Pages

Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

Friday, 18 September 2015

විද්‍යා ප්‍රබන්ධ


මං හිතන්නෙ ඉස්කෝලෙදි විද්‍යාව විෂයක් විදිහට මට හම්බ උනේ හය වසරෙදි විතර. ඒත් විද්‍යාව ගැන මට ලොකු ආසාවක් ඇතිවෙලා තිබ්බෙ මං හතර වසරෙ ඉන්න කාලෙ ඉඳන්මයි. ඒක උනේ ටීවි එක නිසා.

දැන් වගේ නෙවෙයි සමස්තයක් විදිහට ගත්තම, ඒ කාලෙ ඇත්තටම වැදගත් වැඩසටහන් ගොඩක් රූපවාහිනියෙ ප්‍රචාරය උනා. ඒව අතරින් ටයි මාමගෙ කාටූන් ඇරුනම මගේ ප්‍රියතම වැඩසටහනක් වෙලා තිබ්බෙ “දෙදාහෙන් එහා” කියන වාර්තා වැඩසටහන. ඊට අමතරව චන්දන ජයරත්න මහත්තය කරපු “විශ්වයේ අසිරිය” වැඩසටහනයි දැන් මට නම අමතක වෙලා ගිහින් තියන මොකක්හරි “... මිහිකත” කියල තව වැඩසටහනකුයි මගේ ෆේවරිට් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ.

ඔන්න ඔතනින් තමයි මගේ විද්‍යා මෙව්ව එක පොඩි අංකුරේකින් පැළවෙන්න පටන් ගත්තෙ. පස්සෙන් පහු ඒක මුල් ඇදල මට විද්‍යා පිස්සුව හැදුණ. ඒ පිස්සුව උත්සන්න වෙන්න පොහොර දැම්මෙ මං කියවපු විද්‍යා ප්‍රබන්ධ කතා. වෙන්න ඕනි විදිහටම ඒවගෙන් මුල් එක මට හම්බ උනේ විදුසර පත්තරේක තිබිල. දැන් අපහු හැරිල බලද්දි විදුසරෙන් ලැබිච්ච තල්ලුව සුළුපටු නැහැ කියල හිතෙනව. ඒ වගේමයි මුතුහර, සිව්දෙස, මනහර, සෝදිසි සඟරාත්. අපේ අප්පච්චි විසි අවුරුද්දක් තිස්සෙ එකතු කරපු සඟරා වලින් වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න ඇත්තෙ මං වෙන්න ඇති.

“විද්‍යාවෙන් කරන්නෙ ලෝකෙ වැඩ කරන යාන්ත්‍රණය තේරුම් ගන්න උත්සහ කරන එක.”

මට භෞතික විද්‍යාව උගන්නපු එක ගුරුවරයෙක් කිව්වෙ එහෙමයි. මං විද්‍යාව විෂයට ආසත් ඒ හේතුව නිසාමයි. ලෝකෙ කියන මහා අවුල් ජාලාව ටිකක් හරි තේරුං ගන්න පුළුවං වීමම හිතට සැනසීමක් නෙවෙයිද? අන්ධකාර පාරක යද්දි එක ගිණිකූරක් හරි අතේ තියන එක කොච්චර දෙයක්ද?

ඉතින් විද්‍යාවෙ කතාව මේ වගේ...

ඒක හැම තිස්සෙම අළුත් දේවල් එකතු වෙවී වැඩි දියුණු වෙන දෙයක්. එහෙම විද්‍යාව වැඩිදියුණු වෙන්න වෙන්න මනුස්ස වර්ගයා ලෝකෙ මේ විදිහයි කියල හිතින් මවාගෙන ඉන්න චිත්‍රයත් ටිකින් ටික වෙනස් වෙනව. මිනිස්සු ස්වභාවයෙන්ම වෙනස්වීමට අකමැති නිසා විද්‍යාව දියුණු උනේ සහ දියුණු වෙන්නෙ හැලහැප්පිලිත් එක්ක. චාල්ස් ඩාවින් ස්වාභාවික වරණය ගැන කතා කරාම ඒ කාලෙ හිටිය බුද්ධිමත්තු ඔහුට  හිනා උනා. ගැලීලියෝ සූර්ය කේන්ද්‍ර වාදය ගැන කතා කරාම පල්ලිය ඔහුට තර්ජනය කරා.

සමහරු ලෝකය කාගෙ හරි මැවීමක් කියල හිතාගෙන ඉද්දි තවත් සමහරු කියන්නෙ ලෝකෙ ඉබේ ඇතිඋනා කියල. ඔය අතරෙ ලෝකය හේතූන් නිසා හටගත්ත ඵලයන්ගෙ එකතුවක් කියල තව කොටසක් කියනව. මේව තමයි අපිට අපේ වටාපිටාව ගැන තියන ආකල්ප. එකම ප්‍රශ්ණෙ දිහා කීප විදිහකින් බලන්න අපි පුරුදු වෙලා ඉන්නව. මං නං කියන්නෙ ඒක හොඳ දෙයක්. ඒ මොකක් හරි ගැන තමන් දකින විදිහට වඩා වෙනස් විදිහට දකින අය තව ඉන්නව කියල තේරුං ගැනීම අන්තවාදයෙන් මිදීමේ පළවෙනි පියවර කියල මං විශ්වාස කරන නිසා.

