Pages

Monday 1 September 2014

අඳුර මැදින් : මුල හරිය


නිල් පාට මාකර් එක ලියවෙන්නෙ නැති පාර රවී සර් කොළ පාට මාකර් එකට මාරු වෙනව. ඒක නිසා පොඩි වයිට් බෝඩ් තුනක් එකට පුරුද්දල හදල තියෙන තඩි වයිට් බෝඩ් එකේ මැදක් වෙනකං ආපු නිල් පාට ගණිත කර්ම පෙරහැර එතනින් එහාට යන්න පටන් ගන්නෙ කොළ පාට වෙලා. මේ යන වේගෙන් ගිහින් විනාඩි දහයක් ඇතුලත ඒ පෙරහැරට ගමනාන්තෙට කිට්ටු කරන්න බැරි වෙයි කියල මගේ හිත කියනව. මම මගේ පොත දිහා බලනව. අන්තිමට පොතේ ලියපු අනුකලන ලකුණ මිසර බිතුසිතුවමක ඉන්න මිනිස් රූපයක් වගේ එක අතක අනන්තෙකුයි අනිත් අතේ බිංදුවකුයි තියාගෙන මට කොකා පෙන්නනව.

මගේ බැල්ම පොතෙන් අත් ඔරලෝසුවට මාරු වෙනව. හයට තව විනාඩි පහක් තියෙන බව මට පේනව. මගේ හදවතේ ගැස්ම ටිකින් ටික වැඩි වෙනව.

“මං හයට යන්න ඕනි... මට හයට යන්නම වෙනව!” මං මටම කියා ගන්නව. ඒත් සර්ට කියල යන්න එපැයි.

හොඳට පුහුණු වෙච්ච කරාටි කාරයෙක් වගේ බෝඩ් එකේ ලියාගෙන ලියාගෙන යන රවී සර් මේ පැත්තට හැරෙන පාටක් නෑ. මං පොත් ටික කලබලේට බෑග් එකට ඔබා ගන්නව. ඒකෙ සිප් එක වහල වම් අත පැත්තෙන් බංකුව උඩ තියාගන්න මම, වාඩිවෙලා ඉන්න තැන ඉඳල දොර ගාවට තියෙන කෙටිම පාර හිතින් ගණන් බලනව. ඊට පස්සෙ රවී සර් පන්තිය දිහාවට හැරෙනකං මාරුවෙන් මාරුවට ඔරලෝසුව දිහායි වයිට් බෝඩ් එක දිහායි බලාගෙන ඉන්න පටන් ගන්නව.

“මතක තියා ගන්න. ඕනිම අනුකලන ගානක් පොදු ක්‍රම දාසයෙන් එකකට එන්න සුළු කරන්න පුළුවං...” කියාගෙන රවී සර් පන්තිය දිහාවට හැරෙනව. ඒ ක්‍රම දාසය මොනාද කියල මතක් කර ගන්න වෙලාව වැය නොකර රවී සර්ට පේන විදිහට මං බෑග් එක මේසෙ උඩට ගන්නව. සර් මං දිහා බලපු ගමන් “සර්... මං යන්නද?...” කියල මම ‘අභිනයෙන්’ අහනව. පොඩි පරක්කුවකට පස්සෙ සර්ගෙ ඔළුව උඩ පහල වැනිල මට අවසරය හම්බ වෙනව.

රවී සර්ගෙ ගණං ක්ලාස් එක හවස හයහමාර, හයයි හතලිස් පහ විතර වෙනකං තියෙනව. ඒත් මට ගමට යන්න තියෙන අන්තිම බස් එක හවස හයයි දහයට ටවුමෙන් පිටත් වෙනව. ඒ ගැන මං රවී සර්ට කලින්ම කියල හවස හයට පන්තියෙන් යන්න අවසර අරගෙනයි තියෙන්නෙ...

මං බංකුවෙන් නැගිටපු ගමන් පන්තියේ පිටිපස්සෙ ඉඳන් සාමූහික “සූ” වක් පටන් ගන්නව.

“ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්... සූඌඌඌඌඌඌඌඌඌඌ..............................”

මං හිතේ ඇඳගෙන තිබ්බ කෙටිම පාරෙන් ටක් ගාල ගිහින් “සූ” ව ඒකෙ උපරිමේට එන්න කලින් දොරෙන් එළියට පැන ගන්නව. එතන ඉඳං බස් ස්ටෑන්ඩ් එකට යනව නෙවෙයි, විදිනව.

මං හති දාගෙන, දාඩිය පෙරාගෙන බස් ස්ටෑන්ඩ් එකට ලං වෙද්දිම වගේ බස් එකත් එතනට එනව. සෙනග කොච්චර හිටිය උනත් මං කොහොම හරි බස් එකට ගොඩ වෙනව.

හැබැයි වැඩේ කියන්නෙ, අන්තිම බස් එක අපේ ගමටම යන්නෙ නෑ, අපේ ගමට කිලෝමීටර් තුනක් විතර මෙහායින් නයිට් පාක් කරනව. ඒක එතනට කිට්ටු වෙද්දි රෑ හතහමාර විතර වෙනව.

එතන ඉඳල තමයි මගෙ ගමනෙ ත්‍රාසජනකම කොටස පටන් ගන්නෙ.

බස් එකෙන් බැහැගන්න මම ගමනාන්තෙ වෙනකං බස් එකේ ආපු කීප දෙනා අතරෙ අපේ ගමේ කවුරු හරි ඉන්නවද කියල විපරම් කරල බලනව.

“කවුරුත් නැහැ. ක-වු-රු-ව-ත්-ම නැහැ...!“

මම මට යන්න වෙන, ගම දිහාවට වැටිච්ච පාර දිහා බලනව. බස් එක නවත්තන හන්දියේ තියෙන කඩේ එළියෙන් ටික දුරක් යනකං එළිය වෙන ඒක ඊට පස්සෙ අන්දකාරෙ ඇතුලෙ අතුරුදහන් වෙලා යනව.

මං ගාව එළියක් නෑ කියල මට එතකොට මතක් වෙනව. මට හැමදාම පොඩි ටොච් එක බෑග් එකට දාගන්න අමතක වෙන්නෙ ඇයි කියල මං මගෙන්ම අහනව. කඩෙන් පොල් කට්ටකුයි ඉටිපන්දම් කෑල්ලකුයි ඉල්ල ගන්න හිතිලත් මම ආයෙ ඒ අදහස අතෑරල දානව.

මම ගැඹුරු හුස්මක් අරගෙන ලොකු කෙළ ගුලියක් ගිලිනව. පිටේ තියන බෑග් එක පිටටම තද වෙනකං පටි දෙකෙන් ඇදල අල්ලගන්න මම අන්දකාර කිලෝමීටර් තුන ගෙවීමේ මෙහෙයුම පටන් ගන්නව.

කඩේ එළියෙන් ඈත් වෙලා ටික වෙලාවක් යද්දි ඇස් කළුවරට හුරු වෙනව. ගස් වල සිළුවටයයි, තාර පාරෙ මැද්දෙයි දෙපැත්තෙයි ඉතුරු වෙලා තියෙන වැලි පාරවලුයි තරු එළියෙන් මට පේන්න පටන් ගන්නව. කෝකටත් කියල මං පාර අයිනෙං නොයා පාර මැද්දෙන් යන්න පටන් ගන්නව.

කොහේදෝ ගෙදරක තියෙන ටීවි එකේ සද්දෙ මට යාන්තමට වගේ ඇහෙනව. එකත් එකටම අර සීනිබෝල ටෙලි නාට්ටිය බලනව වෙන්න ඕනි කියල මට හිතෙනව. ඒත් මනුස්ස පුළුටක් ලඟ පාත ඉන්නව කියල දැනෙද්දි හිතට පොඩි හයියක් එනව.

මං දිගටම යනව...

