Pages

Friday 18 September 2015

විද්‍යා ප්‍රබන්ධ


මං හිතන්නෙ ඉස්කෝලෙදි විද්‍යාව විෂයක් විදිහට මට හම්බ උනේ හය වසරෙදි විතර. ඒත් විද්‍යාව ගැන මට ලොකු ආසාවක් ඇතිවෙලා තිබ්බෙ මං හතර වසරෙ ඉන්න කාලෙ ඉඳන්මයි. ඒක උනේ ටීවි එක නිසා.

දැන් වගේ නෙවෙයි සමස්තයක් විදිහට ගත්තම, ඒ කාලෙ ඇත්තටම වැදගත් වැඩසටහන් ගොඩක් රූපවාහිනියෙ ප්‍රචාරය උනා. ඒව අතරින් ටයි මාමගෙ කාටූන් ඇරුනම මගේ ප්‍රියතම වැඩසටහනක් වෙලා තිබ්බෙ “දෙදාහෙන් එහා” කියන වාර්තා වැඩසටහන. ඊට අමතරව චන්දන ජයරත්න මහත්තය කරපු “විශ්වයේ අසිරිය” වැඩසටහනයි දැන් මට නම අමතක වෙලා ගිහින් තියන මොකක්හරි “... මිහිකත” කියල තව වැඩසටහනකුයි මගේ ෆේවරිට් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ.

ඔන්න ඔතනින් තමයි මගේ විද්‍යා මෙව්ව එක පොඩි අංකුරේකින් පැළවෙන්න පටන් ගත්තෙ. පස්සෙන් පහු ඒක මුල් ඇදල මට විද්‍යා පිස්සුව හැදුණ. ඒ පිස්සුව උත්සන්න වෙන්න පොහොර දැම්මෙ මං කියවපු විද්‍යා ප්‍රබන්ධ කතා. වෙන්න ඕනි විදිහටම ඒවගෙන් මුල් එක මට හම්බ උනේ විදුසර පත්තරේක තිබිල. දැන් අපහු හැරිල බලද්දි විදුසරෙන් ලැබිච්ච තල්ලුව සුළුපටු නැහැ කියල හිතෙනව. ඒ වගේමයි මුතුහර, සිව්දෙස, මනහර, සෝදිසි සඟරාත්. අපේ අප්පච්චි විසි අවුරුද්දක් තිස්සෙ එකතු කරපු සඟරා වලින් වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න ඇත්තෙ මං වෙන්න ඇති.

“විද්‍යාවෙන් කරන්නෙ ලෝකෙ වැඩ කරන යාන්ත්‍රණය තේරුම් ගන්න උත්සහ කරන එක.”

මට භෞතික විද්‍යාව උගන්නපු එක ගුරුවරයෙක් කිව්වෙ එහෙමයි. මං විද්‍යාව විෂයට ආසත් ඒ හේතුව නිසාමයි. ලෝකෙ කියන මහා අවුල් ජාලාව ටිකක් හරි තේරුං ගන්න පුළුවං වීමම හිතට සැනසීමක් නෙවෙයිද? අන්ධකාර පාරක යද්දි එක ගිණිකූරක් හරි අතේ තියන එක කොච්චර දෙයක්ද?

ඉතින් විද්‍යාවෙ කතාව මේ වගේ...

ඒක හැම තිස්සෙම අළුත් දේවල් එකතු වෙවී වැඩි දියුණු වෙන දෙයක්. එහෙම විද්‍යාව වැඩිදියුණු වෙන්න වෙන්න මනුස්ස වර්ගයා ලෝකෙ මේ විදිහයි කියල හිතින් මවාගෙන ඉන්න චිත්‍රයත් ටිකින් ටික වෙනස් වෙනව. මිනිස්සු ස්වභාවයෙන්ම වෙනස්වීමට අකමැති නිසා විද්‍යාව දියුණු උනේ සහ දියුණු වෙන්නෙ හැලහැප්පිලිත් එක්ක. චාල්ස් ඩාවින් ස්වාභාවික වරණය ගැන කතා කරාම ඒ කාලෙ හිටිය බුද්ධිමත්තු ඔහුට  හිනා උනා. ගැලීලියෝ සූර්ය කේන්ද්‍ර වාදය ගැන කතා කරාම පල්ලිය ඔහුට තර්ජනය කරා.

