Pages

Saturday, 16 August 2014

ටොයිලට් එකක් තියෙන තැනක් කියාපියෝ


ඔන්න එකෝමත් එක රාජ සබාවකදි රජ්ජුරුවො තමංගෙ ඇමති මණ්ඩලෙන් මෙන්න මෙහෙම ප්‍රශ්ණයක් ඇහුවලු.

“ඇමති වරුනි... මනුස්සයෙකුට දැනෙන සුවදායකම හැඟීම මොකක් ද?

ඉතින් ඇමතිලත් ඔය ප්‍රශ්ණෙට දහ අතේ කල්පනා කරල එක එක විදිහෙ බරපතල උත්තර දෙන අතරෙ ඇමති මණ්ඩලේ හිටපු එක කට හැකර ඇමතියෙක් රජ්ජුරුවන්ට මෙහෙම කිව්වලු...

“දේවයන් වහන්ස, මනුස්සයෙකුට දැනෙන සුවදායකම හැඟීමක් තමයි හොටම වැසිකිලි බරක් හැදිල තියෙන වෙලාවක වැසිකිලි යන්න ලැබීම.

ඇමතියගෙ කතාව අහපු රජ්ජුරුවන්ට අම්බානකට තද උනාලු. ඇයි ඉතිං තමං බරසාර උත්තරයක් බලාපොරොත්තුවෙන් අහපු ප්‍රශ්ණෙට මෙහෙම කටකැඩිච්ච උත්තරයක් හම්බඋනාම තරහ යන්නෙ නැත්තෙ මොන රජ්ජුරුවන්ටද? අනිත් අතට හොඳට දැනුං තේරුං තිබිච්ච ඇමතිල හිටිය ඒ වගේ කාලෙක?

“ඈ බොල බලුගැත්තරයො! තෝ මාව විහිළුවකට ගත්තද...? රාජපුරුෂයිනි, මේකව කුදලගෙන ගිහිං දඟගෙට දමාපියව්...”

රජ්ජුරුවො තමන්ට පැනපු මල් පොකුරම අතේ තියාගෙන දැන් කෑගහනවලු.

එන පොට හොඳනැති විත්තිය තේරිච්ච ඇමතිය රජ්ජුරුවන්ට මෙහෙම කිව්වලු...

“අනේ ගැත්තාට අනුකම්පා කරන සේක්වා දේවයන් වහන්ස. අහිතකින් කිව්වා නෙවෙයි. මං කියපු කතාවෙ ඇත්ත නැත්ත ඔප්පු කරල පෙන්නන්නං රජතුමනි... මට දවස් කීපයක් කල් දෙන්න...”

“හොඳයි... උඹට මං දවස් හතක් කල් දෙනව. හැබැයි ඒ කාලෙ ඇතුලත උඹ කිව්වෙ ඇත්තක් කියල ඔප්පු කරගන්න බැරි උනොත් මම උඹගෙ හිස ගසා දමනව...”

“හොඳමයි දේවයන් වහන්ස...” කියල කියපු ඇමතිය ඊට පස්සෙ දවස් ටිකේම රජ වාසල ඇතුලෙම කැරකි කැරකි හිටියලු. ඔහොම ඉඳලා... ඉඳලා... රජ්ජුරුවන්ට හොඳටම ‘බොගෑන් චාජර්ස්’ වෙච්ච වෙලාවක් බලල මේ ඇමතිය රජ්ජුරුවො විතරක් පාවිච්චි කරන රාජකීය වැසිකිලියට ගිහිං ඇතුලෙන් දොර අගුල් දා ගත්තලු. දැන් රජ්ජුරුවො එළියෙලු. ඇමතිය ඇතුලෙලු.

මාලිගාවෙ වෙන වැසිකිලි තිබ්බ උනත් රජ්ජුරුවන්ට එයින් එකකට යන්නත් බැරිලු. ඇයි ඉතිං රජ්ජුරුවන්ගෙ තත්වෙට හොඳ නෑනෙ. ඉතින් රජ්ජුරුවො රාජකීය වැසිකිලිය ඇතුලෙ ඉන්න ඇමතියට මෙහෙම කියනවලු.

“ඇමතියෝ... ඉක්මනට එළියට වරෙං...”

“අවසරයි රජතුමනි. අද ඔබ වහන්සෙ මට දීපු දවස් හතෙන් අන්තිම දවස. මං මේ මරණ බයටයි මේක අස්සෙ හැංගිලා ඉන්නෙ... ඔබ වහන්සෙ මට අනුකම්පා කරල අභය දානය දෙනවනං මං එළියට එන්නං...”

“හරි... හරි... මං බොට අභය දානය දෙන්නං. දැං ඉතිං ඉක්මනට එළියට වරෙං යකෝ!” කියල බැරිම තැන රජතුමා කිව්වලු.

ඔන්න ඒපාර ඇමතිය වැසිකිලියෙන් එළියට ආවලු.

කොහොමිං කොහොමිං හරි රජ්ජුරුවො රාජකීය වැසිකිලියට ගිහිං තමංගෙ බර හෑල්ලු කරගෙන එළියට ආවට පස්සෙ ඇමතිය රජ්ජුරුවන්ට කිට්ටු කරල මෙහෙම කියනවලු.

“කොහොමද සජතුමනි දැනෙන සනීපෙ... මං කිව්වෙ බොරු නෙවෙයි නේද?”

ආයෙ ඉතිං රජ්ජුරුවො වෙන මොකවත් කියන්න ගියේ නෑලු.

___


ඔය ඇවිල්ල මං කාලෙකට කලිං සඟරාවක තිබිල කියවපු කතාවක්. මට මතක තියෙන ටිකට තව ටිකක් අතිනුත් දාල තමයි ලිව්වෙනං ඉතිං. සියයට සීයක්ම නොවුනත් ඇමතිය රජ්ජුරුවන්ට කියපු කතාවෙ ඇත්තක් නැතුවා නෙවෙයි කියල මට ටක්කෙටම තේරුංගියේ මෙන්න මෙදාට පස්සෙ...


***


ඒ මං කොළඹ බෝඩිං ජීවිතේ පටං ගත්ත අළුතම වගේ. රස්සාවයි ඉගෙන ගන්න වැඩයි කලවමේ කරන්න වෙලා තිබ්බ නිසා එතකොට නිවාඩුවක් කියල එකක් නොතිබ්බ තරං. ඉතිං ගෙදර යන්න වෙන්නෙ මාසෙකට සැරයයි. එහෙමත් නැත්නං මාස දෙකකට සැරයයි. අනිත් අතට අපේ ගම තියෙන්නෙ කොළඹ ඉඳං හැම සති අන්තෙකම යන්න පුළුවං තරමට ලේසි පාසු දුරකිනුත් නෙවයි. පැය පහක්, පහමාරක් බස් එකේම යන්න ඕනි.

මට මතක විදිහට ඒ සති අන්තයත් එක්ක තව නිවාඩු දවස් දෙකක් විතර එකතු වෙලා ලැබිච්ච දවස් හතරක විතර දිග නිවාඩුවක පළවෙනි දවස. වෙනදට උදේ හයට ඇහැරෙන්නත් ෆෝන් එකේ රිකරන්ට් එලාම් තියන්න ඕනි උනාට ඔය වගේ දවසට උදේ තුනට තියන එලාම් එක එක පාරක් වදිද්දිම ඇහැරෙනව.

