Pages

Sunday 22 March 2015

බබලන්නෝ - 3 කොටස


ත්‍රිකුණාමලය ප්‍රදීපාගාරය දිහාට පරෙස්සමින් යාත්‍රාව යොමු කරපු අපි හරියටම ජාලයට උඩින් ස්ථානගත උනා. කුඩා කිමිදුම් යාත්‍රාවක් වගේ පේන ස්වයං ප්‍රචාලක කැමරාව බෝට්ටුවෙ එක් පැත්තකින් මුහුදට දැමුණා. මොනිටර දිහා ඇස් දල්වගෙන බලා හිටපු අපි මනසින් ඒකත් සමගම මුහුදු පතුල දිහාවට යන්න උනා.

ජලය පුදුමාකාර විදිහට පැහැදිලියි වගේම පුදුමාකාර විදිහට පාළුයි. ඒ උනත් ජීවීන් ඇති බව පෙන්වන සළකුණු කිහිපයක් මුහුදු පතුලට කිට්ටු වෙද්දි අපිට දැකගන්න පුළුවන් උනා. කුඩා මෝරෙක් ඇවිත් අපිට එරෙව්වා. ඊලඟට ස්පන්දනය වෙන ලපයක් වගේ ජල්ලියෙක් පාවෙලා ගියා. ඌව ලුහුබැඳගෙන ගියේ එකිනෙක සමග පැටලුන සහ ලෝම වලින් ගැවසුන අඬු සිය ගණනක් තියන ලොකු මකුළුවෙක් වගේ සතෙක්. අන්තිමේදි බෑවුම් සහිත කුරුබිලි බිත්තිය දර්ශණ පථයට ආවා. අපි හරියටම ඉලක්කයට ඇවිත් හිටියා. මුහුද අභ්‍යන්තරයට ගමන් කරන මහත කේබල්, මම මාස හයකට ඉස්සරවෙලා අවසාන පරීක්ෂා කිරීම කරද්දි දකින්න තිබුණ විදිහටම තිබුණා.

අව බල ජෙට් ක්‍රියාත්මක කරපු මම කැමරාවට විදුලි කේබල් දිගේ පහලට පාවෙලා යන්න ඉඩ හැරියා. පාෂාණමය බිත්තියට කාවද්දපු කූඤ්ඤ වලන් සවිමත්ව සම්බන්ධ වෙලා තිබ්බ ඒව හොඳ තත්වයෙන් තියෙන බව පේන්න තිබ්බ. ආපදාවක් වෙලා තියන බව කියවෙන සලකුණක් හරි දකින්න ලැබුණෙ ජාලය ලඟට ආවමයි.

ලයිට් කණුවක හැප්පුන කාර් එකක රේඩියේටරේ දැකල තියනවද? ජාලයෙ එක කොටසක් පෙනුණෙ ආන්න ඒ වගේ. මොකක් හරි නිසා ඒක පොඩිපට්ටම් වෙලා තිබ්බ. හරියට පිස්සෙක් කුළුගෙඩියකින් ඒකට තඩිබාල වගේ.

මගේ කරට උඩින් බලාගෙන හිටපු අය පුදුමයෙන් වගේම තරහින් මුමුණන්න පටන් ගත්ත. ඒ අස්සෙ කවුරු හරි ‘සැබොටාෂ්’ කියල කියනව ඇහිච්ච මම පළවෙනි වතාවට එහෙම දෙයක් ගැන වදවෙන්න පටන් ගත්ත. මේකට තිබ්බ අනෙත් එකම පැහැදිලි කිරීම තමයි ලොකු ගලක් වැටීම නිසා මෙහෙම උනා කියන එක. ඒත් එහෙම වැටෙන්න පුළුවන් ගල් තියනවද කියල බලන්න ඒ වෙනකොටත් කුරුබිලියෙ බෑවුම් ප්‍රදේශ බොහොම පරිස්සමින් පරීක්ෂා කරලයි තිබ්බෙ.

හේතුව මොක උනත් හානියට පත්උන ජාලයේ කොටස් මාරු කරන්න සිද්ධ වෙනව. මගේ ටොන් විස්සෙ ‘පොකිරිස්සා’ ඒක වැඩට ගන්නෙ නැති වෙලාවට තියල තියන ස්පෙට්සියාවෙ තටාකාංගනයෙ ඉඳල මෙහාට ගුවන් මගින් ගේනකං ඒ වැඩේ කරන්න විදිහක් නැහැ.

