හැමදේටම වටිනාකමක් තියෙනව. ඒත් මොකක් හරි දේක ඇත්තම වටිනාකම තියන්නේ ඒ භාණ්ඩයේ නෙවෙයි. වටිනාකම කියන්නෙ අපේ හිත් වල තියෙන සංකල්පයක් විතරයි. අපි මොනාට හරි වටිනාකමක් දෙන්නෙ අපි හිතන පතන විදිහට අනුව.
උදාහරණයක් විදිහට දියමන්තියි අඟුරුයි ගමුකො. එක දියමන්ති කැටේක වටිනාකමට අඟුරු කැට ටොන් ගානක් ගන්න පුළුවන්. මිනිස්සු අඟුරු වලින් හදපු ආභරණ පළඳින්නෙ නෑ. අඟුරු වලට මිනීමරා ගන්නෙ නෑ. මංකොල්ල කන්නෙ නෑ. ඒත් හැම ප්‍රසිද්ධ දියමන්තියක් එක්කම තණ්හාවෙන් පැල්ලම් ගැහිච්ච ලේ තැවරිච්ච අතීත කතාවක් තියෙනව. මෙතන තියෙන විහිළුව මේකයි. භෞතික ව්‍යුහයෙ වෙනස ඇරුනම දියමන්තියි අඟුරුයි කියන්නෙ එකම දේ. වෙනත් විදිහකින් කිව්වොත් දෙජාතියම හැදිල තියෙන්නෙ ‘කාබන්’ වලින්. දියමන්ති වටිනාකමින් වැඩිවෙන්න හේතුව ඒව දුර්ලභ වීම, ඒව හොයන්න අම්බානකට මහන්සි වෙන්න සිදුවීම සහ ඒ සඳහා ලොකු කැපවීමක් කරන්න සිදුවීම.
එතකොට සල්ලි...?
නිකංම බැලුවොත් සල්ලි කියන්නෙ කඩදාසි එහෙමත් නැත්නම් ලෝහ. සල්ලි වලට වටිනාකමක් දීල තියෙන්නෙ ඒව එදිනෙදා ජීවිතේදි හදන්න බැරි (හදන්න තහනම්), හම්බකරන්න ඕනි දෙයක් බවට පත් කිරීමෙන්. සල්ලි වලට තියෙන්නෙ මිළදී ගැනීමෙ හැකියාව විතරමයි. ගොඩ දෙනෙක් අද කාලෙ අමතක කරල තියෙන්නෙත් ඒකමයි. සල්ලි වලට ගන්න බැරි දේවලුත් ලෝකෙ තියෙනව...
මං විශ්වාස කරන විදිහට තමන් සන්තකයේ තියෙන සල්ලි වල වටිනාකම වැඩි ඒව තමන්ම මහන්සියෙන් හම්බකරාම. පොඩි කාලෙ අපිට ‘ඉපයීම’ කියන දේ ගැන තේරුමක් නැහැ. අපි කරේ සල්ලි ඉල්ල ගැනීම. මම ඔහොම අම්මගෙන් හරි අප්පච්චිගෙන් හරි සල්ලි ඉල්ලුවම සල්ලි දෙන්න කලින් ඒගොල්ලො - විශේෂයෙන්ම අප්පච්චි - නිතර මෙහෙම කතාවක් කියනව.
“ඔව් ඉතිං, එනකොට ගුලිකරගෙන ඇවිල්ල තියෙනවනෙ...”
ඒ දවස් වල ඔය කතාවට මට හරියට කේන්ති යනව. ඔය මත්තෙ මම අම්මයි අප්පච්චියි එක්ක රණ්ඩු වෙලත් තියෙනව. ඒත් පස්සෙන් පහු කාලෙක මම රස්සාවක් කරන්න අරගෙන පළවෙනි පඩිය අතට ගත්තම තමයි තේරුණේ ඒගොල්ලො එහෙම කිව්වෙ ඇයි කියල.
මගේ අතට ලැබිච්ච පඩි පැකට් එකේ තිබ්බෙ මාසයක් තිස්සෙ මං වෙච්ච මහන්සියේ වටිනාකම. ඒ උපයපු හැම රුපියලක්ම මම අවංකව හම්බකරා කියන්න මගේ හිත දැනගෙන හිටිය. මොණර කොළ කීපය අතට බරට දැනුණෙත් හිතට සැහැල්ලුවට දැනුණෙත් ඒ නිසා වෙන්න ඇති.
මට එතකං නොතේරුණාට අම්මයි අප්පච්චියි කියන්න උත්සාහ කරල තිබ්බෙ “උපයන්නාගේ මහන්සියට ගරු කරන්න” කියන එක.
කවුරු හරි දුන්න රුපියල් දහයකට වඩා; ලොතරැයියක් ඇදිල නිකං අතට ලැබෙන රුපියල් දහයකට වඩා අවංකව මහන්සියෙන් හම්බකරපු රුපියල් දහයෙ වටිනාකම වැඩියි. ඒක මං අත්දැකීමෙන්ම දන්න දෙයක්. ඒ රුපියල් දහය කෙනෙක් වියදම් කරන්නෙ නිකං හම්බවෙච්ච රුපියල් දහයක් වියදම් කරනවට වඩා පරිස්සමින්, වගකීමෙන් සහ එක්තරා ආකාරයක ආත්ම තෘප්තියකින්. වියදම් කිරීමේ සන්තෝසය හොඳටම දැනෙන්න තමන් හම්බකරපු දෙයක් වියදං කරල මොනා හරි ගන්න ඕනි.
