Pages

Saturday 17 November 2012

චිත්‍රපටි ටොකු...


මීට කලින් මොළේ පෑදිල තිබ්බ නැති තැන් වලින් මොළේ පාදවන්න උදව් වෙන, කලින් නොබලපු කෝණයකින් ජීවිතය දිහා බලන්න අපිව යොමු කරවන කතන්දර අපිට ඉඳ හිට අහන්න, දකින්න ලැබෙනව. මං නං ඒවට කියන්නෙ ‘බුද්ධියට ටොකු ඇනීම’ කියල.

මේ වගේ කතා වැඩි හරියක් මට හම්බවෙලා තියෙන්නෙ පොත්වල සහ සඟරාවල තිබිල. ඊට අමතරව ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි...

ටෙලි නාට්‍ය කිව්වම අර මාගල් වගේ දිග ‘මෙගා සීරීස්’ එහෙම නෙවෙයි. ඒවගෙං ජීවතේ සුබසිද්ධියට ගන්න පුළුවං දෙයක් තියෙයි කියල මට හිතන්නෑ. මං කියන්නෙ ඒකාංගික ටෙලිනාට්‍ය ගැන.

සමස්තයක් විදිහට ගත්තම ලංකාවෙ ඒකාංගික ටෙලි නාට්‍ය කලාව සැලකිය යුතු තැනක තියෙනවයි කියන එකත් නොකියම බෑ. ජීවිතේ ගැන හිතට දැනෙන්න කතා කරන්න, එන්න එන්න කාර්ය බහුල වෙන සංකීර්ණ සමාජ ක්‍රමය ඇතුලෙ දියවෙලා යන මානුෂීය ගුණාංග අපිට මතක් කරල දෙන්න මේ නාට්‍ය වලට තියෙන හැකියාව සුවිශේෂීයි. මට තියෙන හොඳම උදාහරණ තමයි “සංසාරේ පියසටහන්”, “සිත නිවන කතා” සහ “මල්ගුඩි දවස” (නාට්‍ය ලංකාවෙ එකක් නොවුනත් සිංහලෙන් හඬකවල තියෙනවනෙ).

එතකොට චිත්‍රපටි...?

සිංහල සහ හින්දි චිත්‍රපටි ගැන මට කියන්න දෙයක් නැති තරං. මොකද ඒ දෙජාතියම බලන්න වැඩි උනන්දුවක් මට නැති නිසා. ඔය දෙජාතියෙම මගේ හිතට හරියන විදිහේ චිත්‍රපටි හරි අඩුයි. මෙච්චර කාලෙකට බලපු සිංහල සහ හින්දි චිත්‍රපටි වලින් හිත ගිය චිත්‍රපටි තියෙන්නෙ පහක්ද කොහෙද. සිංහල දෙකයි (මචං, සිකුරු හතේ), හින්දි තුනයි (3 Idiots , Taare Zameen Par, Billu Barber).

කොහොම උනත් වැඩිපුර බැලෙන ඉංග්‍රීසි චිත්‍රපටි වලින්නම් ටිකක් දිග ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. ඇත්ත... වැඩි හරියක් ඉංග්‍රීසි චිත්‍රපටිත් ඔය මොළේ පාදන වර්ගෙ ඒව නෙවෙයි. ඒ උනාට ඒකාකාරී බවින් අඩු සහ විවිධත්වයෙන් වැඩි කතා තේමාවන් තියෙන නිසා තමන්ගෙ රුචිකත්වයට ගැලපෙන චිත්‍රපටි ඉංග්‍රීසි චිත්‍රපටි අතරින් තෝරන්න ලේසියි. මමනං වැඩිපුර බර විද්‍යාත්මක, ක්‍රියාදාම සහ සජීවීකරණ චිත්‍රපටි පැත්තට.

ඉතින් හිතට දැනිච්ච ඉංග්‍රීසි චිත්‍රපටි කීපයක් ගැන ලියන්න හිතුන...

___

The Matrix, Matrix Reloaded සහ Matrix Revolutions කියන්නෙ කල්පනා කරන්න වටින මාතෘකා කීපයක්ම ලබාදීපු චිත්‍රපටි ත්‍රිත්වයක්. සුවි‍ශේෂී දෘෂ්‍ය ප්‍රයෝග (Special Effects) වලටත් කතා තේමාවටත් යටින් එක්තරා විදිහක දාර්ශණික පසුබිමක් මේ කතාවෙ තියෙනව.

