Pages

Sunday 15 March 2015

බබලන්නෝ - 1 කොටස


සෝවියට් තානාපති කාර්යාලය දුරකථන මාර්ගයේ රැඳී ඉන්නවයි කියල දුරකථන හුවමාරු පොලෙන් කියපු වෙලාවෙ මගේ හිතට ආපු පළවෙනි අදහස උනේ:

“හොඳයි - තවත් වැඩක්!”

ඒත් ගන්චරොෆ් ගෙ කටහඬ ඇහෙද්දිම, මොකක් නමුත් අවුලක් වෙලා තියනවයි කියල මට තේරුම් ගියා.

“ක්ලවුස්? මේ මිකායිල්. මේ දැන්මම මෙහාට එන්න පුළුවන්ද? මේක ගොඩක් හදිස්සියි, ඒ වගේම මට මේ ගැන දුරකථනයෙන් කියන්න බැහැ.”

අපේ පැත්තෙන් මොකක් හරි වැරැද්දක් වෙලා නං, කියන්න ඕනි කරන කරුණු කාරණා හිතින් පෙළගස්සමින් ගිය මම, තානාපති කාර්යාලයට යනකම්ම හිටියෙ හිතේ කරදරෙන්. ඒත් මට එහෙම වෙන්න පුළුවන් මොනම වැරැද්දක්වත් හිතාගන්න බැරි උනා. ඉවර කරපු නැති රුසියානුවන්ගෙ කොන්තරාත්තු මොනාවත් මේ වෙනකොට අපිට තිබ්බෙ නැහැ. අන්තිම වැඩේ අපි සම්පූර්ණ කරේ දැනට මාස හයකට උඩදි. ඒක හරි වෙලාවට බාර දුන්න විතරක් නෙවෙයි ඒ අය සම්පූර්ණයෙන්ම ඒ ගැන සෑහීමටත් පත්උනා.

හැබැයි මට ඉක්මනටම දැනගන්න ලැබුණ විදිහට, ඒ අය වැඩේ ගැන දැන් සෑහීමකට පත් වෙන්නෙ නෑ.

වෙළඳ කටයුතු සම්බන්ධීකරණ නිලධාරී මිකායිල් ගන්චරොෆ් මගේ පරණ මිත්‍රයෙක්. ඔහු මේ ගැන දන්න හැම දේම මට කිව්ව. ඒත් එහෙමටයි කියල ලොකු විස්තරයක් ඔහු දැනගෙන හිටියෙ නැහැ.

“අපිට මේ දැන් ලංකාවෙන් හදිසි කේබල් පණිවිඩයක් ලැබුණ. ඒ ගොල්ලන්ට ඉක්මනටම ඔයාව එතනට ගෙන්න ගන්න ඕනි වෙලා. ජලතාප ව්‍යාපෘතියේ ලොකු ප්‍රශ්ණයක්.”

“මොන විදිහෙ ප්‍රශ්ණයක්ද?” මම ඇහුව. ප්‍රශ්ණෙ වෙලා තියෙන්නෙ ගැඹුරු පැත්තෙ වෙන්න ඕනි කියල ඒ වෙනකොටත් මට හිතිලයි තිබ්බෙ. මොකද කියනවනං ව්‍යාපෘතියෙ අපිට අදාල උන එකම කොටස ඒක නිසා. ගොඩබිම වැඩ කටයුතු හැම එකක්ම කලේ රුසියානුවො. ඒත්, ඉන්දියන් සාගරයේ අඩි තුන්දාහක් ගැඹුරින් අර ජාලය සවි කරද්දි අපේ උදව් ලබා ගන්න ඒගොල්ලන්ට සිද්ධ උනා. මේ වගේ වැඩ වලදි අපේ ආදර්ශ පාඨය කිට්ටුවටවත් එන්න පුළුවන් වෙනත් සමාගමක් ලෝකෙ ඇත්තෙ නැහැ.

ඕනෑම ගැඹුරක, ඕනෑම වැඩක්


“මම දන්නෙ මෙච්චරයි... සම්පූර්ණ බිඳවැටීමක් සිද්ධ වෙලා කියල එතන ඉංජිනේරුවො වාර්තා කරනව...; තව සති තුනකින් ලංකාවෙ අගමැති තුමා බලාගාරෙ විවෘත කරන්න ඉන්නෙ...; ඒ වෙන කොට ඒක වැඩ කරේ නැත්නං මොස්කව් වල අයගෙ හිත් ගොඩක්ම, ගොඩාක්ම නරක් වෙයි...” ගන්චරොෆ් කිව්ව.

අපේ කොන්තරාත්තුවෙ දඬුවම් වගන්ති ටික මං ඉක්මනින් මතක් කරල බැලුව. සේවාලාභියා නැවත බාර ගැනීමේ සහතිකය අත්සන් කරල, වැඩේ හරි විදිහට කරල තියනවයි කියල පිළිඅරගෙන තිබුණ නිසා, පේන විදිහට අපේ සමාගමට ප්‍රශ්ණයක් නැහැ. කොහොම උනත් ඒක ඒ තරං සරළ දෙයක් නෙවෙයි. නොසලකා හැරීම සිද්ධ උනේ අපේ පැත්තෙන් කියල ඔප්පු උනා උනත් නීතිමය වශයෙන් අපි ඉන්නෙ ආරක්ෂාකාරී තැනක. ඒත් ඒක අපේ ව්‍යාපාරයට නරක විදිහට බලපානව. ‘ට්‍රින්කෝ ඩීප්’ ව්‍යාපෘතියෙ ව්‍යාපෘති අධීක්ෂක වෙලා හිටියෙ මම නිසා, ඒක පුද්ගලිකව මට ඊටත් වඩා නරක විදිහට බලපානව.

