Pages

Sunday, 26 August 2012

වටිනාකම් යනු...?




හැමදේටම වටිනාකමක් තියෙනව. ඒත් මොකක් හරි දේක ඇත්තම වටිනාකම තියන්නේ ඒ භාණ්ඩයේ නෙවෙයි. වටිනාකම කියන්නෙ අපේ හිත් වල තියෙන සංකල්පයක් විතරයි. අපි මොනාට හරි වටිනාකමක් දෙන්නෙ අපි හිතන පතන විදිහට අනුව.

උදාහරණයක් විදිහට දියමන්තියි අඟුරුයි ගමුකො. එක දියමන්ති කැටේක වටිනාකමට අඟුරු කැට ටොන් ගානක් ගන්න පුළුවන්. මිනිස්සු අඟුරු වලින් හදපු ආභරණ පළඳින්නෙ නෑ. අඟුරු වලට මිනීමරා ගන්නෙ නෑ. මංකොල්ල කන්නෙ නෑ. ඒත් හැම ප්‍රසිද්ධ දියමන්තියක් එක්කම තණ්හාවෙන් පැල්ලම් ගැහිච්ච ලේ තැවරිච්ච අතීත කතාවක් තියෙනව. මෙතන තියෙන විහිළුව මේකයි. භෞතික ව්‍යුහයෙ වෙනස ඇරුනම දියමන්තියි අඟුරුයි කියන්නෙ එකම දේ. වෙනත් විදිහකින් කිව්වොත් දෙජාතියම හැදිල තියෙන්නෙ ‘කාබන්’ වලින්. දියමන්ති වටිනාකමින් වැඩිවෙන්න හේතුව ඒව දුර්ලභ වීම, ඒව හොයන්න අම්බානකට මහන්සි වෙන්න සිදුවීම සහ ඒ සඳහා ලොකු කැපවීමක් කරන්න සිදුවීම.

එතකොට සල්ලි...?

නිකංම බැලුවොත් සල්ලි කියන්නෙ කඩදාසි එහෙමත් නැත්නම් ලෝහ. සල්ලි වලට වටිනාකමක් දීල තියෙන්නෙ ඒව එදිනෙදා ජීවිතේදි හදන්න බැරි (හදන්න තහනම්), හම්බකරන්න ඕනි දෙයක් බවට පත් කිරීමෙන්. සල්ලි වලට තියෙන්නෙ මිළදී ගැනීමෙ හැකියාව විතරමයි. ගොඩ දෙනෙක් අද කාලෙ අමතක කරල තියෙන්නෙත් ඒකමයි. සල්ලි වලට ගන්න බැරි දේවලුත් ලෝකෙ තියෙනව...

මං විශ්වාස කරන විදිහට තමන් සන්තකයේ තියෙන සල්ලි වල වටිනාකම වැඩි ඒව තමන්ම මහන්සියෙන් හම්බකරාම. පොඩි කාලෙ අපිට ‘ඉපයීම’ කියන දේ ගැන තේරුමක් නැහැ. අපි කරේ සල්ලි ඉල්ල ගැනීම. මම ඔහොම අම්මගෙන් හරි අප්පච්චිගෙන් හරි සල්ලි ඉල්ලුවම සල්ලි දෙන්න කලින් ඒගොල්ලො - විශේෂයෙන්ම අප්පච්චි - නිතර මෙහෙම කතාවක් කියනව.

“ඔව් ඉතිං, එනකොට ගුලිකරගෙන ඇවිල්ල තියෙනවනෙ...”

ඒ දවස් වල ඔය කතාවට මට හරියට කේන්ති යනව. ඔය මත්තෙ මම අම්මයි අප්පච්චියි එක්ක රණ්ඩු වෙලත් තියෙනව. ඒත් පස්සෙන් පහු කාලෙක මම රස්සාවක් කරන්න අරගෙන පළවෙනි පඩිය අතට ගත්තම තමයි තේරුණේ ඒගොල්ලො එහෙම කිව්වෙ ඇයි කියල.

