Pages

Saturday, 19 May 2012

වෙන බස් එකක යමු



ජීවිතේ මුල්ම කාලෙ ගැන හොඳ මතකයක් කාටවත් තියෙන්න පුළුවන්ද? මං ගැන කල්පනා කරල බලනකොට මටනං මගේ ජීවිතේ මුල්ම අවුරුදු දෙක තුන ගැන තියෙන්නෙ හිස් ඉඩක විසිරිච්ච මතක කීපයක් විතරයි. ඒ අතරෙ මට කාලෙත් එක්ක ගලප ගන්න පුළුවන් මුල්ම මතකෙ තියෙන්නෙ මට අවුරුදු හතරෙ කාලෙ.

මොකක්දෝ පොතක “මට අවුරුදු 4 යි” කියල වෙව්ලන පොල්ගෙඩි අකුරෙන් ලියල අම්මටයි අප්පච්චිටයි වීරය වගේ පෙන්නනව මතකයි‍.

මතක දිගේ එතනින් ආපස්සට යද්දි මට මතක් කර ගන්ඩ පුළුවං මතකයන් තියෙන්නෙ ටිකයි. මේ දේ උනේ මීට කලින්, මේ දේ උනේ මීට පස්සෙ කියල තේරුං බේරුං කරගන්න බැරි විදිහේ එක ගොඩක තමයි ඒවත් තියෙන්නෙ. ඒ මතක වලිනුත් වැඩි හරිය වේදනාවයි බයයි මුල් කරගත්ත ඒව. එහෙම වෙන්නෙ සංතෝෂයට වඩා වේදනාවට අපි වැඩිය සංවේදී නිසාද?

...

ඉස්පිරිතාලෙදි කවුදෝ ගෑණු කෙනෙක් මේස හැන්දකින් එකක් පුරෝල දියකරපු කහපාට බේතක් කට මිරිකල පොවනව...

...

රොටී කෑල්ලකුත් අතේ තියං මම ආච්චිලාගෙ ගෙදර තරප්පුව මුදුනෙ ඉඳං “ආච්චීඊඊඊ.... රොටියෙ තිබිල පොල් කෙන්දක් ගිලුණාආආආ... බඩ පලන්ඩ වෙයිදෝඕඕඕ...” කිය කිය අඬනව...

...

ජනේලෙ කම්බි කූරු දෙකක් අතරෙ ඔළුව හිරකරගෙ ඉන්නව...


වැඩි හරියක් ඔය වගේ මතක තමයි...

තල් සූකිරි කකා සීයගෙ ඔඩොක්කුවට වෙලා කතන්දර අහනව වගේ එහෙම නොවෙන මතකත් නැතුවම නෙමෙයි. හැබැයි ඒ වෙලාවල්වල සීය කියල දුන්නු කතා එකක්වත් දැං මතක නෑ. ඊට වැඩිය හොඳට මට මතක තියෙන්නෙ සීය බුලත් කෙල ගහන පඩික්කම වටේ කැරකි කැරකි ඉන්න රතු පාට කෝඳුරුවොංව.

සීනි බෝතලේ හොරා කාපු එක එහෙමනං මතකම නෑ. අපේ මාම, මම හොර පූස වගේ සීනි බෝතලේට වග කියනව පොටෝ එකකුත් අරං තියෙනව. (ඒ පොටෝ එක පෙන්නල දැනටත් අපේ කට්ටිය මට විහිළු කරනව.) ඒත් සීනි බෝතලේ හොරෙං කෑව හැටි මට මතකම නෑ.

මේකත් කොයි කාලෙ උනාද කියල කියන්න තේරුමක් නැති හිතෙන් මැකිල නොගිය මතකයක්. ඒ වෙද්දි මම ගොඩක්ම පොඩියි කියල විතරක්නං කියතහැකි. වැඩිම උනොත් අවුරුදු හතරක්... මරණ බය කියන්නෙ මොකක්ද කියල දැනිච්ච පළවෙනි දවස තමයි ඒක. එහෙම දවසක් අමතක වෙන්නෙ කාටද?

මමයි, මල්ලියි අපේ පුංචිත් එක්ක පොඩි ආච්චිලගෙ ගෙදර ගිහිං එන ගමං... මම බස් සීට් එකේ ජනේලෙ පැත්තෙ... පුංචි, මල්ලිවත් තියාගෙන මගේ වම් පැත්තෙන්... බස් එක තවම ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙලා නෑ... ඩ්‍රයිවර් මාමයි කොන්දොස්තර මාමයි තවම බස් එකට නැගල නෑ...

