එළි වෙනකං මෙතන හිටගෙන ඉන්න බෑ කියල මට කල්පනා වෙනව.
“රෑ උනොත් මගට එන්න ඕනිද?” කියල අප්පච්චි අහපු වෙලාවෙ;
“නෑ ඕන්නෑ... ඔය පොඩ්ඩ මට තනියෙන් එන්න පුළුවං...” කියල කිව්ව නිසා මට කොහොම හරි යන්න වෙන්නෙ තනියෙංම තමයි.
“නෑ ඕන්නෑ... ඔය පොඩ්ඩ මට තනියෙන් එන්න පුළුවං...” කියල කිව්ව නිසා මට කොහොම හරි යන්න වෙන්නෙ තනියෙංම තමයි.
ඇත්තටම කිව්වොත් මේක මගේ ආත්ම ගවුරවේ පිළිබඳ ප්‍රශ්ණයක්.
එක්කරගෙන යන්න මගට කාට හරි එන්න කියනව කියන්නෙ මං බයයි කියල නොකියා කියන එක. ඒ වගේමයි, ‘බයගුල්ලෙක් වීමේ නිදහස’ කියන්නෙ කොල්ලෙක්ට කවදාවත් ලැබෙන්නෙ නැති දෙයක්. අනිත් අතට බැලුවම ‘මට’ බය ගුල්ලෙක් වීමේ නිදහස ඕන්නෑ. ජීවිත කාලෙම අනික් අය බයගුල්ලන්ට දාන අර සමච්චල් හිනාව කාගෙන බයගුල්ලෙක් විදිහට හංවඩු ගැහිල ඉන්න... ? මම... ? නෑ... ඒකනං කොහොමටවත් ඕන්නෑ. ඉතිං එක්කො දැන් මං බයගුල්ලෙක් නොවී ඉතිරි ටිකත් යනව. එහෙම නැත්තං එහෙම කරන්න ගිහිං නහිනව!
එක්කරගෙන යන්න මගට කාට හරි එන්න කියනව කියන්නෙ මං බයයි කියල නොකියා කියන එක. ඒ වගේමයි, ‘බයගුල්ලෙක් වීමේ නිදහස’ කියන්නෙ කොල්ලෙක්ට කවදාවත් ලැබෙන්නෙ නැති දෙයක්. අනිත් අතට බැලුවම ‘මට’ බය ගුල්ලෙක් වීමේ නිදහස ඕන්නෑ. ජීවිත කාලෙම අනික් අය බයගුල්ලන්ට දාන අර සමච්චල් හිනාව කාගෙන බයගුල්ලෙක් විදිහට හංවඩු ගැහිල ඉන්න... ? මම... ? නෑ... ඒකනං කොහොමටවත් ඕන්නෑ. ඉතිං එක්කො දැන් මං බයගුල්ලෙක් නොවී ඉතිරි ටිකත් යනව. එහෙම නැත්තං එහෙම කරන්න ගිහිං නහිනව!
ඔන්න ඒ විදිහට හිතා ගත්තම මගේ හිතට පොඩි හයියක් එනව. මං
වීරයෙක් කියල හිතින් මවාගන්න මං ඉස්සරහටම යනව.
පාලමට යටින් පාර පැනල මුදලාලි සීයලගෙ වත්තෙ මායිම දිගේ
යන ඔය පොඩි දිය ඇල්ලක් වෙලා පහලට වැටෙන “හෝ...” සද්දෙ තව ටිකක් ඉස්සරහට යද්දි පාරෙන් පහල වැවිල
තියෙන කැන්ද ගස් වලට එහා පැත්තෙන් ඇහෙනව.
ඔය දිය ඇල්ලට පහලින් තියෙන වතුර වලේ තමයි අප්පුහාමි සීය
මැරිල හිටියෙ කියල මට එතකොට මතක් වෙනව. නාන්න කියල ගෙදරින් ගිය උන්දැව ගමේ අයට
හම්බවෙනකොට වලේ මුණින් අතට වැටිල මැරිලත් දවස් දෙක තුනක්. වතුරට දියවෙලා සුදු වෙලා
තිබ්බ මිනිය ඉස්පිරිතාලෙට ගෙනියන්න උස්සව්වම එක අතක් ගැලවිල වැටුණලු...