මගේ අතට ලැබිච්ච පඩි පැකට් එකේ තිබ්බෙ මාසයක් තිස්සෙ මං වෙච්ච මහන්සියේ වටිනාකම. ඒ උපයපු හැම රුපියලක්ම මම අවංකව හම්බකරා කියන්න මගේ හිත දැනගෙන හිටිය. මොණර කොළ කීපය අතට බරට දැනුණෙත් හිතට සැහැල්ලුවට දැනුණෙත් ඒ නිසා වෙන්න ඇති.

මට එතකං නොතේරුණාට අම්මයි අප්පච්චියි කියන්න උත්සාහ කරල තිබ්බෙ “උපයන්නාගේ මහන්සියට ගරු කරන්න” කියන එක.

කවුරු හරි දුන්න රුපියල් දහයකට වඩා; ලොතරැයියක් ඇදිල නිකං අතට ලැබෙන රුපියල් දහයකට වඩා අවංකව මහන්සියෙන් හම්බකරපු රුපියල් දහයෙ වටිනාකම වැඩියි. ඒක මං අත්දැකීමෙන්ම දන්න දෙයක්. ඒ රුපියල් දහය කෙනෙක් වියදම් කරන්නෙ නිකං හම්බවෙච්ච රුපියල් දහයක් වියදම් කරනවට වඩා පරිස්සමින්, වගකීමෙන් සහ එක්තරා ආකාරයක ආත්ම තෘප්තියකින්. වියදම් කිරීමේ සන්තෝසය හොඳටම දැනෙන්න තමන් හම්බකරපු දෙයක් වියදං කරල මොනා හරි ගන්න ඕනි.

අවාසනාවකට වගේ ගොඩ දෙනෙක් අනිත් අයගෙ මහන්සියට ගරු කරන්නෙ නෑ. මිනිස්සු අතින් ගොඩක් සම්පත් නාස්ති වෙන්නෙ ඒකයි. ගෙදරදි ලයිට් වතුර බොහොම අරපරිස්සමට පාවිච්චි කරන ගමන් කාර්යාලයේ අවේලාවෙ පත්තු වෙන ලයිට් එකක් නිවල දාන්නෙ නැති. ටැප් එකක් ඇරියම ඒක හරියට වහන්නෙ නැති මිනිස්සු ඕනි තරං ඉන්නව. සමහර අය හිතාගෙන ඉන්නෙ එහෙම කරල ආණ්ඩුව මට්ටු කරන්න. නැත්නම් ආයතන පරිපාලනේට රිද්දන්න. ඒත් අන්තිමට රිදෙන්නෙ අපිට. අපි හැමෝටම!

වෙනස තියෙන්නෙ ගොඩක් හම්බ කිරීමෙවත් පොඩ්ඩක් හම්බ කිරීමෙවත් නෙවෙයි. හම්බ කරන කීය හරි අවංකව හම්බ කිරීමෙ.

මුදල් නැතිකමින් ඇතිවන දුප්පත්කමේ උනත් සරළ වූ වටිනාකමක් සහ ගරුත්වයක් තියෙනව. ගුණධර්ම නැතිකමින් ඇතිවන දුප්පත්කමේ කිසිම වටිනාකමක්වත් ගරුත්වයක්වත් නැහැ.

_____
පින්තූරය

Sunday, 5 August 2012

පොලිෂ්



දවස තිස්සේ නටා ඇවිදන කල්පව කන්න බොන්නවත් ගේ ඇතුලට ගෙන්න ගන්න බැරි තරම්. මේ දවස්වල ඒ දේ කරන්න පුළුවන් ගම වටේ තියෙන කඳු වළල්ලෙන් පහලට ගලාගෙන එන ගොම්මන් කළුවරට විතරයි. ඉස්කෝලෙ නිවාඩු කාලෙ පටන්ගෙන තියෙන හින්දයි, ටික දවසක ඉඳන් ගෙදර තියෙන කාර්ය බහුල ගතියයි නිසා කල්ප දවසම සෙල්ලමට වැය කරන එකට අම්මයි අප්පච්චයිත් තහංචි නොදා ඉන්න තීරණේ කරලයි තබ්බෙ. නැත්නං මේ කොල්ලගෙ තියෙන දැඟලිල්ලට ගේ අස්සෙ සෙල්ලං කරන්න ගිහිං තීන්ත බාල්දියක් ඔළුවෙ නමා ගන්න උනත් ඉඩ තිබ්බ.