මට හොඳටම කම්මැලි හිතිලයි හිටියෙ. ඉතිං වටේ පිටේ ඉන්න මිනිස්සු දිහා බල බල එහාටයි මෙහාටයි කැරකි කැරකි ඉන්නකොට තමයි මං ඒ මහ බයානක දර්ශණේ දැක්කෙ.

තඩිම තඩි කළු පාට ඇඳුම් බෑග් එකක් අරගත්ත මනුස්සයෙක් බස් එකට නැගල ඒ බෑග් එක සීට් එකක් උඩ තියල හිමීට බැහැල ගියා. ඒ ඇඳුම් බෑක්කෙ දැක්ක ගමං මට එකපාරටම මතක් උනේ ඒ දවස් ටිකේම ටීවි එකේ ගිය දැන්වීමක්.

“...ඔබ ඔබේ අවට පරිසරය ගැන සුපරීක්ෂාකාරීද?...” කියල තමයි ඒක පටන් ගන්නෙ... ජැන්ඩි පහට ඇඳගත්තු, අවු කණ්ණාඩි දාපු ටිකක් අමුතු විදිහට වටපිට බලන මනුස්සයෙක් බස් හෝල්ට් එකකට වෙලා ඉන්නව... මනුස්සය ගාව තියෙනව දිලිසෙන කළුපාට ඇඳුම් බෑග් එකක්... ඔහොම ටික වෙලාවක් ඉන්න මනුස්සය බස් එකක් ආපු ගමං අර බෑග් එක හෝල්ට් එකේ තියෙන්න ඇරල හීං සීරුවෙ බස් එකට ගොඩ වෙලා යන්න යනව... වෙන කවුදෝ ඇවිල්ල අර අයිතිකාරයෙක් නැති බෑග් එක අල්ලපු ගමං...

“ඩෝං!”

දැං ටිකකට ඉස්සෙල්ල අර එහා පැත්තෙ සීට් එකේ තියල ගිහිං තියෙන්නෙත් ඒ විදිහෙම කළුපාට බෑග් එකක්. ඒක දකිද්දි මගේ ඇඟ කවදාවත් නොවිච්ච විදිහකට හිරි වැටිල, තොල කට වේලිල යනව. කොටින්ම කිව්වොත් සරුවාංගෙම බයේ ගැහෙනව. මට ඕනි බස් එකෙං බැහැල පුළුවං තරං ඈතට දුවන්න. ඒත් මාව ජනේලෙ පැත්තට දාල පුංචි ඉඳගෙන ඉන්න නිසා මට සීට් එකෙං එළියට එන්න බැහැ.

“පොඩ්ඩක් දඟ කරන්නැතුව ඉන්ඩකො පුතේ... තව ටිකකිං බස් එක යයි...” පුංචි හිතන්නෙ මං මෙතන දඟ කරනව කියල...

“අනේ පුංචී... අපි බස් එකෙං බහිමුකෝ....”

“ඇයි ඔයාට ලැට් එකට යන්නෝනෙද?”

“නෑ... නෑ... අපි බැහැල ඊලඟ බස්සෙකේ යමුකො...”

“අර මොකටද?”

“අනේ අපි බහිමුකො පුංචී...”

“පිස්සු නැතුව ඉන්ඩ ළමයො... ඊලඟ බස් එක එද්දි තව ගොඩක් පරක්කු වෙනව... ඒ පාර අඬනවත් එක්ක... මොකද මේ...?”

මං ඇඬුව...

ආයි මට ගෙදර යන්න වෙන්නෑ... අමිමවයි අප්පච්චිවයි දකින්න වෙන්නෑ... ඒ ගොල්ලන්ට මගෙං කෑල්ලක්වත් හම්බවෙන එකක්වත් නෑ... කියල හිතිච්ච නිසා පුළුවං තරං හයියෙං ඇඬුව...

ඩ්‍රයිවර් මාමයි, කොන්දොස්තර මාමයි ඇවිල්ල බස් එකට නැගල පිටත් වෙන්න ලෑස්ති වෙද්දි මගේ ඇඬිල්ල ඩබල් උනා.

“අනේ මංද... මේ එකපාරටම අඬන්න තියා ගත්ත...” පුංචි මාව නලවගන්න හදන ගමං එහා පැත්තෙ සීට් එකක ඉඳං පුදුම වෙලා වගේ මං දිහා බලාගෙන ඉන්න ඇන්ටි කෙනෙක්ට කියනව.

