පැය විසිහතරකට පස්සෙ මම ‘පොකිරිස්ස’ ඇතුලට වෙලා හානි වුන ජාලය දිහාවට හෙමින් පහත බහිමින් හිටිය. මෙහෙයුම රහසක් විදිහට තියාගන්න කිසිම විදිහක් තිබුණෙ නැති නිසා ජෝ ලඟපාත යාත්‍රාවක හිටිය උනන්දු සහගත නරඹන්නෙක් වෙලා හිටිය. ඒක රුසියානුවන්ගෙ ප්‍රශ්ණයක් මිස මගේ ප්‍රශ්ණයක් නෙවෙයි. ජෝ විශ්වාස කටයුතු කෙනෙක් විදිහට පිළිගන්න කියල මං ෂපිරෝට කියල බැලුව. ඒත් කාර්පකින් ගෙ ස්ලැවික් මානසිතක්වය ඒ අදහස නිෂේධ කරල දැම්ම. ත්‍රිකුණාමලය කියන්නෙ දැන් වැදගත් ප්‍රවෘත්තිමය වටිනාකමක් තියන තැනක් කියන පැහැදිලිවම පේන පිළිතුර නොසලකා හැරල, ‘ඇමරිකන් වාර්තාකාරයෙක් මේ වෙලාවෙ මෙහාට කඩාපාත් වෙන්නෙ ඇයි?’ කියල ඔහු කල්පනා කරන හැටි කෙනෙක්ට පේන තරම්.
හරියට කරනවනම්, ගැඹුරු මුහුදෙ කරන ක්‍රියාකාරකම්වල කිසි ප්‍රබෝධමත් ගතියක් වත් ආවේගශීලී ගතියක්වත් ඇත්තෙ නැහැ. ආවේගශීලීත්වය කියන්නෙ දූරදර්ශීභාවයක් නැතිකම, ඒ කියන්නෙ අදක්ෂභාවය. මගේ වෘත්තියේ අදක්ෂ අයට වැඩි ආයුෂ නැහැ. ආවේගශීලී අයට වෙන්නෙත් ඒ ටිකමයි. මං මගේ රැකියාවෙ යෙදුනෙ කාන්දුවෙන කරාමයක් එක්ක ඔට්ටු වෙන ජලනළ කාර්මිකයෙක්ට තියෙන විදිහේ සංයමයකින්.
කොයි වෙලාවක හරි ඒව ගලවල අලුත් කොටස් හයි කරන්න වෙන නිසා ජාලය නිර්මාණය කරල තිබ්බෙ නඩත්තු කරන්න පහසු වෙන ආකාරයටයි. වාසනාවකට වගේ පොටවල් වලට හානි වෙලා තිබුණෙ නැහැ. විදුලි ඉස්කුරුප්පු නියණෙන් ඇල්ලුවම සම්බන්ධක මුරිච්චි පහසුවෙන් ගැලවිල ආව. ඊලඟට මම බරපතල වැඩට පාවිච්චි කරන අඬුවට පාලනය මාරු කරල ජාලයේ හානි උන කොටස කිසිම අපහසුවකින් තොරව ඔසවල ගත්ත.
දිය යට කරන ක්‍රියාකාරකමක් දඩිබිඩියෙ කරන්න නරකයි. ඔබ එකපාර ගොඩක් දේවල් කරන්න හැදුවොතින් ඔබ අතින් වැරැද්දක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. අනිත් අතට වැඩ ටික හොඳින් සිද්ධ වෙලා, සතියක් වැය වෙනව කියල ඔබ කියපු වැඩේ දවසකින් ඉවර කරොත්, ඔහු ගෙවන මුදලට හරියන සේවාවක් සැපයුවෙ නැහැ කියල සේවාලාභියාට හිතෙන්න පුළුවන්. එදා හවසම ජාලයෙ අළුත් කොටස සවි කරන්න පුළුවන්කම තිබුන උනත් මම හානිඋන ඒකකය මතුපිටට ගෙනල්ල එදා දවසෙ වැඩ කටයුතු අහවර කළා.