“ඉතින්, ඒකට කොච්චර කාලයක් යයිද?” මම මගේ දෘශ්‍ය පිරික්සුම අවසාන කරල තිරය මත තිබ්බ කනගාටුදායක දර්ශණය ඡායාරූපගත කරාට පස්සෙ ෂපිරෝ ඇහුව.

මම එකපාරටම උත්තරයක් දෙන්න කැමති උනේ නැහැ. මුහුද යට කරන වැඩ වලදි මං ඉගෙන ගත්ත මුල්ම දේ තමයි, මොනම වැඩක්වත් තමන් හිතාගෙන ඉන්න විදිහට කරන්න බැහැ කියන එක. තමන් ගනුදෙනු කරන්නෙ මොන වගේ දෙයක් එක්කද කියල තමන්ට හරියටම තේරුම් යන්නෙ වැඩේ බාගයක් විතර කරගෙන යද්දි. ඉතින් යන වියදම සහ කාලය ගැන හරියටම ඇස්තමේන්තු කරල කියන්න බැහැ.

මගේ පුද්ගලික අදහස උනේ මේකට දවස් තුනක් යයි කියල. ඒ නිසා “හැමදේම හොඳින් සිද්ද උනොත් සතියකට වඩා යන එකක් නෑ” කියල මම කිව්ව.

“ඊට වැඩිය ඉක්මනට කරන්න බැරිද?” ෂපිරෝ කෙඳිරි ගෑව.

“මම දුර දිග බලන්නෙ නැතුව තදියමේ වැඩ කරල අමාරුවෙ වැටෙන්න යන්නෙ නෑ. කොහොම උනත් ඒකෙන් ඔයාට ඉතිරි වැඩ ටික ඉවර කරන්න සති දෙකක් ලැබෙනව.”

ආයෙත් වරායට එනකන්ම කංකෙඳිරි ගෑව උනත්, ඒ උත්තරෙන් සෑහීමට පත්වෙන්න ඔහුට සිද්ධ උනා. අපි වරායට ලඟා උනාට පස්සෙ ඔහුට කල්පනා කරන්න වෙන දෙයක් හම්බඋනා.

“සුබ උදෑසනක් ජෝ ...” ජැටියට වෙලා අපි එනකං ඉවසිල්ලෙන් මගබලාගෙන හිටිය පුද්ගලයට මම කිව්ව. “... අපි පිටත් වෙලා යද්දි දැක්කෙ ඔයා වෙන්න ඕනි කියල මං හිතුව. මොකද මෙහෙ කරන්නෙ?”

“මමත් ඔයාගෙන් අහන්න හිටියෙ ඒ ප්‍රශ්ණෙමයි.”

“ඔයා මගේ ලොක්කත් එක්ක කතා කරන එක වැඩිය හොඳයි. ප්‍රධාන ඉංජිනේරු ෂපිරෝ, මේ තමයි ජෝ වොට්කින්ස්, ටයිම්ස් පත්තරේ විද්‍යා වාර්තාකරු.”

ලෙව් ගෙ ප්‍රතිචාරය එච්චරටම සුහදශීලී උනේ නැහැ. සාමාන්‍යෙයන්, සතියකට එක්කෙනා ගානෙ විතර එන පත්තර වාර්තාකාරයොත් එක්ක කතා කරනවට වඩා ඔහු කැමති දෙයක් තවත් ඇත්තෙ නැහැ. දැන් විවෘත කරන දවස කිට්ටු නිසා හැම දිහාකින්ම වාර්තාකාරයො එන්න පටන් ගනියි. රුසියාවෙන් පවා. ඒත් ඇතිවෙලා තියන තත්වය අනුව ‘ටාස්’ එකට උනත් ටයිම්ස් පත්තරේට තරන්ම මෙහෙ දොරවල් වැහිලයි තියෙන්නෙ.