බෝඩිං ජීවිතේ නිසා මං පුරුදු වෙච්ච එක පුරුද්දක් තමයි උදේ පාන්දරට වතුර කල්දේරමක් විතර බොන එක. පාන්දර තේකක් කියල එකක් බොන්ඩ වෙන්නෙත් නැති නිසා වැඩට ගිහිං උදේට කනකං බඩ පණුවො ටික ‘උද්ගෝසනේ’ කරන එක නවත්තගන්න එහෙම වතුර බොන එක හරි ප්‍රයෝජනයි.

ඉතින් වෙනද වගේම ඉස්සරවෙලාම බඩ පිරෙන්න වතුර එකක් එහෙම බීල, මේ මහ පාන්දර නින්දට බාදා වෙච්ච රූම නින්දයි නොනින්දයි අතරෙ ඉඳගෙන “හුචුස්! හුචුස්!!” ගාද්දිම ලකලෑස්ති වෙලා බෝඩිම ඉස්සරහ පාරෙ තියෙන පහන් කණුවෙ එළියෙන් යාන්තං පාර හොයාගෙන මහ පාරට ගොඩ උනා.

බස් හෝල්ට් එකේ පැය බාගයක් විතර තැප්පට පස්සෙ ගම්පලාත දිහාට යන බස් එකක් ආවයි කියමුකො. නිවාඩු දවසක් නිසා මෙච්චර උදේ වෙලත් බස් එකේ සෙනග. දැන් ඉතිං පැය පහක් හිටගෙනම පලයංකො... කමන්නෑ ඉතිං යන්නෙ ගෙදරනෙ කියල හිත හදාගත්ත මම දැං බස් එකේ හිටගෙන එහාටයි මෙහාටයි පැද්දි පැද්දි යනව.

පැයක් ගියා, පැය දෙකක් ගියා, ඔන්න පැය දෙකහමාර කිට්ටු වෙනකොට මුත්‍රාශයෙන් මොළේට පණිවිඩයක් එනව “ෆුල් ටෑන්ක්!” කියල. අද වගේ දවසක අච්චර වතුර කන්දරාවක් බීපු එක මොන තරං ගොං කමක්ද? බොහොම අමාරුවෙන් තව තව පැය බාගයක් විතර ඉවසගෙන හිටිය. ඊට වැඩියනං ඉන්නම බැරි ගානයි. නහයෙ අග්ගිස්ස සීතල වෙලා, මූණෙ ඉඳිකටු අනින්නා වගේ දැනිල, අත්වල හිරිගඩු පිපිල, කන් දෙකට දාඩිය දාගෙන එනව.

පොතේ හැටියට දැං තේ බොන්ඩ බස් එක කොහේ හරි නවත්තන්න ඕනි. එතකං තව ටිකාක් ඉවසගෙන ඉන්න මම තීරණේ කරා. ඔය පාරෙ ඒ දවස් වල දුර ගමං බස් නවත්තන කඩ තිබ්බෙ දෙකයි නැත්තං තුනයි. ඒවගෙනුත් එක තැනක තිබ්බ ටොයිලට් එක දෙවනි වෙන්න ඕනි නරකාදියට විතරමයි කියල මට හොඳටම ෂුවර්. ඒත් මේ වෙලාවෙ හැටියට ඒක උනත් සුරපුරක් ගානටයි මට දැනිල තිබ්බෙ.

ඒත් බස් එක නවත්තන පටක් පේන්න නැහැ. බැරිම තැන ඔන්න ඔය ඕනි මංගල්ලයක් වෙච්චාවෙ කියල මං බස් එකෙං බහින්න තීරණේ කරා.

ඉස්සරහ දොර ගාවට ගිහිං “මම ඔතන ඉස්සරහිං බහිනව” කියල ඩ්‍රයිවර් මහත්තයට කිව්ව.

උන්දැ නිකං පිස්සෙක් දිහා බලන්න වගේ මං දිහා බැලුව. මොකද ඉන්ටසිටි බස් එහෙම හැමතැනම නවත්තන්නෙ නෑනෙ. ඊට පස්සෙ උන්දැ පාරදිහා බලාගෙන තව වංගුවක් කෙලිං කරා. ම්හු... නවත්තන පාටක් නෑ වගේ.

ඇත්තම කියන්න මං ඒ වෙලාවෙ හිටියෙත් පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ තමයි. නවත්ත ගන්න බැරි බස් එකකටයි, නවත්ත ගන්න බැරි චූ බරකටයි එකපාර මැදි උනාම මනුස්සයෙක් කොච්චරනං අසරණ වෙනවද?

“අනේ මට බහින්න ඕනි. බස් එක පොඩ්ඩක් ස්ලෝ කරන්නකෝ...” ඒ පාර මං වැන්දෙ නැති ටික විතරයි.

ඩ්‍රයිවර් ඇහෙන නෑහෙන ගානට කුණුහරුපයක් කියන ගමංම මට බිමට පැනගන්න පුළුවං වෙන තරමට බස් එක ස්ලෝ කරා. මියෙම්වා රැකෙම්වා කියල මාත් බිමට පැන්න. තව පොඩ්ඩෙං පාත් ෆයින්ඩර් යානාව අඟහරු පෘෂ්ඨයට ගොඩ බෑව වගේ වෙනව. කොහොම හරි එහෙම නොවී යන්තං පාරට ගොඩබාපු මම වට පිට බැලුව.

කාණුවක් නං තියෙනවා... ඒ උනාට මේ බස් එකක් එනකං ඉන්න කට්ටිය රොත්තක්ම පාර අයිනෙ ඉන්නවනෙ.

ඒ වෙද්දි උදේ හයට විතර ඇති. එළිය වැටීගෙන එන වෙලාව. කාණුව ප්‍රයෝජනේට ගන්න එක දෙවෙනි විකල්පෙ විදිහට තියාගෙන වෙන විකල්පයක් තියෙනවද කියල බලන්න මං තප්පර කීපයක් වැය කරා. කොහොමත් දැං හැම තප්පරේම දැනෙන්නෙ පැයක් විතර දිගට. ඔන්න මට පේනව පාරෙන් එහා පැත්තෙ පොඩි ගෙදරක්. ගෙදර ඉස්සරහ දොර ඇරල නැතත් ජනේලෙ වීදුරුවෙන් සාලෙ පත්තුවෙන ටියුබ් ලයිට් එකේ එළිය පේනව. ඒ කියන්නෙ ගෙදර කවුරු හරි ඇහැරල ඉන්න ඕනි. ඉක්මනට පාර මාරුවිච්ච මං ඒ වේගෙන්ම පාරෙ ඉඳන් මිදුලට තිබ්බ පඩි ටිකත් බැහැගෙන ගිහිං දොරට තට්ටු කරා. වෙලාවට ගෙදර බල්ලො හිටියෙ නෑ. මට කල්පයක් වගේ දැනිච්ච ටික වෙලාවකිං අංකල් කෙනෙක් දොර ඇරිය.

“අනේ අංකල්. උදේ පාන්දරම කරදර කරාට මුකුත් හිතන්න එපා. මට ඔයගොල්ලන්ගෙ ටොයිලට් එක ටිකකට පාවිච්චි කරන්න පුළුවන්ද?”

“ආඃ... ඔහොම ඔතනින් පහලට බැස්සම දකුණු පැත්තෙ...”

“හරි...”

මම අඩියට දෙකට ගිහිං නැවතුනේ ටොයිලට් එකේ.


හප්පේ... එහෙමත් ස-නී-ප-ය-ක්...



