Pages

Monday, 27 February 2012

පිටුවහල් වෙලා!


සාමාන්‍යයෙන් මම මගේ රස්සාව - කොම්පියුටර් කෝඩ් කෙටිල්ල - කරන්නෙ  ආසාවෙන්. ඒත් සමහර දවස් එනව ඒක උනත් එපා වෙන. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නෙ ව්‍යාපෘතියක් ඩෙඩ් ලයින් එකක් කිට්ටු කරද්දි. ඒ කරන්න සිද්ද වෙන වැඩ කන්දරාවෙ හදිසි ඉහල යෑම නිසා. අනිත් අතට ඊට සමානුපාතිකව ඉහල යන ප්‍රොජෙක්ට් මැනේජර් තුමාගෙ කංකරච්චලය නිසා. මට නං වැඩිපුරම බලපාන්නෙ ඔය දෙවෙනි හේතුව.

ප්‍රොජෙක්ට් මැනේජර් තුමා ගැන වෙලාවකට පව් කියල නොහිතෙනව නෙමෙයි. අපිට මනුස්සය ඇතිකරන රාජකාරි පීඩනයට වඩා වැඩි පීඩනයක් ඉහල පරිපාලනෙන් මනුස්සය මත පැටවෙනව. ඒත් හතර දෙනෙක් වෙච්චි ඩිවලොපර්ස්ල ටිකටයි කොලිටි ඇෂුවරන්ස් දෙන්නෙකුටයි උපරිම ජවයෙන් උනත් වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනව. වැඩ ටික හරියාකාරව බෙදිල යන්න මානව සම්පත් වැඩි නොවී, ඉන්න ටික දෙනාටම වැඩි වැඩියෙන් වැඩ පැටවෙද්දි නිකංම වගේ සිද්ධවෙන අනෙත් දේ තමයි ප්‍රොජෙක්ට් මැනේජර්ට තමන් යටතෙ වැඩ කරන අයගෙනුත් පීඩනය එල්ල වීම.

පද්ධතියක එක තැනක පීඩනය වැඩි වෙද්දි ඒකෙ බලපෑම පද්ධතියෙ හැම තැනටම අඩු හෝ වැඩි වශයෙන් දැනෙනව. ඒ පීඩනේ හැටි. රාජකාරි පීඩනෙත් මේ විදියමයි... අන්තිම ප්‍රතිපලේ තමයි ඔෆීසිය ඇතුලෙ හැමෝම අනෙත් හැමෝ එක්කම යුද්ද කරන සීතල යුධ වාතාවරණයක් ඇතිවීම. කෝඩ් කොටන අය ඒව ටෙස්ට් කරන අයත් එක්ක, මේ දෙගොල්ලොම ප්‍රොජෙක්ට් මැනේජර් එක්ක සහ හැමෝම තේ හදන කෙනත් එක්ක විදියට තමයි මේ යුද්දෙ යන්නෙ.

ටාස්ක් බාර් එකේ කෙලවරක පේන නොපෙනෙන ගානට හංගල තියෙන, කොළ පාටින් දිලිසෙන ඩවුන්ලෝඩ් මැනේජරේ අයිකන් එක කියාපාන්නෙ මමත් යුද්දෙට එක පැත්තකින් අවතීර්ණ වෙලා ඉන්නව කියලයි. :-)

එදත් ඔය කියපු විදිහෙ දවසක්. උදේ අටහමාරෙ ඉන් කී බෝඩ් එකට තඩිබාල, කොටාගත්තු කෝඩ් ටික කම්පයිල් කරල, මොනිටරේට ඔරවගත්තු ගමං ඩී-බග් සෙෂන් බර ගානක් දුවල, අන්තිමට අටෝගත්තු සිස්ටම් කෑල්ලෙ ඉතුරු වැඩ කටයුතු ටික ඊල දවසට කල්දාල, හිරිවැටිච්ච වම් වැලමිටි සන්ධියකුයි, ඇදුම්කන දකුණු මැණික්කටු සන්ධියකුයි එක්ක ඔපීසියෙන් එළියට බැස්සෙ හොටම හෙම්බත් වෙලා.