කාර්පකින් තත්වය පාලනය කරපු හැටි ඇත්තෙන්ම විනෝදජනකයි. ඔහු ඒ මොහොතෙ ඉඳන් මාර්ගෝපදේශනයට, දාර්ශනික මතවාද සාකච්ඡාවට වගේම අඩියක් ගහන්න සහයෝගයටත් එක්ක සර්ගෙයි මාර්කොව් කියල ප්‍රසන්න, තරුණ මහජන සම්බන්ධතා නිලධාරියෙක් ජෝ ට ඈඳල තිබ්බ. කොච්චර උත්සාහ කරත් ජෝ ට ඔහුව හලල දාන්න බැරි උනා. ෂපිරෝගෙ කාර්යාලයේ තිබුණ දිග සාකච්ඡාවකට පස්සෙ විඩාපත් වෙලා හිටිය මම, පස්වරුවෙ මැදදි, කල් පහුවෙච්ච දවල් කෑමකට රජයේ තානායමේදි ඔවුන්ව මුණ ගැහුණා.

“මෙහෙ මොනාද වෙන්නෙ ක්ලවුස්? ...” සානුකම්පිත විදිහට ජෝ ඇහුව. “... මොකක් හරි අවුලක් තියනව කියල මට දැනෙනව. ඒත් කවුරුත් මොනාවත් පිළිගන්නෙ නෑනෙ.”

මම කරියක් එක්ක ඔට්ටු වෙමිනුයි හිටියෙ. කෑමට ගන්න පරෙස්සම් කොටස් වලින්, කෑවම කන් වලින් දුං විසික් වෙන කොටස් ටික වෙන් කර ගන්න උත්සාහ කරන ගමන් මං උත්තර දුන්න.

“සේවාලාභියෙක් එක්ක තියන ගනුදෙනු මං ඔයත් එක්ක කතා කරයි කියල බලාපොරොත්තු වෙන්න ඔයාට බැහැ.”

“ජිබ්‍රෝල්ටා වේල්ලෙට ඕනි කරන සමීක්ෂණ කරද්දි ඔයා ඇති තරම් කතා කරා.” ජෝ මට මතක් කරල දුන්න.

“ඔව් ...” මං පිළිගත්ත. “... ඒ වගේම ඔයා ඒ ගැන ලියපු ලිපියට මං ස්තූතිවන්ත වෙනව. ඒත් මේ පාර ව්‍යාපාරික රහස් වගයක් තියනව. මේ - මේ - මං පද්ධතියෙ කාර්යක්ෂමතාව වැඩි කරන්න අන්තිම මොහොතෙ කරන සීරු මාරු කිරීම් වගයක් කරනව.”

ඒක බොරුවක් නෙවෙයි. මං ඇත්තටම උත්සාහ කරමින් හිටියෙ දැනට බිංදුවේ තියන පද්ධතියෙ කාර්යක්ෂමතාවය ඊට වඩා වැඩි කරන්න.

“හ්ම්... බොහොම ස්තූතියි.” ජෝ ඇනුම්පදයක් කිව්ව.

“ඒක නෙවෙයි, ඔයාගෙ අර පිස්සු සිද්ධාන්ත වලින් අලුත්ම එක මොකක්ද?” කතාව වෙන අතකට හරෝගන්න හිතාගෙන මම ඇහැව්ව.

අති දක්ෂ විද්‍යා ලේඛකයෙක් උනත් ජෝ ට අරුම පුදුම සහ ඇදහිය නොහැකි දේවල් ගැන හොයන්න අමුතු ආසාවක් තියනව. සමහර විට ඒක එදිනෙදා වැඩ වලින් පොඩි විවේකයක් ගන්න ඔහු කරන දෙයක් වෙන්න ඇති. මං දන්න විදිහට ඔහු විද්‍යා ප්‍රබන්ධත් ලියනව. හැබැයි ඒක ඔහු ඔහුගෙ සේවායෝජකයන්ගෙන් බොහොම පරිස්සමට හංගගෙන ඉන්න රහසක්. අවතාර ගැන, අතීන්ද්‍රිය සංජානනය ගැන වගේම පියාඹන පීරිසි ගැනත් අත්හැරගන්න බැරි කැමැත්තක් ඔහුට තියනව. ඒත් ඔහුගෙ නියමම විශේෂඥතාව තියෙන්නෙ අතුරුදහන් උන මහාද්වීප ගැන.

