Pages

Sunday, 25 November 2012

සුරංගනා කතාවක් : චාරිකාව - පළමු කොටස


සුරංගනා කතාවක් : A Journey of a Prince - Part 1 හි සිංහල පරිවර්තනය.


ඔන්න එකෝමත් එක කාලෙක කුමාරයෙක් හිටියා.

දැන් හිතන්න එපා මේ කුමාරය හෙන පොරක් වෙන්න ඇති කියල. අපොයි නැහැ! මේ කුමාරය ඔයාල අපි වගේම තමයි. එයා කරුණාවන්ත හදවතක් තිබ්බ, මහන්සි වෙලා වැඩ කරන්න කැමති කෙනෙක්. පොඩි පරහකට තිබ්බෙ උදේ පාන්දරට ඇහැරෙන්න පොඩ්ඩක් කම්මැලි එක. (අපි වගේම තමයි නේ?). ඔයගොල්ලන්ට කියන්න මේ කුමාරයා චූට්ටක් විතර මෝඩයිත් එක්ක.

හැබැයි ඉතින් අපිට නොතිබිච්ච ප්‍රශ්ණයක් මේ කුමාරයට තිබ්බ. ඒක තමයි එක එක යුද්ද වලට පැටලෙන්න සිද්ද වෙලා තිබ්බ එක.

කුමාරය ඉතිං ආසාවට යුද්ද කරා නෙවෙයි. කුමාරය ගොඩක් ආසාවෙන් හිටියෙ සද්ද බද්ද අඩු නිස්කලංක ජීවිතේකට. ඒත් ජීවත් වෙද්දි එක එක කරදර වලට මූණ දෙන්න සිද්ධ වෙනවනෙ. ඉතිං අපේ මේ කුමාරයටයි එයා වගේ අනිත් කුමාරවරුන්ටයි, කුමාරිකාවන්ටයි තිබ්බ කරදරේ තමයි රටේ බටහිර මායිමේ තිබ්බ “උරගා බැලීමේ ආයතනය” (ඔය වගේ ගෝත ආයතන තිබ්බෙම රටේ බටහිර පැත්තෙ).

කාලෙන් කාලෙට ඔය ආයතනෙ රට පුරා ඉන්න කුමාරවරුයි කුමාරිකාවොයි එක්ක සටනට රණශූරයො කට්ටි කට්ටි පිටත් කරල යවනව. (ඇයි කියල අහන්නෙ? ඔය ආයතනෙ කරේ රට පහේ ඉන්න කුමාරවරුන්ටයි කුමාරිකාවන්ටයි කොච්චර හොඳට සටන් කරන්න පුළුවන්ද කියල ටෙස්ට් කරල බලපු එක. ඉතිං රණශූරයො දාල ඒ අයත් එක්ක සටන් කරවල බලන්නැතුව ඒක හොයා ගන්නෙ කොහොමද?)

රටේ තිබ්බ නීතියෙ හැටියට කුමාරවරුයි කුමාරිකාවනුයි අනිවාර්යයෙන්ම මේ රණශූරයන්ට මූණ දෙන්න ඕනි. කාටවත් මගඇරල යන්න බැහැ.

දැං ඔයගොල්ලො අහයි ඒගොල්ලො එක්ක සටන් කිරිල්ල ප්‍රතික්ෂේප කරොත් මොනා වෙයිද කියල?

එහෙම දෙයක් කරන කෙනාට මුහුණ දෙන්න වෙන ඵලවිපාක හරිම සෝචනීයයි. සටන් කෙරිල්ල ප්‍රතික්ෂේප කරන කට්ටියව අර ආයතනෙ “රටට බරක් වෙච්ච අය” විදිහට හංවඩු ගහනව. එහෙම අයට රටෙන් කෑම-බීමවත්... ඉඳුම්-හිටුම්වත්... බේත්-හේත්වත්... වෙන මොනාමවත් ලැබෙන්නෙ නෑ. ඒක නිසා නොමැරී ජීවත් වෙන්න ඕනිනං කෙනෙක්ට සටන් කරන්නම වෙනව. වෙන විසඳුමක් නෑ. (අපි හිතාගෙන ඉන්නෙ ඉස්කෝලෙ යන එකයි විභාග වලට ලියන එකයි අමාරුයි කියල...)

