Pages

Tuesday 8 May 2012

වෙසක් කාලෙට පස්සෙ...




මේ මං ටික කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු දෙයක්. වෙසක් කාලෙට මේක ලිව්වොත් වැඩිය හොඳයි කියල හිතිච්ච නිසා ටිකක් කල් දදා හිටියෙ. ඇත්තටම මහ ලොකු දෙයක් ගැනත් නෙමෙයි.

මම මෙහෙම ප්‍රශ්ණෙකින් පටන් ගන්නං...

ගෙදරින් බැඳගෙන යන හරි, කඩෙන් සල්ලි දීල ගන්න හරි බත් මුල දිගඅරිද්දි ඒක ඔතල තියෙන පත්තර කොලේ බුද්ධ රූපයක් තිබ්බොත් ඔයගොල්ලො මොනාද කරන්නෙ?

ඉස්සරම මං නං කරේ මුකුත් නොදැක්ක වගේ පත්තර කෑල්ල ගුලි කරල වීසි කරන එක. ඒත් ඒ විදිහ හිතට ලොකු බරක්. මොකද මගේ හිත දන්නව ඒක වැරදියි කියල. පස්සෙ මම වෙන ක්‍රමයක් පුරුදු උනා. ඒ තමයි පත්තර කෑල්ලෙ බුද්ධ රූපය තියෙන කොටස වෙන් කරල අරන් තියෙන එක. ඒ විදිහට එකතු වෙච්චි එක පත්තර කෑලි ගොඩක් ඔපීසියෙ මේස ලාච්චුවක තියෙනව. තවත් පත්තර කෑලි ගොඩක් ෂොපින් බෑග් එකකට දාල බෝඩිං කාමරේ බිත්තියක එල්ලල තියෙනව. ඒත් ඒවට එතනිං එහාට මොනා කරන්නද කියලනං අදහසක් නෑ.

වෙසක් සහ පොසොන් කාල වලට පත්තර වල බුද්ධ රූප වැඩියෙන් තියෙන එක සාමාන්‍යයෙන් අපි දකින දෙයක්. ඒත් මෙතනදි පත්තර පළකරන අය අමතක කරන එක දෙයක් තියෙනව. මොන පත්තරෙත් පරණ උනාම මූණ දෙන්නෙ එකම විදිහෙ ඉරණමකට කියන එක. මිටි බැඳිල එක්කො කොහේ හරි මුල්ලකට වැටෙනව. එහෙමත් නැත්නං කිලෝ ගනං වලට විකිණෙනව. ඉතින් මේ කිලෝ ගානට විකිණෙන පත්තර ගැනෙන්නෙ එක එක දේවල් ඔතන්න. ගොඩක් වෙලාවට කෑම කඩ වලට. එහෙමත් නැත්නං ගෙවල් වල රස්සා වලට යන අයගෙ බත් මුල් ඔතන්න.

ඒ නිසා මේ කාලෙ පහු උනාට පස්සෙ කෑම පාර්සල් එතෙන පත්තර වලින් ගොඩක බුද්ධ රූප තියෙනව. ඒත් වැඩි දෙනෙක් ඒ ගැන තැකීමක් කරන්නෙම නැති ගානයි. වෙන රටවල් වල සමහර අය බුදු හාමුදුරුවන්ට අගෟරව වෙන විදිහට බුද්ධ රූප එක එක තැන් වල ප්‍රදර්ශණය කරනව කියල ඇහුවම කම්පා වෙන අපිට අපේම නොසැලකිල්ල නිසා බුද්ධ රූප වල ඉඳුල් පිහදැවෙන එක පේන්නෙ නැත්තෙ ඇයි කියන එක මටනං ප්‍රශ්ණයක්.


ප. ලි.

දැන් ටික කාලෙක ඉඳල විකුණන්න තියෙන බත් පාර්සල් පත්තර කොල වල ඔතන එක නීතියෙන් තහනං. ඒ ගැන මං සතුටු වෙන එක කාරණාවක් තමයි මේක. මොකද අපි නොදැන හරි, නොදැක්ක වගේ හරි කරන වැරැද්දක් ඒ විදිහට හරි ටිකක් අඩු වෙන නිසා.

_____
පින්තූරය

14 comments:

  1. මං ගාවත් තියෙනවා ඔහොම එකතු කරපු පත්තර පිටු ගොඩක්. අනික් පත්තර වලට වෙසක් කාලෙට විතරක් ඔය ප්‍රශ්නෙ ආවට "බුදුසරණ" පත්තරේට හැමදාම තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ. මම සෑහෙන දැකලා තියෙනවා බුදුසරණ පත්තරෙන් ඔතපු බත් මුල්. මට ලැබුනොත් අරන් තියනවා.

