම කියපු මහාචාර්යවරය ළමයි ටික ගමේ ගොවි මහත්තයෙක්ව මුණගැහෙන්න එක්කරගෙන ගියාලු.

මහාචාර්යවරය ගොවි මහත්තයට කාරණාව කියල උණ බටයක් දෙකට පලන්නෙ නැතුව ඒකෙ ඇතුලෙ තියෙන පුරුක් ටික අයින් කරන විදිහ පැහැදිලි කරල දෙන්න කියල කිව්වලු.

මෙහෙමයි මහත්තයෝ... ඔය වැඩේට ඕනි වෙනව ටිකක් විතර බර තියෙන උණ බටේ අස්සට රිංගවන්න පුළුවං තරමේ අඩියක හමාරක විතර යකඩ කෑල්ලක්... යකඩ කෑල්ල උණ බටේ එක පැත්තකිං දාලඒ පැත්ත උඩට එන විදිහට උණ බටේ කෙලිං හිටෝලඅර යකඩ කෑල්ල උණ පුරුක් ටික කඩාගෙන බටේ අනික් පැත්තෙන් මතුවෙනකං බිම අනින්නයි තියෙන්නෙ...”

***

මේ මං අහපු තවත් කතාවක්...


උඩරට දුම්රිය මාර්ගෙ හදන කාලෙ මාර්ගෙ සම්පූර්ණ කරගන්න එක ගැන ගැටළුවකට මුහුණපාන්න සිද්ද උනාලුඑක තැනකින් එහාට කෝච්චි පාර එලාගෙන යන්න බැරි තරම්ම බෑවුම ගොඩක් වැඩියිලුඉතින් මොකද කරන්නෙ කියල බ්‍රිතාන්‍ය ඉංජිනේරුවො කට්ටිය අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කර කර ඉන්නකොට එතන පොඩි ෆෝමන් තනතුරක් දරපු අපේ මනුස්සයෙක්...

සර්මේන්න මේ විදිහට අපි කෝච්චි පාර එලමු...”

කියල තමන් ඔළුවෙ ගැටගහගෙන හිටපු සුම්බරේ පෙන්නල කිව්වලු.

උඩරට දුම්රිය මාර්ගෙ දෙමෝදර ස්ටේෂම ගාව තියෙන දෙමෝදර පුඩුව (Demodara Loop) හැදුනෙ ඒ විදිහටලු.

***



මේ අපේ කන්තෝරුවෙ ලොක්කෙක් කියනව ඇහිච්ච කතාවක්...


තමුසෙල දන්න කෙහෙල්මලක් නෑ... දැනගන්නව... මම ‘ඉ - o - ජි නේ රු වෙ ක්’... ”

***



මේ මම හිතාගෙන ඉන්න විදිහ...


දැනුම කියන්නෙ පොත් පත් වල විතරක් තියෙන දෙයක් නෙවෙයිහරි විදිහට දැනුම උකහාගන්න දන්න කෙනාට පොත්පත් සහ විභාග කියන්නෙ ඒකට තියෙන එක මාධ්‍යයක් විතරයි.

සහතිකයක් කියන්නෙ උඩඟු වෙන්න තරං දේකුත් නෙවෙයි.

තවත් කෙනෙකුගෙ බුද්ධියෙ පරිණත බවට ගරු කරන්න දන්නෙ නැති කෙනා හරියට ඉගෙන ගත්තු කෙනෙකුත් නෙමෙයිනිකංම නිකං ගඩොල් බාග සයිස් පොත් කටපාඩම් කරල ඒ කටපාඩං කරපු දේ ප්‍රශ්ණ පත්‍රයකට වමාරපු කෙනෙක් විතරයි.


_____
පින්තූරය
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2b/BambooKyoto.jpg/220px-BambooKyoto.jpg
Related Posts Plugin for WordPress, Blogger...