බුද්ධිමත් ජීවීන් කොට්ඨාස දෙකකට එක ලෝකයක් බෙදා ගන්න සිද්ධ උනාම ඇතිවෙන බල අරගලය විසින්ම ඒ ලෝකයත් එහි වාසීන් සියළු දෙනාවත් විනාශයට පැමිණීම සිද්ධ උනේ ඇයි කියන ප්‍රශ්ණෙ මේ කතාව හරහා මතු කරනව වගේම; බුද්ධිමත් ජීවීන් උනත් සහජීවනය කියන සංකල්පෙ දිරවගන්න නං කොච්චර දුරට බුද්ධිමත් වෙන්න ඕනිද, කොච්චර දුරට අනිත් අයගෙ වෙනස්කම් ඉවසන්න පුරුදු වෙන්න ඕනිද කියල හිතන්න යොමු කරනව කියලයි මට හිතෙන්නෙ.

ඒත් Matrix චිත්‍රපට මාලාවෙන් මතුකරන වැදගත්ම කාරණාව ඕක නෙවෙයි...

යතාර්ථය කියන්නෙ මොකක්ද? යතාර්ථය ගැන හරියටම දැනගත්තොත් අපි ඒක පිළිගනීවිද? එහෙමත් නැත්නම් අපි අපේ ඇස් ඉදිරියෙ මවාපාල තියෙන බොරුවෙම ගැලිල ජීවත් වෙයිද?

Matrix ගැන කතා කරපු එකේ Animatrix ගැනත් කතා කරන්න වෙනව. Matrix චිත්‍රපටි තුනේ කියවෙන සිද්ධීන්ට අදාල කතාවෙ ආරම්භය ගැනත් චිත්‍රපටි අතරෙ කතාවෙ තිබ්බ හිස් තැන් පුරවන්නත් හදපු The Animatrix සජීවීකරණ කෙටි චිත්‍රපටි එකතුව මට එක්තරා විදිහක මානසික කම්පනයක් ඇති කරා කිව්වොත් හරි. විශේෂයෙන්ම The Second Renaissance - Part 1 සහ The Second Renaissance - Part 2 කියන කෙටි චිත්‍රපටි දෙක.


***

ලෝකයේ දැනට තියෙන අර්බුද ගැන කතා කරන්න විද්‍යා ප්‍රබන්ධයක් සාර්ථක විදිහට යොදා ගත්ත අවස්ථා වලින් එකක් තමයි District 9 කියන දකුණු අප්‍රිකානු චිත්‍රපටිය.

හැත්තෑ ගණන්වල කේප් ටවුන්වල තිබ්බ ‘හයවෙනි දිස්ත්‍රික්කයේ’ (District Six) ජීවත් වෙච්ච අයව බලෙන් වෙනත් තැනක පදිංචි කරවල තියෙනව. ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දි ඇතිවෙච්ච සිද්ධීන් ආභාසයෙන් විද්‍යා ප්‍රබන්ධමය මුහුණුවරකින් තමයි District 9 නිපදවිල තියෙන්නෙ.

නීතිය සහ සාමය ආරක්ෂා කරන ආයතන ඇතුලෙ තියෙන රහස් න්‍යාය පත්‍ර, මුදල් වලින් සහ බලයෙන් අන්ධ වීම, එක් ජන කොට්ඨාසයක් විසින් තවත් ජන කොට්ඨාසයක් පහත් කොට සැලකීම, කළු කඩ ජාවාරම ගැන එහෙම වෙනස්ම කතා තේමාවක් යටතෙ ඉඳගෙන District 9 කතා කරනව.




***

තමන්ගෙ ජීවිතයේ සිද්ධවෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මිච් ඇල්බොම් ලියපු Tuesday’s with Morrie කෘතිය ආශ්‍රයෙන් නිපදවිච්ච Tuesday’s with Morrie චිත්‍රපටිය මගේ ‍ෆේවරිට් වලින් එකක්.

වැඩ රාජකාරි එක්ක දඩි බිඩි ජීවිතයක් ගෙවන මිච් සහ වසර දාසයකට පස්සෙ ඔහුට මුණ ගැහෙන ඔහු ඉගෙනගත් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන මොරී වටේ තමයි මේ කතාව ගලාගෙන යන්නෙ.