අවාසනාවකට වගේ ගොඩ දෙනෙක් අනිත් අයගෙ මහන්සියට ගරු කරන්නෙ නෑ. මිනිස්සු අතින් ගොඩක් සම්පත් නාස්ති වෙන්නෙ ඒකයි. ගෙදරදි ලයිට් වතුර බොහොම අරපරිස්සමට පාවිච්චි කරන ගමන් කාර්යාලයේ අවේලාවෙ පත්තු වෙන ලයිට් එකක් නිවල දාන්නෙ නැති. ටැප් එකක් ඇරියම ඒක හරියට වහන්නෙ නැති මිනිස්සු ඕනි තරං ඉන්නව. සමහර අය හිතාගෙන ඉන්නෙ එහෙම කරල ආණ්ඩුව මට්ටු කරන්න. නැත්නම් ආයතන පරිපාලනේට රිද්දන්න. ඒත් අන්තිමට රිදෙන්නෙ අපිට. අපි හැමෝටම!
වෙනස තියෙන්නෙ ගොඩක් හම්බ කිරීමෙවත් පොඩ්ඩක් හම්බ කිරීමෙවත් නෙවෙයි. හම්බ කරන කීය හරි අවංකව හම්බ කිරීමෙ.
මුදල් නැතිකමින් ඇතිවන දුප්පත්කමේ උනත් සරළ වූ වටිනාකමක් සහ ගරුත්වයක් තියෙනව. ගුණධර්ම නැතිකමින් ඇතිවන දුප්පත්කමේ කිසිම වටිනාකමක්වත් ගරුත්වයක්වත් නැහැ.
_____
පින්තූරය
//සල්ලි වලට තියෙන්නෙ මිළදී ගැනීමෙ හැකියාව විතරමයි. ගොඩ දෙනෙක් අද කාලෙ අමතක කරල තියෙන්නෙත් ඒකමයි. සල්ලි වලට ගන්න බැරි දේවලුත් ලෝකෙ තියෙනව...//
ReplyDeleteඅනිවාර්යයෙන්ම.. ගොඩක් දෙනෙක් අද මූලිකත්වය දෙන්නෙ මුදල් වලට මේ බවක් අමතක කරලා.. මුදල් නෝට්ටුවක් නිකන් කඩදාසියක් විතරයි.. ඒකට නියම වටිනාකමක් දෙන්න පුළුවන් අවංකව ජීවත්වෙන, ඒ ගැන වටිනකමක් දන්න අයට විතරයි..
වටින අදහසක්..!
ස්තූතියි!
Deleteඅද කාලෙ මිනිස්සු වැඩිපුරම සල්ලි පාවිච්චි කරන්නෙ තමන්ගෙ බලය පෙන්නන්න. ඒත් ඒ අයටත් නොදැනීම වෙලා තියෙන්නෙ සල්ලි ඒගොල්ලන්ව සල්ලි වලම වහල්ලු බවට පත්කරල තියෙන එක.
///මුදල් නැතිකමින් ඇතිවන දුප්පත්කමේ උනත් සරළ වූ වටිනාකමක් සහ ගරුත්වයක් තියෙනව. ගුණධර්ම නැතිකමින් ඇතිවන දුප්පත්කමේ කිසිම වටිනාකමක්වත් ගරුත්වයක්වත් නැහැ.///
ReplyDeleteමේං වැදගත්ම ටික...
මං ඔය කෑල්ල අහුලගත්තෙ කාටූන් එකක තිබිල. මටත් හිතට අල්ලල ගිය අදහසක් නිසා ලියල දැම්ම. :)
Deleteකොයි වටිනා දේටත් තියෙන්නෙ මිනිසුන් විසින් ආරෝපනය කල වටිනාකම්. ඒ වගේම ඒකත් සාපේක්ෂයි කියලා පරිකල්පනට හිතිලා නැත්ද? කාන්තාරෙක දවස් ගානක් වතුර නැතිව ඇවිදපු එකාට ලෝකෙ වටිනාම දේ වතුර බින්දුවක් උනාට දියේ ගිලෙන එකාට වටිනාම දේ ඔක්සිජන් නෙවයිද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අනිවාර්යයෙන්ම ඔව්. ඒකනෙ අපි වැස්ස කාලෙට වැස්සට බැනල පායන කාලෙට අව්වට බනින්නෙ.
Deleteඔබ හිතල තියන විදිහට මම කැමතියි සහෝ!
ReplyDeleteජය!
ස්තූතියි හිරුහිමාවි...
Deleteපරිකල්පන, මම මේකට කමෙන්ට් එකක් දැම්මනෙ. පොඩ්ඩක් බලන්න ස්පෑම් එකේ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
සොරි ඩූඩ්, කලින් කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබ්බෙ නෑ. ඊයෙ හවස ලොග් උනාට පස්සෙ ආයෙ ලොග් උනේ උදේ නිසා මටයි පබ්ලිෂ් කරන්න බැරි උනේ.
Deleteවටින පෝස්ට් එකක්....
ReplyDeleteස්තූතියි... :)
Delete