බස් එක ස්ටාට් කරල අද්දන්ඩ ගන්නකොටම කවුදෝ බිම ඉඳං “හෝව්! හෝව්!!” ගෑව. බිම හිටපු කාටදො බස් එකට නැගගන්න ඩ්‍රයිවර් මාම වේගෙ අඩුකරා. පුට් බෝඩ් එකේ එල්ලිල බස් එකට ගොඩවෙච්ච ‘බෝම්බ කාරය’ දාඩිය පෙරාගෙන ඇවිත් එයාගෙ බෑග් එක ඔඩොක්කුවට අරං සීට් එකේ වාඩි උනා.

මං හිටපු ගමං අඬන්න පටංගෙන එකපාරටම ඇඬිල්ල නැවැත්තුවෙ ඇයි කියල කාටවත් හිතාගන්න බැරි වෙන්න ඇති.


_____
පින්තූර

Tuesday, 8 May 2012

වෙසක් කාලෙට පස්සෙ...




මේ මං ටික කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු දෙයක්. වෙසක් කාලෙට මේක ලිව්වොත් වැඩිය හොඳයි කියල හිතිච්ච නිසා ටිකක් කල් දදා හිටියෙ. ඇත්තටම මහ ලොකු දෙයක් ගැනත් නෙමෙයි.

මම මෙහෙම ප්‍රශ්ණෙකින් පටන් ගන්නං...

ගෙදරින් බැඳගෙන යන හරි, කඩෙන් සල්ලි දීල ගන්න හරි බත් මුල දිගඅරිද්දි ඒක ඔතල තියෙන පත්තර කොලේ බුද්ධ රූපයක් තිබ්බොත් ඔයගොල්ලො මොනාද කරන්නෙ?

ඉස්සරම මං නං කරේ මුකුත් නොදැක්ක වගේ පත්තර කෑල්ල ගුලි කරල වීසි කරන එක. ඒත් ඒ විදිහ හිතට ලොකු බරක්. මොකද මගේ හිත දන්නව ඒක වැරදියි කියල. පස්සෙ මම වෙන ක්‍රමයක් පුරුදු උනා. ඒ තමයි පත්තර කෑල්ලෙ බුද්ධ රූපය තියෙන කොටස වෙන් කරල අරන් තියෙන එක. ඒ විදිහට එකතු වෙච්චි එක පත්තර කෑලි ගොඩක් ඔපීසියෙ මේස ලාච්චුවක තියෙනව. තවත් පත්තර කෑලි ගොඩක් ෂොපින් බෑග් එකකට දාල බෝඩිං කාමරේ බිත්තියක එල්ලල තියෙනව. ඒත් ඒවට එතනිං එහාට මොනා කරන්නද කියලනං අදහසක් නෑ.

වෙසක් සහ පොසොන් කාල වලට පත්තර වල බුද්ධ රූප වැඩියෙන් තියෙන එක සාමාන්‍යයෙන් අපි දකින දෙයක්. ඒත් මෙතනදි පත්තර පළකරන අය අමතක කරන එක දෙයක් තියෙනව. මොන පත්තරෙත් පරණ උනාම මූණ දෙන්නෙ එකම විදිහෙ ඉරණමකට කියන එක. මිටි බැඳිල එක්කො කොහේ හරි මුල්ලකට වැටෙනව. එහෙමත් නැත්නං කිලෝ ගනං වලට විකිණෙනව. ඉතින් මේ කිලෝ ගානට විකිණෙන පත්තර ගැනෙන්නෙ එක එක දේවල් ඔතන්න. ගොඩක් වෙලාවට කෑම කඩ වලට. එහෙමත් නැත්නං ගෙවල් වල රස්සා වලට යන අයගෙ බත් මුල් ඔතන්න.

ඒ නිසා මේ කාලෙ පහු උනාට පස්සෙ කෑම පාර්සල් එතෙන පත්තර වලින් ගොඩක බුද්ධ රූප තියෙනව. ඒත් වැඩි දෙනෙක් ඒ ගැන තැකීමක් කරන්නෙම නැති ගානයි. වෙන රටවල් වල සමහර අය බුදු හාමුදුරුවන්ට අගෟරව වෙන විදිහට බුද්ධ රූප එක එක තැන් වල ප්‍රදර්ශණය කරනව කියල ඇහුවම කම්පා වෙන අපිට අපේම නොසැලකිල්ල නිසා බුද්ධ රූප වල ඉඳුල් පිහදැවෙන එක පේන්නෙ නැත්තෙ ඇයි කියන එක මටනං ප්‍රශ්ණයක්.