දුර්ලභ රෝගයකින් ඔත්පල වෙලා මරණය එළිපත්තේ ඉන්න ගුරුතුමා තමන්ගෙ ප්‍රියතම ශිෂ්‍යයා උන මිච් ට ජීවිතේ ගැන, ජීවත් වෙන හැටි ගැන කියල දෙන ගැඹුරු පාඩම් මාලාව ඇත්තෙන්ම පුදුමාකාරයි. අවුරුදු දාසයකට පස්සෙ අළුත් උන ගුරු ගෝල සබඳතාවය මිච්ව මෙතෙක් නොදුටු විදිහට ජීවිතය දකින කෙනෙක් බවට පත් කරනව...
"When you learn how to die, you learn how to live…"
"මිය යා යුත්තේ කෙසේදැයි දත් විට ජීවත් විය යුත්තේ කෙසේදැයි දත හැක..."
මිච් ගෙ ගුරුතුමා මොරී කියන්නෙ එහෙමයි.


***

ෆිල්ම් එකක් බලල අඬන පුරුද්දක් මට සාමාන්‍යයෙන් නැති උනත් මේ චිත්‍රපටිය බලලනං ඇඬුන.

අළුත උපන් සිඟිත්තියත් සමග තම භාර්යාව විසින් අත්හැර දමනු ලබන ස්වාමි පුරුෂයෙක් හොඳ තාත්ත කෙනෙක්ගෙ භූමිකාව තනිවම කරගෙන යන්න කරන කැපකිරීම් ගැන කියවෙන I am Sam ජීවිතේ දිහා අළුත් කෝණයකින් බලන්න නිසැකවම ප්‍රේක්ෂකයව යොමු කරන වර්ගයේ චිත්‍රපටියක්.

මානසික සංකූලතාවයක් නිසා අවුරුදු හතක දරුවෙක්ගෙ මානසික පිරිවිතරයට එහා නොගිය මානසික හැකියාවකට විතරක් උරුමකම් කියන මේ තාත්ත තමන්ගෙ දරුවගෙ ඕනි එපාකම් පිරිමහන්න වගේම, තමන්ගෙ මානසික තත්වය නිසා තම දියණියව තමන්ගෙන් ඈත් කරන්න හදන නීතියත් එක්ක ඔට්ටු වෙන්න දරන වෙහෙස මහන්සිය සිත් සසල කරවන සුළුයි.


***

ලෝක විනාශය ගැන හැදිච්ච චිත්‍රපටි කොච්චරවත් බලල ඇති. හැබැයි ඒ හැම එකකටම පොදු වෙච්ච එක දෙයක් තියෙනව. කතාව අපි දකින්නෙ ලෝක විනාසෙන් බේරෙන අයගෙ දෘෂිඨි කෝණයෙන්. Independence Day ගත්තත්, Day After Tomorrow ගත්තත්, 2012 ගත්තත්, එහෙම නැත්නං Battle Los Angeles ගත්තත්, ඒක ඒ විදිහමයි. හැබැයි Seeking a Friend for the End of the World චිත්‍රපටියෙන් කියවෙන්නෙ ඒ වගේ වෙලාවක නොවැලැක්විය හැකි අවසානයකට දින ගැන ගැන ජීවත් වෙන බහුතර සාමාන්‍ය මිනිස්සුංගෙ කතාව...

අපි කවදා නමුත් මැරෙණව... ඒත් අපි මැරෙණ දවස හරියටම දැනගන්න ලැබුනොත් අපිට පිස්සු හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි නේද?

අපි නිශ්චිත ඉලක්කයක් නැතුව දවසින් දවස ගෙවා දානව... ඒත් මෙහෙම දෙයක් උනාමයි අපිට තේරෙන්නෙ අපි ගෙවන්නෙ කොච්චර දුරට හිස් ජීවිතයක්ද කියල. අපි ඔළුව උඩ තියාගෙන ඉන්න අදහස් වැඩි හරිය කොච්චරනං බොළඳයිද කියල...