මං තව වංගු දෙකක් විතර පහු කරනව. දැන් ඇහෙන්නෙ කන් හිරිවට්ටන රැහැයි සද්දෙ විතරයි. මේ වෙද්දි ඇස් දෙකයි කන් දෙකයි උපරිමේට ටියුන් වෙලා තියෙන්නෙ කියන්න මං දන්නව. ගස්වල අතු හෙලවෙන සද්දෙ, හුළං හමන පොඩි සද්දෙ පවා දැන් හොඳට ඇහෙනව; වටේ පිටේ වෙන පොඩි සෙලවීමක් උනත්...

“හොස්... හොස්... හොස්... හොස්...”

ඒ සද්දෙ ආවෙ උඩිං. පිට කොන්ද දිගේ විදුලි ආඳෙක් යනව වගේ දැනෙද්දි මට නිකමට වගේ උඩ බැලෙනව. තඩි හෙවනැල්ලක් ඔළුවට උඩින් අහසෙ පාවෙලා යන හැටි මට පේනව.

මාවවුලෙක්...!

ඩ්‍රැකියුලා බොන්ඩ ලේ හොයාගෙන එළිපහලියට එන්නෙ රෑට නේද කියල මට එකපාරටම මතක් වෙනව. මොන මඟුලකට ඒ පොත කියෙව්වද කියල එතකොට මට හිතෙනව. දවල් කාපු බත් ගෙඩියෙ තිබ්බ සුදු ළූණු බික්කක් මතක් කරගන්න මං ඒ සුදුළූණු බික්කෙන් ඩ්‍රැකියුලව හිතේ පැත්තකට තල්ලු කරල දානව.

තව ටික වෙලාවකින් පාරෙ දෙපැත්තෙ හිටවල තියෙන සුදු පාට ගාපු කණු ටිකක් මට පේනව. ඒ ඔය හරහා දාල තියෙන පාලමේ ඇඳි දෙක. එතනට ටිකක් එහායින් තියෙන්නෙ පාලම ගාව කඩේ. කඩේ වහල කියල මට මෙතෙන්ටම පේනව. ඒත් කඩේ කිට්ටුවම තියෙන මුදලාලි සීයලගෙ ගෙදර ජනේල වලින් පෙරිල එන එළිය පාරට වැටිල තියෙනව. සීතලේ හිටිය කෙනෙක්ට ගිණි මැලයක් දකින්න ලැබුණම දැනෙන සංතෝසෙ වගේ එකක් පාලම පහු කරල කඩේ කිට්ටුවට එන මට දැනෙනව.

ඒත් ඒක තියෙන්නෙ ටික වෙලාවයි...

ෆිල්ම් එකේ වැඩියෙන්ම බය හිතෙන හරිය තියෙන්නෙ ඉන්ටවල් එකෙන් පස්සෙ කියල මට මතක් වෙලා බඩ පපුව සීතල වෙලා යනව.

මම ආයි පාරක් ගැඹුරු හුස්මක් අරගෙන ලොකු කෙළ ගුලියක් ගිලිනව.


මතු සම්බන්ධයි...


_______
පින්තූරය
http://cache.desktopnexus.com/thumbnails/1586491-bigthumbnail.jpg

13 comments:

  1. ඇයි බෝල මතු සම්බන්ද? එක හුස්මට කියෙව්වා, අනුකලනය ලකුණ අපිටත් කොක්කු පෙන්නපු කාලයක් තිබුනා නේද කියලා මතක් උනා, අන්තිමේදී එක දිගට අනුකල ලකුණු තුනක් අපිට කොක්කු පෙන්නුවා කැම්පස් එකේදී. ජය.

    ReplyDelete
    Replies
    1. අනුකලන ලකුණු කරේම මට කොකා පෙන්නපු එක තමයි. දැං උනත් ඒව දැක්කම මොලේ ෂෝට් සර්කිට් වෙනව.

