Pages
Sunday, 27 May 2012
පිල්ම් බලන කොණ්ඩ කැවුම
අපි දැං හරි හරියට අපේ වැඩ වලට පරිගණක පාවිච්චි කරාට දැනට අවුරුදු දහයකට පහළොවකට කලින් ඒව එක්තරා විදිහක සුඛෝපභෝගී භාණ්ඩ. කොම්පියුටර තිබ්බෙ අතලොස්සක් දෙනා අත. ඒවගෙං හරියට වැඩක් ගන්න දැනගෙන හිටියෙ ඊටත් වඩා අඩු පිරිසක්.
වැඩේ මේකයි... ඒ කාලෙ පරිගණක තාක්ෂණේ කියන්නෙ අපිට සම්පූර්ණයෙන්ම අළුත් දෙයක්.
මට මුලින්ම කොම්පියුටර් ගැන දැනගන්න හම්බ උනේ මං අට වසරෙ ඉන්න කාලෙ විතර. ඒ දවස් වල ඉස්ඉස්සෙල්ලම කොම්පියුටර් ක්ලාස් ගිය යාළුවො ඩොස් (DOS) ගැන කතා කරන කොට කට ඇරගෙන අහං හිටිය හැටි තවම මතකයි. ඔය කාලෙ ඉස්කෝලෙ කොම්පියුටර් ලැබ් එකේ තිබ්බ කොම්පියුටර් වලට වැඩි දෙනෙක්ට අතක් තියන්න ඉඩක් ලැබුනෙ නෑ. ඒව වෙන්වෙලා තිබ්බෙ ඒවත් එක්ක වැඩ කරල පුරුද්ද තිබ්බ ‘සුවිශේෂී’ අතලොස්සකට විතරයි.
මට කොම්පියුටර් ලැබ් එකේ කොම්පියුටර් එක්ක වැඩ කරන්න අවස්තාවක් හම්බ උනේ ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ. එකත් තව එක්කෙනෙක්ට ටයිප් කරන්න නම් ලැයිස්තු කියවන්න. එතකොට ටයිපිං කරන හැටි ගැන මෙලෝ දෙයක් මං දන්නෙ නෑ. කොම්පියුටරේ පිටට පේන්න තියෙන කෑලි බෑලි ටික ගැනවත් හරියට දැනුමක් නෑ. කොටින්ම කිව්වොත් ඔය මම කොම්පියුටර් මවුස් එකට “මවුසර්... මවුසර්...” කිය කිය හිටපු කාලෙ. ඉතිං ඒ වෙද්දි මගේ ‘පරිගණක සාක්ෂරතාවය’ කොච්චරද කියල හිතාගත්තැහැකිනෙ?
සාමාන්‍ය පෙළ විභාගෙ ලියල ගෙදර ඉන්න කාලෙ තමයි කොම්පියුටර් ක්ලාස් එකකට ගිහිං ඔය යන්තර ගැන හරියට ඉගෙනගන්න පටන් ගත්තෙ. පරිගණක විද්‍යාව පරතෙරට හදාරන්න ඕනි කියල ගැම්මක් හිතට ආවෙත් එක දවසක්වත් මගඅරින්නෙ නැතුව සහභාගී වෙච්ච ඒ ක්ලාස් එක නිසා.
ගෙදරට කංකඳිරි ගාල ඉස් ඉස්සෙල්ලම ගත්ත කොම්පියුටරේට මුල් කාලෙ මල් තියල නොවැඳපු ටික විතරයි. කොහොම උනත් ඒක ලෙඩ දෙද්දි කෑල්ලෙන් කෑල්ල ගලවල බලල හදාගන්න පුරුදු උනාට පස්සෙ පරිගණකයක් කියන්නෙත් තවත් එක යන්තරයක් විතරයි කියල තේරුං ගත්ත. ඒක තියෙන්නෙ වන්දනාමාන කරන්න නෙවෙයි, තමන්ගෙ වැඩ කරගන්න යොදා ගන්න.
පස්සෙ කාලෙක ක්‍රමලේඛණය (Programming) ඉගෙන ගත්තට පස්සෙ තමයි කෙනෙක්ගෙ ජීවිතේට පරිගණකය ගැලපෙන්නෙ කොතනටද කියල හොයාගෙන ඒක එතනින් තියාගන්න පුළුවං උනේ.
