Pages

Sunday 5 April 2015

බබලන්නෝ - අවසාන කොටස


මම කොහොමටත් සෝනාරය නිවා දමන්නෙ නැහැ. ඒ වගේම එහා මෙහා නොයන වෙලාවෙට උනත් මං විනාඩියකට සැරයක් විතර තිරය දිහා බලල සාමාන්‍ය තත්වය කොහොමද කියල සෝදිසි කරල බලනව. දැන් ඇතිවෙල තිබ්බ තත්වෙ තමයි, ‘පොකිරිස්ස’ තරම්ම ලොකු මොකක් හරි උතුරු පැත්තෙ ඉඳල එන්න පටන්ගෙන තිබුණ එක. මම දකිද්දි ඒක අඩි පන්සීයක් විතර සීමාවෙ ඉඳල හෙමින් කිට්ටු වෙමින් තිබුණ. මගේ විදුලි ආලෝකයන් නිවා දමපු මම, සැඩ පහරෙ සමබරව ඉන්න අව බලයෙන් දුවවමින් තිබුණ ජෙට් කපා හැරල දියවැල දිගේ පාවෙන්න උනා.

ෂපිරෝට කතා කරල මෙහෙ තව කවුරුහරි ඉන්නව කියන්න ඕනිකම තිබුණ උනත්, තව තොරතුරු ටිකක් හොයා ගන්නකං ඉවසල ඉන්න මං තීරණේ කරා. මේ තරං ගැඹුරෙ වැඩ කරන්න පුළුවන් කිමිදුම් යාත්‍රා තිබුණෙ තව රටවල් තුනකට විතරයි. ඒ හැමෝත් එක්කම මට බොහොම හොඳ, සුහදශීලී සබඳතා තිබ්බ. එකපාර කලබල වෙලා අනවශ්‍ය දේශපාලන අවුලක පැටලෙන්න කොහොමත් ඕනි නෑ.

සෝනාරය නැතුව ඉන්නව කියන්නෙ අන්ධ වෙලා ඉන්නව වගේ. ඒත් මම මෙතන ඉන්නව කියල හඟවන්න ඕනි නැති නිසා අකමැත්තෙන් උනත් ඒක වහල දාල මගේ ඇස් දෙකට පේන දෙයින් විතරක් යැපෙන්න මට සිද්ධ උනා. මෙච්චර ගැඹුරෙ වැඩ කරන කවුරු උනත් විදුලි ආලෝකයක් පාවිච්චි කරන්න ඕනි. ඒක නිසා ඒගොල්ලන්ට මාව පේන්න ගොඩක් කලින් මට ඒගොල්ලන්ව පේන්න ඕනි. ඉතින් මං උණුසුම් වගේම නිහඬ පුංචි කුටියට වෙලා, බොහොම හොඳ අවධානයෙන් වගේම සුපරික්ෂාකාරීව පිටත අන්ධකාරය දිහා බලාගෙන හිටිය. කොහොම නමුත් මං හිටියෙ එච්චරටම හිතේ කරදරෙන් නෙවෙයි.

ඉස්සරවෙලාම, හරියටම කොච්චර දුරින්ද කියල කියන්න බැරි තැනකින් දුර්වල ආලෝකයක් පේන්න පටන් ගත්ත. ඒක ටිකින් ටික ලොකු උනා. ඒත් මගේ මනසට වටහගන්න පුළුවන් විදිහෙ හැඩයකට හැරෙන්න තවමත් ඒකට බැරි උනා. ඒකෙ විසිරුණු දිලිසීම ටිකින් ටික දිලිසෙන තිත් දහස් ගානක් බවට පත් උනා. අන්තිමේදි ඒක පෙනුනෙ තාරකා මණ්ඩලයක් මගේ දිහාට පාවීගෙන එනව වගේ. ක්ෂීරපථයේ මැදට වෙන්න තියන ග්‍රහලෝකයක ඉඳන් බැලුවම මන්දාකිණියෙ තියන තාරකා වලාවන් පායන හැටි පේනව ඇත්තෙත් මේ වගේ.

