Pages

Sunday, 31 March 2013

සමබර වීම



මේ ජාතියෙ සෙල්ලම් බඩු ඔයගොල්ලො දැකල ඇතිනෙ...

ඒ දවස්වල මාව පුදුම කරවපු දේවල් වලින් එකක් තමයි ඔය. කොයි පැත්තට හැරෙව්ව උනත් මේව අන්තිමට මුල් පිහිටීමටම ඇවිල්ල හෙමීට නවතින්නෙ හරියට එක්තරා ආකාරයක මායා බලයකින් ඒ දේ සිද්ධ වෙනව වගේ.

මේ සෙල්ලම් බඩුවලට මෙහෙම සුවිශේෂී සමබරතාවයක් ඇවිල්ල තියෙන්නෙ ඒකෙ සම්පූර්ණ බරම තනි ලක්ෂ්‍යයකට එක්තැන් වෙන විදිහට හදල තියෙන නිසා. එතකොට වෙන්නෙ වස්තුව සමබරව තියන්න පුළුවන් පිහිටීම් එකක් විතරක් ඇතිවෙන එක. ඒකයි ඒක කොහොම කරත් එකම පිහිටීමකට ඇවිල්ල සමබර වෙන්නෙ.

සමබරතාවය කියන එක හැම දේටම බලපාන වැදගත් සංසිද්ධියක්. බලාගෙන ගියාම ඒක නැති තැනක් නෑ. පොඩ්ඩක් වටපිට බැලුවනං ඕනි තරං උදාහරණ හොයාගන්න තිබ්බ.

අව්ව, වැස්ස ඇතිවෙන එකේ ඉඳන් හොද්දකට හරි ගානට ලුණු දාන එක වෙනකම්ම සමබරතාවය පිළිබඳ නීතිය වැඩ කරනව.

නිකමට හිතන්න අපිට ගිණි තපින්න ඕනි උනා කියල. ගිණි තපින්න කියල ඕනිවට වඩා ගිණි ගොඩට ලං උනොත් පිච්චෙනව... ඕනිවට වැඩිය ගිණි ගොඩින් දුරස් උනොත් ගිණි තපින්න ඕනි තරං රස්නෙ ලැබෙන්නෙ නෑ...

ඔය සමබරතාවයම ටිකක් ලොකුවට ඉරයි පොළොවයි අතරෙත් තියෙනව. පොළොව දැන් තියෙනවට වඩා ඉරට ලං උනානං ජීවය ඇතිවෙන්න බැරි තරමේ උෂ්ණාධික ග්‍රහලෝකයක් වෙන්න ඉඩ තිබ්බ. හරියට සිකුරු වගේ... එහෙම නොවී දැන් තියෙනවට වඩා ඉරට දුරින් පොළොව තිබ්බනං පොළොව මතුපිට වතුර ඔක්කොම අයිස් වෙනව...

හැබැයි මොනම දෙයක්වත් එක දිගටම එකම සමබර අවස්ථාවෙනං තියෙන්නෙ නෑ. කාලෙන් කාලෙට එක සමබර අවස්ථාවක ඉඳල වෙනත් සමබර අවස්ථාවකට මාරුවෙන්න සිද්ධවෙන එක ඕනිම දේකට පොදු දෙයක්. එහෙම වෙනකොට පොඩි පොඩි හැලහැප්පීම් වලට මූණ දෙන්නත් සිද්ධ වෙනව...

අපේ ජීවිතත් ඒ වගේ නේද?

ජීවත් වෙන එක ආයාසකර දෙයක් නොවෙන්නනං ජීවිතෙත් සමබර වෙන්න ඕනි. ඒකට අළුතින් දේවල් එකතු වෙද්දි කලින් තිබ්බ සමබරතාවය පොඩ්ඩක් විතර එහා මෙහා වෙනව. එතකොට එක්කෝ ආයෙත් සමබරතාවය ඇතිවෙන විදිහට ඒ වෙනකං අපි ජීවිතේ සමබරව තියාගත්ත ලක්ෂ්‍යය පොඩ්ඩක් විතර එහා මෙහා කරන්න සිද්ධ වෙනව. එහෙමත් නැත්නං කලින් තිබ්බ ලක්ෂ්‍යය වටේට ආයෙත් ජීවිතේ සමබර වෙන විදිහට ජීවිතේට අපි එකතු කරං තියෙන දේවල් වලින් කොටසක් ඈත් කරන්නත්, තවත් කොටසක් ලංකරගන්නත් සිද්ධ වෙනව.