මම ඒගොල්ලන්ට නොසෑහෙන්න ස්තූති කරල, ආයෙත් පාරට ආව. බස් එකක් අල්ලගෙන ලඟම ටවුන් එකට ගිහින් එතනින් තව බස් එකක් අල්ලගෙන ගෙදර ගියා.

ඊට පස්සෙ ඉඳල තමයි මං මගේ දුර ගමන් ප්ලෑන් කරල යන්න පුරුදු උනේ. ඒකෙ අනිවාර්ය අංගයක් තමයි තව තව අවශේෂ කාරණාත් එක්ක යන පාරෙ තියෙන පොදු වැසිකිලි තියෙන්නෙ කොහෙද කියල ටිකක් හරි හොයල බලන එක.

කොහොම උනත් ඒක අමතක නොවන අත්දැකීමක්. අදටත් ඒ අංකල්ලගෙ ගෙදර ඉස්සරහින් බස් එකේ යද්දි ඒගොල්ලො කරපු ඒ උදව්වට මම හිතින් පිං දෙනව.



_____
පින්තූරය

Tuesday, 12 August 2014

නැවත හමුවීම


පෘථිවි වැසියනි, බිය වෙන්න එපා. අපි පැමිණෙන්නේ සාමකාමීවයි. එසේ නොවන්න හේතුවක් නැහැ. අපි ඔබගේ ඥාතීන්. අපි මීට පෙර මෙහි පැමිණ තිබෙනවා.

තවත් පැය කිහිපයකින් අපි මුණගැසුණු විට ඔබලා අපිව හඳුනා ගනීවි. මේ ගුවන්විදුලි පණිවිඩය තරම්ම ඉක්මනින් අපි සෞරග්‍රහ මණ්ඩලය වෙත ලඟා වෙමින් සිටිනවා. දැනටමත් අප ඉදිරියෙන් දිස්වන ආකාශයේ ඔබගේ සූර්යයා ඉස්මතු වී පෙනෙනවා. අවුරුදු මිලියන දහයකට පෙර අපේත් ඔබේත් මුතුන්මිත්තෝ මේ සූර්යයා බෙදා හදාගෙන ජීවත් උනා. ඔබලා වගේම අපිත් මනුෂ්‍යයො. නමුත් අපි අපේ අතීතය මතක තියාගෙන ඉඳිද්දි ඔබලාට ඔබලාගේ අතීතය අමතක වෙලා.

දැවැන්ත උරගයන් ලෝකයේ ආධිපත්‍යය පැතිරූ යුගයේදී පෘථිවිය ජනාවාස කලේ අපියි. අපි මෙහි එන විටත් මියයමින් සිටි ඔවුන්ව බේරා ගැනීමට අපිට බැරි උනා. ඔබලාගේ ලෝකය ඒ වෙත්දි නිවර්තන ග්‍රහ ලොවක්. එය අපේ වැසියන්ට ඉතා හොඳ වාසස්ථානයක් වේවි කියා අපි හිතුවා. නමුත් අපි වැරදියි. අභ්‍යවකාශ තරණයේ ප්‍රවීණයන් උනත් දේශගුණය ගැන, පරිණාමය ගැන, ප්‍රෙව්ණි විද්‍යාව ගැන අපි දැනගෙන සිටියේ බොහොම ටිකයි.

ගිම්හාන ඍතු මිලියන ගණනාවක් පුරාවට (ඒ පුරාණ කාලයේ ශීත ඍතු තිබුණේ නැහැ) ජනපදය සශ්‍රීකව පැවතුනා. එක තාරකාවක ඉඳන් අනෙකට ගමන් කරන්න වසර ගණනාවක් වැයවන විශ්වයක හුදකලාව සිටින්නට සිදු උනා උනත් එය එහි මව් ශිෂ්ටාචාරය සමග සබඳතා පවත්වා ගත්තා. සියවසකට තුන් හතර වතාවක් මන්දානකිණියේ තොරතුරු රැගෙන තාරකා යානා පැමිණියා.

ඒත් මීට අවුරුදු මිලියන දෙකකට කලින් පෘථිවිය වෙනස් වෙන්න පටන් ගත්තා. යුග ගණනාවක් පුරාවට නිවර්තන පාරාදීසයක් උන එහි පරිසර උෂ්ණත්වය පහල වැටුණා. ඒ සමගම ධ්‍රැව ප්‍රදේශ වල ඉඳන් අයිස් පහලට ගලාගෙන එන්න පටන් ගත්තා. දේශගුණයත් සමඟම ජනපදවාසීනුත් වෙනස් වෙන්න පටන් ගත්තා. එය දිගු උෂ්ණ ඍතුවේ අවසානයට මුහුණදීම සඳහා සිදුවුන ස්වභාවික අනුවර්තනයක් බව අපි දැන් දන්නවා. ඒත් පරම්පරා ගණනාවක් පොළොව ඒ අයගේ නිවහන කරගෙන සිටිය බොහෝ දෙනෙක් විශ්වාස කලේ ඒ අය අමුතුම ආකාරයක පිළිකුල් සහගත රෝගයකට ගොදුරු වෙලා කියලයි. මාරාන්තික නැති, කිසිම කායික පීඩාවක් ඇති නොකල, ඒ නමුත් රෝගියාව විරූපී කරන රෝගයක්.

ඒත් සමහර අය රෝගයට ප්‍රතිරෝධීතාවයක් දැක්වූවා. ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ඒ වෙනස් වීමෙන් ආරක්ෂා උනා. ඉතින්, සහස්‍රක කීපයක් ඇතුලත එකිනෙකාව අවිශ්වාස කරන සහ එකිනෙකාට ඊර්ෂ්‍යා කරගන්න කොටස් දෙකකට කොලනිය බෙදුනා. හරියට එකිනෙකට වෙනස් සත්ත්ව විශේෂ දෙකක් වගේ.

මේ බෙදීම නිසා ඊර්ෂ්‍යාවයි අසමගියයි ඇතිඋනා විතරක් නෙවෙයි අවසානයේදී ගැටුම් හටගන්නත් පටන් ගත්තා. දේශගුණය එන්න එන්නම නරක අතට හැරෙද්දි කොලනියත් කෑලි කෑලි වලට කැඩිල යන්න පටන් ගත්තා. පුළුවන් කමක් තිබුණු අය පෘථිවියෙන් ඉවත් උනා. ඉතිරි අය ම්ලේච්ඡත්වයට කිඳා බැස්සා.

අපිට සබඳතා පවත්වා ගත හැකිව තිබුණා. නමුත් තාරකා ට්‍රිලියන සියයක් තියෙන විශ්වයක කරන්න වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබලාගෙන් කිසිවෙක් ඉතිරි වෙලා ඇති කියල දැනට වසර කිහිපයක් වෙනකංම අපි හිතාගෙන හිටියෙ නැහැ. ඒත් අහම්බෙන් වගේ අපිට ඔබලාගේ පළවෙනි ගුවන්විදුලි සංඥා ලැබුණා. ඔබලාගේ සරළ භාෂාවන් ඉගෙනගෙන ඔබලා ම්ලේච්ඡත්වයේ සිට ශිෂ්ටාචාරය කරා නැවත ටිකින් ටික ඉහලට ඇවිත් ඇති බව සොයා ගත්තා. දිගු කලකට පෙර අපගෙන් වෙන්වූ අපගේ ඥාතිවරුනි. අපි පැමිණියේ ඔබලාව පිළිගන්න. ඒ වගේම ඔබලාට උදව් කරන්න.