ඔය විදිහට සටන් කරල පළවෙනි රණශූරයො කට්ටියව පරද්දන කෙනා දෙවෙනි රණශූරයො කට්ටියකට මූණ දෙන්න ඕනි. ඊට පස්සෙ තුන්වෙනි කට්ටියකටත්... හැම අළුත් සටනක්ම ඊට කලින් එකට වැඩිය අමාරුයි. ඔය සටන් ඔක්කොම දිනාගන්න කෙනා ‘නයිට් පදවියක් ලබාගැනීමේ චාරිකාව’ යන්න සුදුසුකං ලබනව. ඔය චාරිකාව කෙලවර වෙන්නෙ ‘මස්තකය’ කියල තැනකින්. චාරිකාව සම්පූර්ණ කරල මස්තකයට ලඟා වෙන කෙනා නයිට් පදවියකින් පිදුම් ලබනව. ඔය නයිට් පදවිය කියන එක හෙනට වටිනව ඈ!

ඊලඟට...?

ඊලඟට ඉතිං ඒගොල්ලොත් ජීවිතේ කියන එකට මූණ දෙන්න ඕනි!

ඔය රණ ශූරයො එක්ක සටන් කරන විදිහත් හරියට ‘ඩාවීනියානු වාදය’ වගේ. අර “එක්කෝ දඩයම් කරන්න එහෙම නැත්නං දඩයම බවට පත් වෙන්න” කියල කියන්නෙ... අපේ කුමාරයටයි එයා වගේ අනිත් අයටයි ආවුද අතට ගන්න උනේ ඒ නිසාමයි.

“පස්වන සංග්‍රාමය” දිනාගන්නකොට කුමාරය බොහොම ලාබාලයි. ඊට අවුරුදු කීපයකට පස්සෙ කුමාරයට “සා’වීරයො” (ඒගොල්ලන්ගෙ පළිහවල් වල ‘සා’ අකුරක් ඇඳල තිබ්බ) එකොළොස් දෙනෙක් එක්ක මුහුණට මුහුණ සටන් කරන්න උනා. රණ ශූරයො එකොළොස් දෙනාගෙ යුධ උපක්‍රම එකොළොස් විදිහක් වෙච්ච නිසා කුමාරයට ඒක අමාරු අභියෝගයක් උනා. ඒත් එයා නිර්භීතව සටන් කරල ඒ එකොළොස් දෙනාවම පරාද කලා.

ඊලඟට කුමාරයට සටන් කරන්න උනේ “උ’ වීරයො” ත් එක්ක (ඒගොල්ලන්ගෙ පළිහවල් වල ‘උ’ අකුරක් ඇඳල තිබ්බ). මේ රණ ශූරයන්ව දැක්කම ඕනිම කෙනෙකුගෙ කොදුනාරටිය සීතල වේගෙන යන එක සාමාන්‍ය දෙයක්. හතරදෙනා බැගින් සටනට බහින මේගොල්ලො බොහොම සීරුවට කරන අනුකම්පා විරහිත පහරදීම් නිසා ඒ අයට මූණදෙන්න ගිය ගොඩ දෙනෙක්ට සිද්ධ උනේ සටන මැද හරියෙදි අතෑරල පහුබහින්න. උ’ වීරයන්ව පරද්දන්න ඕනිනං විශේෂ පුහුණුවක් බොහොම කැපවීමෙන් කරල තියෙන්න ඕනි. ඕන්න ඔතනදි තමයි අපේ කුමාරය වැඩේ වරද්ද ගත්තෙ.