මිනිස්සුන්ගෙන් බහුතරය හොඳ මිනිස්සු හැටියට ඉන්නෙ නීතිය, පිළිගත් සමාජ සාරධර්ම වගේ දේවල් වලින් ඇති කරල තියෙන පීඩනය නිසා. හරියට රබර් බෝලයක් වතුරෙ ඔබාගෙන ඉන්නව වගේ. ඒ දේවල් නැති වෙච්ච ගමන් මිනිස්සු බොහොම ලේසියෙන් නොමිනිස්සු බවට පත් වෙනව...



_____
පින්තූර

21 comments:

  1. Matrix කියන්නෙ අදටත් හෙටටත් බලපු හොඳම ඒවායින් එකක්. ඒකට ගිය හිත ආයේ වෙන මොකටවත් යන්නෙ නැති තරම්.

    Matrix වලට පස්සේ මගෙ හිත ගියේ Inception වලට.හොඳම චිත්‍රපටයක්.ඊට පස්සෙ බැලුව හොඳම එකක් තමා In Timeඒකත් අමුතුම sci fi චිත්‍රපටයක්.

    I Am Sam බලන්න හිතුනා..ඒක මම බලලා නෑ..

    ReplyDelete
    Replies
    1. Matrix දහවෙනි පාරට බලද්දිත් පළවෙනි පාර බලනව වගේම කම්මැලි නැතුව බලතැහැකි.

      Inception තවම බලන්න බැරි උනා. හොයාගෙන බලන්න ඕනි.

      Delete
  2. සංකාරා , ගරිල්ලා මාකටින් බැලුවද ? හින්දි චිත්‍රපටිත් හොඳ ඒවා මඟහැරිලා ද කියල හිතෙනවා , ඔය ලිස්ට් එකට නම් මාත් කැමතියි . හින්දි චිත්‍රපටි ෆිල්ටර් කරන්න හොඳ ක්‍රමයක් තියෙයි (මට හිතෙන ඔයාගේ ටේස්ට් එකට අනුව )

    01)සල්මාන් , අක්ශේ ඉන්න ඒවා බලන්න එපා
    02)ඉන්දියාවේ ආදායම් අඩු වුනත් පිටරට (බටහිර රටවල ) ආදාය්ම් හොඳ නම් බලන්න
    03) IMDB එකත් හොඳ නිර්නායකයක්

    ReplyDelete
    Replies
    1. ‘කර්ම‘ බැලුවට පස්සෙ ‘සංකාරා‘ බලන අදහස අතෑරල දැම්ම බුවා. ‘ගරිල්ලා මාකටින්‘ නං බැලුවද කොහෙද. නැත්නං ඒ ‘ගිණිඅවි සහ ගිණිකෙළි‘ ද මංදා...

      ඉංග්‍රීසි ෆිල්ම් වගේ හින්දි ඒව හොය හොය බලන්නෙ නැති නිසා හොඳ හින්දි චිත්‍රපටියක් අහු වෙන්නෙ එහෙමත් වෙලාවක. මට හින්දි ෆිල්ම් වල තියෙන සින්දුයි හැම දේකම තියෙන අධි තාත්වික ගතියයි දිරවන්නෙම නැහැ. හරියට බත් පිඟානෙ වැලි අහුවෙනව වගේ.

      Delete
    2. Dhobi Ghatt, kahaani කියන හින්දි ෆිල්ම් දෙක බලන්න. බයිස්කෝප් සිංහලෙන් එකේ සිංහල උපසිරැසි එක්ක ම තියෙනවා. ඒ දෙක ඔය කියන රැල්ලෙන් පිට පැනපු ෆිල්ම් දෙකක්.........

      Delete
    3. ස්තූතියි උදාර.

      Delete
  3. I am Sam නම් සෑහෙන දවසක ඉඳල බලන්න ඕන ලිස්ට් එකේ තියෙන්නෙ... උඩ කියල තියෙන ගුරු ගෝල කතාවත් ලිස්ට් එකට ඇඩ් කරගන්න ඕන...

    ReplyDelete
    Replies
    1. Tuesdays with Morrie බලන්නම වටින ෆිල්ම් එකක්. බලලම විස්තර කියන්නකො...

      Delete
  4. සෑම් ගැන නම් දන්නවා......
    ගුරු ගෝල කතාව ගැන දුන්නු ඔත්තුවට බොහොම ස්තූතියි.

