පැය දෙකකට පස්සෙ මං හිටියෙ ඇල්ප්ස් කඳුකරේට උඩින් පියාසර කරමින්. මගේ පවුලේ අයට රේඩියෝ මගින් සමුගැනීමේ පණිවිඩයක් යවන ගමන් මං කල්පනා කරේ, විචාර බුද්ධිය තියන අනිත් ස්විස් ජාතිකයො වගේ මාත් බැංකුකරුවෙක් උනේ නැත්තෙ හරි, අත් ඔරලෝසු ව්‍යාපාරයට සම්බන්ධ උනේ නැත්තෙ හරි ඇයි කියලයි. ඒක තනිකරම පිකාඩ් සහ හෑන්ස් කෙලර් ගෙ වැරැද්ද. මං මටම තරහින් කියා ගත්ත. ලෝකෙ මෙච්චර රටවල් තියෙද්දි ඒගොල්ලන්ට ස්විට්සර්ලන්තෙම මේ ගැඹුරු මුහුදත් එක්ක ඔට්ටුවෙන සම්ප්‍රදාය පටන්ගන්න ඕනි උනේ ඇයි? පණිවිඩේ යවල ඉවර වෙලා මම ටිකක් නිදා ගන්න හරි බරි ගැහුණ. ඉස්සරහට එන දවස් වලදි ඇති තරං නින්දක් ලබා ගන්න වෙන එකක් නැහැයි කියල මං දැනං හිටිය.
පාන්දර පහු උන ගමන්ම වගේ අපි ත්‍රිකුණාමලේට ගොඩබැස්සා. භූගෝලීය පිහිටීම මට කවදාවත් හරියටම ප්‍රගුණ කරගන්න බැරි උන, තුඩු, දූපත්, එකිනෙකට සම්බන්ධ ජල මාර්ග සහ ලෝකෙ තියෙන සියළුම නාවික හමුදාවන් රඳවල තියා ගන්න පුළුවන් තරමේ විශාල ගංගාධරයන්ගෙන් සමන්විත අති විශාල වගේම සංකීර්ණ වරාය මට පෙනුණෙ එකම අවුල් ජාලාවක් වගේ. සුදු පාට ලොකු පාලන ගොඩනැගිල්ල තරමක් විචිත්‍ර ගෘහ නිර්මාණ ශෛලියකට අනුව, ඉන්දියන් සාගරයට පිටුපාන ආකරයට, තුඩුවක ගොඩනංවල තියනව දැක ගන්න පුළුවන් උනා.
වැඩ බිම සම්පූර්ණයෙන්ම වගේ ලොකු ප්‍රචාරණ ගුණ්ඩුවක්. ඒත් මං රුසියානුවෙක් උනානං මං ඒකට කියනව ඇත්තෙ ‘මහජන සබඳතා වැඩිදියුණු කරගැනීම’ කියල.
මං මගේ ගනුදෙනුකරුවන්ට දොස් කියනව එහෙම නෙවෙයි. ඒ අයට මේ ව්‍යාපෘතිය ගැන ආඩම්බර වෙන්න ලොකු හේතුවක් තිබ්බ. සාගරයේ එක්රැස් වෙලා තියන තාප ශක්තිය ප්‍රයෝජනයට ගන්න දැනට දරල තියෙන දැවැන්තම වගේම ගොඩක් දෙනා බලාපොරොත්තු තියාගෙන ඉන්න උත්සාහය තමයි මේ. හැබැයි මේක මේ වගේ දෙයක් කරන්න හදපු පළවෙනි වතාව නෙවෙයි. එක්දහස් නවසිය තිස් ගණන් වල ප්‍රංශ විද්‍යාඥයෙක් වෙච්ච ජෝර්ජේ ක්ලෝඩ් මේ දේට අසාර්ථක උත්සාහයක් දරල තියනව. එක්දාස් නවසිය පනස් ගණන් වල අප්‍රිකාවෙ බටහිර වෙරළෙ අබිජාන් වල ඊට වඩා ලොකුවට කරපු ව්‍යාපෘතියත් අසාර්ථක උනා.
