Pages

Thursday 29 October 2015

භින්න



මිනිස්සු අතර තියන සම්බන්ධතා සංකීර්ණයි. පහසුවෙන් බි‍ඳෙන සුළුයි. ඊට හේතුව මිනිස්සු පිටින් පේනවට වඩා ඇතුලතින් සංකීර්ණ සහ සංවේදී වීම වෙන්න ඇති. ඕනිම කෙනෙක්ට - අන්තිම දුප්පතාට පවා - තමන් ගැන ආත්ම අභිමානයක් තියනව. ඒක රැක ගන්න ඕනි කළු ගලක ඔළුව ගහන්න දෙපාරක් හිතන්නෙ නැති අයත් ගොඩක් ඉන්නව.

මෙතනදි තියන ලොකුම ප්‍රශ්ණෙ තමයි අපිට අපේ කටවල් පරිස්සං කර ගන්න බැරි කම. අපි කියන දේවල් ගැන මීට වඩා වගකීමක් ගන්න පුළුවන්නම් මේ ප්‍රශ්ණ වලින් වැඩි හරියක් ඇති වෙන්න කලින්ම ඇති නොවෙන තැනට වගබලා ගන්න තිබ්බ. ඒත් අපේ මහන්තත්තෙ වැඩියි. අපි හිතාගෙන ඉන්නෙ ඉර, හඳ, තාරකා ඔක්කොම අපි වටේ කැරකෙනව කියල. අපිට ඕනි කරන දේවල් දෙන්න ලෝකෙ සැදී පැහැදී ඉන්නවයි කියල. ඒකෙන් අන්තිමට ඉතුරු වෙන්නෙ රිදිච්ච හිත්, බිඳුණු සබඳතා සහ කලකිරීම විතරයි.

අනිත් දේ තමයි අපි වෙන අය ගැන කරන තක්සේරුව. ඒක කරන්නෙ හරියට කන්න ඕනි උනාම කබරගොයි මසුත් තලගොයි මස් කරගන්නව වගේ. අපි නොකල යුතු තැනදි අපිව මැනගන්න මිම්මෙන් අනුන්ව මනින්න යනව. කල යුතු තැනදි ඒ මිම්ම ඒ විදිහට පාවිච්චි කරන එක අතෑරල දානව. ඉතින් ප්‍රශ්ණ ඇතිවෙනව මිස විසඳෙන්නෙ කොහොමද?

එක් කෙනෙක් එච්චරටම ගණන් ගන්නෙ නැති දෙයක් තව කෙනෙක් මහ ලොකුවට ගණන් ගන්නව. කෙනෙක් පුංචි ගින්දරක් අවුළුවනව වෙන්න පුළුවන්. සමහරවිට අත්වැරදීමකින්, තමනුත් නොදැනුවත්වම. ඒ ගින්දරට පිදුරු දාල අවුළුවන්න බලාගෙන ඉන්න කොටසකුත් ඉන්නව. අන්තිමේදි වෙන්නෙ පොඩි ගින්න ලැව් ගින්නක් බවට පත්වීම.

පාරෙදි බැන ගන්න මිනිස්සු දෙන්නෙක් වටේ ‘ප්‍රේක්ෂකයො’ වටඋනොත් ඒ බැන ගැනිල්ල ගුටි ඇන ගැනිල්ලක් දක්වා දුර දිග යෑමේ සම්භාවිතාවය වැඩියි. ප්‍රේක්ෂකයන්ගෙ අතපෙවීම පොඩි දේත් ඔඩු දුවවන්න හේතු වෙනව.

හොඳ පැතිරෙනවට වඩා වේගෙන් සමාජෙ නරක පැතිරෙනව. එහෙම නරක පැතිරෙද්දි ඒ නරක ගුණනය වෙන ගතියක් තියනව. කපුටු පිහාටුව කපුටො හතක් වෙනව; පොඩි හිම කැටේ හිමගිරි නිපාතයක් වෙනව. පංගු කාරයො හැමෝම අඩු වැඩි වශයෙන් විඳවනව.

බිඳවැටිච්ච සබඳතාවයක් දෙපැත්තෙ ඉන්න දෙන්න එකිනෙකා ගැන දරන ආකල්පය සමාජෙට සන්නිවේදනය කරන්නෙ එක්තරා විකෘතියකුත් එක්කයි. ඒකෙන් අනිත් අයගෙ හිත් වල මැවෙන පුද්ගල ප්‍රතිරූපෙ ගැන චිත්‍රයත් විකෘති උන එකක්. ඒ චිත්‍රය පාදක කරගෙන ගන්න තීරණත් විපරීතයි කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. කොහොම උනත් පුද්ගලිකව මං දරන ආකල්පය නම් යක්කු කියන තරං කළු නෑ කියන එක හා සුර දූතයො කියන තරං සුදු නෑ කියන එකයි.


