Pages

Saturday 8 October 2011

විසඳුම විසෙන්




අපේ කන්තෝරුවේ මී සංහාරය ආයෙත් පටන් අරගෙන. සංහාරයට කොන්තරාත් ගත්තු කොම්පැනියෙ නියෝජිතයො මී පාසානං පුරෝපු ලොකු ෂොපින් බෑග් එකක් එක අතකිනුත්, කාඩ්බෝඩ් කැබලි මිටියක් අනෙක් අතිනුත් අරගෙන කන්තෝරුවෙ අස්සක් මුල්ලක් නෑර ඇවිදිනව. තැනක නැවතිල අර කාඩ්බෝඩ් මිටියෙන් එක කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන නවල පොඩි භාජනයක් හදා ගන්නව. එකට අළු පාට මී පාසානං කැට අහුරක් පුරවල මුල්ලකින් තියල යනව. දවස් දෙක තුනක් යද්දි මී පාසානං ටික සීග්‍රයෙන් අතුරුදහන් වෙන්න පටන් ගන්නව. ඊට පස්සෙ මී කරදරෙත් ටික ටික අඩු වෙනව. ඉඳල හිටල පූස් පැටව් සයිස් මීයන්ගෙ මළ කුණු අහු මුළු වලින්, කබඩ් ඇතුලෙන්, සින්ක් පල්ලෙන් මතු වෙනව. සනීපාරක්ෂක අංශයේ කට්ටිය ඇවිත් ඒ තැන් සුද්ධ පවිත්‍ර කරල දානව. ප්‍රශ්ණෙ එතනින් ඉවරයි. අපේ පැත්තෙන් බැළුවම!

බෞද්ධයෙක් විධියට සත්ත්ව ඝාතනය අකුසල කර්මයක් කියල මම හොඳාකාරවම දන්නව. මොනම හේතුවක් මතදීවත් ඒදේ සාධාරණීයකරනය වෙන්නෙ නෑ. ඒත් අපි අවස්ථාවේ අවශ්‍යතාවය මත විසඳුමක් විධියට සත්ත්ව ඝාතනය තෝර ගන්නවා. අපි ප්‍රශ්ණෙ විසඳන්න තියෙන හරි විධියක් අතහැරල ලේසි විධියක් තෝර ගන්නව. ඒකනෙ අපි ගොඩක් වෙලාවට කරන්නෙ. ඊටපස්සෙ ඒ දේ එදිනෙදා සාමාන්‍ය දෙයක් බවට පත්වෙනව.

සාමාන්‍ය දෙයක් බවට පත්කරගත්ත මේ ජාතියේ වැරැද්දකට කාලෙකට ඉස්සෙල්ල මමත් හවුල් වෙලා හිටිය. ඒ මම උසස් පෙළ කරල ගෙදර ඉන්ඩැද්දි එළවළු වගා කරපු කාලෙ.

වගාවට පළිබෝධ, කෘමි උවදුරු වැළඳුනාම කරන්න තියෙන, හැමෝම කරන අන්තිම සාමාන්‍ය දේ තමයි පළිබෝධ නාශක හරි කෘමි නාශක හරි ඉසින එක. සරළව කියනවනං බෙහෙත් ගහන එක. ඒ දවස් වල බෙහෙත් ටැංකිය පිටේ බැඳගෙන එළවළු පාත්තියක් පාත්තියක් ගානෙ බෙහෙත් ගැහැව්වෙ “මං මේ කරන දේ හරිද?” කියන දෙගිඩියාවෙන්. මගේ වගාව බේර ගන්න මට කොච්චරනං සත්තු මරන්න සිද්ධ වෙලා තිබ්බද. හිත හදාගන්න මොන විධියෙ හේතු සාධක මං විසින් මටම ඉදිරිපත් කර ගත්තත් මං තෝරගෙන තිබ්බෙ වැරදි ක්‍රමේ.

කොහොම නමුත් පරිසර හිතකාමීව ගොවිතැන් කරන්න ක්‍රම තියෙනව. අපි පැවතෙන්නෙ ඒ වගේ හරියට ගොවිතැන්බත් කරපු මුතුන්මිත්තන්ගෙන්. දැන් අපි පරම්පරාවෙන් පැවතගෙන ආපු ඒ ක්‍රම ටික අත්හැරල දාල කොහෙන්වත් ආනයනය කරපු ගොබ්බ ක්‍රමේකට හුරු වෙලා. සමහර විට බෙහෙත් පාරක් ගහල ප්‍රශ්ණෙ ඉවර කරල දානව තරං පාරම්පරික ක්‍රමේ ලේසි නැති නිසා වෙන්න ඇති. හැමදේටම අපිට පුදුම තදියමක්නෙ තියෙන්නෙ.