ලංකාවෙ පරිගණක සාක්ෂරතාව දැන් සාමාන්‍යයෙන් 30% ක් විතර. එහෙම පරිගණක දැනුම තියෙන අයගෙනුත් වැඩි හරියක් දෙනා තරුණ පරම්පරාවෙ කට්ටිය. දැන් පරම්පරාවට කලින් පරම්පරාවෙ වැඩි දෙනා අදටත් තොරතුරු තාක්ෂණය ගැන ඉන්නෙ අඳුරෙ. ඒ නිසාමද කොහෙද තොරතුරු තාක්ෂණයට අදාල මාතෘකා ඇදෙන වෙලාවලට ඒ අයගෙන් නියම කතා කියවෙනව.
අපේ කන්තෝරුවෙ මහත්තයෙක් අළුතින් ගෙදර පාවිච්චියට කොම්පියුටරයක් අරගෙන. ඉතින් ඕකෙ වැඩ කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න කියල වදේ බැරි නිසා දවසක් අපි දෙතුන්දෙනෙක් එකතුවෙලා ඔය අරව මේව පොඩ්ඩක් කියල දෙන්න ලෑස්ති උනා. කොහොම හරි අන්තිමට බලාගෙන ගියාම උන්නැහේට ඕනි වෙලා තිබ්බෙ කොම්පියුටරෙන් ෆිල්ම් බලන්නෙ කොහොමද කියල අහ ගන්න.
ඉතින් සී. ඩී. වල ඩී. වී. ඩී. වල තියෙන ෆිල්ම් බලන්නෙ කොහොමද කියල ඉස්සෙල්ලම කියල දුන්න. ඊට පස්සෙ හාඩ් ඩ්‍රයිව් එකේ තියෙන වීඩියෝ ෆයිල්ස් ඩබල් ක්ලික් කරල ඕපන් කරන්නෙ කොහොමද කියල කියල දුන්න. ඊටත් පස්සෙ මීඩියා ප්ලේයරේ මූලික වැඩ කිඩ ටිකත් කියල දුන්නයි කියමුකො. දැං ප්‍රශ්ණෝත්තර වාරෙ...
“එතකොට අර කොණ්ඩ කැවුමෙං චිත්‍රපටි බලන්නෙත් ඔය විදිහටද?”
“මොකෙං...?”
“අර කොණ්ඩ කැවුමෙං... මගේ කොම්පියුටරේ තියෙන්නෙ ඒකනෙ... කොම්පියුටරේ ගත්ත තැන මනුස්සය කිව්වෙ ඒක තියෙන්නෙ පිල්ම් බලන්න කියල... මට පිල්ම් එකක් දාලත් පෙන්නුව...”
“මොන කොණ්ඩ කැවුමක්ද?”
“අයියෝ! අර තැඹිලි පාට කොණ්ඩ කැවුම...”
ඔන්න එතකොට තමයි කතාව තේරුණේ. මේ තමයි ඒ මහත්තය කියන කොණ්ඩ කැවුම.
තවත් දවසක් අපේ අංශයට කිට්ටුව පාත අංශයක වැඩ කරපු රත්නෙ අයිය ආව උදව්වක ඉල්ල ගන්න.
“මල්ලි වැඩක්ද?”
“නෑ... ලොකු වැඩක් නෑ අයියා... කියන්ඩ...”
“පොඩි උදව්වක් ඕනි මල්ලි... මං අලුතෙං ඩොංගලයක් ගත්ත... ඊ මේල් එකක් හදාගන්න හැටි පොඩ්ඩක් කියල දෙන්න පුළුවංද?”
මෙහෙම වැ ඩ කරන විදිහ කිය කිය ඉන්නවට වැඩිය කරන්න තියෙන හොඳම දේ වැඩේ කරල දෙන එකයි කියල මං අත්දැකීමෙන්ම දන්නව. නැත්තං වෙන්නෙ අර කාටද සුදු පාට මොන වගේද කියල තේරුං කරන්න ගියා වගේ වැඩක්.
“ඉතිං දැං ඊ මේල් එකක් හදල දාමු...” මං කිව්ව.
“නෑ නෑ මල්ලි මං අද ඩොංගලේ ගෙනාවෙ නෑ. ඔයා මට ඊ මේල් එකක් හදන විදහ කියල දෙන්නකො... මං ගෙදර ගිහිං එකක් හදා ගන්නං...”