හත් දෙයියනේ ඕව මේ වගේ වෙලාවක හිතන දේවල්ද?
“ඕව හිතන්න එපා යකෝ... නෑ නෑ නෑ... ඕව හිතන්න එපා මී
හරකෝ!”
කලිං මවාගත්ත වීරකමෙන් කොටසක් දියවෙලා ගිහිං ඉතිරි කොටස
වාෂ්ප වෙන්න පටන් ගනිද්දි මං මටම සැරෙන් කියා ගන්නව. ඒත් කකුල් දෙක හදන්නෙ
දුවන්නමයි.
දුවන්නෑ... දුවන්ඩ එහෙම එපා...!!!
දුවන්නෑ... දුවන්ඩ එහෙම එපා...!!!
මං බොහොම අමාරුවෙන් දුවන්න කියල හිතට ආපු ආවේගෙ නවත්ත
ගන්නව. මොකද බයේ දුවන්න දුවන්න ඒ බය වැඩි වෙන නිසා. අනිත් අතට සිහිකල්පනාවක් නැතුව
බයවෙලා දුවනව තරං බයානක දෙයක් තවත් නෑ. එහෙම කරොත් මොකක හරි පැටලිල වැටෙන්න හරි,
කොහේ හරි හැප්පෙන්න හරි, එහෙමත් නැත්නං බෝක්කුවක් පල්ලෙ දෙරිගහන්න හරි ලොකු ඉඩකඩක්
තියෙනව. මේ ඔක්කොම මතක් කරගෙන මං බොහොම අමාරුවෙන් දුවන්නෙ නැතුව ඉන්නව.
දෙමෝලෙ පිටි කොටනව වගේ හදවත උඩ පනිද්දි මං සංසුං වෙන්න
උත්සාහ කරනව. බයේ දුවන එක ගැන මගේ ස්තාවරේ වෙනස් කරන්න සිද්ද වෙන අවස්තාවක් එතකොට
මට මතක් වෙනව.
ඒ තමයි වල් ඌරො...
පාර දිගේ වල් ඌරෙක් එහෙම ආවොත්නං කරන්න වෙන්නෙ දුවගෙන
ගිහිං ලඟම තියෙන ගහකට බඩගාගන්න එක. නැත්තං වීරෙ අයිය කරා වගේ ඇස් දෙක තද කරල
පියාගෙන හයියෙන් “හූ...!!!” කියන එක. ඒ උනත් “හූ...” කිය කිය ඉන්නවට වැඩිය ගහක්
දිගේ බඩගාගන්න එක වැඩිය හොඳයි කියල මං තීරණේ කරනව. කවුද දන්නෙ ඌර බය වෙන තරං
හයියෙං “හූ...” කියනව තියා මට “මීක්...” කියා ගන්නවත් ඒ වෙලාවට පුළුවං වෙයිද කියල.
“කොහොමද නිකං බැස්කර්විල් දඩ බල්ල වගේ එකෙක් අඳුර කපාගෙන
මතු උනොත්...?”
මගේ හිත ඔළුව අස්සෙ පරිස්සමට ඉන්න ගමං මගෙන් හෙමීට
කොඳුරල අහනව.
ඔන්න ඒ වෙලාවෙ තමයි මගේ ඉවසීමෙ රතු කට්ට පනින්නෙ.
“ඕව හිතන්න එපා යකෝ... නෑ නෑ නෑ... ඕව හිතන්න එපා
උගුඩුවෝ!!! තෝ මගේ පැත්තෙද? එහෙම නැත්තං වෙන කාගෙ හරි පැත්තෙද? අනේ මට උඹව අතට අහු
වෙන්නෙ නෑනෙ. අහු උනානං එහෙම...”