ප. ලි.

දැන් ටික කාලෙක ඉඳල විකුණන්න තියෙන බත් පාර්සල් පත්තර කොල වල ඔතන එක නීතියෙන් තහනං. ඒ ගැන මං සතුටු වෙන එක කාරණාවක් තමයි මේක. මොකද අපි නොදැන හරි, නොදැක්ක වගේ හරි කරන වැරැද්දක් ඒ විදිහට හරි ටිකක් අඩු වෙන නිසා.

_____
පින්තූරය

Saturday, 28 April 2012

ධනාත්මක සහ !ධනාත්මක




සිනා මැකිලා ගොසින් ඇත දෙනෙත් බොවෙලා
නෙක පාට පිරුණු ලොව කළු සුදට පෙරලිලා
ජීවිතේ මහ බරකි... නැත සැපක් ගෑවිලා
හිත මත්තෙ තිබු සතුට කොහේදෝ සැවිලා

...

නෙත් අගින් ගලා ගිය කඳුළු වැල් වියළිලා
කළු සුදින් තිබුණු ලොව නෙක වර්ණ ගැන්විලා
සුන්දරයි ජීවිතේ... නැත දුකක් ගෑවිලා
අරුමයකි මුළු සිතම සතුටකින් නැහැවිලා


ප. ලි.
මෘදුකාංග ක්‍රමලේඛණ ශිල්පයේදී නම් !true = false වේ.

ප. ප. ලි.
මේක හෙන පිස්සු අදහසක්ද මංදා. ඒත් ඔන්න ඔහෙ ලියල දැම්ම.

_____
පින්තූරය

Tuesday, 24 April 2012

වෙඩින් කේක්




සාමාන්‍යයෙන් මගුල් ගෙදරකට වෙඩින් කේක් හදෝ ගන්නෙ ඒ ගැන පලපුරුද්දක් තියෙන තැනකට ඕඩරයක් දීලනෙ. ඒ උනත් කුකරි ක්ලාස් බර ගානකට සහභාගී වෙලා ඔය බහුබූත කෑම වර්ග ගොඩාක් ජාති හදන්න ඉගෙනගෙන තිබ්බ අපේ ලොකු මාමගෙ දූ , සචින්තා අක්ක තී‍රණේ කරා එයාගෙ වෙඩින් එකට වෙඩින් කේක් හැදිල්ල එයාම කරන්න ඕනි කියල.

“මගුල් ගෙදරට කරන්න මෙච්චර වැඩ කන්දරාවක් තියෙන එකේ ඔය වැඩේ ඕඩරයක් දීල කරෝගමු.”

කියල නෑදෑයො, යාළුවො කවුරු කිව්වත්  සචින්තා අක්ක නෙමෙයි ඒවගෙං සැළුණෙ. එයාට වෙඩින් කේක් හදන්නම ඕනි උනා. ගොඩක් වෙලාවට සචින්තා අක්ක එහෙම කරන්න ඇත්තෙ වෙඩින් එකට යන වියදම ඩිංගක් හරි ඒ විදිහට අඩු කරගන්න පුළුවං වෙයි කියල හිතල වෙන්න ඇති. තමන්ගෙ මගුල් සාරිය මහල හැඩ දාල හදාගත්තෙත් එයාම නිසා ඒ තීරණේ ගැන එච්චරටම පුදුම වෙන්න දෙයක් තිබ්බෙත් නෑ.

පණ්ඩිතිච්චි වගේ පටං ගත්තට මොකද සීයකට හමාරකට වෙඩින් කේක් හැදිල්ල ලේසි පාසු කර්තව්‍යක් නෙමෙයි කියල මුලදිම සචින්තා අක්කට තේරිලයි තිබ්බෙ. ඉතිං උදව්වටයි, දැනමුතුකං ගන්නයි එයා අපේ ලොකු අම්මලාගෙ දුව, අනෝජ අක්කවත් ඔය වැඩේට එකතු කර ගත්ත. ඒ දවස් වල අපේ නෑදෑ ගෙවල් වලින් ටවුමට කිට්ටුවෙන්ම තිබ්බෙ ලොකු අම්මලාගෙ ගෙදර නිසා කේක් මෙහෙයුමේ මෙහෙයුම් මැදිරිය පිහිටෝ ගත්තෙත් එහෙ. මාවයි, මල්ලිවයි, අපේ මාමලගෙ පුතාවයි ඒගොල්ලන්ගෙ වෙඩින් කේක් මෙහෙයුමට අහු උනෙත් ඒ හින්දමයි.