විද්‍යාව කියන්නෙත් එහෙම ප්‍රශ්ණයක් දිහා බලන එක විදිහක්. අපි ඒකට පාවිච්චි කරන්නෙ විද්‍යාත්මක ක්‍රමය කියල දෙයක්.

පරීක්ෂණය, නිරීක්ෂණය සහ නිගමනය.

ඔය ක්‍රමේට තමයි විද්‍යාව පරිණාමය වෙන්නෙ.

කොහොමත් විද්‍යාව සර්ව සම්පූර්ණ නැහැ. කවදාවත් එහෙම වෙන එකකුත් නැහැ. අපි දවසින් දවස ගොඩක් දේවල් ඉගෙන ගන්නව උනත් විද්‍යාවෙන් අපි තේරුම් අරං ඉන්න ලෝකයයි, ඇත්තම ලෝක සොබාවයයි අතරෙ තවමත් නොදන්න දේවල් ගොඩක් පිරිච්ච මහා ආගාධයක් තියනව. අන්න ඒ හිඩැස පුරවන්න තමයි අපි අපේ පරිකල්පන ශක්තිය පාවිච්චි කරන්නෙ.

ඉතින් විද්‍යාව පැත්තෙන් කවුරුහරි තමන්ගෙ හිතීමේ ශක්තිය අයාලෙ යන්න ඇරියම තමයි විද්‍යා ප්‍රබන්ධ බිහි වෙන්නෙ. ඒව හරියට විද්‍යාත්මක පදනමක් තියන සුරංගනා කතා වගේ.

විද්‍යා ප්‍රබන්ධ ලියවෙන ජනප්‍රිය මාතෘකා කීපයක් තියනව. අභ්‍යවකාශ ගවේෂණය, පිටසක්වල ජීවය, කාල තරණය, අමරණීයත්වය, කෘත්‍රිම බුද්ධිය... එක අතකට බලාගෙන ගියාම මේව මනුස්ස හිත් වල ආදි කාලෙ ඉඳන්ම තිබ්බ ප්‍රශ්ණ. මේ හැම ප්‍රශ්ණෙම පැනනැගිල තියන්නෙ එකම මූලයකින්.

“අපි ආවෙ කොහෙන්ද? අපි යන්නෙ කොහාටද?”

ආගම් වගේම විද්‍යාවත් මිනිස්සු ඇති කර ගත්තෙ වෙන මොනාටවත් වැඩිය මෙන්න මේ ප්‍රශ්ණ දෙකට උත්තර හොයා ගන්න. විද්‍යා ප්‍රබන්ධ වලින් කෙරෙන්නෙ අපි මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුළුවං එක එක විද්‍යාත්මක දෘෂ්ඨි කෝණ අපිට පෙන්නල දෙන එක. අපි එහෙම උත්තර හොයාගෙන යද්දි අපිට හම්බවෙන්න පුළුවං වෙනත් දේවල් ගැන, අපි සැලකිලිමත් විය යුතු දේවල් ගැන, විශ්වයේ අපේ තැන ගැන උපකල්පනය කරන එක සහ ඒ අදහස් කතන්දරයක් විදිහට ඉදිරිපත් කරන එක.

සිංහලෙන් ලියපු සහ සිංහලයට පරිවර්තනය කෙරුනු විද්‍යා ප්‍රබන්ධ වලින් වැඩි හරියක් මට මුණගැහුනෙ කලින් කිව්ව වගේ පත්තර වලිනුයි සඟරා වලිනුයි. ආතර් සී ක්ලාක් ව, අයිසෙක් ඇසිමොව් ව විදුසර හරහා මුණ ගැහිච්ච මම ජූල්ස් වර්න් වයි එච්. ජී. වෙල්ස් වයි මුණගැහුණෙ මුතුහර, සිව්දෙස සඟරා වලින්.

ඔය තමයි මගේ ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ රචකයො හතර දෙනා.

ඒ අතරිනුත් උඩින්ම ඉන්නෙ ආතර් සී. ක්ලාක්. මම කියවපු හොඳම විද්‍යා ප්‍රබන්ධ ඔහුගේ නිර්මාණ. අභ්‍යවකාශ වීර චාරිකා පොත් හතර (2001, 2010, 2061, 3001), මිහිකතේ ගීතය (Songs of the Distant Earth),  පාරාදීසයේ උල්පත් (Fountains of Paradise) , රාමා හමුව (Rendezvous with Rama), ඩොල්ෆින් දූපත (The Dolphin Island), ගැඹුරු මුහුද (Deep Range)...

මං හිටියෙ ඔය පොත් වලට වහ වැටිල. ආතර් සී ක්ලාක් ගෙ අනාගතය උපකල්පනය කිරීමේ හැකියාව අති විශිෂ්ඨයි. ඒ වගේමයි ඔහුගෙ රචනා ශෛලියත්. මං ඒකට කියන්නෙ තැපෑලෙන් වදින කතා කියන ක්‍රමයක් කියල. මොකද කතාවෙ හරය තේරෙන්නෙ කතාවෙ අග හරියට කිට්ටු කරාම. ඒ වගේමයි කතා වල තියන විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහ මත වාද. ඒ තරං අදහස් වලින් පෝසත් කතා ලියල තියෙන්නෙ ටික දෙනයි. ආතර් සී ක්ලාක් ගෙ පරිකල්පන ශක්තිය ක්ෂේත්‍ර ගණනාවක් හරහා කොච්චර දුරට විහිදෙනවද කියල දැනගන්න නං ඔහු ලියපු කෙටි කතා කියවල බලන්න ඕනි. ඒව අභ්‍යවකාශ සෝපාන, බ්‍රහස්පති දියමන්ති, රික්තයේ ශක්තිය, විකිරණයේ ජීවීන් වගේ එකිනෙකට වෙනස් පුදුමාකාර අදහස් වලින් පිරිල තියනව.