    ReplyDelete
  5. පරිකල්පනට හොඳ ටේස්ට් එකක් තියෙනවා වගේ. ඔය මූවීස් වලින් වැඩි හරියක් මම බලලා තියෙනවා. ඉස්සර අවුරුදුවල මම අවුරුද්දකට මූවිස් හාරසිය ගානක් බලනවා කේබල් එකේ විතරක් නමුත් මේ අවුරුද්දෙ බැලුවෙ මෙච්චරයි. 32යි.

    1. Centurion
    2. I am number four
    3. Unstoppable
    4. Aliens in the attic
    5. Running Scared
    6. Buried
    7. Night and Day
    8. Detonator
    9. The thin red line
    10. Spiders 2
    11. Accepted
    12. King Cobra
    13. Devil
    14. Flight of the Intruder
    15. The Resident
    16. Jonah Hex
    17. Stealth
    18. The departed
    19. Back Up Plan
    20. Justin Beiber – Never Say Never
    21. Catwoman
    22. The Mechaninc (Jason Statham)
    23. Sanctum
    24. Assassins
    25. Paul
    26. Ironclad
    27. Colmbiana
    28. Killer elite
    29. Don’t be afraid of the dark
    30. Something borrowed
    31. Captain America – the first avenger
    32. Drive Angry

    මේ බිඳ වැටීමට හේතුව, එකක් ටීවී එකෙ ස්ථාන ගත කරලා තියෙන ස්ථානය සහ බ්ලොග් කෙරුවාවයි.

    මම ලිස්ට්මේනියැක් කෙනෙක්. ඒකයි වැඩේ ලේසි වුනේ. :D

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඩූඩ් :)

      මේ ලිස්ට් එකෙන් 1/3 ක් විතර බලල ඇති. බලන්න ඕනි කියල හිතාගෙන ඉන්න ෆිල්ම් ගොඩකුත් තියෙනව.

      මං නං කරන්නෙ නිතරම පෙන් ඩ්‍රයිව් එකක් ලඟ තියා ගන්න එක. ෆිල්ම් එකක් අහු උනාද කොපි කර ගත්ත...

      ඩූඩ් ඇනිමේෂන් බලන්න ආස නැද්ද? සුපිරි Disney-Pixar ඇනිමේෂන් ෆිල්ම් එහෙම තියෙනව.

      1. "9"
      2. Despicable Me
      3. How to Train Your Dragon
      4. Kung-Fu Panda
      5. Legend of the Guardians
      6. Over The Hedge
      7. Tangled
      8. Antz
      9. Cars
      10. Chicken Little
      11. Gnomio Juliet
      12. Monsters Inc
      13. Planet 51
      14. Puss in Boots
      15. Rango
      16. Ratatouille
      17. Rio
      18. The Incredibles
      19. The Princess and The Frog
      20. Wall - E

      මමත් එක්තරා විදිහක ලිස්ට් මේනියැක් කෙනෙක්. හැබැයි මං හදන්නෙ පොත් ලිස්ට්. ඕකෙ තියෙන නරකම දේ තමයි කාලෙකට පස්සෙ ලිස්ට් එකයි පොත් ගොඩයි ටැලි කරාම පොත් ගොඩේ පොත් අඩුවෙන එක. කියවන්න කියල පොත් ඉල්ලගෙන යන අයට ඒව ගෙනත් දෙන්න හරීයට අමතක වෙනවනෙ...

      Delete
    2. මම ඔය ඇනිමේෂන් වලින් වැඩි හරිය බලලා තියෙනවා පරිකල්පන.
      ඔය සංඛ්‍යාව පහත වැ‍ටුනේ මේ අවුරුද්දෙ අර මම කිව්වා වගෙ.
      මගෙ පොත් ලිස්ට් තියෙනවා.
      මුවී ලිස්ට් එක මට එපාවුනේ මගෙ ලැපිය 2011 අවුරුද්දෙ ලෙඩ දීලා හාඩ් එක format කරලා 2011 මූවී ලිස්ට් එක මැකුනට පස්සෙ.
      හයියෝ. කලෙක්ෂන් එකක් ‍රැකගන්න තියෙන අමාරුව නම් කියලා වැඩක් නෑ පරිකල්පන.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. කම්පියුටර් ඔස්තාර්ල ටිකක් එකතු වෙලා මගේ ලැප්ටොප් එක ඝාතනේ කරන්න හැදුවට පස්සෙ මං ඉස්සෙල්ලම කරපු දේ තමයි එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් අරගෙන මගේ ෆිල්ම් කලෙක්ෂන් එකම ඒකට බැකප් කරපු එක. දැනටනං අවුලක් නැතුව තියෙනව :)