මං කට ඇතුලට අත දාල හිත ‘බෙල්ලෙන්’ අල්ලල එලියට ඇදල
අරගෙන තාර පාරෙ ගහගෙන ගහගෙන ගිහිං උඩ දාල ඈතට විසිවෙන්න පයින් ගහන හැටි හිතින් මවා
ගන්නව.
ඔන්න ඊට පස්සෙ මට පොඩි හයියක් දැනෙනව.
“තව ටිකයි... තව ටිකයි...”
මං මටම මුමුණ ගන්නව.
“තව ටිකයි...”
ඒත් ඊට කලින් පනින්න තව එක කඩුල්ලක් ඉතිරි වෙලා තියෙනව.
ඒ තමයි අපේ ගමේ සීමාවට මෙහායින් තියෙන පාළුවට ගිය ගරාවැටිච්ච ගෙදර.
වෙලාවට ඒක තියෙන්නෙ පාර මට්ටමට උඩින් ටිකක් කන්ද උඩට
වෙන්න. ඒක නිසා පාරට ඒ ගෙදර පේන්නෙ නෑ. ඒත් ඒක එතන තියෙනව කියල දන්න නිසා මහ රෑ
එතනින් යද්දි බෙල්ල පිටිපස්සෙ තියෙන කෙස් ගස් ඉත්තෑ කූරු වගේ කෙලින් වෙනව දැනෙනව.
පාළු ගෙවල් වල හිටිය හොල්මං ගැන අහපු, කියවපු කතා එකින් එක ඔන්න මට මතක් වෙන්න
පටන් ගන්නව. සිව්දෙස සඟරා වල “අද්භූත ලොවින්” කොටසෙ තිබිල කියෝපු කතාවක් කතාවක්
ගානෙ දැං මං පසුතැවෙනව. අර ඉටිපන්දමක් අතින් අරගෙන ජනේලෙ හරහා ආපු හොල්මන ගැන
කතාවනං නොකියවා ඉන්නමයි තිබ්බෙ. ඒත් ඉතිං මහ රෑට ඒව මතක් උනාම මෙච්චර බය හිතෙනව
කියල දවාලෙ හොල්මං කතා කියවද්දි හිතෙන්නෙ නෑනෙ.
මට ආයෙමත් දුවන්න හිතෙනව. එහෙම නොකර ඉන්න දඟලන ගමන් මට
ඉන්න ලොකුම හතුර ඉන්නෙ මගේම ඔලුව අස්සෙම නේද කියල මං කල්පනා කරනව.
තව ටිකයි... තව ටිකයි... අර ඉස්සරහිං පේන වංගුව පහු කරාම
තියෙන්නෙ අපේ ගම. එතනිං එහාට යද්දි මට චුට්ටක්වත් බය හිතෙන්නෙ නෑ. ඒත් ඒ වංගුව ගාවට
යන්න මට හිතාගෙන හිටියට වැඩිය වෙලා යනව. කොච්චර හයියෙං ගියත් දැනෙන්නෙ නිකං එකතැන
ඇවිදිනව වගේ.
අන්තිමේදි මං කොහොම හරි වංගුව ගාවට එනව. එතන ඉඳන් මට පන්සලේ
චෛත්‍ය පේනව. තරු එළියෙනුත් ඒක කිරි පාටට බබලනව දකින මට ලොකු සැනසිල්ලක් දැනෙනව.
සීතල හුළඟක් ඇවිත් මගේ හිතේ තිබ්බ බය ඈතට පා කරල අරිනව. රෑ කුමාරි මල් වල සුවඳ ඒ
හුළඟෙ තැවරිල තියනව. මගේ මූණට පොඩි හිනාවක් එන්නෙ එතකොට තමයි.
“ලොකු පුතා... බස් එකක් තිබ්බද?”
මං රටක් රාජ්ජයක් දින්න වගේ ගෙදරට ගොඩවෙද්දිම අම්ම අහනව.