විද්‍යා ප්‍රබන්ධ කලාවෙ පුරෝගාමියො වෙච්ච ජූල්ස් වර්න්වයි එච්. ජී. වෙල්ස්වයි මෙතනදි කොහොමත්ම අමතක කරන්න බැහැ. ලීග විසිදහසක් ගැඹුරු මුහුදේ (Twenty Thousand Leagues Under the Sea), ලොව වටා අසූ දිනකින් (Around the World in Eighty Days) වගේම ලෝක සංග්‍රාමය (War of the Worlds) සහ අදිසි මිනිසා (The Invisible Man) කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රයේ සම්භාවනීය කෘති. ඊට පස්සෙ පරම්පරා වල රචකයන්ව විද්‍යා ප්‍රබන්ධකරණයට උනන්දු කරේ ඒ කතා තමයි.

විද්‍යා ප්‍රබන්ධ කියන්නෙ නිකංම කතා විතරක් නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධකරණය විද්‍යාවෙන් පෝෂණය වෙනව වගේම විද්‍යා ප්‍රබන්ධ නිසා විද්‍යාවත් පෝෂණය වෙනව. කෘත්‍රිම බුද්ධිය ක්‍රමලේඛණය කරද්දි පාවිච්චි කරන මූලික නීති තුන (three laws of robotics) ඉදිරිපත් උනේ ඇසිමොව්ගෙ විද්‍යා ප්‍රබන්ධයක් හරහා. සබ්මැරීනය ගැන මුල්ම අදහස ඉදිරිපත් උනේ ජූල්ස් වර්න්ගෙන්.

අවාසනාවට වගේ සිංහල සාහිත්‍ය ඇතුලෙ විද්‍යා ප්‍රබන්ධ ලියවෙන්නෙ පොඩ්ඩයි. ඒ ලියවෙන ඒවගෙනුත් සැලකිය යුතු තරම් තාර්කිකව ලියවිල තියෙන කතා ප්‍රමාණය ඊටත් අඩුයි. ඒකට හේතුව ලංකාවෙ තියන ‘ගඩොල් අච්චු’ අධ්‍යාපන ක්‍රමේද කියල වෙලාවකට මට හිතෙනව. ඒ උනත් හොඳ සිංහල විද්‍යා ප්‍රබන්ධ නැතුවම නෙවෙයි. දමිත නිපුණජිත් ලියපු “විස්මිත සිහින දකින්නා” කෙටි කතා සංග්‍රහය වගේම සුසිත රුවන්ගෙ “රාවණා මෙහෙයුම” එහෙමත් ඇත්තටම හොඳ විද්‍යා ප්‍රබන්ධ. නියම විද්‍යා ප්‍රබන්ධ වල තියන ‘ගතිය’ ඒවගෙ තියනව.

විද්‍යා ප්‍රබන්ධ වලින් වෙන එක හොඳක් තමයි ටිකක් ලොකුවට ලෝකෙ දිහා බලන්න අපිව පුරුදු කරන එක. එතකොට අපිට අපිවත් ටිකක් පොඩියට පේනව.

කාල් සේගන් කියනව වගේ පොළොව කියන්නෙ “අන්තරීක්ෂයේ දූවිලි පොදක් (a speck of dust in the cosmos)”.

අපි කොච්චර වාසනාවන්තද සහ ඒ එක්කම කොච්චරනං මෝඩද කියල තේරුං ගන්න ඒ ටිකම ඇති.


___
පින්තූරය

Sunday, 24 February 2013

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

ටික දවසක ඉඳන් හොය හොය හිටිය පොත් දෙකක් ගිය සතියට ඉස්සෙල්ල සතියෙ අහම්බෙන් වගේ හම්බඋනා. ඉන්ද්‍රජිත් සුභසිංහ මහත්තය ඉරිදා දිවයින පත්තරේට ලියපු ලිපි මාලාවක් එකතු කරපු ‘මහ රහතුන් වැඩි මඟ ඔස්සේ’ පොත් පෙලේ මුල් කොටස් දෙක...

බොහොම කැමැත්තෙන් කියවපු මේ ලිපි වලට විචාර ලියන්න තරං මං මෝරල නෑ. ඉතින් පොතේ පෙරවදන සහ පසු කවරෙ තියෙන සටහන විතරක් උපුටා දක්වල නවතින්නම්...