මමත් මේ ටිකේ ඔය විදිහෙ සමබර කිරීමේ මෙහෙයුමක් කරන ගමන්. ඉගෙන ගන්න වැඩ ටිකක් ලං කරගෙන ඉන්න නිසා ටික දවසකට බ්ලොග් කෙරුවාව ටිකක් විතර දුරස් කරන්න වෙලා...

ලියන එක කෙසේ වෙතත් කියවන එක අතාරින්නනං අදහසක් නෑ... :)


________
පින්තූරය
http://www.thescienceoutlet.com/Images/Product_Images/BalancingEagle.jpg

Sunday, 24 February 2013

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

ටික දවසක ඉඳන් හොය හොය හිටිය පොත් දෙකක් ගිය සතියට ඉස්සෙල්ල සතියෙ අහම්බෙන් වගේ හම්බඋනා. ඉන්ද්‍රජිත් සුභසිංහ මහත්තය ඉරිදා දිවයින පත්තරේට ලියපු ලිපි මාලාවක් එකතු කරපු ‘මහ රහතුන් වැඩි මඟ ඔස්සේ’ පොත් පෙලේ මුල් කොටස් දෙක...

බොහොම කැමැත්තෙන් කියවපු මේ ලිපි වලට විචාර ලියන්න තරං මං මෝරල නෑ. ඉතින් පොතේ පෙරවදන සහ පසු කවරෙ තියෙන සටහන විතරක් උපුටා දක්වල නවතින්නම්...




“මේ ලිපි මාලාව ලියූ ස්වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන් වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වනගැබක අලි, කොටි, වලසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ භිය දැක මේ ආත්මයේදීම සසර දුකින් එතෙර වීම අදිටන් කර ගනිමින් සෘජුව නිවන් ම‍ෙඟ්  ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මග ඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන් වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමෙකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතුවූ සටහන් පොත් කිහිපයක සංස්කරණය නොකල සටහන් ලෙසින් මා අතට පත්කළ උන් වහන්සේ නොපෙනී ගියහ. එහෙත් එම සටහන් කොතරම් දාර්ශණිකද, ගැඹුරුද, ආශ්චර්යමත්ද. නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශවයටම මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද ඇයැදුමක්ද විය. කර්තෘ අඥාත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතු වනු නිසැකය.”
___

ගෝරතර සසරේ
තවත් එක් සන්ධියක
ඉබාගාතේ ඇවිදි
සංසාර සතුන් හට
නොඇලෙන්න කියා දුන්
නෙගැටෙන්න සිහිය දුන්
නිදුකානගේම පුත්
සඟ මැණික ඔබම විය

කරගන්න මහ කුසල්
බෙදා ලොවටම දහම
ඔබේ අවබෝධයෙන්
සැනසීය මනු කැලක්
එමතු නොව දෙවියෝද
එයින් තුටු වනු දනිමි

සාරිපුත් පරපුරේ
අපේ කාලේ උපන්
මහකසුප් මහතෙරගෙ
එමඟ යන බුදු පුතුනි
එක්කෝ මරණයය
නොමැතිනම් නිවනමය
කියා කළ සිහ නාද
තව කොහෙන් අසන්නද

ඔබේ දම් ගැලපුමට
නොතිත් පැසසුම් එතැයි
කියූ කල මා ඔබට
පුතේ මේ මගෙ නොවෙයි
බුදුරජුන් දහමමය
නිහතමානීව කිවු
ඒ වදන් රාවදෙයි

කොහේ හෝ වන පෙතක
මේ මොහොතෙ වැඩ සිටින
අපේ පිනටම උපන්
හිමියනේ ඔබෙ ගුණෙන්
දකිමු අපි බුදු රජුන්

ඒ අමා මෑණියන්
සහස් දෙකකුත් අඩක්
ගෙවී වස් ගතවෙතත්
වදයි ඔබ වැනි පුතුන්
ලෝ සතට සෙනෙහසින්



_____
පින්තූරය  

Saturday, 2 February 2013

සහජීවනය...




