Pages

Tuesday, 18 December 2012

සුරංගනා කතාවක් : චාරිකාව - දෙවන කොටස


මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්න නිසයි ඊටත් වැඩියෙන් සමහරක් මිනිස්සු ගැනයි ජීවිතේ කියල අපි ගෙවන එක ගැනයි එක්තරා විදිහක කලකිරීමකින් ඉන්න නිසයි පෝස්ට් එකක් ලියන්න තරං හිත එකලාසයක් නැහැ. ඒ උනත් පටන් ගත්ත වැඩේ ඉවරයක් කරන්න එපැයි. ඉතින් මෙන්න මං ඉංග්‍රීසියෙන් පලකරපු කතාවෙ දෙවෙනි කොටසෙ සිංහල පරිවර්තනය.
___


කියවන්න බැරි උනානං සුරංගනා කතාවක් : චාරිකාව - පළමු කොටස මෙතනින් කියවල බලන්න.

මේ සුරංගනා කතාවක් : A Journey of a Prince - Part 2 හි සිංහල පරිවර්තනය.




උ’වීරයොත් එක්ක කරපු සටනින් ඒ විදිහට අන්ත පරාජයක් ලබපු කුමාරය බොහොම දුකෙන් ගෙදර යන්න පිටත් උනා.

ආපහු එන අතරමගදි කුමාරයට ගොඩ දෙනෙක්ව මුණ ගැහුන. ඒගොල්ලො කුමාරය සටන් දිනපු කාල වලදි යහමිං ජයගෝසා කරපු කට්ටිය. ඒත් දැං පැරදිල ‘හොම්බ බිම ඇනිල’ හිටපු කුමාරයව දැකපු ඒගොල්ලො කරේ එකට එකතු වෙලා එයාට “හූ!” කියපු එක. කුමාරය ගැන හදවතින්ම දුක් වෙච්ච අය හිටියනං ඒ බොහොම ටික දෙනයි.

මෙච්චර කාලයක් තිස්සෙ කුමාරය දිහාවට ඒ ගොල්ලො වීසි කර කර හිටිය මල් පොකුරු වෙනුවට දැන් කුමාරය දිහාට ආවෙ ගල් සහ මුල්. ඒව හතරදිග්බාගෙන්ම වැහි වැස්ස.

රජතුමයි රැජිනයි හොඳට දැනුම් තේරුම් තිබිච්ච හිතල මතල වැඩ කරන්න පුළුවං දෙන්නෙක්. ඉතින් ඒ දෙන්න ඉස්සර වෙලාම කරේ කුමාරයගෙ තුවාල වලට සාත්තු කරපු එක. ඊට පස්සෙ ඒගොල්ලො කුමාරයට තව පාරක් සටනට යන්න පුහුණු වෙන්න උදව් කරා. සටනක් දිනල ආවත් සටනකින් පැරදිල ආවත් මේ තමන්ගෙ පුතානෙ.

වෙච්ච පරාජයෙන් හොඳවයින් පාඩමක් ඉගෙන ගත්ත කුමාරය තමන්ගෙ උපරිම මහන්සිය දාල දවල් රෑ නොබල පුහුණුවීම් කටයුතු කරා. එහෙම කරපු කුමාරය ඊට පස්සෙ එළඹිච්ච වසන්ත කාලෙ එක දවසක ගිහිං උ’වීරයො හතර දෙනාවම පරාද කලා.

ඒ විදිහට උ’වීරයන්ව පරද්දපු කුමාරය ‘නයිට් පදවියක් ලබාගැනීමේ චාරිකාව’ යන්න සුදුසුකං සම්පූර්ණ කරා. ඔය චාරිකාවට සුදුසුකං ලබා ගන්නව කියන එක රටේ කුමාරවරුන්ගෙයි කුමාරිකාවන්ගෙයි හීනයක්. හැබැයි ඒ අවස්තාව ලැබෙන්නෙ ටිකම ටික දෙනෙකුට විතරයි.