“මේ ලිපි මාලාව ලියූ ස්වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන් වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වනගැබක අලි, කොටි, වලසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ භිය දැක මේ ආත්මයේදීම සසර දුකින් එතෙර වීම අදිටන් කර ගනිමින් සෘජුව නිවන් ම‍ෙඟ්  ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මග ඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන් වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමෙකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතුවූ සටහන් පොත් කිහිපයක සංස්කරණය නොකල සටහන් ලෙසින් මා අතට පත්කළ උන් වහන්සේ නොපෙනී ගියහ. එහෙත් එම සටහන් කොතරම් දාර්ශණිකද, ගැඹුරුද, ආශ්චර්යමත්ද. නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශවයටම මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද ඇයැදුමක්ද විය. කර්තෘ අඥාත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතු වනු නිසැකය.”
___

ගෝරතර සසරේ
තවත් එක් සන්ධියක
ඉබාගාතේ ඇවිදි
සංසාර සතුන් හට
නොඇලෙන්න කියා දුන්
නෙගැටෙන්න සිහිය දුන්
නිදුකානගේම පුත්
සඟ මැණික ඔබම විය

කරගන්න මහ කුසල්
බෙදා ලොවටම දහම
ඔබේ අවබෝධයෙන්
සැනසීය මනු කැලක්
එමතු නොව දෙවියෝද
එයින් තුටු වනු දනිමි

සාරිපුත් පරපුරේ
අපේ කාලේ උපන්
මහකසුප් මහතෙරගෙ
එමඟ යන බුදු පුතුනි
එක්කෝ මරණයය
නොමැතිනම් නිවනමය
කියා කළ සිහ නාද
තව කොහෙන් අසන්නද

ඔබේ දම් ගැලපුමට
නොතිත් පැසසුම් එතැයි
කියූ කල මා ඔබට
පුතේ මේ මගෙ නොවෙයි
බුදුරජුන් දහමමය
නිහතමානීව කිවු
ඒ වදන් රාවදෙයි

කොහේ හෝ වන පෙතක
මේ මොහොතෙ වැඩ සිටින
අපේ පිනටම උපන්
හිමියනේ ඔබෙ ගුණෙන්
දකිමු අපි බුදු රජුන්

ඒ අමා මෑණියන්
සහස් දෙකකුත් අඩක්
ගෙවී වස් ගතවෙතත්
වදයි ඔබ වැනි පුතුන්
ලෝ සතට සෙනෙහසින්



_____
පින්තූරය  

Tuesday, 25 September 2012

පොත් චාරිකාවේ පලදාව


මං පොත් ප්‍රදර්ශණේ බලන්න යන්න සූදානං වෙලා හිටියෙ ඉරිද. එදා ටිකක් දවල් වෙලා යන්න හිතාගෙන හිටියත් සෙනසුරාද හවස යාළු මිත්තරයෙක් කතා කරල...

“ඒ මචං! හෙනට සෙනගනෙ... හෙටත් අම්බානකට සෙනග ඉඳියි...” කියල කිව්ව නිසා මං ගමං සැලැස්ම ටිකක් විතර වෙනස් කරල ඉරිද උදේම ගියා.

උදේ නවය වෙන කොටම ඇතුලට ගිය නිසා එකොළහ දොලහ වෙද්දි වැඩි තදබදයකට අහු නොවී පොත් ටිකකුත් අරගෙන එන්න පුළුවං උනා.

මෙන්න මේපාර පොත් ප්‍රදර්ශණෙන් මං ගත්ත පොත්...

කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවො ලියපු විස්තරාර්ථ ධම්මපදය පොතේ අළුතින්ම ආපු කොටස් දෙක ගත්තා.
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 12 (අත්ත වර්ගය)

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 13 (ලෝක වර්ගය)



අජාන් බ්‍රහ්මවංසො හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා සිංහලයට පරිවර්තනය කරල තියෙන “සිනාසෙන සුදු හාමුදුරුවෝ” පොත් පෙලේ පළවෙනි කාණ්ඩෙ රහ වැටිල හිටිය නිසා අහුවෙච්ච ඉතිරි කාණ්ඩ හතරම ගත්තා.
කරදරකාරයින් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේද? 
ඇයි මටම මෙහෙම වෙන්නෙ? 
මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි? 
මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද?





ගන්නවමයි කියල හිතාගෙන ගිය ගාමිණී මහත්තයගෙ මේ පොත ගත්ත.
යාල නැගෙනහිර අහිමි වනමං


ඒ කිට්ටුවෙන්ම තිබ්බ මේ පොතත් ගත්ත.
වනදිවි සැරිසර



ඇයි පරිවර්තන පොත්? ඒවත් ගත්තනෙ...

ගං දියේ විරුවෝ (ඇලන් බෙයිලි)


තරු මගට පිවිසුනෙමි (යූරි ගගාරින්)
මේ යූරි ගගාරින්ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය.


මහ ගන වන මැද මිනිසෙක් (ඇල්බට් ෂ්වයිට්සර්)


සතුරු කඳවුරු මැදින් (එරික් විලියම්ස්)


සොෆීගේ ලෝකය (යූස්ටයින් ගෝඩන්)



තව අළුත් විද්‍යා ප්‍රබන්ධ පොත් දෙකකුත් හම්බඋනා.