“මං අදහස් දෙක තුනක් ගැන හොයා බල බලයි ඉන්නෙ ...” ඔහු පිළිගත්තා. “... ඒ ඔක්කොම මතු උනේ මම මේ කතාව ගැන විස්තර හොයද්දි.”

“කියාගෙන යන්නකො.” මම කරමින් හිටිය කරිය අධ්‍යයනය කිරීමේ මෙහෙයුමෙන් ඔළුව උස්සන්න මහන්සි නොගෙනම කිව්ව.

“ටික දවසකට කලින් මට ගොඩක් පරණ ලංකා සිතියමක් හම්බඋනා. ඒක ටොලමි ඇඳපු එකක්. ඒක දැක්කම මට මගේ එකතුවෙ තිබ්බ තවත් සිතියමක් ගැන කල්පනා උනා. මම ඒ සිතියමත් අරගෙන බැලුව. සිතියම් දෙකේම තිබ්බෙ එකම මධ්‍යම කඳුකරේ, එකම විදිහෙ ගංගා. ඒත් මේ අනිත් සිතියම ඇට්ලන්ටිස් වල එකක්.”

“හපොයි! ...” මම කිව්ව. “... අන්තිම වතාවට අපි මුණගැහිච්ච වෙලාවෙ ඔයා සහතික කරලම කිව්ව නේද ඇට්ලන්ටිස් තිබ්බෙ බටහිර මධ්‍යධරණී ද්‍රෝණියෙ කියල.”

ජෝ ඔහුගෙ සිත්ගන්නාසුළු හිනාව දැම්ම.

“මට වරදින්න පුළුවං, නැද්ද? ඒ කොහොම උනත් මං ගාව ඊටත් වඩා සිත් ඇදගන්නාසුළු සාක්කියක් තියනව. ලංකාවට පැරණි කාලෙ ඉඳන්ම කියන නම ගැන ඔයාට මොකද හිතෙන්නෙ.”

මම ටික වෙලාවක් කල්පනා කරා. “දෙයියනේ!, 'ලං'-කා, ඇට්-'ලං'-ටිස්.” මම නම් දෙක එහාට මෙහාට පෙරළල ඒ දෙකේ තියෙන සමානතාවය දිහා බැළුව.

“හරියටම හරි, ...” ජෝ කිව්ව. “... ඒත්, කොච්චර සිත් ඇදගන්නාසුළු උනත් හෝඩුවාවල් දෙකකින් අංග සම්පූර්ණ සිද්ධාන්තයක් ගොඩනගන්න බෑ. ඉතින්, දැනට මං ගාව ඔයිට වැඩිය දෙයක් ඇත්තෙ නැහැ.”

“අපරාදෙ, ...” ඇත්තටම බලාපොරොත්තු කඩවිච්ච මං කිව්ව “... එතකොට ඔයගෙ අනෙත් ව්‍යාපෘතිය?”

“මේකටනං ඇත්තටම ඔයා කැමති වෙයි.” ජෝ ආඩම්බරකාර හඬකින් කිව්ව.

හැම තැනම අරගෙන යන ඔහුගෙ පරණ බ්‍රීෆ්කේසයට අතපොවපු ඔහු ඒකෙන් පත්තර මිටියක් එළියට ඇදල ගත්ත.

“මෙහාට හැතැක්ම එකසිය අසූවක් විතර එහායින් මේක සිද්ද වෙලා තියෙන්නෙ දැනට අවුරුදු සීයකට විතර උඩදි. පේනවනෙ, මට තොරතුරු ලැබුණ මූලාශ්‍රය දැනට තියන ඒවගෙන් හොඳම එකක්.”

ඔහු මගේ අතට ඡායා පිටපතක් දුන්නා. ඒක 1874 ජූලි හතරවෙනිද ලන්ඩන් ටයිම්ස් පත්තරේ පිටුවක්. ජෝ හැමතිස්සෙම වගේ පුරාණ පත්තර වල කෑලි දික් කරන නිසා මං ඒක කියවන්න ගත්තෙ එච්චර උනන්දුවකින් නෙවෙයි. කොහොම උනත් මගේ උදාසීන ගතිය එච්චර වෙලාවක් තිබ්බෙ නෑ.