වියැකිලා ගොස් සියළු බාදා

මුළු ලොවම තනි රටක් වූවොත්...

ඒ රටේ වැසි සියළු මිනිසුන්

එකම දහමට අයත් වූවොත්...

හමේ පාටට ගරු නම්බු දෙන

මෝඩ ක්‍රමයත් නැතිම වූවොත්...

තැනක් වේවිද ලොවම නිදහස්

අනේ...!

එදාටවත්...?



ප. ලි.

එක්කො බදාගෙන කුලල්කාගන්න වෙන මොකක්හරි කුණු ගොඩක් සමහරවිට එදාටත් මිනිස්සු හොයා ගනීවි...


_____
පින්තූරය

Tuesday, 1 January 2013

ජීවත් වෙනව කියන්නෙත් කේක් හදනව වගේ වැඩක්



මේ ගෙන්දගං පොළොවෙ හැප්පි හැප්පි ජීවිතේ වටිනාකම ඒකෙන් උපය ගන්න උත්සාහ කරද්දි හිතේ නිදහස කියන එක හොයා ගන්නෙ කොහොමද? එකක් පස්සෙ එකක් මූණ දෙන විභාග, සම්මුඛ පරීක්ෂණ, උසස් වීම්... මේව ඇත්තටම නිදහස දිහාවට යන පාරෙ තියෙන දේවල්ද? ඒක එහෙමනං සාර්ථකත්වය දිහාවට පඩියෙන් පඩිය ඉහල නගින කොට, දරන්න වෙන තනතුරේ විභවය ටිකින් ටික වැඩි වෙනකොට අපිට අත්විඳින්න ලැබෙන මානසික නිදහසේ වපසරිය කුඩා වෙන්නෙ මොන අරුමයකටද?

ගිය අවුරුද්ද කෙලවර වෙද්දි හිතේ තිබ්බෙ ඔය වගේ දේවල් ටිකක් තමයි. කාර්ය බහුල අවුරුද්දකට පස්සෙ දෙසැම්බර් මාසෙ වෙද්දි මම හොඳටම හෙම්බත් වෙලයි හිටියෙ. කොච්චර මහන්සි වෙලා වැඩ කරා උනත් වෙලාවකට අන්තිම ප්‍රතිඵලේ දැක්කම හිතෙනව ජීවිතෙන් මං බලාපොරොත්තු උනේ මේකද කියල. හරියට වතුර ගන්න බලාගෙන කළය මුනින් නැව්වම ඒකෙ වතුර වෙනුවට වැලි තිබ්බ වගේ.

මෙහෙම හැමදේම අවුල් ජාලාවක් වගේ පේන්න ගත්තම හිතේ නිදහස කියන එකේ අවශ්‍යතාවය තදින්ම දැනෙනව. ඉතින් මං කරේ රස්සාවෙ වැඩ, ඉගෙනීම් කටයුතු, සයිබර් අවකාශය කියන හැම දේම පොඩ්ඩක් පැත්තකට කරල සතියක්ම නිවාඩු අරගෙන ගෙදර ගිය එක. ඔය දේවල් වලින් පොඩ්ඩක් ඈත් උනාම; හිතේ හැටියට නිදාගන්න ලැබුණම; තුන් වේලම කටට රහට බඩ පිරෙන්න කන්න ලැබුණම හිත නිදහස් කරගෙන කල්පනා කරන්න ලේසියි. හිතේ නිදහස හොයා ගන්න ලේසියි.