ලෝක විනාශය (The Hammer of God පොතේ පරිවර්තනය) (ආතර් සී. ක්ලාක්)‍


රික්ටර් 10 (ආතර් සී. ක්ලාක් සහ මයික් මැක්වේ)




_____
පොත් වල පින්තූර ටිකනං ගත්තෙ මං. අනිත් පින්තූරය
http://www.event.lk/images/event/home/main/1346912223Colombo%20International%20Book%20fair.jpg

Thursday, 13 September 2012

පරිවර්තන පොත්




පොත් පත් කියවීම කෑම බීම ගැනීම වගේම ජීවිතයේ අංගයක් කරගත්තු කෙනෙක් “පොත පත කියන්නෙ මනසට ආහාර” කියන කියමන පිළිගන්නව.  කෑම බීම වලට අපි එක් එක්කෙනාගේ තියෙන රුචිකත්වය වෙනස් වෙනව වගේම පොත් පත් වලට තියෙන රුචිකත්වයත් එක් කෙනෙක්ගෙන් තව කෙනෙකුට වෙනස්. මගේ මානසික ආහාර වේල ගැන කතා කරොත් ඒකෙ ලොකු කොටසකට අයිතිවාසිකම් කියන්නෙ පරිවර්තන කෘති.

පොත් පත් ගැන වැඩි වැඩියෙන් කතාවෙන මේ කාලෙ පරිවර්තන පොත් ගැන මට තියෙන්නෙ කොයි විදිහෙ ආකල්පයක්ද කියල ලියන්න හිතුන...

පරිවර්තන පොත් තෝර ගන්නකොට මං නං ඉස්සරවෙලාම බලන්නෙ ඒක ‘සංක්ෂිප්ත’ (සාරාංශ ගත කරපු) පරිවර්තනයක්ද ‘අසංක්ෂිප්ත’ පරිවර්තනයක්ද කියලයි. මොකද මම සංක්ෂිප්ත පරිවර්තන වලට පුද්ගලිකව අකමැති නිසා. මට හිතෙන විදිහටනං සංක්ෂිප්ත පරිවර්තනයකින් වෙන්නෙ මුල් කෘතියෙ තියෙන වටිනාකම නැති වෙලා යන එක විතරයි. මුල් කෘතිය රසවිඳීමේ හැකියාව මොට කරන්න සංක්ෂිප්ත පරිවර්තනේකට පුළුවන්.

පොතක් පරිවර්තනය කරනව කියන්නෙ භාරදූර කාර්යයක්. ඒක එක භාෂාවක වචන තවත් භාෂාවකට හරවන ‘වචන හරඹයක්’ විතරක්ම නෙවෙයි. එතනදි භාෂා අතර තියෙන පරතරයට අමතරව සංස්කෘතීන් අතර තියෙන පරතරයත් පියවන්න පරිවර්තකයෙකුට සිද්ධ වෙනව. පරිවර්තනය කරන හැම කෘතියක්ම පරිවර්තකයෙකුට අභියෝගයක් වෙන්නෙ මේ නිසයි.

කොහොම උනත් කෘතියක් පරිවර්තනය වෙනකොට මුල් කෘතියේ ගුණාත්මක භාවයට සුළුවෙන් හරි හානි වෙන එක වලක්වන්න බැරි දෙයක්. ඒ හානිය අවම වෙන තරමට තමයි පරිවර්තනයක සාර්ථක භාවය වැඩි. පරිවර්තනය සාර්ථක නම් මුල් කෘතියෙන් ඇති කරන හැඟීම පරිවර්තන කෘතියෙනුත් ඇතිවෙන්න ඕනි. ‍

මාටින් කේඩින්ගෙ Ghosts of the Air කෘතියෙ සිංහල පරිවර්තනයෙ (‘අහස් භූතයෝ’) පෙරවදනෙ රදිකා ගුණරත්න මෙහෙම සටහනක් කරල තියෙනව.

“පරිවර්තනයකදී හුදෙක් කතාව පමණක් කීම පරිවර්තනයක් නොවන බව මාගේ හැඟීමයි. අප මුල් කෘතිය ලියූ ලේඛකයාගේ ලේඛන රටාවේ ශෛලියේ නිලය අල්ලා ගත යුතුය. මුල් බසේ ආකෘතියට, ගලා යෑමට හා ශෛලියට බොහෝ දුරටවත් සමාන භාෂා රටාවක් සොයා ගැනීමට තරම් අපේ මව්බස පොහොසත් එකකි.”

සමහර වෙලාවට එක භාෂාවක තියෙන යෙදුම් වෙනත් භාෂාවකට කොහොමවත් ගේන්න බැහැ. එක භාෂාවකදි වචනෙකින් දෙකකින් ප්‍රකාශ කරන්න පුළුවන් සංකල්පයක් වෙනත් භාෂාවකින් තේරුම් කරන්න බැරි තරම් සංකීර්ණ වෙන්න පුළුවන්. පරිවර්තන කාර්යයයේදී පරිවර්තකයාගේ හැකියාවන් උරගා බලන්නෙ කතාවක තියෙන මෙන්න මේ වගේ තැන්. පරිවර්තන කාර්යයට අතගහන පුද්ගලය මේ වගේ තැන් නිර්මාණශීලී විදිහට ‘ගොඩදාගන්න’ දන්නෙ නැතිනම් කතාවේ ගලායෑමට සහ කතා සාරයට හානි වීම වලක්වන්න බැහැ.

මාක් ට්වේන්ගෙ “The Adventures of Tom Sawyer” කෘතියෙ සිංහල පරිවර්තනය මං දැකපු හොඳම පරිවර්තන වලින් එකක්. ඒ පරිවර්තනයේ සමහර තැන් වලදි මුල් පොතේ ඉංග්‍රීසි වචන ඒ විදිහටම පාවිච්චි කරල තියෙනව. එහෙම කිරීම නිසා ඒ තැන් වලට සිංහල වචන පාවිච්චි කරාට වඩා හොඳට කතා සාරය රැකිල තියෙනව.

