වෙලාවකට අපිට ඕනි මොනාද එපා මොනාද කියන්න අපිටවත් හරිහමන් අදහසක් නෑ. අපි විසින් උපයගෙන, ඉල්ලගෙන එහෙමත් නැත්නම් අත්පත්කරගෙන තියෙන ගොඩක් දේවල් දිහා ටිකක් විවෘත මානසිකත්වයකින් බැලුවම හිතට එන ප්‍රශ්ණයක් තමයි අපි ලබාගෙන තියෙන්නෙයි අපි ලබාගන්න මහන්සි අරගෙන තියෙන්නෙයි ඇත්තටම අපිට ඕනි දේවල්මද කියන එක.
ගොඩක් දේවල් අපිට ඕනි වෙන්නෙ ඒ දේවල් ඇත්තටම වැදගත් නිසාවට වඩා ඒ දේවල් අනිත් අය ගාව තියෙනව දකින නිසා. කොටින්ම කිව්වොත් ‘අනිත් අය වගේ වෙන්න’ පොඩි උවමනාවක් අපි හැමෝගෙම හිත් ඇතුලෙ තියෙන නිසා. ‘අනිත් අයට වඩා උඩින් ඉන්න’ ඕනිකමක් අපේ හිත් ඇතුලෙ නලියන නිසා.
ඕනි දේවල් ගැන කතා කරද්දි මතක් වෙච්ච පොඩි කතාවක් ලියල තියන්න හිතුණා...
ඔන්න එකෝමත් එක රටක හිටියලු යාළුවො දෙන්නෙක්. එක්කෙනෙක්ට අපි ‘කමල්’ කියමුකො. අනිත් එක්කෙනා ‘නිමල්’.
කමල් සල්ලි බාගෙ තියෙන ටිකක් සරුසාරෙට ජීවත් වෙච්චි මනුස්සයෙක්. එයා වැඩකට අතගැහැව්වොත් ඒ වැඩේ සාර්ථක වෙන ගතියක් තිබ්බ. අනිත් පැත්තෙන් බැලුවම නිමල් එදා වේල හම්බ කරගෙන - එයාම කියන විදිහට - දුකසේ ජීවත් වෙච්ච කෙනෙක්. කොහොම උනත් කවද හරි දවසක ‘කමල් වගේ වෙන්න’ නිමල්ගෙ හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තිබ්බ.
ඔහොම ඉන්න අතරෙ දවසක් නිමල්ට වයසක සාත්තර කාරයෙක්ගෙන් වරයක් හම්බ උනාලු.
වරයක් හම්බවෙනව කිව්වම ඉතිං අතාරින්නත් බෑනෙ. නිමල් කල්පනා කරල, කල්පනා කරල අන්තිමේදි මෙහෙම කිව්වලු.
“එහෙනං කමල්ට හම්බවෙන හැමදේම මටත් ලැබෙන වරයක් දෙන්න...”
මේ වරය ලැබිල සතියකට විතර පස්සෙ කමල්ට ලොතරැයියක් ඇදුනලු. ඊට පස්සෙ දවසෙම නිමල්ටත් ලොතරැයියක් ඇදුනලු.
ඊට මාසෙකට දෙකකට විතර පස්සෙ කමල්ට පාරෙ වැටිල තිබිල මැණිකක් හම්බඋනාලු. ඒ හම්බවෙලා ටික දවසක් යද්දි නිමල්ටත් ඒ විදිහටම මැණිකක් හම්බඋනාලු.
“මේකනේ ජීවිතේ...” කියල හිතාගෙන නිමල් කාලයක් බොහොම සැපට ජීවත් උනාලු. හැබැයි ඊට පස්සෙ උනේ නිමල් හීනෙකින්වත් නොහිතපු දෙයක්.
එක දවසක් කමල් ලොකු හොරකමකට වැරදිකාරයෙක් වෙලා හිරේ වැටුනලු. ඊට ටික දවසකට පස්සෙ නිමලුත් තමන් කරව්වෙවත් නැති හොරකමකට වැරදිකාරයෙක් උනාලු.
ප. ලි.
අජාන් බ්‍රහ්මවංසො හාමුදුරුවන්ගෙ ධර්ම දේශණාවකදි මෙහෙම දෙයක් කියවුණා මතකයි.
“What you have won’t make you rich, what you want will make you poor.”
“තමන්ට ඇති දේ තමන්ව පොහොසතෙක් නොකරනවා වන්නට පුළුවන. නමුත් තමන්ට අවැසි දේ තමන්ව දුප්පතෙක් කරනු ඇත.”
_____
පින්තූරය