ඒක එහෙම්පිටින්ම කුමාරයගෙ නොසැලකිලිමත්කම නිසා සිද්ද වෙච්ච දෙයක්...

“රණ ශූරයො එකොළහක් පැරැද්දුවට පස්සෙ තව හතර දෙනෙක් කජ්ජක්ද...?” කුමාරය හිතුව.

ඉතින් කුමාරය අළුත් සටන් ක්‍රම ඉගෙන ගන්න ගියේවත්; සන්නාහය අළුත්වැඩියා කරගත්තෙවත්; කඩුව මුවහත් කරගත්තෙවත් නැහැ. එයා කලේ විවේක සුවයෙන් කාලය ගත කරපු එක. ක්ෂිතිජයට උඩින් එකතුවෙන අඳුරු වළාකුළු ගැන කුමාරය වැඩි තැකීමක් නොකරපු තරං.

දවස් සති වලටත්, සති මාස වලටත්, මාස අවුරුදු වලටත් පරිවර්තනය උනා. අන්තිමේදි දවසක උ’වීරයොයි කුමාරයයි අතරෙ සටන ඇවිලුනා.

කොහොමටත් සටනට හරිහමං සූදානමකින් නොහිටිය කුමාරයව බොහොම ලේසියෙන් බිමදාන්න උ’වීරයො ටික සමත් උනා. තෝමරය බිඳිල, පලිහ පළුදුවෙලා, ඊතල ඔක්කොම නිස්කාරනේ නාස්ති වෙලා තමන්ගෙ ජීවිතේ පළවෙනි පාරට කුමාරය සටනකින් අන්ත පරාජයකට පත් උනා. ඒක බලන්න දුක හිතෙන දර්ශණයක්. එත් ඒ පරාජය ගැන කුමාරයටම හැර වෙන කාට කියල දොස් කියන්නද?


මතු සම්බන්ධයි...
සුරංගනා කතාවක් : චාරිකාව - දෙවන කොටස

_____
පින්තූරය
http://piercearrow.files.wordpress.com/2009/10/oot-link073.gif?w=450&h=616

Friday, 23 November 2012

සුරංගනා කතාවක් : A Journey of a Prince – Part 1


එක එක කාලෙට එක එක දේවල් මිනිස්සුන්ගෙ ඔළු වලට එනවනෙ. ලඟදි දවසක පොත් වගයක් හම්බඋනා. හරියටම කිව්වොත් J. K. Rowling ලියපු “The Tales of Beedle the Bard” පොතයි. Rudyard Kipling ගෙ “Just So Stories” පොතයි. දෙකම සුරංගනා කතා පොත්.

ඉස්සරවෙලාම The Tales of Beedle the Bard පොත කියවල ඊට පස්සෙ Just So Stories පොතෙන් බාගයක් විතර කියවං යද්දි අළුත් අදහසක් ඔළුවට ආව. මාත් සුරංගනා කතාවක් ලිව්වොත් කොහොම හිටීද. ඒ වෙද්දිත් ඔන්න සුරංගනා කතාවක් වගේ එකක් ඔළුව ඇතුලෙ පැළවේගෙන එනව.

Just So Stories පොත පොඩ්ඩකට පැත්තකින් තියල මං සුරංගනා කතාව ලියන්න ගත්ත. මේං! කතාව ලියවෙනව ඉංග්‍රීසියෙන්. පිට පිට ඉංග්‍රීසි පොත් කියව්වම ඔහොම තමයි. එතකොට ඔළුවෙ තියෙන සිංහල වචන ටික තේ මණ්ඩි වගේ යටට ගිහිං ඉංග්‍රීසි වචන ටික උඩට එනව. ඉතිං ඔළුවෙ තියෙන අදහස එකට ඇමිණෙන්නෙ ඉංග්‍රීසියෙන්.