හොඳ පරිවර්තකයෙක් අනිවාර්යයෙන්ම හොඳ පොත් රසිකයෙක් වෙන්න ඕනි. තමන් පරිවර්තනේ කරන්න යන කතාව හදවතින්ම රසවිඳපු නැති කෙනෙක්ට ඒ කෘතියට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. ඒ වගේමයි පරිවර්තන කාර්යය පටන්ගන්න ඉස්සෙල්ල පොතේ එන නම් ගම් මුල් භාෂාවෙදි උච්ඡාරණය වෙන්නෙ කොහොමද කියන එක ගැන හොයල බලල තියෙන්න ඕනි. චරිත ගොඩනගල තියෙන සමාජ සහ සංස්කෘතික වටාපිටාව ගැන අවබෝධයක් තියෙන්න ඕනි. ඇත්තටම කිව්වොත් පොතක් පරිවර්තනය කරන කෙනෙක් ඒ දේ කල යුතුමයි. මොකද කියනවනං පොත කියවන කෙනා පරිවර්තකය මුල් කෘතියට සාධාරණයක් කලා කියන විශ්වාසයෙන් පොත කියවන්න ගන්න නිසා. ඒ වගේම පොත මිළදී ගන්න සැලකිය යුතු තරමේ මුදලක් වැය කරන නිසා. ඉතින් පරිවර්තකයෙක්ට තමන්ගෙ කාර්යය වගකීමෙන් කරන්න බැරි නං නිකං ඉන්න ඕනි.

‘හැරී පොටර්’ කතා මාලාව මගේ ප්‍රියතම කතා වලින් එකක්. පිස්සුවෙන් වගේ කියෝපු පොත් ටිකක්. වාසනාවකට වගේ ඒ පොත්වල සිංහල පරිවර්තනය කියවන්න කලින් මම කියෙව්වෙ ඉංග්‍රීසියෙන් ලියවිච්ච මුල් කෘති ටික. අර මං ‘වාසනාවකට වගේ’ කියන කෑල්ල කිව්වෙ ඇයි දන්නවද? හැරී පොටර් කතා මාලාවෙ මුල්ම පොත වෙච්ච “Harry Potter and the Philosopher’s Stone” පොතේ සිංහල පරිවර්තනය මට එහෙම්පිටින්ම බලාපොරොත්තු කඩවීමක් වෙච්ච නිසා.

මුල්ම බලාපොරොත්තු කඩවීම තමයි පොතේ නම. “හැරී පොටර් සහ මායා ගල”. නිකංම නිකං ඩික්ෂනරි පරිවර්තනයක්. ඇත්තටම මම බලාපොරොත්තු උනේ “හැරී පොටර් සහ දාර්ශණිකයන්ගේ පාෂාණය” හරි “හැරී පොටර් සහ පාරස මාණික්‍යය” වගේ ටිකක් ගතියක් තියෙන නමක් සිංහල පරිවර්තනේ තියෙයි කියල...

කොහොම උනත් පිටතින් පේන හැටියට පොතක ගුණ අගුණ කියන්න බැරි නිසා පොත තැනින් තැන පෙරළල බැලුව.

මුල් කෘතිය කියවල තියෙනවනං ඒකෙ පරිවර්තනේ හොඳද නරකද කියන්න සාර්ථක ක්‍රමයක් තියෙනව. ඒකට මුල් පොතේ තිබ්බ හිතට දැනිච්ච තැන් කීපයක් පරිවර්තන කෘතියෙන් හොයාගෙන කියවල බලන්න ඕනි.

දෙවෙනි බලාපොරොත්තු කඩවීම උනේ අන්න එහෙම කරාම. පළවෙනි පරිච්ඡේදෙ මාතෘකාව යොදල තිබ්බෙ “පිරිමි ළමයා” කියල. හයියෝ! ඕක ඉංග්‍රීසි පොතේ තිබ්බෙ “The Boy Who Lived” කියල. නිකං ආසාවට “දිවි ගලවාගත් දරුවා” කියලවත් පරිවර්තනේ කරන්න තිබ්බනෙ...

ඒ මදිවට “Hermione” පරිවර්තනේ කරල තිබ්බෙ “හර්මියෝන්” කියල. හරි විදිහට ඕක පරිවර්තනේ වෙන්න ඕනි “හර්මයිනී” කියල.

කොහොම උනත් මුල් කෘතිය කියවල නැත්නං හරි එහෙම නැත්නං පරිවර්තකයො කීප දෙනෙක් විසින් කරපු එකම පොතේ පරිවර්තන කීපයක් කියවල නැත්නං හරි පරිවර්තනය සාර්ථකද නැද්ද කියල එකපාරටම කියන්න අමාරුයි. ඒ වෙලාවට පොත් කියවන අපේ පිහිටට එන්නෙ කාලයක් තිස්සෙ පරිවර්තන පොත් කියවලම ලැබිච්ච පලපුරුද්ද තමයි.

මේ තියෙන්නෙ මට හොඳ පරිවර්තන විදිහට දැනිච්ච පොත් කීපයක්...