සමහරු ලෝකය කාගෙ හරි මැවීමක් කියල හිතාගෙන ඉද්දි තවත් සමහරු කියන්නෙ ලෝකෙ ඉබේ ඇතිඋනා කියල. ඔය අතරෙ ලෝකය හේතූන් නිසා හටගත්ත ඵලයන්ගෙ එකතුවක් කියල තව කොටසක් කියනව. මේව තමයි අපිට අපේ වටාපිටාව ගැන තියන ආකල්ප. එකම ප්‍රශ්ණෙ දිහා කීප විදිහකින් බලන්න අපි පුරුදු වෙලා ඉන්නව. මං නං කියන්නෙ ඒක හොඳ දෙයක්. ඒ මොකක් හරි ගැන තමන් දකින විදිහට වඩා වෙනස් විදිහට දකින අය තව ඉන්නව කියල තේරුං ගැනීම අන්තවාදයෙන් මිදීමේ පළවෙනි පියවර කියල මං විශ්වාස කරන නිසා.

විද්‍යාව කියන්නෙත් එහෙම ප්‍රශ්ණයක් දිහා බලන එක විදිහක්. අපි ඒකට පාවිච්චි කරන්නෙ විද්‍යාත්මක ක්‍රමය කියල දෙයක්.

පරීක්ෂණය, නිරීක්ෂණය සහ නිගමනය.

ඔය ක්‍රමේට තමයි විද්‍යාව පරිණාමය වෙන්නෙ.

කොහොමත් විද්‍යාව සර්ව සම්පූර්ණ නැහැ. කවදාවත් එහෙම වෙන එකකුත් නැහැ. අපි දවසින් දවස ගොඩක් දේවල් ඉගෙන ගන්නව උනත් විද්‍යාවෙන් අපි තේරුම් අරං ඉන්න ලෝකයයි, ඇත්තම ලෝක සොබාවයයි අතරෙ තවමත් නොදන්න දේවල් ගොඩක් පිරිච්ච මහා ආගාධයක් තියනව. අන්න ඒ හිඩැස පුරවන්න තමයි අපි අපේ පරිකල්පන ශක්තිය පාවිච්චි කරන්නෙ.

ඉතින් විද්‍යාව පැත්තෙන් කවුරුහරි තමන්ගෙ හිතීමේ ශක්තිය අයාලෙ යන්න ඇරියම තමයි විද්‍යා ප්‍රබන්ධ බිහි වෙන්නෙ. ඒව හරියට විද්‍යාත්මක පදනමක් තියන සුරංගනා කතා වගේ.

විද්‍යා ප්‍රබන්ධ ලියවෙන ජනප්‍රිය මාතෘකා කීපයක් තියනව. අභ්‍යවකාශ ගවේෂණය, පිටසක්වල ජීවය, කාල තරණය, අමරණීයත්වය, කෘත්‍රිම බුද්ධිය... එක අතකට බලාගෙන ගියාම මේව මනුස්ස හිත් වල ආදි කාලෙ ඉඳන්ම තිබ්බ ප්‍රශ්ණ. මේ හැම ප්‍රශ්ණෙම පැනනැගිල තියන්නෙ එකම මූලයකින්.

“අපි ආවෙ කොහෙන්ද? අපි යන්නෙ කොහාටද?”

ආගම් වගේම විද්‍යාවත් මිනිස්සු ඇති කර ගත්තෙ වෙන මොනාටවත් වැඩිය මෙන්න මේ ප්‍රශ්ණ දෙකට උත්තර හොයා ගන්න. විද්‍යා ප්‍රබන්ධ වලින් කෙරෙන්නෙ අපි මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුළුවං එක එක විද්‍යාත්මක දෘෂ්ඨි කෝණ අපිට පෙන්නල දෙන එක. අපි එහෙම උත්තර හොයාගෙන යද්දි අපිට හම්බවෙන්න පුළුවං වෙනත් දේවල් ගැන, අපි සැලකිලිමත් විය යුතු දේවල් ගැන, විශ්වයේ අපේ තැන ගැන උපකල්පනය කරන එක සහ ඒ අදහස් කතන්දරයක් විදිහට ඉදිරිපත් කරන එක.

සිංහලෙන් ලියපු සහ සිංහලයට පරිවර්තනය කෙරුනු විද්‍යා ප්‍රබන්ධ වලින් වැඩි හරියක් මට මුණගැහුනෙ කලින් කිව්ව වගේ පත්තර වලිනුයි සඟරා වලිනුයි. ආතර් සී ක්ලාක් ව, අයිසෙක් ඇසිමොව් ව විදුසර හරහා මුණ ගැහිච්ච මම ජූල්ස් වර්න් වයි එච්. ජී. වෙල්ස් වයි මුණගැහුණෙ මුතුහර, සිව්දෙස සඟරා වලින්.