පැය කාලක් විතර රස්තියාදු වෙලා සෙනග අඩු බස් එකකට ගොඩඋනේ එතකොට ටික දුරක් හරි වාඩිවෙලා යන්න පුළුවන් නිසයි. ජනේලයක් ගාව සීට් එකක වාඩිඋන මම වීදුරුවට එපිටින් පහුවෙන ඉර එළියෙන් කැකෑරෙන ගෙන්දගං පොළොව දිහා බලාගෙන කල්පනා ලෝකෙක අතරමං වෙන්ඩ හිතට ඉඩ දුන්න. බස් එක මාව ඇවිස්සිච්ච කඩි ගුලක් වගේ වෙච්චි නගර මධ්‍යයෙන් ටිකින් ටික ඈතට අරං ගිහිං මගේ තාවකාලික පදිංචිය වෙච්චි බෝඩිම කිට්ටුවෙන් බස්සනකං කල්පනා ලෝකෙක කරක්ගැහිල්ල වැඩිය හොඳයි.

“ඇයි මම මෙහේ...?

පහුගිය අවුරුද්ද පුරාවටම මම මගෙන්ම අහපු ප්‍රශ්ණෙ තමයි ඒක. ඔය ප්‍රශ්ණෙට එක එක විදිහෙ උත්තර දී ගත්තු මම මේ ලඟකදි ඉඳන් හරිබරි ගැහිච්ච උත්තරේ ආයෙ වතාවක් මම මටම මුමුණ ගත්තා.

“මම පිටුවහල් වෙලා නිසා...”

මාව කවුරුවත් මෙහාට පිටුවහල් කරල නෙමෙයි... මම විසින් මාවම ගමෙන් මෙහාට පිටුවහල් කරගෙන...

ඇයි...?

ගමේ නැති මට ඕනි දේවල් කීපයක් මෙහෙ තියෙන නිසා...

රස්සාවක්... තව දුරටත් ඉගෙන ගන්න අවස්ථා...

කරල් වලින් බර වෙලා රත්තරං පාටට දිලිසෙන කුඹුරු මෙහෙ නෑ. ඒ වෙනුවට තියෙන්නෙ කලින් සශ්‍රීකව තිබිච්ච කුඹුරු වල නශ්ටාවශේෂ. ඒවත් කඳු වගේ විසාල කුණු ගොඩවල් වලට යටවෙලා. කාලයක් එහෙම තිබ්බට පස්සෙ කුණු ගොඩවල් සමතලා කරල ඊට උඩින් පස් පුරෝල වෛවාරණ ගොඩනැගිලි හැදෙනව. පිටින් පේන ඔපේට යටින් තියෙන්නෙ කුණු. හරියට ගොඩක් මිනිස්සුන්ගෙ හිත් වගේ. පිටින් පෙන්නං ඉන්න ඔපේටයි, හිතේ ගැඹුරු කොනකට තල්ලුකරල දාල තියෙන සාරවත් කමටයි මැදින් තියෙන්නෙ තට්ටු ගානක් කුණු...

දඟකාර කොළු ගැටයෙක් වගේ නිදහසේ ගලාගෙන යන දියපාරවල් මෙහෙ නෑ. මෙහෙ තියෙන දිය පාරවල් විසකුරු කොළ පාටයි. හෙම්බත්!

දාහය නිවන්න පුළුවන් සීතල සුළං රැල්ලක් මේ කොන්ක්‍රීට් වනාන්තරය අස්සෙ හමන්නෙ නැති තරං.

ඒත් මට  ගමට යන්න බෑ... මම පිටුවහල් වෙලා නිසා!