කතා සැකිල්ල ඉංග්‍රීසියෙන්ම ගොඩනැගිච්ච නිසා මාත් ඉංග්‍රීසියෙන්ම ලියාගෙන ලියාගෙන ගියා. දැං හෙමීට සිංහලේට පරිවර්තනේ කරගෙන යනව. කතාව දිගයි. ඉතිං කෑලි වලට කඩන්නම වෙනව. ඉංග්‍රීසියෙන් ලියපු ටික නොදා ඉන්න ලෝබයි වගේ. ඒක නිසා ඉංග්‍රීසියෙන් ලියපු කතාවෙ පළවෙනි කොටස දාල ඊට පස්සෙ ඒ කොටසෙ සිංහල පරිවර්තනේ ඊලඟ පෝස්ට් එකෙන් දාන්නං.

දැං ඉතිං මං පණ්ඩිතය වගේ ඉංග්‍රීසියෙන් ලිව්වට මොකද ඒකෙ වැරදිනං හෝ ගාල ඇති. වර්ඩ් වල පිහිටෙන් අක්ෂර වින්‍යාසෙ ගොඩදාගන්න පුළුවං උනාට ව්‍යාකරණ දෝෂ ටික ඉතුරු වෙලා ඇති. වෛවර්ණ ව්‍යාකරණ අච්චාරුවක් වගේ පෝස්ට් එක පේන්න බැරි කමකුත් නෑ. ඒක නිසා ඒ ගැන සමාවෙන්න... :)

___



Once, there was a prince.

Now, you might think that this prince was extraordinary in some way. But no! He wasn't that extraordinary at all. Actually, he wasn't that much different from you and I. He was a kind hearted, hard working individual who also had a hard time getting up early in the morning (like many of us). He was even a bit stupid.

But unlike us the prince had to constantly fight in battles.

Well, not that he wanted to fight in the first place. He would've loved a quieter and a relaxed life. But life comes with the fair share of troubles. For our prince and for princes and princesses like him it was the “Institution of Test” which was at the far west corner of the country (as any such dreaded place would be).

From time to time the institution will send out parties of warriors to fight princes and princesses of the land. (Why? Because that was what the institution did. ‘Testing’ the battle worthiness of princes and princesses of the land. And how come you test someone on that ground without dueling them?)

Neither a prince nor a princess escaped without confronting them. It was an absolute rule in the land that all princes and princesses must face these warriors.

What if they refused fighting, you may ask?

The consequences were tragic. One that refused to fight the warriors of the institution was marked as ‘Useless to the Land’ and was denied of everything. Food…, shelter…, remedy…, and everything else. So there was no other choice. If one wanted to survive, one had to fight. It was as simple as that. (And we think going to school and writing our exams are hard… huh!)

Those who fought and survived the first wave of attack from these warriors will have to face a second, then a third; each battle being harder than the previous one. And if one survived all of these battles then they will be given a chance to embark on the ‘Journey to Knighthood’. A journey that will take the traveler to a place called ‘Summit’. One who completes the journey and reach Summit will be awarded the title of ‘Knight’. This was a very, very big deal.

And then…?

Then they will have to come down from there to face life as everyone else! (duh?)

Let me tell you… It’s the exact ‘Darwinian Law’ when it comes to fighting these warriors. Either you hunt them or mercilessly become hunted by them. That’s why our prince - and others like him - had to take arms.

He was a much younger prince when he emerged victorious from the “Battle of Five”. And then, few years later it was time for him to confront the eleven “O’ Warriors” (they had ‘O’s painted on their shields). Now that was a challenge, as for these eleven warriors had eleven unique battle strategies. Our prince fought valiantly. And in the end he had defeated all eleven of them.

Then came “A’ Warriors” (they had ‘A’s painted on their shields). They were the ones that sent cold shivers along the spines of those who confronted them. They always came in fours and struck with such ferocity and precision, that many had to abandon the fight at the mid way point. Extensive, exhaustive training was required in order to defeat them. And this is where our prince made a dire mistake.

It was so careless of him. To underestimate these A’ Warriors.

