Pages

Saturday, 19 May 2012

වෙන බස් එකක යමු



ජීවිතේ මුල්ම කාලෙ ගැන හොඳ මතකයක් කාටවත් තියෙන්න පුළුවන්ද? මං ගැන කල්පනා කරල බලනකොට මටනං මගේ ජීවිතේ මුල්ම අවුරුදු දෙක තුන ගැන තියෙන්නෙ හිස් ඉඩක විසිරිච්ච මතක කීපයක් විතරයි. ඒ අතරෙ මට කාලෙත් එක්ක ගලප ගන්න පුළුවන් මුල්ම මතකෙ තියෙන්නෙ මට අවුරුදු හතරෙ කාලෙ.

මොකක්දෝ පොතක “මට අවුරුදු 4 යි” කියල වෙව්ලන පොල්ගෙඩි අකුරෙන් ලියල අම්මටයි අප්පච්චිටයි වීරය වගේ පෙන්නනව මතකයි‍.

මතක දිගේ එතනින් ආපස්සට යද්දි මට මතක් කර ගන්ඩ පුළුවං මතකයන් තියෙන්නෙ ටිකයි. මේ දේ උනේ මීට කලින්, මේ දේ උනේ මීට පස්සෙ කියල තේරුං බේරුං කරගන්න බැරි විදිහේ එක ගොඩක තමයි ඒවත් තියෙන්නෙ. ඒ මතක වලිනුත් වැඩි හරිය වේදනාවයි බයයි මුල් කරගත්ත ඒව. එහෙම වෙන්නෙ සංතෝෂයට වඩා වේදනාවට අපි වැඩිය සංවේදී නිසාද?

...

ඉස්පිරිතාලෙදි කවුදෝ ගෑණු කෙනෙක් මේස හැන්දකින් එකක් පුරෝල දියකරපු කහපාට බේතක් කට මිරිකල පොවනව...

...

රොටී කෑල්ලකුත් අතේ තියං මම ආච්චිලාගෙ ගෙදර තරප්පුව මුදුනෙ ඉඳං “ආච්චීඊඊඊ.... රොටියෙ තිබිල පොල් කෙන්දක් ගිලුණාආආආ... බඩ පලන්ඩ වෙයිදෝඕඕඕ...” කිය කිය අඬනව...

...

ජනේලෙ කම්බි කූරු දෙකක් අතරෙ ඔළුව හිරකරගෙ ඉන්නව...


වැඩි හරියක් ඔය වගේ මතක තමයි...

තල් සූකිරි කකා සීයගෙ ඔඩොක්කුවට වෙලා කතන්දර අහනව වගේ එහෙම නොවෙන මතකත් නැතුවම නෙමෙයි. හැබැයි ඒ වෙලාවල්වල සීය කියල දුන්නු කතා එකක්වත් දැං මතක නෑ. ඊට වැඩිය හොඳට මට මතක තියෙන්නෙ සීය බුලත් කෙල ගහන පඩික්කම වටේ කැරකි කැරකි ඉන්න රතු පාට කෝඳුරුවොංව.

සීනි බෝතලේ හොරා කාපු එක එහෙමනං මතකම නෑ. අපේ මාම, මම හොර පූස වගේ සීනි බෝතලේට වග කියනව පොටෝ එකකුත් අරං තියෙනව. (ඒ පොටෝ එක පෙන්නල දැනටත් අපේ කට්ටිය මට විහිළු කරනව.) ඒත් සීනි බෝතලේ හොරෙං කෑව හැටි මට මතකම නෑ.

මේකත් කොයි කාලෙ උනාද කියල කියන්න තේරුමක් නැති හිතෙන් මැකිල නොගිය මතකයක්. ඒ වෙද්දි මම ගොඩක්ම පොඩියි කියල විතරක්නං කියතහැකි. වැඩිම උනොත් අවුරුදු හතරක්... මරණ බය කියන්නෙ මොකක්ද කියල දැනිච්ච පළවෙනි දවස තමයි ඒක. එහෙම දවසක් අමතක වෙන්නෙ කාටද?

මමයි, මල්ලියි අපේ පුංචිත් එක්ක පොඩි ආච්චිලගෙ ගෙදර ගිහිං එන ගමං... මම බස් සීට් එකේ ජනේලෙ පැත්තෙ... පුංචි, මල්ලිවත් තියාගෙන මගේ වම් පැත්තෙන්... බස් එක තවම ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙලා නෑ... ඩ්‍රයිවර් මාමයි කොන්දොස්තර මාමයි තවම බස් එකට නැගල නෑ...

මට හොඳටම කම්මැලි හිතිලයි හිටියෙ. ඉතිං වටේ පිටේ ඉන්න මිනිස්සු දිහා බල බල එහාටයි මෙහාටයි කැරකි කැරකි ඉන්නකොට තමයි මං ඒ මහ බයානක දර්ශණේ දැක්කෙ.

තඩිම තඩි කළු පාට ඇඳුම් බෑග් එකක් අරගත්ත මනුස්සයෙක් බස් එකට නැගල ඒ බෑග් එක සීට් එකක් උඩ තියල හිමීට බැහැල ගියා. ඒ ඇඳුම් බෑක්කෙ දැක්ක ගමං මට එකපාරටම මතක් උනේ ඒ දවස් ටිකේම ටීවි එකේ ගිය දැන්වීමක්.