කරුණාකරල මට ‘කිමිදුම් කාරයෙක්’ කියල කියන්න එපා. ඒ නමට මං කැමති නැහැ. මම සාගර ඉංජිනේරුවෙක්. ගුවන් නැවියෙක් පැරෂුටයක් පාවිච්චි කරන තරමටම මමත් කිමිදුම් උපකරණ පාවිච්චි කරනව. මගේ වැඩ වලින් වැඩි හරියක් කරන්නෙ රූපවාහිනී තිර සහ දුරස්ථ පාලක රොබෝ යන්ත්‍ර පාවිච්චි කරල. මට කිමිදෙන්න සිද්ධ උනාම මම ඒකට බාහිර හැසිරවීම් උපකරණ තියන කුඩා සබ්මැරීනයක් පාවිච්චි කරනව. ඒකෙ පිටතින් තියන අඬු-බඬු නිසා අපි ඒකට කියන්නෙ ‘පොකිරිස්සා’ කියල. ඒකෙ සම්මත මාදිලියට අඩි පන්දාහක් ගැඹුරට කිමිදෙන්න පුළුවන්. ඊට අමතරව මරියානා ආගාධය පතුලෙ වැඩ කරන්න පුළුවන් විශේෂ මාදිලිත් තියනව. මම පුද්ගලිකව එතනට ගිහින් නැහැ. ඒත් එතනට යන්න ඔබට උනන්දුවක් තියනවනං මං බොහොම කැමැත්තෙන් ඒකට යන වියහියදම් සහ අදාල වෙන කොන්දේසි ගැන කියල දෙන්නම්. දළ ඇස්තමේන්තුවක් ගත්තොතින්, පහලට යන හැම අඩියකටම ඩොලර් එකකුත් කෙරෙන වැඩේට පැයකට ඩොලර් දාහකුත් වැය කරන්න ඔබට සිද්ධ වේවි.

රුසියානුවන්ට මේ වැඩේ ගොඩක් හදිස්සියි කියල මට තේරුම් ගියේ, සූරිච් වල මං වෙනුවෙන් ජෙට් එකක් ලෑස්ති කරලයි තියෙන්නෙ, තව පැය දෙකක් ඇතුලත මට ගුවන් තොටුපොලට යන්න පුළුවන්ද? කියල මිකායිල් මගෙන් ඇහැව්වමයි.

“මේ බලන්න ...” මම කිව්ව. “... උපකරණ නැතුව මට මොකවත් කරන්න බැහැ. සෝදිසි කිරීමක් කරන්න ඕනි කරන උපකරණත් ටොන් ගානක් බරයි. ඇරත් ඒ ඔක්කොම දැන් තියෙන්නෙ ස්පෙට්සියාවෙ.”

“මං දන්නව ...” මිකායිල් රළු විදිහට උත්තර දුන්න. “... අපි එහාටත් ජෙට් එකක් යවන්නං. ඕනි කරන්නෙ මොනාද කියල තීරණය කරගත්ත ගමන්ම ලංකාවෙ ඉඳල කේබල් පණිවිඩයක් එවන්න. පැය දොළහක් ඇතුලත ඒ දේවල් වැඩ බිමට ලැබෙයි. ඒත් කරුණාකරල මේ ගැන වෙන කාටවත් කියන්න යන්න එපා. අපේ ප්‍රශ්ණ අපිටම සීමා කරල තියා ගන්න අපි කැමතියි.”

මේක මගෙත් ප්‍රශ්ණයක් නිසා මම ඒ වැඩපිළිවෙලට එකඟ උනා.

මම කාර්යාලයෙන් පිට වෙද්දි, මිකායිල් බිත්ති කැලැන්ඩරේ පෙන්නල, “තව සති තුනයි” කියල කියන ගමං ඇඟිල්ලෙන් තමන්ගෙ බෙල්ලෙ ඉරක් ඇඳල පෙන්නුව. ඔහු අදහස් කරන්නෙ ඔහුගෙ බෙල්ල ගැන නෙවෙයි කියන්න මං දැනගෙන හිටිය.



මතු සම්බන්ධයි

_______

ආතර් සී ක්ලාක් මහතා විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______

5 comments:

  1. මං ආස පරිවර්තන ස්ටයිල් එකක්... ගැඹුරු මුහුද මතක් උනේ....

    ReplyDelete
    Replies
    1. මේ කතාවත් ටිකක් ඒ වගේ... :)

      Delete
  2. අහ් හා. මම හිතුවේ පරිකල්පන වැඩ කරන තැන වෙච්ච දෙයක් කියලා. ඒත් සෝවියට් කියන වචනේ මුලින්ම ගැටලුවක් වුනා. පස්සේනේ දන්නේ මේ ආතර් සී ක්ලාක් කියලා.
    පරිවර්තනය මරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ්.

      මේක ටිකක් විතර දිග කතාවක්. තාම අග හරිය පරිවර්තනේ කරන්න ඉතුරු වෙලා තියනව.

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...