Pages

Tuesday 12 August 2014

නැවත හමුවීම


පෘථිවි වැසියනි, බිය වෙන්න එපා. අපි පැමිණෙන්නේ සාමකාමීවයි. එසේ නොවන්න හේතුවක් නැහැ. අපි ඔබගේ ඥාතීන්. අපි මීට පෙර මෙහි පැමිණ තිබෙනවා.

තවත් පැය කිහිපයකින් අපි මුණගැසුණු විට ඔබලා අපිව හඳුනා ගනීවි. මේ ගුවන්විදුලි පණිවිඩය තරම්ම ඉක්මනින් අපි සෞරග්‍රහ මණ්ඩලය වෙත ලඟා වෙමින් සිටිනවා. දැනටමත් අප ඉදිරියෙන් දිස්වන ආකාශයේ ඔබගේ සූර්යයා ඉස්මතු වී පෙනෙනවා. අවුරුදු මිලියන දහයකට පෙර අපේත් ඔබේත් මුතුන්මිත්තෝ මේ සූර්යයා බෙදා හදාගෙන ජීවත් උනා. ඔබලා වගේම අපිත් මනුෂ්‍යයො. නමුත් අපි අපේ අතීතය මතක තියාගෙන ඉඳිද්දි ඔබලාට ඔබලාගේ අතීතය අමතක වෙලා.

දැවැන්ත උරගයන් ලෝකයේ ආධිපත්‍යය පැතිරූ යුගයේදී පෘථිවිය ජනාවාස කලේ අපියි. අපි මෙහි එන විටත් මියයමින් සිටි ඔවුන්ව බේරා ගැනීමට අපිට බැරි උනා. ඔබලාගේ ලෝකය ඒ වෙත්දි නිවර්තන ග්‍රහ ලොවක්. එය අපේ වැසියන්ට ඉතා හොඳ වාසස්ථානයක් වේවි කියා අපි හිතුවා. නමුත් අපි වැරදියි. අභ්‍යවකාශ තරණයේ ප්‍රවීණයන් උනත් දේශගුණය ගැන, පරිණාමය ගැන, ප්‍රෙව්ණි විද්‍යාව ගැන අපි දැනගෙන සිටියේ බොහොම ටිකයි.

ගිම්හාන ඍතු මිලියන ගණනාවක් පුරාවට (ඒ පුරාණ කාලයේ ශීත ඍතු තිබුණේ නැහැ) ජනපදය සශ්‍රීකව පැවතුනා. එක තාරකාවක ඉඳන් අනෙකට ගමන් කරන්න වසර ගණනාවක් වැයවන විශ්වයක හුදකලාව සිටින්නට සිදු උනා උනත් එය එහි මව් ශිෂ්ටාචාරය සමග සබඳතා පවත්වා ගත්තා. සියවසකට තුන් හතර වතාවක් මන්දානකිණියේ තොරතුරු රැගෙන තාරකා යානා පැමිණියා.

ඒත් මීට අවුරුදු මිලියන දෙකකට කලින් පෘථිවිය වෙනස් වෙන්න පටන් ගත්තා. යුග ගණනාවක් පුරාවට නිවර්තන පාරාදීසයක් උන එහි පරිසර උෂ්ණත්වය පහල වැටුණා. ඒ සමගම ධ්‍රැව ප්‍රදේශ වල ඉඳන් අයිස් පහලට ගලාගෙන එන්න පටන් ගත්තා. දේශගුණයත් සමඟම ජනපදවාසීනුත් වෙනස් වෙන්න පටන් ගත්තා. එය දිගු උෂ්ණ ඍතුවේ අවසානයට මුහුණදීම සඳහා සිදුවුන ස්වභාවික අනුවර්තනයක් බව අපි දැන් දන්නවා. ඒත් පරම්පරා ගණනාවක් පොළොව ඒ අයගේ නිවහන කරගෙන සිටිය බොහෝ දෙනෙක් විශ්වාස කලේ ඒ අය අමුතුම ආකාරයක පිළිකුල් සහගත රෝගයකට ගොදුරු වෙලා කියලයි. මාරාන්තික නැති, කිසිම කායික පීඩාවක් ඇති නොකල, ඒ නමුත් රෝගියාව විරූපී කරන රෝගයක්.