මේ වගේ වෙලාවට වාද කරල වැඩක් නෑ. (ඒකත් ටික කාලෙකට කලිං ඉගෙනගත්ත පාඩමක්.) ඉතිං රත්නෙ අයියට තේරුං ගන්න පුළුවං වෙයි කියල මට හිතිච්ච විදිහට ඊ මේල් එකවුන්ට් එකක් හදා ගන්නෙ කොහොමද කියල පියවරෙන් පියවර කියල දුන්න.
“හරි මල්ලි...” ඔක්කොම සාවදානව අහං ඉඳල අන්තිමේදි රත්නෙ අයිය කිව්ව.
“එතකොට දැං මං ඩොංගලේ ගහල ඉන්ටනෙට් යනව... ඊට පස්සෙ අර ‘ලේන බෝලෙ වටේ දුවන එක’ ආවට පස්සෙ තමයි ජී මේල් වලට යන්න ඕනි නේ?”
“මො... මොන ලේනද? ඔයා දැං මං කියල දීපු විදිහට කරන්ඩකො... ඉස්සෙල්ලම මේක දෙපාරක් ක්ලික් කරල ඊට පස්සෙ මෙතන මේක ටයිප් කරල ගිහිං මං කියල දීපු විදිහට ඊ මේල් එක හදා ගන්ඩ... හරි ලේසියි.”
“ඒ උනාට මල්ලි ගෙදර කොම්පියුටරේ ඉස්සෙල්ලම එන්නෙ ලේන බෝලෙ වටේ දුවන එකනෙ... එතකොට මොකද කරන්නෙ?”
මෙච්චර හොඳට කියල දුන්නට පස්සෙත් මෙයා මේ අල්ලගෙන දඟලන ලේන මොකාද? සමහර විට ‘ස්ටාට් අප්’ එකට දාපු මොකක් හරි ‘ඇප්’ එකක් වෙන්න ඇති. ලේනෙක් ‘අයිකන්’ එක විදිහට පාවිච්චි වෙන ‘ඇප්ලිකේෂන්’ එක මොකක්ද කියල මතක් කරාට එකපාරටම ඒ වගේ එකක් ගැන මතකෙට එන්නෙත් නෑ. කොහොම හරි ස්ටාටරේ ගැහි ගැහි තිබිල ටියුබ් ලයිට් එක යාන්තමට පත්තු වෙන්න ටික වෙලාවක් ගියා.
මේ යෝදය කියල තියෙන්නෙ මේ ‘බෝලෙ වටේ දුවන ලේන’ ගැනනෙ.
_____
පින්තූර
http://cloud9media.files.wordpress.com/2010/01/kids-literacy.jpg
http://images1.videolan.org/images/largeVLC.png
http://i.zdnet.com/blogs/firefox_.jpg
මාතෘකා:
සටහන්
Subscribe to:
Post Comments (Atom)
මරු කතාව. අදයි මට මේ බ්ලොග් එක සෙට් උනේ. අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ඔහොම කීප දෙනෙක්. කොහොම උනත් ඒවගේ අයට හිනා වෙන්න හොඳ නෑ මම හිතන්නේ.
ReplyDeleteඒ අයට ප්‍රසිද්දියෙ හිනාවෙන එක නං හොඳ නෑ තමයි. ඒත් මනුස්සයට හිනා නොවී වැරැද්දට විතරක් හිනාවෙන්න අපිට බැරි නෑ මයෙ හිතේ. :)
Deleteලේන බෝලේ වටේ කිව්වම... ඔය ඉට්ටාටරේට මතක් වුනේ ඔය ලේනා විතරමැයි...?
ReplyDeleteඅයියා දන්නවද කොටුරූල් පොතේ ඉලක්කං ගහන ටයිප් රයිටරේ ගැන...?
මෙහෙමයි ඉතිං, ප්‍රස්නෙ අහපු කෙනාගෙ විදිහටනෙ උත්තරේ අනුමාන කරන්න වෙන්නෙ :D
Delete...
ඔය කව්වෙ අර 'චූටි ලාමක කොම්පැනියෙ' කොටුරූල් පොතද?
අන්න හරි... දැන් විකල්ප විදියට "රජ ලාමක" එකෙත් එකක් තියෙනවා..