නොදන්න දේවල් වලට මිනිස්සු බයයි කියන එක ඇත්තක් නෙවෙයි. මිනිස්සුන්ව බය කරන්න පුළුවන් ඔවුන් දන්න සහ දැනටමත් අත්විඳල තියන දේවල් වලට විතරයි. මගේ දිහාට එන්නෙ මොකක්ද කියල හිතාගන්න මට පුළුවන් කමක් තිබුණෙ නැහැ. ඒත් මුහුදෙ ඉන්න මොනම සතෙකුටවත් අඟල් හයක් ගණකම ඉස්තරම් ස්විස් යුධ සන්නාහ තහඩු වලින් වටවෙල ඉන්න මට අතක් තියන්න පුළුවන්කමක් නැහැ.

තමන්ගෙම ආලෝකයෙන් බබලමින් හිටිය ඒක වලාකුළු දෙකකට බෙදිල වෙන් වෙද්දි තිබුණෙ මම හිටිය තැනට ගොඩක්ම කිට්ටුවෙන්. ටිකින් ටික ඒ මොනාද කියල මගේ බුද්ධියට වැටහෙන්න පටන් ගත්ත. අන්ධකාර අගාධයේ ඉඳල මගේ දිහාට එමින් ඉන්නෙ සුන්දරත්වය සහ භීතිය කියන දෙකම කියල මට තේරුම් ගියා.

මං ඉන්න තැනට කිට්ටු වෙමින් ඉන්නෙ විශාල දැල්ලො කියල දැනගත්තම මට ඉස්සරවෙලාම දැනුණෙ භීතිය. ජෝ ගෙ කතා ඔක්කොම මගේ ඔලුව ඇතුලෙ දෝංකාර දෙන්න ගත්ත. ඊලඟට, සැලකිය යුතු තරමෙ බලාපොරොත්තු කඩවීමකුත් එක්ක මට තේරුම් ගියේ උන්ගෙ විශාලත්වය අඩි විස්සක් විතර විතරයි කියල. උන් ‘පොකිරිස්සට’ වැඩිය ටිකක් ලොකු උනාට උන්ගෙ බර ඒකෙ බරෙන් බොහොම සුළු කොටසක් විතරයි. මට කිසිම හිංසාවක් කරන්න උන්ට බැහැ. ඒ ඇරත් උන්ගෙ තිබුණ විස්තර කරන්න බැරි තරමේ සුන්දරත්වය උන්ගෙ අනතුරුදායක බව පළවා හැරිය.

මේ කතාව විකාරයක් වගේ දැනෙයි. ඒත් ඒක තමයි ඇත්ත. මගේ සංචාරවලදි මං ලෝකෙ ඉන්න සත්තුන්ගෙන් වැඩි හරියක් දැකල තියනව. ඒත් දැන් මගේ ඉස්සරහ පාවි පාවි තියන බබලන භූත රූප වගේ දෙයක්නං මං කවදාවත් දැකල නැහැ. උන්ගෙ සිරුරු දිගේ ස්පන්දනය වෙමින් සහ නටමින් ගමන් කරන වෛවර්ණ ආලෝකයන් නිසා උන්ව පෙනුණෙ හරියට මැණික් කැට වලින් සැරසිල ඉන්නව වගේ. ඒව තත්පර දෙකකට වඩා එක විදිහට තිබුණෙ නැහැ. චංචල රසදිය චාපයන් වගේ දීප්තිමත් නිල් පාටින් දිලිසෙමින් තිබුණ පුල්ලි එකපාරටම තාප දීප්ත නියොන් රතු පාටට මාරු උනා. ග්‍රහිකාවන් පෙනුණෙ හරියට වතුර දිගේ ඇදීගෙන යන බබළන පබළු වැල් වගේ. එහෙමත් නැත්නම් රෑට අහසෙ ඉඳන් බැලුවම අධිවේගී මාර්ගයක් දෙපැත්තෙ තියන පහන් කණු වල ආලෝකය පේනව වගේ. උන්ගෙ අතිවිශාල ඇස්, මේ පසුබිම් දීප්තියට වසන් වෙලා යන්තමින් පේන්න තිබුණ. අද්භූත විදිහට මනුස්ස ගතියක් වගේම බුද්ධිමත් බවකුත් තිබුණ ඒව දිළිසෙන මුතු වලින් හැදුණු ඔටුන්නක් වගේ රටාවකින් වටවෙලා තිබුණ.