“I have defeated eleven warriors before. Another four wouldn't be much…” he thought.

And instead of refining his battle tactics, strengthening his armor and sharpening his sword; he spent more time at leisure. Dark clouds were gathering in the horizon. But he ignored them.

Days turned into weeks; weeks to months and months to years. And finally the day came that A’ Warriors summoned our prince to the battlefield.

This time he was unprepared and was easily outmatched. Soon he fell. His spear broken, his shield dented and all of his arrows used up never making the damage he intended to do. For the first time in his life he lost a battle. It was a sorry sight indeed. Who’s to be blamed, but for himself?



To Be Continued...

Saturday, 17 November 2012

චිත්‍රපටි ටොකු...


මීට කලින් මොළේ පෑදිල තිබ්බ නැති තැන් වලින් මොළේ පාදවන්න උදව් වෙන, කලින් නොබලපු කෝණයකින් ජීවිතය දිහා බලන්න අපිව යොමු කරවන කතන්දර අපිට ඉඳ හිට අහන්න, දකින්න ලැබෙනව. මං නං ඒවට කියන්නෙ ‘බුද්ධියට ටොකු ඇනීම’ කියල.

මේ වගේ කතා වැඩි හරියක් මට හම්බවෙලා තියෙන්නෙ පොත්වල සහ සඟරාවල තිබිල. ඊට අමතරව ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි...

ටෙලි නාට්‍ය කිව්වම අර මාගල් වගේ දිග ‘මෙගා සීරීස්’ එහෙම නෙවෙයි. ඒවගෙං ජීවතේ සුබසිද්ධියට ගන්න පුළුවං දෙයක් තියෙයි කියල මට හිතන්නෑ. මං කියන්නෙ ඒකාංගික ටෙලිනාට්‍ය ගැන.

සමස්තයක් විදිහට ගත්තම ලංකාවෙ ඒකාංගික ටෙලි නාට්‍ය කලාව සැලකිය යුතු තැනක තියෙනවයි කියන එකත් නොකියම බෑ. ජීවිතේ ගැන හිතට දැනෙන්න කතා කරන්න, එන්න එන්න කාර්ය බහුල වෙන සංකීර්ණ සමාජ ක්‍රමය ඇතුලෙ දියවෙලා යන මානුෂීය ගුණාංග අපිට මතක් කරල දෙන්න මේ නාට්‍ය වලට තියෙන හැකියාව සුවිශේෂීයි. මට තියෙන හොඳම උදාහරණ තමයි “සංසාරේ පියසටහන්”, “සිත නිවන කතා” සහ “මල්ගුඩි දවස” (නාට්‍ය ලංකාවෙ එකක් නොවුනත් සිංහලෙන් හඬකවල තියෙනවනෙ).

එතකොට චිත්‍රපටි...?

සිංහල සහ හින්දි චිත්‍රපටි ගැන මට කියන්න දෙයක් නැති තරං. මොකද ඒ දෙජාතියම බලන්න වැඩි උනන්දුවක් මට නැති නිසා. ඔය දෙජාතියෙම මගේ හිතට හරියන විදිහේ චිත්‍රපටි හරි අඩුයි. මෙච්චර කාලෙකට බලපු සිංහල සහ හින්දි චිත්‍රපටි වලින් හිත ගිය චිත්‍රපටි තියෙන්නෙ පහක්ද කොහෙද. සිංහල දෙකයි (මචං, සිකුරු හතේ), හින්දි තුනයි (3 Idiots , Taare Zameen Par, Billu Barber).