තාප මූලාවයවය පරීක්ෂා කිරීම සඳහා කඩිමුඩියෙම අරගෙන ගියාට පස්සෙ, මම හවස් වරුවේ ඉතිරි හරිය ජෝ ගෙන් හැංගි හැංගි ගත කරා. ත්‍රිකුණාමලය කියන්නෙ පොඩි නගරයක් උනත්, ප්‍රදේශයේ සිනමා ශාලාවට ගොඩවිච්ච මට ඔහුගෙන් වසන් වෙලා ඉන්න පුළුවන් උනා. එතන පැය කීපයක් තිස්සෙ වාඩි වෙලා, වරද්දාගත් අනන්‍යතාවය, බේබදුකම, අත්හැර යාම, මරණය සහ සිහි විකල් වීම කියන එකම ගෘහස්ත අර්බුද ටිකට පිට පිට පරම්පරා තුනක් තිස්සෙ මුහුණදෙන පවුලක් ගැන කියවෙන කෙළවරක් නැති දෙමළ චිත්‍රපටියක් බලන්න මට අවස්තාව ලැබුණ. නිකංම නෙවෙයි, වෛවර්ණව වගේම උපරිම සද්දෙට.
පොඩි හිසේ කැක්කුමක් තිබුණ උනත්, පහුවදා හිමිදිරිය පහුඋන ගමන්ම වගේ මම හිටියෙ වැඩ බිමේ. (ජෝ ත් එතනට ඇවිත් හිටිය. ඒ විතරක් නෙවෙයි, නිස්කලංක දවසක මාළු බාන්න ඕනි හැමදේම සූදානම් කරගෙනම සර්ගෙයි ත් ඇවිත් හිටිය). ‘පොකිරිස්සට’ ගොඩ විච්ච මම, යාත්‍රාවෙ දොඹකරයෙන් ඒක මුහුදට පහත් කරන අතරවාරයේදි ප්‍රීතියෙන් ඔවුන්ට අත වැනුව. ජෝ ට නොපෙනෙන්න, යාත්‍රාවෙ අනෙත් පැත්තෙන්, අලුතින් සවි කරන්න යන ජාලය මුහුදට පහත් කරා. බඹ කීපයක් යටදි මම ඒක දොඹකරයෙන් ඉවත් කරගෙන ‘ට්‍රින්කො ඩීප්’ හි පතුලට අරගෙන ගියා.
පස්වරුවෙ මැදක් වෙනකොට කිසි කරදරයක් නැතුව ඒක සවි කරල අවසන් කළා. මම ආපහු මතුපිටට එන්න කලින්, අගුළු මුරිච්චි හොඳින් තද කරල සන්නායක තිත් පෑස්සුම් කළා වගේම, ගොඩබිම හිටිය ඉන්ජිනේරුවො ඒ අයගෙ අඛණ්ඩතා පරීක්ෂණත් සම්පූර්ණ කරා. මම නැව් තට්ටුවට පයගහන වෙලාව වෙද්දි පද්ධතිය නැවත ක්‍රියා කරන්න පටන්ගෙන තිබ්බ. හැම දේම සාමාන්‍ය අතට හැරිල තිබ්බ වගේම, (තවමත් කාටවත් උත්තරයක් හොයා ගන්න බැරි උන ප්‍රශ්ණය ගැන කල්පනා නොකර ඉන්න වෙලාවෙදි ඇරෙන්න) කාර්පකින් පවා හිනා වෙමින් හිටිය.
වඩා හොඳ පැහැදිලි කිරීමක් ඕනි වෙලා තිබුණත්, තවමත් මගේ අදහස උනේ ලොකු ගලක් වැටීම නිසා මේ දේ වෙන්න ඇතියි කියල. ඒක රුසියානුවොත් පිළිගනියි කියල මං බලාපොරොත්තු උනා. එතකොට ජෝ ත් එක්ක කරගෙන යන මේ හැංගිමුත්තං සෙල්ලම අපිට නවත්තල දාන්න පුළුවන් වෙයි.
ෂපිරෝ යි කාර්පකිනු යි දෙන්නම මූණවල් දික් කරගෙන මාව මුණගැහෙන්න ආවම, ඒ වැඩේ හරියන්නෙ නෑ කියල මං තේරුම් ගත්ත.
“ක්ලවුස්, ...” ලෙව් කිව්ව. “... ඔයා ආයිත් පහළට යන්න ඕනි.”
“ඔයගොල්ලන්ගෙ සල්ලි තමයි ඉතිං ...” මම උත්තර දුන්න. “... ඒත් මම මොනාද කරන්න ඕනි?”
“හානි විච්ච ජාලය අපි පරීක්ෂා කරල බැලුව. තාප මූලාවයවයෙ කොටසක් අඩුයි. ‘කවුරුහරි’ ඕනිකමින්ම ඒක කඩල අරගෙන යන්න ඇති කියල දිමිත්‍රි හිතනව.”