මට සමාවෙන්න. ඒත් මට විස්තර කරන්න පුළුවන් ඉස්තරම්ම විදිහ තමයි ඔය. මේ සජීවී බහුරූපේක්ෂයන්ට සාධාරණේ ඉෂ්ඨ කරන්න පුළුවන් චිත්‍රපටි කැමරාවකට විතරයි. මං කොයි තරම් වෙලාවක් උන් දිහා බලාගෙන හිටියද කියල නිච්චියක් නැහැ. ඔවුන්ගෙ බබලන අලංකාරයට කොච්චර වශී වෙලා හිටියද කියනවනං ඒ වෙනකොට මගේ මෙහෙයුම ගැනත් මට අමතක වෙලයි තිබුණෙ. උන්ගෙ සියුමැලි, කෙසඟ ග්‍රාහිකා වලින් ජාලය කඩන්න බැහැයි කියල හොඳටම පේන්න තිබුණ. ඒත් මේ සත්තු මෙතනට ආපු එක බොහොම කුතුහලය දනවනසුළුයි. කාර්පකින් ඒකට ‘සැක සහිතයි’ කියල කියයි.

මං මුහුද මතුපිටට කතා කරන්න ලෑස්ති වෙච්ච වෙලාවෙ අදහගන්න බැරි දෙයක් දැක්ක. ඒක මෙච්චර වෙලාවක් මගේ ඇස් පනාපිටම තිබිල තියනව. ඒත් මේ වෙනකංම ඒ මොකක්ද කියල මං තේරුම් අරං තිබිල නැහැ.

දැල්ලො දෙන්න එකිනෙකා එක්ක කතා කරමින් ඉන්නව.

අර දිලිසෙන, ඉක්මනින් ඇතිවෙලා නැතිවෙලා යන රටාවන් අහඹු විදිහට ඇතිවෙනව, නැතිවෙනව නෙවෙයි. ඒවගෙ ‘බ්‍රෝඩ් වේ’ වල හරි ‘පිකඩිලි’ වල හරි තියන ආලෝක සංඥා පුවරුවල තරම්ම අර්ථවත් බවක් තියනවයි කියල සහතික වෙන්න මට පුළුවන්. හැම තත්පර කීපයකටම වතාවක් මුළුමනින්ම තේරුම් ගන්න පුළුවන් විදිහෙ රූපයක් දිස්උනා. ඒත් ඒ මොකක්ද කියල පහදගන්න කලින් ඒක මැකිල ගියා. නිතර දෙවේලෙ දකින බූවල්ලත් ක්ෂනිකව පාට වෙනස් කරල උගේ හැඟීම් ප්‍රකාශ කරනව කියල මං දැනං හිටිය. ඒත් මේක ඊට වඩා ගොඩක් දියුණු දෙයක්. ඒක ඇත්තම සන්නිවේදන ක්‍රමයක්. මෙතන ඉන්නෙ එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කරමින් ඉන්නෙ සජීවී විදුලි ආලෝක සංඥා පුවරු දෙකක්.

‘පොකිරිස්සගෙ’ නොවරදින රූපයක් දැක්කම මගේ හිතේ තිබ්බ සැකේ අන්තිම බින්දුවත් නැති වෙලා ගියා. මම විද්‍යාඥයෙක් නොවුනත් මේ වෙලාවෙ මට දැනෙන්න ඇත්තෙ ලොකු සොයාගැනීමක් කරපු වෙලාවෙ නිවුටන්ට හරි අයින්ස්ටයින්ට හරි දැනිච්ච විදිහටමයි. මේක මාව ලෝකප්‍රසිද්ධ කරයි ...

ඊලඟට, බොහොම අපූරු විදිහකට රූපය වෙනස් උනා. ‘පොකිරිස්ස’ ආයිත් පාරක් ඒ රූපෙ තිබ්බ. හැබැයි ටිකක් පොඩියට. ඒක ලඟින් තව ටිකක් පොඩියට අමුතු විදිහෙ රූප දෙකක් තිබ්බ. ඒව සමන්විත උනේ පොඩි කළුපාට තිත් දෙකක් වටේට විහිදිච්ච ඉරි දහයක රටාවකින්.