      Delete
  2. හොස් හොස් ගාලා කියනගෙන ආවට එක පාරට බස් බස් උනා.. හැක්.. ඉතිරි කොටසත් දාන්න.. අර උඩම පේලියේත් තවත් කීප තැනකත් විරාම ලකුණු අවශ්‍ය පරිදි යෙදුවනං හොදා මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට යද්දි ලබ් ඩබ් ඩිෂ් ඩිෂ් වෙනව... :)

      විරාම ලකුණු අඩු තැන් මොනාද කියල මගේ ටියුබ් ලයිට් මොළේට හරියටම මීටර් වෙන්නෙ නෑනෙ... පොඩි උදව්වක් කරන්න බැරිද?

      Delete
  3. Replies
    1. ඇඟ හිරිවැටිල යනව නේ...? :)

      Delete
  4. ඉතිරි කොටහත් ඉක්මනට ලියහන් මචන්.. මටත් ඕ ලෙවල් කාලේ 7. 30 පන්ති ඉවරවෙලා ගෙදර ගිය විදිහ මතකක් වුනා. ටවුමක ජිවත් වුනත් ඒ වෙලාවට මං ගිය පාර පාලුවට ගිහිල්ලා තමයි තිබ්බේ. :ඩ්

    ReplyDelete
    Replies
    1. ඒව ඇත්තටම අමතක නොවන අත්දැකීම් නේද?

      Delete
  5. කතාව එක දිගට කියව ගෙන යද්දි නතර උනා වගේ.කොහොම උනත් හරි ලස්සනට ලියල ...මේක කියවද්දීම මට මතක් උනේ මන් ඉස්සර කියෙව්ව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ " උපන්දා සිට " පොතේ එන කොටසක්. ඒකෙත් මේ විදිහෙම ගමට එන සිදුවීමක් තිබ්බේ ..මේ ඒ පොතෙන් ගත්ත පොඩි කොටසක්
    "ගෙදරට ලඟාවීම සඳහා ම මයිල අටක් පයින් ගමන් කල යුතුය ....සිතැඟිය විසින් ම මෙහෙයනු ලැබූ මම මඟට බැස ගම බලා ගමන් කලෙමි .මයිල දෙකක් තුනක් පෙර වටින් පිටින් අඳුර දැඩි වෙයි .මගේ සිතට කෙමෙක් බියක් පිවිසෙයි මඟ යන්නෙකු හමුවන්නේ මිනිත්තු දහයකට පහළොවකට වරකි.ඔහුද මදක් දුර ගොස් අතුරු පාරකින් හැරී නුදුරෙහි වන තම ගෙදරට ළඟ වෙයි .පාර අයිනේ පිහිටි ගෙයක කවුළුවෙන් හා දොරටුවෙන් නික්මෙන පහන් එලිය දකින විට මගේ බිය අඩුවෙයි .................. " මේකේ තව ලස්සනට විස්තර කරලා තිබ්බ .. හැමදේම උපුටල මෙතන ලිව්වොත් ලොකු කමෙන්ටුවක්වෙන නිසා උපුටා ගැනීම අඩුකලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි... :)

      මට කළුවරේ යන්න උනේ යාන්තං කිලෝමීටර් තුනක් විතර දුරක්. හැතැප්ම අටක් යන්න උනානං එහෙම මොකකින් මොකක් වෙයිද දන්නෑ.

      Delete
  6. මම පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි දෙකම එකට කියවන්න යන්නේ. ඇත්තෙන්ම මේ තාක් නම් සිද්ධිය ලස්සනට විස්තර කරලා තියෙනවා.

    ReplyDelete
  7. මොකක්ද බං මේ?
    පළවෙනි කොටසට දාපු කමෙන්ට් එක waiting for approval.
    දෙවෙනි කොටසට දාපු එක published .

    ReplyDelete
    Replies
    1. පොඩි සෙටින්ග්ස් වෙනසක් කරා ඩූඩ්. දැන් දවස් තුනකට වැඩිය පරණ පෝස්ට් වලට දාන කමෙන්ට්ස් විතරක් මොඩරේෂන් වලට යනව. :)

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...