පෘථිවිය අත්හැර දැමුවාට පසු ගතවුණු යුග ගණනාව තුල අපි බොහෝ දේ සොයාගෙන තිබෙනවා. ඔබලාට අවශ්‍යනම් අයිස් යුගයට පෙර තිබුණු සදාකාලික ග්‍රීෂ්ම ඍතුව නැවත ගෙන එන්න අපිට පුළුවන්. ඒ වගේම ජනපද වාසීන් බොහෝ දෙනෙකු ගොදුරු උන පීඩාකාරී නැතත් අප්‍රසන්න ජානමය වසංගතයට සරළ පිළියමක් දැන් අපි ලඟ තිබෙනවා.

සමහරවිට එම වසංගත තත්වය දැන් අවසන් වෙලා ඇති. නමුත් එසේ වී නැත්නම් ඔබලාට දෙන්නට සුභ ආරංචියක් අපට තියෙනවා. පෘථිවි වැසියනි, ඔබලාට ලැජ්ජාවට පත් නොවී නැවතත් විශ්වීය සමාජයට එක්වෙන්න පුළුවනි.

ඔබලාගෙන් කවුරුන් හෝ තවමත් සුදුයි නම් අපිට එය සුව කල හැකියි.


_______________________________________________________________

ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත "Reunion" කෙටිකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______________________________________________________________


_____

Tuesday, 5 August 2014

කතා ටිකක් (ඇපෙන් බේරීම සඳහා)


තේරීම් මේසය වෙත රැගෙන යමින් තිබූ ලියුම් මිටියක් සේවකයාගේ අතින් ගිලිහී සැනෙකින් පොළොව මත විසිරී ගියේය. ඒවා නැවත එකතු කර ගැනීමට තරම් කාලයක් සේවකයාට ලැබුණේ නැත, තැපැල් ස්ථානාධිපති එතැනට පැමිණියේය.

“ඇයි මේ ලියුම් බිම” ඔහු ගොරෝසු හඩින් විමසා සිටියේය.

කීමට කිසිවක් සිතාගත නොහී මදක් විපිළිසර වූ සේවකයාගේ හිතට හදිසියේම පිළිතුරක් නැංගේය.

“ගුරුත්වාකර්ෂණය නිසා, සර්”


***


“නැගිටින්න, නැගිටින්න” යි රහසින් කියමින් බිරිද රෑ මැදියමේ සැමියා අවදි කළාය.

“ඇයි මොකද?” සැමියා නිදිමත ඇස් පොඩි කරමින් විමසා සිටියේය.

“ෂ්... සද්ද කරන්න එපා, කුස්සියෙන් අඩි සද්දයක් ඇහුණා, හිමිහිට ගිහින් බලන්න”

අසල තිබූ කිතුල් පොල්ලද ගත් ඔහු යුතුකම් දත් සැමියෙකුගේ අභිමානයෙන් යුතුව කුස්සිය පරීක්ෂාවට යාමට සැරසුණි.

“අනේ එනකොට වතුර එකක් අරන් එන්න, තිබහ නිසා නින්ද යන්නෙ නෑ” බිරිද නැවතත් මුමුණා කීවාය.


***


ඉතා හොදින් වැඩුණු ජවසම්පන්න සිංහායෙකු හට වදුරෙකු මුණ ගැසිණි. වදුරා අල්ලාගත් සිංහයා “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” යි උගෙන් විමසා සිටියේය. 

“ඒ ඔබයි... සිංහ රාළහාමි” මරබියට පත් වදුරා යටහත් පහත්ව පිළිතුරු දුන්නේය. සිංහයා ඌට යන්නට හැරියේය.

දෙවනුව සිංහයාට මුණ ගැහුණේ මුව නාම්බෙකි. ඌවද බිම පෙරළාගත් සිංහයා “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” යි විමසා සිටියේය. බියෙන් සලිතව ගිය මුව නාම්බා “ඒ ඔබයි... සිංහ රාළහාමි” යි කීවේය. සිංහයා ඌටද යන්නට හැරියේය.

ඊලගට සිංහයාට මුණගැසුණේ ඇතෙකි. “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” සිංහයා ඇතාගෙන්ද ඇසුවේය. කිසිවක් නොකී ඇතා සිංහයාව හොඩින් ගෙන ඈතට විසිකර දැමීය. අඩි පණහක් පමණ ඈතින් බිම පතිත වූ සිංහයා දණි පණි ගා නැගිටගෙන ඈත සිටම කෑගැසීය.

“හරි හරි උත්තරේ දන්නෙ නෑ කිව්වනං ඉවරයිනෙ ආයිබෝං...”


***


තැපැල් කන්තෝරුවේ අවුරුදු තිහක් සේවය කල සිරිපාල විශ්‍රාම ගන්නා දිනය උදා විය. මේසා දීර්ඝ කාලයක් සේවය කල මේ සේවකයාගේ සමුගැනීම උදෙසා උත්සවයක් පැවති අතර එහිදී ප්‍රධනියා ඔහුගෙන් මෙසේ විමසීය

“හොදයි සිරිපාල, ඉතින් අපෙන් මොනා හරි විශේෂයක් කෙරෙන්න තියෙනවද? කියන්න... කියන්න...”

“අනේ සර් මගේ චෙක් එක මං ඇවිල්ල ගන්නම්. තැපෑලට නම් දාන්න එපා”


***


අධි තාත්විකවාදී චිත්‍ර ශිල්පියෙක් හා සූපශාස්ත්‍රවේදිනියක් අතිනත ගත්හ. ඒ මංගල්‍යෙයන් නොබෝ කලකට පසු සූපශාස්ත්‍රවේදිනිය හමු වූ මිතුරියක් විවාහ ජීවිතය ගැන විමසා සිටියාය.

“කොහොමද අනේ අළුත් ජීවිතේ. කොහොමද දැන් කලදවස ගෙවෙන්නෙ?”

“වරදක් නෑ අනේ අපි හොදින් ඉන්නවා. එයා චිත්‍ර අදිනව. මං උයනව පිහනව.”

“එච්චරද අනේ... චිත්‍ර නොඅදින උයන්නේ පිහන්නේ නැති වෙලාවට මොකද කරන්නේ මෙයා”

“ආ... ඒ වෙලාවටද? ඒ වෙලාවට අපි එයා ඇදල තියෙන්නෙ මොනවද, මං උයල තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න සාකච්ඡා කරනව.”


***


ධාවන පථය ඔස්සේ ගුවන්ගතවීම පිණිස ධාවනය වූ මගී ගුවන් යානය අතරමගදී නවතා නැවත ආරම්භක ස්ථානයට ගෙන එනු ලැබිණි. එය ගුවන්ගත කරනු ලැබූයේ පැයක් පමණ එසේ පමා වීමෙන් පසුවය.

විමසිලිමත් මගියෙකු එසේ පමා වූයේ කුමක් නිසාදැයි ගුවන් සේවිකාවකගෙන් විමසා සිටියේය.

“ගුවන් නියමුවාට එන්ජිමේ අමුතු ශබ්දයක් ඇහිල තියෙනවා...” ගුවන් සේවිකාව කියා සිටියාය. 

“වෙන ගුවන් නියමුවෙක් හොයාගන්න වුණු නිසයි මෙච්චර පමා වුණේ.”


***


මිතුරන් තිදෙනෙක් විනෝදයට මාළු බාමින් සිටියහ. හදිසියේම එකෙකු හට හසු වූයේ දිය කිදුරියකි. තමාව නිදහස් කර හරින්නේනම් තිදෙනාටම එක් වරය බැගින් දෙන්නම් යැයි කිදුරිය කියා සිටියාය.