මම කිව්වනෙ ස්විස් ජාතිකයො භාෂා තේරුම් ගන්න දක්ෂයි කියල. කොහොම උනත්, දැල්ලෙක් තමන්ට තමන්ව පේන විදිහ නිරූපණය කරන්නෙ මෙහෙමයි කියල තේරුම් ගන්න පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරන්න උනා. මට පේන්න තිබ්බෙ දැන් තත්වය නිරූපණය කරන දළ සටහනක්. ඒත් ඇයි දැල්ලො දෙන්නව රූපෙ මෙච්චර පුංචියට පෙන්නන්නෙ?

ඒකට උත්තරයක් කල්පනා කර ගන්න පුළුවන් වෙන්න කලින් තුන්වෙනි දැල්ලෙක්ගෙ රූපයක් සජීවී තිරය මත දර්ශණය උනා. මේක අති විශාලයි. ඒකත් එක්ක සංසන්දනය කරද්දි අනිත් රූප පෙනුනෙ ගොඩක්ම පොඩියට. සදාකාලික රාත්‍රිය පසුබිම් කරගෙන ඒ පණිවිඩය තත්පර කීපයක් පේන්න තිබ්බ. ඊලඟට ඒ පණිවිඩය පෙන්නපු දැල්ලා තමන්ගෙ සගයා මට තනි රකින්න තියල පුදුමාකාර වේගෙකින් පිට වෙලා ගියා.

දැන් ඒකෙ තේරුම හොඳටම පැහැදිලියි. “දෙයියනේ!” මං මටම කියා ගත්ත. “මාව ඒගොල්ලන්ට ආංබාං කරගන්න බැරි වෙයි කියල ඒගොල්ලො හිතනව. ඒගොල්ලො ගියේ ඒගොල්ලන්ගෙ ‘ලොකු සහෝදරයව’ එක්කරගෙන එන්න.”

ලොකු සහෝදරයට කරන්න පුළුවන් දේවල් ගැන ජෝ වොට්කින්ස්ට එයාගෙ පරීක්ෂණ වලිනුයි පත්තර කෑලි වලිනුයි ලැබිල තිබුණට වැඩිය හොඳ සාක්කි මට ලැබිල තිබුණ.

අන්න ඒකයි කාරණාව. මම එතන තවදුරටත් රැඳිල නොඉන්න තීරණේ කරපු එක ගැන ඔයගොල්ලො පුදුම වෙන එකක් නැහැ. ඒත්, යන්න කලින් මාත් ටිකක් කතා කරල යන්න ඕනි කියල මට හිතුණ.

ගොඩ වෙලාවක් අන්ධකාරයේම හිටිය නිසා මගේ විදුලි ආලෝකය කොච්චර ප්‍රබලද කියල මටම අමතක වෙලයි තිබුණෙ. ඒවගෙ එළියට මගේ ඇස් රිදෙන්න ගත්ත. අවාසනාවන්ත දැල්ලට ඒකෙන් දැනෙන්න ඇත්තෙ බොහොම කටුක වේදනාවක්. දරාගන්න බැරි දැඩි ආලෝකයෙන් භ්‍රාන්ත උන උගේ ආලෝකය සහ අලංකාරය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්, ඇස් වලට කළුපාට බොත්තම් දෙකක් තියන නිකංම නිකං සුදුමැලි ජල්ලිමය පැසක් වගේ ඌව පේන්න ගත්ත. ටික වෙලාවක් යනකං ඌ හිටියෙ ඇතිවිච්ච කම්පනය නිසා සිහි නැතිවෙලා වගේ. ඊලඟට, මම ලොකු වෙනසක් සිද්ධ වෙන්න යන ලෝකයක් දිහාට ඉහළනගින අතරෙ ඌ තමන්ගෙ සගය ගිය දිහාටම ඉක්මනින් පිටවෙලා යන්න ගියා.