“ඔව්... අන්තිම බස් එක අහු උනා. හන්දියෙ ඉඳල ඉතුරු ටික
‘හෙමීට’ පයිං ආව...”
වීර මූණක් මවා ගන්න මං ඒකෙ හිනාවකුත් ඇඳගෙනම උත්තර දෙනව.
ඊලඟ සතියෙත් ඔය වික්‍රමේම කරන්න වෙනව කියල එතකොට මට මතක්
වෙනව. මගේ බඩයි පපුවයි ආයිත් පාරක් සීතල වෙලා යනව.
_______
පින්තූරය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWN5fLUxHjwMYm2OB7rfYvgZq-gYSxB0bDDE9m0XpmIYsCSyPVsZz8SqRKCRU0nVtPrvHxaJIgbwwL4AxYqkANUfydp4HOPyc0wpYMpjNySH1HkXvAbPk9nSXk3eUDJKnrJjz5HdyFkJc/s1600/The-Hound-of-Baskerville-photo-silohouette.jpg
_______
පින්තූරය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWN5fLUxHjwMYm2OB7rfYvgZq-gYSxB0bDDE9m0XpmIYsCSyPVsZz8SqRKCRU0nVtPrvHxaJIgbwwL4AxYqkANUfydp4HOPyc0wpYMpjNySH1HkXvAbPk9nSXk3eUDJKnrJjz5HdyFkJc/s1600/The-Hound-of-Baskerville-photo-silohouette.jpg
පට්ට් ඈ... සිරාවටම මේ අත්දැකීම කී දෙනෙක්ට නං ඇත්ද...
ReplyDeleteඇග හීතල වෙලා හිරිගඩු පිපිල... හම්මේ මතක් වෙද්ිදත් හිනා යනව...
හොද එඩිතර වෙන්න ඕන කියල හිතද්දිම මතක් වෙන්නෙ මහ හොල්මන කතාම තමයි.. නැත්තං මැරිච්ච එකක්...
කොච්චර හිතුවත් ඒව නවතින්නෑ...
නැද්ද හා
ඒකනෙ කියන්නෙ. ඒ වෙලාවට මතක් වෙන්නෙ දැනගෙන හිටිය කියල අපිටවත් මතක තිබ්බෙ නැති හොල්මං කතා.
Deleteමොනවා හිතෙන්නද ඉතිං ගෙදරට ගොඩවෙනකන් බිත්තර තැම්බුනා පපුවේ.
ReplyDeleteඑල ද බ්‍රා.
ඔය ගමන නිසා ඒ ලෙවල් ඉවර වෙනකංම වගේ මං හිටියෙ බොයිල් කර කර... හැබැයි පස්සෙන් පහු එච්චරටම බය හිතුණෙ නෑ.
Deleteහැක් හැක්.. මරු... කොච්චර කිව්වත් හිත යටින් එන තිගැස්ම.. අපුරුයි..
ReplyDeleteමං දන්න අයගෙන් වැඩි හරියක් මෙහෙම තමයි දේශා. සමහර ත්‍රී වීල් එලවන අය ඉන්නව කනත්තවල් ගාවින් රෑට හයර් නොයන.
Deleteමාරු කතාව ...හරි ආසාවෙන් කියෙව්වේ ..
ReplyDelete//“ඕව හිතන්න එපා යකෝ... නෑ නෑ නෑ... ඕව හිතන්න එපා මී හරකෝ!”
//“ඕව හිතන්න එපා යකෝ... නෑ නෑ නෑ... ඕව හිතන්න එපා උගුඩුවෝ!!! තෝ මගේ පැත්තෙද? එහෙම නැත්තං වෙන කාගෙ හරි පැත්තෙද? අනේ මට උඹව අතට අහු වෙන්නෙ නෑනෙ. අහු උනානං එහෙම...”