“හොදයි! එක් මිතුරෙක් කීය. එහෙනම් මගේ බුද්ධිය දෙගුණ කරන්න.”

“ලැබේවා” යි කිදුරිය කී පමණින් අති ගැඹුරු දාර්ශණික මතවාද පවා පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ඔහුට ලැබිණි.

මිතුරාගේ පරිවර්තනයෙන් විශ්මයට පත් දෙවැන්නා “මගේ බුද්ධිය තෙගුණ කරන්න” යි ඉල්ලා සිටියේය.

“ලැබේවා” කිදුරිය කීය. ඔහුට අයින්ස්ටයින් ආදී මහා ගණිතඥයින් ඉදිරිපත්කල සංකීර්ණ ගණිත ගැටළු විසදීම කජු කන්නා සේ පහසු විය.

මිතුරන් ලත් හැකියාවන්ගෙන් උද්යෝගීමත් වූ තෙවැන්නා “මගේ බුද්ධිය හතර ගුණයකින් වැඩි කරන්න” යි ඉල්ලා සිටියේය.

“ඒක භයානකයි” කිදුරිය කීවාය. “ඒක අති විශාල වැඩි වීමක්. එයින් මේ ලෝක ධාතුව පිළිබඳව ඔබේ අවබෝධය, දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවනි.”

“ඒ ගැන වද වෙන්න එපා. මගේ බුද්ධිය හතර ගුණයක් කරන්න.” තෙවැන්නා නැවත ඉල්ලා සිටියේය.

“ලැබේවා” යි කිදුරිය කීවාය.

එසැනින් ඔහු ගැහැණියක් බවට පත් විය.


___

උපුටා ගැනීම සිව්දෙස සඟරා වලිනි


_____
පින්තූරය

Sunday, 3 August 2014

කාලෙකට පස්සෙ


පහුගිය අවුරුද්දයි මේ අවුරුද්දෙ මුලයි වැඩ කන්දරාවක් කරන්න සිද්ධ උනා. සුදුසුකම් කීපයක් සම්පූර්ණ කරගන්න ඔනි වෙච්ච අධ්‍යාපන වැඩ. ඉතින් බ්ලොග් එක පැත්තෙ ගැවසෙන්න වෙලාවක්වත්, අළුතින් මොනාවත් ලියන්න තරං හිතේ එකලාසයක්වත් තිබ්බෙ නැහැ. කොටින්ම හරි හමන් විදිහට නිදාගන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ. ඒ වැඩ වලින් වැඩි හරිය ඉවර කරල යාන්තං ඔළුව උස්සගත්තම තමයි බ්ලොග් එකට ගොඩවෙන්න වෙලාවක් හම්බ උනේ.

කියවන්නෙ නැතිව ගොඩ ගැහිල තිබ්බ මාස ගානක පෝස්ට් ගොඩ යන්තං කියවල ඉවර කරේ ගිය සතියෙ. කියවන්නං කියල අරගත්තත් තාම අතවත් තියන්න බැරි වෙච්ච පොත් ගොඩකුත් තියෙනව. ජීවිතේට වැදගත් දෙයක් එකතු කරගන්න ගියාමත් තමං කරන්න ආස කරන දේවල් අතාරින්න සිද්ධ වෙනව නේද? සමහර විට ටික කාලෙකට. සමහර විට සදහටම.

අනිත් අතට අපි මොනා කරත් මොනා නොකරත් වගේ වගක් නැතිව ජීවිතේ ගලාගෙන යනව. එතකොට අපිට එක්කො අඳුරට සාප කර කර ඉන්න පුළුවං එහෙමත් නැත්නං එක පොඩි එළියක් හරි පත්තු කරල තියන්නත් පුළුවං. අනුන් වෙනුවෙන් වගේම තමන් වෙනුවෙනුත්.


Sunday, 15 December 2013

දෙවියන්ගේ ආහාරය



සභාපති තුමනි, මුලින්ම ඔබට අනතුරු ඇඟවීමක් කරන්න මට සිද්ධ වෙනව.  මං මේ ඉදිරිපත් කරන්න යන කාරණා වලින් වැඩි කොටසක් බොහොමත්ම පිළිකුල් සහගත වේවි. කලාතුරකින් පමණක් ප්‍රසිද්ධියේ කතාබහට ලක්වෙන; කොන්ග්‍රස් කමිටුවක් ඉදිරියේ නම් කොහෙත්ම කතාබහට ලක් නොවෙන; මිනිස් ස්වභාවයේ සමහර ගති ලක්ෂණ සමග මම කියන්න යන කාරණා කෙලින්ම සම්බන්ධයි. නමුත් ඒවාට මුහුණ දෙන්න අපට සිදුවන බව කණගාටුවෙන් උනත් මම කියන්න ඕනි. කුහකකම කියන කඩතුරාව ඉරා ඉවත දැමිය යුතු අවස්තාවන් අප වෙත පැනනගිනව. මේ එවැනි අවස්තාවන්ගෙන් එකක්.

මහත්වරුනි, ඔබ සහ මම පැවතගෙන එන්නෙ මාංශ භක්ෂකයන්ගේ පරම්පරාවකින්. ඔබලාගේ මුහුණුවල ස්වභාවය අනුව ඔබලාගෙන් වැඩි දෙනා ඒ වචනයේ තේරුම නොදන්නා බව මට තේරුම් ගන්න පුළුවනි. ඒක පුදුමයට කාරණයක් නෙවෙයි. මොකද කියනවනම් ඒ වචනය අයිති වෙන්නෙ දැනට වසර දෙදාහකෙට පෙර අභාවයට ගිය භාෂාවකට නිසා. එක්කෝ මේ විදිහට වටින්-ගොඩින් කතාව නොකියා මම කෙලින්ම කාරණාවට බැස්සනම් වඩා හොඳයි. ඒ සඳහා ශිෂ්ඨ සමාජයේ කොතැනකදිවත් භාවිතා නොවන වචන යොදා ගන්න සිද්ධ වීම පිළිබඳවත්, එසේ කිරීමෙන් කාට හෝ හිත් අමනාපයක් ඇති උනෝතින් ඒ පිළිබඳවත් කල්තියාම මම සමාව ඉල්ලා සිටිනව...

දැනට සියවස් කීපයකට පෙර බොහෝමයක් මිනිසුන්ගේ ප්‍රියතම ආහාරය උනේ මස්. වෙනත් විදිහකින් කියනවනම් වරක් ජීවත්ව සිටි සතුන්ගේ මාංශය. මම ඔබලාට ඔක්කාරය හදවන්න හදනව නෙවෙයි. මං මේ කරන්නෙ තොරතුරු බොහොම සරළව ඉදිරිපත් කිරීමක් පමණයි. ඔබලාට ඕනෑම ඉතිහාස ග්‍රන්ථයකින් ඒ ගැන හොයා බලන්න......

ඔව්, ඇත්ත වශයෙන්ම සභාපතිතුමනි... සෙනෙට් සභික අර්වින් යථා තත්වයට පත්වන තුරු ඉන්න මම සූදානම්. මේ ක්ෂේත්‍රයට ආධුනික අය මෙවැනි ප්‍රකාශ වලට ප්‍රතික්‍රියා දක්වන්නෙ කොහොමද කියන එක ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විදිහට සමහර විට අපිට අමතක වෙනව. ඒ වගේම, මීට වඩා නරක දේවල් තවත් ඉදිරියේදි අහන්න සිදුවෙන බවට කමිටුවේ අනිත් සාමාජිකයන්ට මේ වෙලාවෙ මම අනතුරු අඟවන්න ඕනි. ඔය මහත්වරුන්ගෙන් කවුරු හරි මේ වගේ දේවල් යන්තමින් වත් අප්‍රිය කරනවනම් සෙනෙට් සභික තුමා කලා වගේ දැන්මම මෙතනින් පිට වීම වඩා හොඳ බව මම යෝජනා කරනව.