ReplyDeleteනරි, ලේන්නු වෙන කාලෙ එතකොට මේ :)
ReplyDeleteහ්ම්... හ්ම්... :)
Deleteහික්ස්...ලේනාබෝලෙ...අපෝ මට නම් එයා ටිකක් වද දෙනවා....:)
ReplyDeleteඑයා මේ දවස්වල අප්ඩේට් වෙනව වැඩියි. ඒක වෙන්න ඇති.
Deleteඇත්තටම ඒ සතා මොකාද? ලෙනද නරියාද ?
ReplyDeleteනියම කථා දෙක.
නරියෙක්. නිකං නරියෙක් නෙවෙයි 'ගින්දර' නරියෙක් :)
Deleteලේනා බෝලේ වටේ දුවනව කිවුව? හප්පා......
ReplyDelete:D
Deleteමාත් ටිකක් විතර ඔය කියන ජාතියේ. ලිපි ටික ඔක්කොම බලලා ඉවර කරන්නං වේලාවක.ඔන්න මගේ බ්ලොග් රෝලට මේ බ්ලොග් එකත් දැම්මා
ReplyDeleteඅපි හැමෝම අඩු වැඩි විදිහට මෙහෙම තමයි. ඇවිදින්න කලින් දණගාන්න පුරුදු වෙන්න ඕනිනෙ.
Delete...
ස්තූතියි! මේ බ්ලොග් එකෙන් ගන්න දෙයක් තියේවි කියල හිතනව.
මටත් උත්තරයක් ලියන්න හිතුනෙ ඔය ගොල්ල හිනා වෙන කොටසට මමත් අයිති නිසා. මට දැන් වයස අවුරුදු 66යි.1991 දී තමයි මට කොම්පුටරයක් අතගාන්න ලැබුනේ.මම ආපහු ඔෆිසියට ඇවිත් අපිත් පරිගණක ගමු කිව්වාම ඔක්කොම මට හිනා උනා. ආයේ 97 දී තව සැරයක් කොම්පුටර ජාලයක් ඇත ගැන ලැබුනාම මගේ උනන්දුව වැඩි උනා.කොහොම හරි 2000 වසරේදී අපේ ඔෆිසියේත් කොම්පුටර් සෙක්ෂන් එකක් ඇරියාට ඒක භාරව හිටපු බුවා මහා නිධානයක් රකිනවා වාගේ ඒක රැක්ක නිසා මොකුත් ඉගෙන ගන්න ලැබුනේ නැ. මම 2002 දී ගෙඩි රුපියල් 58,000ක් දීලා අලුත් මැෂිමක් මටම අරගෙන එකෙන් ඉගෙන ගන්න පටන් ගත්තා. වැරදීම් කෝටියයි. ඒ උනාට අත හැරියේ නැහැ.දැන් මට සිංහලෙනුත් ලියන්න පුළුවන්.
ReplyDeleteඅපි හැමෝම වාහන එළවන්න පුරුදු වෙද්දි බොහොම හාස්‍යජනක වැරදි සිද්ධ කරල තියෙනවනෙ. එතකොට බැරි උනාට අපිට හොඳට වාහන එළවන්න පුළුවන් වෙච්ච කාලෙට අපි එදා කරපු ඔලමොට්ටල වැරදි ගැන කල්පනා කරල ඇතිවෙන්න හිනා වෙනවනෙ. කොම්පියුටර් වලින් වැඩ කරන්න පුරුදු වෙන එකත් ටිකක් ඒ වගේ. ඒව පාවිච්චි කරන්න ඉගෙනගෙන තියෙන හැමෝම ඔය වගේ හිනාවෙන්න පුළුවන් දේවල් අනන්තවත් කරල තියෙනව. ඉතින් මං මේක ලියුවෙ ඒ වගේ හිනාවෙන්න පුළුවං කතා දෙක තුනක් ලිවීමෙ අරමුණ ඇතුව විතරමයි, වයසක උදවියට හිනාවෙන්න හිතාගෙනනං නෙවෙයි.
Deleteඅනිත් අතට කම්පියුටරේකින් වැඩ කරන්න ඉගෙනගන්න කාටවත් වයස බාධාවක් කියල මං හිතන්නෙ නෑ. මම කොහේ හරි කියවල තියෙනව ආනන්ද මෛත්‍රී හාමුදුරුවො පරිගණකයක් පාවිච්චි කරන්න ඉගෙන ගත්තෙ අවුරුදු 95 දි කියල. :)