මේ හැම ව්‍යාපෘතියක්ම ප්‍රයෝජනයට ගත්තෙ එකම පුදුමාකාර සංසිද්ධියක්. නිවර්තන කලාපෙදි උනත් හැතැක්මක් ගැඹුරෙදි මුහුදෙ තියෙන්නෙ අයිස් මිදෙන උෂ්ණත්වයට කිට්ටු උෂ්ණත්වයක්. ජලය ටොන් බිලියන ගානක් සැලකිල්ලට ගත්තම මේ උෂ්ණත්ව වෙනස අති විශාල ශක්ති ප්‍රමාණයක් සහ බලශක්ති අර්බුදයෙන් පීඩා විඳින රටවල් වල ඉංජිනේරුවන්ට ඉස්තරම් අභියෝගයක් සපයනව.
ක්ලෝඩ් සහ ඔහුගෙ අනුප්‍රාප්තිකයන් මේ ශක්තිය ලබා ගන්න උත්සහ කරේ අඩු පීඩන වාෂ්ප එන්ජින් පාවිච්චි කරල. රුසියානුවො මේකට පාවිච්චි කරල තිබ්බෙ ඊට වඩා සරළ සහ ඍජු ක්‍රමවේදයක්.
එක අග්‍රයක් රත් කරල අනෙත් අග්‍රරය සිසිල් කරොත් ගොඩක් ද්‍රව්‍ය තුලින් විදුලි දහරාවන් ගලා යනවයි කියන කාරණාව අපි අවුරුදු සීයකටත් වඩා වැඩි කාලයක් තිස්සෙ දැනගෙන හිටිය දෙයක්. එක්දාස් නවසිය හතලිස් ගණන් වල ඉඳල රුසියානු විද්‍යාඥයො මේ ‘තාප විද්‍යුත් ආචරණය’ ප්‍රායෝගික භාවිතයකට යොදාගන්න වැඩ කටයුතු කරමින් හිටිය. ඒ අයගෙ මුල්ම උපකරණ එච්චර කාර්යක්ෂම ඒව උනේ නැතත්, භූමිතෙල් ලාම්පු වල උණුසුමින් ගුවන් විදුලි යන්ත්‍ර දහස් ගානකට බලය සපයන්න තරම් හොඳ තත්වෙක තිබුණ. ඒත් 1974 දි, ඒ අය තවමත් රහසක් විදිහට තියාගෙන ඉන්න විශාල සොයා ගැනීමක් කරා. පද්ධතියෙ සිසිල් පැත්තෙ තාප විද්‍යුත් උපකරණ සවි කරේ මම. ඒ උනත් මං ඇත්තටම ඒව මොන වගේද කියල දැක්කෙ නැහැ. ඒව තිබ්බෙ මළ බැඳීම වලක්වන්න ගාපු තීන්ත වලින් වැහිල. මම දන්නෙ අන්තිමේදි ඒවගෙන් ලොකු දැලක් හැදුන කියල විතරයි. හරියට පරණ වාෂ්ප රේඩියේටර් ගොඩක් එකට පුරුද්දව්ව වගේ.
ත්‍රිකුණාමලය ගුවන් පථයෙ මං එනකං බලාගෙන හිටිය පොඩි කණ්ඩායමේ වැඩි හරියක් තිබ්බෙ මං අඳුනන මූණු. සතුරු වේවා, මිතුරු වේවා ඒ අය හැමෝම මාව දකින්න කැමැත්තෙන් හිටිය බව පේන්න තිබ්බ. විශේෂයෙන්ම ප්‍රධාන ඉංජිනේරු ෂපිරෝ.
“ඉතින් ලෙව්, මොකක්ද ප්‍රශ්ණෙ?” අපි ස්ටේෂන් වැගන් රථයට නැගල පිටත් වෙන වෙලාවෙ මං ඇහැව්ව.
“අපි දන්නෙ නැහැ ...” ඔහු ඇත්තම කිව්ව. “... ප්‍රශ්ණෙ මොකක්ද කියල හොයාගෙන ඒක හරිගස්සන එක තමයි ඔයාගෙ වැඩේ.”
“ඉතින් මොකක්ද උනේ?”