මගේම අවශ්‍යෙතා කියන අදිසි බිත්ති වලින් මං මේ ගෙන්දගං පොළොවෙ හිර කාරයෙක් වෙලා.

...

කාලෙකට කලින් මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන ගිය වාර්තා වැඩසටහනකදි ඒකෙ හිටපු ගගනගාමියෙක් මෙහෙම කියනව. (ඒ දේ ඔහුගේ වචනයෙන්ම කියන්න මට හරියටම මතක නැහැ. ඒත් ඔහු අදහස් කලේ මේ වගේ දෙයක්.)

“We have come up here to touch the face of the heaven only to realize that we have just left it behind.”




පසුවදන:

මේ ලිපිය ලියන්න පාදක උනේ මං අවුරුදු තුනකට විතර උඩදි පොතක කුරුටු ගාපු දෙයක්. තව දුරටත් මම පූර්ණ කාලීන කෝඩ් කොටන්නෙක් නෙවෙයි. ඒ උනාට මේ ප්‍රශ්ණෙ වෙලාවකට අදටත් මම මගෙන්ම අහනව...

“ඇයි මම මෙහේ...?


_____
පින්තූරය
http://www.solstation.com/stars/earth3am.jpg

Saturday, 18 February 2012

නිදහස...




කූඹි ගුලේ හිරවෙලා ජීවිතේ ගෙවාදාපු කූඹි පැංචන්ට පැංචියන්ට අත්තටු මැවිලා. දැන් ඉතින් නිදහස හොයාගෙන ඈත අනන්තයට උනත් පියාඹන්න පුළුවන්. කරදරකාර මහළු කූඹින්ගෙ ලෝකෙන් මිදිච්ච වෛවර්ණ, චමත්කාරජනක, වචනයෙන් විස්තර කරන්න බැරි තරම් “ජොලි ලෝකයක් මේ කූඹි පොඩිත්තන්ව පිළිගන්න සැදී පැහැදී බලාගෙන ඉන්නවා. ඒ ලෝකය විඳින්න යන්නයි මේ අයගේ දැන් සූදානම. ජීවිතේ ගැන බරපතලව හිතන්නෙ මොන මෝඩයොද? ඒ අයත් මේ හණමිටි අදහස් කරපින්න ගත්තු නාකි කූඹි මහල්ලො වගේම වෙන්න ඇති.

“පුතේ, අරක කරන්න එපා... මේක කරන්න එපා...

මොන කරදරයක්ද...?

කූඹි ගුලෙන් පිටවෙන්න එහි මුවවිට ල පොරකන හැම කූඹි පැංචගෙම කූඹි පැංචියගෙම හිතේ බලාපොරොත්තු ගොඩකුත් පොරකනව. කරන්න කොච්චරනං දේවල් තියෙනවද? ඒත් නිදහස තියෙන්නෙ මෙහෙ නෙමෙයි. අර ඈතින් පේන පාට පාට එළි තියෙන තැන. ඒ එළි වල තියෙන්නෙ ප්‍රතික්ෂේප කරන්න බැරි තරමේ ආකර්ශණීය බවක්. හරියට සිතූ පැතූ සම්පත් ලබා දෙන තැනක් වගේ. තමන් හොයන නිදහස... ආදරේ... පිළිගැනීම... කැපී පෙනෙන බව... තව දහසකුත් එකක් දේවල් මේ පාට පාට එළි ගාව තියෙයි කියල කූඹි පැංචන්ගෙ පැංචියන්ගෙ අහිංසක පුංචි හිත් එකහෙලාම කියා සිටිනව.

ඉතින් නිදහසට තව මොහොතයි...

...

ඔයගොල්ලො හිතනවද කූඹි පැංචො පැංචියො පියාඹල යන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ලෝකෙ එච්චරටම ඓශ්චර්යවත් වෙයි කියල?