“මට ඔයාගෙ කඩාකප්පල්කාරය හම්බඋනා.” ඒගොල්ලො ‘පොකිරිස්සගෙ’ දොර ඇරපු වෙලාවෙ මම කාර්පකින්ට කිව්ව. “එයා ගැන විස්තර හැම එකක්ම දැනගන්න ඕනිනං ජෝ වොට්කින්ස්ගෙන් අහල බලන්න.”

ඔහුගෙ මූණ වෙනස් වෙච්ච හැටි දැකල සතුටු වෙන ගමන්, ඒ ගැන ටිකක් ඔළුව වෙහෙසන්න මං දිමිත්‍රිට ඉඩ හැරිය. ඊලඟට මං ටිකක් වෙනස්කම් කරපු මගේ වාර්තාව දුන්න. කෙලින්ම එහෙම කියන්නෙ නැතුව, මට හමුඋන දැල්ලො වෙලා තිබ්බ හානිය සිදු කරන්න තරම් ශක්තිමත් කියල මං මගේ වාර්තාවෙන් හැඟෙන්න ඇරිය. මං දැක්ක සංවාදය ගැන මොනාවත්ම කියන්න ගියේ නැහැ. ඒකෙන් වෙන්නෙ විශ්වාස කරන්න බැරි දෙයක් බවට ඒක පත්වෙන එක. ඒ ඇරත්, මේ ගැන හිතල බලන්න සහ පුළුවන්නං තවමත් පැහැදිලි නැති දේවල් වලට උත්තර හොයා ගන්න මට ටිකක් කල් ඕනි උනා.

රුසියානුවො දන්න තරමට වඩා වෙන මොනාවත් නොදන්නව උනත් ජෝ මේකට ලොකු උදව්වක් උනා. කොච්චර විශ්මයජනක විදිහට සකස්උන ස්නායු පද්ධතියක් දැල්ලොන්ට තියනවද කියල ඔහු මට කිව්ව. උන්ගෙන් සමහරක් තමන්ගෙ ඇඟ පුරාම තියන අපූරු ‘වර්ණධර’ පාවිච්චි කරල තත්කාලීන තුන් පැහැ මුද්‍රණයෙන් තමන්ගෙ පෙනුම ක්ෂණිකව වෙනස් කර ගන්න හැටි ඔහු විස්තර කරා. නොඅනුමානවම මේ හැකියාව ඇති වෙන්න ඇත්තෙ වේශාන්තරණයට උදව් වෙන්න. ඒත් ඒක සන්නිවේදන මාධ්‍යයක් විදිහට දියුණු වීම ස්වභාවිකයි වගේම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්.

ඒත් ජෝ ට තේරුම් ගන්න බැරි එක දෙයක් තියනව.

“උන් ජාලය ගාව කර කර හිටියෙ මොකක්ද?” ඔහු මගෙන් දිගින් දිගටම අහනව. “උන් ශීත රුධිරය තියන අපෘෂ්ඨවංශිකයො. හරිනං උන් ආලෝකයට වගේම උණුසුමටත් අකමැති වෙන්න ඕනි.”

ඒ ඇයි කියල ජෝ ට තේරුම් ගන්න බැහැ. ඒත් මට ඒ ඇයි කියල තේරෙනව. මේ අභිරහස විසඳන්න උදව් වෙන වැදගත්ම තොරතුරත් ඒකයි.

ඒ දැල්ලො ‘ට්‍රින්කො ඩීප්’ වලට ඇවිල්ල තියෙන්නෙ මිනිස්සු දක්ෂිණ ධැවයට හරි හඳට හරි යන හේතුව නිසාමයි කියල මට විශ්වාසයි. පිරිසිදු විද්‍යාත්මක කුතුහලය නිසා, කුරුබිලියෙ පැත්තකින් පැනනගින මේ උණුදිය ගීසරය අධ්‍යයනය කරන්න තමන්ගෙ ශීත නිවහනෙන් එළියට උන් ඇදිල එන්න ඇති. මේ තියෙන්නෙ අමුතු සහ පැහැදිලි කල නොහැකි සංසිද්ධියක්. සමහරවිට මේක උන් ජීවත් වෙන පිළිවෙලට තර්ජනයක් වෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔවුන් තමන්ගෙ යෝධ ඥාති සහෝදරයට (සේවකයා? වහලා!) කියල අධ්‍යයනය කරන්න ඒකෙන් කොටසක් ගෙන්න ගන්නව. ඒ මොකක්ද කියල ඒගොල්ලො තේරුම් ගනී කියල මං හිතන්නෙ නෑ. දැනට සියවසකට කලින් හිටිය විද්‍යාඥයෙකුටවත් ඒක කරන්න පුළුවන් වෙන්නෙ නැහැ. ඒත් ඒගොල්ලො උත්සාහ කරනව. ඒකයි වැදගත්.