“පූරණ බල පරීක්ෂා වලට එනකං හැමදේම නියමාකාරයෙන් සිද්ධ උනා. අඟහරුවාද පාන්දර 0134 වෙද්දිත් ප්‍රතිදානයෙ තිබ්බෙ ඇස්තමේන්තු කරපු ප්‍රමාණයෙන් සියයට පහක වෙනසක් ...” ඔහු එහෙම කිව්වෙ මූණ ඇඹුල් කරගෙන. අනිවාර්යයයෙන්ම ඒ වෙලාව ඔහුගෙ හිතේ තදින්ම කාවැදිල ඇති. “... ඊලඟට වෝල්ටීයතාව බොහොම දරුණු විදිහට විචලනය වෙන්න පටන් ගත්ත. ඉතින් අපි විද්‍යුත් භාරය කපා හැරල මාපාංකයන් සෝදිසි කරල බැලුව. මං හිතව්වෙ කවුරු හරි බූරු නැව් කපිතාන් කෙනෙක් කේබල් වල නැංගූරම පටලෝගෙන ඇති කියල. ඔයා දන්නවනෙ, ඒක එහෙම වෙන එක වලක්ව ගන්න අපි කොච්චර කරදර වින්දද කියල. ඉතින් අපි සර්ච් ලයිට් පත්තු කරල මුහුද සෝදිසි කරල බැලුව. පේන තෙක්මානෙක නැවක් තිබුන්නෑ. ඇරත්, පැහැදිලි අහසක් තියන සන්සුන් රෑක වරායෙන් පිට නැංගූරම් දාන්න හදන්නෙ කවුද?
උපකරණ දිහා බලාගෙන දිගටම අත්හදාබැලීම් කරනව ඇරෙන්න අපිට කරන්න වෙන කිසිම දෙයක් තිබුණෙ නෑ. අපි කාර්යාලයට ගියාම මං ඔක්කොම ප්‍රස්තාර ටික පෙන්නන්නං. විනාඩි හතරකට පස්සෙ හැමදේම විසන්ධි වෙලා ගියා. බිඳවැටීම උනේ කොතනද කියල හරියටම කියන්න අපිට පුළුවන්. ඒක වෙලා තියෙන්නෙ ගැඹුරුම කොටසෙ, ජාලෙ තියන හරියෙමයි... ඒක අනිවාර්යයෙන්ම වෙලා තියෙන්නෙ ඕනි එහා කොනේ, නැතුව පද්ධතියෙ මෙහා කොනේනං නෙවෙයි.” ජනේලෙන් එළිය දිහාට ඇඟිල්ල දික් කරන ගමන් ඔහු කනස්සල්ලෙන් කිව්ව.
අපි ඒ වෙලාවෙ හිටියෙ සූර්ය පොකුණ පහුකරන ගමන්. සාම්ප්‍රදායික තාප එන්ජිමක බොයිලේරුවෙන් කෙරෙන වැඩේ මෙතනදි සිද්ධ උනේ ඒකෙ ආධාරයෙන්. මේක රුසියානුවො ඊශ්‍රායිල් ජාතිකයන්ගෙන් ණයට ගත්ත අදහසක්. සරළව කිව්වොත් ඒක සාන්ද්‍ර කරදිය ද්‍රාවණයක් පුරවපු, අඩිය කළු කරපු, නොගැඹුරු විලක්. ඒක බොහොම කාර්යක්ෂම තාප උගුලක් විදිහට ක්‍රියා කරල සූර්ය තාපයෙන් ඒකෙ තියන ද්‍රවයෙ උෂ්ණත්වය ෆැරන්හයිට් දෙසීයකට කිට්ටු වෙන්න ඉහල දානව. ඒ ද්‍රවයෙ බඹ දෙකක් ගැඹුරින් තමයි අඟලක් අඟලක් ගානෙ තාප විද්‍යුත් පද්ධතියෙ ‘උණුසම්’ ජාලයන් ගිල්වල තියෙන්නෙ. අති විශාල කේබල් ගොන්නකින් ඒව ඊට වඩා අංශක එකසිය පනහක් ශීතලෙන් යුත් මට අයිති එකකයත් එක්ක සම්බන්ධ වෙනව. ඒක තියන්නෙ අඩි තුන්දාහක් පහලින්, ත්‍රිකුණාමල වරායෙ මුවවිට කිට්ටුවටම එන මුහුද යට කුරුබිලිය පතුලෙ.