කල්ප තවම පුංචි නිසා එයාට දීල තිබ්බෙ ගෙදරට සීමා කරපු නිදහසක්. ගෙදර මිදුලෙන් එහාට යන්න එයාට අවසර නෑ. කරන සෙල්ලමක් ගේ වටේම තමයි. සෙල්ලම් කරන්න ගෙදර වටේ ඉඩකඩ ඉහටත් උඩින් නිසා ඒ ගැන එයාට ප්‍රශ්ණයක් නෑ. දවසම සෙල්ලං කරනව වගේම හවසට නිවාඩු කාලෙ කරන්න දීල තියෙන ගෙදර වැඩ වලින් කොටසක් කරන්නත් ඕනි. එක දවසට එක ගෙදර වැඩ පිටුව ගානෙ! ඒක නං කරදරයක්. කල්පගෙ කල්පනාවෙ හැටියට ගෙදර වැඩ කරන්න තවම කල් වැඩියි. තාම නිවාඩුව පටන් ගත්ත විතරනෙ. හරිනං ගෙදර වැඩ ගැන වදවෙන්න ඕනි නිවාඩුවෙ අන්තිම සතියෙදි.

එදා දවල් වරුවෙ කඩිමුඩියෙ ගෙදරට ගොඩ වෙච්ච කල්පව ඉස්සෙල්ලම පිළිගත්තෙ එකින් එක කළවං උන සුවඳවල් ගොඩක්. බිත්ති වල ගාපු තීන්ත වල සුවඳ; ඉදිච්ච අඹ, අන්නාසි වල සුවඳ වගේම නැවුම් මුට්ටියක් අස්සට වෙලා හීං සීරුවෙ පැහෙන අච්චාරුවක සුවඳත් ඒ සුවඳ ගොඩේ තිබුණ. ගෙදර සාලෙ හිටිය සුදු ආච්චියි, මද්දු මාමයි, නැන්දයි, අක්කල තුන්දෙනයි එයා දැක්කෙ ඊට පස්සෙ. ඉස්සරහ පාරෙ බස් එකක් නවත්තන සද්දෙ ඇහිච්ච ගමන්ම කල්ප එයා කර කර හිටපු සෙල්ලම පැත්තකට දාල දුවගෙන ආවෙත් කවුරු හරි එන්න ඇති කියල හිතිච්ච නිසා. කල්පලාගෙ ‘දුර බැහැර ඉන්න නෑයන්ගෙන්’ මේ පාර ඉස්සරවෙලාම ඇවිල්ල තියෙන්නෙ මද්දු මාමල.

ඒගොල්ලොත් එක්ක දුර ගමනක් ඇවිල්ල දැන් සාලෙ බිමට වෙලා මහන්සි අරින ලොකු පොඩි බෑග් කන්දරාව අතරින් ගිහින් කල්ප නැවතුනේ මද්දු මාම ලඟ.

“ආඃ කොල්ලෝ!... කොහාමද ඉතිං...” කියල මූණ පුරා පැතිරිච්ච හිනාවකුත් එක්ක කියපු මද්දු මාම ලොකු කඩදාසි බෑග් එකක් කල්පගෙ අතේ තිබ්බ.

“හැමෝටම දීල කන්න...”

කඩදාසි බෑග් එක ඇතුලට එබිකම් කරපු කල්ප සන්තෝසෙට උඩපැන්නෙ නැති ටික විතරයි.