මං කඳුකරේ ඉපදිච්ච කෙනෙක්. ඒ නිසා මගේ ආධ්‍යාත්මයෙන් වැඩි කොටසක් කඳුකරේට අයිති දේවල් එක්ක බැඳිල තියෙනව. මගේ හිතේ නිදහස ගොඩක් වෙලාවට නිර්වචනය කරගන්න පුළුවන් වෙන්නෙ ඒවගෙන්. ඉර එළියෙ දිලිසෙන කදු මුදුන්... සීතල මද සුළඟ... තරු පිරිච්ච අමාවක රෑ අහස... ගස් වැල්... කුඩා දොළ පාරවල්... හිතේ ඇතිකරන නිදහස් සාමකාමී හැඟීම වෙන දේවල් වලින් මං අත්විඳල නැහැ.

කඳු මූණතක වැවිච්ච් තණකොළ පලසක දිගෑදිල නිල් අහස් පසුබිමේ වළාකුළු කැරළි පාවෙන හැටි බලාගෙන ඉඳිද්දි; එහෙමත් නැත්නං සීතල උදේක අරුණාලෝකෙට යටින් කඳු බෑවුම් දෙකක් හාවෙන දඟර ගැහිච්ච රේඛාව දිගේ ගලාගෙන යන ඔයකට උඩින් සුදු උඩු වියනක් හදාගෙන ගලා බහින මීදුම් ගංගාව දැක්කම හිතේ ඇතිවෙන උද්දාමය සුවිශේෂීයි.

ඒ වගේමයි ෆයිනස් යායවල් හරහා හමාගෙන යන හුළඟ ඇතිකරන හෝ හ‍ෙඬ් ගුප්ත බවත්...

ඔය දේවල් පුදුමාකාර විදිහට හිත සංහිඳියාවකට පත් කරනව. සමහරවිට ඒ එතන තමන් සතු කරගන්න කිසිම දෙයක් නැති නිසා වෙන්න ඇති. මට හිතෙන විදිහටනං සොබාදහම අත්විඳින්න ඕනිත් ඒ විදිහටයි. තමන්ගෙ කර ගැනීමේ ආසාවකින් තොරව... එතකොට තමයි සොබාදහම හිතේ තුවාල සුවපත් කරන බෙහෙතක් වෙන්නෙ.

සොබා සිරිය විඳගෙන මගේ පොත් එකතුවේ ප්‍රියතම පොත් ටිකත් වට කරගෙන නිවීහැනහිල්ලෙ ඉන්නකොට ජීවිතේ ගැන තීරණ ගන්න, අනාගතේට ඕනි සැලසුම් හදන්න, ඔළුවෙන් අනවශ්‍ය බර අයින් කරගන්න ලේසියි. තමන් විසින්ම ජීවිතේ ඕන නැති විදිහට කොච්චරනං සංකීර්ණ කරගෙනද කියල පේන්න ගන්නෙත් එහෙම වෙලාවටම තමයි. ගෙවිච්ච අවුරුද්ද ගැන ආවර්ජනයක් කරන්නත් එන අවුරුද්දට සැලසුම් කීපයක් ඇඳගන්නත් ඒ වෙලාව මසුරං වටිනව.

මේ අවුරුද්දට මහා ලොකුවට නැතත් කරන්න ඕනි කියල හිතාගෙන ඉන්න වැඩ දෙක තුනක් තියෙනව. මම ඒවට මහන්සි වෙන තරමට ප්‍රතිඵලත් තියේවි කියන විශ්වාසයෙන් වැඩ කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නෙ. මොනා කරත් අන්තිමේදි ඉතුරුවෙන වැදගත්ම දේ තමයි තමන්ට තමන්ගෙ හිතේ නිදහස කරන දේ හරහා හොයා ගන්න පුළුවන් වෙනවද නැද්ද කියන එක. හිතේ නිදහසක් නැත්නං වෙන මොනා තිබ්බත් වැඩක් නැහැ.

හිතේ නිදහස හොයාගෙන ජීවත් වෙන එක ගැන කතා කරද්දි මං මේ මෑතකදි කියවපු පොතක තිබ්බ ලස්සන කතාවක් මතක් උනා.