ඔය තමයි මගේ ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ රචකයො හතර දෙනා.

ඒ අතරිනුත් උඩින්ම ඉන්නෙ ආතර් සී. ක්ලාක්. මම කියවපු හොඳම විද්‍යා ප්‍රබන්ධ ඔහුගේ නිර්මාණ. අභ්‍යවකාශ වීර චාරිකා පොත් හතර (2001, 2010, 2061, 3001), මිහිකතේ ගීතය (Songs of the Distant Earth),  පාරාදීසයේ උල්පත් (Fountains of Paradise) , රාමා හමුව (Rendezvous with Rama), ඩොල්ෆින් දූපත (The Dolphin Island), ගැඹුරු මුහුද (Deep Range)...

මං හිටියෙ ඔය පොත් වලට වහ වැටිල. ආතර් සී ක්ලාක් ගෙ අනාගතය උපකල්පනය කිරීමේ හැකියාව අති විශිෂ්ඨයි. ඒ වගේමයි ඔහුගෙ රචනා ශෛලියත්. මං ඒකට කියන්නෙ තැපෑලෙන් වදින කතා කියන ක්‍රමයක් කියල. මොකද කතාවෙ හරය තේරෙන්නෙ කතාවෙ අග හරියට කිට්ටු කරාම. ඒ වගේමයි කතා වල තියන විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහ මත වාද. ඒ තරං අදහස් වලින් පෝසත් කතා ලියල තියෙන්නෙ ටික දෙනයි. ආතර් සී ක්ලාක් ගෙ පරිකල්පන ශක්තිය ක්ෂේත්‍ර ගණනාවක් හරහා කොච්චර දුරට විහිදෙනවද කියල දැනගන්න නං ඔහු ලියපු කෙටි කතා කියවල බලන්න ඕනි. ඒව අභ්‍යවකාශ සෝපාන, බ්‍රහස්පති දියමන්ති, රික්තයේ ශක්තිය, විකිරණයේ ජීවීන් වගේ එකිනෙකට වෙනස් පුදුමාකාර අදහස් වලින් පිරිල තියනව.

විද්‍යා ප්‍රබන්ධ කලාවෙ පුරෝගාමියො වෙච්ච ජූල්ස් වර්න්වයි එච්. ජී. වෙල්ස්වයි මෙතනදි කොහොමත්ම අමතක කරන්න බැහැ. ලීග විසිදහසක් ගැඹුරු මුහුදේ (Twenty Thousand Leagues Under the Sea), ලොව වටා අසූ දිනකින් (Around the World in Eighty Days) වගේම ලෝක සංග්‍රාමය (War of the Worlds) සහ අදිසි මිනිසා (The Invisible Man) කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රයේ සම්භාවනීය කෘති. ඊට පස්සෙ පරම්පරා වල රචකයන්ව විද්‍යා ප්‍රබන්ධකරණයට උනන්දු කරේ ඒ කතා තමයි.

විද්‍යා ප්‍රබන්ධ කියන්නෙ නිකංම කතා විතරක් නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධකරණය විද්‍යාවෙන් පෝෂණය වෙනව වගේම විද්‍යා ප්‍රබන්ධ නිසා විද්‍යාවත් පෝෂණය වෙනව. කෘත්‍රිම බුද්ධිය ක්‍රමලේඛණය කරද්දි පාවිච්චි කරන මූලික නීති තුන (three laws of robotics) ඉදිරිපත් උනේ ඇසිමොව්ගෙ විද්‍යා ප්‍රබන්ධයක් හරහා. සබ්මැරීනය ගැන මුල්ම අදහස ඉදිරිපත් උනේ ජූල්ස් වර්න්ගෙන්.

අවාසනාවට වගේ සිංහල සාහිත්‍ය ඇතුලෙ විද්‍යා ප්‍රබන්ධ ලියවෙන්නෙ පොඩ්ඩයි. ඒ ලියවෙන ඒවගෙනුත් සැලකිය යුතු තරම් තාර්කිකව ලියවිල තියෙන කතා ප්‍රමාණය ඊටත් අඩුයි. ඒකට හේතුව ලංකාවෙ තියන ‘ගඩොල් අච්චු’ අධ්‍යාපන ක්‍රමේද කියල වෙලාවකට මට හිතෙනව. ඒ උනත් හොඳ සිංහල විද්‍යා ප්‍රබන්ධ නැතුවම නෙවෙයි. දමිත නිපුණජිත් ලියපු “විස්මිත සිහින දකින්නා” කෙටි කතා සංග්‍රහය වගේම සුසිත රුවන්ගෙ “රාවණා මෙහෙයුම” එහෙමත් ඇත්තටම හොඳ විද්‍යා ප්‍රබන්ධ. නියම විද්‍යා ප්‍රබන්ධ වල තියන ‘ගතිය’ ඒවගෙ තියනව.