හෙට අපි අපේ බාධක උපායන් යොදන්න පටන් ගන්නව. දැල්ලොන්ව ඈත් කරල තියන්න සමත් වෙයි කියල ෂපිරෝ හිතන විශාල විදුලි ආලෝක සවි කරන්න මම ආයිත් ‘ට්‍රින්කො ඩීප්’ වෙත යනව. ඒත් බුද්ධිය ගැඹුරු මුහුදේ ඇතිවෙමින් තියනවනං ඒ උපක්‍රමය කොච්චර කාලයක් වැඩ කරයිද?

මම මේක පටිගත කරන්නෙ ත්‍රිකුණාමලය බලකොටුවෙ පුරාණ ආරක්ෂක පවුර පාමුල වාඩි වෙලා, ඉන්දියානු සාගරයට ඉහලින් හඳ පායන හැටි බලාගෙන ඉන්න ගමන්. හැමදේම හොඳින් සිද්ධ උනොත්, මේක ජෝ මට ලියන්න කියල වද කරමින් ඉන්න පොතට ආරම්භයක් සපයල දෙයි. එහෙම නොවුනොත් - එහෙනං, හෙලෝ ජෝ, මං දැන් කතා කරන්නෙ ඔයාට. කරුණාකරල මේක ප්‍රකාශනය කරන්න ඔයාට හොඳයි කියල හිතෙන විදිහට සංස්කරණය කරන්න. ඒ වගේම තොරතුරු හැම එකක්ම නොදීම ගැන මම ඔබෙන් සහ ලෙව් ගෙන් සමාව ඉල්ලනව. ඒ ඇයි කියල  දැන් ඔයගොල්ලන්ට තේරෙනව ඇති.

මොන දේ සිද්ධ උනත්, කරුණාකරල මේක මතක තියා ගන්න. ඒ අය ලස්සන, චමත්කාරජනක සත්ත්වයො. ඔයාලට පුළුවන්නම් ඒ අයත් එක්ක සමාදානෙන් ඉන්න.


___

වෙත: බලශක්ති අමාත්‍යාංශය, මොස්කව්
විසින්: ලෙව් ෂපිරෝ, ප්‍රධාන ඉංජිනේරු, ත්‍රිකුණාමලය තාප විදුලි ව්‍යාපෘතිය.

හර් ක්ලවුස් මුලර්ගේ අවසාන කිමිදුමෙන් පසු ඔහුගේ බඩුබාහිරාදිය අතර තිබී සොයාගත් පටිගත කිරීමේ සම්පූර්ණ අත් පිටපත මේ සමග ඇත. වැදගත් කරුණු කිහිපයක් නිරාකරණය කර ගැනීම සඳහා සහය ලබා දීම පිළිබඳව ටයිම්ස් පුවත්පතේ ජෝ වොට්කින්ස් මහතාට අපි බොහෝ කෘතඥපූර්වක වෙමු.

හර් මුලර්ගේ අවසාන තේරුම්ගත හැකි පණිවිඩය යොමු කෙරුණේ වොට්කින්ස් මහතාට බවත් එය පහත පරිදි බවත් ඔබලාට මතක ඇතැයි සිතමි.


“ජෝ! මෙල්විල් ගැන ඔයා කියපු කතාව හරි! මේ සතා අති විශා ...”



නිමි.


_______

ආතර් සී ක්ලාක් මහතා විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______

___
පින්තූරය

4 comments:

  1. එන්න පරක්කු වුනා. මුල් කොටස් ආයෙම උඩින් උඩින් කියවලා රීකැප් කරගත්තා. නොසිතූ අවසානයක්. පරිකල්පනගේ උත්සාහය මම ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...