“භූමිකම්පාවක් උනාද කියල ඔයාල පරීක්ෂා කරල බලන්න ඇති කියල මං හිතනව?” මම එහෙම ඇහැව්වෙ එච්චර බලාපොරොත්තු තියාගෙන නෙවෙයි.
“ඇත්තෙන්ම අපි එහෙම කරා. භූකම්පනමානයේ මොනාවත් පෙන්නුම් කරේ නෑ.”
“එතකොට තල්මස්සු? උන්ගෙන් කරදර වෙන්න පුළුවන් කියල මං ඔයාට කලිනුත් අනතුරු අගවලයි තිබ්බෙ.”
දකුණු ඇමරිකාව කිට්ටුව මුහුදෙ හැතැක්ම බාගයක් ගැඹුරෙ තිබ්බ ටෙලිග්‍රාෆ් කම්බියක පැටලිල මැරිල හිටිය යෝධ තල්මහ ගැන දැනට අවුරුද්දකට විතර කලින්, ප්‍රධාන සන්නායක මුහුදෙ එලන කාලෙ, මං ඉංජිනේරුවන්ට කියල තිබ්බ. ඒ වගෙ සිද්ධි දුසිමක් විතර දැනට වාර්තා වෙලා තියනව. ඒත් පේන්න තිබ්බ විදිහට අපේ සිද්ධිය එහෙම එකක් නෙවෙයි.
“අපිට ඊලඟට කල්පනා උනෙත් ඒකම තමයි...” ෂපිරෝ කිව්ව. “...අපි ධීවර දෙපාර්තමේන්තුවටයි, නාවික හමුදාවටයි, ගුවන් හමුදාවටයි කතා කරල බැලුව. වෙරළට කිට්ටුව කොහේවත් තල්මස්සු හිටියෙ නෑ.”
අන්න ඒ වෙලාවෙදි තමයි මං හේතු අනුමාන කරන එක නවත්තල දැම්මෙ. මොකද කියනවනං, අනිත් අය කතාවෙනව ඇහිච්ච දෙයකින් මාව ටිකක් ගැස්සිල ගිය නිසා. අනිත් හැම ස්විස් ජාතිකයෙක්ට වගේම මටත් භාෂා තේරුම් ගැනීමේ හොඳ හැකියාවක් තියනව විතරක් නෙවෙයි, රුසියානු වචන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අල්ලගන්නත් මට පුළුවං වෙලා තියනව. ඒ කොහොම උනත් ‘සැබොටාෂ්’ කියන වචනෙ තේරුං ගන්න කෙනෙක් වාග් වේදියෙක් වෙන්නම ඕනි නෑ.
ඒක කිව්වෙ ව්‍යාපෘතියෙ දේශපාලන උපදේශක දිමිත්‍රි කාර්පකින්. මට ඔහු ගැන පැහැදීමක් තිබ්බෙ නැහැ. අනිත් ඉංජිනේරුවොත් ඔහුට කැමති උනේ නැහැ. ඒ නිසාම සමහර වෙලාවලදි ඒ අය ඔහුට සැලකුවෙ ඕනෑවටත් වඩා අවිනීත විදිහට. ස්ටාලින්ගෙ හෙවනැල්ලෙන් එහෙමපිටින්ම ගැලවෙන්න බැරි උන පරණ තාලෙ කොමියුනිස්ට් කාරයන්ගෙන් කෙනෙක් වෙච්චි ඔහු සෝවියට් සංගමයෙන් පිටත තිබ්බ හැම දෙයක් දිහාමයි, සෝවියට් සංගමේ ඇතුලෙ තිබ්බ දේවල් වලින් වැඩි හරියක් දිහායි බැලුවෙ සැකෙන්. ‘කඩාකප්පල්කාරී ක්රියයාවක්’ කියන්නෙ ඔහු ගොඩක්ම කැමති වෙන විදිහෙ පැහැදිලි කිරීමක්.