“ජීවත් වෙනව කියන්නෙත් හරියට කේක් එකක් හදනව වගේ වැඩක්. සමහරුන්ට කේක් එකක් හදන්න ඕනි වෙන හැමදේම ලැබෙනව. තවත් සමහරෙක්ට ඕනි කරන හැම දේම ලැබෙන්නෙ නෑ. සමහර වෙලාවට ඒ අයට ලැබෙන්නෙ ගුල්ලො ගහපු පිටි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පරණ වෙච්ච බටර් වෙන්න පුළුවන්. ඒත් වැදගත්ම දේ තමයි තමන්ට තියෙන අඩුම කුඩුම ටික එකතු කරගෙන හදන්න පුළුවන් හොඳම කේක් ගෙඩිය හදා ගන්න එක. මොකද සමහර වෙලාවට හැම දේම තිබිලත් කේක් එක හරියට හදා ගන්න බැරි කට්ටිය ඉන්නව.”

තමන් තමන්ගෙ වගේම අනිත් අයගෙ යහපතටත් කරන්න පුළුවන් උපරිමේ කරනව කියල දැනගෙන ජිවත් වෙන්න කෙනෙක්ට පුළුවන්නං එතන පොඩි හිතේ නිදහසක් තියෙනව නේද?

එහෙනං ලැබුවා වූ නව වසර හැමෝටම තම තමන්ගෙ හිතේ නිදහස හොයා ගන්න පුළුවන් වෙන සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. :D


_____
පින්තූරය

Thursday, 20 December 2012

සුරංගනා කතාවක් : චාරිකාව - තෙවන කොටස


 සුරංගනා කතාවක් : චාරිකාව - පළමු කොටස
 සුරංගනා කතාවක් : චාරිකාව - දෙවන කොටස

මේ සුරංගනා කතාවක් : A Journey of a Prince - Part 3 හි සිංහල පරිවර්තනය.


ඉතින් ඔහොම යන අතරෙ එක දවසක් කුමාරයට එයා කාලාන්තරේකින් නොදැක්ක කෙනෙක්ව මුණගැහුන. ඒ ඇවිල්ල කුමාරයගෙ ඥාති සහෝදරයෙක්...

එකිනෙකා මුණගැහීම ගැන ගොඩක් සංතෝස වෙච්ච දෙන්න තමංගෙ ආගිය තොරතුරු ලඟ තිබ්බ අවන්හලකින් හොඳ කෑම වේලක් ගන්න අතරතුර බෙදා හදා ගත්ත. කුමාරයට වෙච්ච අකරතැබ්බෙ ගැන දැනගෙන දුක් වෙච්ච කුමාරයගෙ ඥාති සහෝදරය කුමාරයට තමන්ට පුළුවන් විදිහට උදව් කරන්නං කියල පොරොන්දු උනා.

කුමාරයගෙ ඥාති සහෝදරයත් එසේ මෙසේ පොරක් නෙවෙයි. එයත් කුමාරයෙක්. ඒ වගේම නයිට් වරයෙක්. අපේ කුමාරය මෙච්චර කාලයක් හොය හොය හිටිය පටු දඟර ගැහිච්ච පාර පටන් ගන්න තැන ගැන මේ ඥාති සහෝදරය දැනගෙන හිටිය. ඒ වගේම එයා තව දෙයක් දැනගෙන හිටිය. ඒ තමයි, හරිහමන් විදිහට ලෑස්ති වෙලා ගියේ නැත්නං අපේ කුමාරයට කවදාවත් කන්ද මුදුනට යන්න හම්බ වෙන්නෙනං නැහැ කියන එක.

ඉතින් එයා කුමාරයට මෙහෙම කිව්ව...

“මල්ලියෙ, ඔයා හොයන පාර ගැන මං දන්නව. හැබැයි මං මේ ටික කියල තියන්න ඕනි. මේක අමාරු ගමනක්. ඉස්සරහට යන අඩියක් අඩියක් ගානෙ එක එක විදිහෙ බාධක තියෙනව. ඒ නිසාමයි මේ ගමන පටන් ගන්න ඉස්සරවෙලා ඔයා ඒකට සූදානම් වෙන්න ඕනි.”

