Pages

Sunday 2 October 2011

කැන්ටින් ලොතරැයි




අපේ කන්තෝරුව ලොකු සේවක ගහනයක් ඉන්න තැනක්. ඒ නිසා විය යුතු විධියටම කන්තෝරුවේ කැන්ටිමත් සැලකිය යුතු තරම් විශාලයි. බොහොම කැපවීමෙන් වැඩ කරන ආපන ශාලා සේවක මණ්ඩලයකගෙ කාර්යක්ෂම සේවය නිසා කන්තෝරුවේ සේවකයො වෙච්චි අපිට දවසේ තුන් වේලටම කැන්ටිමේ ප්‍රණීත භෝජනයන්ගෙන් සංග්‍රහ ලැබෙනව.

කැන්ටින් ගැන කතා කරන්න ගියාම ගොඩක් අය කියන්නෙ “ඒ ගැනනං කියල වැඩක් නෑ” කියල. ඒ උනාට අපේ කැන්ටිමෙන් කෑවමනං කියන්න ගොඩක් ජාති මතක් වෙනවා.

රස ගුණ කෙසේ වෙතත් කඩ කෑම වල වියදම සැරයිනෙ. ඒ අතින් බලද්දි පිට කඩවල් වලින් කෑම කද්දි යන වියදමින් බාගෙකට කැන්ටිමෙන් වේලක් කන්න පුළුවන් වීම පොකට් එකට ලොකු හයියක්.

කන්තෝරුවේ කැන්ටිමේ කෑම වල පිරිසිදුකම සහ ගුණාත්මක භාවය ගැන කැන්ටින් පරිපාලනය හොඳ අවධානයකින් තමයි ඉන්නෙ. පිරිසිදුකමේ හොඳම අංගයක් තමයිනෙ ආහාර ද්‍රව්‍ය උයන්න කලින් හොඳට සේදීම. ඒ උනාට වැඩිපුර හේදුවොත් ගුණාත්මක භාවය අඩු වෙනව. ඉතින් ඕක හරි ප්‍රශ්ණයක්. ඔය ප්‍රශ්ණෙට අපේ කැන්ටිමේ අය හොඳ විසඳුමක් හොයාගෙන තියෙනවා.

හෝදද්දි ගුණාත්මක භාවය තියා ගන්න ඕනි හාල්, පරිප්පු වගේ දේවල් අවශ්‍ය ප්‍රමාණයට වඩා එක ඩිංගක් වැඩිය හෝදන්නෙ නෑ. එහෙම උයන බතෙන් හපුටු ගඳක් ආවත්, පරිප්පුවෙන් මඩ රහක් ආවත් කෑම වල ගුණාත්මක භාවය රැකිලනෙ තියෙන්නෙ කියල හිතල කන අයට හිත හදා ගන්න පුළුවන්.

ඒ වගේම අමුවෙන් සම්බෝල හදල කෑමට ගන්න “පොල්” වගේ දෙවල් එකපාරක් නෙමෙයි දෙපාරක්ම හොඳට හෝදනව. මං හිතන්නෙ මම කාල තියෙන පිරිසිදුම පොල් සම්බෝල කාල තියෙන්නෙ අපේ කන්තෝරුවේ කැන්ටිමෙන්.

වැඩ කරන අයගෙ සෞඛ්‍ය තත්වය ගැනත් අපේ කැන්ටිම හරියට කරදර වෙනව. ලුණු, පොල්කිරි, තෙල් වගේම මිරිස් වැඩිපුර ආහාරයට ගැනීම ශරීරයට හිතකර නැහැ කියනවනෙ. ඉතින් කැන්ටිමේ කෑම එක ලුණු, මිරිස් සහ තෙල් අඩු කරල දිය කිරෙන් උයල තමයි දෙන්නෙ. දෙල් කාලෙට දෙල්, ඇඹරැල්ල කාලෙට ඇඹරැල්ල, අඹ කාලෙට අඹ අමතක නොකර කොහෙන් හරි ගෙනල්ල දෙන්න පුදුමාකාර කැපවීමක් තමයි මේ අය කරන්නෙ.



කන්තෝරුවේ කැන්ටිමේ මං කැමතිම අංගය මේ මොකවත් නෙමෙයි. ඒ තමයි “කැන්ටින් ලොතරැයි”. ඔය ලොකු ලොකු කොම්පැනි තමන්ගෙ නිෂ්පාදන වලට හොඳ ප්‍රචාරයක් ලබා දෙන්න එක එක විධියෙ ලොතරැයි සහ තෑගි තරඟ පවත්වනවනෙ. ඒ වගේ දෙයක් අපේ කැන්ටිමෙනුත් කරනව. මේ වැඩේ කොච්චර හොඳට ඕගනයිස් කරල තියෙනවද කියනවනං කැන්ටින් ලොතරැයියක් ඇදෙනකං ඒ වගේ ලොතරැයියක් තියෙනව කියලවත් කවුරුත් දන්නෙ නෑ.