හොඳයි, මම යලිත් මාතෘකාවට ආවොත්...

මෑතක් වෙන තුරු හැම ආහාරයක්ම අයිති උනේ කාණ්ඩ දෙකකට. ඒවාගෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළේ පැළෑටි වලින්. ධාන්‍ය, පළතුරු, ප්ලවාංග, ඇල්ගී සහ වෙනත් ශාඛ වර්ග වලින්. අපේ මුතුන්මිත්තන්ගෙන් බොහෝ දෙනෙක් නොදියුණු, ඒ වගේම බොහොම වෙහෙසකර ක්‍රම යොදාගෙන ගොඩබිමෙන් සහ මුහුදින් ආහාර සපයගත්ත ගොවීන්ය කියන කාරණාව අද දවසේ අපිට තේරුම් ගන්න අමාරුයි. නමුත් යථාර්තය ඒකයි.

නැවතත් මම මුලින්ම සඳහන් කරපු අප්‍රිය සහගත කාරණාව දෙසට හැරුණොත්... දෙවෙනි ආහාර වර්ගය උනේ මස්. මස් ලබාගන්න යොදා ගත්තෙ සාපේක්ෂව බලද්දි සත්ව වර්ග කිහිපයක් පමණයි. එයින් සමහර වර්ග ගැන ඔබලා බොහෝවිට දන්නව ඇති. ගවයන්, ඌරන්, බැටළුවන්, තල්මසුන්...

මේ කාරණාව අවධාරණය කිරීම ගැන මට සමාවෙන්න. නමුත් මේ ගැන තියෙන තොරතුරු අවිවාදිතයි. බොහෝ දෙනෙක් වෙන මොනම ආහාරයකටත් වඩා කැමති උනේ මස් ආහාරයට ගන්න. ඒ උනත් එවැනි ආහාර රසවිඳින්න පුළුවන්කම තිබුනෙ පොහොසත්ම අයට පමණයි. මනුෂ්‍ය වර්ගයාගෙන් වැඩි කොටසකට මස් කියව්වෙ සියයට අනූවකටත් වඩා එළවළු වලින් සමන්විත වුනු ආහාර වේලකට කලාතුරකින් එකතුවුනු දුර්ලභ රස මසවුලක්.

මේ කාරණාව දිහා සන්සුන්ව සහ අපක්ෂපාතීව බැළුවොතින් - සෙනෙට් සභික අර්වින් ඊට සුදුසු තත්වයක දැන් ඉන්නව ඇතියි කියල මම විශ්වාස කරනව - මස් දුර්ලභ සහ මිළ අධික වීම ඇත්තෙන්ම සිදුවිය යුතුව තිබුණු දෙයක් බව අපිට පේනව. මොකද කියනවනම් මස් නිෂ්පාදනය කියන්නෙ බොහොම අකාර්යක්ෂම ක්‍රියාවලියක් නිසා. මස් කිලෝවක් නිපදවා ගන්න අදාල සතාට අඩුම තරමෙන් ශාක ආහාර කිලෝ දහයක්වත් ආහාරයට ලබා දෙන්න සිද්ධ උනා. මේ බෙහෝවිට මිනිස්සුන්ට කෙලින්ම ආහාරයට ගැනීමට පුළුවන්කම තිබුණු ආහාර. රසඥානය ගැන සැලකීම පැත්තකින් තිබ්බ උනත් මෙවැනි ක්‍රියාවලියක් දිගින් දිගටම පවත්වාගෙන යෑම විසිවෙනි සියවසේ සිදුවුණු ජනගහනය වැඩිවීමත් සමග කොහෙත්ම කල නොහැකි දෙයක් උනා. මස් ආහාරයට ගන්න හැම පුද්ගලයෙක්ම තවත් දහ දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් නිරාහාරව තියන්න හේතුවක් වෙනවයි කියල දෝෂදර්ශණයට ලක් උනා.

කොහොම නමුත්, අපි හැමෝගෙම වාසනාවට වගේ ජීවරසායනඥයො මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයා ගත්තා. ඔබ හැමදෙනාම දන්නා පරිදි ඒ විසඳුම ආවෙ අභ්‍යවකාශ පර්යේක්ෂණයන්ගෙ නොයෙක් අතුරුඵල වලින් එකක් විදිහට.

ශාක ආහාර වේවා, සත්ත්ව ආහාර වේවා, මේ හැම ආහාරයක්ම හැදිල තියෙන්නෙ පොදු මූලද්‍රව්‍ය කිහිපයකින්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සුළු වශයෙන් ගෙන්දගම් සහ පොස්ෆරස් වලින්. මිනිසා මෙතෙක් ආහාරයට අරන් තියෙන වගේම කවදා නමුත් ආහාරයට ගන්නා හැම ආහාර වර්ගයක්ම සකස් වෙන්නෙ මේ මූලද්‍රව්‍ය දුසිම් බාගය සහ තවත් මූලද්‍රව්‍ය කීපයක් එකිනෙකට වෙනස් ආකාර අපරිමිත ගණනකින් සංයෝජනය වීමෙන්.

චන්ද්‍රයා සහ අනෙකුත් ග්‍රහලෝක ජනාවාස කරීමේදී ප්‍රශ්ණ රැසකට මුහුණදීපු විසි එක් වෙනි සියවසේ ජීවරසායනඥයො ජලයේ, වාතයේ සහ පාෂාණ වල අඩංගු මූලික අමුද්‍රව්‍ය පාවිච්චි කරල කැමති ඕනෑම ආහාරයක් සංස්ලේෂණය කරන ආකාරය හොයා ගත්ත. විද්‍යා ඉතිහාසයේ අපි ලබපු විශාලතම සහ සමහර විට ඉතා වැදගත්ම ජයග්‍රහණය තමයි ඒක. නමුත් ඒ ගැන අපි ඕනෑවට වඩා ආඩම්බර විය යුතු නැහැ. මොකද කියනවනම් ශාක රාජධානිය ඒ අතින් ඉන්නෙ අපට වඩා අවුරුදු බිලියනයක්වත් ඉදිරියෙන් නිසා.

හිතාගතහැකි ඕනෑම ආහාරයක් සංස්ලේෂණය කරන්න රසායනඥයන්ට ඒ හරහා පුළුවන් උනා. ඊට සරිලන ආහාරයක් ස්වභාවිකව තිබුණා හෝ නොතිබුණා කියල වෙනසක් තිබ්බෙ නැහැ. මේ ක්‍රියාවලියෙදි අත්වැරදීම් පමණක් නෙවෙයි මහා ව්‍යසනයන් පවා සිදුවුනායි කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ? කර්මාන්ත ආදිපත්‍යයන් ඇතිවෙලා නැතිවෙලා ගියා. කෘෂිකර්මාන්තයෙන් සහ සත්ත්ව පාලනයෙන් අද භාවිතාවන මහාපරිමාණ ස්වයංක්‍රීය පිරිසැකසුම් යන්ත්‍ර සහ බහුවර්තක වෙත කෙරුණු පරිවර්තනය බොහෝවිට වේදනාකාරී උනා. නමුත් එය සිදුකල යුතුව තිබුණා. අපිට ඒ ගැන දැන් සතුටු වෙන්න පුළුවන්. අපි හාමත් වීමේ උවදුර සදහටම නැතිකර දමල තියෙනව වගේම වෙන මොනම කාලයකවත් නොතිබ්බ තරමේ ආහාර විවිධත්වයකින් සමෘද්ධිමත්ව සිටිනව.