කුමාරය මේ කතාවට එකඟ වෙලා තමන්ගෙ ගමනට ඕනි කරන දේවල් එකතු කරන්න පටන් ගත්ත. එයා එකතු කරගත්ත දේවල් අතරෙ කඩුවක්, දුන්නක්, ඊතල පුරෝපු පැසක්, සැහැල්ලු පලිහක් වගේම කෑම බීම ටිකකුත් තිබ්බ. මේ හැමදේකින්ම සන්නද්ධ උනාට පස්සෙ කුමාරයව එයාගෙ ඥාති සහෝදරය කන්දක් පාමුල පිහිටල තිබ්බ අර පටු පාර පටන් ගන්න තැනට එක්කරගෙන ගියා.

එතනදි එයා කුමාරයට මෙන්න මෙහෙම කිව්ව...

“මට ඔයාව ඇරලවන්න එන්න පුළුවන් මෙතනට එනකං විතරයි. මෙතනිං එහාට තනියම ඔයාට ඔයාගෙ ගමන යන්න වෙනව. හිතට ධෛර්ය අරගෙන ඉස්සරහටම යන්න. තමන් ගැන විස්වාසෙ තියා ගන්න. ඒ වගේම මේ අවවාදෙත් හොඳට හිතේ තියා ගන්න. කෙනෙක් උත්සාහය අත්නොහරින තාක් කල් ඒ කෙනාව පරාද කරන්න බැහැ. ඉතිං මල්ලියෙ, ඔයාට සුභ ගමන්!”

කන්ද පාමුලදි තමන්ගෙ ඥාති සහෝදරයගෙන් සමුගත්ත කුමාරය තනියම අර පටු පාර දිගේ කන්ද නගින්න පටන් ගත්ත.

ඒක දුෂ්කර ගමනක්. දහවල් කාලෙ ඉර අනුකම්පා විරහිත විදිහෙ තද රස්නයක් ගෙනාව. රාත්‍රියේ සීතල හම විනිවිදගෙන ගිහිං ඇටකටු වලටම කිඳා බැස්ස. වැස්සම පාර මඩවෙලා ලිස්සන්න ගත්ත. කුමාරය ලිස්සල වැටිච්ච හැම වෙලාවකම වගේ පතබෑවුනේ කටු පඳුරු උඩට. ඒ ඔක්කොමත් හරි, ගමන අතරෙදි දැනෙන කාංසිය තමයි ඉවසන්නම අමාරු උනේ.

ඒත් කුමාරය දිගින් දිගටම තමන්ගෙ ගමන ගියා. වැටිච්ච හැම පාරම එයා දත්මිටි කාගෙන නැගිට්ට. තමං ඉස්සරහ තියෙන බාධක ගොඩක් වැඩියි කියල දැනිච්ච වෙලාවට එයා කරේ තමංව වට කරගෙන හිටිය මුඩු බිමට ඇහෙන්න පුළුවං තරං හයියෙන් කෑ ගහපු එක.

“මං මේක නිකංම අතාරින්න ලෑස්ති නෑ!”

දවසින් දවස කඳු මුදුන ටිකින් ටික ලං උනා. ඊට පස්සෙ එක දවසක කුමාරය කඳු මුදුනටම ආව... අන්තිමේදි එයාට එයාගෙ ගමනාන්තය වෙච්ච ‘මස්තකේට’ එන්න පුළුවන් උනා.

දැන් එයා තමං උපයගත්තු නයිට් පදවියට හරියටම හරියන නයිට් වරයෙක්.

කුමාරය ඒ වෙලාවෙ තමංගෙ හදවත ඇතුලටම කිඳා බැහැල මෙච්චර කාලයක් තමංට ලොකු වේදනාවක් ඇති කරපු කිරිච්චිය බොහොම ලේසියෙන් ගලවල පැත්තකට වීසි කරා. ඒ කිරිච්චිය ඇති කරපු තුවාලෙ සනීප උනාට තුවාලෙ කැළල කුමාරයගෙ හදවත මතුපිට ඉතුරු උනා. ඒ තුවාල කැළල එතන තිබ්බෙ මොන විදිහෙ තුවාලයක්ද කියන එක කුමාරයට හැමදාටම මතක් කරල දේවි.