ඒත් සමහර අය රෝගයට ප්‍රතිරෝධීතාවයක් දැක්වූවා. ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ඒ වෙනස් වීමෙන් ආරක්ෂා උනා. ඉතින්, සහස්‍රක කීපයක් ඇතුලත එකිනෙකාව අවිශ්වාස කරන සහ එකිනෙකාට ඊර්ෂ්‍යා කරගන්න කොටස් දෙකකට කොලනිය බෙදුනා. හරියට එකිනෙකට වෙනස් සත්ත්ව විශේෂ දෙකක් වගේ.

මේ බෙදීම නිසා ඊර්ෂ්‍යාවයි අසමගියයි ඇතිඋනා විතරක් නෙවෙයි අවසානයේදී ගැටුම් හටගන්නත් පටන් ගත්තා. දේශගුණය එන්න එන්නම නරක අතට හැරෙද්දි කොලනියත් කෑලි කෑලි වලට කැඩිල යන්න පටන් ගත්තා. පුළුවන් කමක් තිබුණු අය පෘථිවියෙන් ඉවත් උනා. ඉතිරි අය ම්ලේච්ඡත්වයට කිඳා බැස්සා.

අපිට සබඳතා පවත්වා ගත හැකිව තිබුණා. නමුත් තාරකා ට්‍රිලියන සියයක් තියෙන විශ්වයක කරන්න වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබලාගෙන් කිසිවෙක් ඉතිරි වෙලා ඇති කියල දැනට වසර කිහිපයක් වෙනකංම අපි හිතාගෙන හිටියෙ නැහැ. ඒත් අහම්බෙන් වගේ අපිට ඔබලාගේ පළවෙනි ගුවන්විදුලි සංඥා ලැබුණා. ඔබලාගේ සරළ භාෂාවන් ඉගෙනගෙන ඔබලා ම්ලේච්ඡත්වයේ සිට ශිෂ්ටාචාරය කරා නැවත ටිකින් ටික ඉහලට ඇවිත් ඇති බව සොයා ගත්තා. දිගු කලකට පෙර අපගෙන් වෙන්වූ අපගේ ඥාතිවරුනි. අපි පැමිණියේ ඔබලාව පිළිගන්න. ඒ වගේම ඔබලාට උදව් කරන්න.

පෘථිවිය අත්හැර දැමුවාට පසු ගතවුණු යුග ගණනාව තුල අපි බොහෝ දේ සොයාගෙන තිබෙනවා. ඔබලාට අවශ්‍යනම් අයිස් යුගයට පෙර තිබුණු සදාකාලික ග්‍රීෂ්ම ඍතුව නැවත ගෙන එන්න අපිට පුළුවන්. ඒ වගේම ජනපද වාසීන් බොහෝ දෙනෙකු ගොදුරු උන පීඩාකාරී නැතත් අප්‍රසන්න ජානමය වසංගතයට සරළ පිළියමක් දැන් අපි ලඟ තිබෙනවා.

සමහරවිට එම වසංගත තත්වය දැන් අවසන් වෙලා ඇති. නමුත් එසේ වී නැත්නම් ඔබලාට දෙන්නට සුභ ආරංචියක් අපට තියෙනවා. පෘථිවි වැසියනි, ඔබලාට ලැජ්ජාවට පත් නොවී නැවතත් විශ්වීය සමාජයට එක්වෙන්න පුළුවනි.

ඔබලාගෙන් කවුරුන් හෝ තවමත් සුදුයි නම් අපිට එය සුව කල හැකියි.


_______________________________________________________________

ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත "Reunion" කෙටිකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______________________________________________________________


_____

8 comments:

  1. PISSU NATHNAM HONDAI KIYALA HITHENAWA

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාවකට එහෙම හිතෙනව ඇනෝ. ඒත් ලෝකෙ පිස්සන්ගෙන් පිරිල. So get use to it ;)

      Delete
  2. Replies
    1. දේශකටත් ස්තූතියි... :)

      Delete
  3. ඒක නං අපූරු කෙටි කතාවක් තමා...
    මං හරි කැමතී ක්ලාක් මහත්මයාගෙ පොත් කියවන්න..

    කවුරුන් හෝ තවමත් සුදුයි නම් අපිට එය සුව කල හැකියි.
    මේ කියන්නෙ මොකක් ගැනද කියල අදහසක් තියේද

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ මහේෂ්, හම සුදු කවුරුහරි ඉන්නවනම් ඒ අයගෙ හම කළු කරල දෙන්න පුළුවන් කියල.

      Delete
  4. ඔන්න එහෙනම් මං වගේ උන්ටත් හොඳ කාලයක් උදාවුනා එහෙනං ඈ. ආයේ පාට ගැන වද වෙන්න ඕනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ බෝට්ටුවෙම තමයි :D

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...