ඔය චාරිකාව කෙලවර වෙන්නෙ උසම උස හුදකලා කඳු මුදුනක තිබිච්ච ‘මස්තකය’ කියල තැනකින්. චාරිකාව සම්පූර්ණ කරල මස්තකයට ලඟා වෙන කෙනාට නයිට් පදවියක් ලැබෙනව. (ඔය ටික මං කලිං කිව්වද කොහෙද?). කොහොම උනත් මස්තකේට යන්න පරිස්සම් සහිත පාරවල් තිබ්බෙ එකයි. ඒ පාරටත් දොරටුපාලයෙක් අරක්ගෙනයි හිටියෙ. මේ දොරටුපාලය ඇවිල්ල මෙලෝ දෙයක් කනකට ගන්නෙ නැති, කිසිම ‘අංගපුලාවක්’ නැති යෝධයෙක්. යෝදය කරේ මස්තකේට යන පාර පටන්ගන්න තැන දොර වැහෙන්න ඒක ඉස්සරහ බිම ඇණතියාගෙන හිටපු එක.

තව පොඩ්ඩෙන් අමතක වෙනව!

කවුරුහරි උ’වීරයොත් එක්ක සටනින් දින්නම ඔහුට (හෝ ඇයට) මායාකාරී රත්තරං කාසියක් උරගා බැලීමේ ආයතනෙන් තෑගි ලැබෙනව. මස්තකේට යන පාරෙ දොර ඇරව ගන්න ඕනි කෙනා මෙන්න මේ මායාකාරී රත්තරං කාසිය දොරටුපාල යෝදයට දෙන්න ඕනි. එතකොට යෝදය ඒ කාසිය ගිලල, දොර ගාවින් අයිං වෙලා කාසියෙ අයිතිකාරයට යන්න ඉඩ දෙනව.

ඉතින් අපේ කුමාරයත් එයාට ලැබිච්ච මායාකාරී රත්තරං කාසිය කලිසමේ පිටිපස්සෙ සාක්කුවෙ ඔබාගෙන දොරටුපාලය බැහැදකින්න ගියා. එතනට ගියාම තමයි කුමාරයට තරු පෙනුනෙ. මායාකාරී රත්තරං කාසිය නෑ! එන ගමන කොහේදි හරි ඒක වැටිල!

මායාකාරී රත්තරං කාසිය නැතුව මස්තකේට යන පාරට ඇතුල් වෙන දොරටුව අරින්න යෝදය බෑම කිව්ව. අසරණ කුමාරය! එයා හැම තැනම එයාගෙ මායාකාරී රත්තරං කාසිය හෙව්වා. ඒ උනාට ඒක ආයෙ එයාට හම්බඋනේ නෑ. අන්තිමේදි වෙන කරන්න දෙයක් නැතිම තැන හිස් අතින්ම ගෙදර යන්න කුමාරයට සිද්ද උනා.

ආපහු එන අතරමගදි කුමාරයට ගොඩ දෙනෙක්ව මුණ ගැහුන. අර කුමාරය සටන් දිනපු කාල වලදි යහමිං ජයගෝසා කරපු; පැරදුනාම කුමාරයට “හූ!” කියපු කට්ටියම තමයි. ඒගොල්ලො තවත් ගල් මුල් වරුසාවකින් තමන්ව පිළිගැනීම ගැන කුමාරය පොඩ්ඩක්වත් පුදුම උනේ නෑ. ඒත් කුමාරය කවදාවත් ඒගොල්ලො කරයි කියල බලාපොරොත්තු නොවිච්ච දෙයක් ඊලඟට ඒගොල්ලො කරා.

ඒගොල්ලො තම තමංගෙ කටවල් ඇතුලට අත දාල ඉරිසියාවෙනුයි වෛරෙනුයි විස පොවපු එක එක හැඩේ, එක එක සයිස් එකේ කිරිච්චි ඇදල ගත්ත. ඊට පස්සෙ ඒවගෙං කුමාරයගෙ හදවතටම ඇන්න. ඒ ගොල්ලො ඒක කරේ පුදුමාකාර සංතෝසෙකින්. හරියට අසරණ වෙලා වැටිල ඉන්න කෙනෙකුට තාඩන පීඩන කරන එක තරං සතුටක් මේ ලෝකෙ වෙන ඇත්තෙම නෑ වගේ.

රජතුමයි රැජිනයි කුමාරයගෙ පිහිටට නොඑන්න කුමාරයගෙ හදවත එයාට අහිමි වෙන්නෙ එදා. කවුරු ගැනවත් අබමල් රේණුවක් තරංවත් තැකීමක් නොකරන කෙනෙක් බවට කුමාරය පත් වෙන්න එදා හොඳටම ඉඩකඩ තිබ්බ.