විද්‍යා ප්‍රබන්ධ වලින් වෙන එක හොඳක් තමයි ටිකක් ලොකුවට ලෝකෙ දිහා බලන්න අපිව පුරුදු කරන එක. එතකොට අපිට අපිවත් ටිකක් පොඩියට පේනව.

කාල් සේගන් කියනව වගේ පොළොව කියන්නෙ “අන්තරීක්ෂයේ දූවිලි පොදක් (a speck of dust in the cosmos)”.

අපි කොච්චර වාසනාවන්තද සහ ඒ එක්කම කොච්චරනං මෝඩද කියල තේරුං ගන්න ඒ ටිකම ඇති.


___
පින්තූරය

11 comments:

  1. විද්‍යා ප්‍රබන්දයක මුලික විද්‍යාත්මක සිද්ධාන්තයන් වලට පටහැනි සංකල්ප තියෙන්න නරකයි, නමුත් අද බොහොමයක් විද්‍යා ප්‍රබන්ධ හරියට සුරංගනා කතා වගේ. ව්ම්තියට පත් වන යමක් වූ පමණින් විද්‍යා ප්‍රබන්ධ බවට කතා පත් වෙන්නේ නෑ. ඒ අතින් ඔබ සන්ධාන කල ලේඛකයන් හා සම වීමට හෝ කිසිවෙකු බිහි වී නැති බවයි මගේ හැගීම

    ReplyDelete
    Replies
    1. සන්ධාන = සඳහන් විය යුතුයි

      Delete
    2. ඇත්ත ඉවාන්.

      විද්‍යාත්මක සංකල්ප ගැන එච්චර හොඳ දැනුමක් නැතුව විද්‍යා ප්‍රබන්ධ ලියන්න ගියාම ගොඩක් වෙලාවට එහෙම වෙනව නේද? සමහරු කරන්නෙ රිසර්ච් කරන්නෙ නැතුව නිකංම

      හිතළුවක් කතාවක් කරන්න යන එක. එතකොට විද්‍යා ත් නෑ ප්‍රබන්ධත් නෑ.

      Delete
  2. පරිකල්පනට වගේ විද්‍යා ප්‍රබන්ධ මගේ ප්‍රියතම genre එකක් නොවුනත් The Invisible Man මගෙ ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධය කියලා කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රියතම geners දෙක තුනක්ම තියනව ඩූඩ්. විද්‍යා ප්‍රබන්ධ ඒවගෙන් එකක්. ජූල්ස් වර්න් ගෙ කතා වලට එහෙම ඩූඩ් කැමති නෑ කිව්වමත් පුදුමයි. මං කැමතිම විද්‍යා ප්‍රබන්ධෙ 2010. මොකද කියනවනං මේ පිස්සුව පටන් ගත්තෙ ඒකෙන් නිසා.

      Delete
    2. කැමති නෑ කියලා නෙවෙයි මම කිව්වේ පරිකල්පන. ප්‍රියතම එක නෙවෙයි කියලා. විද්‍යා ප්‍රබන්ධයක් අනාගතය ගැනම වෙන්න ඕනෙද? ඔන්න මට තියෙන ගැටළුවක්.

      එතකොට medical thrillers විද්‍යා ප්‍රබන්ධ නොවෙන්නේ කොහොමද? පරිකල්පන කියවලා තියෙනවද Robin Cook ගෙ medical thrillers? මගෙ ප්‍රියතම එකක්.

      ඒ එක්කම කියවලා තියෙනවද Thomas Block ගේ Orbit? අන්න බඩු. එක ජෙට් එකක් program error එකකින් අභයාවකාශයට ගිහින් කක්ෂගත වෙනවා. මේක ආපහු ගේන එකතමයි කතාව. ඒකට යොදාගන්නේ සරළ භෞතික විද්‍යා මූල ධර්මයක් . ඛියවලාම බලන්න. මගේ ප්‍රශ්ණය ඇයි මේක විද්‍යා ප්‍රබන්ධයක් නිවෙන්නේ කියන එක.

      මම Jules Verne කියවලා තියෙනවා පරිකල්පන.