“එහෙනං ඒගොල්ලො ඒක කරල තියෙන්නෙ අන්තිම මෝඩ විදිහට, ...” මම උත්තර දුන්න. “... ඒ මං ගාව වැඩ කරන කෙනෙක්නං නෙවෙයි කියල ඔයගොල්ලන්ට සහතික වෙන්න මට පුළුවං.”
කාර්පකින් ඉන්න තැන ඒ වගෙ විහිළු කරන එක අවදානම්. කවුරුවත් පොඩ්ඩක්වත් හිනා උනේ නැහැ. අඩුම තරමෙ මං වත්. ඔහුට මොකක් හරි පොටක් පෑදිල ඇති කියල මට මේ වෙද්දි හිතෙන්න පටන් අරගෙනයි තිබ්බෙ.
‘ට්‍රින්කො ඩීප්’ වෙතට මගේ අවසන් කිමිදුම පටන් ගනිද්දි ඉර බහිමින් තිබුණ. ඒත් දවසෙ අවසානයට මේ ගැඹුරෙ කිසිම තේරුමක් ඇත්තෙ නැහැ. මුහුදෙ ඉන්න බබළන සත්තු අන්ධකාරයේ නිවෙන දැල්වෙන දිහා වගේම සමහර වෙලාවලදි නිරීක්ෂණ කවුළුවට පිටතින් අහස් කූරු වගේ පුපුරාහැලෙන හැටිත් බලාගෙන ඉන්න මම කැමති නිසා ආලෝකය රහිතවම මම අඩි දෙදාහක් පහළට ගමන් කළා. මේ විවෘත ජලයෙදි මොකකවත් ගැටීමේ අනතුරක් තිබ්බෙ නැහැ. ඒ කොහොම උනත් මම පුළුල් පරාස සෝනා උපකරණය ක්‍රියාත්මක කරල තිබ්බ. මගේ ඇස් වලින් කරනවට වඩා හොඳට ඒකෙන් අනතුරු හඳුනගන්න පුළුවන්කම තිබ්බ.
බඹ හාරසීයෙදි, මොකක් හරි වැරැද්දක් වෙලා තියනව කියල මට දැනුණ. සිරස් හඬකුරුවට පතුළ පෙනෙන්න පටන්ගෙන තිබ්බ උනත්, ඒක ලං වෙමින් තිබ්බෙ බොහොම හෙමින්. මගේ පහළ බැසීමේ වේගය ගොඩක්ම අඩු වෙලා. තවත් ඉපිලුම් ටැංකියකට වතුර පිරෙන්න ඇරල ඒක ලේසියෙන්ම වැඩි කරන්න මට පුළුවන්කම තිබුණ උනත්, මම එහෙම කරන්න අදිමදි කරා. මගේ වෘත්තියෙදි, අසාමාන්‍ය හැම දේටම පැහැදිළි කිරීමක් අවශ්‍යයි. එහෙම එකක් ලැබෙනකං පමා වීම නිසා තුන් පාරක් මම පණ බේරගෙන තියනව.
උෂ්ණත්වමානයෙන් මට උත්තරය ලැබුණ. පිටත උෂ්ණත්වය තියෙන්න ඕනි ප්‍රමාණයට වඩා අංශක පහක් වැඩියි. ඒත් ඒ ඇයි කියල තේරුම් ගන්න මට තත්පර කීපයක් ගියා.
මං ඉන්න තැනට අඩි දෙතුන්සීයක් පහළින් තියන අළුත්වැඩියා කරපු ජාලය දැන් ඒකෙ උපරිම බලයෙන් ක්‍රියාත්මක වෙනව. ‘ට්‍රින්කො ඩීප්’ සහ උඩ ගොඩබිමේ තියන සූර්ය පොකුණ අතර උෂ්ණත්ව වෙනස සමබර කරන්න ගන්න උත්සාහයේදි ඒක මෙගාවොට් ගානක් තාපය පිට කරනව. ඒකට කොහොමවත් සමබරතාවයකට එන්න බැහැ. ඒත් ඒක එහෙම කරන්න ගන්න උත්සාහයේදි විදුලිය නිපදවෙනව. ඒ ක්‍රියාවලියෙ අමතර අතුරුඵලයක් විච්ච උණු දිය ගීසරය මාව ඉහලට තල්ලු කරමින් ඉන්නව.