ඇත්තම කියනවනං, ත්‍රිකුණාමල විදුලි ව්‍යාපෘතිය අසාර්ථක වීම ගැන දුක් වෙන්නෙ නැති ගොඩ දෙනෙක් හිටිය. දේශපාලනමය වශයෙන් බැලුවම සෝවියට් සංගමයේ ගෞරවය මේ එක්ක බැඳිල තිබ්බ. ආර්ථිකමය වශයෙන් බැලුවම බිලියන ගානක්. මොකද, ජලතාප බලාගාර සාර්ථකයි කියල ඔප්පු උනොත් ඒවට තෙල් වලට, ගල්අඟුරු වලට, ජල විදුලියට වගේම විශේෂයෙන්ම න්‍යෂ්ටික බලයට තරඟයක් දෙන්න පුළුවන් නිසා.
ඒ උනත් මේක කඩාකප්පල්කාරී වැඩක් වෙන්න ඇති කියල මම තාමත් විශ්වාස කලේ නැහැ. අනික, මේ වෙත්දි සීතල යුද්ධෙත් ඉවරවෙලා. හැබැයි ජාලයෙන් කොටසක් නියැදියක් විදිහට කඩා ගන්න කවුරු හරි ඔලමොට්ටල විදිහට උත්සාහ කරා වෙන්න පුළුවන්. ඒත් ඒක උනත් වෙන්න පුළුවන් කියල හිතන්න බැහැ. ඒ වගේ වැඩකට අතගහන්න පුළුවන් අය හිටියෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. එයිනුත් බාගයක් දෙනා මගෙන් පඩි ගන්න උදවිය.
දිය යට ක්‍රියා කරන කැමරාව එදා හවසම ගෙනාව. රෑ එළි වෙනකං වැඩ කරල අපි කැමරා, මොනිටර වගේම සන්නිවේදන කේබල් හැතැක්මක් විතරත් යාත්‍රාවකට පටව ගත්ත. අපි වරායෙන් පිටත් වෙන වෙලාවෙ, කලින් හොඳට දැකල පුරුදු කෙනෙක් ජැටියෙ හිටගෙන ඉන්නව මං දැක්ක. ඒත් මම හිටියෙ ඒ කවුද කියල හරියටම කියන්න බැරි තරම් දුරිනුයි. අනිත් අතට ඒ වෙලාවෙ මගේ ඔළුවෙ වෙන අදහස් ටිකක් වැඩ කර කරයි තිබ්බෙ. ඔබට දැන ගන්නම ඕනිනං මම කියන්නං. මම හොඳ නැවියෙක් නෙවෙයි. මම ඇත්තටම තෘප්තිමත් මුහුද යටදි විතරයි.
මතු සම්බන්ධයි
_______
ආතර් සී ක්ලාක් මහතා විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______
මට මේකෙ පෙන්නන්න බැරි තරං අප්පිරිය චාක්‍ය මොකද්ද දන්නවද...
ReplyDeleteමතු සම්බන්ධයි .. කෑල්ල..... ගර්ර්ර්...
“ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය“ කියනවනෙ හිරු. හෙමීට කියවමු. :)
Deleteමේ වගේ සංකීර්ණ දිග විද්‍යාත්මක කතාවක් පරිවර්තනය කරන එක කොහොම දුෂ්කර ක්‍රියාවක්ද කියලා මට හිතාගන්න පුලුවන්. ඒ හන්දම කතාව කියවලා පිටුව වහලා දාලා යන්න හිතෙන්නේ නෑ එක්තරා වරදකාරී හැඟීමක් වගේ එකක් නිසා. දුෂ්කර ක්‍රියාවට ජය!
ReplyDeleteතැන්ක් යූ ඩූඩ්. මේ වැඩේ ආසාවෙන් කරන්න ඔනි කරන තල්ලුව හම්බ වෙන්නෙ ඔයගොල්ලන්ගෙ කොමෙන්ට් වලින් තමයි.
Deleteඅනේ මංදා..............
ReplyDeleteමට හිතාගන්නවත් බැහැ..... ඔබ ව මගහැරුනේ කොහොමද කියලා.... අැත්තට ම අපි ඒන්න අැත්තේ අද...... දිගට ම හමුවෙමු......... ජයවේවා
සාදරයෙන් පිළිගන්නව.
Deleteටික කාලයක් බ්ලොග් එක පැත්ත පළාතෙ එන්න බැරුව ඉඳල මේ ලඟදි තමයි ආයෙ ලියන්න වෙලාව හොයා ගන්න පුළුවන් උනේ.