ඔය අපිට ඉස්කෝලෙ නිවාඩු කාලෙ. ලොකු අම්මලාගෙ ගෙදර යන්න නිවාඩු කාලෙ එනකං අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ. එහෙම ගිහිං සතියක් විතර ඉඳල තමයි එන්නෙ. අම්මයි අප්පච්චියි පොඩි කාලෙ මාවයි මල්ලිවයි තනියෙන් කොහේ හරි යැව්වනං ඒ ලොකු අම්මලාගෙ ගෙදර විතරයි. ඒ වගේ හිතේ හැටියට සෙල්ලං කරන්න පුළුවං තැනක් තවත් නෑ. කන්ද පහල ඔයට ගිහිං වරුවක් විතර නාන එක, ඒ නාල යකෙක් කන සයිස් එකට බඩගිනි වෙලා ඇවිල්ල ඉස්මුරුත්තාව හැදෙනකං කාල හවසට එක්කො ක්‍රිකට් ගහන්න යන එක, එහෙමත් නැත්තං සොහොන් කන්දෙ ඇවිදින්න යන එක එහෙ ගියාම අපි අනිවාර්යයෙන්ම කරන දේවල්.

ඕවගෙං මං නං වැඩියෙන්ම ආස සොහොන් කන්දෙ ඇවිදින්න යන එකට. හැමතැනම හැදිල තියෙන, කාටවත් අයිති නැති සීනි පේර ගස් වල පලදාවට වග කිය කිය වටාපිටාවෙ ලස්සන බල බල සොහොන් කන්දෙ ඇවිදිද්දි දැනෙන්නෙ වචනයෙන් විස්තර කරන්න නොතේරෙන අමුතුම නිස්කලංක ගතියක්. හැබැයි ඉතින් කවමදාකවත් ලොකු අම්මවත්, ලොකු අප්පච්චිවත් ඔය ගමන තනියමනං යන්න දෙන්නෙ නෑ. සොහොන් කන්ද තනිකරම පාළු තැනක් වීම ඒකට එක හේතුවක්. අනිත් හේතුව තමයි එහෙ හැම තැනම තියෙන හුඹස්. ඉතිං ගොඩක් වෙලාවට ලොකු අප්පච්චිත් අපිත් එක්ක යන්න එනව. එන්ඩ ඕනි කියල හිතුනොත් ‘පොලා’ ත් එනව. පොලා කිව්වෙ ලොකු අම්මලාගෙ දිහා හිටපු සුදුයි අළුයි ලොම් තිබ්බ තඩි බූල් බල්ල.

ඒ පාර නිවාඩුවට ලොකු අම්මලාගෙ ගෙදර ගිය අපි තුන්දෙනාට උනේ අක්කලගෙ වෙඩින් කේක් හැදිල්ලට උදව් කරන්න. වැඩේ නරකමත් නෑ. වෙඩින් කේක් කාල තිබ්බට ඒව හදන හැටි අපි දැකල තිබ්බෙ නෑනෙ. ඉතින් අපිත් කැමැත්තෙන්ම උදව් කරා. ඒක හදපු විදිහ ගැන පිළිවෙලටනං මතක නෑ. ඒත් ඔය වේලපු පළතුරු පොඩි කෑලි වලට කපපු එක, රට ඉඳි සුද්ද කරපු එක තව එතකොට සීනි වෙනමයි කජු වෙනමයි බ්ලෙන්ඩර් කරල පෙනේරෙන් හලපු එක වගේ එහෙන් මෙහෙන් කරපු වැඩ ටිකක් මතකයි. ආඃ... තව බ්‍රැන්ඩි බෝතලයක් විතර කේක් එකට දැම්ම කියලත් මතකයි. කොහොමිං කොහොමිං හරි අන්තිමේදි හදාගත්ත කේක් මිශ්‍රණේ බබාල නාවන්න ගන්න ලොකු බේසමකින් එකක් පිරෙන්නම තිබ්බ.

ඊලඟ වැඩේ උනේ ඕක බේකරියට දීල බේක් කරගන්න එක. ඉතින් එදා දවල් වරුවෙ ත්‍රීවීල් එකක් හයර් කරගෙන අර තඩි කේක් බේසමත් පටෝගෙන සචින්තා අක්කයි, අනෝජ අක්කයි බේකරියට යන්න ලෑස්ති උනා. යන්න තිබ්බ පාරෙ තියෙන වලවල් වල තරම දන්න නිසාම කේක් බේසම ආං බාං කරගන්න තව එක්කෙනෙක් හිටියොත් හොඳයි කියල තීරණේ කරපු අක්කල “මල්ලිත් යං” කියල මාවත් ඒ ගමනට ඈඳ ගත්ත.