_____
පින්තූර
http://www.wired.com/images_blogs/wiredscience/2010/10/spider-web-flickr-jeffsmallwood.jpg

Saturday, 11 February 2012

ප්‍රෙහෙලිකා කැටේ

මං මේ බ්ලොග් එක පටන් ගත්තෙ සතියකට එක ලිපිය ගානෙ පල කරන්න හිතාගෙන. මුල් මාස ටික එහෙම කරා උනාට මේ අවුරුද්දෙ මුලම කන්තෝරුවෙ වැඩ රාජකාරි ටිකක් වැඩි වෙච්චි නිසයි කියවන්න කැමති පොත් ගොඩක් එකපාර හම්බඋන නිසයි බ්ලොග් ලියවිල්ල ටිකක් අඩු කරන්න උනා. බලමුකො මේ මාසෙ කොච්චර ලියන්න පුළුවං වෙයිද කියල.

හරි! දැන් කතාවට...

අපිට පොඩිකාලෙ හම්බවෙන සෙල්ලම් බඩු ගොඩේ එක එක ප්‍රෙහෙලිකා විසන්න තියෙන සෙල්ලම් බඩු තියෙනවනෙ. මට මතක විදියට මට මුලින්ම හම්බ උනේ ලොකු කෑලි තියෙන ජිග්සෝ ප්‍රෙහෙලිකාවක්. ඒ මං එක වසරෙ හරි දෙක වසරෙ හරි ඉන්න කාලෙ. ඊට පස්සෙ හම්බ උනා කෑලි එහාට මෙහාට කරල රූපෙ හදන්න පුළුවන් ප්‍රෙහෙලිකා දෙකක්. එකක තිබ්බෙ බත්කූරෙක්ට කුරුමානං අල්ලන ගෙම්බෙක්ගෙ රූපයක්. අනෙත් එකේ තිබ්බෙ කැස්බෑවෙක්ගෙ රූපයක්. මේ මං ගොඩක්ම ආස කරපු සෙල්ලම් බඩු දෙකක්. රූපෙ අවුල් කරල කීපාරක් ආයෙ ආයෙ හැදුවත් එපා වෙන්නෙ නෑ. ඊටත් පස්සෙ හම්බඋනා මැකෝ ගිරව් තුන්දෙනෙක්ගෙ පින්තූරය පොඩි පොඩි කෑලි දාහක් විතර එකතු කරල හදන්න ඕනි රූප ප්‍රෙහෙලිකාවක්. හපොයි! ඒක හැදිල්ලනං නිකං කොටි වල්ගෙ අල්ලගත්ත වගේ. එකදිගට දවස් දෙක තුනක්වත් මහන්සි වෙන්න ඕනි.

ඔය වගේම ටිකක් වෙනස් රූප ප්‍රෙහෙලිකාවක් අපේ නැන්දලගෙ ගෙදර තිබ්බ. ඒකෙ තිබ්බෙ හරි හතරැස් කැට (ඝණක) නවයක්. කැට වල පැති හයෙන් රූප ප්‍රෙහෙලිකා හයක් හැදෙනව. ඒත් මං මේ කියන්න යන ප්‍රෙහෙලිකා කැටේ කතාව ඒ ප්‍රෙහෙලිකාවට සම්බන්ධ එකක් නෙමෙයි. ඒක උනේ මෙන්න මේ ජාතියෙ ප්‍රෙහෙලිකා කැටයක් නිසා.


මේකට කියන්නෙ රූබික් කැටයක් කියල. හඳුන්වල දීල තියෙන්නෙ “අර්නෝ රූබික් කියන හංගේරියානු මහාචාර්යවරය. විකිපීඩියාව කියන විදියට රූබික් කැටය කියන්නෙ ලෝකෙ හොඳින්ම අලෙවි වෙන ප්‍රෙහෙලිකා සහිත සෙල්ලම් බඩුවක්.

වැඩිදුර විස්තර දැනගන්න ආසනං මෙතනින් ගිහිං විකිපීඩියාවෙ විස්තර බලන්නකො.