නයිට් වරයෙක් උන කුමාරය කරපු පළවෙනිම දේ තමයි තමන්ට උදව් අවශ්‍යම වෙලා තිබ්බ, තමං යාළුවො කියල හිතාගෙන හිටිය අය මඟඇරල ගිහිං හිටිය වෙලාවෙ තමන්ට උදව් කරපු ඥාති සහෝදරයව බැහැදකින්න ගිය එක.

අපේ කුමාරය එයාගෙ චාරිකාවට ටික කාලයක් දුර බැහැර ගිහිං හිටිය නිසා ආපහු එයා එන කාලෙ වෙද්දි සමහර දේවල් තිබුනට වැඩිය ටිකක් වෙනස් වෙලා එහෙම තමයි තිබ්බෙ. කුමාරයගෙ ඥාති සහෝදරය ඒ වෙද්දි තමංටම කියල රාජධානියක් තිබිච්ච රජ කෙනෙක් වෙලයි හිටියෙ. කුමාරය එයාව බලන්න එයාගෙ මාලිගාවට ගියාම එයා කුමාරයව බොහොම ඉහලින් පිළිගෙන තමන්ට ලබා දෙන්න පුළුවන් හොඳම ආගන්තුක සත්කාර වලින් කුමාරයට සංග්‍රහ කලා.

තමන්ට කරපු උදව් වලටයි ලබා දීපු ආගන්තුක සත්කාර වලටයි එයාගෙ ඥාති සහෝදරයට මුව නොසෑහෙන්න ස්තූති කරපු කුමාරය ගෙදර යන්න පිටත් උනා. කුමාරය දැන් ගෙදර යන්නෙ තමන්ගෙ කීර්තිය ආයෙ ගොඩනගා ගත්ත කෙනෙක් විදිහට. ඒ වගේම සාමාන්‍ය නයිට් වරයෙක්ට වැඩිය ටිකක් විතර අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට. ඒකට හේතුව තමයි කුමාරය ගිය චාරිකාවෙනුත් එයා ගොඩක් දේවල් ඉගෙනගෙන තිබීම. දැන් තමන් කලින් හිටියට වඩා හයිය හත්තිය තියෙන කෙනෙක් වෙලා කියල එයාට දැනුන. ඒත් ඒ හැම දේටම වඩා කුමාරය කැමති උනේ කාලෙකට පස්සෙ එයාගෙ හිතට දැනිච්ච සාමකාමී හැඟීමට.

ආපහු එන අතරමගදි කුමාරයට ගොඩ දෙනෙක්ව මුණ ගැහුණ. අර ඉස්සර කුමාරයට හුරේ දාපු ඊට පස්සෙ කාලෙක කුමාරයට “හූ!” කියපු කට්ටියම තමයි. දැන් ඒගොල්ලො ආයෙත් කුමාරය වෙනුවෙන් ජය ගෝසා පවත්වනව.

ඒගොල්ලන්ව දැක්ක කුමාරය තමන්ගෙ හදවත දිහා ආපහු හැරිල බැලුව. තමංගෙ හදවත මතුපිට තියෙන තුවාල කැළල දිහා පොඩි වෙලාවක් වැඩියෙනුත් එක්ක එයා බලාගෙන හිටිය. ඊට පස්සෙ එයා අර මිනිස්සු දිහා බලල හිනා උනා. ඒ මිනිස්සු කොයි විදිහෙ අයද කියන්න කුමාරය ඒ වෙනකොට හරියටම දැනගෙනයි හිටියෙ...



~සමාප්තයි~


පිදුම:

උදව්වක් යනු කුමක්දැයි හඳුනන කරුණාවන්ත හදවත් වලට...

සහ

නිකංම නිකං පරාජය බාර ගන්න කැමති නැති කුමාරවරුන්ට සහ කුමාරිකාවන්ට...


_____
පින්තූර
From Concept Art

Related Posts Plugin for WordPress, Blogger...