කොහොම උනත් වැඩිපුර බැලෙන ඉංග්‍රීසි චිත්‍රපටි වලින්නම් ටිකක් දිග ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. ඇත්ත... වැඩි හරියක් ඉංග්‍රීසි චිත්‍රපටිත් ඔය මොළේ පාදන වර්ගෙ ඒව නෙවෙයි. ඒ උනාට ඒකාකාරී බවින් අඩු සහ විවිධත්වයෙන් වැඩි කතා තේමාවන් තියෙන නිසා තමන්ගෙ රුචිකත්වයට ගැලපෙන චිත්‍රපටි ඉංග්‍රීසි චිත්‍රපටි අතරින් තෝරන්න ලේසියි. මමනං වැඩිපුර බර විද්‍යාත්මක, ක්‍රියාදාම සහ සජීවීකරණ චිත්‍රපටි පැත්තට.

ඉතින් හිතට දැනිච්ච ඉංග්‍රීසි චිත්‍රපටි කීපයක් ගැන ලියන්න හිතුන...

___

The Matrix, Matrix Reloaded සහ Matrix Revolutions කියන්නෙ කල්පනා කරන්න වටින මාතෘකා කීපයක්ම ලබාදීපු චිත්‍රපටි ත්‍රිත්වයක්. සුවි‍ශේෂී දෘෂ්‍ය ප්‍රයෝග (Special Effects) වලටත් කතා තේමාවටත් යටින් එක්තරා විදිහක දාර්ශණික පසුබිමක් මේ කතාවෙ තියෙනව.

බුද්ධිමත් ජීවීන් කොට්ඨාස දෙකකට එක ලෝකයක් බෙදා ගන්න සිද්ධ උනාම ඇතිවෙන බල අරගලය විසින්ම ඒ ලෝකයත් එහි වාසීන් සියළු දෙනාවත් විනාශයට පැමිණීම සිද්ධ උනේ ඇයි කියන ප්‍රශ්ණෙ මේ කතාව හරහා මතු කරනව වගේම; බුද්ධිමත් ජීවීන් උනත් සහජීවනය කියන සංකල්පෙ දිරවගන්න නං කොච්චර දුරට බුද්ධිමත් වෙන්න ඕනිද, කොච්චර දුරට අනිත් අයගෙ වෙනස්කම් ඉවසන්න පුරුදු වෙන්න ඕනිද කියල හිතන්න යොමු කරනව කියලයි මට හිතෙන්නෙ.

ඒත් Matrix චිත්‍රපට මාලාවෙන් මතුකරන වැදගත්ම කාරණාව ඕක නෙවෙයි...

යතාර්ථය කියන්නෙ මොකක්ද? යතාර්ථය ගැන හරියටම දැනගත්තොත් අපි ඒක පිළිගනීවිද? එහෙමත් නැත්නම් අපි අපේ ඇස් ඉදිරියෙ මවාපාල තියෙන බොරුවෙම ගැලිල ජීවත් වෙයිද?

Matrix ගැන කතා කරපු එකේ Animatrix ගැනත් කතා කරන්න වෙනව. Matrix චිත්‍රපටි තුනේ කියවෙන සිද්ධීන්ට අදාල කතාවෙ ආරම්භය ගැනත් චිත්‍රපටි අතරෙ කතාවෙ තිබ්බ හිස් තැන් පුරවන්නත් හදපු The Animatrix සජීවීකරණ කෙටි චිත්‍රපටි එකතුව මට එක්තරා විදිහක මානසික කම්පනයක් ඇති කරා කිව්වොත් හරි. විශේෂයෙන්ම The Second Renaissance - Part 1 සහ The Second Renaissance - Part 2 කියන කෙටි චිත්‍රපටි දෙක.


***

ලෝකයේ දැනට තියෙන අර්බුද ගැන කතා කරන්න විද්‍යා ප්‍රබන්ධයක් සාර්ථක විදිහට යොදා ගත්ත අවස්ථා වලින් එකක් තමයි District 9 කියන දකුණු අප්‍රිකානු චිත්‍රපටිය.