මම සම්පූර්ණ විස්තරේම කියන්න උනත් කැමතියි. ඒත් ඔබට වැඩිදුර විස්තර උවමනානම් තත්පර දහයක් ඇතුලත ප්‍රාදේශීය පුස්තකාලයකින් අවශ්‍ය කරන පිටපත් ලබා දෙයි. කෙටියෙන් කියනවනම්, ඒකෙ විස්තර කරල තිබ්බෙ 1874 මැයි මාසෙ මුල ලංකාවෙන් පිටත් උන ‘පර්ල්’ කියන ටොන් එකසිය පනහෙ කුඹ දෙකේ රුවල් නැව බෙංගාල බොක්කෙදි අනතුරට පත් උනේ කොහොමද කියලයි.

මැයි දහ වෙනිද අඳුර වැටෙන්න ටික වෙලාවකට කලින් නැවට හැතැක්ම බාගයක් විතර දුරින් අති විශාල දැල්ලෙක් මුහුදෙන් මතු වෙලා තියනව. නැවේ කපිතාන් තැන මෝඩය වගේ තමන්ගෙ රයිෆලයෙන් ඌට වෙඩි තියල.

කෙලින්ම ‘පර්ල්’ දිහාවට පීනගෙන ආපු දැල්ලා උගේ අඬු කුඹගස් වල පටලෝල නැව පැත්තට පෙරළල තියනව. තත්පර ගානක් ඇතුලත නැව ගිලිල ගිහින් තියෙන්නෙ නාවිකයො දෙදෙනෙකුටත් මරුකැඳවමිනුයි. වාසනාවකට වගේ මේ සිද්ධිය දැක්ක, ඒ කිට්ටුවෙන් ගිය ‘ස්ට්‍රැත්හෝවන්’ කියන පෙනින්සියුලර් සහ ඔර්යන්ටල් දුම් නැව් සමාගමට අයත් දුම් නැවෙන් අනිත් අයව බේරගෙන තියනව.

“ඉතිං, මොකද හිතෙන්නෙ?”

මම ඒක දෙවෙනි පාරටත් කියෙව්වට පස්සෙ ජෝ ඇහැව්ව.

“මුහුදු රාක්ෂයො ගැන මං විශ්වාස කරන්නෙ නෑ.”

“ලන්ඩන් ටයිම්ස් කියන්නෙ ප්‍රවෘත්ති මවල පළකරන පත්තරයක් නෙවෙයි. ...” ජෝ උත්තර දුන්න. “... ඒ වගේම යෝධ දැල්ලො ඉන්නව. අපි දැනට දන්න ලොකුම දැල්ලොන්ට අඩි හතලිහක් විතර දිග අඬු තිබ්බ උනත් උන් ටොන් එකක්වත් බර නැති සියුමැලි වගේම දුර්වල සත්තු.”

“ඉතින්, ඒ වගේ සතෙක්ට ටොන් එකසිය පනහෙ නැවක් පෙරළන්න බෑනෙ?”

“ඇත්ත, ඒත් අපි දැං ඔය යෝධ දැල්ල කියල කියන්නෙ නිකංම නිකං ලොකු දැල්ලෙක්ට කියල කියන්න සාක්ෂි තියනව. ඇත්තෙන්ම අති විශාල දශ පාදිකයො සමහර විට මුහුදෙ ඉන්න පුළුවං. දැං බලන්න, මේ ‘පර්ල්’ සිද්ධියෙන් අවුරුද්දකට විතර පස්සෙ, යෝධ තල්මහෙක් ඌව වෙලාගෙන හිටිය සහ අන්තිමේදි ඌව මුහුදු පතුලට ඇදගෙන ගිය අති විශාල දරණෙකින් බේරෙන්න දඟලනව බ්‍රසීලයට කිට්ටු මුහුදෙදි දකින්න ලැබිල තියනව. 1875 නොවැම්බර් විසි වෙනිද චිත්‍ර සහිත ලන්ඩන් නිව්ස් පත්තරේ ඒ සිද්ධිය වාර්තා කරල තියනව. ඊලඟට ‘මොබි-ඩික්’ පොතේ අර පරිච්ඡේදය තියනව...”

“මොන පරිච්ඡේදයද?”