ඔය ජාතියෙ කැටයක් මට හම්බඋනේ මං නවය වසරෙ ඉන්න කාලෙ විතර. රූබික් කැටයක් විසන්න ඒක එහාට මෙහාට අඹරවල පාට හය කැටේ හය පැත්තට ගන්න ඕනි. කියන්න ලේසියි, ඕක කරන්න ගියාම තමයි තරු විසි වෙන්නෙ. ඒක එහාට මෙහාට කරකවද්දි තව තව කලවං උනා මිසක් විස‍ඳුනේනං නෑ. බැරිම තැන ඒ වෙලාවට වැඩේ අතඇරල දාල පස්සෙ වෙලාවක ආයෙත් උත්සාහ කරල බලනව. ම්හු! හරියන්නෙම නෑ.

මොනම ප්‍රෙහෙලිකාවක්වත් මට මෙච්චර වද දීල නෑ. ඒ හින්දමයි මට මේ කෙහෙල්මල ඉවරයක් කරනකං හරියට නින්ද යන්නෙ නැත්තෙත්. ඔය කැටේ ලැබිල සතියකට විතර පස්සෙ දවසකත් විසඳුමක් පේන මානෙකවත් නැතුව හවස් වරුවෙං පැයක් විතර නාස්ති කරගෙන රූබික් කැටේ විසන්න මං වලි කනව. ඉවසීම බිංදුවටම බහින්න ඔන්න මෙන්න තියෙද්දි මේක අතින් අතෑරිල බිමට වැටුන්නැතැයි. කොහොමත් තව ටික වෙලාවක් ගියානං මංම ඕක පොළොවෙ ගහන තැනට එනව.

ටොස්!

මම කැටේ ආයෙ අතට අරං බැලින්නං කෑල්ලක් අඩුයි අඩුයි වගේ. පස්සෙ ටිකක් විපරං කරල බලන කොට තමයි දැක්කෙ කැටේ එක පැත්තක මැද පුංචි කොටුවක අලවල තිබ්බ නිල්පා‍ට ප්ලාස්ටික් කෑල්ල ගැලවිල ගිහිං කියල. ඒ වෙනුවට එතන තිබ්බ පොඩි සිදුර ඇතුලෙ දිලිසි දිලිසි තිබ්බ ඉස්කුරුප්පු ඇණේ ඔළුව දැක්ක ගමං නියම වර්ගයේ සරළ විසඳුමක් ඔළුව අස්සෙ විදුලි කෙටුව. දැං නං මං මේක විසනවම තමයි.  මට ඕනි මල් ඉස්කුරුප්පු නියණකුයි, ගම් බෝතලේකුයි අර ගැලවිල විසි වෙච්චි කෑල්ලයි හොයා ගන්නයි විතරයි. ඉතිරි ටික හරි ලේසියි.

ඉස්සෙල්ලම කරේ ඉස්කුරුප්පු ඇණේ ගලවල රූබික් කැටේ කෑලි වලට ගලවන එක. ඊට පස්සෙ එක පාටක කෑලි එක පැත්තකට එන විදියට කැටේ හදල අන්තිමට තිබ්බ විදියටම ඉස්කුරුප්පු ඇණේ තද කරල අර ප්ලාස්ටික් කෑල්ලත් ගම් ටිකක් ගාල ඇලෙව්වට පස්සෙ ප්‍රෙහෙලිකාව විසල ඉවරයි.


ඔන්න ඔහොමයි මං ප්‍රෙහෙලිකා කැටේ විසඳුවෙ. කොහොමත් ප්‍රශ්ණයක් විසන්න ක්‍රම කීපයකට පුළුවන්නෙ. කෙක්කෙන් බැරිනං කොක්කෙන්. :D

...

ප.ලි.
ඉස්කුරුප්පු නියණක් නැතුව රූබික් කැටයක් විසන්නෙ කොහොමද කියල දැනගන්න ඕනිනං මෙන්න මෙතනට ගිහිං බලන්න.