ප. ලි.
හරිනෙ... අද මට පෙත්ත බොන්න අමතක වෙලා...

12 comments:

  1. සුර දූතයො ගැන නං කියන්න දන්නැතිවත්.. යක්කු නං කියල තරං කලු නෑ කියල කියන්න දන්නව.. මිනිස්සු විවිධාකාරයි උන්නෙ සිතුවිලිත් එහෙමයි.. කෙනෙක්ට හිතට දෙයක් දැනෙන්න ලොකු දෙයක් වෙන්න ඕන. ඒත් තව කෙනෙක්ට බෝම පුංචි දෙයක් ඇති. කෙනෙක් තව කෙනෙක්ට කීවොත් අප්පෝ උඹ මහ පෙරේතයෙක් කියල සමහර විට ඒක විහිළුවට ඇරං අතාරින්න පුලුවං. ඒත් ඕකම වෙන කෙනෙක්ට වෙන විදියකට දැනෙන්නත් පුලුවන්..
    හැම දේම සාපේක්ෂයි නේද..
    අර සුදු දලු කතාවත් එක්ක මට සිංදු කෑල්ලක් මතක් වුණා.. ඒ තරං ගැලපීමක් නැතත් මං මෙතන ලියන්නං...

    සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
    නුඹ යකින්නක් වුණේ කෝමද කියා දීපං නංගියේ...

    මෝහිනී මගෙ නංගියේ.. - සමන් ලෙනින්

    ReplyDelete
    Replies
    1. හැම දේම සාපේක්ෂයි කියල මිනිස්සුන්ට හරියට අමතක වෙනව.

      Delete
  2. මිනිසසු සුදුත් නෑ කළුත් නෑ අළු පාටයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන්. ඒ වගේම ඒ අළු පාටෙත් ෂේඩ් ගොඩක් තියනව.

      Delete
  3. මිනිස්සු තේරුම් ගන්න කලින් තමන් තේරුම් ගන්න ඕන අනෙක් මිනිස්සුන්ටත් වඩා තමාගේ හිත ඇතුලෙ විප්ලව කරන මනුස්සය හරි සංකීර්ණයි.පරිකල්පන කිව්ව දේවල් ඔක්කොටම වගේ එකඟයි .......පෙත්ත බිව්වේ නැහැ කිව්වෙ මොකෝ රණ්ඩුවකට වත් ගියාද :P

    ReplyDelete
    Replies
    1. ඔන්න හොඳ පොයින්ට් එකක් හංසි. තමන්ව හරියට තේරුම් ගන්නකං අනිත් අයව තේරුං ගන්න අමාරුයි.

      මේක එක විදිහකට බැලුවම රන්ඩුවක අතුරු ප්‍රතිඵලයක් තමයි :)

      Delete
  4. හිතන්න ගොඩක් දේ තිබ්බා....... හැබැයි මට කියන්න දෙයක් හිතාගන්න බෑ.......... සුපිරියි..............

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ ආර්යන්. වැඩිය වැදගත් වෙන්නෙ කල්පනා කරන එක තමයි.

      Delete
  5. ඔක්කොටම කලින් තමන්ගේ ලෝකය මොකක්ද කියලා අඳුන ගන්න ඕනා, තමන්ගේ ලෝකය තමන්ගේ නෙත් දෙක වසනා තුරා දර්ශනය වන බවත් හුඟක්ම ඇත්තී තමන්ගේ ලෝකයක් නොව තමන්ගේ කරගත් ලෝකයක් බවත් බලාපොරොත්තු නම් බැඳීම් වලින් එයට බන්දී වින්දවනා මිනිසුන් පිරිසක් බවත් හොඳින් දෙනෙත් හැර බැලුවහොත් පසක් වෙවී. මුලින් තමන් කවුරුදැයි හදුනාගැනීම තමා වටින්නේ, හීන මානයවත් උද්දච්ච කමවත් තියෙන තුරාවට තමන්ට තමාව නම් කවර කලෙක වත් අඳුනගන්න ලැබෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අපි එක එක්කෙනා ජීවත් වෙන්නෙ අපිම හදාගත්ත ලෝක වල. එහෙම බැලුවම ඇත්තටම අපේ ලෝකෙ තියෙන්නෙ අපේ ඔළු ඇතුලෙ විතරයි.

      Delete
  6. පෙත්ත බීහං.

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...