හැත්තෑ ගණන්වල කේප් ටවුන්වල තිබ්බ ‘හයවෙනි දිස්ත්‍රික්කයේ’ (District Six) ජීවත් වෙච්ච අයව බලෙන් වෙනත් තැනක පදිංචි කරවල තියෙනව. ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දි ඇතිවෙච්ච සිද්ධීන් ආභාසයෙන් විද්‍යා ප්‍රබන්ධමය මුහුණුවරකින් තමයි District 9 නිපදවිල තියෙන්නෙ.

නීතිය සහ සාමය ආරක්ෂා කරන ආයතන ඇතුලෙ තියෙන රහස් න්‍යාය පත්‍ර, මුදල් වලින් සහ බලයෙන් අන්ධ වීම, එක් ජන කොට්ඨාසයක් විසින් තවත් ජන කොට්ඨාසයක් පහත් කොට සැලකීම, කළු කඩ ජාවාරම ගැන එහෙම වෙනස්ම කතා තේමාවක් යටතෙ ඉඳගෙන District 9 කතා කරනව.




***

තමන්ගෙ ජීවිතයේ සිද්ධවෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මිච් ඇල්බොම් ලියපු Tuesday’s with Morrie කෘතිය ආශ්‍රයෙන් නිපදවිච්ච Tuesday’s with Morrie චිත්‍රපටිය මගේ ‍ෆේවරිට් වලින් එකක්.

වැඩ රාජකාරි එක්ක දඩි බිඩි ජීවිතයක් ගෙවන මිච් සහ වසර දාසයකට පස්සෙ ඔහුට මුණ ගැහෙන ඔහු ඉගෙනගත් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන මොරී වටේ තමයි මේ කතාව ගලාගෙන යන්නෙ.

දුර්ලභ රෝගයකින් ඔත්පල වෙලා මරණය එළිපත්තේ ඉන්න ගුරුතුමා තමන්ගෙ ප්‍රියතම ශිෂ්‍යයා උන මිච් ට ජීවිතේ ගැන, ජීවත් වෙන හැටි ගැන කියල දෙන ගැඹුරු පාඩම් මාලාව ඇත්තෙන්ම පුදුමාකාරයි. අවුරුදු දාසයකට පස්සෙ අළුත් උන ගුරු ගෝල සබඳතාවය මිච්ව මෙතෙක් නොදුටු විදිහට ජීවිතය දකින කෙනෙක් බවට පත් කරනව...
"When you learn how to die, you learn how to live…"
"මිය යා යුත්තේ කෙසේදැයි දත් විට ජීවත් විය යුත්තේ කෙසේදැයි දත හැක..."
මිච් ගෙ ගුරුතුමා මොරී කියන්නෙ එහෙමයි.


***

ෆිල්ම් එකක් බලල අඬන පුරුද්දක් මට සාමාන්‍යයෙන් නැති උනත් මේ චිත්‍රපටිය බලලනං ඇඬුන.

අළුත උපන් සිඟිත්තියත් සමග තම භාර්යාව විසින් අත්හැර දමනු ලබන ස්වාමි පුරුෂයෙක් හොඳ තාත්ත කෙනෙක්ගෙ භූමිකාව තනිවම කරගෙන යන්න කරන කැපකිරීම් ගැන කියවෙන I am Sam ජීවිතේ දිහා අළුත් කෝණයකින් බලන්න නිසැකවම ප්‍රේක්ෂකයව යොමු කරන වර්ගයේ චිත්‍රපටියක්.

මානසික සංකූලතාවයක් නිසා අවුරුදු හතක දරුවෙක්ගෙ මානසික පිරිවිතරයට එහා නොගිය මානසික හැකියාවකට විතරක් උරුමකම් කියන මේ තාත්ත තමන්ගෙ දරුවගෙ ඕනි එපාකම් පිරිමහන්න වගේම, තමන්ගෙ මානසික තත්වය නිසා තම දියණියව තමන්ගෙන් ඈත් කරන්න හදන නීතියත් එක්ක ඔට්ටු වෙන්න දරන වෙහෙස මහන්සිය සිත් සසල කරවන සුළුයි.