_____
පින්තූර
http://free-extras.com/images/rubiks_cube-13763.htm
http://upload.wikimedia.org/wikipedia/commons/f/fa/Disassembled-rubix-1.jpg

Sunday, 8 January 2012

කන්තෝරු කවි




තිස්සෙම යකඩ ගොඩකට වී තැම්බෙන           වා
දෙපා ගෙවෙන තුරු වැඩටම ඇවිදින               වා
කැන්ටිමේ කෑම දැකලා බඩ දන                      වා
තැනකට එන්න මම රස්සාවට යන                  වා

ඕ. ටී. එක අරං බෝඩිමට ගෙ                           වා
පඩියෙන් බාගයක් කෑමට වෙන් කර                වා
ඉතිරි ටිකෙන් අනෙකුත් වියදම් පිය                  වා
මාසේ අන්තිමට මට මොකවත් නැතු               වා

ලාබෙට ලැබෙන සීසන් එක තියන් අ               තේ
බස් එකෙ,කෝච්චියෙ තෙරපී වැඩට එ             තේ
රතු ඉර වදින්නට පෙර පැමිණීමෙ පො              තේ
බස් නැවතුමේ සිට අපි මැරතන් දුව                   තේ

මානෙන් ඉන්න ලොක්කන්ගේ රැවුං බැනු         ං
සොක්කෝ ඉඳන් කරනා පොඩි පොඩි විගඩ     ං
වැඩ බැරි දාසලාගේ වැදි බණ අහමි                   
ගෙවිලා යනව කන්තෝරුවෙ දවස හෙමි           ං

වැඩ්ඩෝ කෙරුවාව ගැන පංපෝරි කෙ             ලී
වැඩක් කරන්නට යනවිට කෙනේහි                  ලී
කබ්බන්ගේ ටොයියන්ගේ කඹ ඇදි                   ලී
බලා හිඳිනවා අපි බැඳගෙන ඇඟි                        ලී

එක කට්ටියක් නැහෙනා මුළු දවස පු                 රා
පත්තර කියවනව පිරිසක් අසුන් අ                     රා
තව ටික දෙනෙක් හට හිතුනම බොන්න සු        රා
පනිනව කන්තෝරුවෙන් සිකුරිටිට හො           රා

කාලය කමින් රත් කරමින් නොඉඳ පු                ටු
ලිපි ගොණු එක්ක හොඳ හැටි වෙනවා ඔට්        ටු
ලොක්කෝ බනිනකොට අප කරනට මට්         ටු
අහගෙන ඉන්නවා කෑව වගෙ පිට්                      ටු

වැඩ ඇති වෙලාවටනං නෑ අනම් මන                ම්
කන්තෝරුවෙ කරන්නට වැඩ ඕන තර            ම්
හවස් අතේ විවේකයක් ලැබුනම න                  ම්
අපි ගහනවා කොම්පියුටර් එකෙන් ගේ             ම්

හිත හොඳ අහිංසක යහපත් මිනිසුන්                 ද
කෙලෙහි ගුණ නොදත් නරි වන් කපටින්         ද
නයින් කටුස්සන් ආඳන් ඇඹලුන්                    
හරියට සිටී කන්තෝරුවෙ සෙනග මැ             ද

විවිදාකාරයේ මිනිසුන් සමග හි                        ඳ
ජීවත් වෙන අයුරු ඉගෙනුම අවැසි ස               ඳ
මොනවද කියා දැන ගන්නට නරක හො          ඳ
තෝතැන්නකි සාර, කන්තෝරුව නිබ            ඳ


_____
පින්තූරය
http://www.glasbergen.com/wp-content/gallery/computer-cartoons/bizcom81.gif

Sunday, 1 January 2012

අළුත් අවුරුද්ද



රවුම් ගමන් මාර්ගයක අගක් මුලක් හොයන්නෙ කොහොමද?