//මං කට ඇතුලට අත දාල හිත ‘බෙල්ලෙන්’ අල්ලල එලියට ඇදල අරගෙන තාර පාරෙ ගහගෙන ගහගෙන ගිහිං උඩ දාල ඈතට විසිවෙන්න පයින් ගහන හැටි හිතින් මවා ගන්නව.
මෙන්න මේ කොටස් ටික නම් නියමයි. :D ...මාත් ඔහොම තමයි ..රෑට රෑවෙලා හොල්මන් කතා බලල කළුවරේ කොහේ හරි කාමරේකට යද්දී අර ඔක්කොම හොල්මන් පස්සෙන් එනවා වගේ ..වීරයා වගේ කතා බැලුවට හිත බයයිනෙ ;)
කළුවරේ කාමරේකින් කාමරේකට යන්න බය කාලයක් මටත් තිබ්බනේන්නං... :)
Deleteඉස්සර මං ඔය හොල්මන් එකකටවත් බය නෑ.. බය තිබ්බත් ගානක් නෑ..
ReplyDeleteඒත් මං වැඩිපුම බය පන්සලේ බුදු ගේ ඇතුලට යන්න.... හි හි.. ඇයි වදේ... අර යක්කු වගේ ඉන්න යක්කුයි, දෙයියො වගේ ඉන්න යක්කුයි.... හම්බෝ.... මාව ඉස්සර කොහොමවත් බුදු ගේ ඇතුලට එක්කං යන්න බෑ.... හි හි
අපේ ගමේ පන්සලේ බුදු ගේ කලුවර මුල්ලක ජූතක බමුණ වෙස්සන්තර රජ්ජුරුවන්ගෙ ළමයි දෙන්නව අරගෙන යන හැටි අඹල තියෙනව. මං පොඩි කාලෙ ඒ කිටිටුවට යන්න පුදුම බයක් තිබ්බෙ. තනියමනං කීයටවත් ඒ කිට්ටුවට යන්නෙ නෑ...
Deleteබය, හෙතෙ තවත් එක නිර්මාණයක් නේද, ගොඩක් බය දැනේනේ තමන් ඉන්න මොහොතට මුහුණ දෙනවට වඩා හිතේ අන්දිච්ච මනස්ගාත ඔළුවට ඇවිල්ල චිත්ත රුප මවා පාන්න ගත්තම තමා, සමහරක් වෙලාවට මුහුණ දෙන මොහොත ඒ බයිලාවල් වලට වැඩිය ඇත්තටම බයානක වෙන්න පුළුවන්, එත් ඒ බය යටපත් කරනවා හිතේ තියෙන මනස්ගාත වල බයෙන්, ඔබ එක අපුරුවට නිර්වචනය කරලා තියෙනවා, ලස්සනයි,
ReplyDeleteපොඩි කාලේ ඉඳන්ම නැගේ තෙම එක තමා ඔය වගේ වෙලාවට"නොපෙනෙන හොල්මනට වැඩිය පෙන්න ඉන්න සතා සර්පයා බයානකයි, ඉතින් දෙකේ හතරේ පොලු කාලක් වන වන තමයි යන්නේ, අපි චන්ඩි හරිය.
‘හොල්මන්‘ කියන්නෙ සෙලවෙන මනසටනෙ. අපිට පිටින් තියන දේවල් වලට වඩා අපිව බය කරන්නෙ අපේ හිත ඇතුලෙ තියෙන දේවල්. අපේ කළුවරට තියන බයයි අපිට තේරුං ගන්න බැරි දෙවල් වලට තියෙන බයයි දෙකම එකක්. හරිහමන් විදිහට තීරණයක් ගන්න පුළුවන් තරං තොරතුරු නැතිවිච්ච ගමන් අපේ හිත කරන්නෙ මොකක් හරි විකාරයක් මවා ගන්න එක. අපි බය වෙන්නෙ අන්න ඒ විකාරෙට.
Deleteමෙහෙම කතාවක් අහල තියෙනවද?