බේකරියට යද්දි හවස දෙකට විතර ඇති. පෝරණුවෙ තියෙන පාං ටික බානකං ටික වෙලාවක් ඉන්න කියල බේකරියෙ කට්ටිය කියපු නිසා අපි මිදුලෙ හෙවණ තිබ්බ තැනක් බලල කේක් බේසමත් තියාගෙන කල් මරන්න උනා. අක්කල දෙන්න බර කතාවක. මටත් එක තැනකට වෙලා ඉන්න කම්මැලියි වගේ දැනිච්ච නිසා පොඩ්ඩක් වටපිටාවෙ ඇවිද්ද. එහා පැත්තෙ තිබ්බ ගොයං කපපු කුඹුරෙ ළමයි කට්ටියක් සරුංගල් අරිනව. බක්කරේ කෙනෙක් කේක් බේසම අරං යන්න එනකං සරුංගල් උඩු හුළ‍‍‍ෙඟ එහාට මෙහාට පැද්දෙන දිහා බලාගෙන ඉන්න තීරණේ කරපු මම පැත්තක තිබ්බ දර කොටයක් උඩ වාඩි උනා.

කල්පනා ලෝකෙ අතරමං වෙලා හිටපු මං උඩ ගිහිං බිම වැටුණෙ සචින්තා අක්ක “අයියෝ! කියල කෑගහපු කෑගැහිල්ලට. දනි පනි ගාල එතෙන්ට යද්දි දැකපු දර්ශණෙන් මගේ ඇඟනං හිරිවැටුනෙ නෑ. ඒත් ඒක දැකල අනිවාර්යයෙන්ම අක්කල දෙන්නගෙ ඇඟවල්නං හිරිවැටෙන්න ඇති. කුට්ට හැදිල හම රැලි ගැහිච්ච, ඇ‍‍ෙඟ් ලොම් ගස් දුසිමකට දෙකකට වැඩිය ඉතිරි වෙලා නැති කණාටු බල්ලෙක් කේක් බේසමට හොම්බ ඔබාගෙන ලවක් දෙවක් නැතුව කේක් බැටර් එක කාගෙන කාගෙන යනව.

බල්ලව එලෝල උගෙං කේක් එක බේර ගන්න තවත් තප්පර තුන හතරක් යන්න ඇති. ඒ වෙද්දි සචින්තා අක්ක අඬන්න ඔන්න මෙන්න හිටපු අවස්තාව පහු කරල “අනේ දැං මොනාද කරන්නෙ...” කිය කිය අඬනව. සතියක හමාරක මහන්සිය සල්ලි වලින් ඉලක්කං පහක ගානකුත් එක්ක වතුරෙ යන්නයි යන්නෙ. අනෝජ අක්ක කේක් බේසමයි බල්ලයි දිහා මාරුවෙං මාරුවට බල බල දත්මිටි කනව. ඒ අතරෙ බල්ල අතට අහු නොවෙන තරං දුරින් මුකුත් නොකරපු ගානට අහිංසක බඩගිනි මූණකුත් මවාගෙන බලං ඉන්නව.

“පොඩ්ඩක් අඬන්නැතුව ඉන්නව සචී... දැං ඉතිං වෙන කරන්ඩ දෙයක් නෑ. අපි බල්ල කාපු හරියෙ ටික අයිං කරල ඉතරි ටික බේක් කර ගමු.” අන්තිමේදි අනෝජ අක්ක කිව්ව.

“ඒ උනාට එහෙම කමන්නැද්ද?” සචින්තා අක්ක දෙගිඩියාවෙන් වගේ ඇහුව. මොකද වෙඩින් කේක් කන උදවිය හැමෝම නෑයො, වෙන්න නෑයො එහෙමත් නැත්තං යාළුවො නිසා.

“එහෙම නොකර වෙන මොන කෙහෙල්මලක් කරන්නද?” කියන්නා වගේ බැල්මක් අනෝජ අක්කගෙ මූණෙ ඇඳිල මැකිල ගියා.

මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය මම පණ්ඩිත වාක්‍යක් දැම්මෙ ඒ වෙලාවෙ තමයි.