වස විෂ භාවිතයෙන් ප්‍රශ්ණ විසඳීම දැකපු තවත් තැනක් ගැන පාසැල් කාලයේ මතක සටහන් අතර එක මතකයක් තියෙනවා. මට මතක හැටියට ඒ පිස්සු බලු රෝගය පැතිරීමේ අවදානමක් තිබිච්ච කාලයක්. ඒ නිසාම පාසැල තුල දඩාවතේ යමින් සිටි බලු රැලටත් අවාසනාවන්ත දසාවක් ලැබුව. දවසක් නගරසභාවෙ ට්‍රැක්ටරයක නගරසභා සේවකයො පිරිසක් පාසලට ආව. ඒ අයගෙ රැකියාව දඩාවතේ යන සුනඛයන් මර්දනය කිරීම. විස පොවපු තුඩක් තියෙන දිග රිටකින් ඇනල බල්ලො මිය ගියාට පස්සෙ ඒ සත්තුන්ගෙ දරදඬු වෙච්ච සරීර කුඩු ටික පටවගත්ත ට්‍රැක්ටරේ පිටවෙලා ගියා.

මැරෙන්න පණ අදිද්දි වේදනාවෙන් විරූපී වෙච්ච මූණු. අන්තිම මොහොත වනතුරු ජීවිතය අයැදපු මරණ බිය සටහන් වෙච්ච ඇස්. තමන්ටම විතරක් වටින, අනික් උන්ට බලු නොවටින තමන්ගෙ පණ කෙන්ද රැක ගන්න ඒ සත්තු ශරීර ගත වෙච්චි විසත් එක්ක කරපු දිනිය නොහැකි සටන. මේ දේවල් දිහා බිරන්තට්ටු වෙලා බලාගෙන සිටිය හැටි මට අදටත් මතකයි.

ප්‍රශ්ණ විසඳන්න අත්දුටුවයි කියන මේ ආකාරයේ ලේසි ක්‍රම වලට මගේ නම් කිසිම කැමැත්තක් නැහැ. ඒත් වෙන දේ බලා ඉන්නවා හරුණුකොට කරන්න දේකුත් නැහැ. කොහොමින් කොහොමින් හරි මේ දේවල් නිසා අපිටත් නොදැනීම ටිකින් ටික මැරෙන්නෙ අපේම මනුස්සකම. අද සතෙකුට වස දෙන්න මානසිකත්වය හදාගන්න පුළුවන් කෙනා හෙට මනුස්සයෙකුට වස දෙන්නත් මානසිකත්වය හදාගත්තොත්.....?

_____
පින්තූරය
http://www.nongnu.org/ratpoison/ratpoison.png

2 comments:

  1. අද මේ බ්ලොග් එකේ පරණ පෝස්ට් ගොඩක් කියෙව්වා. ඒ අතරින් මේ පෝස්ට් එකට නම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා.

    ඇත්ත අද මිනිස්සු හැමදේකටම කෙටි ක්‍රම හොයාගන්නව. අනිත් දේවල් වලදි කොහොම උනත් 'ජීවිත' සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත්වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. දඩාවතේ යන බල්ලො, මීයො, කැරපොත්තු වගේ සත්තුන්ගෙන් බේරෙන්න මනසින් උසස්ම සතා හොයාගෙන තියෙන වීදිහ තමයි උන්ව මරල දාන එක.

    //තමන්ටම විතරක් වටින, අනික් උන්ට බලු නොවටින තමන්ගෙ පණ කෙන්ද රැක ගන්න.....//
    ඇත්ත කාට වටින්නෙ නැති උනත් ඒ සත්තුන්ට තමන්ගෙ ජීවිතේ වටිනව. ටීවී එකේ කැරපොත්තො තත්පර ගාණෙන් මරන්න පුලුවන් විස ජාති පෙන්නද්දි මට නම් එන්නෙ පුදුම තරහක් වගේම දුකක්.ඊට නරකද ගෙදර පිරිසිදුව තියාගත්ත නම්. එතකොට උන් බෝවෙන්නෙත් නෑනෙ. හැබැයි ඒක කරදරයි...ඊට ලේසියිනෙ මොකක් හරි විසක් ස්ප්‍රේ කරන එක.

    මේ ලෝකෙට ඉපදෙන ඕනම සතෙකුට ජීවත් වෙන්න අයිතියක් තියෙනව. අපේ ලේසියට, කම්මැලිකමට තවත් සතෙක්ගෙ ජීවත්වීමේ අයිතිය උඳුරාගන්න මිනිස්සුන්ට කිසිම අයිතියක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය අදහසට මං සම්පූර්ණයෙන්ම එකඟයි...

      හොඳට කල්පනා කරල බැලුවොත් ‘ක්ෂණික‘ යි කියන විසඳුම් එකකින්වත් අපිට හොඳක් වෙලා නෑ. ක්ෂණික කෑම වල ඉඳන් ක්ෂණික කෘමි නාශකේ දක්වාම තත්වෙ ඒකයි. හෙමීට කල්පනා කරල, හරියට අග මුල ගලපල ප්‍රශ්ණ විසඳගැනීමේ හැකියාව අපෙන් ටික ටික ඈත්වෙලා යනව කියල හිතිල නැද්ද? මටනං හිතෙන්නෙ එහෙම වෙලා තියෙන්නෙ අපි තදියම් විසඳුම් වලට ඇබ්බැහි වෙලා නිසා කියලයි.

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...