      Delete
  6. Matrix ෆිල්ම් ටික සෑහෙන කාලෙක ඉඳන් මගේ ගාව තිබ්බත් ඒක බලන්න එච්චර ආස හිතුනෙ නෑ. මේ සටහන කියෙවුවට පස්සෙ දැන් නම් හිතෙනව බලන්න ඕන කියලා. ඇනිමේෂන් ෆිල්ම් බලන්න නම් මං ගොඩක් ආසයි. Alvin and the chipmunks, Toy story කියන ෆිල්ම්ස් ඒ අතරින් විශේෂයි:)

    ReplyDelete
    Replies
    1. Matrix ඉංග්‍රීසි සබ් එක්ක බලන්න. කතාව හරියටම අහු වෙන්නෙ එතකොට තමයි... :)

      Delete
  7. සිංහල ෆිල්ම් ගැනනම් කතාකරනන් එපා අයියෝ සල්ලි.

    ReplyDelete
  8. පරිකල්පන, ඔබගේ රසය පිළිබද මට විශේෂයෙන් කියන්න ඕන නැත්තේ මමත් ඔය රසයම විදින්න කැමති නිසා. මට පොඩි ප්‍රශ්නයකට තියෙන්න බලන ඒවා අමතක වෙන එක.. හා.. හොදම දේ විතරයි මතක තියෙන්නේ බුවා කිව්ව වගේ අයිඑම්ඩීබී රේටින් එක ගොඩක් දුරට හරි නිසා මමත් ඒ රේටින් වලින් උඩම තියෙන මට හරියන ටික විතරයි බලන්නේ..

    The Bourne, Identity, Bourne Supremacy, Bourne Ulitimatum කියන බෝන් ත්‍රිත්වය අමතක වුනේ ඇයි. ඔබ ඒ ටික බලල නැත්නං අනිවා බලන්න. හතර වැනි බෝන් චිත්තරපටිය නං මට ගතියක් උනේ නෑ. මැටි ඩෙමෙන් නැති හින්නද මන්ද. ඒ වගේම ඔය ඇනිමේෂන් වලින් මං ආසම රැටටුයිල් හා ටැන්ග්ල්ඩ් තව එකක් තියෙනවා මතක නෑ අර නිල් කුරුල්ලගේ කතාව.. Matrix කියනවනං මට කට පාඩං ඒ දෙබස් වල එහෙම. මගේ් පෝස්ට්කටුවකත් සුට්ටක් දැම්මා (මොනවද දන්නේ)

    ටිකක් පරණ චිත්තරපටි වලින් මං කැමති ටිකක් පහතින් දාන්නං

    The Illusionist
    Shakespeare in Love
    300
    Gladiator
    Butterfly Effect
    Memento (Gajini ෆිල්ම් එකට ගත්තේ මේකේ අදහස)
    Star Wars Series
    The Debaters

    ස්තුතියි


    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා,

      හිටු කියල බලන ෆිල්ම් බැලිල්ලෙ හැටියට හැමදේම මතක හිටින්න විදිහකුත් නෑ මං හිතන්නෙ... :)

      බෝන් ෆිල්ම් වලිං මට තාම අහුඋනේ මුල් ෆිල්ම් දෙක විතරයි. අර නිල් කුරුල්ලගෙ කතාව නං 'Rio' වෙන්න ඕනි.

      Matrix වල හිතට දැනිච්ච දෙබස් කීපයක්ම තිබ්බනේන්නං. මේ මගේ ෆේවරිට් එකක්...

      "What is reality Neo? Simply put it is just a bunch of electrical signals interpreted by our brain..."

      Delete
  9. සරි සරි.. රියෝ තමා සුපිරි සජීවිකරනයක්.. ටොරන්ට් වල තියෙකවානේ. නැතිනං movie2k.to වල තියෙනවා. මං වැඩියෙන්ම ගන්නේ එතනින්.. ස්මිත්ගේ දෙබස් ටිකත් නියමයි මැට්රික්ස් වල.. තව ඒවා දාමු..

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...