      Delete
    3. My mistake ඩූඩ්. Sorry,

      ප්‍රබන්ධ වලින් විද්‍යා ප්‍රබන්ධ වෙන් කරන පැහැදිලි රේඛාවක් නෑ නේද? ඔය දෙකම අතරෙ twilight zone එකේ තියන කතා වෙලාවකට අහුවෙනව. ඒව දෙපැත්තෙන් ඕනි පැත්තකට දා ගන්න පුළුවන්.

      විද්‍යා ප්‍රබන්ධ අනාගතය ගැනම වෙන්න ඕනි නෑ කියල තමයි මාත් හිතන්නෙ. ඒත් ගොඩක් ඒව ලියල තියෙන්නෙ අනාගත හරි වෙනම ලෝකෙක සමාජයක් හරි පසුබිම් කරගෙන. ඒ වගේ රාමුවක් අස්සට දාල අතේ පයේ ගාගන්නෙ නැතුව වර්තමාන සමාජය ගැන, දේශපාලනේ ගැන, සංස්කෘතිය ගැන කතා කරන්නයි විවේචනය කරන්නයි ලේසියි.

      Avatar ෆිල්ම් එකේ කතාව යුරෝපීයයො ඇමරිකාවෙ පදිංචි වීම සහ රතු ඉන්දියානු සමාජයත් එක්ක ඒගොල්ලො ගැටිච්ච හැටි ගැන කතාවෙම පිටපතක්. ඒකෙ කතා කරන විද්‍යාත්මක සංකල්ප ටික ඔක්කොම සැන්විච් එකක පාන් පෙති දෙක වගේ. එතකොට Ender කතා මාලාවම විද්‍යාවට වැඩිය කතා කරන්නෙ අපේ දැන් තියන දේශපාලන බල අරගලයයි යුධ මානසිකත්වයයි ගැන.

      Medical thrillers නං කියෝලම නැති ගානයි ඩූඩ්. Orbit හොයාගෙන කියවන්න ඕනි. ඔත්තුවට ස්තූතියි. ;)

      Delete
  3. වැඩිය කියවල නෑ කියන්න පුලුවං. ඒත් ආතර් සි ක්ලාක් මහත්මයාගෙ පොත් සහ යූල්ස් වර්න් ගෙ පොත් කියවල තියෙයි.. අවසානයට කියෙව්වෙ රාමා හමුව...
    තව කියවන්න ගොඩක් ඇති... ඒත් හදිසියකුත් නැති... මට කෝමත් සෑන්ස් ඇන්ඩ් මැත්ස් කියන්නෙ අප්‍රසන්නම සබ්ජෙක්ට්... ඒව උගන්නපු විදිය හින්දද ැත්තං ඒවැයි තියෙන කුප්ප ගතිය හින්දද මංද...

    ReplyDelete
    Replies
    1. අපි එක එක්කෙනා කැමති වෙනස් වෙනස් දේවල් වලටනෙ. විද්‍යාව මගේ ප්‍රියතම විෂයක් විද්‍යා ප්‍රබන්ධ වලට මං මෙච්චර කැමතිත් ඒ නිසා වෙන්න ඇති. :)

      Delete
  4. ඉස්සර ප්‍රබන්ධ විදියට ම තිබ්බ විද්‍යා ප්‍රබන්ධ බොහොමයක් මේ වෙනකොට හැබෑ ලෝකේ තුල නිර්මාණය වෙලා අවසන්. අභ්‍යවකාශ ගවේෂණය තමයි තාම ඒ තත්වයට එන්න ප්‍රමාද වෙලා තියෙන්නේ. වැඩි කල් නොගොස් විද්‍යා ප්‍රබන්ධ වල තිබුණු විදියටම අභ්‍යවකාශ තරණය කරන්න මිනිස්සුන්ට හැකි වෙන බව ස්ථීරයි.
    -----------
    ලිපිය මගින් අපි බොහොම ආස කරන ක්ෂේත්‍රයක මතකසටහන් ආපහු දොට්ට දැම්මේව්වාට මෙන්න මගේ ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි විභීෂණේ,

      ඔව්. හැට ගණන් වල හඳට යන්න ඇමරිකාවෙයි, රුසියාවෙයි තිබ්බ උනන්දුව දිගටම තිබ්බනං අභ්‍යවකාශ ගවේශණය මේ වෙද්දි මීට වඩා දියුණු වෙලා. ඒත් ඒකටම සම්පත් යොදවන්න තරං තාම අපේ ලෝකෙ නිස්කලංක නෑ. අභ්‍යවකාශ සෝපානය වගේ එකක් හැදෙනකං මාත් බොහොම ආසාවෙන් ඉන්නව.

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...