“පුහුල් දෝසි...!”

එදා හවස් වෙද්දි ලොකු අම්මලාගෙ ගෙදර කට්ටියයි,  පොඩි මාමලාගෙ ගෙදර කට්ටියයි එහෙමත් ආව. තවම නැන්දෙක් නැති නිසා චූටි මාම ආවෙ තනියම.

හැම අවුරුද්දෙම අප්‍රේල් මාසෙ මුල කල්පගෙ සීයලගෙ ගෙදර දානයක් දෙනව. ගොඩ කාලෙකට ඉස්සර සීයයි ආච්චියි තමයි එහෙම ගෙදර දානයක් දෙන එක පටන්ගෙන තියෙන්නෙ. දානෙ දෙන එකට සහභාගී වෙන්න දුර බැහැර ඉන්න පවුලෙ දූවරු, පුත්තු, මුණුබුරු-මිණිබිරියො හැමෝම වගේ ගමට එනව. ඒ කාලෙට ගෙදරම පිරිල. පාළු නෑ. කම්මැලිත් නෑ. කොටින්ම කිව්වොත් තමන් වැඩිය කැමති දානෙ දෙන දවස් වලටද ඊට පස්සෙ එන අළුත් අවුරුදු දවස් වලටද කියල කල්පට හිතාගන්නත් බැරි තරං. මේ පාර සීයගෙ නංගි, සුදු ආච්චිත් ඇවිල්ල ඉන්න නිසා කල්පට තවත් සන්තෝසයි. මොකද කියනවනං සීයයි ආච්චියි වගේම සුදු ආච්චිත් ලස්සන කතන්දර ගොඩක් දන්න නිසා. කොහොම උනත් සුදු ආච්චිගෙන් කතන්දරයක් අහන්න හෙට දානෙ ඉවර වෙනකල් ඉන්න වෙනව.

පන්සලෙන් දානෙට ඕනි කරන දානෙ භාජන, ලොකු ජෝග්ගු, පඩික්කං එහෙම අරං එන්න ගිය කට්ටිය කල්පව එක්කරගෙන ගියෙ නැති නිසා එයා හිටියෙ කුස්සිය පැත්තෙ කරකැවි කරකැවී. එහෙම ඉන්න එකේ එක වාසියක් තමයි ආසාවට කන්න කජු මද ටිකක්, මුද්දරස්පලං වගේ මොනා හරි රස දෙයක් කාගෙන් හරි ඉල්ලගන්න පුළුවන් වීම. අනෙක් වාසිය තමයි ලොකු කට්‍ටිය කියවන එක එක පල් හෑලි අහං ඉන්න පුළුවං වීම.

කෑම මේසෙ ගාව පුටුවක වාඩි වෙලා කකුල් දෙකත් පද්ද පද්ද කැරට් කෑල්ලක් ලෑටිගගා සුදු ආච්චි සීනි සම්බෝලෙට ගන්න ළූණූ සුද්ද කරනව බලාගෙන හිටිය කල්ප දැන් දවස් ගානක ඉඳල තමන්ගෙ ‍හිතට වදදෙන ප්‍රශ්ණෙ සුදු ආච්චිගෙන් අහන්න තීරණේ කරා‍.

“සුදු ආච්චී... අර සාලෙ තියෙන කනප්පුවයි පුටුයි දිලිසෙන්නෙ ඇයි?‍”

“ඒ කිව්වෙ පුතේ...?”

“ඒව කලිං දිලසුන්නෑ... දැං දිලිසෙනව...”

“ආඃ... ඒකද මේ...”

කල්ප අහන්නෙ මොකක් ගැනද කියල තේරුං ගිය නිසා අඳුරෙ අතපත ගාල ගිණිපෙට්ටිය හොයාගෙන ලාම්පුවක් පත්තු කරගත්තම දැනෙන අස්වැසිල්ල වගේ අස්වැසිල්ලක් දැනිච්ච සුදු ආච්චි කිව්ව.