“බයවෙන්ඩ දෙයක් නෑ අක්කෙ... පෝරණුවට දැම්මම කොහොමත් රස්නෙට විසබීජ නැති වෙනවනෙ... අවුලක් වෙන එකක් නෑ...”

ඉතිං කේක් බැටර් එකේ බල්ල කට ගහපු හරියෙං ලොකු පදාසයක් අයිං කරල, ඒ ටික “තෝම කාපිය...” කියල බල්ලටම දාල, ඉතිරි හරිය පෝරණුවට දාන්න දීල අපි එන්න පිටත් උනා.

“මල්ලී... කේක් එක බල්ලො කෑව කියල කාටවත් කියන්නෙපා. හොඳද?”

ආපහු එන අතරමගදි සචින්තා අක්ක කිව්ව.

මමත් ඔළුව වනල “හාඃ...” කිව්ව.


ප. ලි.

දැං ඔයගොල්ලො හිතන්න එපා නෑදෑයො කට්ටිය ඒ කේක් කනව බලාගෙන මං නිකං හිටියයි කියල. මං කියන දෙයක් කණකට ගන්න සූදානං හැම කෙනෙක්ටම “කේක් කන්න එපා” කියල මං කිව්ව. හැබැයි කේක් එක බල්ලො කාපු බවක් කිව්වෙ නෑ. කොහොම උනත් මං මට හම්බවෙච්ච කේක් කෑල්ලනං කෑව.


_______
පින්තූරය

Monday, 16 April 2012

තාත්තාව මවපු හැටි


මුලින්ම...

හැමෝටම මේ ලැබුවා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභම සුභ වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
___

මේ පාර ගෙදර ගිය වෙලාවෙ ‘ගී මියැසියක්’ රසවිඳින්න අවස්තාව ලැබුණ. එතෙනදි අහපු මං ආස කරන සින්දුවක් වෙච්ච ටී. එම්. ජයරත්න මහත්තය ගායනය කරන “අම්මා සඳකි...” ගීතය මාව මතක මංපෙත දිගේ අතීත මතකයකට අරගෙන ගියා.

පහුවදාම ගෙදර තිබ්බ සඟරා ගොඩ අවුස්සන්න ගත්තෙ මම හොයන්න හිතාගත්ත දේ හම්බවෙයි කියල වැඩි විශ්වාසයක් ඇතුව නෙවෙයි. ඒත් ඒක කොහේ හරි මුල්ලකට වෙලා තියෙන්නම ඕනි කියල හිත කිව්ව. මට බාදාවකට තිබ්බෙ එකක් පස්සෙ එකක් එන කිබුහුම් පෝලිම තමයි. කොච්චර පොත් පත් කියවන්න ආස උනත් පරණ වෙච්ච පොත් වල තියෙන ‘පොත් දූවිල්ල’ මට ඇලජික්. මුකවාඩම් බැඳගෙන තමයි පරණ පොත් පත් අවුස්සන්න වෙන්නෙ. මම හෙව්වෙ සඟරාවක පළවෙලා තිබ්බ ලිපියක්. හොයලා... හොයලා... අන්තිමට ඒක හොයා ගන්න පුළුවන් උනා. මේ තියෙන්නෙ ඒ ලිපිය.

පියවරුන්ගේ සෙනෙහස මව්වරුන්ගේ සෙනෙහසට නොදෙවනි උනත් මව්වරුන් ගැන ලියවෙන තරම්ම පියවරු ගැන ලියවෙන්නෙනම් නැහැ. මේ මට ඇහැ ගැහුණ නිතරම නොකියවෙන ඒ පිය සෙනෙහස ගැන කියවිච්ච හරිම අපූරු නිර්මාණයක්.

***

උපුටා ගැනීම “සෝදිසි” සඟරාව 2001 අප්‍රේල් මංගල කලාපයෙන්.




දෙවියන් වහන්සේ තාත්තාව නිර්මාණය කිරීම ආරම්භ කළේ උස් වූ සැකිල්ලකිනි.

අසල සි‍ටි දේව දූතියක් දෙවියන් වහන්සේගෙන් මෙසේ විමසුවාය.

“මේ මොන වගේ තාත්තා කෙනෙක්ද? ඔබ වහන්සේ දරුවන්ව හුඟාක් පුංචියට නිර්මාණය කරලා තාත්තව මේ තරම් උස තැනැත්තෙක් කරන්නේ ඇයි? පියාට දණ නොගහ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න බැරි වේවි. නොනැමී දරුවන්ව වඩා ගන්න බැරි වේවි. තමන්ගේ දරුවන්ට හාද්දක් දෙන්න උනත් තාත්තාට කොච්චර අමාරු වේවිද?”