“...ඔබ ඔබේ අවට පරිසරය ගැන සුපරීක්ෂාකාරීද?...” කියල තමයි ඒක පටන් ගන්නෙ... ජැන්ඩි පහට ඇඳගත්තු, අවු කණ්ණාඩි දාපු ටිකක් අමුතු විදිහට වටපිට බලන මනුස්සයෙක් බස් හෝල්ට් එකකට වෙලා ඉන්නව... මනුස්සය ගාව තියෙනව දිලිසෙන කළුපාට ඇඳුම් බෑග් එකක්... ඔහොම ටික වෙලාවක් ඉන්න මනුස්සය බස් එකක් ආපු ගමං අර බෑග් එක හෝල්ට් එකේ තියෙන්න ඇරල හීං සීරුවෙ බස් එකට ගොඩ වෙලා යන්න යනව... වෙන කවුදෝ ඇවිල්ල අර අයිතිකාරයෙක් නැති බෑග් එක අල්ලපු ගමං...

“ඩෝං!”

දැං ටිකකට ඉස්සෙල්ල අර එහා පැත්තෙ සීට් එකේ තියල ගිහිං තියෙන්නෙත් ඒ විදිහෙම කළුපාට බෑග් එකක්. ඒක දකිද්දි මගේ ඇඟ කවදාවත් නොවිච්ච විදිහකට හිරි වැටිල, තොල කට වේලිල යනව. කොටින්ම කිව්වොත් සරුවාංගෙම බයේ ගැහෙනව. මට ඕනි බස් එකෙං බැහැල පුළුවං තරං ඈතට දුවන්න. ඒත් මාව ජනේලෙ පැත්තට දාල පුංචි ඉඳගෙන ඉන්න නිසා මට සීට් එකෙං එළියට එන්න බැහැ.

“පොඩ්ඩක් දඟ කරන්නැතුව ඉන්ඩකො පුතේ... තව ටිකකිං බස් එක යයි...” පුංචි හිතන්නෙ මං මෙතන දඟ කරනව කියල...

“අනේ පුංචී... අපි බස් එකෙං බහිමුකෝ....”

“ඇයි ඔයාට ලැට් එකට යන්නෝනෙද?”

“නෑ... නෑ... අපි බැහැල ඊලඟ බස්සෙකේ යමුකො...”

“අර මොකටද?”

“අනේ අපි බහිමුකො පුංචී...”

“පිස්සු නැතුව ඉන්ඩ ළමයො... ඊලඟ බස් එක එද්දි තව ගොඩක් පරක්කු වෙනව... ඒ පාර අඬනවත් එක්ක... මොකද මේ...?”

මං ඇඬුව...

ආයි මට ගෙදර යන්න වෙන්නෑ... අමිමවයි අප්පච්චිවයි දකින්න වෙන්නෑ... ඒ ගොල්ලන්ට මගෙං කෑල්ලක්වත් හම්බවෙන එකක්වත් නෑ... කියල හිතිච්ච නිසා පුළුවං තරං හයියෙං ඇඬුව...

ඩ්‍රයිවර් මාමයි, කොන්දොස්තර මාමයි ඇවිල්ල බස් එකට නැගල පිටත් වෙන්න ලෑස්ති වෙද්දි මගේ ඇඬිල්ල ඩබල් උනා.

“අනේ මංද... මේ එකපාරටම අඬන්න තියා ගත්ත...” පුංචි මාව නලවගන්න හදන ගමං එහා පැත්තෙ සීට් එකක ඉඳං පුදුම වෙලා වගේ මං දිහා බලාගෙන ඉන්න ඇන්ටි කෙනෙක්ට කියනව.

බස් එක ස්ටාට් කරල අද්දන්ඩ ගන්නකොටම කවුදෝ බිම ඉඳං “හෝව්! හෝව්!!” ගෑව. බිම හිටපු කාටදො බස් එකට නැගගන්න ඩ්‍රයිවර් මාම වේගෙ අඩුකරා. පුට් බෝඩ් එකේ එල්ලිල බස් එකට ගොඩවෙච්ච ‘බෝම්බ කාරය’ දාඩිය පෙරාගෙන ඇවිත් එයාගෙ බෑග් එක ඔඩොක්කුවට අරං සීට් එකේ වාඩි උනා.

මං හිටපු ගමං අඬන්න පටංගෙන එකපාරටම ඇඬිල්ල නැවැත්තුවෙ ඇයි කියල කාටවත් හිතාගන්න බැරි වෙන්න ඇති.


_____
පින්තූර

7 comments:

  1. භය ගූල්ලා. මටත් අවුරැදු තූන විතර කාලයේ සීන් හොදට මතකයි.

    ReplyDelete
    Replies
    1. පරාණ බය කියන්නෙ එසේ මෙසේ බයක් නෙවෙයිනෙ :)

      Delete
  2. හි හි.. මොනා උනත් හොඳ ළමයෙක් වගේ ඒ කාලෙ...

    ReplyDelete
    Replies
    1. ඔව්... ඔව්... දඟ නොකරන හැම වෙලාවෙම එහෙම තමයි...

      Delete
  3. අප හා පරිසරය ගැන හොඳ අවධානයෙන් නේ ඉඳල තියෙන්නේ.මටත් මතක නැහැ සිනි බෝතලේ හොරෙන් කනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනං පොඩි කාලෙ ඉඳලම පුරුද්දට වගේ කරන දෙයක්.
      ...
      ඔය ඉන්නෙ සීනි බෝතල් වලට වගකියපු කට්ටිය :)

      Delete
  4. ඒ කාලේ හරිම විනෝදයි (දැන් මතක් කරනකොට)

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...