ඉස්සෙල්ලම තියෙනව “කඩල ලොතරැයිය”. මේකෙදි කරන්න ඕනි තමන් සල්ලි දීල ගන්න තම්බපු කඩල පිඟානෙ හංගල තියෙන හොඳට තම්බපු කැරපොතු බිත්තරයක් හොයා ගන්න එක. මේ ලොතරැයිය දිනන එක එච්චර ලේසි නෑ. මොකද නොදැනුවත්වම ඔය කැරපොතු බිත්තරේ කැවෙන්න ඉඩ තියෙන නිසා. ඒක නිසා කඩල පිඟාන අරගෙන කඩල ඇට හොඳට ඒ මේ අත පෙරළල බලන්න ඕනි. වාසනාවට එහෙම කැරපොතු බිත්තරයක් හම්බඋනා කියමු. දැන් ඊලඟ පියවර තමයි තමන්ට හම්බඋනේ කැරපොතු බිත්තරයක්මයි කියල කැන්ටින් පරිපාලනේ කෙනෙකුට ඒත්තු ගන්වන එක. ඒකට ටිකක් විතර තරහ ගියා වගේ රඟපාන්න ඕනි. අර මනුස්සයගෙ අහිංසක මූණ බලාගෙන එහෙම කරන්න අමාරු උනත් ලොතරැයිය දිනා ගන්න එක ගැන හිතල හරි එහෙම කරන්න වෙනව. මෙහෙම කරල ලොතරැයිය දිනා ගන්න වාසනාවන්තයට කැන්ටිමෙන් නොමිලේ ලබා දෙන ආහාර වේලක් රස විඳීමේ දුර්ලභ භාග්‍ය උදා වෙනව.

තව තියෙනව “තිත්ත බතල තරඟය”. මේකෙදි කරන්න තියෙන්නෙ විකුණන්න තියෙන බතල පිඟන් අතරින් තිත්ත රස තියෙන බතල පිඟාන හොයා ගන්න එක. ඉස්සෙල්ලම හොඳට කල්පනා කරල බලල බතල පිඟානක් සල්ලි දීල ගන්න ඕනි. ඊලඟට කරන්න තියෙන්නෙ නිවී හැනහිල්ලෙ වාඩිවෙලා බතල කෑල්ලෙන් කෑල්ල කන එකයි. එක පාරටම කට කාරගෙන යන තිත්ත රසක් දැනිච්ච ගමන් (ඒ කියන්නෙ ලොතරැයිය ඇදුන තමයි කියල) කටේ තියෙන බතල කෑල්ල ගිලින්නෙ නැතිව ඉක්මනට පිඟානට දාල ඒක පරිස්සමට පොඩි කරල බලන්න ඕනි. එතකොට බතල තිත්ත රස කරන්න යොදාගත්ත සුදු පාට වෙන්න තැම්බිච්ච පණුවො දැක ගන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නෙ ඒක කැන්ටිම බාරව වැඩ කරන කාට හරි පෙන්නලා තමන්ට ලැබෙන තෑගි ලබා ගන්න එකයි.

මීට අමතරව “මේ වල් ගහ අඳුනනවද?”, අමුතු සුදු ළූණු” වගේ තව ලොතරැයි වර්ග බොහෝමයක් තියෙනවා. අපරාදෙ කියන්න බෑ. අපේම වාසනාව!

මේ ලඟකදි කැන්ටිමේ ලොතරැයි වැඩපිළිවෙල ගැන දැනගත්ත පි. එච්. අයි. මහත්තුරු කට්ටියක් ඇවිල්ල මේ දේවල් නරඹල කැන්ටිමට බොහොම ප්‍රශංසා කරල ගිහින් තිබ්බලු. මේ වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න කියලත්, තව දුරටත් කරන සහ‍යෝගයක් විධියට තෑගි-බෝග එහෙමත් අරගෙන තව ටික දවසකින් ආයෙත් ඇවිල්ල යන්නං කියලත් කන්තෝරුවේ ලොකු මහත්තයටම පී. එච්. අයි. මහත්තුරු කියලලු ගියෙ. ලොකු මහත්තයට ඇති වෙච්ච සංතෝසෙට කියා ගන්න වචනත් නැතුව ගිහින්. ඉහේ මලක් පිපුණ වගේලු. ඒ පාර කැන්ටිමේ පාලක සබාව කාරිය රැස් කරල ලොකු මහත්තය විසින් වෙනමම ඉතාමත්ම කන්කළු, මනබන්ධනීය ස්තූති කතාවක් කලා කියල තමයි ආරන්චිය.

_____
පින්තූර
http://www.cemkolaghat.org/userfile/Canteen.jpg
http://www.signsuperstore.com.au/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/4/6/4667-canteen.jpg

2 comments:

  1. පිරිසිදු පොල්සම්බල් දෙපාරක් විතර හොදලද දෙන්නේ?.එල කතාව

    ReplyDelete
  2. @අසරණයා
    ආයෙත් අහල. ඒව කෑවම හීනි බඩේ අමාරුවක් මිස ලොකු ලෙඩක්නං හැදෙන එකක් නෑ. එච්චරටම පිරිසිදුයි.

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...