සදාචාරාත්මකව අපි ලබාගෙන තියෙන දියුණුවත් ඒ වගේමයි. අපි තවදුරටත් පණ තියෙන සතුන්ව මරණයට කැප කරන්නේ නැහැ. මස් මඩුව, සත්ත්ව ඝාතකාගාරය වැනි පිළිකුල දනවන ආයතන පොළොව මතින් තුරන් වෙලා ගිහින් තියෙනව. රළු සහ සාහසික අය උනා උනත්, අපේ මුතුන්මිත්තො මේ තරම් අශිෂ්ඨ දෙයක් සිද්ධවෙන්න ඉඩ දීල ඇස් කන් පියාගෙන හිටියයි කියන කාරණාව අපිට විශ්වාස කරන්නත් බැරි තරම්.

ඒ උනත් අතීතයත් සමඟ තියෙන සම්බන්ධය අපිට සහමුලින්ම නැති කරන්න බැහැ. මම මේ වෙත්දිත් කියල තියෙන විදිහට අපි මාංශ භක්ෂකයො. අවුරුදු මිලියන ගණනක් තිස්සේ ඇතිකර ගත්ත රුචිකත්වයන් අපිට උරුම වෙලා තියෙනව. අපි කැමති උනත් නැතත් අවුරුදු ගණනාවකට කලින් අපේ මීමුත්තන් ඒ අයට ලබා ගන්න පුළුවන් උන වෙලාවල් වලදි ගවයන්ගේ, බැටළුවන්ගේ සහ ඌරන්ගේ මස් රසවිඳල තියෙනව. ඒ වගේම අපි අදටත් ඒ දේවල් රසවිඳිනව...

අපොයි, අපොයි... එක්කෝ දැන් ඉඳල සෙනෙට් සභික අර්වින් එළියෙන් හිටියනම් වඩා හොඳයි. මට මේ කාරණාව එකපාරම නොකිය ඉන්නයි තිබුණෙ. ඒත් ඇත්ත වශයෙන්ම මම අදහස් කලේ අපි දැන් ආහාරයට ගන්නා සංස්ලේෂණය කරන ලද ආහාර වලින් වැඩි හරියකට තියෙන්නෙත් පැරණි ස්වභාවික ආහාරවල තිබ්බ සංයෝගයන්ම බව කියන්නයි. ඒවගෙන් සමහරක් ස්වභාවික ආහාරවල කොතරම් නිවැරදි පිටපත්ද කියනවනම් මොනම ආකාරයක රසායනික හෝ වෙනත් ආකාරයක පරීක්ෂණයකින් වෙන් කරල හඳුනාගන්න බැහැ. මේක න්‍යායාත්මකයි වගේම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. නිෂ්පාදකයො වශයෙන් අපි කළේ ගොඩක්ම ජනප්‍රිය ස්වභාවික ආහාර වර්ග අපේ ආදර්ශ විදිහට අරගෙන ඒවායේ රසයන් සහ ස්වභාවයන් ප්‍රතිනිෂ්පාදනය කරන එකයි.

ඒ වගේම කාට කාටත් ඇත්තම කාරණා මතක් නොකරන්න සහ ආහාරවල ව්‍යවච්ඡේද විද්‍යාත්මක හෝ සත්ත්ව විද්‍යාත්මක ප්‍රභවය ඇඟවෙන එක වලක්වන්න අපි ඒවට අළුත් නම් ලබා දුන්න. ඔබ අවන්හලකට ගියාම මෙනු පතේ ඔබට වැඩි‍යෙන්ම දකින්න ලැබෙන්නෙ විසි එක්වෙනි සියවසේ මුල් කාලයෙන් පස්සෙ හදාගත්ත වචන. එහෙමත් නැත්නම් මුල් ප්‍රංශ නම් උපයෝගී කරගෙන හදාගත්ත වචන. අද කාලෙ ඒව ඇත්තටම මොනවද කියල අඳුරගන්න පුළුවන් ටික දෙනෙකුට විතරයි.

ඔබලාට ඔබලාගේ දරාගැනීමේ සීමාව කොච්චරද කියල බලාගන්න ඕනි නම් කරල බලන්න පුළුවන් සිත්ගන්නාසුළු වගේම බොහොම ජුගුප්සාජනක පරීක්ෂණයක් තියෙනව. ජනප්‍රිය අවන්හල්වල වගේම ධවල මන්දිර භෝජන සංග්‍රහ වල අවුරුදු පන්සියයක් තරම් පැරණි මෙනු පත් බොහෝ ප්‍රමාණයක් සම්මන්ත්‍රණ සභා පුස්තකාලයේ වර්ගීකෘත කොටසේ තියෙනව. ඒවගෙ සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නෙ ඒව කියවන්න අපහසු කරන තරමේ අශිෂ්ට, අප්‍රසන්න ස්වභාවයක්. හරියට කාය විච්ඡේදන කාමරයක් ගැන කතා කරනව වගේ. අපි සහ දැනට පරම්පරා කීපයකට පෙර සිටි අපේ මුතුන්මිත්තො අතර තියෙන වෙනස මේ තරම් පැහැදිලිව අනාවරණය කරන වෙන මොනම දෙයක් ගැනවත් මට නම් හිතාගන්න බැහැ...

ඔව් සභාපති තුමනි. මම කාරණාවට එනව. කොපමණ අප්‍රසන්න උනත් මේ හැම දේකම මං කියන්න යන කාරණාවට ලොකු සම්බන්ධයක් තියෙනව. මම මගේ තරඟකරු වන ට්‍රයිප්ලැනටරි ෆූඩ් කෝපරේෂන් ආයතනයට විරුද්ධව ගෙනෙන්න බලාපොරොත්තු වන චෝදනාව ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරනව පමණයි. එහෙම නැතිව ඔබලාගේ ආහාර රුචිය නැති කරන්න හදනව එහෙම නෙවෙයි. මේ පසුබිම ගැන අවබෝධයක් නොතිබුණොත් ඇම්බ්‍රෝසියා ප්ලස් වෙළඳපොලට පැමිණීමත් සමග මගේ සමාගමට විඳින්න සිද්දඋන පාඩුව නිසා මම අභූත චෝදනා එල්ල කරනව කියල ඔබලාට හිතෙන්න පුළුවනි.

මහත්වරුනි, හැම සතියක් ගානෙම අළුත් ආහාර වර්ග කලඑළි බහිනව. ඒව හැම එකක් ගැනම මතක තියාගන්න අමාරුයි. කාන්තාවන්ගෙ විලාසිතා වගේ ඒවත් යනව එනව. අපි නිතර පරිභෝජනය කරන ආහාර ගොඩට එකතු වෙන්නෙ එයින් දාහෙන් එකක් විතරයි. ඒ වගේම යම්කිසි ආහාර වර්ගයක් එක රැයින් මහජනයා අතර ජනප්‍රිය වෙන්නෙ බොහොමත්ම කලාතුරකින්. එහෙම බැලුවම ඇම්බ්‍රෝසියා ප්ලස් ආහාර පෙල කියන්නෙ ආහාර නිෂ්පාදන ඉතිහාසයේ ලබපු විශාලම ජයග්‍රහණය බව මං අවංකවම පිළිගන්නව. ඇතිවෙලා තියෙන තත්වය ගැන ඔබලා හැම දෙනාම දන්නවනෙ. අනෙත් හැම දේම වෙළඳපොලින් අතුගෑවිලා ගිය ගානයි.