“ඇයි අර ‘දැල්ලා’ කියන පරිච්ඡේදය. මෙල්විල් කියන්නෙ හොඳ නිරීක්ෂකයෙක් කියල අපි දන්නව. ඒත් මෙතනදි ඔහු අපිට විකාරයක් වගේ හැඟෙන දෙයක් කියනව. ඔහු, - (‘මේ දැන් කන්දකින් කඩාහැලුණු ලොකු හිම කුට්ටියක් මෙන්’) - සුදු පාට අති විශාල යමක් මුහුදෙන් මතුවුන සන්සුන් දවසක් ගැන විස්තර කරනව. මේක සිද්ධ උනෙත් ඉන්දියන් සාගරේමයි. සමහරවිට ‘පර්ල්’ සිද්ධිය උන තැනට හැතැක්ම දාහක් විතර දකුණින් වෙන්න ඕනි. හොඳට මතක තියා ගන්න, කාලගුණ තත්වය එහෙමත් කලින් සිද්ධිය උන වෙලාවෙදි වගේමයි.

“මට මේ ජේදෙ කට පාඩං. මං ඒක එච්චරටම හොඳ සැලකිල්ලෙන් කියවල තියනව.”

“අති විශාල, ලොඳ වැනි යමක් ජලයේ පාවෙන අයුරු ‘පීකොඩ්’ හි නැවියන් දුටුහ. දිගින් සහ පළලින් පර්ලෝම ගණනාවක් වූ එය දිලිසෙන ක්‍රීම් පැහැයකින් යුතු විය. ඇනකොන්ඩාවන් සමූහයක් සිහි ගන්වන ආකාරයේ ඇඹරෙන සහ දඟර ගැසෙන අඬු ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් එහි මධ්‍යයේ සිට පිටතට විහිදී තිබුණි.”

“පොඩ්ඩක් ඉන්න, ...” මේ හැමදේම හොඳ අවධානයෙන් අහගෙන හිටිය සර්ගෙයි කිව්ව. “... පර්ලෝමයක් කියන්නෙ මොකටද?”

ඒ ප්‍රශ්ණෙ නිසා ටිකක් විතර අපහසුවට පත්උන ගතියක් ජෝ ගෙන් පේන්න තිබ්බ.

“හරියටම කිව්වොතින්, ඒක හැතැක්මකින් අටෙන් පංගුවක්, අඩි හයසිය හැටක් ...”

අපේ අවිශ්වාසය පළ කරන හිනාව නවත්ත ගන්න කියල ඔහු එක අතක් උස්සල සන් කරා.

“... මෙල්විල් ඒක ඒ විදිහටම අදහස් කරන්න නැතුව ඇති කියල මට විශ්වාසයි. ඒත් මෙන්න, යෝධ තල්මස්සු හැමදාම දකින මනුස්සයෙක් ඊට වඩා ගොඩක් ලොකු දෙයක් ගැන පැහැදිලි කරන්න වෙනත් දිග මනින ඒකකයක් හොයනව. ඉතින් ඔහු ඉබේම බඹ වලින් පර්ලෝම වලට මාරු වෙනව. කොහොම උනත්, ඒක තමයි මගේ සිද්ධාන්තය.”

ඉතුරු වෙලා තිබ්බ කරියෙ අතගහන්න බැරි හරිය මම පැත්තකට කරා.

“මගේ රස්සාව එපා වෙන තරමට මාව බය කරා කියල ඔයා හිතනවනං, ඔයාට හොඳටම වැරදිල ...” මම කිව්ව. “... ඒත් මං ඔයාට මේක පොරොන්දු වෙන්නං. මට යෝධ දැල්ලෙක් මුණගැහුනම, සිහිවටනයක් හැටියට මං උගේ ග්‍රාහිකාවක් කපාගෙන එනව.”



මතු සම්බන්ධයි

_______

ආතර් සී ක්ලාක් මහතා විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______

___
පින්තූරය
http://29.media.tumblr.com/tumblr_l14s0awuM81qzf4g3o1_500.jpg

4 comments:

  1. බොහොම අගෙයි. මමනම් ආසාවෙන් කියවනව. දිගටම ලියන්න.

    ReplyDelete
  2. අගේ අැති ව ලියලා තියෙනවා.... ඉතා රසවත්

    ReplyDelete
    Replies
    1. කතාව රසවත් වීමේ ගෞරවය යන්නෙ ආතර් සී ක්ලාක්ට. මම කරේ ඒක පරිවර්තනේ කරපු එක විතරමයි. :)

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...