මම ජාලය කිට්ටුවට ආවට පස්සෙ, ඉහළ නගින ජල ප්‍රවාහයේ ‘පොකිරිස්ස’ එක විදිහකට තියා ගන්න එක ගොඩක්ම අපහසු උනා. තාපය කැබින් කුටිය තුලට කාන්දු වෙමින් තිබුණ නිසා මට දාඩිය දාන්න පටන්ගෙන තිබ්බ. මුහුදු පතුළෙදි රස්නෙ නිසා දාඩිය දානව කියන්නෙ අලුත්ම අත්දැකීමක්. ඉහළ නගින ජලය නිසා අවට මිරිඟුවක් වගේ පෙනෙන එක්ත් ඒ වගේම අළුත් අත්දැකීමක්. ඒක මගේ විදුලි ආලෝකය මං සෝදිසි කරමින් හිටිය පාෂාන බිත්තිය මත නටන්න සැලැස්සුව.
බඹ පන්සීයක් ගැඹුරු අන්ධකාරයේ ආලෝකයෙන් දිලිසි දිලිසි, ඒ වෙද්දි වහලයක තියන තරමේ තියුණු බෑවුමක් තිබ්බ කුරුබිලියෙ මුහුණත දිගේ හෙමින් පහලට ගමන් කරන මාව හිතින් මවා ගන්නකො. නැතිඋන මූලාවයව කොටස තවමත් තියනවනං ඒක මේ කිට්ටුවපාතම තියෙන්න ඕනි. එක්කෝ ඒක මට විනාඩි දහයක් ඇතුලත හම්බවෙන්න ඕනි, එහෙම නැත්නම් ඒක හම්බවෙන්නෙම නැහැ.
පැයක සෝදිසියකින් පස්සෙ කැඩ්ච්ච විදුලි බුබුළු කීපයක් (ඒව කොච්චරක් නැව් වලින් මුහුදට වීසි කරනවද කියන එක පුදුම එළවන සුළුයි. ලෝකෙ මුහුදු පතුලවල් ඒවගෙන් වැහිලයි තියෙන්නෙ.), හිස් බියර් බෝතලයක් (ඒ ගැන කියන්න වෙන්නෙත් ඒ කතාවමයි), සහ අළුත්ම අළුත් බූට් සපත්තුවක් හොයා ගන්න මට පුළුවන් උනා. ඒ තමයි මම හොයාගත්ත අන්තිම දේ. මොකද, මම තවදුරටත් ඉන්නෙ තනියම නෙවෙයි කියල ඊලඟට මම හොයාගත්ත නිසා.
මතු සම්බන්ධයි
_______
ආතර් සී ක්ලාක් මහතා විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______
___
පින්තූරය
එයි..
ReplyDeleteකතාව නම් එල වගේ දැනෙනවා...
ඉතුරු ටිකත් ලියනකම් තමයි මේ බලන් ඉන්නේ..
තව එක කොටසයි තියෙන්නෙ. :-)
Deleteමේ පරිවර්තන ශෛලිය මරු අප්ප...
ReplyDeleteස්තූතියි... :-)
Deleteඔබ හොඳ පරිවර්තකයෙක්
ReplyDeleteභාෂාවත්, දැනුමත්, හුරුවත්, ඉවසිල්ලකුත් නැතිව සංක්ෂිප්ත හෝ අසංක්ෂිප්ත පරිවර්තනයක් කරන්න බෑ
බ්ලොග් අවකාශය ඔබ වගේ අයගෙන් පිරෙන එක ගැන ගොඩක් සතුටුයි
දැන් පුවත්පත් ලිපි වලට වඩා බ්ලොග් ලිපි භාෂාවෙන්, අන්තර්ගතයෙන් පොහොසත් කියලත් හිතෙනව මේ ලිපි දුටුවම.
ජයවේවා මචෝ!
ගොඩාක් ලොකු අගය කිරීමක්. හදවතටම දැනුණ. :D
Deleteවිද්‍යා ප්‍රබන්ධ මගේ එක විනෝදාංශයක්. මම ආසාවෙන් කියවපු ඒ වගේ ඉංග්‍රීසි කතා කීපයක් සිංහලට හරවල බලන්න හිතුන. පරිවර්තනේ රසවත් කියල හිතෙනවනං මගේ මහන්සියෙන් පොඩ්ඩක්වත් අපතෙ ගිහින් නැහැ.