විය යුතු ලෙසම මේ අභියෝගය භාරගන්න අපිට සිද්ධඋනා. සූර්යග්‍රහ මණ්ඩලයේ ඉන්න අනෙත් ජීවරසායනඥයො තරම්ම දක්ෂ ජීවරසායනඥයො පිරිසක් මගේ සමාගමේත් ඉන්නව. ඒ අය ඉක්මනින්ම ඇම්බ්‍රෝසියා ප්ලස් පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගත්ත.

මිනිස් වර්ගයා මෙතෙක් ආහාරයට ගන්නා ලද ස්වභාවික වගේම කෘත්‍රිම හැම ආහාරයක් පිළිබඳවම දත්ත අඩංගුඋන ටේප් පටි අපි සතුව තියෙනවයි කියල කීමෙන් මම ව්‍යාපාරික රහස් කිසිවක් පිටතට ලබා දුන්න වෙන්නෙ නැහැ. බදින ලද දැල්ලන්, මී පැණියේ දමාපු පතංගයන්, මොණර දිව, වෙනූසියානු බහුපාදිකයන් වගේ ඔබලා කිසිම දිනෙක අහලවත් නැති අසාමාන්‍ය ආහාර වර්ගයන් දක්වා දිවෙන ආහාරයන්ගේ රසයන් සහ ස්වභාවයන් පිළිබඳ විස්තර අඩංගු අති විශාල පුස්තකාලයක් අප සතුව තියෙනව. මේ ව්‍යාපාරයේ ඉන්න හැම සමාගමකටම වගේ අපේ සමාගමටත් තියෙන මූලිකම වත්කම තමයි මේ පුස්තකාලය. එයින් අයිතමයන් තෝරාගෙන සිතාගත හැකි ඕනෑම ආකාරයකට කළවම් කරන්න අපිට පුළුවන්. ඒ වගේම අපේ තරඟකරුවන් වෙළඳපොලට නිකුත් කරන නිෂ්පාදන වැඩි කරදරයක් නැතිව පිටපත් කරන්නත් සාමාන්‍යෙයන් අපට පුළුවන්.

නමුත් ටික කාලයන් යනකම්ම ඇම්බ්‍රෝසියා ප්ලස් කියන්නෙ මොකක්ද කියල හරියටම තේරුම් ගන්න අපිට බැරි උනා. එහි ප්‍රෝටීන් සහ මේද අනුඛණ්ඩනයට අනුව වැඩි පටලැවිල්ලකින් තොරව එය කෙලින්ම මස් වර්ගයක් ලෙස වර්ගීකරණය කරන්න පුළුවන් උනත් හරියටම ඒ කොයි මස් වර්ගයද කියල නිර්ණය කරගන්න අපට බැරි උනා. මේ මගේ රසායනඥයො අසමත්උන පළවෙනි වතාව. ඇම්බ්‍රෝසියා ප්ලස් වලට තියෙන සුවිශේෂී ආකර්ෂණයට හේතුවෙන්නෙ එහි තියෙන මොන සංඝටකයද කියල පහදන්න එයින් එක්කෙනෙකුටවත් බැරි උනා. අපි හැමෝම දන්නා පරිදි ඒක අනෙක් හැම ආහාරයක්ම සංසන්දනාත්මකව නීරස කරල දාල. ඇත්තම කියනවනම් ඒක එහෙම වෙන්න ඕනි... මම එහෙම කියන්න හේතුව තව ටිකකින් ඔබලාට පැහැදිලි වේවි.

සභාපති තුමනි, කෙටියෙන්ම කියනවානම්, තරමක් අකමැත්තකින් උනත් ට්‍රයි ප්ලැනටරි ෆූඩ්ස් ආයතනයේ සභාපතිතුමා ඔබ ඉදිරියේ පෙනී සිටීවි. මට ඒ බව විශ්වාසයි. ඇම්බ්‍රෝසියා ප්ලස් සංස්ලේෂණය කරල තියෙන්නෙ වාතය, ජලය, හුණුගල්, ගෙන්දගම්, පොස්ෆරස් සහ අනෙකුත් දේවල් වලින් කියල ඔහු ඔබට කියාවි. ඒ හැමදේම සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒත් මේ කතාවෙ තියෙන අඩුවෙන්ම වැදගත් කොටස තමයි ඒ. මොකද කියනවනම් අපි ඔහුගේ රහස සොයාගෙන තියෙන නිසා. රහසිගත අනෙකුත් දේවලින් වැඩි හරියක් වගේම ඒකත් දැනගත්තට පස්සෙ බොහොම සරළ කාරණාවක්.

මම මගේ තරඟකරුට ඇත්ත වශයෙන්ම සුභ පතන්න ඕනි. දැන් පෙනෙන විදිහට මනුෂ්‍ය වර්ගයාට ගැලපෙනම ආහාර වර්ගය සීමා රහිත ප්‍රමාණයන්ගෙන් ලබාදෙන්න අවසානයේ ඔහු සමත් වෙලා තියෙනව. මේ වෙනතෙක් එයින් ලබාගන්න පුළුවන් උනේ බොහොම ටිකයි. ඒ නිසාම එය රස බලපු අතලොස්සක් දෙනා එහි රසය ගැන බොහොම ඉහලින් වර්ණනා කරල තිබ්බ. එයට සමාන කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් නැති බව ඒ අය දිව්රල කියා හිටිය.

ඔව්, ට්‍රයිප්ලැනටරි හි රසායනඥයො අති විශිෂ්ඨ තාක්ෂණික කර්තව්‍යයක් සිද්ධ කරල තියෙනව. සදාචාරාත්මක සහ දාර්ශණික ගැටළුව විසඳීම දැන් ඔබලාට බාරයි. මම මගේ කතාව පටන් ගනිද්දි ‘මාංශ භක්ෂක‘ කියල පුරාතන වචනයක් පාවිච්චි කළා. දැන් මම ඒ වගේම තවත් වචනයක් ඔබලාට හඳුන්වා දෙන්නම්. පළවෙනි පාර මම ඒක හෙමින් උච්චාරණය කරන්නම්.


මි - නී - ක - න් - නා ...




_______

ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත "The Food of the Gods" කෙටිකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

_______


ප. ලි.

ඇම්බ්‍රෝසියා (Ambrosia)
ග්‍රීක දේව කතා වලට අනුව ඇම්බ්‍රෝසියා කියන්නෙ ග්‍රීක දෙවිවරුන්ගේ ආහාරය. ඒකෙන් අමරණීයත්වය සහ සදාකාලික තාරුණ්‍යය ඇති කරනව කියල කියවෙනව. වෙනත් විදිහට කියනවනම් ඇම්බ්‍රෝසියා කියන්නෙ අමෘතයට.

වෙනූසියානු (Venusian)
“අඟහරු ලොවෙන් පැමිණි“ කියල කියන්න Martian කියල වචනයක් පාවිච්චි කරනව ඔයගොල්ලො අහල ඇති. ඒ වගේ “සිකුරු ලොවෙන් පැමිණි“ කියල කියන්න පාවිච්චි කරන වචනෙ තමයි Venusian.



_____
පින්තූරය
Related Posts Plugin for WordPress, Blogger...