“පුතේ... පුටු ඔය විදිහට දිලිසෙන්නෙ ඒව පොලිෂ් කරල නිසා...”

“ඒ කිව්වෙ...?”

“ඔයා බිත්තිවල තීන්ත ගානව දැකල තියෙනවනෙ...?”

ඔව් කියන්න කල්ප ඔළුව වැනුව.

“බිත්තිවල තීන්ත ගානව වගේ මේස පුටු වල පොලිෂ් ගානව... එතකොට තමයි ඒව ඔය විදිහට දිලිසෙන්නෙ...”

කල්ප ඊලඟ ප්‍රශ්ණෙ ඇහුවෙ සුදු ආච්චි තවත් ළූණු ගෙඩි දෙක තුනක් සුද්ද කරන දිහා බලාගෙන හිටියට පස්සෙ.

“ආච්චී...”

“හ්ම්...”

“පොලිෂ් හදන්නෙ කොහොමද...?”

ඔන්න ඔය ජාතියෙ ප්‍රශ්ණ වලට ලොකු කෙනෙක්ගෙන් ලේසියෙන් උත්තරයක් හම්බවෙන්නෙ නැත්තෙ ඇයි කියන්න කල්ප දන්නෙ නෑ. ඒත් ඒගොල්ලො මොනා හරි කියල හරිහමන් උත්තරයක් නොදී මගඅරිනව.

හුළඟ හැදෙන්නෙ කොහොමද කියල වතාවක් කල්ප අප්පච්චිගෙන් අහපු වෙලාවෙ අප්පච්චි කිව්වෙ “ඔයා තව ටිකක් ලොකු උනාම කියල දෙන්නංකො” කියල. ඉරයි හඳයි හතරැස් නොවී රවුම් උනේ කොහොමද ඇහුවම හම්බඋනෙත් ඒ වගේ උත්තරයක්. දැං සුදු ආච්චිගෙ මූණ දැක්කම කල්පට හිතෙන්නෙත් ඒ වගේ උත්තරයක්ම හම්බවෙයි කියල.

“හ්ම්...”

සුදු ආච්චි තවම බර කල්පනාවක.

“පොලිෂ් හදන්නෙ පුතේ පොලිස් කාරයන්ව මිරිකල අරගෙනනෙ...”

අන්තිමේදි සුදු ආච්චි කිව්ව.

“ෂා... නියමයිනෙ!”

දැං පොලිෂ් හදන්නෙ කොහොමද කියල හිතාගන්න කල්පට පුළුවං.

අර ටවුමෙ කහ ඉර මැද්දට වෙලා විසිල් ගගහ ඉන්න බඩ තඩි පොලිස් මාම වගේ පොලිස් කාරයෙක්ව ඔළුවෙනුයි කකුල් දෙකෙනුයි අල්ලල හරියට බ්ලැන්කට් එකක වතුර මිරිකනව වගේ මිරිකනව ඇති. එහෙම මිරිකන පොලිස් කාරයගෙ යටින් කල්පලාගෙ ගෙදර තියෙන ලොකු එනමල් බේසම වගේ බේසමක් තියල පොලිෂ් ටික එකතු කරගන්නව ඇති. ඊට පස්සෙ අර සමූපකාරෙ බෝතල් වලට ලාම්පු තෙල් පුරෝනව වගේ වීදුරු බෝතලේට පුනීලයක් දාල පොලිෂ් පුරෝල දෙනව ඇති.

මේ විදිහට පොලිෂ් හදන හැටි ගැන කල්පනා කර කර මනෝ ලෝකෙක අතරමං වෙලා හටිය කල්ප සුදු ආච්චිගෙ මූණෙ තිබ්බ ‘අණ්ඩපාල’ හිනාවනං දැක්කෙම නෑ.

_______
පින්තූරය
http://cdn.freshome.com/wp-content/uploads/2009/01/wooden-furniture3.jpg
Related Posts Plugin for WordPress, Blogger...