***

ලෝක විනාශය ගැන හැදිච්ච චිත්‍රපටි කොච්චරවත් බලල ඇති. හැබැයි ඒ හැම එකකටම පොදු වෙච්ච එක දෙයක් තියෙනව. කතාව අපි දකින්නෙ ලෝක විනාසෙන් බේරෙන අයගෙ දෘෂිඨි කෝණයෙන්. Independence Day ගත්තත්, Day After Tomorrow ගත්තත්, 2012 ගත්තත්, එහෙම නැත්නං Battle Los Angeles ගත්තත්, ඒක ඒ විදිහමයි. හැබැයි Seeking a Friend for the End of the World චිත්‍රපටියෙන් කියවෙන්නෙ ඒ වගේ වෙලාවක නොවැලැක්විය හැකි අවසානයකට දින ගැන ගැන ජීවත් වෙන බහුතර සාමාන්‍ය මිනිස්සුංගෙ කතාව...

අපි කවදා නමුත් මැරෙණව... ඒත් අපි මැරෙණ දවස හරියටම දැනගන්න ලැබුනොත් අපිට පිස්සු හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි නේද?

අපි නිශ්චිත ඉලක්කයක් නැතුව දවසින් දවස ගෙවා දානව... ඒත් මෙහෙම දෙයක් උනාමයි අපිට තේරෙන්නෙ අපි ගෙවන්නෙ කොච්චර දුරට හිස් ජීවිතයක්ද කියල. අපි ඔළුව උඩ තියාගෙන ඉන්න අදහස් වැඩි හරිය කොච්චරනං බොළඳයිද කියල...

මිනිස්සුන්ගෙන් බහුතරය හොඳ මිනිස්සු හැටියට ඉන්නෙ නීතිය, පිළිගත් සමාජ සාරධර්ම වගේ දේවල් වලින් ඇති කරල තියෙන පීඩනය නිසා. හරියට රබර් බෝලයක් වතුරෙ ඔබාගෙන ඉන්නව වගේ. ඒ දේවල් නැති වෙච්ච ගමන් මිනිස්සු බොහොම ලේසියෙන් නොමිනිස්සු බවට පත් වෙනව...



_____
පින්තූර

Sunday, 11 November 2012

ප්‍රවෘත්ති...? වාර්තාකරණය...??



පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රප-රප..... පෑං....... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රං-පං....... පප-රං-පං....... පප-රං-පං....... පප-රං........

.
.
.

මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්...


මීට ටික වේලාවකට කලින් බස් නැවතුමක සිටි පුද්ගලයන්ගෙන් එක් අයෙකුට ‘අධෝ වාතයක්’ පිටවී ඇත... මේ හේතුවෙන් බස් නැවතුමේ බසයක් බලාපොරොත්තුවෙන් සිටි මගීන් දැඩි අපහසුතාවයකට පත්වූ බව එහි සිටින අපගේ විශේෂ වාර්තාකරු පවසයි...


මෙන්න ඒ ප්‍රවෘත්තිය නැවතත්...


මීට ටික වේලාවකට කලින් බස් නැවතුමක සිටි පුද්ගලයන්ගෙන් එක් අයෙකුට ‘අධෝ වාතයක්’ පිටවී ඇත... මේ හේතුවෙන් බස් නැවතුමේ බසයක් බලාපොරොත්තුවෙන් සිටි මගීන් දැඩි අපහසුතාවයකට පත්වූ බව එහි සිටින අපගේ විශේෂ වාර්තාකරු පවසයි...


මේ පිලිබඳ වැඩිදුර විස්තර අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න...


පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රප-රප..... පෑං....... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රං-පං....... පප-රං-පං....... පප-රං-පං....... පප-රං........

___

පසුවදන:
ලඟදි ගිය එසැනිනින් පුවතක් (Breaking News) එකක් නිසා හිතේ පැළවිච්ච අදහසක්... :)
Related Posts Plugin for WordPress, Blogger...