  • Anne of Green Gables (Lucy Maud Montgomery) - අරඹෙ ගෙදර ඈන් (ප්‍රේමසිරි මාහිංගොඩ)
  • The Adventures of Tom Sawyer (Mark Twain) - ටොම් සෝයර් (චන්ද්‍ර අනගිරත්න)
  • 2001, 2010, 2061, 3001 (Arthur C. Clarke) - (එස්. එම්. බන්දුසීල)
  • අඳ වාදකයා (වී. කරලෙන්කෝ) - (දැදිගම වී. රුද්‍රිගු)
  • අරණකට පෙම් බැඳ (විභූතිභූෂණ බන්ධෝපාද්‍යාය) - (චින්තා ලක්ෂ්මි සිංහආරච්චි)
  • Totto-Chan: The Little Girl at the Window (ටෙට්සුකෝ කුරෝයනගී) - හරි පුදුම ඉස්කෝලෙ (ලීලානන්ද ගමාච්චි)
  • The Hound of the Baskervilles (Sir Arthur Conan Doyle) - බැස්කර්විල් දඩ බල්ලා (කේ. ජී. කරුණාතිලක)
***
මෙන්න තවත් පොත් ටිකක්...

  • I Can Jump Puddles (Alan Marshall) - ඔව් මට පුළුවන්
  • The Wave (Morton Rhue) - රැල්ල
  • To Sir, with Love (E. R. Braithwaite) - ආදරණීය ගුරුතුමනි
  • The Alchemist (Paulo Coelho) - සන්තියාගෝ නම් සැරිසරන්නා
  • A Connecticut Yankee in King Arthur's Court (Mark Twain) - ඈත අතීතයට ගිය ඇමරිකානුවා 1, 2

මේව විද්‍යා ප්‍රබන්ධ...

  • The Songs of Distant Earth (Arthur C. Clarke) - මිහිකතේ ගීතය
  • Rendezvous with Rama (Arthur C. Clarke) - රාමා හමුව
  • The Mind Parasites (Colin Wilson) - චිත්ත පරපෝෂිතයෝ

තව හොඳ පරිවර්තන පොත් ගැන හෝඩුවාවල් තියෙනවනං කමෙන්ට් එකක් විදිහට දාල යන්න... :)

***
ස්තූතිය:
henryblogwalker the Dude ගෙ “දැන් ලඟද තාත්තෙ?” ලිපියට
ජීවිතේ මල් ගෙ “මගේ හිත් ගත් පොතක් 6 - තුන් තකතීරුකං කරපු කෙනෙක් මං” ලිපියට සහ
සුදීක ගෙ “සාහිත්‍ය මාසයේ - කියවන්නට (හිතන්නට) යමක්” ලිපියට

Monday, 19 September 2011

පොත් ප්‍රදර්ශනේ විත්ති


සාක්කුව හිස්ව ඇත. දවසම ඇවිදීම නිසා කකුල් කෙඩෙත්තුවද සෑදී ඇත. නමුත් සිත තෘප්තිමත්ය. අළුතින්ම මිළදී ගත් පොත් ගොඩකින් මේසයද පිරී ගොස් ඇත.



කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ කියන්නෙ මටනං අවුරුද්දෙ වැදගත් අවස්ථා වලින් එකක්.

සතියෙ වැඩට නොයන එකම දවස වෙච්ච ඉරිදා මං ටිකක් වැඩියෙන් නිදා ගන්න දවස. ඒත් ඉතින් කොළඔ පොත් ප්‍රදර්ශනේට යන්න යොදාගෙන තිබ්බ නිසා ඊයෙ එහෙම නිදාගන්න උනේ නෑ. හිමිදිරි පාන්දර අටට විතර නැගිටලා ලක ලෑස්ති වෙලා ඉස්සරවෙලාම ගියේ කැකුළු බත් කඩේට. එතනිං උදේට කාල, බස් දෙකක ඇවිල්ල BMICH එක ලඟින් බැහැ ගත්ත.

රුපියල් දහයක් දීල ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් ගත්තයි කියමුකො. මෙන්න එතකොට තව පොඩි ටෝකන් එකකුත් දෙනව. අහල බැලින්නං, මේ ටෝකන් එක දීල නොමිලේ ඇපල් බීම එකක රහ බලන්න පුළුවන් කියපි. දන්නවනෙ ඉතිං හො සී ලාංකිකයෙකුට නොමිලේ මොනා හරි දෙනව කිව්වොත් වෙන දේ. මමත් ඉතිං ආපු කාරණාව පැත්තකින් තියල නිකං දෙනව කිව්වොත් වහ කුප්පියක් හරි කටේ හලාගන්න බලාගෙන පොරකන තවත් සී ලාංකිකයො සෙට් එකකට එකතු උනා.

අපරාදෙ කියන්න බෑ, විනාඩි හතලිස් පහක් විතර පොරකාල පොරකාල බීම බෝතලයක් ගත්ත. ඒක බීල පොරකාපු එකේ මහන්සියත් නිවාගෙන, සිතියමක් කාරිය ඉල්ලගෙන පොත් හොයන වැඩේට බැස්ස.