සිනාසුණු දෙවියන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

“ඔව් ඔය කියන සේරම ඇත්ත. ඒත් මම තාත්තාව කොටට නිර්මාණය කළොත් දරුවො අමාරුවෙන් ඔළුව ඉහලට ඔසවලා බලන්නෙ කා දිහාවද?”

දෙවියන් වහන්සේ තාත්තාගේ දෑත් විශාලව සහ හැඩි දැඩිව නිර්මාණය කලහ.

දේව දූතිය ඒවා ගැන සෑහීමකට පත් නොවූ සේය. ඇය මෙසේ විමසුවාය.

“ඔය විශාල අත් වලින් දරුවෙකුගේ ඇඳුමකට කටුවක් ගහන්නෙ කොහොමද? අඩුම තරමේ පෝනි ටේල් එකකට රබර් පටියක් දාන්නෙ කොහොමද?”

සිනාසුණු දෙවියන් වහන්සේ මෙසේ පැවසූහ.

“මම දන්නවා නමුත් මේ අත් දරුවට ආරක්ෂාව දෙන්න තරම් ශක්තිමත්. දරුවගෙ පිඟාන ආහාර වලින් පුරවන්න තරම් සවිමත්.”

ඊලඟට දෙවියන් වහන්සේ දිගු සිහින් දෙපා සහ පුළුල් උරහිස් නිර්මාණය කළහ.

“කෝ එතකොට තාත්තාට දරුවො නළවන්න උකුළක්?”

දේව දූතිය විමසුවාය.

“අම්මට පුළුල් උකුළක් තියනවා හැබැයි පුළුල් උරහිසක් නැහැ. තාත්තට පුළුල් උකුළක් නැතත් පුළුල් සවිමත් උරහිසක් තියනවා. පුංචි පුතාට බයිසිකල් පදින්න පුරුදු කරවන්න තාත්තට මේ උරහිස් ප්‍රයෝජනවත් වේවි. දරුවාව උරහිස් උඩ වාඩි කරවගෙන යන්න වගේම චිත්‍රපටියක් බලල ආපසු එද්දි දරුවාව නිදි කරවගෙන එන්නත් ඒ උරහිස් ප්‍රයෝජනවත් වේවි.”

දෙවියන් වහන්සේ තාත්තාගේ විශාල දෙපතුල් නිර්මාණය කරමින් සිටියහ. දේව දූතියට මෙය ඉවසිය හැක්කක් නොවීය.

“ඒක හරි නැහැ. ඔච්චර විශාල පතුල් වලින් ඇවිදින කොට අඩි සද්දෙන් උදේ පාන්දර දරුවෝ අවදි වෙලා අඬන එකක් නෑ කියලා හිතනවද? පුංචි දරුවෙකුගෙ උපන්දින උත්සවයකදි දරුවන්ගෙ කකුල් නොපාග එහෙ මෙහෙ ඇවිදින්න තාත්තට පුළුවන් වේවි කියල හිතනවද?.”

“අසුබවාදීව හිතන්න එපා. දරුවෙක් අසනීප උනාම ඉක්මනට එයාව දොස්තර කෙනෙක් ලඟට ගෙනියන්න, දරුවට ඇවිදින්න දුවන්න පුරුදු කරවන්න තාත්තට මේ විශාල දෙපතුල් හුඟක් ප්‍රයෝජනවත් වේවි.”

දෙවියන් වහන්සේ මුළු රාත්‍රිය පුරාම සිය නිර්මාණය කරගෙන ගියහ. එතුමා තාත්තාගේ මුවට ගැඹුරු හඬකුත් සීමිත වචන කිහිපයකුත් එක් කළහ. නිහඬ බව මෙන්ම සියල්ල විනිවිද දකිනා දෑසකුත් තාත්තාට ලබා දුන්හ. දෙවියන් වහන්සේ ඉතාමත්ම කලාතුරකින් වැටෙනා කඳුලක් තාත්තාගේ දෑසට එක් කළහ. ඉන්පසු එතුමා දේවදූතිය දෙස හැරුණාහ.

“අම්මට වගේම තාත්තටත් තමන්ගෙ දරුවන්ට හුඟාක් ආදරේ කරන්න බැරි වේවි කියල දැන් ඔබ හිතනවද‍?”

දේව දූතිය කිසිත් නොකියා නිහඬවම උන්නාය.

_____
පින්තූරය
Related Posts Plugin for WordPress, Blogger...