    ReplyDelete
    Replies
    1. බුදුසරණ පත්තරේ කෑම ඔතල තියෙනව දැක්කම මට හිතෙන්නෙ අපේ රටේ ඉන්නෙ මොන වගේ බෞද්ධයො ජාතියක්ද කියලයි (හැමෝම නෙමෙයි... බහුතරය).

      Delete
  2. පත්තර වල කිසිම කෑමක් ගාවන්න හොඳ නැහැ...මේ රටවල නම් අම්මෝ පත්තර බලල දාන්නෙත් බිම..පත්තර නිකම් වස විසක් වගේ මෙහෙ සලකන්නෙ....මාත් ඉස්සර බුදුපිලිම තියන පත්තර කෑලි අරන් තියනවා...ඒ විතරක් නෙවේ මම නම් කවදාවත් පත්තර කෑල්ලක් කකුලෙන් පාගන්නෙ නැහැ...පත්තර පොත් පාගන එක පව් ලු...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විස පත්තරේ ප්‍රින්ට් කරන්න ගන්න තීන්ත. ඒවගෙ ඊයම් තියෙනව. ඉස්කෝලෙ යන කාලෙනං පොතක් බිම වැටුනම ආයෙ අහුල ගන්නෙ පොතට වැඳල. දැන්නං ඒ පුරුද්ද නැති වෙලා ගිහිං.

      Delete
  3. මට කෑම හම්බුවෙන්නේ අරාබි පත්තර වගේක... අප්පා කියවන්නවත් බෑ කෑම කනගමන්...

    ReplyDelete
    Replies
    1. ඕං බලන්ඩකො ඒකෙත් හැටි. අපි කෑම ඔතන්න පත්තර කොලෙත් රටිං ගෙන්නනවනෙ.

      Delete
  4. හැබැයි කෑම ඔතන්නේ නැති එකනම් හොඳයි.ඒත් මම දැකල තියෙනවා වාහන පිහදන්නත් පත්තර ගන්නවා..ඒවායේ ඉතිං බුදු පිළිම තියෙනවා.

    ලෝකේ වෙන බුදු පිළිම අගෞරව ගැන හොයන්න කලින් ලංකාවේ ඒවගේ දේවල් ගැන හොයනවනම් වැඩිය හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔතන තියෙන්නෙත් අපේ අර පොදු වැරැද්ද. තමංගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නැති උනාට අනුන්ගෙ ඇහේ තියෙන පොල් රොඩ්ඩ යස අගේට පේන එක.

      Delete
  5. ඇත්තටම අපි සිතා බැලිය යුතු කාරණයක්. පාරෙ යන එනකොට දකින බුදු පිලිම දකිද්දි හැමදාම හිතෙනවා අපෙන් නිසි ගෞරවය ලැබෙන්නෙ නෑ කියලා. ක‍ටුගස්තොට, බත්තරමුල්ලෙ, පැල්මඩුල්ලෙ තියෙන විශාල බුදු පිළිමවල නිසි ප්‍රමිතිය නෑ. බුදු පිළිම විකුණන්න තියෙන තැන්වල හිස ඉටි රෙද්දකින් වහලා කොහු ලණුවකින් බෙල්ල වටේ බැදලා, හෙලුවැලි ගෑණු රූප අතරේ තියලා තියෙන්නේ. මේ කාරණාවලට බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් නිසි ප්‍රමිතීන් නියම කළ යුතුයි කියලා මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලෙ අය බොහොම ගෞරවයෙන් බුද්ධ රූප, බුදු පිළිම වලට සැලකුව. අද ඒ දේත් වාණිජකරණය කරල හින්ද මෙහෙම වෙන එක ගැන එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ. මේ දේවල් වලට නිසි ප්‍රමිති තියෙන්න ඕනි කියන කතාවට මාත් එකඟයි.

      Delete
  6. ඇත්තටම අන්තිමට කියපු කාරණේ එක්ක මම කියන්න හිතපු දේ එතනම ලොප් උනා, හිතන්න වටින දෙයක්. ඔබ කියන දේ හා එකඟයි,

    ReplyDelete
  7. හ්ම්ම් කතාව ඇත්ත යාළුවා..මටත් ඔහොම පත්තරයක් හම්බ උනාම හිතෙනවා අපිට පව් පිරෙනවා නේද කියල..විසික් කරන්නත් බැහැනෙ..කොහොමහරි අරන් තියනවා ඉතින් ..

    ReplyDelete
    Replies
    1. ඒත් එහෙම එකතු වෙන පත්තර වලට අන්තිමේදි කරන්න ඕනි මොකක්ද කියල හිතා ගන්න බැරි එක තමයි ප්‍රශ්ණෙ...

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...