“A” හෝල් එකෙන්ම සෙවිල්ල පටන් ගත්ත. කොහොමත් අකාරාදිය පිළිවෙලට ගියාම ලේසියි. මුකුත් මිස් වෙන්නෙ නෑ. “A” හෝල් එක අස්සෙම හතර පාරක් විතර රවුමට රවුමට ඇවිද්දා. හිතට අල්ලන එක පොතක් නෑ. ස්ටෙනි මේයර් ගෙ “Twilight” කතා මාලාවයි, J. R. R. ටොල්කින් ගෙ “Lord of the Rings” කතා මාලාවයි නං තිබ්බ. ඒත් ඉතිං ඉංග්‍රීසි පොත් ගන්නව කියන්නෙ වෙන පොත් ගන්නවා බොරු.

කොහොමින් කොහොමින් හරි “B” හෝල් එක පැත්තට ආව. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය පැත්තෙ සූ ගාල සෙන. එතනට යන ආසාව අත්හැරල ටිකක් සෙන අඩු පැත්තකට ගියා. මේ පාර මට හොයාගන්න ඕනෙ වෙච්ච පොත් කීපයක් තිබ්බ නිසා ඒ නම් ටික කොළ කෑල්ලක ලියාගෙන තමයි ගියෙ. නැත්තං අච්චර පොත් කන්දරාවක් දැක්කම අනිවා ඕනි මොන පොතද කියල අමතක වෙනව. ඉතිං ඉස්සර වෙලාම ලිස්ට් එකේ පොත් හෙව්වා. විදර්ශනා ප්‍රකාශන එකේ තිබිල හොයපු එක පොතක් හම්බ උනා. පාවුලෝ කොයියෝ ගෙ “The Alchemist” පොතේ සිංහල පරිවර්තනය (සන්තියාගෝ නම් සැරිසරන්නා). තව ටිකක් ඒ පැත්තෙම ඇවිදලා චිංගීස් ආයිත්මාතොව් ගෙ ධීවර ගීතය පොතයි, මාරියෝ වර්ගාස් ලෝසා ගේ නිර්නාමික ඝාතකයා පොතයි ගත්තා.

ආයෙත් ඇවිදිනවා. ඔරීස් පෙලේවායි ගෙ සැබෑ මිනිසෙකුගේ කතාවක් පොත හම්බඋනා. ඒකත් ගත්තා.

ලියාගෙන ගිය ලැයිස්තුවේ පොත් වලින් වැඩි හරියක් හොයාගෙන ඉවර වෙද්දි අම්බානකට බඩගිනියි. මේ වගේ දවසට මං කරන දේ තමයි මදි නොකියන්න වියදං කරල පොත් ගන්නව වගේම මදි නොකියන්න වියදම් කරල කන එක. කවර කතාද කියල හොට බඩ පිරෙන්න කෑව.

හරි! දැං ආයෙත් පොත් හොයන්න ගමනේ යා.

දිවා ආහාරයෙන් පස්සෙ අහුවෙච්ච පළවෙනි පොත දුම්බර ජනකතා. මං ගාව මග දිගට ජන කතා පොත් දෙකම තියෙනවා. ආස හිතෙන පොත් දෙකක්. මේකත් ඒ වගේ වේවි කියල හිතිච්ච නිසා ගත්තා.

ආයෙත් ඉතිං ඉබාගාතෙ යනව වගේ ඇවිදිනව. මට හොම පොත් අහුවෙන්නෙ මෙහෙම ඉබාගාතෙ වගේ යන වෙලාවට තමයි. ඔන්න තියෙනව පොත් රාක්කෙක උඩම තට්ටුවෙ දිලිහි දිලිහී ලස්සන වසිලීස්සා. හොයා ගන්නංම කියල හිතාගෙන හිතපු පොතක්. ඒ පොත ගැන ආසාවක් ඇති කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නෙ බ්ලොග් අවකාශයේ කට්ටියට.

ඊට පස්සෙ ගොඩවැදුනෙ ගුණසේන පොත් මැදුරට. හප්පේ! හැරෙන්න බෑ, සෙන. බොහොම අමාරුවෙන් කට්ටිය අතරින් රිංගගෙන ගිහිං පොතක් තෝර ගත්ත. ඇලන් මාෂල් ගෙ “I Can Jump Puddles” පොතේ සිංහල පරිවර්තනය (මට පුළුවන්). පොතේ පෙරවදන හිතට ඇල්ලුවා. කොහොමද කියල කියවලම බලන්න ඕනි.

ඊට පස්සෙ ඉතින් පොත් ගත්ත ඇති කියල හිතුන නිසා එන්ඩයි ලෑස්ති උනේ. ඒත් ඔය පොඩි පොඩි පොත් කඩවල් ටිකටත් ගොඩවෙලාම ආවොත් හොයි කියල හිතිල ඒ පැත්තටත් ගියා. එයින් එක තැනක තිබිල ලූසි මෝඩ් මොන්ට්ගොමරි ගෙ “Emily Climbs” කතාවෙ පරිවර්තනය හම්බඋනා. ලූසි මෝඩ් මොන්ට්ගොමරි මං කැමතිම ලේඛිකාවක්. ඇය ලියපු "ඈන්" කතා මාලාව මං ආසාවෙන් කියවපු පොත් ටිකක්.

අන්තිමට මං පොත් ලෝඩ් එකකුත් කරපින්නගෙන හවස් වෙද්දි බෝඩිමට සැපත් උනා. පොකට් එක බිංදුවටම හිඳිලා. ඒත් පෙරලි පෙරලි කියවන්න පොත් තියෙනව.
Related Posts Plugin for WordPress, Blogger...