"Fear is an illusion, but the danger is every bit real"
ReplyDeleteඔහොම බයේ බයේ යන පොරක් හෙමිහිට ආපු කාර් එකකට නැග්ගලු. නැගලා බැලින්නම් යකෝ ඩ්‍රයිවර් කෙනෙක් නැහැලු. හැබැයි කාර් එක හෙමිහිට හෙමිහිට ඉස්සරහට යනවලු. එකපාරටම ජනේලෙන් ඇත්ලට ආපු අතක් ස්ටියරිං වීල් එක අල්ලගෙන ඉන්න බව මූට තරු එළියට වගේ පෙනුනාම මූට කලිසමේ බඩු ගියේ නැති ටික විතරලු. පස්සෙ එලිය තියෙන තැනකට ආපු ගමන්ම ජනේලෙන් මතුවුනාලු මාරාවේශ වෙච්ච මූණක්.
තමුසෙට පිස්සුද ඕයි? මම මේ පෙට්‍රල් නැතුව ගිය හන්දා පණ දාගෙන කාරෙක තල්ලු කරනවා තනියෙම. තමුසෙත් ඒකට නැගලා ඉඳගත්තේ.
පරිකල්පන මේක නම් නියමෙට ලියලා තියෙනවා. ඇත්තෙන්ම තනියෙම යනකොට ඔය විදියටමයි හිතෙන්නේ. කොහොමද ඔලුවේ කෙස් ගස් හිටගෙන ඉන්නවා දැනෙන හැටි!
:D :D :D
Deleteමේක අහල තියෙනවද ඩූඩ්?
ඔන්න දවසක් ගමේ බෝක්කු කණු වලට තනි රකින තරුණයො සෙට් එකක් තමන්ගෙන් බය නැතිම කෙනා තෝරන්නෙ කොහොමද කියල කතා වෙනවලු. ඔය අතරෙ හිටිය එකෙක් කිව්වලු...
“මම තමයි මෙතන ඉන්න අයගෙන් බය නැතිම කෙනා. මට ඕනිනං මහ රැ දොලහට කනත්තට ගිහිං එන්න පුළුවං...“ කියල.
ඉතිං අනික් එවුං සෙට් එක කිව්වලු...
“හාඃ පුළුවංනං කරල පෙන්නපං බලන්න... හැබැයි උඹ සොහොනට ගියා කියල ඔප්පු කරන්න කනත්තට ගේට්ටු කණුවෙ ඇණයක් ගහල එන්න ඕනි...“ කියල.
ඉතිං එදා රෑ අර පොර ඇණේකුයි මිටියකුයි අරගෙන රෑ දොලහට කනත්තට ගියාලු. කනත්තට කිට්ටු කරන්න කිට්ටු කරන්න පොරගෙ බයත් ටික ටික වැඩි වෙනවලු.
මූ මොකද කරන්නෙ කියල බලාගන්න ඕනි නිසා අනික් එවුන් ටික කනත්ත ගාව හැංගිල හිටියලු.
දැං අපේ වීරය ඇවිල්ල බොහොම අමාරුවෙං වෙව්ල වෙව්ල ගේට්ටු කණුවට ඇණේ ගහල යන්න හැරුනලු. ඒත් යන්න බෑලු. කවුදෝ සරමෙං අල්ලගෙන ඉන්නවලු. හොදටම බයවිච්ච පොර හූ කියාගෙන කලන්තෙ දාල වැටුනලු.
පස්සෙ යාලුවො ටික දනිපනිගාගෙන ඇවිල්ල බලද්දි මොකක්ද දන්නවද වෙලා තිබිල තියෙන්නෙ?
අපේ වීරය හදිස්සියට ඇණේ ගහද්දි ඇදන් හිටිය සරමත් අහුවෙලා...
ඔය වැඩේ මට හැමදාම වෙනවා.... සතියක් විතර සෑහෙන ගේමක් දීලා ගෙදර ගියා.. දැන් නම් බය නෑ..... හිකිස්.... මරු ඈ
ReplyDelete:D
Delete