අපි ජීවත් වෙන මහ පොළොවත් ඉර වටේ යන්නෙ  ඒවගේ අගක් මුලක් හොයන්න බැරි රවුම් (හරියටම කිව්වොත් ‘ඉලිප්සාකාර) මාර්ගයක. මෙහෙම රවුම් ගමනක විශේෂත්වය තමයි කලින් වාර වලදි පහුකරපු තැන් ආයෙ ආයෙමත් හමුවීම. හරියට අවුරුද්දෙ ඍතු හතර එකම පිළිවෙලට හැම අවුරුද්දෙම එන එක, එහෙමත් නැත්නම් හැම අවුරුද්දෙම එකම දවස් වලදි සූර්ය නිවෘත්ති  (Solstice)” ඇතිවීම වගේ. 

දින දර්ශණය කියන සංකල්පයට මූලික වෙලා තියෙන්නෙත් මේ හේතුවමයි.

මානව ඉතිහාසයේ මුල් කාලයේ ඉන්ම එක එක විධියේ දින දර්ශණ පාවිච්චි වෙලා තිබුණත් දැන් අපි එදිනෙදා පාවිච්චියට ගන්නෙ දහතුන්වෙනි ග්‍රෙගරි පාප් වහන්සෙ ඳුන්වල දීපු, ජනවාරි 1 න් පටන්ගෙන දෙසැම්බර් 31 න් අවුරුද්ද ඉවර වෙන ග්‍රෙගෝරියානු දින දර්ශණේ.

මං අහල තියෙන විදියට අප්‍රේල් පළවෙනිද මෝඩයගෙ දවස උනෙත් කැලැන්ඩර් හුටපටයක් නිසා. කොහොම උනත් ජනවාරි පළවෙනිදත් මෝඩයන්ගෙ දවසක්නෙ. ඇයි කියල දන්නවද? අර දවස් කාල (¼) නිසා.

අපි අපේ පහසුවට රවුං ගණං වලින් වැඩ කරන්න ආස උනත් අපිට ඕනි විධියට ලෝකෙ කැරකෙන්නෙ නෑනෙ. ඉතිං අපි අවුරුද්දට දවස් 365 ක් තියෙනව කියල හිතාගෙන හිටියට ඒක එහෙමම නෙමෙයි. පොළොවට ඉර වටේ යන්න දවස් 365 කුත් ¼ ක් ගත වෙනව. ඔය දවස් කාල (¼) කැලැන්ඩරේට ඔබන්න ගියොත් අවුලක් වෙන හින්ද අවුරුද්දක් දවස් 365 යි කියල අරගෙන, ඉතිරි වෙන දවස් කාලෙ ඒව හතරක් එකට එකතු කරල අවුරුදු හතරකට සැරයක් පෙබරවාරි 29 කියල දවසක් කැලැන්ඩරේට එකතු කරනව. එතකොට ඒ අවුරුද්ද අධික අවුරුද්දක්. හරියට මේ අවුරුද්ද වගේ.

ඉතිං අළුත් අවුරුද්දෙ අපි හාහාපුරා කියල කරන මෝඩ වැඩේ මේකයි. රෑ දොළහට ‘කවුන්ට් ඩවුන් කරල, රතිඤ්ඤා පත්තු කරල, මල් වෙඩි දාල, කිරි උතුරෝල, ‘චියස්’ කියල, තව තව විගඩං හැටහුටාමාරක් කරල අළුත් අවුරුද්ද පිළිගෙන පැය හයකට පස්සෙ තමයි ඇත්තටම අළුත් අවුරුද්ද උදා වෙන්නෙ. හරියට පාටිය ඉවර උනාම ආරාධිත අමුත්ත එනව වගේ.  : )

...

“ලැබුවා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවා!”

_____
පින්තූර
http://www.offthemark.com/cartoons/1993-01-01.gif

Related Posts Plugin for WordPress, Blogger...