තමංගෙ පුතාට අත්වෙච්ච අවාසනාවන්ත ඉරණම ගැන රජතුමයි රැජිණයි හරියට දුක් උනා. කොහොම උනත් උන දේ දැං වෙලා ඉවරයිනෙ. ඒ නිසා ඒ දෙන්න එතනින් එහාට ප්‍රශ්ණෙ දිග්ගස්සන්න ගියේ නෑ. ඒ දෙන්න අනිත් අය වගේ කිරිච්චියකින් කුමාරයගෙ හදවත පසාරු කරන්න ගියේ නෑ. අන්න ඒ දේට කුමාරය අද වෙනතුරුත් ඒ දෙන්නට ණයගැතියි.

එදායින් පස්සෙ කුමාරයට තිබ්බ කීර්තිය නැත්තටම නැතුව ගියා. එයාගෙ ඒ එකම එක අවාසනාවන්ත පරාජය එයා කලින් ලබාගෙන තිබ්බ ජයග්‍රහණ ඔක්කොම අඳුරු වළා පටලයකින් වහල දාන්න සමත් උනා. රටේ ලෝකෙ මිනිස්සු කුමාරයව ‘පැරදිච්ච එකෙක්’, ‘කිසිම කමකට නැති එකෙක්’ සහ ‘කිසිම දෙයක් හරියට කරගන්න බැරි එකෙක්’ විදිහට හංවඩු ගැහුව. ලෝකයා එකතු වෙලා කුමාරයට කවමදාකවත් තමන්ගෙ පරාජය අමතක නොවෙන තැනට වැඩ සිද්ධ කලා.

ඔහොම කාලයක් ගතවෙද්දි කුමාරයට අර එයාගෙ හදවතේ ඇනිල තිබ්බ කිරිච්චි එකින් එක එලියට ඇදල ගලවල දාන්න පුළුවං උනා. ඒත් එකම එක කිරිච්චියක් එළියට ඇදල දාන එක කුමාරය කොච්චර උත්සාහ කරත් කරගන්න බැරි උනා. කුමාරයගෙ හදවත හරි මැදින්ම පසාරු කරගෙන ගිහින් තිබ්බ ඒ කිරිච්චියෙ මිටේ මෙන්න මේ වචන ටික කොටල තිබ්බ...

“තමුසෙ කිසිම කමකට නැති පරාජිතයෙක්!”

ඒ කිරිච්චිය හදවතින් එළියට ඇදල දාන්න හදපු හැම පාරම සිද්ද උනේ ඒකෙන්ම හදවතේ හැදිච්ච තුවාලෙ අස්සෙ වේදනාකාරී විදිහට කිරිච්චිය එහාට මෙහාට ඇඹරිච්ච එක විතරයි. ඒකට හේතුව කුමාරය දැනගෙන හිටිය... එයාට ඒ කිරිච්චිය හදවතින් එළියට ඇදල දාන්න පුළුවන් වෙන්නෙ එයා ආයෙ පාරක් එයාගෙ කීර්තිය ගොඩනගා ගත්ත දවසට විතරයි. තමන්ගෙ නැතිවිච්ච කීර්තිය ආයෙ ගෙඩනගාගන්නනම් කුමාරයට තිබ්බෙ එක විදිහයි... එයා නයිට් වරයෙක් විය යුතුම උනා.

‘මස්තකය’ ට යන්න පුළුවන් තවත් පාරක් ගැන කටකතා කීපයක් පැතිරිල ගිහිං තිබ්බ. කන්ද උඩටම වැටිච්ච පටු දඟර ගැහිච්ච පාරක් ගැන; කන්දෙ බෑවුම වැඩිම මුහුණත දිගේ දිවෙන, පාරෙ හැම වංගුවක් වංගුවක් ගානෙම කටු පඳුරු තියෙන, කටුක, වියළි පාරක් ගැන කටකතා... මෙන්න මේ කටකතා කුමාරයගෙ හදවතේ පුංචි බලාපොරොත්තුවක් ඇති කරා. එයාට ඒ පාර හොයාගන්න පුළුවං උනොත් එයාගෙ කීර්තිය ආයෙ ලබාගන්න අවස්ථාවක් උදාකරගන්න පුළුවං. ඒත් ඉස්සරවෙලාම එයා ඒ පාර පටන්ගන්නෙ කොහෙන්ද කියල හොයාගෙන ඉන්න ඕනි.

ඉතින් අපේ කුමාරය එයාගෙ දෙමව්පියන්ගෙන් අවසර අරගෙන අර පටු, දඟරගැහිච්ච පාර හොයාගෙන යන්න පිටත් උනා. පිටත් වෙන්න කලින් කුමාරය තමන්ටම මෙහෙම පොරොන්දුවක් උනා. නයිට් පදවියක් ලබා ගන්නෙ නැතුව ආයෙ එන්නෙ නැහැ කියල... තමන්ගෙ දෙමව්පියන්ට ආඩම්බර වෙන්න පුළුවං විදිහෙ මනුස්සයෙක් වෙලා මිසක් ආයෙ එන්නෙ නැහැ  කියල...

කුමාරය තමන් හොයන පාර හොයාගෙන තැනින් තැනට ගියා. එයා තවදුරටත් ඉර එළිය ගැනවත්, සුළඟ ගැනවත්, වැස්ස ගැනවත් තැකීමක් කරේ නෑ. ඒ වසන්තයද, ගිම්හානයද, ශරත් කාලයද එහෙමත් නැත්නම් හේමන්තයද කියල තැකීමක් කරේ නෑ. අඩුම තරමෙ තමන්ගෙ කෑම බීම ගැනවත් එච්චර තැකීමක් කරේ නෑ. දැන් තමයි කුමාරයට තේරෙන්නෙ තමං පැරදුන එක ගැන තමං තමං එක්කම කොච්චර තරහකින්ද ඉන්නෙ කියල. කොයි විදිහකින් හරි ඒ තරහ කුමාරයව එයාගෙ ගවේෂණයට පරිබාහිර හැම දේකින්ම වගේ ඈත් කරල දාල තිබ්බ.

කුමාරයට ඒ ගමන අතරමගදිත් ගොඩ දෙනෙක්ව මුණ ගැහුන. සමහරු කුමාරය හොයපු පාර ගැනවත් ඒ පාර පටන්ගන්නෙ කොහෙන්ද කියලවත් දැනගෙන හිටියෙ නෑ. සමහරු දැනගෙන ඉඳලත් කුමාරයට මුකුත්ම කිව්වෙ නෑ. තවත් සමහරු කරේ කුමාරයට ඔලොක්කුවට හිනාවෙලා මෙන්න මෙහෙම කියපු එක...

“ඔයා ඇත්තටම මෙලෝ වැඩක් හරියට කරන්න බැරි කෙනෙක් නේ...? ඒකටනං ඔයා ඔයා ගැනම ලැජ්ජා වෙන්න ඕනි...?”

ඒ කොහොම උනත් කුමාරය තමංගෙ ගමන අතෑරියෙ නෑ.



මතු සම්බන්ධයි...
සුරංගනා කතාවක් : චාරිකාව - තෙවන කොටස

_____
පින්තූරය

8 comments:

  1. හිත කළබලයට පත් කර ගන්න ඒපා.කළකිරීම ඔවුන්ගේ ජයග්‍රාහණයක් වන නිසාවෙන් එයින් පන්නරයක් ගන්න.හිත සන්සුන් කරගෙන මුහුණ දෙන්න.ඔබට ජය!
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. දැං අවුරුදු දෙක තුනකට කලින් තිබ්බට වැඩිය මේ වෙද්දි මගේ ඉවසීමෙ ප්‍රගතියක් තියෙනව. ඒත් ඒ ඉවසීම හරියට අර අක්‍රීය ගිනිකන්දක් වගේ.

      ස්තූතියි ගයනි

      Delete
  2. අපූරු කතාවක්.. මේකේ තියන "කිනිසි වලින් අනින" තැන දි යොදල තියන ව්‍යංගාර්ථය නියමයි. අනෙක් කොටසත් බලමු...

    ReplyDelete
    Replies
    1. ඕක මං ජීවිතේ එක පාරකට වඩා අත්දැකපු සංසිද්ධියක්. අපි හැමෝටම වගේ ඔය අත්දැකීම තියෙනව කියලයි මටනං හිතෙන්නෙ.

      Delete
  3. හිතටත්, ගතටත් ඉක්මන් සුවය ප්රාlර්ථනා කරනවා...

    ReplyDelete
  4. ඉංග්‍රීසි කතාව කියවලා දෙපාරක්ම කොමෙන්ට් කලා. දා ගන්නම බෑ..පස්සෙ මම යන්න ගියා ඇයි වදේ....

    ඔන්න අද නම් එහෙම නෑ වගේ..බලමු බලන්න මේක දාලා...

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ බ්ලොග් පෝස්ට් වලට පොඩි ඇජස්ට්මන්ට් වගයක් කරා. සමහරවිට ඒ නිසා වෙන්න ඇති.

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...